Foolish voters

මේ රටේ මිනිස්සු ලොකු මෝඩකමක් මේ මැතිවරනයේදී කලා. අඩුම ගනනේ ජේවීපී එකට ප්‍රාදේශීය සභා පහකවත් බලය දෙන්න තිබුනා. ඒ වෙන මොකකටවත් නෙවෙයි උන්ව ටෙස්ට් කරලා බලන්න. එහෙම දුන්නා නම් උන්ට කරන්න තියෙන්නේ වැඩ කරලා පෙන්නන එක විතරයි. ඒ ඇරෙන්නට උන්ට වෙන කරන්න දෙයක් නෑ. එහෙම ටෙස්ට් කරලා බලලා අපට තිබුනා ඊලඟ චන්ද වලදී උන් ගැන තීරණයක් ගන්න.
වෛද්‍ය විද්‍යාවෙදිත් අපි අලුත් බෙහෙත් ටෙස්ට් කරලා බලනවා. දැනට තියෙන බෙහෙත කොයි තරම් හොඳ උනත් ඊටත් වඩා හොඳ එකක් හොයා ගන්න නිරතුරුවම ටෙස්ට් කරනවා. එහෙම ටෙස්ට් කරන කොට එක පාරටම අලුත් බෙහෙත මිනිස්සුන්ට දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මීයන් වඳුරන් වැනි සතුන්ට දීලා බලලා හොඳ නම් තමයි මිනිස්සුන්ට දෙන්නේ. හොඳ නැත්නම් මිනිස්සුන්ට දෙන්නේ නැහැ. ඒක නවත්තලා වෙන එකක් හොයනවා. එහෙම තමයි කලින් කලට අලුත් බෙහෙත් හොයා ගන්නේ. ඉතින් අපිට මේ වෙලාවේ ප්‍රාදේශීය සභා හතරක් පහක් අර මීයන් වඳුරන් වගේ පාවිච්චි කරලා බලන්න තිබුනා. නමුත් හැඟීම් වලට මිනිස්සුන්ගේ බුද්ධිය වැහිලා ගියා කියලයි මම හිතන්නේ. මේ වගේ ජේ වී පී එක ටෙස්ට් කරන්න අවස්ථාවක් ආයිත් අපිට ලැබෙන එකක් නෑ.
අනික උන් විතරයි මුල ඉඳන්ම දිගටම කිවුවේ කොටි සංවිධානය යුද්ධයකින් පරද්දන්න පුලුවන් ඒ නිසා සාම කථා වලට යන්න එපා කියලා.නමුත් හැම ප්‍රධාන පක්ෂයක්ම සාකච්චා වලට ගිය නිසා තමයි කොටින්ට ශක්තිමත් වෙන්න කාලය ලැබුනේ. ඒකයි ඒ ප්‍රශ්නය අවුරුදු තිහකට කිට්ටු කාලයක් ඇදි ඇදී ගියේ.
දැන් ඉතින් ගිය නුවණ ආපසු අද්දවන්න බැහැ. දැන් තියෙන්නේ ඉස්සරහාට බුද්ධිමත්ව කටයුතු කරන එකයි. නමුත් අපේ මිනිස්සු පහු ගිය දශක කීපය තුල කටයුතු කරපු විදිය දකින කොට මට නම් ඇති වන්නේ මහා බියක්.
1970 ඉඳන් 1977 වෙනකම් තිබුනු සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබුනා. ඒ වෙනකම් ලංකාවේ තිබුනේ සංවෘත ආර්ථිකයක්. පිට රටින් ගෙනාවේ අත්‍යවශ්‍යම දේවල් විතරයි. ඇපල් පිට රට මිදි ජැෆා දොඩම් වැනි දේවල් අපි දැකලාවත් තිබුනේ නැහැ. ඒවා නොතිබුනා කියලා අපිට පාඩුවක් උනේ නැහැ. වියදම දැඩි ලෙස සීමා කරලා තිබුනා.සල්ලි තියෙන මිනිස්සුන්ට උනත් ඒවා වියදම් කරන්න ක්‍රමයක් තිබුනේ නැහැ. උදාහරනයකට කියනවා නම් ශාලාවක පවත්වන විවාහ මංගල උත්සවයකට කෑම දෙනවා නම් ආරධනා කරන්න පුලුවන් පනහකට විතරයි කියලා ආණ්ඩුවෙන්ම නීතියක් දාලා තිබුනා. සීයකට එන්න පුලුවන් හැබැයි එතකොට බීම එකක් විතරයි දෙන්න පුලුවන්. අද කොහොමද. මගුලක් කනවා කියන්නේ මරනයක් වගේ. (තව මාස තුනකින් කසාද බදින්න ඉන්න මගේ ඥාති පුතෙකුගේ විවාහ උත්සවයට ඒ දෙමව්පියන් ලෑස්ති වෙන්නේ අවුරුද්දක පමණ සිට. වෙඩින් කේක් දාන පෙට්ටියට 250 යි. මනමාලිට ඇඳුම අන්දන්න විතරක් ලක්ෂ දෙකයි. මම කොල්ලාට කිවුවා ගලවන්නේ උඹ නිසා ලක්ෂයක් වත් ඉල්ලපන් කියලා).
අද වගේ වාහන ආවේ නැහැ. මට මතකයි 4 ශ්‍රී පටන් අරගෙන 5 ශ්‍රී එන්න අවුරුදු පහක් ගියා. ඒවායින් වැඩි හරියක් ටැක්සි. මේවායින් බලාපොරොත්තු උනේ මිනිසුන්ගේ අනවශ්‍ය වියදම් නතර කිරීමත් පිට රටවල් වලට මුදල් ඇදී යාම වැලැක් වීමත්. ඒ කාලේ බඩු මිල අඩු වැඩි උනේ අය වැයේදී විතරයි. ඒ කාලේ හිටියා එතෙක් මෙතෙක් මේ රටේ බිහි වූ හොඳම මුදල් ඇමති වරයා. ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා. ආර්ථික විශේෂඥ වරයෙක්. පිටරටට ණය නොවී අයවැය හැදුවා අවුරුදු පහක්. 1970 - 1975 දක්වා. 1970 දී ඩොලර් එකක් රු. 6 යි. 1975 දී 6.25. අපි ඒ කාලේ ගනන් හදනවා දොස්තර කෙනෙක් උනාම කාර් එකක් ගන්න. හැබැයි අපේ රටේ හිටපු සල්ලි තියන මිනිස්සුන්ට මේ ක්‍රමය අල්ලලා ගියේ නෑ. ඒ ගොල්ලා රටේ අනිත් මිනිස්සු උසි ගැන්නුවා මේ ක්‍රමයට විරුද්ධව. මේ කාලේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ජනතා හිතකාමී "බත් දුන් පියා" ලෙස මිනිසුන් හැඳින්වූ ඩඩ්ලි සේනානායක මහතා අකාලයේ මියගියා. ඔහු මිය ගියේ උප නායක ජේ ආර් ජයවර්දන හා ආර් ප්‍රේමදාස විසින් පක්ෂය තුල ඔහුට විරුද්ධව බලය ලබා ගැනීම සඳහා පක්ෂය දෙකඩ කිරීමට කල කුමන්ත්‍රණයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලෙන් වූ හෘදයාබාධයකින්. 1973 අප්‍රේල් 13 අවුරුදු දා කොලඹ ඩර්ඩන්ස් රෝහලේදී අවසන් හුස්ම හෙලද්දී ඔහුගේ අවසාන වචන වූයේ I want to get all of them together " මට සියලු දෙනා එකතු කරන්න ඕන" යනුයි. ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ ආර් ජයවර්දන ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතාගේ ආර්ථික ක්‍රමයට විරුද්ධ වූ ධනපති කණ්ඩායම නියෝජනය කරමින් රට තුල විශාල උද්ගෝෂන රැල්ලක් පැවැත්වූවා. මෙයට බිය වූ සිරිමා අගමැති තුමිය ඇන්. ඇම් මුදල් ඇමැති කමින් ඉවත් කලා 1975 දී.
ජේ ආර්ගේ සටන් පාඨය වූයේ "ධර්මිෂ්ඨ සමාජයක්" යන්නය. ඒ සමගම සෑම වැඩිහිටියකුටම ධාන්‍ය රාත්තල් අටක් රජය මගින් දෙන බවට පොරොන්දුවක්ද විය. එකල ජේ ආර් ආවොත් දුප්පතුන්ට තමා වැඩි සැලකිලි ලැබෙන්නේ යන මතයක්ද රට පුරා පැතිරුනා. එවකට අවසාන වසරේ වෛද්‍ය සිසුවකු වූ මා මෙයින් තැති ගත්තා. දුප්පතුන්ට පමණක් සහන දෙනවා නම් අපට කුමන කලක් යයිද යන සැකය මා තුල ඇති වුනා. එහෙත් 1976 දී සිරිමා රජය විසින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කරන ලද සිසු ඝාතනය නිසා සියලු වි.වි සිසුන් ඇයට එරෙහි වී සිටියා. ඒ නිසා අපි ජේ ආර්ට චන්දය දුන්නා. ඒ අනුව 1977 වන විට මෙරට තුල විශාල ජන මතයක් ජේ ආර් විසින් ගොඩ නගා පැවැත්වූ මහ මැතිවරනයෙන් පාර්ලිමේන්තු ආසන හයෙන් පහක අති ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුනේ ආසන 9 කි. විපක්ෂ නායක වූයේ ආසන 20ක් ලබා සිටි අමිර්තලිංගම් මහතාය. ඉන් පසු 1978 ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලු බල තල සහිත විධායක ජනාධිපති බවට පත් වී මේ රට විනාශයට පත් කල විවෘත ආර්ථික ක්‍රමය ඇති කොට මුදල රජයන සමාජයක් ඇති කලා. ඔහු කීවේ මට කල නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගැහැනියක් කිරීම පමණක් බවයි. ඔහු හැසිරුනේ ඒකාධිපතියකු හා සමානවය. 1982 දී ඊලඟ ජනාධිපති වරනයට ඔහු මුහුන දුන්නේ සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට one hoarse race "වන් හෝස් රේස්" කියාය. එහෙත් විජය කුමාරණතුංග මහතාගේ සහාය ඇතිව හෙක්ටර් කොබ්බෑකඩුව මහතා එම ජනාධිපති තරඟයට ඉදිරිපත් වී ලඟ ලඟ සටනක් දුනි. මෙහිදී කැපීපෙනෙන දෙයක් වූයේ ද්‍රවිධ සංවිධානයෙන් කුමාර් පොන්නම්බලම් මහතා ඉදිරිපත් වී සිටියදී කොබ්බැකඩුව මහතා දිවයිනේ වැඩිම චන්ද ලබා ගත්තේ යාපනයෙන් වීමය. ඒ පසු ගිය රජය සමයේ තිබූ සංවෘත ආර්ථික ක්‍රමය තුල ඔවුන්ගේ ගොවි නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබුනු බැවිනි. මේ වන විට ජේ ආර් විසින් ඇති කල විවෘත ආර්ථික ක්‍රමය තුල සියලු දේ පිටරටින් ගෙනා නිසා යාපනයේ ජනතාවට ඔවුන්ගේ නිපැයුම් විකුනා ගත් නොහැකි වන තත්වයක් පැවතුනි.1982 වන විටත් යාපනයේ ජනතාව තුල සිංහල නායකයින් කෙරෙහි විශ්වාසයක් තිබූ බවද මෙයින් පෙනුනි. තවද ජවිපෙ නායක රෝහණ විජේවීරද මෙම ජනාධිපතිවරනයට ඉදිරිපත් වූ අතර ඔහු තුන් වන තැනට පත් විය. මේවායින් බියට පත් වූ ජේ ආර් 1983 දී කුප්‍රකට 1983 කලු ජූලිය නිර්මානය කොට එහි වග කීම ජවිපෙ පිට පටවා එම පක්ශය තහනම් කරවීය. කලු ජූලිය නිසා එතෙක් දෙමල ජනතාව තුල සිංහල නායකයින් කෙරෙහි තිබූ විශ්වාසය නැති වී ඔවුන් එල් ටී ටී ඊ දෙසට නැඹුරු වූහ. ජවිපෙ ට නැවතත් ආයුධ අතට ගැනීමට සිදු විය. මේවා සියල්ලටම වගකිව යුත්තේ ජේ ආර්ට එවැනි ඒකාධිපතියකු වීමට අසීමිත බලයක් ලබා දුන් මෙරට ජනතාවය.
මා විසින් මෙහි දක්වා ඇත්තේ පසු ගිය දශක 4 තුල සිදු වූ දේ වලින් ඉතා බිඳකි. සම්පූර්න විස්තර කිරීමට නම් පොතක් ලිවිය යුතුය. මා මේ ටික ලියූවේ 1977 දී වූ දෙයට වඩා භයානක තත්වයකට ඉදිරියේදී රට පත් වන ලකුණු මෙම මැතිවරන ප්‍රථිපල වලින් පෙනෙන නිසාය. එදා ජේ ආර්ට තිබූ හා සමාන ජන රැල්ලක් මහින්ද රාජපක්ෂ වටා ඇති වී ඇත. මෙය මේ ලෙසින්ම පැවතී ඔහු හෝ ගෝඨාභය මීලඟ රාජ්‍ය නායකයා බවට පත් වුව හොත් ඔවුන් ජේ ආර්ට වඩා එහා ගිය භයානක ක්‍රියා සිදු කරන ඒකාධිපතියකු වනු නොඅනුමානය. එය මෙරට ප්‍රජාතන්ත්‍ර වාදයේ අවසානය වනු ඇත. ජේ ආර් විසින් දෙවරකට සීමා කර තිබූ ජනාධිපති ධූර කාලය සීමා රහිත ලෙස වැඩි කර ගැනීමෙන් මහින්ද රාජපක්ශ මහතා තුල ඇති බල තන්හාව අප අමතක නොකල යුතුය. ඔහු ඊලඟ වතාවේ තවත් 2015 සිදු වීමකට කෙසේ වත් ඉඩ නොතබනු ඇත. ජේ ආර් ගේ කාලයේ මෙන් නොව මේ වන විට අප රට නය බරින් මිරිකී රට විකිණිය යුතු තැනට පත් වී ඇත. ඒවා කරන විට ඉදිරියේදී නැගෙන ජනතා විරෝධතා මර්ධනය ඉතාම ම්ලේච්ච ලෙස සිදු වනු ඇත. මෙහිදී ජලය ඉල්ලා උද්ඝෝෂනය කල රතුපස්වල ජනතාවට කල දේ අමතක කල යුතු නැත. තමන්ට විරුද්ධව සාක්ෂි දෙනු ඇතැයි යන සැකය නිසා තෝරා ගත් සිරකරුවන් 26ක් ඝාතනය කල අයුරු අප අමතක කල යුතු නැත. බලය නැති විට කවුරුත් ඉතා හොඳය. නමුත් බලය මිනිසා නොමිනිසකු කරන අතර අසීමිත බලය මිනිසා රාක්ෂයකු කරයි. මෙය අතීතයේදී ජේ ආර් ජයවර්දන ජනාධිපති වරයා විසින් ඔප්පු කර ඇති අතර ආසන්න අතීතයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔප්පු කර ඇත.
ජනතාව අනාගතයේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකල හොත් ශ්‍රීලංකාව තවත් හයිටියක් වීම වැලැක්විය නොහැක.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී