Healthy food habits

මට ඊයේ අලුත්ම බද්දක් ගෙවන්න උනා බං. ඒත් මම ඒකෙන් බාගයක් විතරක් ගෙවලා ශේප් උනා අර මගේ දක්ෂ කමින්. ඕක කියන කොට මට මතක් උනේ අපි ඉස්කෝලේ යන කාලේ අහපු කතාවක්. මතක් වෙච්ච එකේ ඒකත් ඔන්න ඔහේ කියලා දාන්නම්.
ඔන්න එකෝමත් එක ගමක හිටියාලු තමන්ම පොර වෙච්ච පොරක්. ඉතින් මෑන් දවසක් කොලඹ ගිහින් ඇවිල්ලා හෙන කයියක් දෙනවාලු "අඩෝ බොලා දන්නවාද මම කොලඹ ඉන්න එවුන්වත් ගොනාට අන්දවලා උන්ටත් ගේමක් දීලා ආවේ" කියලා. අනිත් එවුන් බොහොම උනන්දුවෙන් ඇහුවාලු කොහොමද ඒ කියලා. එතකොට මෑන් කියනවා මම කොලඹ ඇවිදගෙන යනකොට තිබුනා මචං අහසේ ගෑවෙන තරම් උස බිල්ඩිමක් . ඉතින් මම ඒක දිහා බලා ගෙන ඉන්න කොට කොලඹ පොරවල් වගයක් ඇවිත් "අඩෝ මේවා ලක්ෂ ගනන් දීලා හදන්නේ උඹලාට නිකම් බලන්න නෙවෙයි. එක තට්ටුවකට රුපියලක් ගන්නවා. කියපන් තෝ කීවෙනි තට්ටුව දිහාද බලා ගෙන හිටියේ කියලා ඇහුවාම මම කිවුවා පස් වෙනි තට්ටුව දිහා කියලා. ඒ පාර උන් එහෙනම් දීපිය රුපියල් පහක් කියලා මගෙන් රුපියල් පහක් අර ගත්තා” කියලා. මේක අහගෙන හිටපු අර ගමේ සෙට් එක මුගෙන් ඇහුවාම එහෙනම් උඹ කිවුවේ උන්ට උඹ ගේමක් දීලා ආවා කියලා, බලන කොට උඹටනේ උන් ගේම දීලා තියෙන්නේ කියලා අරූ කිවුවාලු ඒක තමයි බං මම කිවුවේ අරුන්ට පස් වෙනි තට්ටුව කියලා කිවුවාට මම ඇත්තටම බලා ගෙන හිටියේ දාහතර වෙනි තට්ටුව දිහායි. ඒකෙන් උන්ට රුපියල් නවයක් පාඩු කලා කියලා. (අපි මේ කතාව අහන කාලේ රුපියලක් කියන්නේ හෙන ගානක්. ප්ලේන් ටී එකක් සත පහට, හාල් කිලෝවක් සත පනහට තිබිච්ච කාලේ. අරූ බලා ගෙන ඉඳලා තියෙන්නේ ඒ කාලේ ලංකාවේ උසම බිල්ඩිම උන සෙලින්කෝ එක දිහා. අද ගනං වල හැටියට නම් තට්ටුවකට රුපියල් දාහක් වත් ගන්න වෙනවා. ඒ වගේම ඔය ගේම, සෙට් එක, ආතල් වගේ වචන තිබුනෙත් නෑ. ඔය රත්ගම බලපිටිය වගේ පැතිවල පාවිච්චි කරන වචන සෙට් එකක් නම් තිබුනා. ඒත් ඒවා පෝස්ට් වල දාන්න බෑ බං. මොකද බොලාගේ පොඩි එවුනුත් මේවා බලනවානේ.)
ඉතින් මම ඊයේ වෙනදා වගේම හවස වැඩ ඉවර වෙලා පයින් ගෙදර එන කොට තමයි ඔය බද්ද ගෙවන්න උනේ. ඊයේ හවස වෙනදා තරම් වැඩ තිබුනේ නැති නිසා මම හිටියේ ටිකක් කම්මැලි කමින්. හතරට මගේ රාජකාරි ඉවර උනත් ඒ වෙලාවට අවුව වැඩි නිසා මම පහට තමයි එලියට බහින්නේ. අවුවේ ගියාම කලු වෙනවානේ බං. ඒත් ඊයේ මගේ ගොන් කමට හතර හමාරට විතර ෆේස් බුක් එකේ යාලු බඩ්ඩක් එක්ක චැට් එකකට සෙට් උනා. ඉස්සර ඉඳන්ම මට තිබුන ප්‍රශ්නයක් තමයි බඩ්ඩක් එක්ක කතාවට සෙට් උනාම වෙලා යනවා තේරෙන්නේ නෑ. හිතෙන්නේ විනාඩි පහක් වත් ගිහින් නෑ කියලා ඒත් බලන කොට පැයක් විතර ගිහින්. ඉතින් ඒ කාලේ මට සෑහෙන්න බස්, ලෙක්චර්ස් මිස් වෙලා තියෙනවා බඩු එක්ක කතාවට ගිහින්. ඒ නිසා මම ඒ කාලේ සෑහෙන්න පොත් කියවලා බැලුවා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. අපේ කාලේ දැන් වගේ ඕනම දෙයක් ගූගල් කරලා බලන්න පහසු කම් තිබුනේ නෑ නේ. ලයිබ්‍රරියකට ගිහින්ම තමයි බලන්න උනේ. ඒ නිසා ඒ කාලේ අපි හැම දේකටම ගියේ කොල්ලුපිටියේ තිබුනු බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ලයිබ්‍රරියට. අද ඒක තියෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ.
පොත් එකින් එක බලා ගෙන යන කොට මට අහු උනා ඇල්බට් අයින්ස්ටයින් කියන මහාචාර්ය වරයා කියලා තිබිච්චි එකක්. පොර තමයි සාපේක්ෂතා වාදය හොයා ගත්තේ. පොර කියලා තිබුනා කාලය ගත වෙන්නේ පරිසරයට සාපේක්ෂවයි, එහෙම නැතුව හැම විටම එක සමානව නෙවෙයි කියලා. ඒ කියන්නේ තමන් ඉතාම හිතකර පරිසරයක ඉන්න කොට කාලය ඉක්මනින් ගත වෙන නිසා තමන්ට දැනෙන්නේ තමන් හරිම ටික වෙලාවයි එතන හිටියේ කියලා. ඒ කියන්නේ කාලය ගත වෙනවා දැනුනේ නෑ. තමන් කැමති නැති තැනක ඉන්න කොට දැනෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හුඟාක් වෙලා ගියා කියලා. ඉතින් අයින්ස්ටයින් කියන්නේ ඇත්තටම වෙන්නේත් ඒකම තමයි කියලා. කැමති තැනක, දන්න කියන පරිසරයක ඉන්න කොට එහෙම නැත්තම් තමන් ආසා කරන වැඩක් කරන කොට කාලය ගත වෙන්නේ අඩුවෙන් කියලා. ඒ වගේම අකමැති තැනක නුපුරුදු පරිසරයක ඉන්න කොට, තමන් අකමැති වැඩක් කරන කොට ගොඩක් කාලය ගත වෙනවා කියලා.
මේවා මුලින්ම කියවන කොට මගේ ඔලුව මෙවුවා වෙලා ගියා බං එහෙම කොහොමද වෙන්නේ කියලා. පස්සේ තමයි මම තේරුම් ගත්තේ අපිට මේ අවුල ඇති වෙලා තියෙන්නේ අපි මේ පාවිච්චි කරන ඔරලෝසුව කියන කෙහෙල්මල හින්දා කියලා. මිනිස්සු ඔරලෝසුව හදලා තියෙන්නේ කාලය ඒකාකාරීව යනවා කියන උපකල්පනය මතයි. ඒ නිසා දවසක් විසි හතරකට බෙදලා පැයක් කියනවා. ඒක හැටකට බෙදලා විනාඩියක් කියනවා. නමුත් පරිසරයට සාපේක්ෂව ගත වෙන කාලය එක සමාන නෑ. හොඳ ඒ සී කරපු කාමරයකයි, ගිනි රස්නේ ගහන කාමරයකයි දෙන්නෙක් දාලා විනාඩි පහක් ඉන්න කියලා කිව්වොත් අර ගිනි රස්නේ ඉන්න එකා විනාඩි දෙකක් යන කොට කෑ ගහයි "යකෝ තාම විනාඩි පහ ගියේ නැද්ද" කියලා. අනිත් එකා විනාඩි පහකින් එලියට ගත්තාම අහයි "ඔච්චර ඉක්මනට විනාඩි පහක් ගියාද මෙයා, අනේ බොරු කියන්න එපා " කියලා.
මේක තවත් හොඳට තෙරුම් ගන්න පුලුවන් දැන් අපි කවදාවත් නොගිය පලාතක තැනකට යන කොට හෙන දුරක් ආවා වගේ දැනුනාට ඒ දුරම ආපහු එන කොට දැනෙන්නේ යන කොට ගියපු තරම් කාලයක් එන කොට ගියේ නෑ කියලා. හැබැයි ඔරලෝසුවට අනුව නම් එක වගේම කාලයක් ගිහින්. මෙතන්දි වුනේ අපි ඉස්සෙල්ලාට වැඩිය අර පරිසරයට ටිකක් හුරු වුනු එකයි. අන්න ඒ නිසයි මටත් කිමී හතහමාරක් එන එක ගානක් නැත්තේ. දකින තැන් පුරුදුයි. දකින පොරවල් පුරුදුයි. අර මම කලින් කිවුවා වගේ. සමහර විට වෙන පලාතක ඒ දුරම ගියොත් අනිවාර්යයෙන්ම වෙනසක් දැනේවි.
මෙන්න මේ නිසායි ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ තමන් ඉතා කැමති තැනක, කැමති අය එක්ක, කැමති වැඩක් නැත්තම් රාජකාරියක් කරන අය අර ඒකේ අනිත් පැත්ත තියන අයට වඩා අඩුවෙන් වයසට යනවා කියලා. ඒ කියන්නේ හිතකර පරිසරයක් ඉන්න අය නාකි වෙන්නේ හෙමින් කියලා. හරියට අර සීතල කාමරෙයි පිච්චෙන කාමරෙයි දාලා හිටපු දෙන්නා වගේ. ඔය සමහර පොරවල් ඉන්නේ වයස ගියාත් කියන්න බැරි. ඒ වගේම සමහර තරුණ පොරවල් හුඟාක් වයස පේන. මම හැමදාම වගේ මගේ ලඟට එන ඔය වගේ අයව දකිනවා. ඒකනේ බං ඔය දේශපාලුවෝ බලයේ ඉන්නකොට නියමෙට ඉඳලා පැරදිලා වැඩි කල් යන කොට ආත්තම්මලා, සීයලා වගේ වෙන්නේ. ඒකනේ උන් කොහොම හරි ආයිත් බලයට එන්න වලි කන්නේ. බොලාට තේරුනාද. (අනේ මන්දා මේ දේශපාලුවෝ ගැන දාලා දොවා ගත්ත කිරි ටිකට ගොම වැටුනා වත්ද කියලා).
ඉතින් ඒ හින්දා මම කියන්නේ පුලුවන් තරම් තරම් සතුටින් ඉන්න පුලුවන් විදියට තමන් ඉන්න පරිසරය හදා ගන්න කියලා. තමන් කරන රස්සාවෙන් ආතල් එකක් ගන්න විදියට සෙට් කර ගනිල්ලා කියලා. මම කිවුවේ ආතල් ගන්න මිසක් සම්තින් එකක් ගන්න නෙවෙයි. ගෙදර ගියාම උනත් සතුටින් ඉන්න විදියට සෙට් කර ගන්න කියලා. මොකක් හරි සෙට් කර ගන්න කියලා. ඕං මට ආයිත් ඒ කාලේ අහපු කතාවක් මතක් උනා බං. එක ඔෆිස් එකක වැඩ කරන පොරක් දවස පුරා හරිම අමාරුවකින් ඉන්නවාලු. යාලුවෝ එක්ක ෆුල් ජොලියේ හිටියත් යාලුවන්ට පේනවාලු මූ ඉන්නේ ඒතරම් සනීපෙකින් නෙවෙයි කියලා ඇහුවාලු උඹට මොකක් හරි අසනීපයක් තියනවා වගේ පේනවා. එහෙම නම් යමන් දොස්තරෙක් ලඟට කියලා. එතකොට මෑන් කිවුවාලු නෑ බං අසනීපයක් නෑ. මගේ මේ සපත්තු දෙක හරිම හිරයි, ඒකට කකුල කැපිලා අමාරුවෙන් ඉන්නේ කියලා. එතකොට යාලුවෝ කිවුවාම ඉතින් එහෙනම් ඕක ගලවා දාපන්කෝ වැඩේ ඉවරයිනේ කියලා අරූ කිවුවාලු එහෙම කොහොමද බං මට ගෙදර ගියාම තියන එකම සතුට සැනසීම මේක ගලවන එක විතරයි. ඉතින් කොහොමද මෙහෙදි ගලවලා කියලා. බලපල්ල කොච්චර ඤානවන්ත එකෙක්ද. ඌ දන්නවා ගෙදරදී සැනසීම ලබා ගන්න විදිය. අනිත් හුඟක් එවුන් කරන්නේ බෝතලයක් ගහලා හතර ගාතෙන් යන එක.
ඔන්න බලාපල්ලා අර බඩ්ඩක් එක්ක කතා කරපු එක කියන්න ගිහිල්ලා පිට ගියපු දුර. සාමාන්‍යයෙන් මම ඔෆිස් එකෙන් එලියට එන්න කලින් ඔක්කොම ශරීර කෘති කරලා තමයි ජොගිං කිට් එකට බහින්නේ. ඒත් ඊයේ අර බඩ්ඩ හින්දා හුඟාක් වෙලාවක් ගිය නිසා කෙලින්ම කිට් එකට බැහැලා ආවා. මගක් හරියට එන කොට අප්සෙට් වෙනදා වගේ හයියෙන් ඇවිදින්න අමාරුයි. ඒ නිසා ගූගල් කරලා ඩවුන්ලෝඩ් පාරක් දාන්න හිතා ගත්තා. සාමාන්‍යයෙන් මම යන පාරෙ ෆ්‍රී වයි ෆයි කලාප තියන තැන් මම දන්නවා. එකක් තමයි බුලර්ස් පාරේ යුනිවසිටි එක. ඊලඟට ආකේඩ් එක ඇතුලේ. තව කනත්ත ඉස්සරහින් කෝට්ටෙට යන පාරේ තියන අලුත් ජයරත්න පාලර් එක. එතන ෆ්‍රී ඩවුන් ලෝඩ් කරලා එන ගමන් ෆ්‍රී නෙස්කැෆේ එකකුත් ගහන්න පුලුවන් හැබැයි ඒකට එතන කාගේ හරි මිනියක් තියෙන්න ඕන. නැත්නම් වයි ෆයි ඕෆ්. රනිල්ට කියන්න ඕන ඒකත් ෆුල් ටයිම් කරලා දෙන්න කියලා ඊලඟ චන්දෙදි වත්.

කොහොමෙන් කොහොම හරි අර බද්ද වැදිච්චි හැටිත් බාගයක් ගෙවලා බේරිච්ච හැටිත් මම හෙට කියන්නම්. මීට පස්සේ නම් කිසිම බඩ්ඩකට කතා කරන්නේ නෑ එන්න කිට්ටුව. මට බද්ද වැදුනෙත් ඒ හින්දා. ඒ වගේම අද කතාව ඉවර කර ගන්න බැරි උනෙත් ඒ ගැන කියන්න ගිහිල්ලා. චැට් නොකර හිටියා නම් මේ මොනවත් නැතුව මේ වෙලාවට මම නිදි අර පහු ගිය දවස් වල වගේ. දැන් ඉතින් හෙටත් ලියන්න එපැයි ඉතුරු ටික.


කොහොම හරි මම දත්මිටි කාගෙන ගියා ලඟම තිබිච්චි ආකේඩ් එකේ ෆ්‍රී වයි ෆයි කලාපයේ තිබුණු ඩවුන්ලෝඩ් කරන තැනට. වෙනදා හිටියේ නැති දුඹුරු පාට යුනිෆෝම් ගහපු පොරක් හිටියා. මම ඇතුලට යන කොට පොර කිවුවා ගෙවන්න ඕන කියලා. මම ඇහුවාම කීයද කියලා නම්බර් වන් නම් විස්සයි නම්බර් ටූ නම් හතලිහයි කියලා. ඒ එක්කම තව එක්කෙනෙකුත් මාත් එක්කම ඇතුලට ගියා. මම ඉක්මනටම ගිහින් මගේ නම්බර් ටූ එක ඩවුන්ලෝඩ් කරා ෆුල් ස්පීඩ් එකේ. සාමාන්‍යයෙන් මගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හරි වැඩියි. කොහොම හරි මම එලියට එන කොට අර නම්බර් වන් එකා තාමත් ඩවුන් ලෝඩ් කරනවා. මම එලියට ඇවිත් අරූට විස්සක් දීලා අවා. ඌ ඇහුවා ටිකට් එකක් ඕනද කියලා ඒ ගානට. මම කිවුවා එපා කියලා. ඌ ලඟ පනහේ, විස්සේ කොල තොගයක් තියනවා දැකලා රුපියල් දාහේ කොලයක් මාරු කර ගන්න හිතුනත් ඕවා කොහේ කොහේ ගෑවිච්ච ඒවාද කියලා දන්නේ නැති නිසා නිකම් හිටියා. පව්නේ බං ඒවා මගේ යාලුවාට ගිහින් දෙන එක.
මොකද බොලා කියන්නේ මම එතෙන්දි වංචාවක් කලා කියලාද. එහෙම නැත්තම් මම අවංක උනේ නෑ කියලාද. නෑ මම එහෙම කලේ මම ගොඩක් වෙලා වයි ෆයි කලාපයෙ රැඳුනේ නැතිව ඉක්මනට මගේ වැඩේ කරගෙන ආපු නිසායි. එහෙම නැතුව ගොඩක් වෙලා ගියා නම් අරූ කවදාවත් විස්ස ගන්නේ නෑ. ඌ දන්නව වන් වලටයි ටූ වලටයි ඩවුන්ලෝඩ් කරන්න යන වෙලාවල්. ඌ නිකමටවත් හිතුවේ නෑ මම පොඩි වෙලාවකදී ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඇති කියලා. සාමාන්‍ය එවුන් තත්පරයට කිලෝ බයිට් වලින් කරන කොට මම මෙගා බයිට් වලින් ඩවුලෝඩ් කරනවා. ඒත් පෙරෙදා මම හිතන්නේ ගෙගා බයිට් එකක විතර ස්පීඩ් එකක් තිබුනා.
මගේ මේ හයි ස්පීඩ් ඩවුන් ලෝඩිං නිසා ඕනම තැනක ගියාම මට හරි පහසුයි. ඉස්සර මම රත්නපුරේ වැඩ කරන කාලේ මාසෙකට සැරයක් සිරීපාදේ යනවා. උදේට මලුවේ තියන ඩවුන්ලෝඩ් කලාපයේ පොරවල් පෝලිමේ ඉන්නවා ඇඹරි ඇඹරී. ඉතින් ස්පීඩ් අඩු එවුන් ගියාම සෑහෙන වෙලා යන කොට එලියේ ඉන්න එවුන්ට මල පනිනවා. නෑ නෑ මළ නෙවෙයි බං මල. හුඟාක් පරක්කු වෙච්ච වෙලාවට තමන් ඉන්නේ සමන් දෙයියන්ගේ අඩවියේ කියන එකත් අමතක වෙලා අම්මා මෝ නැතුව බනින වෙලාවලුත් තියනවා. ඉතින් මම ගිහින් ඉක්මනට එනකොට ඊලඟට පෝලිමේ හිටපු එකාට ෆුල් හැපි. හුඟාක් වෙලාවල් වල මගෙන් යාලුවෝ අහලා තියනවා උඹ කොහොමද බං ඔච්චර ඉක්මනට එන්නේ හරියට අතේ අරගෙන ගිහින් දානවා වගේ කියලා.
මම දැන් කියන්නම් කොහොමද දුර්වල වයි ෆයි කලාපයදී උනත් හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන රහස. සාමාන්‍යයෙන් අපි ඩවුන්ලෝඩ් කරන්නේ දවස පුරා අපි අප්ලෝඩ් කරන ඒවායින් ඉතුරු වන හරියනේ. ගොඩාක් ඉතුරු වෙන දේවල් අප්ලෝඩ් කර ගත්තාම ඩවුන්ලෝඩ් කරන ඒවා ගොඩාක් හැදෙනවා. එතකොට එක මවුස් ක්ලික් එකෙන් සේරම ඩවුන්ලෝඩ් වෙනවා. ස්පීඩ් එක තියෙන්නේ තත්පරයට මෙගා බයිට් වලින්. අර අඩුවෙන් ඩවුන්ලෝඩ් මැටීරියල් හැදෙන උන්ගේ ස්පීඩ් එක තත්පරයට කිලෝ බයිට් දහයක් පහලවක් විතර. උන්ට එක මෙගා බයිට් එකක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩියක් යනවා.

ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුවෙන එක ශරීරයට හොඳ නෑ. එකක් ඩවුන්ලෝඩ් කරන්න හුඟාක් තටමන කොට ඔය හෙර්නියා වගේ ලෙඩ හැදෙන්න පුලුවන්. ඒ වගේම බඩවැල පාත් වෙන්නත් පුලුවන්. මම දැකලා තියනවා එහෙම වෙච්ච උන් සෑහෙන ගනනක්. ගිහින් තටමන කොටම බඩවැල් එලියට පනිනවා. අතින් ඇතුලට දාගන්න ඕන. ඒක හදන්න ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අනිත් එක තමයි බඩවැල් පිරෙන්න ඩවුන්ලෝඩ් මැටීරියල් නැති උනාම බඩවැල් වලටත් ඒක බලපානවා. බඩවැල් වල ඇතුලත් බිත්තිවල තියන නොයෙකුත් විෂ ද්‍රව්‍ය, ඒ වගේම පිලිකා කාරක ද්‍රව්‍ය ඉවත් වීමක් වෙන්නේ නෑ. බඩවැල් අරවායින් පිරිලා තියන කොට අර බිත්ති වල තියන සේරම දේවල් ඒවා එක්කම යනවා. හරියට කාණුවක වතුර යනවා වගේ. යන්තම් වතුර ගලාගෙන යන කාණුවක දිය සෙවෙල් බැඳිලා, පොලිතීන් කෑලි, මඩ රැඳිලා තියනවා. ඒත් ලොකුවට වතුර පාර ගලාගෙන යන කාණුවල එහෙම නෑ. මොනවත් රැඳෙන්නේ නෑ. බිත්තිවල දියසෙවෙල් නෑ. බඩවැලුත් අන්න ඒ වගේ තමයි. බොලාට තේරුණාද. අනිත් එක අර වගේ පිරිච්ච කාණුවක වතුර කාණුවෙන් එලියට යන හැටි බලන්න ලස්සනයි. හෝස් ගාලා ගහ ගෙන යනවා. ඒත් අර ටිකක් වතුර ගලා ගෙන යන එකේ වතුර චුරු චුරු ගාලා ඔහේ වැක්කෙරෙනවා. අරකත් ඒ වගේ තමයි. එක පාරට ගෙගා බයිට් දෙක තුනක් ඩවුන් ලෝඩ් වෙන කොට තියන ආතල් එක දන්නේ එහෙම කරන එවුන් විතරයි. ඒක වෙනමම ආතල් එකක්. එහෙම නැතුව ස්පීඩ් අඩු එවුන් එලියට එන්නේ දත් මිටි කකා තරහින්.
සමහරුන්ට ඩවුන්ලෝඩ් කරන්න යන කොට සිගරට් එකක් හරි පත්තරයක් හරි ඕන. සමහරු මුලු පත්තරේම කියවලා ඉවර උනත් ඩවුන්ලෝඩ් කරන එක ඉවර නෑ. ඉස්සර මාත් එක්ක වැඩ කරපු ලේඩි ඩොක්ටර් කෙනෙක් කිවුවා එයාගේ මහත්තයා පත්තර දෙකක් ෆුල් කියවනවාලු ඩවුන් කරන අතරේ. මම කිවුවා ටීවී එකක් හයි කරලා දෙන්න කියලා අර මෙගා ටෙලියක් බලන්න. අර සිරසේ යන එකක් බැලුවා නම් කටිනුත් ඩවුන් ලෝඩ් කරන්න පුලුවන් නිසා.
කොහොමද ඩවුන් ලෝඩ් මැටීරියල් වැඩිපුර හදාගන්නේ. අපි කෑමට ගන්නා එලවලු, පලතුරු, නිවුඩු හාල්, පලා වර්ග වල තියන කෙඳි සිංහලෙන් කියනවා නම් ෆයිබර් එහෙමත් නැත්නම් සෙලියුලෝස් දිරවන්න අවශ්‍ය කරන එන්සයිම අපට නැති නිසා ඒවා ඉතිරිවෙලා අර මැටීරියල් හැදෙනවා. ඉතින් ඒවා වැඩිපුර කන අයට අරවා වැඩිපුර හැදෙනවා. ගෙඩිය පිටින් එක පාරටම ඩවුන්ලෝඩ් වෙනවා. ෆුල් ආතල්. කෙඳි නැති පිටි වලින් හදපු පාන් බනිස්, සුදු නිවුඩ්ඩ නැති හාල්, නූඩ්ල්ස්, පීසා වගේ ආහාර වලට කියනවා ශුද්ද කරන ලද ආහාර සිංහලෙන් කියනවා නම් රිෆයින්ඩ් ෆුඩ් කියලා. එහෙම ඒවා ගන්න අයට තමයි අර පත්තර අරගෙන ඩවුන්ලෝඩ් කරන්න යන්න වෙන්නේ. ඒ ගියත් ඩවුන්ලෝඩ් කරන එකේ කිසි ආතල් එකක් නෑ. නිකං පටි වගේ කෑලි කැඩි කැඩි තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ආතල් නැති උනත් කමක් නෑ කියමුකෝ අර මම කලින් කිවුවා වගේ බඩ වැල් හරියට පිරිසිදු නොවෙන නිසා ඒවාට වෙන හානිය.
අපි මෙඩ්ඩෝ කාලේ ඔය රිෆයින්ඩ් ෆුඩ් ගන්න යුරෝපීය රට වල ඉන්න අයට හැදෙන ඒත් අපි වගේ රට වල අයට නොහැදෙන ලෙඩ ගැන කියලා දීලා තියනවා. ඩයිවර්ටිකියුලර් ඩිසීස් Diverticular disease කියන බඩවැල් වල බිත්ති වල හැදෙන එලියට නෙරායාම් එයින් එකක්. මේක හරියට අර සමහර බයිසිකල් ටයර් වල හුලං ගැහුහම එලියට ගෙඩි වගේ නෙරනවා වගේ බඩවැල් බිත්තිත් එලියට නෙරනවා. ඊට පස්සේ ඒවා ඇතුලේ අසූචි හිරවෙලා පැසවලා තුවාල හැදෙනවා. ඒක මහා කරුම ලෙඩක්. සමහර වෙලාවලට මුලු බඩවැලම අයින් කරලා ඩවුන්ලෝඩ් කරන තැන හදනවා බඩෙන්. ඒ වගේම බඩ වැල තුවාල වෙන අල්සරටිව් කෝලයිටිස් Ulcerative Colitis, පිලිකා වගේ දේවල් ගැනත් අපට ඉගැන්නුවා. ඒ කාලේ අපේ රටේ තිබුනු ආහාර රටාව අනුව අපේ රටේ මේ වගේ ලෙඩ නෑ කියලා තමයි අපේ ගුරුවරු අපට ඉගැන්නුවේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ දකින්න නැති යුරෝපීය රටවල තියෙන තවත් ලෙඩ ගැනත් ඉගැන්නුවා. ඒත් මම අද කියන්නේ මේ ඩවුන්ලෝඩ් කරන මාතෘකාවට අදාල දේ විතරයි.
ඒ කාලේ අපේ රටේ තිබුනු ආහාර රටාව අනුව අපි ගත්ත ආහාර වල ඕන තරම් කෙඳි තිබුනා. ඒ කාලේ කොල මැල්ලුමක් නැති එක ආහාර වේලාවක් වත් නෑ. ඕනම කෙනෙකුට ඕන තරමක් කොල ඕනම ජාතියකින් හොයා ගන්න පුලුවන් කිසිම වියදමක් නැතිව. ඒ වගේම හැම දාකම වගේ කොස්, දෙල් වගේ ඒවා තියනවා. කොහිල අල, දලු, බන්ඩක්කා, වැටකොලු,අලු කෙසෙල් වල මොය, ගෙඩි, ලෙලි, කෙසෙල් බඩ වගේ දේවල් තමයි ඒ කාලේ වැඩි හරියක් කෑමට ගත්තේ. ඒ නිසා පුරෝලා එකක් ඩවුන්ලෝඩ් කරනවා. ඒ කාලේ හරකෙකුගේ ගානටම මිනිහෙකුටත් ඩවුන් ලෝඩ් කරන්න පුලුවන්. ඒ නිසා තමයි අපි ඒ දවස් වල බඩ වැල් ආශ්‍රිත ලෙඩ දැක්කේ නැත්තේ.
ඒත් 1977 දී ආපු විවෘත ආර්තිකයත් එක්ක අපේ රටේ සියල්ල උඩු යටිකුරු උනා. ජීවන ක්‍රමය, ආහාර රටාව, සංස්කෘතිය, යහපත් චින්තනය, මනුස්ස කම, වැඩිහිටි ගුරු ගෞරවය ඔය වගේ හැම දෙයක්ම. ඉතින් මේ ආහාර රටාව වෙනස් වෙලා අපිත් මොඩ් වෙලා යුරෝපීය ආහාර වලට පුරුදු වෙන කොට අර ලෙඩත් ඒ එක්කම ආවා. මේ දවස් වල අන්තිම විභාගයට ලේස්ති වෙන මගේ බාල කොල්ල කියනවා තාත්තලා ඉගෙන ගන්න කාලේ තිබුනු ලෙඩ නෙවෙයිලු දැන් තියෙන්නේ. ඉතින් මම ඌත් එක්ක ෆයිනල් විභාගෙට වාඩි උනොත් මම ලොවෙත් නැති වෙනවා.
යුරෝපීය රට වල අයත් පහු වෙන කොට මේ ෆයිබර් තියන කෑම් ගන්න පුරුදු උනා උන් ඕට්ස්, කෝන් ෆ්ලේක්ස්, සීරියල්ස් කියලා ජාති කිරිත් එක්ක කලවම් කරලා උදේට කනවා අර උන්ගේ සාමාන්‍ය ආහාර වල නැති කෙඳි ලබා ගන්න. වැඩේ කියන්නේ මචං අපේ කලු සුද්දොත් හෙන ගනන් දීලා අරගෙන මෙන්න ඒවා කනවා. අපිට ස්වභාවයෙන් ලැබිලා තියන කෙඳි සහිත ආහාර අයින් කරලා සුද්දාගේ ඒවා කනවා හිටු කියලා. කාගිල්ස් ෆුඩ් සිටි එකකට ගිහින් බලා ගෙන ඉන්නකොට පේනවා මේ හරක් වැඩ.
මම නම් මගේ යාලුවාට කියලා තියෙන්නේ වැටකොලු, බන්ඩක්කා වගේ ඒවා ගේන කොට ටිකක් මෝරපු ඒවා ගේන්න කියලා. ඒ වගේම මම අර කලින් කියපු ජාති ගේන්න කියලා. ඔය මෝරපු ඒවා කන කොට වාසි ගොඩක් තියනවා. එකක් ඕන තරම් කෙඳි ලැබෙනවා ඩවුන්ලෝඩ් එක පහසු වෙන්නත් බඩ වැල් සුද්ද වෙන්නත්. ඊලඟ එක තමයි ඒවා කන කොට ගොඩක් වෙලා හපන්න ඕන. එතකොට වෙලාව යනවා. අපි කෑම කන කොට කෑමේ තෘප්තිය එහෙම නැත්නම් සැටයට් Satiate එක ලැබෙන්නේ කාපු ප්‍රමාණය මත නෙවෙයි. කෑම කන්න පටන් අරගෙන ගියපු කාලය මතයි.ඒ කියන්නේ අපිට කන්න පුලුවන් එක කාලයක් තුල විතරයි. ඒ කාලය පැන්නට පස්සේ කෑම එපා වෙනවා. ඉතින් අපි වැඩි වෙලාවක් හපන්න ඕන කෑම ගන්න කොට වෙලාව ගත වෙන නිසා කෑවා ඇති වගේ දැනෙනවා. මම හිතනවා බොලා හුඟ දෙනෙකුට මම මේ කියන අත් දැකීම ඇති. බොලා කකා ඉන්න වෙලාවක කෝල් එකක් ආවොත් ඒකට ආන්සර් කරලා ඉවර වෙලා කන්න ගත්තාට අර ඉතුරු ටික කන්න බෑ. ඇති කියලා හිතෙනවා. හැබැයි කෝල් එක නාවා නම් කනවා.
මේක වෙන්නේ අර මම කියාපු හේතුව නිසයි. අපි සම්බා බත් කන කොට වැඩි වෙලා හපන්න ඕන නැති නිසා හිටු කියලා කන්න පුලුවන්. ඒත් නිවුඩ්ඩ එක්ක බත් කන කොට අර වගේ දෙගුනයක් වෙලාව යනවා. ඒ නිසා කැවෙන්නේ ටිකයි. මම මතකයි ඒ කාලේ හිටපු දොස්තර ඇන්තනීස් මහත්තයාගේ ගෙදර කන්න ගියාම එතුමාට වෙනම හදලා තියනවා රතුම රතු කැකුලු බත් පොඩ්ඩක්. එතුමා කන්නේ ඒක. එතුමා කිසිම ලෙඩක් නැතුව අවුරුදු සීයක් හිටියා. අවුරුදු අනූ අටක් යනකම් ලෙඩ්ඩුන්ට බෙහෙත් කලා. අනූ පහක් වෙන කම් ඔපරේෂන් කලා. අනූ පහේදී නැවැත්තුවාම මම ඇහුවා ඇයි සර් ඔපරේෂන් කරන එක නැවැත්තුවේ කියලා එතුමා කිවුවා බිකෝස් ඉට් ඉස් අන්ෆෙයා බයි ද පේශන්ට්ස් කියලා. ඒ වයසෙන් පස්සේ ඔපරේෂන් කරන එක ලෙඩුන්ට කරන අසාධාරණයක් කියලා. එතුමා හිතුවේ ඔපරේෂන් එකක් කරන අතරතුර එතුමාට කරදරයක් උනොත් ලෙඩාට වෙන අවදානම ගැනයි.
මගේ ඊයේ පෝස්ට් එක බලලා එක්කෙනෙක් කියලා තිබුනා එයා නම් කවදාවත් මාත් එක්ක චැට් කරන්නේ නෑ මොකද මම එයාටත් බඩ්ඩක් කියයි කියලා. ඒත් එදා මම චැට් කරපු බඩ්ඩ ඒක විහිලුවක් හැටියට අරගෙන මට පොඩි විඩියෝ කෑල්ලක් එවලා තිබුනා. එයාගේ බ්‍රෝඩ් මයින්ඩ්ඩඩ් ගතියට ගරු කිරීමක් හැටියට මම ඒක ශෙයා කරනවා.
හෙට ආහාර ගැන අන්තිම කෑල්ල.


මම කියාගෙන ආවේ තන්තු එහෙම නැත්නම් කෙඳි තියන ආහාර ගත්තාම අපට තියන වාසි. මම කිවුවා ඒ කෙඳි දිරවන්නේ නැති නිසා ඒවා මළ හැටියට පිට වෙනවා කියලා. ඒ වගේම ඒවාට වතුර උරාගෙන පිම්බිලා ලොකු බල්ක් එකක් හැදිලා බඩ වැල් වල බිත්ති පිහ දාගෙන වගේ යනකොට ඒ බිත්ති වල රැඳිලා තියන විෂ ද්‍රව්‍ය, පිලිකා කාරක වගේ දේවලුත් ගහ ගෙන යනවා කියලා. ඒ වගේම මුලු බඩවැල් බිත්ති වලට එක සමාන පීඩනයක් එහෙම නැත්තම් ප්‍රෙෂර් එකක් යෙදවෙන නිසා අර නෙරා යාම් ඇති වෙලා ලෙඩ හැදෙන්නේ නෑ කියලා. වාහන වල උනත් දුම එක්ක තෙල් ටිකක් එන ඒවායේ සයිලන්සර් එක දිරන්නේ නෑනේ ලෙසියෙන්. ඒත් දුම විතරක් එන ඒවායේ ඒක ඉක්මනට දිරනවා. ඒ කාලේ මගේ තිබුනු හැම නිසාන් කාර් එකකම ඔය සයිලන්සර් ප්‍රශ්නේ තිබුනා. ඒත් මිට්සුබිෂි කාර් තිබිච්ච එවුන්ට ඒ ප්‍රශ්නේ තිබුනේ නෑ. උන්ට තිබුනේ ඇන්ජිමට තෙල් ටිකක් දාන්න එකයි තෙල් අඩු වෙන කොට. නිසාන් එකට තෙල් දාන්න ඕන නෑ හැබැයි සයිලන්සරේ දාන්න ඕන . ඒක පාඩුයි.
කෙඳි තියන ආහාර ගන්න එකේ තව ලොකු වාසියක් තමයි ඒවා ගොඩක් වෙලා හපන්න ඕන නිසා වෙලාව ගත වෙනවා කන්න. මේ නිසා ටිකක් කැවෙන කොටම ආහාර තෘප්තිය එන නිසා අඩුවෙන් කැවෙන්නේ. හුඟාක් එවුන්ගේ තඩි බඩවල් තියෙන්නේ ඔය හේතුව නිසායි. උන් ෆ්‍රයිඩ් රයිස් වගේ ඒවා කනවා නෙවෙයි බොනවා. මොකද ඒ හාල් වල නිවුඩ්ඩ නැති නිසා බොන ගානට කන්න පුලුවන්. ඒ නිසා තමයි විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට දොස්තරලා උපදෙස් දෙන්නේ කෙඳි තියන ආහාර ගන්න, නිවුඩු හාල් කන්න කියලා. ඒකෙන් කන ප්‍රමාණය අඩු වෙනවා වගේම කෑම වල තියන පිෂ්ටය සීනි බවට හැරිලා ඇඟට උරා ගන්න එකත් ස්ලෝ වෙනවා. එතකොට ලේ වල සීනි ඉක්මනට නගින්නේ නෑ. ඒ වගේම ඇඟට කොලෙස්ටෙරොල් උරා ගන්න එකත් මේ කෙඳි තියන ආහාර නිසා අඩු වෙනවා. නමුත් දියවැඩියාව හැදෙන කම් ඉන්න ඕන නෑ ඊට කලින්ම මේවාට පුරුදු උනාම ඔය ලෙඩ හැදෙන්නේ නෑ. අද අපි වගේ රට වලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියන තරබාරු කමට මේක හොඳ විසඳුමක්.
ඒත් කරුමේ කියන්නේ අපේ සල්ලි තියන එවුන්ට කනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ. හොඳට අහගෙන හිටියොත් උන් කතා කරන්නේ අහවල් හෝටලේ කෑම වල රස ගැන. අපේ එකෙක් ඉන්නවා මගේම වයසේ හම්බ උනොත් කතා කරන්නේ ගිය සතියේ ගිහින් කාපු තැන විස්තර. "මචං එතන අපි තුන් දෙනෙකුට කන්න ගියේ දහාට දාහයි. බ්ලඩි චීප් කියලා. බලපල්ලා එකාට හයදාහ ගානේ අරගෙනත් ඌට බ්ලඩි චීප්. මට නම් තිස් පහට තිබිච්ච ඤානකතා එක හතලිහක් කරාම මුදලාලියාව කන්න හිතෙනවා. කන කෑම බ්ලඩි චීප් උනාට උගේ බඩ නම් බ්ලඩි බිග්. මම හිතන්නේ ඌ අවුරුදු විසි පහකින්වත් උගේ ජුන්ඩාව දැකලා නැතුව ඇති කණ්නාඩියකින් මිසක්. දියවැඩියාව, පපුවේ අමාරු, කොලෙස්ටෙරෝල් සේරටම බෙහෙත් බොනවා. මම මේ බොලාට කියන කිසිම දෙයක් ඌට කියන්න යන්නේ නෑ. ඌට කියනවාට වඩා හොඳයි මගේ කට කකුස්සි කටක අතුල්ල ගන්න එක. අම්මපා. නැද්ද හා.
ගමේ අවුරුදු දහ අටක් විතර ජීවත් වුනු මම පුරුදු වෙලා තිබුනේම අපේම කුඹුරු වලින් ලැබුනු තනි රතු කැකුලු හාල් බත් වලටයි. ඒ වගේම දකුණු පලාතේ කිරි බතුත් දුඹුරු පාටයි. මම මුලින්ම කොලඹ ඇවිත් තමයි සුදු කිරි බත් දැක්කේ. ඒ වෙලාවේ ඇතිවුනු අප්‍රිය කම තාම තියනවා. ඒ කාලේ අපේ ආත්තම්මලා කවදාවත් එලවලු සල්ලි වලට ගත්තේ නෑ. උදේ දහයට විතර මල්ලකුත් අරන් වත්ත වටේ ගිහින් පැය බාගයක් යන කොට පලා, ගහල හරි ඉන්නල හරි අල, අලු කෙසෙල්, දෙහි, අමු මිරිස්, පොලොස් වගේ ඒවා අරගෙන ඇවිත් උයනවා. ඒවා කන මිනිස්සු ගෑනු මහත් උනේ නෑ. අපේ ආත්තම්මාට දරුවන් හය දෙනෙක් ඉඳලාත් බඩ නෙරලා තිබුනේ නෑ. අවුරුදු අනූඅටක් ජීවත් උනා කිසිම ලෙඩක් තිබුනේ නෑ. කෑමත්, ඒ වගේම ගෙදර වැඩ කරන කොට ලැබෙන ව්‍යායාම නිසා ඒ අය මහත් උනේ නෑ.හාල්, පිටි කොටන කොට, ඒවා කුල්ලේ දාලා පොලන කොට, මිරිස් ගලේ අඹරන කොට, බිම වාඩි වෙලා පොල් ගාන කොට, ඒවා මිරිකන කොට, කුරක්කන් ගලේ අඹරන කොට, රෙදි හෝදන කොට, ඒවා ගලේ ගහන කොට, මිරිකන කොට, කොටින්ම ඇන තියාගෙන ඩවුන්ලෝඩ් කරනකොට පවා ව්‍යායාම. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕන ඒ කාලේ ගෑනුන්ට දරුවෝ ගොඩක් හිටියේ. මොකද කොච්චර දරුවෝ ලැබුනත් ඇඟ ලස්සනයිනේ. ඉතින් මහත්තයාට උනත් ...... ……… එක්කෝ ඒවා ඕන නෑ. මම අර දවසක් කිවුවේ ඒ කාලේ දොස්තර ඇන්තනීස් මහත්තයා ඇඟේ තෙල් පොඩ්ඩක් වත් නැති ගෑනු කෙනෙක්ව ඔපරේෂන් කරන කොට කියපු කතාවක්. අර කොලඹ නෝනලා ලුංජිය අඳින එකට හේතුව.
1977 න් පස්සේ ආපු රට විනාස කරපු ආර්ථික ක්‍රමය නිසා අද වෙන කොට ගමවල් වල ගෑනුත් පීප්ප වගේ. බර ඔරොත්තු දෙන්නේ නැති නිසා යන්නේ අර ඉස්සරහ ශොකැබ්සෝබර් ගියපු ලොරි වගේ දෙපැත්තට පැද්දි පැද්දී. ගම් වලට ලයිට් ආපු නිසා අර ඉස්සර අතින් කරපු වැඩ සේරටම දැන් මැෂින්. තාම ගම් වල ජිම් නැති නිසා උන් බතල වගේ ඉන්නවා. මිනිහා පැත්ත පලාත බලන්නේ නෑ. ඌ අඩියක් ගහලා නැත්තම් මලක් ඇදලා බුදියනවා. මේවා නොදැනද මන්දා අපේ චීවරධාරියෝ කියනවා සිංහල ගෑනු දරුවෝ වදන්නේ නෑ ඒ නිසා ජාතිය වඳ වෙලා යනවා කියලා. මේ ගොබ්බයන්ට තේරෙන්නේ නැතුවද නැත්නම් සුදනෝ වෙන්න තේරෙන්නේ නැතුව වගේ ඉන්නවද මන්දා. ඇයි බං ගෑනුන්ට නිකම් ළමයි ලැබෙන්නේ නෑනේ. ඒකටත් ක්‍රම වේදයක් තියනවා නේ. මේ චීවරයෝ හිතනවාද දන්නේ නෑ හුලං වැදුනාම ළමයි හැදෙනවා කියලා.
මේ ලඟදී තව චීවරයෙක් කියලා තිබුනා ශිරන්ති නෝනාට තව ළමයි හදන්න මහින්ද මහත්තයාව කැමති කරව ගන්න ඕන කියලා. හැබැයි ඒකට නම් චීවරයෝ ශිරන්ති නෝනාට සෑහෙන්න කෙඳි කන්න වෙනවා. මම හිතන්නේ අවුරුද්දක් විතර කෙඳි විතරක්ම කන්න වෙයි කියලා. ටවුමේ අයට නම් ජිම් තියන නිසා සමහරු ඒවාට යනවා. සමහරු සුම්බා වලට යනවා. ඒවාට නොයන උන්ට සුම්මා. උන් ආරනවා. ඉතින් අඩුම ගනනේ තමන් ගන්න ආහාර වලින් වත් පරිස්සම් වෙනවා නම් ඔය ආරන ගතිය අඩු කර ගන්න පුලුවන්. ඇත්තටම අපි කෑම කන්න ඕන ජීවත් වෙන්නයි. ඒත් සමහරු ජීවත් වෙන්නේ කන්නයි. අර මම කලින් කියපු ජුන්ඩා දැකලා නැති එකා වගේ.
ඇත්තටම ඔය කියන තරම් ජාතිය ගැන කැක්කුමක් තියනවා නම් මේ චීවර ධාරීන්ට කරන්න තියෙන්නේ හොඳ ආහාර රටා ගැන ජනතාවට කියලා දෙන එකයි. එහෙම එකක් පටන් ගන්නවා නම් මම අනිවාර්යයෙන් ඒකට සපෝර්ට් එක දෙනවා. අද කවුද අපට ආහාර ගැන කියලා දෙන්නේ. මේ තියන ජඩ මාධ්‍ය. උන් ඔක්කොම කියන්නේ අර නරක ජාති කන්න කියලයි. බොලා දැකලා තියනවාද එක නාලිකාවක කියනවා ඔය මම කියපු දේවල් කන්න කියලා. මොකද ඒවා කිවුවාට උන්ට සල්ලි හම්බ වෙන්නේ නෑ. මුන් තමයි ජාතියේ හතුරෝ. උන් අර අහිතකර කෑම කාල බඩවල් ලොකු වුන උන්ට කියනවා අහවල් මැෂින් එක අරගනිං කියලා බඩ බස්ස ගන්න. එකෙක් කියනවාද අර ගෝඨාභය මහත්තයා රට පුරා හදලා තියන ජොගිං ට්‍රැක් වලට ගිහින් ඇවිදපල්ලා කියලා. නෑ. එහෙම කලාම උන්ට සල්ලි ලැබෙන්නේ නෑ. ඊලඟට පපුවට කෙල උනාට පස්සේ මේ ජඩ මාධ්‍ය කියනවා අහවල් ඉන්ෂුවරන්ස් එකෙන් රක්ෂණයක් ගත්තොත් ඔපරේෂන් එකට යන මුලු ගානම ඇඳටම ගෙනත් දෙනවා කියලා. බොලා දැකලා ඇති ඔය ඇඩ්. අර තාත්තා බයිපාස් කරලා ඉන්න කොට පොඩි කෙල්ල අහන්නේ "ඉතින් රිදුනද" කියලා. තාත්තා එතකොට කියන්නේ නෑ අහවල් ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි දුන්න නිසා ගානක් වත් උනේ නෑ කියලා. ඒකේ අරූ බයිපාස් කරලා ආතල් එකේ ඉන්න හැටි දැක්කාම අනිත් එවුන්ටත් හිතෙනවා ඒක කර ගන්න. ඒත් අපි තමයි දන්නේ බයි පාස් කරගත්ත පොරවල් වාට්ටු වල විඳින දුක. ඉතින් ඔය සිවුරු කාරයින්ට තියෙන්නේ මෙන්න මේ ජඩ මාධ්‍ය වලින් කරන මේ අපරාධය නවත්වන්න කටයුතු කරන එකයි. එහෙම කරන්නේ කොහොමද උනුත් වේල් තුනටම කෙලලා අරින එකේ. දානයක් බාර දෙන්න ගියාම ඒ ගොල්ලයි කියන්නේ දෙන්න ඕන දේ. දානෙ බෙදන කොට කොල ටිකක්, මැල්ලුම් ටිකක් බෙදන්න හදන කොට වැඩි දෙනෙක් අතින් පිඟාන වහනවා. කුකුල් මස් බෙදන කොට අත පැත්තකට අරගෙන අහක බලා ගන්නවා බොලාට ඕන තරමක් බෙදපල්ලා කියලා.
මම මේවා කිවුවා කියලා මට මිත්‍යා දෘෂ්ටිකයා කියලා බොලා බනින්න එපා. මොකද මම බුදුන් වහන්සේ පෙන්නලා දීලා තියන මාර්ගයේ යන කෙනෙක්. පටිච්ච සමුප්පාදය පිලි ගන්න කෙනෙක්. හැබැයි ඒකේ උපාදාන පච්චයා භවෝ කියන එක එහෙම නැත්නම් පුනර්භවය කියන එක ඇරුණු කොට. ඒ කෑල්ල තේරුම් ගන්න තරම් මගේ ඤාණය තාම මෝරලා මදි. ඒවගේම බොහොම අල්පේච්ච ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම බොහොම සතුටින් ඉන්න කෙනෙක්.
කොහොම හරි අනම් මනම් ලියවිලා මේක දිග වැඩි උනා. ඒවා මකන්න හිතෙන්නෙත් නෑ. ඒ හින්දා ඔන්න ඔහේ තිබුනාවේ. හෙටත් හම්බ වෙමු. තව කියලා ඉවර නෑ.

මම පහු ගිය පෝස්ට් දෙකකින් කිවුවා අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වැරදි ජීවන රටාව හා ආහාර රටාව නිසා පසු කාලීනව ලෙඩුන් බවට පත් වෙලා නිරෝගී බව යදින බව. මේ රෝගී බවට පත්වීම පටන් ගන්නේ හුඟාක් තරුණ වයසේදී පටන් ගන්න බව මම අර සීමන්ලාට කරන ලේ සහ අනිකුත් පරීක්ෂණ වලින් දැකලා තියන බවත් ඒ කාලයේදී රෝග ලක්ෂණ නැති නිසා උන් තමන් නිරෝගී කියලා හිතා ගෙන ඉන්න බවත් කිවුවා. ඒ වගේම හුඟ දෙනෙකුට අනුන්ට වෙන දේ දැකලාවත් පාඩමක් ඉගෙන ගන්න තරම් ප්‍රඥාවක් නැති බවත් කිවුවා. උන්ට රෝග හැදෙන එක වලක්වන්න අපිට තියන රුදාවෙන් 50% ක් වත් තියනවා නම් කොච්චර හොඳද. මේ නිසා තමයි බෝ වන රෝග වැලැක්වීම අතින් අපි ලෝකයේ ඉදිරියෙන්ම හිටියත් බෝ නොවන දිය වැඩියාව, හෘද රෝග, අක්මා රෝග, මානසික රෝග,අධි රුධිර පීඩනය වගේ ඒවා වැලැක්වීම අතින් පිටි පස්සෙන් ඉන්නේ. ඒ නිසා තමයි පුද්ගලික අංශය මේකට අත ගහන්නේ නැත්තේ. උන් අත ගහන්නේ ලෙඩ වලින් සල්ලි හම්බ කරන්නයි. බොලාගෙන් එකෙකුට පපුවේ අමාරුවක් හැදුනාම කවුරුවත් කියන්න ඕන නෑ ගිහිං ප්‍රථිකාර ගනින් කියලා. මරණ බයට චූත් හලාගෙන තමයි ඉස්පිරිතාලේට දුවන්නේ. හැබැයි ඌට ඒක හැදෙන එක වලක්ව ගන්න අපි කොච්චර කිවුවත් ඌ අහන්නේ නෑ. ඒ නිසා තමයි පුද්ගලික රෝහල් හිටු කියලා අයිසීයූ හදන්නේ, හෘද සැත් කම් කරන්න ඔපරේෂන් කාමර හදන්නේ. ඒ පුද්ගලික රෝහල් හෘද රෝග වලක්වන්න කිසිම දෙයක් කරන්නේ නෑ. හුඟාක් හෘද රෝග වෛද්‍ය වරුත් එහෙමයි. අතරින් පතර ඉන්නවා ගාමිණී රණසිංහ,නාමල් ගමගේ වගේ එහෙම නොවෙන අයත්.
මේ බීමත් කම සිගරට් වලට, අහිතකර ආහාර වලට පුරුදු වුනු කෙනෙකුට ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හොඳට හිතේ ගැම්ම තියන අයට තමයි පුලුවන්. මම කියන්නේ ලෙඩ හැදෙන්න කලින්. හැදුනා පස්සේ හුඟ දෙනෙක් ඒවා සේරම නතර කරනවා මරණ බය නිසා. අනිත් වෙලාවල ඉන්නේ මැරෙන්නේ නෑ කියලා හිතා ගෙන නේ. මැරෙන්න පටන් ගන්නේ උපන්දා ඉඳලා කියන එක හිතේ නෑ. ඉතින් මුලින්ම හිත තද කරගෙන ඕවා නතර කෙරුවත් ඒවාට යටි හිතේ ආසාව තියන. බොන්න පුරුදු වෙලා නවත්තපු එකෙකුත් කවදාවත් බීලා නැති එකෙකුත් අතර තියන වෙනස් කමක් තමයි ඒක. කවදාවත් බීලා නැති එකා ඇරලා තියන බෝතල් සීයක් මැද උනත් ඉඳියි කිසිම ගානක් නැතුව. හැබැයි පුරුදු වෙලා නවත්තපු එකාට තැබෑරුමක් ලඟින් යන කොටත් හිත මෙවුවා වෙනවා. මෙහෙම වෙන්නේ අර හිත ඇතුලේ හැංගිලා තිබුණු ආසාව නිසා. මර කලින් වතාවේ අර වේලිච්ච රෙද්දකුත් වේලිච්ච ඉටි රෙද්දකුත් අරගෙන කිවුවා බොලාට මතක ඇති වතුර නැති වෙලාවට දෙකම වේලිලා තිබුනත් රෙද්දේ තෙමුනොත් වතුර උරා ගන්න ගතිය තියනවා කියලා. මම කිවුවා ධර්මයේ මේකට කියන්නේ ආසාවල් අනුසය වශයෙන් තියනවා කියලා. තැබෑරුම ලඟින් යන කොට හරි බොන එවුන් ඉන්න තැනක ගියාම හරි අර ආසාව මතු වෙලා බොන්න හිතෙන එකට ධර්මයේ කියන්නේ පරිඋට්ඨානය වෙනවා කියලායි. සමහරුන්ට එහෙම වෙලාත් ඒ වගේ තැන් වලින් මග ඇරලා යන්න පුලුවන් හොඳ චිත්ත ශක්තියක් තියනවා නම්. නැති එකා අර හැඟීමට ගොදුරු වෙලා බොනවා. මේකට ධර්මයේ කියන්නේ වියතික්‍රමණය වුනා කියලා. ඒ කියන්නේ ශාරීරිකව ඒ දේ සිද්ධ වුනා. ශරීරයට හානියක් වුනා. පරිඋට්ඨාන අවස්ථාවේදී වරද උනේ හිතින් විතරයි. ඒත් වියතික්‍රමණ මට්ටමේදී වැරැද්ද හරි පව හරි ශාරීරිකව සිද්ධ වුනා. පව සම්පූර්ණ වුනා.
ඒ නිසා මම මගේ ලඟට එන වුන්ට කියන්නේ හිති බිවුවාට කමක් නෑ, කටින් බොන්න එපා කියලා. බොලාට කියන්න එහෙම කිවුවා දවසක් එකෙක් කියනවා ඌ දැන් සම්පූර්නයෙන්ම බීම අත ඇරලාලු කටේ වත් තියන්නේ නැතිලු. හැබැයි උගේ හුස්ම වල හොඳට ගඳ එනවා. මම ජේ එම් ඕ ඔෆිස් එකේදී බීපු එවුන් හොඳට බලලා තියන නිසා උගේ ලුණු ගොරකා මදි මාව තම්බන්න. මම ඇහුවා එහෙනම් ඊයේ බීලා තියෙන්නේ කටින් නෙවෙයි බුරියෙන් වෙන්න ඇති නේද කියලා. ඌ අර බොරුව කිවුවේ මම ඌව මෙඩිකල් එකෙන් ෆේල් කරයි කියලා. ඔන්න බං පොරවල් වල හැටි. මෙඩිකල් එක කරගන්න ආවෙත් වියතික්‍රමණය වෙලා.ශක්තියක් නෑ පරිඋට්ඨාන මට්ටමෙන් නවතින්න.

ඕක හොඳට පැහැදිලි වෙනවා අපේ අමරදේව මහත්තයාගේ කුමරියක පා සලඹ සැලුනා කියන සිංදුවෙන්. ඒකේ කියන්නේ සිල් රකිමින් හිටි පිරිමියෙකුට අනුසය වශයෙන් තිබුණු කාමාශාව පරිඋට්ඨානය වුනු හැටිත් // කුමර බඹසර අසපුවේ මා සම වැඩී උන් දැහැන් මිදුනා// පොර කොහොම හරි ඒක එතනින් එහාට නොගිහින් නවත්ත ගත්ත හැටිත්. අර ගෑනි එනවා දැක්කම හිතේ කුපාඩි කම ඇතිවෙලා හිතෙන් ඒකිගේ ඇඳුම් ගැලෙව්වාම //විවර කෙරුවා මනස් සලෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද//උගේ ඉස්සරහා යාමයයි තුසිතයයි කියන දිව්‍ය ලෝක මැවිච්චි හැටි //මා අභියස මැවුණු තුසිතය සුරන් නැලැවූ සු යාමය//. නමුත් ඌ එයින් එහාට යන්නේ නැතුව කොයි තරම් හිත ඇතුලෙන් කලබල කරත් //හැඟුම් ගජසෙන් යදම් බිඳ හැර තලා සිඳ කම්පනය කරවයි ලපලු තුරු වැල් කැකුලු මල් පෙති// වියතික්‍රමණ මට්ටමට නොගියපු හැටි. ඒකෙන් ප්‍රශ්නයක් නෑනේ බොලල්ලා. කාටවත් වැරැද්දක් වුනේ නෑනේ. හැබැයි ඌට පොඩි දුකකුත් තියෙනවා මොකුත් කර නොගත්තාට // මා හඬවයි බිඳුණු තුසිතය සුරන් නැලැවූ සු යාමය//

එහෙම බලනවා නම් අපේ පොරවල් ඉස්සරහා දවසකට කීපාරක් යාමය තුසිතය මැවෙනවා ඇද්ද. පාරෙදි බස් එකේදි එහෙම. මනස් සලෙලුන් කොයි තරම් සලු පිලි ගලවනවා ඇද්ද.ඒත් කාටවත් හානියක් නෑ නේ. අන්න එහෙම ඉන්න පුරුදු වෙයල්ලා ඔය හැම පුරුද්දකදීම. පල්ලෙහා ලින්ක් එකෙන් අර සිංදුව අහන්න පුලුවන් ලිරික්ස් බලා ගෙනම.පුලුවන් නම් මෙල් ගිබ්සන් ඉන්න වට් විමෙන් වෝන්ට් කියන පිචැර් එකත් හොයා ගෙන බලපල්ලා පරිඋට්ඨාන වෙන හැටි.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී