අපි සාකච්චා කරගෙන ආවේ අපේ හුඟාක් මිනිස්සු මේ මාධ්‍ය වලින් කියන දේවල් ඉස් මුදුනින් පිලි අරගෙන ගොනාට අඳින එක ගැනයි. (මම සාකච්චා කරගෙන ආවා කිවුවේ කටින් කරපු එකක් නෙවෙයි කමෙන්ට්ස් වලින් කරපු නිසායි. මට මෙතෙන්දි මතක් වෙනවා මම උසස් පෙල ඉන්න කාලයේ දෙවෙනි වාර විභාගයට ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් තිබුනා මෙහෙම. ඇම්පියොක්සස්ගේ ජලක්ලෝම පද්ධතිය සහ ගැඩවිලාගේ සම පිලිඹඳව සාකච්චා කරන්න කියලා. ඉතින් මමත් මගේ දෙපැත්තේ පේලි වල හිටපු දෙන්නාත් සාකච්චා කරා. අනිත් උන් කිසි කතාවක් නැතුව ලියනවා. සමහරු කම්මුලේ අත තියාගෙන ඉන්නවා. මේක දැකලා සර් කාරයා ඇවිත් අපි තුන් දෙනාව පිනා ලඟට ගෙනිච්චා කොපි කෙරුවා කියලා. පිනා අහපුවාම අපි පේපර් එක පෙන්නලා කිවුවා සාකච්චා කරන්න කියලා තිබුණු නිසායි එහෙම කලේ කියලා යන්තම් ගොනා පාට් එක දාලා බේරුනා).
මීට අවුරුදු හතලිහකට පනහකට විතර ඉස්සර නම් එහෙම පිලි ගත්ත එක ප්‍රශ්නයක් වුනේ නෑ. ඒ කාලේ තිබුන ප්‍රධානනම මාධ්‍යය තමයි දිනපතා ලැබෙන පත්තරේ. ඒකෙනුත් ප්‍රධාන වුනේ ලේක් හවුස් පත්තර. ඒකෙනුත් දිනමිණයි සිලුමිණයි. ඒ කාලේ මේ පත්තර අදට වඩා හරිම ස්වාධීනයි වගේම වගකිවයුතු විදියට ප්‍රවෘත්ති වාර්තා කලා. නියම මාධ්‍ය වේදීන් හිටියා. අපට ඉස්කෝලෙදි කිවුවේ නිවැරදි ඉංග්‍රීසි, සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න නම් පත්තර වල කතෘවාක්‍යය කියවන්න කියලා. අන්න ඒ කාලේ තමයි යමක් පත්තරේ තිබුනා නම් ඒක සීයට සීයක් හරි කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුනේ. මොකක් හරි ගැන කිවුවාම 'උඹ කොහොමද හරියටම දන්නේ" කියලා ඇහුවාම ඇයි පත්තරේ තිබුනේ කිවුවාම ආයිත් ඒ ගැන වාදයක් නෑ. ඒ තරමටම විශ්වාසයි. මම හිතන්නේ අන්න ඒ විශ්වාසය තමයි තවම මාධ්‍ය ගැන මිනිසුන් තුල තියෙන්නේ.
ඒ වගේම ඔය අද ඉන්න චීවර ධාරීන් කියන දේවලුත් තාම ඒ විදියටම බොහෝ දෙනෙක් පිලිගන්නේ ඉස්සර කාලයේ හිටපු සිල්වත් භික්ෂූන් වහන්සේලා කිවුවේ ඇත්ත නිසායි. නමුත් අද වෙන කොට මේ දෙගොල්ලාම දූෂිත වෙලා මිත්‍යාව වපුරනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේ ගොල්ලා කියන දේ පිලිගන්න අය අමාරුවේ වැටෙනවා. මම මේ කණ්ඩායම් දෙක ගැන කිවුවේ මිනිසුන් තුල මේ දෙගොල්ලා ගැන තවමත් විශ්වාසයක් තියන නිසායි. එහෙම නැතුව සමාජයේ අනිත් කණ්ඩායම් හොඳ නිසා නෙවෙයි. නමුත් අදටත් මේ රටේ ඉතාම සුපේෂල ශික්ෂාසම්පන්න භික්ෂූන් වහන්සේලා අප්‍රකටව වැඩ ඉන්නවා. චෛත්‍ය වටේට වට ගණනින් රෙදි ඔතන, ලොරි ගණන් පලතුරු ගෙනත් ගොඩ ගහන මිත්‍යාදෘෂ්ටික බෞද්ධයින් අතරේ උන්වහන්සේලා ඉන්නේ කොන් වෙලා. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිත්‍යාව වපුරන චීවරයින්ට තමයි අද වැඩි දෙනෙකුගේ සැලකිලි. ඒ වගේ දුසිල්වත් චීවරයකුගේ ක්ලිප් එකකුත් මම දාන්නම්. සුපේෂල ශික්ෂාකාමී භික්ෂුවකට එහෙම දෙයක් කියන්න පුලුවන්ද, ඒ වගේම නියම බෞද්ධයෙකුට එහෙම කතාවක් අහන්න පුලුවන්ද කියලා බොලාම හිතලා බලාපල්ලා.
අදත් මාතෘකාවෙන් පිට ගියානේ. මේක මහ කරුමයක් බං. ඉතින් මේ ආහාර රටාව වෙනස් වීම නිසා අපේ අයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනවා විතරක් නෙවෙයි ඒක රටේ ආර්ථිකයටත් බලපානවා. විශේෂයෙන්ම මම දැනට කරන රස්සාවෙදි මට පෙනී ගියපු එකක් තමයි අපෙ රටින් යන මුහුදු නාවිකයින් සිංහලෙන් කියනවා නම් සී ෆෙයරර්ස්ලා අනිත් රටවල් වලින් එන අයට වඩා නැවු වලදී ලෙඩ වෙලා ආපහු එවන්න වෙන එක.එහෙම උනාම අරූ වෙනුවට වෙන එකෙක්ව ලඟ තියන රටකින් ගෙන්න ගන්න වෙනවා. ලෙඩ පොරට අමාරු නම් බෙහෙත් අරන් දෙන්න ලඟ තියන රටකට නැව ගෙනියන්න වෙනවා. කචල්ම ලෙඩක් නම් හෙලිකොප්ටරයක් නැවට ගෙන්න ගෙන අරූව ගෙනියන්න වෙනවා. උන්ට හෙන වියදමක්. මේ නිසා මේ ලඟකදීත් නැවු සමාගම් ඒ ගැන ඒ ගොල්ලන්ගේ කනස්සල්ල පල කරලා තිබුනා. දිගටම මේ දේ වුනොත් උන් කනස්සල්ල පැත්තකට දාලා කියන්න ඉඩ තියෙනවා අපි උඹලාගේ මිනිස්සු වැඩට ගන්නේ නෑ කියලා. එහෙම වුනොත් ඒක මහ ලෙඩක් වෙනවා. ලංකාවේ ඉන්නේ ලෙඩ්ඩු කියලා ප්‍රචාරයක් ජ්‍යාත්‍යන්තර නැවු කොම්පැනි අතර පැතිරිනොත් ආපහු ඒකෙන් ගොඩ එන්න ලේසි නෑ. හරියට අර මානව අයිතීන් උල්ලංඝනය ගැන පැතිරුනා වගේ. එහෙම වුනොත් ඒක විදේශ විනිමය ගේන එකටත් බලපානවා.
අනිත් එක රටේ ශ්‍රම බලකාය ලෙඩ්ඩු වෙන එක මොන තරම් ලැජ්ජාවක්ද. මීට අවුරුදු දහයකට විතර ඉස්සර කෙන්යාව වගේ අප්‍රිකානු රට වල හිටියේ වයසක අයත් දරුවනුත් විතරයි. අනිත් උන් ඒඩ්ස් වලින් මැරිලා. ඒ රටවල් අන්ත දුප්පත් උනා. මට මතකයි කෙන්යාවේ ඔක්කොම ඉස්කෝල වල ඒ කාලේ පාසල් පටන් ගත්තේ ඒඩ්ස් ගැන ගීයක් කියලා. ඒ වගේම හැමදාම පලවෙනි පීරියඩ් එකේ ඉගැන්නුවේ ඒඩ්ස් වලින් බේරෙන විදිය ගැන. ඉස්කෝල වල කොන්ඩම් පාවිච්චි කරන හැටි පොඩි එවුන්ටත් කියලා දුන්නා. මම ඒ ක්ලිප් එකකුත් දානවා. හොඳට අහ ගනිල්ලා. එහෙම කරපු නිසා අද වෙන කොට ඒ රටවල් ඒඩ්ස් වලින් ගොඩ ඇවිත් තියනවා.
මම ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ හිටපු අවුරුදු හතට සෑහෙන්න රටවල් ගානකට ගියා නොයෙක් වැඩ සටහන් වලට. ඉතින් ඒ රටවල් ඒඩ්ස් වලින් බේරෙන්න කරපු දේවල් දැකලා මම ඒ කාලේ හිටපු නිමල් සිරිපාල ඇමති තුමාටත් ඊට පස්සේ හිටපු සිරිසේන ඇමති තුමාටත් යෝජනා කරා කොහොම හරි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම ටීවී නාලිකාවක් හදමු කියලා මේ රෝග වලින් වැලකෙන විදිය ගැන ජනතාව දැනුවත් කරන්න. ඒඩ්ස් ගැන නෙවෙයි අනිත් බෝ නොවන රෝග ගැන. යහපත් ජීවන රටා, ආහාර රටා වගේම බෝවන රෝග වලක්වා ගන්න විදිය කියලා දෙන්න. එහෙම කලා නම් මේ වෙන කොට හෘද රෝග, දියවැඩියාව, පිලිකා වගේ රෝග වලට ප්‍රථිකාර කරන්න යන වියදම අඩු වෙන නිසා අර චැනල් එක දාන වියදම කවර් කර ගන්න තිබුනා. එහෙම කලා නම් මේ ජඩ මාධ්‍ය වලින් මිනිසුන්ව ලෙඩ්ඩු බවට පත් කරන වෙළඳ දැන්වීම් වලට හොඳ ගේමක් දෙන්න තිබුනා . ඇත්ත කියන්න තිබුනා. ඔය පහුගිය පෝස්ට් වල මම ලියපුවා තලු මර මරා දෙන්න තිබුනා මිනිස්සුන්ගේ බොක්කටම වදින්න. ලියන කොට වගේ නෙවෙයි කියනකොට දෙන්න පුලුවන්නේ ඇට්ටි හැලෙන්න. පිලිකා වාට්ටු වල, හෘද රෝග අංශයේ පෝලිම් වල ඉන්න ලෙඩ්ඩුන්ගේ වොයිස් කට් දාන්න තිබුනා උන් අද මේ කන කට්ටට හේතු කියලා. මම ඒ කාලේ මෙහෙම කලා නම් මට අද මෙහෙම වෙන්නේ නෑ කියලා අනිත් අයටත් අවවාද කරලා. අර ඇපල් සමාගමේ අයිතිකාර ස්ටීව් බ්‍රිජ් මහත්තයා අන්තිමට කිවුවා වගේ. ඒ වගේම බයි පාස් කරලා බට දාගෙන මැෂින් වලින් හුස්ම ගන්න වටේට වයර් හයි කරගෙන හරියට තොරණ් වගේ ඉන්න අයව පෙන්නන්න තිබුනා මූණු වහලා. ඒ වගේම ඔපරේෂන් කරගන්න දිනේ එනකම් මාස ගණන් ඉඳලා මැරිච්චි අයගේ පවුල් වල අයගෙන් වොයිස් කට් ගන්න තිබුනා.
ඒ උනත් ඒක හරිගියේ නෑ බං. නිමල් සිරිපාල මහත්තයා නම් ටිකක් කන් පට ගහලා ඒක ගැන උනන්දුවක් දැක්කුවත් සල්ලි ප්‍රශ්නය ආවා. ඒ උනත් ඇත්ත උවමනාවක් තිබුනා නම් ඒක කරගන්න ඕන තරම් ඉඩ තිබුනා. තමන්ට යමකට කැප වෙන්න පුලුවන් නම් ඕවා හරිම ලේසියි කියන එක අපේ මහින්ද මහත්තයාගේ පුත්තු කරලාම පෙන්නුවේ අර සී එස් එන් නාලිකාව හදලා. අනේ අපට ඒ කාලේ ඒ ගොල්ලන්ගෙන් එක්කෙනෙක් සෞඛ්‍ය ඇමති හැටියට දුන්නා නම් ඔය ජඩ මාධ්‍ය ටික කරන මේ ජාතික විනාශය මේ වෙන කොට නැවතිලා. දැන් බලපල්ලා අර ටෙලිඩ්‍රමා වල බොන සීන් හරි නරකයි. ඒවායින් ළමයි නරක් වෙනවා කියලා ඒවා පෙන්නන එක නවත්තලා කොටු දාන්න පටන් ගත්තා. පස්සේ උන්ම වෙන විදියකට ඒකම දැම්මා රස නොකඩා රස විඳින්න කියලා. ඕවා නිකම් වෙනවාද. ලොක්කන්ට ගතම් දීලා තමයි ඕවා කරගන්නේ. අන්න ඒ කාලේ ජේවීපී නීතිය. එක තුංඩු කෑල්ලයි. සේරම කසිප්පු ඉවරයි නැත්තං බෙල්ල ඉවරයි. දැන් කියන්න එපා මම ජෙප්පා කියලා.
අර කෑම ගැන කියන කොට මට මතක නැති වුන එකක් පස්සේ මතක් උනා. දැන් කොහේද බං මතක තියෙන්නේ. උදේ හූනා අතට වැටුනු එක මගේ යාලුවාට කියන්න තාම බැරි උනා අමතක වෙච්ච නිසා. මම සබරගමුව පලාතේ වැඩ කරන කාලයේ ඒ කාලේ හද හදා තිබිච්චි ඇඹිලිපිටිය රෝහල බලන්න ගිය වෙලාවේ මට හම්බ උනා පාරම්පරික වෙද මහත්තයෙක්. එයාගේ වත්ත මායිමේ තියෙන්නේ සේරම මුරුංගා ගස්. ඉතින් එතුමා මට හෙන මුරුංගා මිටියක් දිලා කිවුවා "මහත්තයා ඕවායේ රස තියෙන්නේත් ගුණ තියෙන්නේත් ලෙල්ලේ” කියලා. හොද්දට රසය එන්නෙත් ඒකෙන් කිවුවා. ඒ නිසා මුරුංගා කන කොට ලෙල්ල දෙකට නවලා කටේ දාලා හොඳට විකලා ඉස්ම ගිලින්න කිවුවා. ඊට පස්සේ රොඩ්ඩ විසි කරන්න කිවුවා. මම බං එදා ඉඳන්ම අද වෙන කම් ඒක කරනවා. මාර රසයි. අර මදේ හූරන්නේ නැතිව කටේ දාලා හපනවාට වඩා රසයි ලෙල්ල වෙනම හපන කොට. කරලා බලාපල්ලා. එහෙම කරන එකේ තව වාසියක් තමයි ඒක හපන්නත් කාලයක් යන නිසා ඒ අතරේ අර satiate එක එන නිසා බත් කැවෙන්නෙත් ටිකයි. ඉතින් ඔය වගේ අපි නොදන්න දේශීය දේවල් කොයි තරම් ඇද්ද. ඕවා නොදන්න නිසානේ රනිල් චුයිංගම් දෙන්න කතා කරන්නේ.
මම මේ එක්ක ඒ කාලේ ගියපු ටී වී ඇඩ් එකක් දානවා. බැලූ බැල්මට ඒක මාර ඇඩ් එක. ඒත් ඒකෙන් ඇති කරවන සමාජ හානිය මොකක්ද කියලා හොඳට බලලා තේරුම් අරගෙන මට ඉන්බොක්ස් කරන අයට මම අර වෙද මහත්තයාගෙන් මුරුංගා මිටියක් ගෙනත් දෙනවා. බලමු කී දෙනෙකුට විචක්ෂණ ඤානයක් තියෙනවද කියලා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී