Buddhist Brother hood - 05.03.2018

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තියෙනවා බුඩිස්ට් බ්‍රදර් හූඩ් කියලා සංගමයක්. වඩා හොඳ සිංහලෙන් කියනවා නම් බෞද්ධ සහෝදර සංගමය. මේකේ කොමිටියේ හැම බැච් එකකින්ම රෙප් කෙනෙක් ඉන්නවා. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, ලේකම් වරු දෙන්නෙක් වශයෙන් ඉන්නවා. සභාපති ඉන්නේ ප්‍රොෆෙසර් කෙනෙක්. අපේ කාලේ හිටියේ නන්දදාස කෝදාගොඩ මහතා. අර ආදරය වැඩි කමට අපි එයාට කිවුවේ කෝදා කියලා. 1977 වෙනකං මේ සේරම වගේ තනතුරු දැරුවේ ආනන්දියන්ස්ලා පස්සේ ඒක වෙනස් වෙලා අනිත් අයටත් ඒවාට යන්න පුලුවන් උනා. ඉතිං 1977 එක ලේකම් කෙනෙක් උනේ මම.

බුඩිස්ට් බ්‍රදර් හූඩ් එකට අවුරුද්දකට අයිටම්ස් කීපයක් තියෙනවා කරන්න. සර්ව රාත්‍රික පිරිත් සහ දානය, ඇනුවල් ට්‍රිප් එක වගේම වෙසක් භක්ති ගීත වැඩ සටහන. මේකෙන් අර පස්සේ කියපු එක තමයි මාර ආතල්. මේකට අප්‍රේල් අග ඉඳලා හැමදාම හවසට ප්‍රැක්ටිස් තියෙනවා. ප්‍රැක්ටිස් වලට වැඩියෙන්ම එන්නේ බ්ලොකාලා. අනිත් බැච් වලින් වැඩියෙන්ම එන්නේ කොල්ලෝ. උන් වැඩි දෙනෙක් එන්නේ බ්ලොක්කියෙක්ව දාගන්න පුලුවන්ද බලන්නයි.

ඉතිං සති තුනක විතර පුහුණුවකින් පස්සේ හරිම ලස්සනට භක්ති ගීත කියන්න පුලුවන් වෙනවා. ඒ කාලේ මම හරිම ආසයි ඒවා අහන්න. ඒත් ඒවා රෙකෝඩ් කර ගන්න කැසට් රෙකෝඩර් එකක් වත් ඒ කාලේ තිබුනේ නෑ. විවෘත ආර්ථිකය එන්න කලින් කාලේ නේ.හැබැයි ඒවා තිබුනේ නෑ කියලා අපිට කිසිම අප්සෙට් එකක් තිබුනේත් නෑ.

භක්ති ගීත ගායනා පටන් ගන්නේ හැමදාම හවස 6ට විතර. කෙල්ලෝ කොල්ලෝ හැමෝම සුදු පාට ඇඳලා ඉන්න කොට හරි ලස්සනයි. ඒ කාලේ කෙල්ලෝ හැමෝම සාමාන්‍යයෙන් ඇන්දේ හරිම කොට ගවුම්. දනිස්ස ලඟට ඇන්දොත් ගොඩේ බඩුවක් වෙනවා. කොට වෙන්න වෙන්න තමයි මොඩ්. ඉතිං උන් වාඩි වෙලා ඉන්න කොට බලන්න ලස්සනයි. දැන් උනත් ඉඳ හිටලා ඒ පරණ බ්ලැක් ඇන්ඩ් වයිට් පොටෝ බලන කොට මට මාර ආතල් එකක් දැනෙන්නේ. ඒත් පොටෝ වල තාම එහෙම උනාට දැන් උන් සේරටම හැට පැනලා. ඉතිං ඒ ගොල්ලා සුදු සාරි ඇඳලා සුදු වෙසක් කූඩුවක් අතේ තියා ගෙන ඉන්න කොට මාර ලස්සනයි.

හැමදාම මුලින්ම භක්ති ගීත කියන්න පටන් ගන්නේ ඉස්පිරිතාලයකින්. ඉතිං රෑට කෙල්ලෝ අර සුදු පාට වෙසක් කූඩු පත්තු කරලා අතේ තියා ගෙන අපි සේරම භක්ති ගීත ගායනා කරමින් වාට්ටු දිගේ යන කොට හුඟක් ලෙඩ්ඩු සාදු කාර දෙනවා. ඉස්පිරිතාලෙන් පස්සේ යන්නේ කොළඹ ඉන්න තදයන්ගේ ගෙවල් වලට. නවලෝක, දාස මැලිබන් වගේ ඒ කාලේ හිටපු ලොකු බිස්නස් කාරයන්ගේ, ඇන්තනීස් වගේ ලොකු වෛද්‍ය වරුන්ගේ ගෙවල් වලට. එක දවසකට ගෙවල් පහකට විතර යනවා. කලින් දැනුම් දීලා තමයි යන්නේ. ඉතිං ඒ ගොල්ලා හොඳට සංග්‍රහ ලෑස්ති කරලා තියෙනවා.ඇයි ඉතිං මෙඩ්ඩොනේ. කොළඹට අවුරුද්දටම ගන්නේ 150 යි. පේරාදෙණියට 75 යි. ඔක්කොම 225යි. ඉතිං මාර සැලකිලි. කසාද බඳින වයසේ දූලා ඉන්න මුදලාලිලාගේ තැන් වලින් සැලකිලි වැඩියි. අපිත් ඉතින් හොඳට කාලා එනවා. අනික මෙඩ්ඩෝ ගෙදරට ඇවිල්ලා භක්ති ගීත කියලා යන එක උන්ටත් මාර ප්‍රෙස්ටිජ් එකක්. ඒ වගේම අගමැති හා විපක්ෂ නායකගේ ගෙදරටත් යනවා. භක්ති ගීත කියලා ඉවර වෙලා එන්න එන කොට බුඩිස්ට් බ්‍රදර් හුඩ් සෙකට්‍රි ගෙදර ලොක්කාට දෙනවා පොතක් ආධාර ගන්න. ලොකු සල්ලි කාරයෝ රුපියල් 500 වගේ ගනං දෙන වෙලාවලුත් තියෙනවා. කොහොමත් දවසකට රුපියල් දාහක් විතර හම්බ වෙනවා.

අරලිය ගහ මන්දිරයට ගිය දවසට ඇතුලට එක්ක ගිහින් වාඩි කරවලා හොඳට කන්න බොන්න දෙනවා. මම 1973 ඉඳන් 1977 වෙනකං පස් පාරක් අරලියගහ මන්දිරයෙන් කාලා තියෙනවා. ඒ පස් වතාවෙම හිටියේ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියයි. එතුමිය ඇවිත් අපිත් එක්ක හොඳට කතා කරනවා. අනුරත් ඇවිල්ලා කෙල්ලෝ දිහා ටිකක් වෙලා බලා ගෙන ඉඳලා යන්න යනවා. හැබැයි මම චන්ද්‍රිකාව එක දවසක් වත් දැක්කේ නෑ.

ඉතිං 77 දීත් අපි ගිහින් භක්ති ගීත කියලා ඊට පස්සේ හොඳට කාලා එන්න එන කොට මම අර ආධාර පොත ගෙනිහින් අගමැතිනිය අතට දුන්නා. කෝදාත් එතන හිටියා. එතුමිය රුපියල් දහයක් (ඒක තමයි අපිට ලැබුනු අඩුම ගාන ) ලියලා පොත ඇතුලට දාලා දෙන ගමන් කිවුවා දැන් මෙතන ඇවිත් භක්ති ගීත කිවුවාට මොනවාද අර පොලු ගැන කියලා අපට විරුද්ධ ව ගහලා තියෙන පෝස්ටර කියලා.. එතකොට මම කිවුවා මැඩම් ආණ්ඩුව වාසිටි ලමයි වෙඩි තියලා මරණ නිසයි එහෙම ලියලා තියෙන්නේ කියලා. එතකොටම කෝදා මාව එතනින් හෙමිහිට තල්ලු කරං ගිහිල්ල එලියට ගියාම මට බැනලා කිවුවා යූ ගෝ ඇන්ඩ් ස්ටේ ඉන් ද බස් කියලා. එයාට හරි නං තිබුනේ පස්සේ හරි උඹ නියම කතාව කිවුවේ කියලා කියන්න. ඒත් මෑන්ට ඒ වෙලාවේ ඕන උනේ අගමැතිනියගෙන් ලකුණු දා ගන්නයි. හැබැයි අපේ අනික් එවුන්ට නම් මම ඒකෙන් පස්සේ මාර පොරක් උනා. අවුරුදු හතරක් තිස්සේ වේලි වේලි හිටිය මට බ්ලොක් එකේ කෙල්ලක් සෙට් උනෙත් ඕකෙන් පස්සේ තමයි.

ආ තව පොඩ්ඩෙන් මම මේක පෝස්ට් කරනවා අර පොලු කතාව ගැන කියන්නේ නැතුව. 1977 දී පේරාදෙනියේ ලමයි උප කුලපතිව නිවාස අඩස්සියේ තියාගෙන ඉල්ලීම් වගයක් ඉදිරිපත් කලා ආණ්ඩුවට. ඒකෙදි පොලිසියෙන් වෙඩි තියලා ඒ උද්ගෝෂණයට කිසිම සම්බන්ධයක් නැති කුරුණෑගල උහුමියේ ඉඳලා ආපු වීරසූරිය කියන පලවෙනි අවුරුද්දේ කොල්ලෙක් මැරුනා. ඒකෙන් පස්සේ ආණ්ඩුවෙන් සේරම විශ්ව විද්‍යාල වහලා ලමයින්ව එලෙව්වා. ඇරලා තිබුනේ කොළඹ වෛද්‍ය විද්‍යාලය විතරයි. ඉතිං අපි නිකං හිටියේ නැහැ පංති වර්ජනය කරලා පාරට බැහැලා උද්ගෝෂණය කලා. මට මතකයි සමහර අය ආනන්දෙටත් ගිහිල්ලා ඒ ලමයින්වත් එලියට ගන්න බැලුවා. ඊට මාස දෙකකට පස්සේ තිබුනු චන්දයෙන් අන්ත පරාජයක් ලබන්න මේකත් එක හේතුවක් උනා. ඒ කාලේ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය හිටියේ ජපාන අගමැතිගේ ආරාධනාවකට ජපානයට ගිහිල්ලා. ඉතිං වෛද්‍ය විද්‍යාලයේ බිත්ති වල පුරාම අලවලා තිබුනා "සිරිමට ජපන් පොලු, අපට බැටන් පොලු කියලා”. ඒකයි අර පොලු කතාව.

හැබැයි අද වගේ දවසක අර වගේ කතාවක් කිවුවානම් අපට ආපහු එන්න වෙන්නේ පොලු නැතුවයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී