මගේ දියණිය දෝනී

මම අද උදේ හිස් බඩම ඔෆිස් එකට ඇවිත් වෙනදා වගේම පුටුවේ හාන්සි වෙලා යූ ටියුබ් එකේ සිංදු දාගෙන සොමියේ ඉන්න කොට ඇහුනා සිංහ බාහු නාට්යයේ සිංදුවක්. මම මුලින්ම සිංහබාහු බැලුවේ මීට අවුරුදු 55 කට ඉස්සර පොඩි කොලුවෙක් හැටියට ඉන්න කාලේ. ඒ කාලේ මම හිටියේ මාතර රාහුල විද්යාලයේ හොස්ටල් එකේ නවත්තලා. හොස්ටල් එකේ වෝඩන් හිටියේ දහනායක කියලා ටීචර් කෙනෙක්. හරිම හොඳයි. එයා ළමයින්ව එක්ක යනවා ෆිල්ම්ස්, නාට්ය බලන්න මාසෙකට දෙපාරක් විතර. ඉතින් මේ නාට්යය පෙන්නුවේ ඉස්කෝලේම හෝල් එකේ. ඒ කාලේ පොඩි ඈයින්ට නාට්‍යය බලන්න ගත්තේ රුපියලයි. ඉස්කෝලේ හෝල් එකේ නිසා මේක බැලුවේ සත පනහට.
මේ නාට්යයේ සිංහයා ගල් ලෙනට එනකොට ගෑනිත් දරුවෝ දෙන්නාත් ගිහින් කියලා දැන ගත්තාම බොහොම දුකෙන් කියන සිංදුවක් තමයි මම අද උදේ හිස් බඩම ඇහුවේ. ඒක ඇහුවාම හිස් වෙලා තිබිච්චි මගේ බඩ පිච්චිලාම ගියා.මේකේ සිංහයා තමන්ගේ දුවත් තමන්ව දාලා ගියා කියලා දැන ගත්තාම කියන ටික ඇහුනාම තමයි මට පිච්චෙන එක දරා ගන්න බැරි වුනේ. "සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය..... කවන්නිය..... පොවන්නිය.... මා ගැන සොයන්නිය' කියන ටික ඇහුනාම මට මතක් වුනේ මගේ මේ වෙන කොට අපෙන් වෙන් වෙලා ගිහින් ඉන්න අපේ එකම දුව.
එයාට අපි කිවුවේ දෝනි කියලා. පොඩි කාලේ මුලින්ම කතා කරන්න පටන් ගත්තේ චා චා කියලා. තාත්තා තාත්තා කියන එක එයා මුලින්ම කිවුවේ එහෙමයි. දවල් දවසේ ගෙදර ඉන්න ඕන නිසා ඒකිගේ අම්මා හැමදාම නයිට් ඩියුටි කරනවා. මම කෙල්ලව බලා ගන්නවා. රෑට නිදා ගන්න ගියාම කතා කියන්න ඕන. මම ඉතින් වැඩ කරලා මහන්සි වෙලා ආවත් කෙල්ල දැක්කම ඒවා සේරම නැති වුනා. මගේ ඔඩොක්කුවේ ඉඳ ගෙන අර කතා අහනවා මහ රෑ වෙන කම්. දැන් නින්ද යයි, දැන් නින්ද යයි, කියලා හිතුවත් ඇස් දෙක ෆුල් ඇරගෙන මගේ කට දිහාව බලාගෙන හිනා වෙවී කතා අහනවා.
එයා ආසම කරන කතාවක් තිබුනා පොඩි ගමරාලයි ලොකු ගමරාලයි කියලා. අර රෑ පැල් රකින කොට ලොකු ගමරාලගේ බත් මුල බලෙන් කන්න ආපු, කොටියාගේ පස්ස පැත්ත, පොඩි ගමරාල කියන මල්ලී රත් වෙච්ච යකඩෙන් පුච්චන කතාව. මම ඒ කතාව දැන් කියන්න යන්නේ නෑ දිග වැඩි නිසා. ඒ කතාවත් ටිකක් මේ දවස් වල ඉන්න අපේ පොඩි ගමරාලගෙයි ලොකු ගමරාලගෙයි කතාවට සමානයි. පරණ එකේ පස්ස පැත්ත පුච්ච ගන්නේ කොටියා. අලුත් කතාවේ.... අනේ මන්දා ඕවා කියලා අන්තිමට කේළාම් වලට යනවා.
ඉතින් මේ කතාව කෙල්ලට හැමදාම කියන්න ඕන. අර පස්ස පැත්ත පුච්චන තැනට කිට්ටු වෙන කොට කෙල්ලගේ කටේ හිනාව පුරවලා. මගේ ඇස් දෙක නිදි මතෙන් බර වෙලා.සමහර වෙලාවට නිදි මතේ ටිකක් හරි අමතක වුනොත් “තාත්තා කෝ අර ටික” කියලා කැඩිච්චි වචන වලින් අහනවා ඕයි. මතක් වෙන කොට දැනුත් දුකයි.
ඒ කාලේ මම තමයි හුඟාක් දවස් වලට කෙල්ලව නෑවුවේ. අවුරුදු තුනකට බාල එයාගේ මල්ලීව නාවන දවසෙත් කෙල්ලට ඕන වුනා මල්ලී නාවපු විදියටම නාන්න. ඒකේ ක්ලිප් එකක් මම අමුනලා තියනවා.
ඉතින් ටික ටික ලොකු වෙලා මොන්ටිසෝරි, ඉස්කෝලේ එහෙම එක්ක ගිය ඒවා, ට්රිප් ගිය ඒවා, පස්සේ ලොකු උනාම මට එක එක දේවල් කවපු හැටි, මගේ ඔලුව අතගාපු හැටි, සේරම අර සිංහබාහු සිංදුව ඇහෙන කොට මට මතක් වුනා. සිංහයාට ගල් ලෙනේ පාලුව දැනුනා වගේ මටත් අපේ ගෙදර පාලු වේගන ආපු හැටි මතක් වුනා. තව ඉතිරි වෙලා ඉන්නේ පොඩි එකා විතරයි.
අර සිංදුවේ "ඈත් ගොසින්ය ඈත් ගොසින්ය ...ඇයි සුදු දුවණියෙ උඹ වත් නොහිටියෙ" කියන කොට නම් මට මතක් වුනේ අපිම නේද අපේ එකීට මේ රටින් යන්න කිවුවේ කියලා. ඒ නිසා ඒ කෑල්ල මට අදාල වෙන්නේ නෑ. ඒත් කෙල්ල යන දවසේ මම එයා පෝර්ට් එකට ගියේ නෑ. මට පුලුවන් කමක් තිබුනේ නෑ කෙල්ල යනවා බලා ගෙන ඉන්න. එයා අම්මායි මල්ලිලා දෙන්නායි එක්ක ගියා. ඒ අතින් ගෑණුන්ට මේ වගේ වෙලාවලදී දරා ගැනීමේ ශක්තිය අපිට වඩා ගොඩක් වැඩියි. දුක පෙන්නන්නේ නැතුව ඉන්න පුලුවන්. ඒත් පස්සේ ඇවිත් වැලහින්නක් වගේ ඇඬුවා.
ඉතින් සිංහයා හිතුවා කෙල්ලගේ අයියා තමයි බය කරලා නංගිව අරන් ගිහින් තියෙන්නේ කියලා අහනවා " ඌගේ අණටද කීකරු වූයේ..පෙරලා එනු මැන ඔහුගෙන් ගැලවී" කියලා. ඒත් මම කාගෙන් ගැලවිලා එන්න කියන්නද මගේ කෙල්ලට.
ඒ නිසා මට කරන්න පුලුවන් එකම දේ “අනේ මට මගේ කෙල්ලව ආපහු ගෙන්න ගන්න උදවු කරන්න” කියලා බොලාගෙන් ඉල්ලන එක විතරයි. මම දන්නවා බොලාට ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් විත්තිය උවමනාවක් තියනවා නම්. ඒක කරන්න බොලාට සතයක් වත් වියදම් යන්නේ නෑ. අනේ, මේ වලේ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මම ගැන හිතලා මට මේ උදවුව කරපල්ලා. දුවෙක් දාලා ගියාම තාත්තෙකුට දැනෙන පාලුව මකන්න පුතෙකුටවත්, ලේලි කෙනෙකුටවත් බෑ බං. විශේෂයෙන්ම ජීවිතේ අන්තිම හරියට ඇවිත් ඉන්න තාත්තෙකුට.
මම මගේ කෙල්ලව පිට රටකට යැවුවේ 2009 න් පස්සේ මේ රට යන විදිය, යන විදිය නෙවෙයි අර ගෙන යන විදිය හොඳ නෑ කියලා හිතුනු නිසායි. මේ රට චෞර නායකයින්ට යටත් වුන නිසායි. ඒ කෙල්ලට තියන ආදරය නිසායි. 2015 න් පස්සේ ආපු එවුන් වත් මේක හදයි කියලා හිතුවත් උනුත් අරුන්ම තරම් නැති උනත් ඒ වගේම චෞරයෝ. ඉතින් ආයිත් සැරයක් මේ චෞරයින්ගෙන් කවුරු ආවත් වෙන්නේ අපේ මේ රට ඉවරෙටම ඉවර වෙන එකයි.
ඒ නිසා මුන් දෙගොල්ලාව ආයිත් බලයට නො එන්න එලවලා දාන්න බොලාගේ මීලඟ චන්දය පාවිච්චි කරපල්ලා. මුන් දෙගොල්ලාගෙන් පිට ආණ්ඩුවක් ආවොත් මම රුපියල් කෝටියක් දෙනවා රටේ සංවර්ධනය වෙනුවෙන් අර යුද්ධය දිනාපු වෙලාවේ ලක්ෂ හයක් දුන්නා වගේ.
මේ එක්ක දාලා තියන ක්ලිප් එකෙන් බොලාට පෙනේවි අපි කොච්චර ආදරෙන් හිටියාද කියලා. අනිත් එකෙන් අර සිංදුව අහ ගන්න පුලුවන්. මේ ක්ලිප් දෙකම බලාපල්ලා. එතකොට තේරෙයි මම කියන දේ.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී