පිණ යනු කුමක්ද- 07.05.2018

මට මේ දවස් වල ලොකු ප්‍රශ්නයකට මූණ දීලා ඉන්නවා. ඒක තමයි පින කියන්නේ හරියටම මොකක්ද කියලා දන්නේ නැති කම. මම හිතාගෙන ඉන්නේ පින කියන්නේ යමෙකෙකුගේ සිත තුල ඇතිවන දැඩි නිරාමිස ප්‍රීතිය කියලායි. හොඳ දෙයක් කරලා ඇතිවෙන ප්‍රීතියයි කියලා. මම මීට අවුරුදු පහලවකට විතර කලින් කොම්පියුටරයට ඕන කරන කෑල්ලක් ගන්න කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එකට ගියා. ඒ වෙලාවේ මම දැක්කා පොඩි කොලුවෙක් අම්මා එක්ක ඇවිත් ඌට නින්ටැන්ඩෝ කියන ගේම් එකක් ගන්න. ගාන අහලා බලන කොට රුපියල් 500 ක් අඩුවෙලා ගන්න බැරුව අර කොල්ලා අඬනවා. මම මේක දැන ගත්තේ එතන හිටපු සේල්ස්මන් ගෙන්. මට එක පාරටම මතක් උනේ මගේ කොල්ලෝ දෙන්නා. උන්ට ඕවා සේරම තිබුනා. මට හරි දුක හිතුනා අර කොල්ලා ගැනයි අම්මා ගැනයි. තමන්ගේ පුතාට ඕක අරන් දෙන්න එයා අමාරුවෙන් සල්ල හොයා ගත්තා වෙන්න ඇති ඒත් අරන් දෙන්න බැරි උනාම කොහොම දුකක් එන්න ඇතිද කියලා. මම සේල්ස්මන්ට කිවුවා ඒ පන්සීය මම දෙන්නම් ඒ වගක් නොකියා ඔයා ගාන අඩු කරලා දෙනවා කියලා අර ලමයාට දෙන්න කියලා.මම එහෙම කෙරුවේ අර අම්මාට ලැජ්ජා හිතෙයි කියලා. මොකද අපේ එවුන්ගේ ලොකු කමත් තියනවානේ. අරූට මාර පුදුමයි. පොර ඒපාර අර අම්මාට කතා කරලා අර විදියට දුන්නා. මචං අර පොඩි එකාගේ මූණට ආපු සතුටයි හිනාවයි. හැබැයි උන් දෙන්නා දන්නේ නෑ ඒක දුන්නේ මම කියලා. සමහර විට උන් අර සේල්ස්මන්ට පින් දෙන්න ඇති. ඒ උනාට අර කොල්ලාගේ සතුට දැකලා මට ආපු සතුට ඒ සීන් එක මතක් වෙන හැම වෙලාවකම දැනෙනවා.
මම හිතන්නේ ඒකට තමයි පින කියන්නේ කියලා. අර දෙන්නා සේල්ස්මන්ට කොච්චර පින් දුන්නත් උගේ හිතේ ඒ වගේ සතුටක් ඇති වන්නේ නෑ. මොකද ඌ දන්නවා ඒක කලේ ඌ නෙවෙයි කියලා.එහෙම නං කවුරුවත් දුන්නාට කාටවත් පිං ගන්න බෑ. ඒ වගේම කවුරු වත් නොදුන්නාත් තමාගේ සිත තුල ඒක ඇති කර ගන්න පුලුවන් තමන් නිශ්ශබ්දව කරන හොඳ දේ වලින්. ඔය වගේ ඒවා මම සෑහෙන්න කරලා තියනවා. මම ඒවා කියන්න යන්නේ නෑ සමහරු හිතන්න පුලුවන් මම නයා අරිනවා කියලා.ඉතින් මම කියන්නේ ඒවායින් මට ලොකු ප්‍රීතියක් හිතේ ඇතිවුනා කියලා. පන්සලකට ගිහිං හරි හාමුදුරුවන්ට දානෙයක් දීලා හරි මට ඒ ප්‍රීතිය ගන්න බෑ. මම ගෙදර අයත් එක්ක දඹදිව වන්දනාවේ ගියා තුන් පාරක්. මගේ යාලුවා එහෙම බොහොම ශ්‍රද්ධාවෙන් ගියත් මම ගියේ ට්‍රිප් එකක් යන අදහසින්. මට අමුතු සිතේ ප්‍රීතියක් ඇති වුනේ නෑ. ඒ නිසා මට අනුව කිසිම පිනක් ලැබුනේ නෑ. හැබැයි අපේ නෑයෝ කියන්නේ මම මහා පිනක් කරගෙන තියෙන්නේ කියලා.ඒ පින් නිසා මම දැනටමත් එගොඩ වෙලාලු. මට පුලුවන්ලු ඒ පින් අනිත් අයටත් අනුමෝදන් කරවන්න. එහෙමයි උන් විශ්වාස කරන්නේ.

මීට අවුරුද්දකට කලින් මිය ගිය මගේ අම්මා වෙනුවෙන් දානයක් දීලා බනක් කියලා අම්මාට පින් පමුණුවන්න ඕන කියලා මගේ යාලුවාගෙන් මාර බර බරේ. මම කිවුවා දැන් මගේ අම්මා කොහේවත් නෑ. එයා සදහටම ගියා. ඉන්න කාලේ අපි හොඳින් එයාව බලා ගත්තානේ ඒ නිසා මම නම් නෑ ඕවාට කියලා. ඒ පාර එයාගේ සම්පූර්ණ වියදමින් ඒක කලා. අනේ මචං කරපු වියදමක්. හාමුදුරු කෙනෙක් ඇවිත් බන කියලා ගියා. මෙලෝ රහක් නෑ. අර චාල්ස් තෝමස් කරගෙන යන කඳුල ප්‍රොග්‍රම් එක දාස් ගුණයක් හොඳයි. හාමුදුරුවෝ ගියාට පස්සේ ඇවිල්ලා හිටපු දෙසීයක් විතර කට්ටියට ෆුල් පාටියක්. කේටරින් එකකට දීලා බිත්තර ආප්ප එක තැනක, තව තැනක ගෝදම්බ රොටි හදනවා හිටු කියලා. පොරවල් පේලියට ඉන්නවා පිඟන් තියාගෙන. එකෙකුටවත් මැරිච්චි අම්මා මතක නෑ. එයා ගැන කතාවකුත් නෑ. අපේ ගෙදර කිසිම දවසක ඩ්‍රින්ක්ස් දීලා නැති නිසා ඒක විතරයි අඩුවකට තිබුනේ පොරවල් වලට. මොකක්ද බං මේ විහිලුව.

පස්සෙන්දා දවල් දානය පන්සලට අරන් ගියා. ඉරිදා දවසේ උදේ දහය වෙනකම් නිදා ගෙන ඉඳලා යන්න ඕන කමකට නෙවෙයි නොගිහින් හොඳ නැති නිසා මාත් පන්සලට ගියා. හාමුදුරු වරු කාලා ඉවර උනාට පස්සේ මම ඇහුවා ලොකු හාමුදුරුවන්ගෙන් දැන් කොහොමද අපි ඔය කරපු පින් මගේ අම්මාට යන්නේ කියලා. එතකොට හාමුදුරුවෝ කිවුවා හිතන්න මම දැන් මෙතන ඉඳ ගෙන දෙහි ගෙඩියක් කපලා කනවා. එතකොට දොස්තර මහත්තයාට මොනවද වෙන්නේ කියලා. මම කිවුවා මගේ කටට කෙල උනාවි කියලා. එතකොට හාමුදුරුවෝ කිවුවා අන්න එහෙම තමයි පින් අනුමෝදම් වෙන්නෙත් කියලා. සාමාන්‍ය කෙනෙක් නම් සාදුකාර දීලා ඕක පිලි ගන්නවා උනත් මම කිවුවා හාමුදුරුවනේ මගේ කටට කෙල උනන්නේ මට ඇඹුල් රස අරමුණු වීම නිසා මිසක් මගේ කටට ඇඹුල් රස දැනිලා නෙවෙයි කියලා. ඒ වගේ ගත්තාම මගේ අම්මාටත් පින් අරමුණු වෙනවා මිසක් ඇත්ත පින් ලැබෙන්නේ නෑ නේද කියලා. එතකොට හාමුදුරුවෝ කිවුවා දොස්තර මහත්තයා ඕවා විශ්වාස කරන්නේ නැත්තං ඇයි මේ වගේ පිං කමක් කරේ කියලා. මම හිනා වෙලා නිකම් හිටියා. මට කියන්න හිතුනා මම සතයක් වත් වියදම් කලේ නෑ ඔක්කොම කලේ මගේ නෝනා කියලා එහෙම කිවුවේ නෑ මම හාමුදුරුවෝ හොඳට දන්න අඳුනන නිසා.

මම ගෙදර ඇවිත් මගේ කොල්ලෝ දෙන්නාට කිවුවා මම මැරිච්චි දවසක ඉක්මනට වලදාන්න. හැබැයි කිසිම පින් කමක් මම වෙනුවෙන් කරන්න එපා. මොකද ඒ වෙන කොට තාත්තා කියලා කෙනෙක් නෑ. එයා සදහටම ගිහිල්ලා එයා අයිත් කොහේවත් උපදින්නේ නෑ කියලා. උන් හිනා වෙනා හිටියා. මම හිතනවා උන් මම කියපු දේ පිලිගන්න ඇති කියලා. ඇයි බං ජීවත්ව ඉන්න මට කාගෙන්වත් පින් ගන්න බැරිනම් මැරුනාට පස්සේ කොහොමද පින් ලබා ගන්නේ. එහෙම නම් මැරුනාට පස්සේ මට කෑම කන්නත් පුලුවන් වෙන්න ඕන නේ. මගේ තාත්තාත් මට ඒ කාලේ කිවුවේ ඔය ටිකමයි.

බලපල්ලා පින් ගන්න කියලා අපේ පොරවල් කරන දේ. කෝටි ගනන් වටින පලතුරු ගෙනිහිං රුවන්වැලි සෑය වටේ දාලා කුණු උනාම අස් කරනවා. ඇයි බං බඩ ගින්නේ ඉන්න එවුන්ට දුන්නා නම් ඊට වඩා හොඳ නැද්ද. සෑය වටේට රෙදි ඔතනවා. හාර ලක්ෂේ පහන් පූජාව. දස ලක්ෂේ පිච්ච මල් පූජාව.මේ ලඟදී අපි අපේ නෑයෙකුගේ ගදර ගියාම උන් කියනවා ලඟදී ගමේ පන්සලේ කටින පූජාවක් තියනවාලු. ඒ කටින රෙද්ද ගෙවල් වලට ගෙනත් විනාඩි දහයක් තැන්පත් කරලා තියනවාලු ඒකට රුපියල් තිස් දාහක් ගන්නවාලු. ඉතින් අර ගොන් වාහෙලත් උන්ගේ ගෙදරට කටින රෙද්ද තියා ගන්න කැමති වෙලා. මේ පුක කහ ගන්න නිය පොත්ත නැති පොරවල් දැන් ෆුල් ට්‍රයි අර තිස් දාහ එකතු කරන්න. එක එකාට කියනවා. මම මගේ යාලුවාට කිවුවා ගොන් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. හාමුදුරුවෝ කටින රෙද්ද පෙන්නලා ගානක් කපා ගන්න හදන විත්තිය අරුන්ට තේරෙන්නේ නෑ. ආගම් වහල්ලු.

ඉතිං මට කවුරු හෝ කියා දෙන්න ඔය ගොල්ලා හිතන විදියට පින් කියන්නේ මොනවාද, ඒවා රැස් වෙන්නේ කොහොමද, කොහේද, තවත් කෙනෙකුට ඒවා දෙන්නේ කොහොමද, දෙන ඒවා තව කෙනෙක් ගන්නේ කොහොමද කියලා. ඒවායේ එක එක්කෙනාගේ පින් ගනං තියාගෙන ඉඳලා මැරුණාට පස්සේ දිවිය ලෝකෙට හරි අපායට හරි අපි දක්කන්නේ කවුද කියලා. මම මෙච්චර කල් පින් කියලා හිතා ගෙන ඉන්න එක හරිද වැරදිද කියලා. එහෙම කලොත් ඔය ගොල්ලන්ට පින් සිද්ධ වෙනවා ගොඩාක්.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී