Dr. Ariyasena Gamage - 03.03.2018

වෛද්‍ය විද්‍යාලයේ මුල් අවුරුදු දෙකේ ශිෂ්‍යයන්ට කෝචොක් එකට කියන්නේ බ්ලොකාලා කියලයි. එහෙම කියන්න හේතුව මුල් අවුරුදු දෙකේදී ඒ අයට මිනී කපන්න වෙන නිසයි. වෛද්‍ය විද්‍යාලයේ මිනී කපන සෙක්ශන් එකට කියන්නේ ඇනෑටමි බ්ලොක් කියලයි. ඉතින් බ්ලොක් එකේ ඉන්න එකා නිකම්ම බ්ලොකා වෙනවා. වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා පලවෙනි අවුරුද්දේදී තියනවා විවිධ ප්‍රසංගයක් බ්ලොක් නයිට් කියලා. මේක තනිකරම සංවිධානය කරන්න ඕන බ්ලොකාලා. උන්ගෙනුත් පලවෙනි අවුරුද්දේ ඉන්න අය.
1973 දී අපි බ්ලොකාලා වෙලා ඉන්න කාලේ අපිට සිද්ධ උනා ඒ අවුරුද්දේ බ්ලොක් නයිට් එක ඕගනයිස් කරන්න. ඉතිං අපි කට්ටි කටිටි එකතු වෙලා එක එක අයිටම්ස් පුරුදු වෙලා කරනවා. සමහරු පොඩි නාට්‍ය හදනවා. සමහරු කොමික් කෑලි දානවා. සමහරු සිරාවට සිංදු කියනවා. හැබැයි ඒ හැමෝම ඒවා පුරුදු වෙන්නේ අනිත් අයට නොපෙනෙන්නයි. බ්ලොක් නයිට් එක දවසට තමයි කවුරුත් ඒවා දකින්නේ. අපේ බ්ලොක් නයිට් එකේ තිබුනු එක අයිටම් එකක් මට තාම මතකයි. මේකේ තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කෙල්ලෙක් ආයුර්වේදේ ඉගෙන ගන්න කොල්ලෙකුට සෙට් වෙලා ඉන්න කතාවක්. ඉතිං දෙන්න ලව් ටෝක් දාන අතරේ කොල්ලා කෙල්ලගෙන් අහනවා. “මේ ඕගොල්ලන්ගෙ ඉස්පිරිතාලෙට කවුරු හරි ඇවිල්ල කිවුවොත් මේ පාර අපිට පිරිමි දරුවෙක් ඕන කියලා ඔය ගොල්ලා මොකද කරන්නේ” කියලා. එතකොට කෙල්ල පොඩ්ඩක් ගස්සලා එහෙම කියනවා “අනේ කොහොමද එහෙම කරන්නේ. පිලිසිඳ ගත්තේ පිරිමි දරුවෙක් නම් ලැබෙන්නේ පිරිමි දරුවෙක් පිලිසිඳ ගත්තේ ගෑනු දරුවෙක් නම් ලැබෙන්නේ ගෑනු දරුවෙක් ඒක වෙනස් කරන්න බෑ” කියලා. එතකොට කොල්ලා කෙල්ලට කෝචොක් පාරක් එක්ක ජොලි හිනාවක් දාලා කියනවා “අයියෝ අපේ තියෙනවා ගුලියක් ඒක වම් අතින් අරං ගිල්ලොත් ගෑනු ලමයෙක් දකුණු අතින් අරන් ගිල්ලොත් පිරිමි ලමයෙක්” කියලා. මේකෙම තව තැනක තිබුනා කෙල්ල කියනවා “ඔයා දන්නවද අනේ අද අපේ වාට්ටුවට ආවා බබෙක් හම්බ වෙන්න ඉන්න ගෑනු කෙනෙක් හැබැයි එයා කසාද බැඳලා නෑ” කියලා. ඉතිං කොල්ලා පුදුම වෙලා අහනවා “එහෙම කොහොමද වෙන්නේ” කියලා. එතකොට කෙල්ල කියනවා “මේ ගෑනු කෙනා ගඟේ නනා ඉන්න කොට ගඟේ උඩ නනා හිටපු මිනිහෙකුගේ ශුක්‍රාණුවක් වතුර දිගේ ඇවිල්ල ඒ ගෑනු කෙනාගේ ඇඟට ඇතුල් වෙලා” කියලා. මේක අහපු කොල්ලා හොඳටම බය වෙලා කෙල්ල බදා ගෙන කියනව “අනේ ඔයා නම් කවදාවත් ගඟේ නාන්න යන්න එපා. ගඟේ උඩ මිනිහෙක් නෑවා කමක් නෑ කියමුකෝ. වැරදිලාවත් අලියෙක් නෑවා. මාස දහය යන කොට හොඬවැල දායි එලියට” කියලා.
ඉතිං මේ කතාවේ කොල්ලාට ඇක්ට් කරන්නේ බොහෝ දෙනෙක් දන්න අපේ වෛද්‍ය ආරිය සේන යූ ගමගේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට ඉන්න කාලේ.
වෛද්‍ය විද්‍යාලයේ හිටිය අවුරුදු හතර හමාරට ආරියි අපියි කරපුවා කියන්න ඇහැකි දවස් ගානක් පුරාවට. ලෝ මෙඩිකල් ක්‍රිකට් මැච් එක, ලෝ මෙඩිකල් ඩාන්ස් එක, වෙසක් භක්ති ගීත, අවුරුදු පතා යන බැච් ට්‍රිප් වලදී අපි විනෝද වෙච්චි හැටි මට අද වගේ මතකයි. ආරිට හොඳට සිංදු කියන්න පුලුවන් ඒ වගේම ඇක්ට් කරන්නත් පුලුවන්.ආරි ඉන්න තැනක කිසිම පාලුවක් නෑ.
ඒ තමයි ආරිගෙ හැටි.
1974 දෙසැම්බර් 4 වෙනිදා රෑ මස්කෙලියට ප්ලේන් එකක් කඩා ගෙන වැටුනා. මමයි ආරියි තවත් කීප දෙනෙකුයි පස්සෙන්දා උදේම පිටත් උනා ඒක බලන්න. ඒ කාලේ අපි මේ වගේ අයිටම්ස් එනකං බලා ගෙන ඉන්නේ බලන්න යන්න. දිනය මට හොඳට මතකයි මගේ විසි එක් වෙනි උපන් දිනයට දවස් දෙකකට කලින්. ගමනට අපි පස් දෙනාටම තිබුනේ රුපියල් තිහයි. කොහොම හරි හවස් වෙන කොට අපි මස්කෙලියට ගියා. කූඩැල්ලො විමානෙයක් මැදින් පල්ලමට බහින කොට රෑ උනා. ඒ පාර අපිට ඒ ලඟ තිබුනු පොඩි ගෙදරක හිටපු වයසක මනුස්සයෙක් කිවුවා දැන් ඊට එහා යන්න එපා. රෑ එයාගේ පැලේ ඉඳලා හෙට යන්න කියලා. වයසක මනුස්සයා කිවුවාට මෑන්ට වඩා දැන් අපි නාකියි. මිනිහාට අපි රුපියල් තුනක් දුන්නාම මිනිහා අපිට රොටි හදලා දුන්නා ලුනු මිරිසුත් එක්ක. පස්සේ කහට එකකුත් දුන්නා. ඊට පස්සේ අපි මිනිහාගෙන් විස්තර ඇහුවාම මිනිහා දුන්නා හරියට රනිං කමෙන්ට්‍රි එකක් දෙනවා වගේ."මහත්තයෝ ඊයේ රෑ මම දොරට පිලට ගිහිල්ලා ආපහු එන කොටම එක පාරට මහා එලියක් එක්ක ඩෝං ගාලා සද්දයක් ඇහුනා. බලන කොට අර කන්ද එකම ගිනි ගුලියයි. ඒ එක්කම මහත්තයෝ බුදු අම්මෝ කියලා මර ලතෝනිය" කියලා මෑන් අතිනුත් දාලා දෙනවා අපිට ආතල් ගන්න. හැබැයි ඒ ප්ලේන් එකේ එක සිංහල මිනිහෙක් ඉඳලා නෑ බුදු අම්මෝ කියන්න. ඉතිං එදා රෑ හීතලේ මිනිහා දීපු පැදුරු දෙකක අපි හිටියා. ආරි තව එකෙක් එක්ක සිංදු කිවුවා. පහුවෙනිදා උඩට ගිහින් විස්තරත් බලලා ඊලඟ දවසේ ආපහු කොලඹ ආවා. එනකොට රුපියල් හත අටක් ඉතුරුත් තිබුනා.
ඉතිං ඔය විදියට අපි අවුරුදු හතර හමාරක් ජොලියේ හිටියා. හැබැයි අපි විභාගත් ගානට ගොඩ දා ගත්තා. ඔහොම ඉඳලා අපි දෙන්නාම අන්තිම අවුරුද්දේ බඩු දෙකකට සෙට් උනා. ආරි සෙට් උනේ අපේම බැච් එකේ එකකට. මම දෙවෙනි වසරේ හිටපු බඩ්ඩකට. ඊට පස්සේ ආරියි මමයි දෙන්නාම ෆයිනල් එක්සෑම් පාස් වෙලා ආවා සීමා වාසික පුහුණුවට ගාලු මහ රෝහලට. ගාල්ල අපි දෙන්නාගේම ගම. සීමා වාසික කාලයෙන් පස්සේ ආරි කසාද බැඳලා මාවනැල්ලට ගියා. මම ඉතිං තව අවුරුදු හතරක් ඉවසං ඉන්න එපැයි අම්මලා තාත්තලා එක්ක ඉන්නම් කියලා ගාල්ලේම නැවතුනා. ඊට අවුරුදු තුනකට විතර පස්සේ ආරි මගෙන් ඇහුවා මචං එදිරි තාම බැංදේ නැද්ද කියලා. මම කිවුවා තව අවුරුද්දක් ඉවසං ඉන්න වෙනවා කියලා. එදා ආරි මට මෙහෙම කතාවක් කිවුවා මචං අවුරුදු කීයක් යාලු වෙලා හිටියත් කමක් නෑ. උඹට අද හිතුනොත් මෙයා එක්ක මට ඉන්න බැරි වෙයි කියලා එයාට කියලා අයින් වෙයං කියලා. මට එදා ඌත් එක්ක පොඩි තරහවකුත් ආවා. මම මේ දවස් ගැන ගැන ඉන්නවා. මූ ජොලියේ ඉඳගෙන මොනවාද මේ කියන්නේ කියලා.
මේ කතාවල් මට මතක් උනේ මේ දවස් වල රෝගී වී අමාරු තත්වයේ පසු වෙමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයි සී යූ එකේ ඉන්න ආරි බලන්න මම අද ගියපු වෙලේ. ඉස්සර අච්චර ජොලියේ හිටපු ආරිට අද වෙලා තියෙන දේ දැක්කාම මට මාර අප්සෙට් එකක් ගියා. ඒ උනත් තමන්ගේ තත්වය එතරම් හොඳ නැති බව දැන දැනත් ආරි කිසි ගානක් නැතුව ඉන්නවා.
ඒ තමයි ආරිගේ හැටි.
දැනට අවුරුදු දෙකකට කලිං ආරිට පිලිකා රෝගයක් හැදිලා කියලා මම දැන ගත්තෙත් එයා ෆේස් බුක් එකේ දාල තිබුනු විස්තරයක් කියවලායි. සාමාන්‍යයෙන් මිනිස්සු මේ වගේ රෝග හංගනවා. පිලිකා, ක්ෂය රෝගය. මානසික රෝග, ඒඩ්ස් වැනි මේ රෝග වලට කියන්නේ කැලැල් සහගත රෝග කියලා. ඒවා මිනිසුන්ගේ සිත් තුල කැලැල් ඇති කරනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙශර් වගේ ලෙඩ තියෙනවා කියන්නේ ටිකක් ආඩම්බරයෙන්. මොකද ඒවා ඒ කාලේ හැඳින්නුවේ ලොක්කන්ට හැදෙන වැදගත් රෝග හැටියටයි. ඉතිං මම ඇහුවා ඇයි ආරි මේ වගේ ලෙඩක් ඔයාට තියෙනවා කියලා ප්‍රසිද්ධ කරන්නේ කියලා. එතකොට ආරි කිවුවා මචං මේවාට මිනිසුන්ගේ තියන බයත් ඒ වගේම කැලැල් සහගත බවත් නැති කරන්න තමයි මම එහෙම කරේ කියලා. තව කිවුවා මම ප්‍රජා විශේෂඥ වෛද්‍ය වරයෙක්. ඒ නිසා ඒක මගේ යුතු කමක් කියලා.
ඒ තමයි ආරිගේ හැටි.
ඉතිං නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති හැටියට ඉන්නෙත් අපේම බැච් මේට් කෙනෙක්. ඒ නිසා සියලු භෞතික සැප පහසු කම් ආරිට ලැබෙනවා. ඒත් මම කිවුවා උඹට ඕන නම් මම ටික දවසක් ඇවිත් ලඟින් ඉන්නම් කියලා. එතකොට අපට පරණ කතා කිය කියා ඉන්න පුලුවන් නිසා. ඒකෙන් එයාට මානසික සුවයක් ලැබෙයි කියලා හිතලා. එතකොට ආරි කිවුවා නෑ එදිරි ඔයා වැඩ පාඩු කර ගන්න එපා. අද වගේ ඉඩ තියෙන වෙලාවක ඇවිත් යන්නකෝ කියලා.
ඒ තමයි ආරිගේ හැටි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී