දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී

මම කොලඹ ජීවත් උනාට මම අවුරුදු විස්සක් විතර ජීවත් වුනු ඉන් පස්සේ ගාල්ලේ වැඩ කරපු කාලයේත් නිතර ගියපු මගේ ගමට මම තවමත් කැමතියි වගේම ආදරෙයි. විශේෂයෙන්ම දරුවන් එකින් එක්කෙනා අපෙන් වෙන් වෙලා යන්න ගත්තාම ඒ වටිනා කම තවත් වැඩියෙන් දැනෙනවා. මම හිතනවා එහෙම වෙන්නේ අපි සතුටින්ම හිටපු ළමා කාලය ගැන තියන මතකය ක්‍රමයෙන් අපි තනි වෙනවාත් එක්කම වැඩි වැඩියෙන් එලියට එන නිසා වෙන්න ඇති. වගකීම් තියන කාලයේ ඒ මතකයන් ඒ තරම්ම දැනෙන විදියට මතු වෙන්නේ නෑ. විශේෂයෙන්ම දරුවන් එක්ක ඉන්න කොට.
මම මේ අටුවා ටීකා එක්ක කියන්න පටන් ගත්තේ ගිය සති අන්තයේ ගමේ ගියපු වෙලාවේ මගේ පපුව කඩා ගෙන ගියපු අත් දැකීමක් නිසායි. ඒක මතක් වෙන කොටත් පපුවේ බර ගතියක් දැනෙනවා. නෑ නෑ පපුවේ අමාරුවක් හැදී ගෙන එනවා නෙවෙයි බං. ඒ අත්දැකීම ඒ තරම්ම සංවේදී නිසායි. මම වෙනදා වගේම සෙනසුරාදාත් හවස ටිකක් ගම වටේ ගියා. මම අවුරුදු 14 ක් වෙන කම් ජීවත් වුනු මගේ තාත්තා අවුරුදු 55ක් හිටපු මගේ සීයා හදවපු අපේ මුල් ගෙදර එහෙම බලාගෙන ඒ හරියේ තියන කන්දක් උඩ තියන ඉඩමකට ගියා. තැන්නහේන කියන ඒ ඉඩම ඉස්සර හිටපු ඇමති කෙනෙක් වුනු ඩී එස් ගුණසේකර මහත්තයාගේ. ඉස්සර අපි සතියකට සැරයක් අම්මාත් ආත්තම්මාත් එක්ක ඔය කන්දට යනවා ගොටු කොල කඩන්න. හැමදාම උදේට කොල කැඳ බොන නිසා ඒ ගොල්ලා ගොඩක් ගොටු කොල කඩන කම් අපි එතන තියන ලොකු ගලක් උඩට නැගලා ඉන්නවා. ඒකට නැග්ගාම මහා කුඹුරු යායකින් එහා තියන කහඳ පන්සලේ චෛත්‍යය, ඈතින් කොග්ගල ඔය, ඊටත් එහායින් තියන මූද එහෙමත් පේනවා. හරිම ලස්සනයි. මේ වෙන කොට ඒ ඉඩමේ අපේම නෑයෙක් තේ වවලා තියනවා.
ඉතින් මම අර පුංචි කාලේ ලැබුණු වින්දනය හිතෙන් ලබා ගන්න අර ගල උඩට නැග්ගා. පොඩි කාලේ සීගිරිය තරම් දැනුණු ඒ ගල දැන් කොයි තරම් පුංචි වෙලාද. නෑ බං කඩලා නෙවෙයි ඒ තමයි මට එදා පෙනුණු හැටි. ඒ කාලේ ගානට බලන කොට ලොකු උනාට දැන් පොඩියට පේන්නේ අපි දැන් ලොකු නිසායි. මම ඔය ගල උඩින් වාඩි වෙලා හිතින් අවුරුදු 55 ක් විතර පස්සට ගියා. මම මවා ගන්න බැලුවා අම්මයි, ආත්තම්මායි ගොටු කොල කඩන හැටි, මම මල්ලීත් එක්ක අර ගල උඩ හිටපු හැටි. මට වඩා අවුරුදු 6 ක් බාල මල්ලීට ගලට නගින්න උදව් කරලා පොර වෙච්ච හැටි, මීට අවුරුදු විස්සකට ඉස්සර ඒ මල්ලී හදිසියේ නැති වුණු හැටි සේරම. ඒත් ඒවා හීන වගේ ඇවිත් යනවා, ආයිත් එනවා.
ඉතින් ඔහොම මනෝ පාර ගහගෙන ඉන්න කොට මම දැක්කා ටිකක් එහායින් ඇල්බීසියා ගහකට හේත්තු වෙලා එක්කෙනෙක් ඉන්නවා. මට මතකයි මම එනකොටත් මෑන් එතන එහෙමම ඉන්නවා. සෑහෙන වෙලාවක් ගිහිනුත් හිටපු නිසා මට නෝට් උනා. මම ගලෙන් බැහැලා එතනින් යන කොට අර මෑන් "ආ දොස්තර මහත්තයා ගමේ ඇවිත් " කියලා කිවුවා. මම හැරිලා බලන කොට වයසක මනුස්සයෙක් හිනා වේගෙන මගේ ලඟට ආවා. මම "ඔවු ඒත් කාලෙකට පස්සෙයි මෙතෙන්ට ආවේ" කිවුවාම මෑන් කිවුවා " මම නම් හැමදාම වගේ මේ ගහ යටට එනවා, මෙතනට ආවාම මට සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා කියලා. මට එක පාරටම තෙරුනා මූ මොකක් හරි දුකකින් ඉන්න බව. මම ඇහුවාම ඔයා මේ කිට්ටුවද ඉන්නේ කියලා මෑන් පුදුම වෙලා කිවුවා මම හිතුවේ මහත්තයා මාව අඳුන ගෙනයි කතා කලේ කියලා. ඇයි මහත්තයෝ මම රංජිත් නේ // අන්වර්ථ නමක් //කියලා. දෙයියනේ මට අදහා ගන්න බැරි උනා. මේ මට වඩා අවුරුදු 10 ක් විතර බාල අපි හොඳට දැන ගෙන හිටපු කෙනෙක්. මටත් ඌ වයසක පොරක් හැටියට පෙණුනා නම් බොලාට හිතා ගන්න ඇහැකිනේ කොහොම පෙනුමක් තියෙන්න ඇතිද කියලා. ඒ කාලේ මගේ අම්මා ගමේ ඉස්කෝලේ උගන්නන කාලයේ මෙයා එයාගේ මල්ලීව එක්ක ගෙන එනවා අම්මාගෙන් ගනන්, සිංහල ඉගෙන ගන්න. ඒ කාලේ පොරට අවුරුදු 12 ක් විතර ඇති. මම එතකොට හතරවෙනි අවුරුද්දේ මෙඩ්ඩා. මිනිහා තමයි පවුලේ වැඩිමලා, මල්ලියි නංගිලා දෙන්නයි. මට මතකයි ඒ කාලේ දවසක් මගෙන් ඇහුවා මතක තියා ගන්න පුලුවන් වෙන්න බෙහෙත් තියනවද කියලා. මම කිවුවා එහෙම තියනවා නම මමත් බොනවානේ කියලා.
පස්සේ අම්මා මට කිවුවා ඒ ගොල්ලන්ගේ තාත්තා නයෙක් ගහලා මැරුණා ඊට අවුරුද්දකට කලින්. අම්මා වත්තේ දවසට රු. දෙකයි පණහකට දලු කඩලා තමයි ගෙදර සේරම කරන්නේ ඒත් ඒ මනුස්සයාට ඇදුම හැදෙන නිසා හුඟාක් දවස් වල වැඩට යන්නේ නෑ කියලා. ඉතින් රංජිත් ඉස්කෝලේ යන එක නවත්තලා ගෙදර වැඩට උදවු වෙනවා කියලා. මිනිහා ලඟ තිබුණු තේ වත්තෙන් අක්කරයක් ඉල්ලගෙන තියනවා අම්මාගේ නමින් තේ ගස් අතරේ තියන තණකොල ගලවලා පිරිසිදුව තියා ගන්න. ඒ වගේ එකකට ඒ කාලේ බොහොම සුලු ගණනයි දුන්නේ වතු වලින්. වැඩිම උනොත් මාසෙකට රු. 10 යි. මට එතකොට තේරුණා රංජිත් අර බෙහෙත් අහලා තියෙන්නේ මල්ලීට තමයි කියලා. මට හරි දුක හිතුනා බං. මම මෙඩ්ඩා උනාට හිටියේ අර පාඩම් නොකරන ගොඩේ නිසා ඔය බෙහෙත් ගැන බෝලයක් වත් දැන ගෙන හිටියේ නෑ. පස්සේ මම කොලඹ ගිය ගමන්ම අන්තිම අවුරුද්දේ හිටපු යාලුවකුගෙන් අහලා ඌ කියපු පෙති වගයක් ගිහිං අම්මාට දුන්නා රංජිත්ට දෙන්න කියලා. පස්සේ කාලෙක දැන ගත්තේ අරූ මට දීලා තියෙන්නේ විටමින් බී කියලා. ඌ දැන ගෙන ඉඳලත් නෑ බෙහෙත් ගැන ඒත් ජූනියර් එකෙකුට සෙකන්ඩ් නොවෙන්න ඌ මට අරක දීලා. හැබැයි මම ඒකවත් දැන ගෙන හිටියේ නෑ.
ඊට අවුරුදු දෙකකට විතර පස්සේ 1978 මම ගාල්ලේ හොස්පිටල් එකට ඉන්ටර්න් පොරක් හැටියට එන කොට රංජිත් අහල පහල පොඩි තේ වතු වල දලු බයිසිකලයක අරගෙන ගිහින් ෆැක්ටරියට දානවා. අම්මා කිවුවා මහ රෑ වෙන කම් ඒක කරනවාලු. හරිම අඩු ගණනකට දලු අදින නිසා හැමෝම වගේ මෑන්ට උන්ගේ දලු දෙනවා. ඇයි බං පොඩි එකානේ හෙට්ටු කරන්න පුලුවන් වයසක් නෙවෙයිනේ. දොස්තරෙක් හැටියට ඒ කාලේ මට ලැබුනේ 560 යි මාසෙකට. ඒ කාලේ තමයි මේ විවෘත ආර්තිකය ඇවිත් ප්‍රයිවට් බෙහෙත් කොම්පැනි එන කාලේ. උන් අපිට විටමින් සිරප් සාම්පල් දෙනවා අපිට කියලා ඒවා ලියවා ගන්න ලෙඩ්ඩුන්ට. මම ඒවා ගෙනත් රංජියාට දෙනවා දැකලා අම්මා මට දවසක් කිවුවා ඇයි ඕවා එයාට දෙන්නේ තාත්තාට දෙන්නේ නැතුව කියලා. මම කිවුවාම අම්මේ අපිට විටමින් ඕන නෑ. ඒත් බලන්න අරූගේ හැටි හරියට කන්න නැතුව කියලා. මම අවුරුදු 24 ක එකෙක් උනාට මට ඒ වෙන කොට තේරුණේ නැහැ රංජිත් විඳින නියම දුක. තේරුණා නම් අඩු ගණනේ රු. 50 ක් වත් දෙන්න තිබුනා මාසෙකට. කොහෙද ඒ කාලේ අපි හිටියේ පිට රටින් එන්න පටන් අරගෙන තිබුණු දේවල් වලට පිස්සු වැටිලා.කැසට් ප්ලේයර්, හොන්ඩා බයික්, ඉලෙක්ට්‍රික් අයන්, ෆෑන් තව කොච්චරක්ද. ඉතින් සල්ලි මසුරන් වගේ අපට.
ඉතින් ඔහොම ගිහිල්ලා මම ගාල්ලෙන් පොලොන්නරුවට, බකමූණට, මැදිරිගිරිය වගෙ හොස්පිටල් වලට ගිහින් ඉඳලා ආපහු 1982 දී ආපහු ගාල්ලට ඇවිත් දවසක් ගෙදර ගියාම හිටියා ලස්සන අහිංසක පෙණුම තියන පොඩි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදරට ඇවිත්. ඒ රංජිත්ගේ නංගිලා දෙන්නා ඇවිත් අපේ අම්මාගෙන් ගනං සිංහල අහ ගන්න. එදා තමයි මම දැන ගත්තේ ඒ වෙන කොට ඒ ගොල්ලන්ගේ අම්මාත් මැරිලා කියලා ඇදුම තද වෙලා. ඉස්පිරිතාලේට ගෙනියන්න කෙනෙක් නැතුව ඉඳලා. රංජිත් දලු ඇදලා ඇවිත් අම්මාව බයිසිකලේ තියාගෙන තල්ලු කරගෙන ගමේ ඉඳලා හැතැප්ම තුනක් ඈතින් තියන ඉමදුව ඉස්පිරිතාලෙට ගෙනිහින් පැයක් යන්න කලින් නැතිවෙලා. ඒ වෙන කොට ටිකක් දැනුම් තේරුම් තිබුණු මට හරි දුක හිතුනා. මම ඇහුවාම මේ දවස් වල කොහොමද රංජිත් කියලා අම්මා කිවුවා මිනිහා කරත්තයක් ගන්න සල්ලි හොයනවා. ණයක් ගන්න කියලා ආවාම අපේ තාත්තාත් රු 500 ක් දුන්නා කියලා. මම කිවුවා මම ඉතුරු ටික දෙන්නම් තියන වෙලාවක ආපහු දෙන්න කියලා රු. 3000 ක් දුන්නා. ඒ කාලේ අවුරුදු 3ක් පාවිච්චි කරලා ගෙන්නපු කාර් එකක් රු. 75000 යි. ඉතින් මෑන් මට ස්තුති කරලා කරත්තය අරගෙන තිබුනා. අපේ බාප්පොච්චි කෙනෙක් ගොණෙක් දීලා තිබුනා ඌට කන්න දීලා හොඳට බලා ගන්න පොරොන්දුවත් එක්ක.
ඔය විදියට රංජිත් අර කරත්තයෙන් ගිහින් අවට ගම් වල තිබුණු තේ දලුත් ඇදලා හම්බ කරලා අර සල්ලි මට දෙන්න හැදුවත් මමත් එතකොට ගාල්ලේ ගිංතොට කියන හරියේ ඩිස්පැන්සරියක් දාගෙන ගාන කප කපා හිටපූ නිසා මම ඒක ගත්තේ නෑ. ඒ වෙන කොට ගන්න තිබුණු බොහොමයක් දේවල් අරගෙන තිබුණු නිසා ඒ තරම්ම සල්ලි පස්සේ එලෙවුවේ නෑ. ඇත්තම කිවුවොත් සල්ලි අපි පස්සේ ආවා. මම අර බොහොමයක් කියලා කිවුවේ ඒ වෙන කොට ගෑණියෙක් අරන් නොතිබුණු නිසායි. අවුරුදු තුනකට කලින් ඉඳලාම ඕඩර් කරලා තිබුනත් ඒ වෙන කොටත් ගාල්ලට ඇවිත් තිබුණේ නෑ.
මීට වැඩිය කියන්න ගියොත් දැනටමත් බෝරිං වෙලා ඉන්න බොලාට තද වෙලා මාව අන්ෆ්‍රෙන්ඩ් කරන්නත් පුලුවන්. ඒ නිසා හිත කීරි ගැහෙන ඉතුරු ටික හෙට කියන්නම්. මට මේ දවස් වල හරියට වැඩ තිබුනත් මේක කියලා හිත සැහැල්ලු කර ගන්න ඕන කියලා මම හිතුවා. ඒ වගේම එතකොට මම යුතු කමක් කලා කියලාත් මට හිතේවි.

ඉතින් ගිය සෙනසුරාදා මම අවුරුදු ගානකට පස්සේ රංජිත්ව දකින කොට පොර වෙනස් වෙලා තිබුණු හැටියට මට අඳුනා ගන්න බැරි උනා. වයසට වඩා වයස පෙණුමක් තිබුනා. කොන්ඩේ සුදු වෙලා, රැවුල දිගට වැවිලා. මට පුදුම හිතිලා මම ආයිමත් මිනිහාත් එක්කම අර ගල උඩට සෙට් උනා. මම ඇහුවා ඉතින් කොහොමද රංජිත් සැප දුක්, කොහොමද මල්ලී නංගිලා එහෙම හොඳින් ඉන්නවාද කියලා. මිනිහා කිවුවා ඒ ගොල්ලා හොඳින් ඉන්නවා. මල්ලී ........කොලඹ ඉංජිනේරු අධ්‍යක්ෂ කෙනෙක් හැටියට වැඩ කරනවා. එක නංගී කෙනෙක් බැඳලා රට ගියා එයා දත් දොස්තර කෙනෙක්. අනිත් එක්කෙනා පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් කියලා. එයා බැඳලා නුවර ඉන්නවා කියලා. මම කිවුවා එහෙනම් ඔයාගේ මහන්සිය අහක ගියේ නෑ නේද, මතකද ඒ කාලේ මතක හිටින්න බෙහෙත් එහෙම දුන්නා කියලා. මිනිහා කිවුවා ඔවු දොස්තර මහත්තයා, ඉස්කෝලෙ හාමිනේ, ලියන මහත්තයා ඒ කාලේ මට කරපු උදවු මට තාම මතකයි. ඒත් පහු ගිය කාලෙම මහත්තයා ගැන කිසිම ආරංචියක් තිබුනේ නෑ. ලියන මහත්තයා නැතිවුනු බව දැන ගත්තෙත් පස්සේ කියලා. // මිනිහා ලියන මහත්තයා කිවුවේ අපේ තාත්තාට මොකද එයා අන්තිමට එයා විලේහේන කියන වත්තේ තේ ෆැක්ටරි එකේ චීෆ් ක්ලාර්ක් වෙලා හිටියා//. මහත්තයලා උදවු කරලා ගත්ත කරත්තේ අදත් මම තියාගෙන ඉන්නවා මොකද මම පටන් ගත්තේ ඒකෙන් නිසා, ගොණාටත් නාකි වෙලා මැරෙණ කන්ම මම සැලකුවා කියලා.
මම කිවුවා බොහොම සතුටුයි හම්බ වුනාට, මට දැන් යන්න තියනවා ගාල්ලේ යාලුවෙක් එන්න කියලා තියන නිසා කියලා ආපහු ආවා.

මම එදා රෑ ගාල්ලේ මගේ ඉස්සර හොඳ බොක්කක් වෙච්ච පොරක් හම්බ වෙන්න ගාල්ලේ කොටුව ඇතුලේ තියන ගදරට ගිහින්‍රෑට කාලා ආපහු ගමේ මගේ නෑයෙකුගේ ගෙදර ඇවිත් නිදා ගෙන ඉඳලා උදේ එහේ ඉන්න මගේ නෑයාට නිකමට කිවුවා මට ඊයේ රංජිත් හම්බ උනා ඒත් මිනිහාම කියන කම් මට අඳුර ගන්නවත් බැරි උනා කියලා. එයා කිවුවා ඇයි දොස්තර මහත්තයා දන්නේ නැද්ද රංජිත් උන දේ කියලා. // ගමේ ඉන්න ලඟම නෑයොත් මට කියන්නේ දොස්තර මහත්තයා කිඅලා. කොච්චර කිවුවත් නෑ කම කියන්නේ නෑ//. මම කිවුවා ම නෑ කියලා පොර මට විස්තර සේරම කිවුවා.
රංජිත් බොහොම මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයාගෙන මල්ලීටයි නංගීලා දෙන්නාටයි හොඳට උගන්නලා තියනවා. ඉස්සර අම්මා කිවුවා මට මතකයි ඔය රංජිත් ටත් හොඳට ඉගෙන ගන්න පුලුවන් අපරාදේ ඉස්කෝලෙන් අස් උනේ කියලා. ඒ කාලේ (1970 ගනන් වල ළමයි ඉස්කෝලෙන් අස් වෙන එක ඒ හැටි ලොකු දෙයක් උනේ නෑ. ගම් වල බොහොම ටික දෙනෙක් තමයි ඉහලට ඉගෙන ගත්තේ. අපේ අම්මා ගුරුවරියක් වුනු නිසා අපට දිගටම ඉගෙන ගන්න උනා). ඒත් ඒ වගේ කාලේක තමන්ගේ බාල තුන් දෙනාටම උගන්නන්න රංජිත් ගත්ත මහන්සිය පුදුමයි. ඒ කාලේ කියමනක් තිබුනා ගෑණු ළමයි ටෙලිග්‍රම් එකෙක් කියව ගන්න තරමට ඉගෙන ගත්තාම ඇති කියලා.
ඒ කාලේ රංජිත් දවසට පැය පහක් වත් නිදා ගන්න නැතුව ඇතිලු දවල් දවසට ඒ පැත්තේ කුඹුරක් වගා කරලා තියනවා අඳේට. අඳේ කියන්නේ අයිති කාරයාගෙන් කුඹුර ඉල්ලගෙන තමන්ගේ වියදමෙන් වගා කරලා ලැබෙන වී වලින් සීයට විසි පහක් අයිති කාරයාට දෙන එක. මුලින්ම තනියම වැඩ කරලා පස්සේ තව දෙන්නෙක් අල්ලගෙන තව තව අයගේ කුඹුරු වැඩ කරලා තියනවා. හවසට කරත්තයෙන් මහ රෑ වෙන කම් තේ දළු ඇදලා මහ රෑටලු ගෙදර එන්නේ. මල්ලීට නංගිලාට කිසිම අඩුවක් කරලා නෑ. ඔහොම ගිහින් මල්ලී ඉන්ජිනේරුවෙක් වෙලා රස්සාවට ගිහින් අවුරුද්දක් යන්න කලින් කොලඹින් කසාදයක් බැඳ ගෙන තියනවා. අය්යිආ ගැලපෙන්නේ නැති නිසා මගුලටවත් එන්න කියලා නෑ. ඒක ඇහුවාම මගේ පපුව දෙදරලා ගියා. ඊට පස්සේ නංගිලා උනිවර්සිටි එකට ගියාම අර මල්ලී උන්ට වියදම් කරලා තියනවා. විශ්ව විද්‍යාලේ නංගිලා ඉන්නවා කියන එක පොරට ගැම්මක් වෙන්න ඇති. නංගිලාත් ගමට ආවේ අවුරුද්දකට දෙපාරක් වගේලු. උන්ට රස්සාව ලැබුනාට පස්සේ එහෙමවත් ආවේ නැතිලු. රංජිත්ගේ නංගිලා දෙන්නා හරිම ලස්සනයි. පොඩි කාලේ සමනල්ලු දෙන්නෙක් වගේ. ලොකු උනාට පස්සේ මම දැකලා නෑ. එක්කෙනෙක් දොස්තරෙක් බැඳලා රට ගිහින්ලු. අනිත් එක්කෙනා පේරාදෙණියේ යුනිවර්සිටි එකේ උගන්නනවාලු. මිට අවුරුදු දෙකකට ඉස්සර රංජිත්ට පිලිකාවක් හැදිලා මහරගමට යවලා ඔපරේෂන් කරලා දැන් කරාපිටියෙන් මාසෙකට සැරයක් බෙහෙත් ගන්නවාලු. තනියම ගෙදරට වෙලා ඉන්නවාලු. ඕක අහගෙන ඉඳලා මම ඉරිදා ආපහු කොලඹ එන්න හිටපු එක පහු කරලා එදා හවස ආයිමත් අර කන්දට ගියා. යනකොට මෑන් අර ඇල්බීසියා ගහ යට ඉන්නවා. මම එතනට ගිහින් කතා කරලා කිවුවා යමු ඔයාගේ ගෙදරට කියලා. මිනිහා කිවුවා ගොඩක් ඈත තියෙන්නේ දොස්තර මහත්තයාට එච්චර දුර පයින් යන්න බැහ කියලා. මම කිවුවාම මට ඉස්සර වගේම තාමත් ඕන දුරක් ඇවිදින්න පුලුවන් කියලා මිනිහා කිවුවා මහත්තයෝ මම වැඩියම ඉන්නේ මල්ලීගේ ගෙදර ඉතින් මගේ ගෙදර පාලුවට ගිහින් තියෙන්නේ. හරියට වාඩි වෙන්නවත් තැනක් නෑ කියලා. මම දැන ගත්තා මූ මට මොත්තේ පාරක් දාන්නේ කියලා. මම කිවුවා බොරු කියන්න එපා බං උඹ ඊයේ කිවුවේ හැමදාම මෙතනට එනවා.ඒ ආවාම හිතට හරි සතුටක් දැනෙනවා කියලා. මූට මතක තිබුනේ නෑ එහෙම කිවුවා කියලා. මම කිවුවා අර තැපැල් මහත්තයා මට සේරම විස්තර කිවුවා. මට ඕන රංජිත්ට උදවු කරන්න කියලා. මම කිවුවා ඉස්සරටත් වඩා හොඳට මට උදවු කරන්න පුලුවන් කියලා. ඒ පාර මිනිහා අඬන්න පටන් ගත්තා. මම ඕන තරමක් අඬන්න ඇරලා හිටියා. මොකද අඬන එක හිතේ දුක නිවා ගන්න හොඳ ක්‍රමයක්.
විනාඩි පහකට විතර පස්සේ මිනිහා ආවා එයාගේ ගෙදරට යන්න. මම හිතුවා වගේම මූ මට මොත්තේ පාරක් තමයි දාලා තියෙන්නේ. ගෙදරට එතන ඉඳං හූවක දුරක් නෑ. ඒ කියන්නේ හයියෙන් හූවක් කිවුවාම ඇහෙන දුර.සාමාන්‍යයෙන් මීටර් 500 ක් විතර. අනේ බං ඒ ගේ දැක්කාම මට තවත් දුක හිතුනා. කාමර දෙකක පොඩි ගෙයක්. මෙරට උලු දාලා තියෙන්නේ. ඒ ගොල්ලා උපන් දා ඉඳන්ම හිටපු ගේ. මම හිතන්නේ අවුරුදු 60ක් වත් ඇති. මම මිනිහාගේ විස්තර ඇහුවාම එයා කිවුවා ඉස්සෙල්ලා මහත්තයාගේ විස්තර කියන්න කියලා. මම මගේ විස්තර කියලා මමත් දැන් තනි වෙලා ඉන්නේ ඒකයි ගම මතක් වෙලා මෙතෙන්ට ආවේ කියලා මමත් ඌ වගේ කියලා පෙන්නුවා. මම කිවුවා මගේ පවුලේ අයගෙන් ඉතිරි වෙලා ඉන්නේ මම විතරය්. රංජී දන්නවානේ මගේ මල්ලී අම්මා තාත්තා කවුරුත් දැන් නෑ. මගේ දරුවෝ කවුරුවත් අපි ලඟ නෑ. ඉන්නේ මමයි නෝනායි විතරයි. අපෙනුත් එක්කෙනෙක් කලින් යයි. එතකොට ඉන්න කෙනා තනි වෙනවා. ඒත් රංජිගේ දෙන්නෙක් මේ රටේ ඉන්නවා. ඕන වෙලාවක ගිහින් බලන්න පුලුවන් කියලා.
මගේ කතාව ඔක්කොම අහගෙන ඉඳලා රංජිත් කිවුවා මම දන්නේ නෑ තැපැල් මහත්තයා මොනවා කිවුවාද කියලා. ඒත් ඇත්ත කතාව නම් මගේ නංගියි මල්ලියි බැඳලා ඉන්නේ ලොකු පවුල් වලින්. ඒ ගොල්ලාගේ රස්සාවල් නිසා එහෙම වුනා. මම ඒ මගුල් වලට එන්න කිවුවාත් නොගියේ ඒකෙන් ඒ ගොල්ලන්ට ලැජ්ජාවක් වෙන නිසයි. ඒ ගොල්ලා කොච්චර කතා කලත් මම යන්නේ නැත්තේ ඒකයි. මම හවසට අර ඇල්බීසියා ගහ යටට වෙලා පරණ දේවල් මතක් කරලා සතුටු වෙනවා කියලා. ඒ උනාට මට තේරුනා මූ කියන්නේ බොරු කියලා. මොකද සතුටු වෙන්න තරම් අතීතයක් ඌට නෑ. අවුරුදු දහයේදී විතර තාත්තා මැරුණා. අම්මා ඊට අවුරුදු ගානකට පස්සේ වෙලාවට ඉස්පිරිතාලේට ගෙනියන්න බැරුව මැරුණා. සතුටු වෙන්න තියන එකම දේ තමයි සහෝදරයෝ හොඳින් ඉගෙන ගෙන ඉහලට ගිහින් තියන වර්තමානය. ඒත් උන් මෙයාට සලකන්නේ නැති එක කියන්නේ නැතුව වහ ගෙන ඉන්න එකෙන් මෑන් තව විඳෝනවා. ඒත් නියම සහෝදර ආදරය තියන අය්යා කෙනෙක් හැටියට ඒ ඇත්ත කියන්නේ නෑ. මම අහන්න ගියෙත් නෑ. මම අන්තිමට ඇහුවා එයාට හැදුන ලෙඩේ ගැන. එතකොට මට කමිසය උස්සලා පෙන්නුවා මිනිහාගේ බඩේ තියනවා කොලොස්ටමි එකක් කරලා බෑග් එකක් හයි කරලා. කොලොස්ටමි කියන්නේ බඩ වැලේ පහල හරියේ පිලිකාවක් හැදුනාම ඒක අයින් කරලා අසූචි වලට එලියට එන්න බඩේ සිදුරක් හදලා ඒකට අර බඩවැලේ අන්තිම කොන හයි කරනවා. පිටින් හයි කරලා තියන බෑග් එකට තමයි අසූචි එකතු වෙන්නේ. ඒකේ හැම තිස්සෙම අසූචි තියනවා. ඒක දවසකට සැරයක් විතර ගලවලා සුද්ද කරලා ආයිත් දාගන්නවා. සතියකට සැරයක් බෑග් එක මාරු කරන්න ඕන. එයාට කිලිනික් එකෙන් මාසෙකට දෙකක් හම්බ වෙනවාලු තව තුනක් විතර ගන්නවාලු සල්ලි වලට. එකක් රු 300 ක් වෙනවාලු. සහෝදරයෝ සල්ලි එවනවාලු.
මට හරිම අප්සෙට් ගියා ඒක අහලා. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ ලෙඩෙක් වැඩිම උනොත් අවුරුදු පහක් ජීවත් වෙයි. මෙයා දැනටමත් අවුරුදු දෙකක් ඉඳලා. මිනිහා හරිම වයස වගේ පේන්නේ මේ ලෙඩේ නිසායි. මම කිවුවා මම ලබන ඉරිදාට එනවා උඹව මහරගමට එක්ක ගිහින් එහේ ඉන්න දොස්තර කෙනෙකුට පෙන්නලා තව මොනවා හරි කරන්න කියලා. මම ලඟ තිබුණු සල්ලි ටිකක් දෙන්න හැදුවාම කිවුවා සහෝදරයෝ එවනවා එපා කියලා. ඒත් මම බලෙන් ඒක දීලා ආවා. මිනිහා මට කිවුවා කාටවත් මේ විස්තර නොකියන්න. ඒ නිසා එයාගේ නමත් සහෝදරයන්ගේ රස්සා ගැන කියපු ව්ස්තර ඇත්ත ඒවානෙවෙයි.
මම ලබන ඉරිදා ආයිත් යනවා ගමට මිනිහාව එක්ක ඇවිත් අපේක්ෂා රෝහලේ මොනවා වත් කරන්න පුලුවන්ද බලන්න.
මෙන්න මේකෙන් පස්සේ තමයි මම අර වික්ටර් රත්නායක මහත්තයාගේ දුක්ගන්නා රාල කියන සිංදුව හෙවුවේ. මට ඒක තුන් දෙනෙක්ම එවලා තිබුනා. මම ඒකෙන් පොඩි විඩියෝ එකක් හදලා මේ එක්ක දානවා. සිංදුව විතරක් දාන්න බැරි නිසා.ඒකේ හැම වචනයකින්ම කියන්නේ රංජිත්ගේ කතාව.
ඇත්තටම මොකක්ද රංජිත්ට වුනේ. පෙර කරපු කර්මද. එහෙම නම් ඒ කවුරු කරපු කර්මද. මොකද රංජිත් දන්නේ නෑ එයා කලින් ආත්මෙක පව් කරලා නිසායි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එහෙම නම් මේක දෙවියන්ගේ කැමැත්තද. ඉස්ලාම් ආගමට අනුව මේ මොකක්ද ජජ්මන්ට් දිනයට කලින්ම දඬුවම් දීලා. කවුරු හරි ධර්මයෙන් මේක පැහැදිලි කරනවා නම් වටිනවා. මම බලාගෙන ඉන්නවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය