Umathu san Warusawa - 03.05.2018

මම මේ ලියන්න යන කතාව මතක් වුනේ මේ දවස් වල මේ වහල් කතා නැගලා යන නිසා. වහල්ලු ගැන කතා කරනවා, වහල් හිමියෝ ගැන කතා කරනවා, ඒ අතරේ මේ හොඳට හිටපු පොරවල් වලට වහල්ලු වෙන්න ඕන වෙලා පෝස්ට් දානවා. මහම මහ කලබැගෑනියක් වෙලා තියෙන්නේ.

මේක මම මෙඩ්ඩා කාලේ බලපු වේදිකා නාට්‍යයක කතාවක්. නාට්‍යයේ නම උමතු සං වරුසාව. මේක හැදුවේ මගේ යාලු මෙඩ්ඩෙකුගේ අයියා වෙච්චි පද්මසීල ද සිල්වා. බඩ අල්ල ගෙන හිනා වෙන සීන් තියන මේකේ තියෙන්නේ එකමත් එක කාලෙක එක රටක හිටපු රජ කෙනෙක් ගැනයි පොරගේ පුරෝහිතයා ගැනයි. මේකේ තියන කොමික් කෑලි කියන්න ගියොත් පෝස්ට් දහයකින්වත් ඉවර කරන්න බෑ. ඉතිං මේ රජ්ජුරුවෝ පුරෝහිතයාගේ උදවු ඇතුව දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කරගෙන යන කොට පුරෝහිතයාට දැන ගන්නට ලැබුනා අවුරුදු පන්සීයකට සැරයක් වහින උමතුසං වරුසාව කියන වැස්ස තව ටික දිනකින් රට පුරාවටම වැටෙනවා ඒකට තෙමෙන හැම කෙනෙකුටම අතීතය අමතක වෙලා පිස්සු කෙලින්න ගන්නවා කියලා. ඒ වගේම මේක හරියටම පැයක් පුරාවටම වහිනවා ආයිත් මේ වගේ වැස්සක් එන්නේ තවත් අවුරුදු පන්සීයකින් කියලා. මිනිහා වහාම ගිහිල්ලා මේක රජාට කිවුවත් මෑන්ට ඒක හීනෙන් ගිය පඩයක් තරම් වත් දැනුනේ නෑ. මිනිහා කිවුවා ඉතිං අපිට මොකද බං රටේ එවුන් පිස්සෝ උනාම අපිටත් ලේසිනේ උඹ ගනං ගන්නේ නැතුව හිටපං කියලා. එතකොට පුරෝහිත කිවුවා නෑ රජතුමනි උන්ට අතීතයත් අමතක වෙලා ඔබතුමා රජ්ජුරුවෝ කියන එකත් උන්ට අමතක වෙයි කියලා. එතකොට තමයි රජාට වැඩේ තේරුණේ. මේකෙන් තේරෙන්නේ ඒ කාලෙ හිටපු රජාලත් අද ඉන්න එවුන් වගේම ගොබ්බයෝ කියලා.රජා වහාම කලබල වෙලා කිවුවා මේකෙන් බේරෙන්න මොනවා හරි කරන්න කියලා.

පුරෝහිත ඒ පාර වෙන රටක හිටපු දෛවඥයෙක් ගෙන්නලා රජ්ජුරුවෝ ලඟට එක්කං ගියා. මෑන් කිවුවා මුලු රටේම අය මේකෙන් බේරන්න අමාරුයි හැබැයි නගරයේ ඉන්න අය බේරලා දෙන්න පුලුවන් වෙයි කියලා හැබැයි ඒකට රජ තුමාට ලොකු පිං බලයක් තියෙන්න ඕන කියලා. එහෙම කියලා ඇහුවා එතුමා කරපු පිං මොනවාද කියලා. එතකොට රජා කිවුවා පන්සල් වලට ලොකු මල් වට්ටි පූජා කරලා තියෙනවා, මාලිගාවට හාමුදුරුවරු ගෙන්නවලා රටටම ඇහෙන්න බන කියවලා තියෙනවා, අසූහාරදාහේ පහන් පූජාව කරලා තියෙනවා, මාලිගාවේ ඇතාට කෙහෙල් ගෙඩි කවලා තියෙනවා, චෛත්‍යයට අහසින් පිච්ච මල් පූජා කරලා වගේ පිං කම් තව ගොඩක් කරලා තියෙනවා කියලා. එතකොට දෛවඥයා කිවුවා ඒවා සුලු පිං කම්නේ ඊට වඩා ලොකු පිං කම් කරලා නැද්ද කියලා. එතකොට රජා කල්පනා කර කර ඉඳලා එක පාරට මතක් වෙලා කිවුවා මම ධාතු නිදන් කරලා තියෙනවා කියලා. දෛවඥයා අන්න ඒක නම් ලොකු පිං කමක් කියලා කොහෙ කොහේද ධාතු නිදන් කරලා තියෙන්නේ කියලා ඇහුවාම පුරෝහිතට ඉබේම කියවුනා අන්ත:පුරයේ කියලා. රජාට මල පැනලා "මොන මෝඩ යකෙක්ද මූ අන්න අරහෙ පැත්තකට වෙලා හිටපං" කියලා පොරව එලවලා දැම්මා. වටේ හිටපු අනිත් ඈයෝත් පුරෝහිතව පස්සටම තල්ලු කරලා දාල උන් ඉස්සරහට සෙට් උනා. මෙතෙන්දි රජාට අමතක වුනා තමන්ගේ කොයි දේටත් එදා ඉඳලාම හිටියේ පුරෝහිත කියලා. පුරෝහිතත් රජාගේ සේරම වැඩ දන්න නිසා අරක ඉබේම කියවුනා. නැතුව හිතලා කිවුවා නෙවෙයි. කොහොම හරි දෛවඥයා කිවුවා එහෙම නම් මේ වැඩේ හරි යන්නේ නෑ කියලා දුන්න තුටු පඬුරුවත් ගන්නේ නැතුව යන්න ගියා.

මේකෙන් දෙකොන පූටු වෙච්ච රජා පුරෝහිතගේ පිටට එකක් එහෙම ගහලා උඹ ඔන්න ඕවා ගනන් ගන්න එපා උඹ දන්නවා නේ මට තරහා ගියහම වෙන දේ කියලා. එතකොට පුරෝහිත කිවුවා ඒකට කමක් නෑ රජ තුමනි මම ඒක නොදන්නවැයි ඒත් අර වෙනදා තද උනාම කියන අනිත් වචන සෙට් එක නොකියපු එක ගැන මට සතුටුයි නැත්තම් මම ආයිත් අරූට මූණ දීලා ඉවරයි කියලා. ඒ එක්කම කිවුවා අපි වෙන මොකක් හරි ස්ට්‍රැටජි එකක් හොයා ගනිමු කියලා. එහෙනම් උඹ ඉක්මනටම මොනවා හරි කල්පනා කරලා මට කියපන් කියලා රජා ගියා අන්ත:පුරය පැත්තට. පුරෝහිත මුලු රෑ තිස්සේම කල්පනා කරලා ඇවිත් පස්සෙන්දා උදේ රජාට කිවුවා අපි රට පුරාම අඬ බෙර මගින් අහවල් දවසේ වැස්සක් එනවා ඒකට තෙමෙන්න තහනම් ඒ නිසා මොන හේතුවකට වත් එලියට බහින්නේ නැතුව ගෙවල් ඇතුලටම වෙලා ඉන්න ඕන කියලා රාජ ආඥාවක් යවමු කියලා.ඒ වගේම මේ ආඥාව කඩ කරන ඕනම කෙනෙකුව උල තියලා මරණවා කියලා. වට් අ ගුඩ් අයිඩියා පුරෝහිත එහෙනම් ඒ විදියට කරන්න කියලා නියෝග දීලා පොර ගියාඋදේ තියන ධාතු නිදන් කිරීමේ උත්සවයට. ඔය විදියට මේ උමතු සං වරුසාව ගැන මුලු රටේම හැමෝම දැනුවත් වෙලා මිනිස්සු තමන්ගේ ළමයින්ටත් කිවුවා එලියට වත් බහින්න එපා කියලා.එදා ඉස්කෝල වලටත් නිවාඩු දීලා ටියුෂන් කඩ වලුත් ඔක්කොම වස්සවලා තිබුනා.

ඔන්න වැස්ස දවසත් ආවා. වහින වෙලාවත් ආවා. රජායි පුරෝහිතයි ඇමති වරුයි මාලිගාවේ සඳලු තලයට වෙලා බලාගෙන ඉන්නවා වැස්ස දිහා. පැය බාගයක් විතර ගියා කවුරුවත් එලියට බැස්සේ නෑ. රජාටයි පුරෝහිතටයි මාර හැපි. තමන්ගේ ස්ට්‍රැටජි එක වැඩ කරන නිසා පුරෝහිතට ෆුල් හැපි. මෙහෙම ඉන්න කොට රජා දැක්කා එක පාරටම මාලිගාවේ එකෙක් වැස්සට පනිනවා. රජාට මල පැනලා කිවුවා අන්න අරූව වහාම ගෙනත් උල තියපන් කියලා. පුරෝහිත කිවුවා දැන් ඌ අල්ලන්න රාජ පුරුෂයෝ යැවුවොත් උනුත් තෙමෙනවා ඒනිසා දැනට ඔහොම ඉඳලා වැස්ස පෑවුවාම ගෙනත් උල තියමු කියලා. තව ටිකක් බලන කොට මේ පැනලා තියෙන්නේ රජ කුමාරයා. ඌ වැස්සට තෙමිලා ෆුල් චූන් වෙලා මාලිගාවේ හැමෝටම කතා කරනවා බොලාත් මෙහාට වරෙල්ලා මේක මාර ආතල් කියලා. ඔහොම කියන කොට අන්ත:පුරයේ හිටපු හොඳම ගැටිස්සියෝ ටිකක් වැස්සට පැන්නා. එතකොට තමයි රජා දැන ගත්තේ පුත් කුමාරයා තමන්ටත් හොරෙන් අන්ත:පුර කෙල්ලන්ට සෙට් වෙලා කියලා. අරුන් තෙමිලා ගන්න ආතල් දැකලා අන්ත:පුරයේ හිටපු සේරම අංගනාවෝ වැස්සට පැන්නා. රජා පල්ලෙහාට ගිහින් උන්ට ඇතුලට එන්න කියලා කෑ ගැහුවත් ඒ වෙන කොටත් හොඳම තෙමිලා හිටපු උන්ට රජාව අඳුනා ගන්න බැරුව උන් ගනන් ගත්තේ නෑ. දැන් ඉතින් ඉඳලා මොටෝ කියලා රජා පොලොවේ හැපෙන්න පටන් ගත්තා. පුරෝහිත යන්තම් පොරව මෙච්චල් කර ගත්තා.

මාලිගාවේ උන් වැස්සේ ඉඳ ගෙන ගන්න ආතල් දැකලා නගරේ අනිත් සේරමයි රටේ එවුනුයි වැස්සට පැන්නා.දැන් සේරම ෆුල් ආතල් එකේ ඉන්නවා එකෙක්වත් රජාව වත් පුරෝහිතව වත් පඩේකට ගනන් ගන්නේ නෑ. අන්තිමට මාලිගාවේ ඉතුරු උනේ රජායි පුරෝහිතයි ඇමති වරු ටිකයි විතරයි. දැන් වැස්සත් ටික ටික පාය ගෙන එනවා. අර ඇමති වරු කිවුවා රජ තුමනි රටේ එකෙක් වත්, මාලිගාවේ එකෙක්වත්, හමුදාවේ එකෙක්වත් දැන් අපිව අඳුනන්නේ නෑ. එතකොට රජා කිවුවා ඒ ඔක්කොටම හපන් වෙනදා මම එනකම් දවස් ගැන ගැන ඉන්න මගේ අන්ත:පුරයේ එවුන්ටත් මාව අඳුනා ගන්න බැරි කොට කියලා. පුරෝහිත කිවුවා එහෙම නම් කොයි එකටත් කියලා වැස්ස ඉවර වෙන්න කලින් අපි වතුර භාජන වලට පුරවා ගමු මොකද ඊලඟ වැස්ස එන්නේ තව අවුරුදු පන් සීයකින්නේ කියලා. ඔවු ඔවු ඒකත් ඇත්ත කියලා කවුරුත් වතුර එකතු කලා.

ඔහොම තිබිලා වැස්ස පෑවුවා. රටේ සේරම උමතුවෙන් පිස්සු කෙල කෙල ඉන්නවා. වෙනදා කතා කලාම පස්වාන් දහසකට බුදු වෙන්න මහ රජාණනී කියලා දණින් වැටෙන ඈයෝ රජාට පස්ස පෙන්නලා ආතල් ගන්නවා. කුමාරයාත් අංගනාවෝත් එහෙමමයි. උන් උන් ෆුල් ආතල්. මොකද කරන්නේ කියලා ඉන්න කොට පුරෝහිත කිවුවා රටේ හැමෝටම පිස්සු හැදිලා තියෙද්දී අපි ටික දෙනා විතරක් සිහියෙන් ඉඳලා වැඩක් නෑ. ඕක හිතලාමයි මම අර වතුර එකතු කර ගත්තේ. දැන් ඉතින් අපිත් ඒවායින් නාලා අරුන් ඉන්න තැනටම යමු කියලා උන් සේරම නාලා අනිත් එවුන් වගේම පිස්සෝ වෙලා එලියට පැනලා නටන්න උනා. ඔය විදියට මුලු රටම උන්මත්තක උනා.

මම මෙහෙම මේක ලිවුවාට අර නාට්‍යය බලන කොට එන ගතිය 1% ක් වත් ගන්න බෑ. ඒක ඒ තරම්ම ආතල් නාට්‍යයක්. අපි ඒ කාලේ ඕකත් එක්ක රට පුරාම යනවා වීක් එන්ඩ් එකට. සයිමන් නවගත්තේගම තමයි රජාට හිටියේ අනිත් උන්ගේ නම් මට දැන් මතක නැහැ. අවුරුදු හතලිහකටත් වැඩියි නේ බං.අර කුමාරයත් නියම ආතල් දුන්නේ. ඒක බලන කොට දැන් ඉන්න කුමාරවරු මොක්කුද කියලා හිතෙනවා. ඔන්න ඔය කතාව බලලා තමයි මම හිතා ගත්තේ මමත් වහලෙක් වෙන්න ඕන කියලා. ඇයි යකෝ රටේ සේරම වගේ වහල්ලු වෙලා ඉන්න කොට අපි ටික දෙනෙක් විතරක් එහෙම නැතුව ඉඳලා අහවල් කෙං ගෙඩියක් කරන්නද. මම ලඟදී කරපු සමීක්ෂනයකින් පස්සේ තමයි මට තේරුනේ දෙසීයකට එකෙක් 0.5% වගේ තමයි කියලා වහල්ලු නොවී ඉන්නේ කියලා. සමීක්ෂනයේ මූලාශ්‍ර නම් මගෙන් ඉල්ලන්න එපා මචංලා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී