මහින්දෙ තමයි අපේ ඉස්කෝලේ

ඔය 65/70 කාලේ අපි ඇටෙන් පොත්තෙන් එලියට එන කාලේ. 68 දෙසැම්බර් වල තිබිච්චි සා.පෙ. විභාගෙන් මම හොඳට පාස් උනා. ඉස්කෝලෙන්ම දෙවෙනි තැනට. ඉංග්‍රීසි පේල් උනා. කොහොමත් අපි ඉංග්‍රීසි පේපර් එක දවසේ පැය බාගෙන් පේපර් එක දීලා ගියා 2.30 සූර චෞරයා කියන පිචර් එක බලන්න. ඒක එදා ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ. ගාමිණී ෆොන්සේකායි සන්ධ්‍යා කුමාරියි තමයි ජෝඩුව. අර මම පස්සේ දවසක කොලඹ ජේ එම් ඕ ඔෆිස් එකේදී මිණිය කපලා සසර කලකිරුණා කියලා කිවුවේ. අන්න එයා. ඉංග්‍රීසිත් පාස් උනා නම් මට එකට එන්න තිබුනා. ඉංග්‍රීසි පාස් වෙන්නේ කොහොමද බං තාත්තා ඉංග්‍රීසි උගන්නන්න ඇවිල්ල මගේ පුටුව පස්සෙන් හිට ගන්නව. පොත වරද්දලා කියන කොට ටොක්කක් අනිනවා. එතකොට මගේ ඇස් වල කඳුලු පිරිලා අකුරු නොපෙනී ගිහිං කියව ගන්න බැරි වෙනවා. එතකොට ආයි ටොකු අනිනවා. එතකොට මම අඬන කොට අම්මා කියනවා ඔය ළමයා නම් ඔය විදියට කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නෑ කියලා. මට ඉතිං ඉංග්‍රීසි කිවුවාම වහ කදුරු වගේ උනා. අවුරුදු 22 ක් හමුදාවේ ඉඳලා ආපු තාත්තා මට උගන්නන්න හැදුවේ ආමි කාරයින්ට උගන්නනවා වගේ. හැබැයි තාත්තාට මට වාර විභාග වලට ලකුණු මදි උනාමත් තද වෙනවා. එක පාරක් 9 පන්තියෙදි මට තිබුනෙ සීයෙන් දාහතයි. ඒක අරං ගෙදර ගියොත් මුලු නිවාඩු මාසෙම ටොකු කන්න වෙන නිසා මම රිපෝට් එක වෙනස් කලා 77 කරලා. තාත්තාට හරි සතුටුයි. ඒ නිසා ඒ මාසේ මම චූන් එකේ අනිත් නෑ කොල්ලොත් හොඳට කෙලි දෙලෙන් ගත කලා.
ආපහු ඉස්කෝලෙට යන දවසේ රිපෝට් එක අම්මාට කියලා අත්සන් කරවා ගෙන ඇල්පෙනෙත්තකින් අර 7 එක කරන්න ඉරි කෑල්ල හූරලා දාලා ටීචට රිපෝට් එක දුන්නාම පොරට ඒක අහු උනා. ඒ සුදුපාට ගුරාට අපි ඒ කාලේ කිවුවේ චීන ගිරවා කියලා. ඉතිං මේ චීන ගිරවා මාව ප්‍රින්සිපල් ලඟට අර ගෙන ගියා. පොර කිවුවා හෙට එන කොට තාත්තා එක්ක එන්න ඕන කියලා. මට දැන් ෆුල් අප්සෙට්. අපෙ ඉස්කෝලේ කිට්ටුවෙන් තමයි ගාල්ල මාතර රේල් පාර තියෙන්නේ. මට හිතුනා ඉස්කෝලේ ඇරිලා ගිහිං කෝච්චියට බෙල්ල තියන්න. ඒත් වාසනාවට මම ඒක යාලුවෙකුට කිවුවාම ඌ මාව උඩ පන්තියක හිටපු උගේ අයියා ලඟට එක්ක ගියා. පොර මට ටවුමේ හිටපු ටැක්සි කාරයෙක්ව අල්ලලා දුන්නා තාත්තා හැටියට ඇක්ට් කරන්න. පස්සෙන්දා පොරත් එක්ක ඉස්කෝලෙට ගිහිං චීන ගිරවාව හම්බ වෙලා යන්තං වැඩේ ගොඩ දා ගත්තා. ඊට පස්සේ කාලෙක මම ගාල්ලේ ඩොකා වෙලා ඉන්න කොට අර ඇක්ටින් තාත්තා ආවා අපේ ක්ලිනික් එකට උගේ බෝලයක වතුර පිරිලා ඒක ඔපරේට් කර ගන්න. පොර මාව අඳුන ගත්තේ නැති උනාට මම ඌව අඳුනා ගෙන අර කතාව කියලා කිවුවා මම අද ජීවත් වෙන්නේ ඔයා නිසා කියලා.ඒ කතාවම මගේ බොසා වුනු සිවම් කියන සර්ජන්ට කියලා ඊලඟ දවසෙම අර ඔපරේෂන් එක කරවලා දුන්නා. දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ විශේෂඥ වෛද්‍ය වරු අපිත් එක්කම ක්ලිනික් එකේ ලෙඩ්ඩු බැලවා මුලු උදේ කාලේම.
ඒ කාලේ දෙසැම්බර් ඕ ලෙවල් කරලා ඉස්කෝලේ වාර විභාගෙන් පාස් වුනු කට්ටය දානවා ඊලඟ අවුරුද්දේ ඒ ලෙවල් ක්ලාස් එකට. පස්සේ ඕ ලෙවල් රිසල්ට්ස් ඇවිත් පේල් උන ඈයෝ යනවා ආයිත් ඕ ලෙවල් ක්ලාස් එකට. ඒ නිසා අද වගේ ළමයින්ට ඉගෙන ගන්න තියන කාලේ දවසක් වත් අහක යන්නේ නෑ. ඒක තමයි සුද්දාගේ ක්‍රමය. ඒත් අද ළමයි සේරම ඉන්න ඕන ඕ ලෙවල් රිසල්ට් එනකම් ගෙදරට වෙලා. නිකම් වයසට යනවා. මේ දැන් ඉන්න ගොන් සුද්දන්ගේ ක්‍රමය. ඉතිං මම අවුරුදු 15 ඉවර වෙලා 16 ලබන කොට ඒ ලෙවල් ක්ලාස් එකේ.මට රුපියල් අනූවකට රිස්ට්ලට් එකක් අරං දුන්න. දිග කලිසමක් මහලා දුන්න. ඒත් ඉස්කෝලෙට ඇන්දේ කොට කලිසම. ඒ හින්දා ඒ ලෙවල් කලාට රිස්ලට් එකක් දැම්මාට මං දිහා කෙල්ලෙක් වත් බැලුවේ නෑ ඕයි. පංතියේ අනිත් ඈයෝ කෙල්ලන්ට ලියුම් ලියනවා "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි" කියලා.මම හූල්ල හූල්ල ඉන්නවා එහෙමවත් එකක් නැතුව. අනික මම තමයි පන්තියේ බාලම එකා. මාත් එක්ක තව දෙන්නයි හිටියේ කොට කලිසම් අඳින.

අපිට සූලොජි උගන්නන හිටියේ විමලසේන කියලා පොරක්. ඒ උනාට ඌට සූලොජි බෑ. ඌ මිටි පොරක් නිසා අපි ඌට කිවුවේ අලයා කියලා. දවසක් මම අලයාගෙන් ගිහිං ඇහුවා සර් ගැඩවිලාගේ වටනයයි ඇම්පියොක්සගේ ග්‍රසනිකාවයි කොහොමද සංසන්දනය කරන්නේ කියලා. මූ ටිකක් වෙලා මගේ දිහා බලා ගෙන ඉඳලා ඇහුවා මොකක්ද ගැඩවිලාගේ වටනයයි අනිත් එක මොකක්ද කියලා. මම කිවුවා සර්ගේ ඔලු ගෙඩිය කියලා. අලයා මාව පංතියෙන් එලවලා දැම්මා. ඌ ලොකු එවුන්ව මොනවා කිවුවත් එලවන්නේ නෑ මම පොඩි එකා නිසා එලෙවුවා.තව දවසක් අලයා බෝඩ් එකේ ලිය ලිය ඉන්න කොට මගේ ලඟ හිටපු ලොකු එකෙක් ඌට කුණු තුවායකින් ගැහුවා. එතකොටම පොර අපි පැත්තට හැරෙන කොට අර තුවායෙන් පොරගේ මූණ වැහුනා. පොර ඒකටත් මාව එලෙවුවා. මට ඕන නම් අරූව අල්ලලා දෙන්න තිබුනා ඒත් ඒ කාලේ කවුරුත් බලා ගෙන හිටියේ උගේ ක්ලාස් එක කට් කරන්න.මොකද පොර කියන ඒවා කාටවත් ඇහෙන්නේ නෑ.

ඔහොම ඉන්න අතරේ අපේ ඕ ලෙවල් රිසල්ට්ස් ආවා. කලින් අවුරුද්දේ ඕ ලෙවෙල් පේල් වෙලා මේ පාර රිසල්ට් වලින් පාස් වෙච්ච කොල්ලෝ ටිකකුත් ආවා අපේ පන්තියට.උන් හුඟාක් ලොකු උන්. උන්ගෙන් සිල්වා කියලා එකෙකුයි ලේකම්ගේ කියලා පොරකුයි මට හොඳට සෙට් උනා. දවසක් සිල්වා මගෙන් ඇහුවා බොට පීනන්න කියලා මම කිවුවාම බෑ කියලා ඇහුවා පොල් ගස් නගින්න පුලුවන්ද කියලා මම කිවුවා පොල් ගස් නම් බෑ ඒත් අනිත් ගස් පුලුවන් කියලා. මූ ඇහුවා තෝත් මිනිහෙක්ද යකෝ. හිටපං මං උඹට උගන්නනම් කියලා. ඒ කාලේ හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සේ තියෙන්නේ ප්‍රැක්ටිකල්. පස්සේ අපි හතර පස් දෙනෙක් පුරුදු උනා සූලොජි දවස් වලට ඒක කට් කරලා සිල්වා එක්ක ගිහිං ගිං ගඟේ පීනන්න යන්න. මුලින් දවසේ ගඟේ හරහට තිබුන ඔරුවක් දිගේ ගිහින් කොල්ලෝ වතුරට පැනලා ඔලුව උඩතියා ගෙන ඉන්නවා. සිල්වා කිවුවා උඹත් පැනපං කියලා. මමත් අර විදියට පැනා. බලන කොට එතන ගැඹුරු තැනක්. අර අනිත් එවුන්ට පුරුදු වෙලා වතුර උඩ ඉන්න පුලුවන්. මම හරියට අර ෆිසික්ස් වලදී පාවිච්චි කරන නිකල්සන් ද්‍රව මානය වගේ වතුර උඩට එනවා යටට යනවා ආයිත් උඩ එනවා යට යනවා. හොඳට වතුර පෙවුනාම සිල්වා මාව ගොඩට අරන් ඇහුවා බොට දැන් තේරුනාද පීනන්න පුරුදු වෙන එකේ වටිනා කම කියලා මම ඔවු කිවුවාම පොර මට පීනන්න ඉගැන්නුවා. ඔය වගේම පොරගේ ගම වුනු බූස්සේ රේස් කෝස් එකේ තිබුනු පොල් ගස් වලට නග්ගලා ඒකත් පුරුදු කලා. ඒවා මහා භයානක දේවල් කියලා පස්සේ තේරුණත් මම මිනිහෙක් උනේ පොර නිසා.

බලපල්ලා අද සෑහෙන්න පිට ගියා. පිට යන එකට මම කැමති නැති උනත් බොලා සමහරක් පිට යන්න කැමති නිසා කමක් නෑ.

කොහොම හරි සිරිමාගේ සමගි පෙරමුන ආවාට පොරොන්දු උනු විදියට හාල් සේරු දෙකක් නිකං දුන්නේ නෑ. අර ඩඩ්ලි දීපු එක විතරයි. හැබැයි බුද්ධාමට සලකන්න කියලා සෙනසුරාදා ඉරිදා වෙනුවට පෝය දවසයි ඊට කලින් දවසයි නිවාඩු දෙන්න පටන් ගත්තා. හැම සතියකම පෝය දවසත් ඊට කලින් දවසත් ඉරිදා සෙනසුරාදා වෙනුවට නිවාඩු දවස් කරා. මෙහෙම ගත්තාම සමහර සුමාන වලට වැඩ කරන දවස් 6 ක් එනවා. මාර කචල්. ඒ කාලේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනුවට පෝයට පසු දින පෝයට පසු දෙවන දින, පෙර පෝය දින වගේ අමුතුම දින සෙට් එකෙක් ආවා. ඉංග්‍රීසියෙන් ප්‍රී පෝය පෝස්ට් පෝය. පී +1, පී+2, පී+ 3 වගේ දවස් හඳුන්වන කුණුහබ්බ සිස්ටම් එකක් ආවා. අපේ ඉස්කෝලේ ඉහලම තැන බෝඩ් එකක් දාලා ඒකේ අර විදියට ඉංග්‍රීසි පී+1 කියලා දිනපතා දානවා. ඉතිං අපිට සතියේ දවස් කියා ගන්න මාර අමාරුවක් ආවා. ඉස්සර සතියේ තුන් වෙනිදාට බදාදා කිවුවා වගේ අපිට කියන්න උනේ මචං පෝය පහු වෙලා තුන්වෙනි දවසේ එන්නම් කියලා. අර කොලඹ ඉන්න මොඩ් ඈයෝ කිවුවේ අයි විල් කම් ඔන් පෝස්ට් පෝය තර්ඩ් ඩේ කියලා. මාර අච්චාරුවක් තමයි. අර බණ්ඩාරනායක මහත්තයාගේ සිංහල පමණයි රාජ්‍ය භාෂාව කිවුවා වගේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී