04.01.2019 - Master butcher Udugampola

මේ දවස් දෙකේ හැමෝම වගේ මැරිච්ච උඩුගම්පොල ගැන කතා කරන නිසා මම කල්පනා කලා අර මගේ ඊයේ පෝස්ට් එකේ ඉතුරු ටික හෙටට කල් දාලා කවුරුත් මේ දවස් දෙකේ කතා කරන මාතෘකාවට බහින්න.
උඩුගම්පොලගේ මල්ලිලා දෙන්නෙක් මගේ ක්ලාස් මේට්ස්ලා ගාල්ලේ මහින්දෙ. හයේ පංතියෙයි හතේ පංතියෙයි ඉන්න කාලේ. තව එක්කෙනෙක් හිටියා ඊට පහල පංතියක. අර දෙන්නාගෙන් බාලයාට පංති වල කවුරුත් බයයි. පොර දවසක් ගාල්ලේ ටෙක්නිකල් කොලේජ් එකෙන් රුපියලකට ගත්ත බැට් එකක් බලෙන් මගේ ඇඟේ ගහලා දෙකයි පණහක් ගත්තා. මම දෙකයි පණහක් හොයා ගන්න මාර කට්ටක් කෑවා. ඒ කාලේ තාත්තා මට දවසකට දෙන්නේ සත විස්සයි. ඒ ඉන්ටර්වල් එකට සත පහලවකට මාලු පාන් එකක් කාලා සත පහකට ප්ලේන් ටී එකක් බොන්න. ඉතින් බොලාට හිතා ගන්න පුලුවන් නේද රු. දෙකයි පනහක් හොයන්න මම මොන තරම් කට්ටක් කෑවාද කියලා. මම සුමාන තුනක් ඉන්ටවල් එකට මොකුත් නොකා බඩ ගින්නේ ඉඳලයි අරක ගෙවුවේ. බොහොම අමාරුවෙනුයි අරූව කැමති කරවා ගත්තේ සුමාන දෙකකින් සල්ලි ගන්න ගුටි නොකා. මම ඒ කාලේ හරිම බයයි ගුටි කන්න. දැනුයි කියලාත් ඒකේ වෙනසක් නැති උනත් දැන් ගුටි කෑවත් අසාධාරනේට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒ පන්නරයත් මට ලැබුනේ මහින්දෙන්ම තමයි වයස 18 විතර වෙන කොට. ඔය බැට් කාරයා පස්සේ ඕ ලෙවල් විබාගෙට පොතක් බලා ගෙන ලියද්දී ප්‍රින්සිපල් ඒක ගත්තා කියලා පස්සේ ප්‍රින්සිපල්ගේ ටයි එකෙන් ඇදලා ගහන්න හැදුවා ඉස්කෝලේ ඇතුලෙදිම. මිනිහා ඉස්කෝලෙන් අස් කරන්න නොදී බේර ගත්ත ගාල්ලේ හිටපු මන්ත්‍රී දහනායක. පස්සේ පොලිසියට බැඳිලා අයියා වගේම උනා. මෑන් තමයි අර මිලේනියම් සිටි කේස් එකට මාට්ටු උනේ.
ඔය ඩී අයි ජී පොර ඒ කාලේ එස් අයි. ඉතින් අර තුන් දෙනාගෙන් වැඩිමලා තමයි පවුලේ අහිංසකයා. මල්ලීගෙන් ගුටි කාපු ඈයෝ ඒකෙ පලිය ගත්තේ අයියාගෙන්. අන්තිමට මැරුම් කෑවේත් එයායි, වයිෆුයි අවු. 4, 2 දරුවෝ දෙන්නයි අම්මායි. මේ වෙන කොට අපි වැඩ කලේ ගාල්ල මහමෝදර රෝහලේ බාහිර රෝගී අංශයේ. ඒ කාලේ මම දවල් දවසේ වැඩ කරනවා මගේ හොඳම යාලුවා රෑට වැඩ කරනවා. එයා දවල්ට ගෙදර මම රෑට ගෙදර ඉන්නවා පොඩි කෙල්ල එක්ක. එදා මහ රෑ ඔය මිණී ගේන කොට ගාල්ල ඕපීඩී එකේ හිටියේ මගේ වයිෆ්. උඩුගම්පොලගෙයි, අම්මාගෙයි දරුවන් දෙන්නාගෙයි මිණී ගෙනත් තිබුනේ පස්සේ. මුලින්ම ගෙනත් තිබුනේ උඩ්ඩාගේ වයිෆ් එයා හරි ලස්සන කෙනෙක්. එයා විතරයි පණ පිටින් ගෙනත් තිබුනේ. මට මතකයි මගේ වයිෆ් කියනවා එයා එයාගේ පිච්චිච්ච ඇඟ දිහා බලලා කිවුවාලු අනේ මේ බලන්න මට වෙලා තියන දේ කියලා. ඒ වෙන කොට එයා දැන ගෙන ඉඳලා නෑ අනිත් අයට වෙච්ච දේ. මුලු හමම පිච්චුනාම වේදනාවක් දැනෙන්නේ නෑ. මොකද වේදනාව දැනෙන ස්නායු සේරම පිච්චිලා නිසා. පස්සේ තමයි විෂබීජ ගිහින් කෙල වෙන්නේ. එයාත් පස්සේ දවසේ කොලඹට යවලා ඊලඟ දවසේ මැරුනා. අර දරුවෝ දෙන්නා හරියට බැදපු කුකුල්ලු වගෙයි තිබිලා තියෙන්නේ. උන් දෙන්නාව පණ පිටින් ගින්දරට දාලා. ඒක මම දැක්කේ පහුවෙනිදා පෝස්ට් මෝටම් එකේදී. ඒ දෙන්නාගේ ඇඟේ වෙන කිසිම තුවාලයක් තිබුනේ නෑ. අර වයිෆ්ගේ අයියා කෙනෙක් හිටියා මගේත් යාලුවෙක් ඒ කාලේ ලෝයර් කෙනෙක්. එයා අර රෝස්ට් වෙච්ච පොඩි එකාගේ බොඩි එක අතට අරං තුරුලු කරගෙන අනේ මේ මගේම ලේ කියලා වැලපිලා තියනවා.
ඉතින් පහු වෙනිදා උදේ මගේ වයිෆ් නයිට් ඩියුටි ඉවර වෙලා ගෙදර ඇවිත් ඒ වෙන කොට අවුරුදු එක හමාරක් වුනු අපේ කෙල්ලව බදා ගෙන ඇඬුවා අනේ මේ වගේ දරුවන් නේද ඊයේ පුච්චලා තිබුනේ කියලා. එතකොට තමයි මම දැන ගත්තේ සිද්ධිය. මේවා අහලා දැක්කාම මට හිතුනා විජේවීරගේ කෑල්ලක් කන්න. ඊට පස්සේ කාලෙක අර බාල්දි නානා,රත්ගම දොස්තර ෆර්නෑන්ඩු, ජෝර්ජ් රත්නායක වගේ අය මරපු දවස් වලත් මට එහෙමම හිතුනා කියලා මගේ පරණ පෝස්ට් වල මම කියලා ඇති. ඉතින් මචං අපි වගේ පිටස්තරයින්ට අර තරම් කම්පනයක් ඇති කලා නම් උඩුගම්පලට මොන තරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද තමන්ගේ අම්මා, මල්ලී, මල් වගේ අහිංසක දරුවෝ අර විදියට මරලා දැම්මාම. මට හිතුනා නම් විජේවීරගේ කෑල්ලක් කන්න උඩුගම්පොලට මොනවා හිතෙන්න ඇද්ද.බලයත් අතේ තිබිච්ච එකේ.
හැබැයි අපට පස්සේ ආරංචි වුනා මේ අපරාධය කලේ ජේවීපී නෙවෙයි ආණ්ඩුවේම කණ්ඩායමක් කියලා. ලඟම හිටපු අය කිවුවා මේක කරන්න ආපු එකෙක් ඇහුවා කියලා සාජන් ඔක්කොම ඉවරද කියලා. ඒ වගේම ඊට පස්සේ හමුදාවේ අයගේ දෙමව්පියන්ව මරලා ඒවාත් ජේවීපී එක පිට දැම්මේ ඒ කණ්ඩායම මයි කියලත් අපට ආරංචි උනා.මම අදටත් හිතන්නේ නෑ පුංචි දරුවෝ දෙන්නෙක් පණ පිටින් ගින්දරට දාන්න ජේ වී පී එකේ එකෙකුටවත් පුලුවන් උනා කියලා.මොකද ඒ වෙන කොට උඩුගම්පොල ජේ වී පී අයව මරලා තිබුනේ නැති නිසා අර තරම් දෙයක් කරන්න තරම් වෛරයක් ඇති වෙන්න බෑ.
1987අගෝස්තු වල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා උතුරේ හිටපු හමුදාව මෙහාට ගෙනාපු වෙලාවේ හමුදාවේ අය ජේවීපී එකට විරුද්ධව ගියේ නෑ. මොකද අපේ හමුදාත් ජේවීපී එකත් දෙකම විරුද්ධ වුනා ඉන්දියන් හමුදාව ආපු එකට. මතකයිනේ නේවි එකේ විජිත රෝහණ රජීව්ගේ ඔලුවට රයිෆල් මිටෙන් ගැහුවා. පිටි පස්සේ හිටපු අනිත් එකා අත දැම්මේ නැත්තම් රජීව් මැරෙන්නේ මෙහෙදීයි. ඉතිං ආණ්ඩුවට ලොකු ප්රශ්නයක් වුනා මේක. සමහරු ඒ කාලේ කිවුවා හමුදාව ජේවීපී එකට සපෝට් කරාවි කියලාත්. ඔන්න ඔය නිසා තමයි ආණ්ඩුවම අර වගේ වැඩ කලේ හමුදාවත් පොලිසියත් ජේවීපී එකට විරුද්ධව යවා ගන්න. ඒ කාලේ ගාල්ලේ හිටපු අපට මේ හොට් හොට් ආරංචි ලැබුනා.
උඩුගම්පොලට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් කම තිබුනා මේවායේ ඇත්ත නැත්ත. ඒත් මිනිහා එහෙම කරනවා වෙනුවට අර ලණුව කාලා ඉතාම අමානුෂික විදියට තරුණයින්ව මැරුවා. මම මගේ පරණ පෝස්ට් වල කිවුවා මම රෝහල් අධ්යක්ෂ වෙලා හොඳට හොස්පිටල් දෙක කරගෙන යන කොට ඒක බලා ගෙන ඉන්න බැරි වුනු බයේ අධ්යක්ෂ කම දාලා ගියපු මස් වැද්දා ගාල්ලේ ඩීඅයිජී ට කිවුවාම කියලා මම ජේවීපී කාරයා ඒ නිසයි මට ජේවීපී එක කචල් දාන්නේ නැත්තේ කියලා එතන හිටපු එස්පී ලලිත් දිසානායක මහත්තයා ඔය අමූලික බොරු කියලා මාව බේර ගත්ත හැටි.එහෙම නොවුනා නම් මමත් අරයාගේ ගොදුරක් වෙන්න තිබුනා.
මම මේක දික් කරන්නේ නෑ. ඒත් අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕන කාරණා තියෙනවා. 1987/88 කාලවලදී හමුදාව, පොලිසිය, ජේවීපී එකට විරුද්ධව උසි ගැන්නුවා වගේ අදත් සිංහල මිනිසුන් අනිත් ජාති වලට විරුද්ධව උසි ගන්නලා දේශපාලන වාසි ගන්න උත්සාහයක් තියනවා. සංවිධානාත්මක කල්ලි දාලා බුදු පිළිම විනාශ කරවන්නේ කොහොම හරි බලයට එන්න දඟලන අය අදත් සිටින නිසායි. ඒ නිසා මේවා පිලිබඳව ඉතාම බුද්ධියෙන් ඉන්න ඕන කාලයක් ඉදිරියේදී අපි ඉස්සරහා ඇති වෙනවා. වෙනවා නෙවෙයි කරවනවා. ඒ නිසා පරිස්සමින්.
මම හිතනවා මේ තිත්ත ඇත්ත අවසාන කාලයේදී උඩුගම්පොල තේරුම් අර ගෙන වෙන්න ඇති මෑන් භාවනාවට එහෙම ගියා කියලා කියන්නේ. ඒත් ඔය නුවණ ඒ කාලේම පහල උනා නම් මිනිහාට තිබුනේ ඇත්තෙන්ම තමන්ගේ අම්මා මරවපු එවුන්ගේ ඔලුව කුඩු කරන්න අර විජිත රෝහණ කරන්න හැදුවා වගේ. මොකද දෙන්නාම ගාල්ලේ එවුන් නිසා. ඒත් එහෙම දෙයක් කරන්න ගටක් තිබුනේ විජිතයාට විතරයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී