History of AIDS - 10.04.2018

1981 මාර්තු මාසයේදී ඇමරිකාවේ නිව්යෝක් වලදී වෛද්‍ය වරුන් මවිතයට පත් කරන දෙයක් වුනා. ඒ ඉතා කලාතුරකින් ඉතා වයස්ගත පුද්ගලයින්ට හමේ හැදෙන එතරම් දරුණු නොවෙන පිලිකාවක් තරුණ පිරිමි දහයකට ඉතා දරුණු ලෙස වැලඳී තිබී වාර්තා වීම. මේක හරිම අසාමාන්‍ය සිදුවීමක් නිසා වෛද්‍යවරුන් වහාම ක්‍රියාත්මක වුනා. ඊට සති කීපයකට පස්සේ වෙනත් ප්‍රාන්තයකින් වාර්තා වුනා තවත් එවැනිම පුදුම දෙයක්. ඒ තමයි සාමාන්‍යයෙන් රෝගයක් ඇති කරන්න බැරි ඉතාම දුර්වල විෂබීජයකින් තරුණයින් පස් දෙනෙකුට ඉතා බරපතල තත්වයේ නියුමෝනියාවක් හැදිලා කියලා. මේක හරියට පලාතේ ඉන්න හැඩි දැඩි මිනිහෙකුට සොකඩ කොල්ලෙක් වැටෙන්න ගැහුවා වගේ හිතා ගන්නවත් බැරි දෙයක් වුනා.

ඇමරිකාවේ ඇට්ලන්ටා වල තියනවා සෙන්ටර් ෆෝ ඩිසීස් කන්ට්‍රෝල් CDC in Atlanta කියලා එකක්. ඒක තියෙන්නේ ඔය වගේ අලුත් ලෙඩ ගැන වහාම හොයලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. ඇමරිකාවේ විතරක් නෙවෙයි ලෝකයේ කොතනක වුනත් අලුත් ලෙඩක් හොයා ගත්තොත් එතෙන්ට වාර්තා කරනවා. ඉතින් ඒකේ පොරවල් අර ලෙඩ්ඩු ගැන ෆුල් පරීක්ෂණ කරන්න පටන් ගත්තා. බලා ගෙන යන කොට ඒ ගොල්ලා හොයා ගත්තා මේ රෝගීන් හැම දෙනෙකුගේම ඇඟේ තියන රෝග වලට ඔරොත්තු දෙන ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය නැති වෙලා ගිහිල්ලා කියලා. ඒ නිසා තමයි අර ඉතාම දුර්වල විෂබීජ වලට පුලුවන් වෙලා තියෙන්නේ බරපතල රෝග හදන්න. ඇඟ පත ලොකුවට තිබුනට ඒකේ ශක්තිය නැත්තම් ඕන සොකඩයකුට ඌට වැටෙන්න ගහන්න පුලුවන් වෙන්නේ සොකඩයාගේ තියන අමුතු ශක්තියක් නිසා නෙවෙයි. අරූගේ ඇඟේ ශක්තිය නැති නිසා. ඒත් සොකඩයාට සාමාන්‍ය ශක්තියක් තියෙන එකෙකු ලඟට යන්නවත් බෑ ගහන්න තියා.

අර ලෙඩ කොල්ලන්ව ගෙන්නලා තවත් හොඳින් විස්තර හොයලා බලන කොට වෛද්‍යවරු තවත් දෙයක් හොයා ගත්තා. ඒ තමයි උන් හැම එකෙක්ම සම ලිංගික සේවනයට පුරුදු වෙලා හිටපු උන් කියලා. // අර පහුගිය දවස් වල අපේ ලොකු ගමරාල පොඩි ගමරාලට සමනල කතාවක් කිවුවේ// මතකයිනේ බොලාට ඒ කට කැඩිච්චි කතාව. ඒ පාර CDC කට්ට්ය හිතුවා මේක සම ලිංගික පිරිමින්ට හැදෙන ලෙඩක් කියලා හිතලා ලෙඩේට නමක් දුන්නා Gay Related Immune Deficiency "GRID" කියලා. ඒ කියන්නේ සම ලිංගිකත්වය හා බැඳුනු ප්‍රති ශක්ති ඌනතාවය කියලා.මේ වෙන කොට ලෝකයේ තවත් රටවලින් විශේෂයෙන්ම යුරෝපයෙන් අප්‍රිකාවෙන් තායිලන්තයෙන් මේ වගේ ලෙඩ්ඩු ගැන වාර්තා වුනා පමණක් නෙවෙයි විශාල වශයෙන් ඔවුන් මිය ගියා. හයිටි රටින් හුඟාක් ලෙඩ්ඩු සොයා ගත්ත නිසා මේකට හයිටියන් ඩිසීස් Haitian Disease කියලාත් කාලයක් කිවුවා. මේ නිසා ඒ රටට සංචාරකයන් යන එකත් සෑහෙන්න අඩු වුනා.

ඒත් පහු වෙන කොට ගැහැණුන්ට, කුඩා ළමයින්ට, කිසිම දවසක සමලිංගික සේවනය නොකරපු අයටත් මේ ලෙඩේ හැදිලා හොයා ගත්තා. එතකොට අර සම ලිංගික පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියන එක මිත්‍යාවක් වෙලා අර නම වෙනස් කලා නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂනය Acquired Immune Deficiency Syndrome "AIDS"කියලා. ඒ කියන්නේ මුලින් තිබුණු ප්‍රතිශක්තිය නැති කර ගත් නිසා හැදෙන රෝග කියලා.

ඒත් කවුරුවත් දැන ගෙන හිටියේ නෑ කොහොමද මේක වෙන්නේ කියලා. ඒ නිසා දොස්තරලා පවා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගිහින් තියෙන්නේ මුලු ඇඟත් මූනත් වැහෙන්න ඇඳගෙන. ඒත් ඔවුන්ට මේ ලෙඩ්ඩු මැරෙණවා බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ඇමරිකාවේ හිටපු ජනප්‍රිය නළුවෙක් වුනු රොක් හඩ්සනුත් මේකෙන් මැරුනා. ඒ වෙන කොට දකුණු ආසියාවේ රට වලට මේ රෝගය පැතිරිලා තිබුනේ නෑ. තරුණ වෛද්‍ය වරු හැටියට ඒ කාලේ අපි බය වුනා එංගලන්තය වගේ රට වලට යන්න. මොකද මේ ලෙඩේ කොහොමද හැදෙන්නේ කියලා දන්නේ නැති නිසා. අර මුලින්ම ග්‍රිඩ් කියපු වෙලේ මම හිතුවා යන්න මොකද මම සම ලිංගිකයෙක් නොවන නිසා. පස්සේ එහෙම නෙවෙයි කියලා දැන ගත්තාම බය උනා. 1983 දී තමයි මේ ලෙඩේට හේතුව විෂබීජය HIV හඳුන ගත්තෙත් බෝවන විදිය අඳුන ගත්තෙත්. එතකොට හුඟක් අයගේ අර තිබුන බය නැතුව ගියා. මමත් 1985 දී එංගලන්තයට ගියා මගේ හොඳම යාලුවත් එක්ක පොර වගේ.

ඒඩ්ස් සහ එච් අයි වී ගැන පෝස්ට් එකකින් කියන්න බැහැ. මේ ගැන මම කරපු වැඩසටහන් යූ ට්යුබ් එකට ගිහිං මගේ නම ටයිප් කරාම බලා ගන්න පුලුවන් ඒ කාලේ මම යන්න පුලුවන් හැම මාධ්‍යයටම ගියා කට්ටිය මේ ගැන දැනුවත් කරන්න.

මම මේ ටික ලියන්න හිතුවේ දෙසැම්බර් පල වෙනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්. ඒ එක්කම වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙකුට මම ලින්ක් දෙකක් දානවා විස්තර දැන ගන්න. ඉස්සෙල්ලා අයි ටී එන් එකේ එක බලලා අනිත් එක බලන්න.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී