Dream - 19.05.2018

හැමදාම හවසට වහින හිංදා මේ දවස් වල මම ජොගිං ගියේ උදේට. ඉතිං අද උදේත් හිස් බඩම පාර්ලිමේන්තු පාර දිගේ යන කොට ලයිට් එලියට මම දැක්කා ඒ පාරේ ඉන්න ඔනරබල් පාරේ එහාට මෙහාට ඇවිදිනවා. සෙක්කෝ පස් දෙනෙක් විතර මෑන්ව කවර් කර ගෙන වටෙන් යනවා. තව ටිකක් ලඟට යන කොටයි මම දැක්කේ මෑන් ඉන්නේ බර්ත් ඩේ සූට් එකෙන් කියලා. මම ජොගිං යාම පැත්තකින් තියලා සිරසේ ඉන්න මගේ යාලුවෙකුට කෝල් එකක් ගත්තා. ඌට උදේ පාන්දරින්ම කතාකරාම මල පනියි කියලා හිතුවත් පලවෙනි රිං එකටම මිනිහා ආන්සර් කලාම මම කිවුවා මම දැකපු දේ ගැන. මිනිහා කිවුවා "තව තැන් වල ඕකම වෙනවා කියලා ආරංචි වුනා. මම මේ ලෑස්ති වුනේ දෙක තුනක් කවර් කරලා නිව්ස් අයිටම් එකක් කරන්න මම ඉස්සෙල්ලාම ඔතෙන්ට එන්නම්" කියලා බයික් එකකින් ඇවිත් අර ඔනරබල්ව කවර් කර ගෙන යන්න හදන කොට මමත් ජොගිං කිට් එක පිටිංම පස්සෙන් නැග ගත්තා.
රාජගිරිය හරියට යන කොට කෝට්ටේ නගර සභාවේ දැන් ඉන්න ඒ වගේම හිටපු ඔනරබල්ලා අර වගේම බර්ත්ඩේ සූට් එක ගහ ගෙන පාරේ ඉන්නවා පක්ෂ විපක්ෂ ඔක්කොම. ඊලඟට බොරැල්ලේ, කැලණියේ සේරම ඔනරබල්ලා අර විදියටම පාරේ කිසිම පක්ෂ බේදයක් නැතුව එකට ඉන්නවා. කැලණියේදී ගැමුණු මට වේව් එකකුත් දැම්මා. අර ඒ දවස් වල රූපවාහිනියේ සෙට් එකෙන් කාලා මර්චන්ට් වෝඩ් එකේ ඉන්න කාලේ මම උදවු කල එක මිනිහාට මතක තිබුනා. මොනවා උනත් පපුව හොඳ එකා. ටෙම්පල් ට්‍රීස් එකේ ලොකු ඔනරබල් බර්ත්ඩේ සූට් එකට හරිම හැඩයි. ඒ වගේමයි මාලිගාවත්තේ සෙට් එක. ගම්පහ ඔක්කොමලා ඇවිත් හිටියත් පබා ඇවිත් හිටියේ නෑ. කවුරුත් නොඉවසිල්ලෙන් හිටියේ එයා එනකම්. අපිත් ටිකක් වෙලා අයිනකට වෙලා බලා ගෙන හිටියා. දැන් නැතුවට දැන් එයි කියලා. පස්සේ යාලුවා කිවුවා "එක අතකට ඕක නොදැකපු එකක් නෙවෙයිනේ අපි යමු අපේ ඉතුරු වැඩ ටික කරගන්න මට කාටත් කලිං නිවුස් අයිටම් එක දා ගන්න ඕන" කියලා.අපි ඔහොම මුලු කොලඹම කවර් කරලා කොම්පඤ්ඤ වීදියේ කඩයකින් ප්ලේන්ටී එකක් ගහන ගමන් දහ අතේ කල්පනා කරා මොකක්ද මේ අවුරුදු දවසේ ඔනරබල්ලා නටන නාඩගම කියලා. එතකොට අර ආකිමීඩිස්ට වගේ එක පාරටම මට තේරුනා මේ අර ග්ලිෆොසිලේට් තහනම අයින් කරන්න හදන එකට විරුද්ධව ගොවි ජනතාව දැනුවත් කරන්න කරන දෙයක් කියලා.
1977 ට ඉස්සර අපේ ගොවි ජනතාවට ගොයමේ කීඩෑවන් විනාශ කරන්න අපූරු ක්‍රමයක් තිබුනා. පොල් ලෙලි වගේ ඒවා පුච්චලා ගන්න අලු උදේ පාන්දරම ගෙනිහිල්ලා ගොයමට ඉස්සාම ගොයමේ තියන පිනි බිංදු වල අර අලු දිය වෙලා හැදෙන පල්ප් එක කීඩෑවන්ගේ ශ්වසන මාර්ගයේ හිර වෙලා උන් මැරෙනවා. හැබැයි අලු ඉහින්න යන්න ඕන කිසිම ඇඳුමක් නැතිව හෙලුවෙන්. ඒ කාලේ මිනිස්සු හිතුවේ ඒක කෙමක් කියලා උනත් ඒකෙන් කෙරෙන්නේ ඉර පායන්න කලින් අලු ඉහෙන එකයි. මොකද ඉර පෑවුවම අර පින්න වේලෙන නිසා. ඉතිං හෙලුවෙන් යන ගමන නිසා කලුවරේම ගිහින් අලු ඉහලා කලුවරේම ආපහු එන්න ඕන කාටවත් නොපෙනෙන්න. මේ ක්‍රමය හා තවත් ඒ වගේ දේශීය ක්‍රම 1977න් පස්සේ බහු ජාතික සමාගම් ගෙනාපු කෘමි නාශක හා වල් නාශක නිසා මේ ක්‍රමය නැති වෙලා ගියා. මිනිස්සුන්ට අලු හදන්න කරදර වෙන්න උදේම යන්න ඕන නෑ. දවල් වෙලා ගිහින් ඒවා ඉහලා එනවා. වැඩෙත් ලේසියි ඉක්මන්. හැබැයි ඒ ලොරි දහස් ගණනින් ගෙනාපු කෘමි නාශක නිසා හොඳට තිබුනු අපේ පස නිසරු වෙලා ගියා හරියට අර ලස්සනට ඉන්න කෙල්ලෙකුට මගුල් දවසේ මේකප් දාලා ඒකිව යස්සනියක් කරනවා වගේ. ඒ වගේම මේ කෘමි නාශක නිසා වෙච්චි ඉතාම නරකම දේ තමයි උතුරු නැගෙනහිර පලාත් වල වකු ගඩු රෝගය වසංගත තත්වයක් තරමට පත් වීම. මේක විද්‍යාත්මකව ඔප්පු කරලා ඒකට විරුද්ධව ජන මතයක් ඇති උනාට පස්සේ තටමලා තටමලා යාන්තම් ග්ලයිෆොසිලේට් පාවිච්චිය තහනම් කරා.
පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ බසවක්කුලම වැව හදලා ඒ පලාත සරු ගොවි බිමක් කලා වගේ පරාක්‍රමබාහු රජතුමා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය හදලා ඒ පලාත ගොවි බිමක් කරපු කාලේ හිටං (හිටං කිවුවාට වෙන මොකුත් හිතන්න එපා) ශතක ගනනාවක් පුරාවට 1977 වෙනකම් ඒ පලාත් වල මොනම වකුගඩු රෝගයක් වත් තිබුනේ නෑ.1979 - 1981 කාලයේ පොලොන්නරුව, මැදිරිගිරිය, බකමූන වගේ ගොවි ප්‍රදේශ වල තියෙන ඉස්පිරිතාල වල වැඩ කරපු නිසා මම ඒ විත්තිය හොඳටම දාන්නවා. මම අවුරුදු තුනක් පුරාවට බිවුවේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, කවුඩුලු වැව වගේ වැවු වල වතුර. මොන රෝගයක් වත් හැදුනේ නෑ. හැබැයි දැන් ඒ පලාත් වල සල්ලි තියන අය සේරම බොන්නේ බෝතල් වතුර. මේ වෙන කොට වෙනම වකුගඩු රෝග වලට ප්‍රතිකාර කරන යුනිට්ස් තියෙනවා අනුරාධපුර, පොලොන්නරුව රෝහල් වල. පොඩි ලමයින්ට පවා වකුගඩු රෝග. බොලාගේ ලමයකුගේ වකුගඩු නරක් උනොත් හිතට එන ගැම්ම ගැන හිතහල්ලා.
ඉතිං මේ වගේ ජාතික ප්‍රශ්නයකදී අපේ ඔනරබල්ලා කිසිම පක්ෂ භේදයක් සලකන්නේ නැතුව එකට එකතු වෙලා පැරණි කීඩෑ මර්ධන ක්‍රමය නැවත ප්‍රචලිත කරන්න හදන එකට මට හරිම සතුටුයි. මෙහෙම තමයි වෙන්න ඕන. අනිත් ප්‍රශ්න වලදීත් මේ වගේම රටක් හැටියට හිතලා එකට වැඩ කරනවා නම් මම ජොගිං කරන එක නවත්තලා ඉනේ දිය ලනුවක් බැඳ ගෙන අමුඩයක් ගහ ගෙන කුඹුරට බහිනවා. අම්මපල්ලා.
"මගේ යාලුවා අනිත් පලාත් වලිනුත් අහලා බැලුවා ඒ පලාත් වල තත්වය. හැම තැනම එක වගේ බදුල්ල, මහියංගනය, පොලොන්නරුව, අනුරාධපුර, රත්නපුර, ඇඹිලිපිටිය, ගාල්ල, මාතර, හම්බන්තොට, තිස්සමහරාම වගේ හැමතැනම ඔනරබල්ලා බර්ත්ඩේ සූට් එක පිටින්ම විරෝධතාවයේ යෙදෙන බව තමයි දැන ගන්න ලැබුනේ. හම්බන්තොට තාත්තා, අම්මා, අය්යා මලෝ සේරම බොහොම උනන්දුවෙන් බැහැලා ඉන්නවාලු. ඒ වෙන කොට ගම්පහ පබාත් ඇවිත් ඉන්නවාලු. පලාතේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ සේරම එතනලු.
ප්ලේන්ටිය ගහලා ඉවර වෙලා එන්න හදන කොටම මගේ යාලුවාට පණිවිඩයක් ආවා ගෝල් ෆේස් එකට ඍෂි වරයෙක් පතිත වෙලා කියලා. ඒකත් බලා ගෙනම පුලුවන් නම් ඍෂි වරයාත් කවර් කර ගෙන යමු" කියලා යාලුවා කිවුව නිසා මමත් ගියා. යන කොට සෙනග සූ ගාලා වටවෙලා ඍෂි වරයා බලන්න. ලඟට ගිහින් බලන කොට මේ මමත් එක්ක මෙඩිටේට් කරන කෙනෙක්. ගුරුවරයෙක් වෙලා ඉඳලා අවුරුදු පනස් පහෙන් පෙන්ෂන් අරගෙන එදා ඉඳන් අවුරුදු විස්සක් විතර මෙඩිටේට් කරලා එයාට මාර්ග ඵල ලැබිලා කියලා තමයි කවුරුත් කියන්නේ. එයාගෙන් විස්තර ඇහුවාම කිවුවා ආණ්ඩුව ලඟදීම එයාගේ පෙන්ෂන් එකෙනුත් බදු අය කරන්න යන නිසා ඒකට විරුද්ධව සත්‍යක්‍රියාවක් කරනවා කියලා ඊයේ රෑ ඉඳන්. එදා මෙදා තුර මේ රටේ මිනිස්සුන්ගේ මුදල් හොරා කාපු පක්ෂ විපක්ෂ සේරම ඔනරබල්ලා ඒ සේරම සල්ලි සතයක් අඩු නැතිව ආපහු ගෙවන කම් උපදින කොට ගෙනාපු දේවල් විතරක් තියාගෙන පාරට වෙලා හිටපල්ලා කියලාලු සත්‍යක්‍රියාව කලේ. එතකොට තමයි මට තේරුණේ කේස් එක. මුං ටික හෙලුවෙන් පාරට බැහැලා තියෙන්නේ පරණ කීඩෑ මර්ධන ක්‍රමය පෙන්නන්න නෙවෙයි. කරපු හොරකම් නිසා සත්‍යක්‍රියාවේ බලයෙන් කියලා.
වැඩි විස්තර අහගන්න හදන කොටම බෝම්බයක් පිපිරුවා වගේ මහා සද්දයක් ඇහිලා මම උඩ ගිහින් බිම වැටුනා. එතකොට තමයි මම දැන ගත්තේ මෙච්චර වෙලා මම දැකලා තියෙන්නේ හීනයක් කියලා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී