කහකඩයින්ගේ ආගම

මම අදට ලියලා තිබුනේ වෙන ටොපික් එකක් ගැන උනත් ඒක පස්සට දාලා මේ ඌණ පූරණය ලියනවා. මගේ ගිය පාර පෝස්ට් එක දැකපු මගේ ඉස්කෝලේ යාලුවෙක් මට හිස් බඩම කෝල් එකක් අරගෙන අම්මා මෝ නැතුව බැන ගෙන ගියා මොනවද බං උඹ මේ ලියන්නේ. උඹ බෞද්ධයෙක් නේද. උඹ ඉගෙන ගත්තේ රටේ තියන බෞද්ධ ඉස්කෝලෙක නේද. දොස්තරෙක් උනාම බොට ආගමත් අමතක වුනා එහෙනම්. බිග් මැච් එකට ආපු වෙලාවක හරි මම උඹව අල්ල ගන්නවා කියලා.
මගේ යාලුවා උනාට මට වැඩිය අවුරුදු තුනක් විතර වැඩිමල්. මම ඌට පැහැදිලි කරලා දුන්නා ඉස්කෝලේ යන කාලේ නෙවෙයි දැනුයි මම නියම බෞද්ධයා. එහෙම වෙන්න මට අවුරුදු තිස් පහක් ගියා කියලා. මම කිවුවා ඕ ලෙවල් වලට බුද්ධාගමට ක්‍රෙඩිට් එකක් ගත්තාට අපි ඒ කාලේ අඩු ගණනේ පන්සිල් රැක්කාද කියලා. අපි ගෙදරට බොරු කියලා පිචර් බලන්න, මූදේ නාන්න ගියා. ඒ ලෙවල් වලදී බිග් මැච් එක දවසට හතර ගාතේ දාලා වැටෙන්න ගැහුවා, බූස්සේ රේස්කෝස් එකේ ගස් වල හොරාට කුරුම්බා කැඩුවා, දොල පාරවල් වල ඉන්න මාලුන්ට පිහියෙන් ගහලා කැපුවා. අපේ අතින් සිද්ද නූනේ අර තුන්වෙනි එක විතරයි කියලා. ඒකත් අපේ තිබිච්චි බෞද්ධ කමකට නෙවෙයි අවස්ථාවක් නැති වීමයි, හිතේ තිබුණු බයයි නිසා කියලා. ඒත් හිතෙන් ඕන තරම් ඒකත් කැඩෙන්න ඇති කියලා. මම කිවුවා මචං වියතික්‍රමණ මට්ටමට ආවේ නැති උනාට ඒ කාලේ ඕන තරම් පරිඋට්ඨාන මට්ටමට පත් වෙලා ඇති කියලා.
පොර මහ ලොකු බෞද්ධයා ඒ වචන දෙකේ තේරුම දැන ගෙන හිටියේ නෑ. හැබැයි ලෑස්ති වෙලා ඉන්නේ දෙව් මිනිස් සැප අවසානයේ අමා මහ නිවනට යන්න. එක පාරටම නිවනට යන්නත් කැමති නෑ. මොකද දිවිය ලෝකේ දිව්‍ය අංගනාවන්ගේ පහස ලබන්නත් ඕනනේ. මට කල්පනා උනා ඌ වැරදිලාවත් අර සිත මිස කය නැති දිව්‍ය ලෝකයකට ගියොත් මොකක් වෙයිද කියලා. ඇයි බං එහේ දිව්‍ය අංගනාවන්ටත් කයක් නෑ නේ. සිත විතරයිනේ. එතකොට ඌට පහස ලබන්න වෙන්නේ අර අපි ඉස්කෝලේ ගිය කාලේ පරිඋට්ටාන මට්ටමෙන් කර ගත්තා වගේ තමයි. ඕකට දිව්‍ය ලෝකෙට යන්න ඕන නෑනේ බං. මෙහේදිම පුලුවන්නේ ඕනම දිව්‍ය අංගනාවක් එක්ක හිතෙන් සෙට් වෙන්න. බොරුද හා. මම ඔය අන්තිමට කියපු ටික ඌට කිවුවේ නෑ. මම කිවුවා අර අමරදේවගේ කුමරියක පා සලඹ සැලුනා කියන සිංදුව හතර පස් පාරක් කණින් නෙවෙයි ඔලුවෙන් අහලා මට කතා කරපන් එතකොට මම අර වචන දෙකේ තේරුම කියන්න කියලා. දැන් මේ රෑ වෙලත් තාම කතා කලේ නෑ. මම හිතන්නේ එක්කෝ සිංදුව හොයනවා, නැත්තං ඔලුවෙන් අහන්න ට්‍රයි කරනවා.
මම ඌට කිවුවා බුදු හාමුදුරුවෝ අපට යන්න ගමන් මාර්ගයක් පෙන්නලා තියනවා. එහෙම නැතුව ආගමක් හදලා දීලා නෑ. පස්සේ තමයි මේකට එක එක ආගම් වල කෑලි එකතු වෙලා ආගමක් වෙලා තියෙන්නේ කියලා. මිනිස්සුන්ටත් ධර්ම මාර්ගයේ ගමන් කරනවාට වඩා ලේසියිනේ ආගමක් අදහන එක, පිලිමයකට, ගහකට වඳින එක. හඳුන් කූරු පහන් පත්තු කරන එක.
මම ඌට කිවුවා කාට හරි රසායන විද්‍යාව පාස් වෙන්න ඕන නම් හොඳ ගුරුවරයෙකුගෙන් විෂයය ඉගෙන ගෙන, සටහන් ලියා ගෙන ඒවා සිහියේ තියාගෙන ගිහින් ඒ අනුව විභාගයේදී අහලා තියන ප්‍රශ්න වලට උත්තර ලියන එකයි කරන්න ඕන කියලා. එහෙම නැතුව ගුරුවරයාට වන්දනා මාන කරලා, එයාගේ පින්තූරයක් බිත්තියේ එල්ලගෙන මල් මාලයක් දාලා, හඳුන් කූරු පත්තු කරලා නෙවෙයි කියලා. ඒවා කරාට කමක් නෑ හැබැයි අර අත්‍යවශ්‍යම එකත් එක්ක. තමන්ගේ ගුරුවරුන්ට දෙමවුපියන් හා සමානව සලකන්න ඕන ගරු කරන්න ඕන. හැබැයි ඒකෙන් විතරක් විභාග පාස් වෙන්න බෑ. මම මගේ උසස් පෙල රසායන විද්‍යාව ගුරුවරයා වූ වෛද්‍යරත්න මහතාට අදත් ගරු කරනවා. ඉඳ හිටලා බලන්න ගාල්ලේ ගෙදරටත් යනවා. හැබැයි මම උසස් පෙල පාස් උනේ අර සටහන් මැරීගෙන පාඩම් කරලා ෂෝට් නෝට්ස් ලියලා අන්තිමට ඒවා කියවලා විභාගෙදි උත්තර ලියලා. ඒක ලේසි උනේ නෑ. අර ගුරුවරු වන්දනාව ඊට වඩා හරිම ලේසි උනත් ඒකෙන් විතරක් හරියන්නේ නෑ .
මම ඌට කිවුවා බුදු දහමත් අන්න ඒ වගේ. ප්‍රථිපල ගන්න නම් ධර්ම මගේ යන්න ඕන. ඒක මුලින් අමාරුයි යම් යම් දේ අතහරින්න වෙනවා. ඒත් පහුවෙන කොට එකෙන් එන සතුට සැනසිල්ල නිසා ඒක ලේසි වෙනවා. පාඩම් කරන කොටත් එහෙම තමයි. ගුරුවරයා පංතියේදී ප්‍රශ්නයක් අහපුවාම අනිත් එවුන් නියව ගෙන ඉන්න කොට තමන් උත්තරේ කියපුවාම සර් පිටට ගහලා වෙරි ගුඩ් කියපුවාම හිතට එන ගැම්ම නිසා තව තව ඉගෙන ගන්න මාර ගැම්මක් එනවා. අන්තිමට වෙලාවක් එනවා තමන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙන්න බෑ කියන මට්ටමට හිතෙන. ඒක මම අත් විඳලා තියනවා. ඒ කාලේ කවුරු හරි කිවුවොත් කාබන් වලින් ඩයිනමයිට් හදන්නේ කොහොමද කියලා මම ඒක කරන හැටි කියනවා අදියර පහලොවකින් විතර. ඒ වගේ හැම විෂයක්ම කලේ විභාගය පාස් වෙන්න නෙවෙයි ඒකේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. බුදු දහම් මගේ යන එකත් ඒ වගේමයි කරන්න ඕන. මම ඒක ට්‍රයි කරනවා. ඒත් කාබන් ඩයිනමයිට් කරනවා වගේ ලේසි නෑ බං ඒක.
ඒ කාලේ හිටියේ බුදු වරු වගේ ගුරුවරු, ඒ ගොල්ලා සතුටු වුනේ තමන්ගේ ශිෂ්‍යයින් පාස් වෙනවා දැකලා. අද ඉන්නේ වැඩි හරියක් මස් කඩ කාරයෝ වගේ අය. උන්ට ඕන සල්ලි විතරයි. අර වෛද්‍ය වෘත්තියේ ඉන්න මස් වැද්දෝ වගේ. කරුමේ කියන්නේ අද වැඩි හරියක් හාමුදුරු වරු කියලා ඉන්නෙත් අන්න ඒ ජාතියේ උන්. මම උන්ටයි අර කහකඩයෝ කියලා කිවුවේ. උන් සතුටු වෙන්නේ මිනිසුන්ව දහම් මගේ යනවා දැකලා නෙවෙයි. උන්ට සැප සම්පත්, වාහන, සල්ලි, තනතුරු වගේ ඒවා ලැබෙනවා දැකලයි. හරියට අර හොර ටියුෂන් කාරයෝ වගේ, මස් වැදි දොස්තරලා වගේ. උන්ටත් ඕන සල්ලි මිසක් මිනිසුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය නෙවෙයි. මේ කහකඩයනුත් ඒ වගේමයි. බොහොමයක් උන් දන්න ධර්මයක් නෑ. විශ්ව විද්‍යාවල අලුතෙන් එන එවුන්ගේ සිවුරු ගලවලා හෙලුවෙන් උන්ට රැග් කරලා, පාරේ පොලිස් කාරයන්ට කුණුහරුප කියලා, වාහන වලට බෙල්ල තියලා, එන කහකඩයින්ට මොන ධර්මයක්ද. උන් බනකට ගියාම මොකක් හරි ජාතක කතාවක් හරි අර කොටුවේ හාමුදුරුවෝ කියන එකා වගේ ගෑනුන්ගේ සායවල්, පස්සවල් ගැන කියලා ගාන කපා ගෙන යනවා. තාමත් සස ජාතකේ කියලා ශක්‍රයා හඳේ හාවාගේ රූපය ඇන්දා කියලා කහකඩයෝ කියන කොට සාදුකාර දෙන මිත්‍යා දෘෂ්ටිකයින් ඉන්නවා. මේවා චීනා එහෙම දැක්කොත් උන් පස්සා නොබලා දුවයි පෝට් සිටි එකත් දාලා තොපි එක්ක හිටියොත් අපේ එවුනුත් ගොන්නු වෙලා අපේ රටටත් කෙල වෙනවා කියලා. ඇයි බං මේ ගිය මාසෙනේ උන් හඳේ බීජ පැල කරලා ආවේ.
ඉතින් මේ කහකඩයින්ට ඕන කරන්නේ අන්න ඒ වගේ මිත්‍යාදෘෂ්ටිකයින්. දෙව් මිණිස් සැප අවසානයේ නිවන් යන්න නම් අපට අහවල් දේ ගෙනත් දීපල්ලා, අහවල් පෙරහැර කරපල්ලා, පන්සලට වාහනයක් පූජා කරපල්ලා, බුදුගේ ඒ සී කරලා දීපල්ලා කිවුවාම ඒවා ගෙනත් දෙන්නේ අන්න එවුනුයි. 
උන් කහකඩයන්ට ඒවා ගෙනත් දිව්‍යාංගනාවන් ගැන හිතනවා තමන්ගේ අංගනාව ලඟම ඉඳිද්දී. ඒ වගේ උන් වැඩිවෙන කොට කහකඩයින්ට දෙව් සැප මෙහේදීම ලැබනවා. ඒ නිසා උන් නිවන් යන්න හිතන්නේ වත් නෑ.

ඉතින් මේ සේරම කියලා මම මගේ යාලුවාට කිවුවා මතක තියා ගනිං. දැන් තියෙන්නේ වෙලෙඳපොල ආර්ථික ක්‍රමයක්. ඒකේ හොඳ නරකක් නෑ. සල්ලි සැප සම්පත් ලැබෙනවා නම් එච්චරයි. ඒක ගුරුවරුන්ටත්. දොස්තරලාටත්, කහකඩයින්ටත් එකයි. ඔක්කොම කරන්නේ බිස්නස්. දොස්තරලාට ලෙඩ්ඩු ඉන්න ඕන. උන් කැමතියි ලෙඩ්ඩු වැඩි වෙන තරමට. ගුරුවරු කැමතියි ලමයි පේල් වෙන තරමට. කහකඩයෝ කැමතියි මිනිස්සු මිත්‍යාදෘෂ්ටික වෙන තරමට. මේ සමාජ ක්‍රමය ඇතුලේ ඔය එක්කෙනක් වත් කැමති නෑ බිස්නස් නැති වෙනවාට. ඒ නිසා තමන්ගේ සෞඛ්‍යය රැක ගන්න නම් තමන් මහන්සි වෙන ඕන ඒක යුද්ධයක් වගේ අමාරුයි. රටේම තියෙන්නේ ඒකට විරුද්ධ බලවේග. දහම් මගේ යන එක ඊටත් අමාරුයි බොලා වගේ එවුන් ඉන්න නිසා කිවුවම මම හිතුවා ඌට මල පනියි කියලා. ඒ උනත් ඌ කිවුවා ඔවු උඹ මට හිතන්න දෙයක් දුන්නා කියලා.
ඒ නිසා මට ඊලඟ බිග් මැච් එකට ගියාම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එදාට මම ඌට අර අමරදේවගේ සිංදුව ගිහින් දෙනවා.


පෙරේදා උදේ ගාල්ලේ මගේ යාලුවෙක් මම බුද්ධාගමට පහර දෙනවා කියලා මගෙන් හිස් බඩම ගේම ඉල්ලපු වෙලාවේ මම ඌට ඒ ගැන මගේ පැත්තෙන් කරුණු කිවුවාට පස්සේ පොර ඊයේ රෑ මට කතා කරලා කිවුවා මචං උඹ ඊයේ කියපු දේ සේරම ඇත්ත කියලා මට දැන් තේරෙනවා මමත් දන්න දන්න අයට ඒක කියලා දෙනවා කියලා. මට ෆුල් හැපි. මම කිවුවා උඹට දැන් තේරෙනවානේ බුදු දහම මේ රටේ තව දුරටත් පවතින්න නම් ඉස්සර වෙලාම මේ මිත්‍යාදෘෂ්ටිය වපුරන කහකඩයින් ටික පන්නා දාන්න ඕන කියලා. ඌ ඒකට එකඟ වුනා. ඒක කරන්න නම් නියම බෞද්ධයෝ මේ කහකඩයින්ව ප්‍රතික්ෂේප කරන්න ඕන. අර කලා කාරයෝ දෙන්නෙක් පහුගියදා අර ගම්මන්පිලගේ අතින් තෑගි ගන්න බෑ කිවුවා වගේ. මම ගිය සුමානෙත් මගේ පුංචි අම්මාගේ ගෙදර තිබුණු දානයකට ආරාධනා කරලා තිබුනාම කලින්ම ගිහින් මගේ යාලුවා දීපු පාර්සලයක් ගිහිං දීලා අර කහකඩ පොරවල් එන්න කලින් ආපහු ආවා. මට ඔවුන් කියන මිනිසුන්ගේ ආසාවල්, බැඳීම් නැත්නම් උපාදානය වැඩි කරවන දාණයේ ආනිසංස අහගෙන ඉන්න බැහැ. හැමෝම කියන්නේ අපට දීපල්ලා කියලයි. කවුරුවත් කියන්නේ නෑ දුප්පත් අයට, අනාථ නිවාස වලට දෙන්න කියලා. දවසක් එකෙක් කිවුවා අර අය එහෙම වෙලා තියෙන්නේ පෙර කරපු පව් නිසාලු. ඒ නිසා උන්ට ඒවා ගෙවන්න ඉඩ දෙන්න ඕනලු. ගෙවිලා ඉවර උනාට පස්සේ සැප ලැබෙනවාලු.
මම ගිය අවුරුද්දේ ඉඳලා කියාගෙන ආවානේ 1988 තිබුණු මුල්ම ජේවීපී හර්තාල් එක දවසේ කරාපිටිය ඉස්පිරිතාලේ ඕවර්සියර් මරා දාපු තැන ඉඳන් පටන් අරගෙන මම අහම්බෙන් වෛද්‍ය පරිපාලන සේවයට ආපු හැටිත්, ඊට පස්සේ ඊශ්‍රායල් වල මාස හයක් ගත කරපු හැටිත්, ඊටත් පස්සේ මාව ගාල්ලෙන් එලවලා කොලඹ පොලිස් මෝචරියේ මිණී කපපු හැටිත් ඊටත් පස්සේ සබරගමුව පලාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ හැටියට ගිහින් ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ඒකේ බාගයක් ඉන්දියාවේ ජයිපූර් වල ඉඳලා අවුරුදකින් ආපහු ආවා කියලා ඇමරිකාවට යන්න ඊලඟ මාස අටට. මම එතනින් පස්සේ ඒ කතාව නවත්තලා මේ ජරා දේශපාලනය ගැන ලියන්න ගිහින් ඒකෙන් ගොඩ ඒමක් නැතුවයි ඉන්නේ. ඒක පටන් ගත්ත වෙලාවේ මගේ එක යාලුවෙක් කමෙන්ට් එකක් දාලා තිබුනා ඔය වැඩෙන් ඩොක්ටර්ට වෙන්නේ සනත් ජයසූරියට වෙච්ච එකයි කියලා. ඒක ඇත්ත. ඉන් පස්සේ මාත් එක්ක බාගයක් විතර තරහ උනා. මම දන්නවා මේ ආගම් මාතෘකාවට බැස්සාම ඉතිරි අයගෙනුත් පිරිසක් තරහා වෙයි කියලා.ඒත් අර මගේ ගාල්ලේ යාලුවා වගේ එකෙක් දෙන්නෙක් හරි ඇත්ත තේරුම් ගත්තොත් මට අනික් උන් සීයක් තරහා උනාට කමක් නෑ.
ඉතින් මම ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ චැපල් හිල් වල තියන යුනිවර්සිටි එකට 1997 දී ගියා. එහේදී මට හුඟාක් එක එක රට වල් උන් සෙට් උනා. අපි එක් එක්කෙනාගේ රටවල් ගැන නොයෙක් දේවල් කතා කලා. දවසක් ආගම ගැන මාතෘකාවට ආවාම මම ඊශ්‍රායලයේදී ජේසුස්ට අදාල තැන් දැකපු දේවල් කියන කොට උන් ඇහුවා මම ක්‍රිස්ටියන්ද කැතලික්ද කියලා. මම එතකොට ඒ ගැන මොනවත් දැන ගෙන හිටියේ නෑ. අඩු ගණනේ ඒ දෙක දෙකක් කියලා දැන ගත්තේ පස්සේ. මම කිවුවා මම බුද්ධාගමේ කියලා. උන් එතකොට හරිම උනන්දු වෙලා මට ඒ ගැන කියන්න කිවුවා. මම සිදුහත් කුමාරයාගේ උපතෙන් පටන් අරගෙන බුදු වෙනකම් සේරම විස්තර කිවුවා. උන් හොඳට ඒවා අහගෙන ඉඳලා මගෙන් අහනවා, උපන් හැටියේම ඇවිදලා මම ආයිත් උපදින්නේ නෑ කියලා, ඊට පස්සේ හත් වෙන දවසේ අහසේ භාවනා කරපු සිදුහත් කුමාරයාට ඇයි අවුරුදු 29 ක් යනකම් තේරුම් නොගියේ ජීවිතය මොකක්ද කියලා. උන් කිවුවා ඕකත් අර ඉස්ලාම් ආගම වගේම විකාරයක් කියලා. මට ඒ වෙලාවේ මාර ලැජ්ජාවක් බං ඇතිවුනේ. මට ආර්ය අෂ්ටාංගික මාර්ගය චතුරාර්ය සත්‍යය වගේ දෙවල් කියන්න උනේ නෑ. අර ටික අහපු ගමන්ම උන්ට එපා වුනා. ඇත්තටම මධ්‍යස්ථව බලන කෙනෙකුට මේ විකාරයක් බව තේරෙනවා. කල්ප ගානක් පෙරුම් පුරාගෙන ඇවිත් උපන් හැටියේ අග්ගෝහමස්මි ..... ගාථාව කියලා හත්වෙනි දවසේ අහසේ පලයක් මවා ගෙන හිටපු සිදුහත් කුමරුට අර තරම් දෙයක් තෙරුම් ගන්න අවුරුදු 29 ක් ගියාය කියන එක, ඊලඟට ඒ කාලය ඇතුලත තමන්ගේ තාත්තා වයසට යන එකවත් නොපෙනුනු එක, ලෙඩෙක් නොදැක්කා කියන එක විශ්වාස කරන්න පුලුවන්ද.
මම පස්සේ කියවලා බැලුවා වල්පොල රාහුල හාමුදුරුවන් ලියපු වට් බුද්ද ටෝට් කියන පොත. ඒක පටන් අරං තියෙන්නේ දවසක් සිදුහත් කුමාරයාට සසර ගැන කලකිරිලා ලෝකයේ සත්‍යය හොයා ගෙන ගියා කියලා. ඒකේ කොතනකවත් පෙරුම් පුරපු ඒවා, විවරන ගත්ත ඒවා වගේ කතා මොනවත් නෑ. ඊට පස්සේ තියෙන්නේ බුදු දහම ගැන. බලලා නැත්නම් අරගෙන බලපල්ලා මේ මිත්‍යාවෙන් ගැලවෙන්න. උන් වහන්සේ මම ඇමරිකාවේ ඉන්න දවස් වලම අපවත් වුනා අවුරුදු 91ක් ජීවත් වෙලා. උන් වහන්සේ 1970 දී රටින් පිට වෙලා යුරෝපය පුරාම බුදු දහම ප්‍රචලිත කලා. හොඳටම අසනීප උනාට පස්සේ අවුරුදු 89 දී තමයි ලංකාවට ආවේ. අපිට බුද්ධාගම කියලා උගන්නන්නේ සසර පෙර නිමිතියි, ජාතක කතායි, දෙවුදත් ගල් පෙරලපු එකයි, පස්සේ පොර පොලොව පලාගෙන ගියා වගේ කතන්දරනේ. බුදු දහමේ තියන හරය උගන්වන්නේ නෑ. ඉගැන්නුවත් මතක තියෙන්නේ අර මිත්‍යාදෘෂ්ටික දේවල්. මොකද අපේ මිනිස්සු හරි කැමතියි අද්භූත දේවල් වලට. ඒ නිසා මිනිස්සු රැස් කර ගන්න අවධානය තියා ගන්න ඔය වගේ කතා කියන්න ඇති කියලයි මම හිතන්නේ.නමුත් දැන් ඇහෙන්නේ වැඩි හරියක් ඒවාමයි. වත් පිලිවෙත් ගැන මිසක් ධර්මය ගැන මොකුත් නෑ.
මම වෛද්‍ය ශිෂ්‍යයෙක්, වෛද්‍ය වරයෙක් හැටියට ලෙඩුන්, මහල්ලන්, මල කඳන් ඇති පදම් දැක තිබුනත් නියම යතාර්ථය තේරුම් ගත්තේ 1995 දී අපි කොලු කාලයේ හරිම ආසාවෙන් හිටි ඒ කාලේ නිළි රැජිනක් පසු කාලේක බීමට ඇබ්බැහි වෙලා මැරිලා මිණිය කපන්න වුනු වෙලාවෙයි. එදා ඒ නිළියගේ විරූපී වුනු සිරුර දැක්කාමයි මම ජීවිතේ අනියත ප්‍රායෝගිකව තේරුම් ගත්තේ. ඉස්සර ඔය මරණ ගෙවල් වල ගියාම අනිච්චේ දුක්කේ සංසාරේ කිවුවාට මේ ලෝකේ දෙයක් අවභෝද කර ගත්තේ නෑ. ඊලඟට අර විශ්ව විද්‍යාලයේදී ඊට අවුරුදු දෙකකට පස්සේ අරුන් එක්ක කතා කරපු වෙලේ තමයි මම මේ ආගම කියලා අපි කියන මිත්‍යාව හොඳින් තේරුම් ගත්තේ. අපි අපේම එවුන් එක්ක ඔය සතර පෙර නිමිති වගේ දේ කතා කරන කොට කවුරුත් එක මිත්‍යා බෝට්ටුවේ නිසාත්, ශ්‍රද්ධාව නිසාත් මේ විකාරය තේරුම් ගන්නේ නෑ. ඒත් අලුතෙන්ම අහන කෙනෙකුට ඒක තේරිලා අර කියන එකාව විහිලුවකට ලක් වෙනවා. හරියට එකම මඩ වලේ බැහැලා ඉන්න එවුන්ට එකා එකා අතරේ වෙනසක් නොපෙනුනත් ඌ ගිහින් පිරිසිදු වතුර වලකට බහින්න ගියාම උගේ ඇඟේ තියන මඩ නිසා වතුර වලේ ඉන්න උන් ඌව එලවලා දානවා වගේ. ඒ නිසා අපි මහන්සි වෙලා එක එකා ගානේ වත් මේ මිත්‍යාව කියන මඩ වලෙන් එලියට අරගෙන පිරිසිදු කෙරුවොත් අපිඅ මේ අගනා දහම බේර ගන්න පුලුවන් වෙයි. නමුත් එක හරිම අමාරු වැඩක්. අපි වඳින්නේ චීවරයටයි කියලා ඕනම කහකඩයකුට වඳින එවුන්නේ ඉන්නේ. එහෙනම් ගිහින් වැඳපල්ලකෝ අර සාප්පු වල විකුණන්න තියන චීවර වලටත්. ඒවායේ හඩු ගඳත් නෑ නේ.
මේ මිත්‍යාදෘෂ්ටිය නිසා කවුරු හරි කෙනෙකුගෙන් ඇහුවොත් මේ දැන් නිවන් යන්න සූදානම්ද කියලා මම දන්නවා එකෙක් කැමති වෙන්නේ නෑ කියලා. මොකද දෙව් මිනිස් සැප ලබලානේ යන්න ඕන. එක්කෝ කියාවි අපෝ ලොකු දුවගේ බබා හම්බ වෙන කම් බෑ කියලා. මොකක්ද ඒ කියන්නේ. තන්හාව සහ උපාදානය. ලොකු දූ ගැන තියන එකට අමතරව අලුතින් උපදින එකාටත්. ඉතින් නිවන් දකියිද බං. මම නැවත ඉපදීමක් විශ්වාස නොකලත් බුද්ධ ධර්මයේ සඳහන් වන පටිච්ච සමුප්පාදය අනුව උපාදානය තමයි නැවත භවය සකස් කරන්නේ. චක්‍රය පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම. මිත්‍යා විශ්වාස අවිද්‍යාවට හේතු වෙනවා. මිත්‍යාව මිනිසුන්ගේ සිත් තුල ඇති කරවන්නේ දුශ්ශීල මහණුන් හෙවත් අපි නිතර දකින කහකඩයින්.
මම දහම් මගෙන් බලාපොරොත්තු වන්නේ නිවණ එහෙම නැත්නම් නිවීම. ඒ කියන්නේ ඉතාම සැහැල්ලු නිරාමිස ප්‍රීතිය. සැහැල්ලු වෙන්න නම් සියලු බැඳීම් නැති කර ගන්න ඕන. එතකොට තමයි ගැලවිලා යන්න පුලුවන් කිසි අමාරුවක් නැතිව. බැඳීම් නැති කර ගන්න එක තමයි අමාරු.
මේ මිත්‍යා කතා ගැන හෙටත් කියන්න බලාපොරොත්තු වෙනවා.

Comments

Post a Comment

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී