Dr. Ariyasena Gamage - 30.03.2018

ආරි මියගියේය. ඔහු මිය යන බව දැන ජීවත් වූ මිනිසෙකි. එබැවින් තමාට සුවකල නොහැකි රෝගයක් වැලඳුනු විට ඔහු බියට පත් නොවීය. බොහෝ මිනිසුන්ට මරණය සිහිපත් වන්නේ එවැනි රෝගයක් වැලඳුනු විටය. එවිට ඔවුන් මහත් සේ බියට පත් වෙති. එම බිය නැති කිරීමට මෙන්ම පිලිකා, ඒඩ්ස් හා ඩෙංගු වැනි රෝග නිසා අසරන තත්වයට පත් වූ මිනිසුන්ගෙන් අවසාන මොහොතේ පවා මුදල් ඩැහැ ගැනීමට දැන්වීම් පල කරන සොර වෙදුන් පිටුපස වල්ගයද ඔසවා තබා ගෙන දුවන අපේ මිනිසුන් දැනුවත් කිරීමට ඔහු තම රෝග තත්වය ප්‍රයෝජනයට ගත්තේය.

කොලඹ වෛද්‍ය පීඨයේ මා සමග එකම වසරේ සිටි ඔහු පිලිබඳව හැඳින්වීමක් මා විසින් මෙයට පෙර කර ඇති බැවින් නැවත ඒවා මතක් කිරීම අනවශ්‍යය. භාවනා වැඩ සටහනකට සහභාගී වීම සඳහා බැහැර ගිය දින 12 දී හැර මාර්තු මස සෑම දිනකම මම ඔහු හමු වීමට නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියෙමි. පැරණි මතකයන් අලුත් කරමින් මහත් සේ සතුටු වූයෙමු. අවශ්‍ය නම් දවසක් දෙකක් ඔහු සමග රෝහලේ නැවතී සිටීමට හැකි බව පැවසූ විට ඔහු කීවේ එසේ කිරීම අනවශ්‍ය බවයි. 25 දාද හොඳින් කතා කල ඔහු 27 දා වන විට සිටියේ මුහුණු ආවරනයක් මගින් ඔක්සිජන් ලබා ගනිමිනි. ඒ ඔහුගේ අවසාන දිනය බව දැනගත් මා අපගේ මිතුරන්ද දැනුවත් කලෙමි.

රෝග පිලිබඳව මිනිසුන් තුල ඇති මිත්‍යා මත දුරු කරලීම සඳහාද නිවැරදි දැනුමක් ලබා දීම සඳහාද ආරි කල වැඩ කොටස ඉමහත්ය. රජෙක් උනත් ලෙඩෙක් උනොත්, දැන් මට දියවැඩියාව සුවයි, වෙදෙක් උනත් ලෙඩෙක් උනොත් වැනි වටිනා ග්‍රන්ථ සම්පාදනයෙන්ද ඔහු රටට ඉමහත් සේවයක් කලේය. මාවනැල්ල ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීමටද ඔහු මූලික වී ක්‍රියා කලේය. ඔහු කල සේවා විස්තර කිරීමට නම් ඒ සඳහා වෙනම පොතක් ලිවිය යුතුවේ.

මෙයට වසර 7කට පමණ ඉහතදී උතුවන්කන්ද ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන සරදියෙල් ගම්මානය යනුවෙන් තැනක් නිර්මානය කරමින් සිටින විට එහි ගිය මා හට ඔහු තමා විසින් එතෙක් කරවන ලද දේ පෙන්වා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන දේද විස්තර කල විට මා ඔහුගෙන් ඇසුවේ උඹට මොලේ අමාරුවක් හැදීගෙන එනවාද යනුවෙනි. එසේ ඇසුවේ ඒ සඳහා එතෙක් වැය කර තිබූ මුදල් ප්‍රමාණය අති විශාල වූ බැවිනුත් තවත් එවැනි කීප ගුණයක් වැය කිරීමට සිදුවන බැවිනුත්ය. නමුත් මේ වන විට ජනප්‍රිය සංචාරක ස්ථානයක් වී ඇති එයින් ඔහුට විශාල ආදායමක් ලැබෙන බව 25 දා ඔහු වූ විට මා සමග පැවසීය. මොනවා කරන්නද මචං මට රජෙක් වගේ ඉන්න තිබුනා ඒත් ඉතින් ටිකට් එක ආවානේ යනුවෙන්ද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ආරි දැන් අප අතර නැත. ඇත්තේ මල මිනියක් පමණි. එයද දින කිහිපයකින් නැති වනු ඇත. කලක් යන විට ඔහු පිලිබඳ මතකයද බොහෝ අය තුලින් ඈත් වනු ඇත. එහෙත් උතුවන්කන්ද තිබෙන තුරු සරදියෙල් අමතක නොවන්නා සේ සරදියෙල් ගම්මානය තිබෙන තුරු ආරියසේන යු ගමගේ යන නමද පවතිනු ඇත.

මම මාගේ මිත්‍රයාට නිවන් ප්‍රාර්ථනා නොකරන්නෙමි. මන්ද නිවන යනු කෙනෙකුගේ සිත තුල ඇතිවන අති ප්‍රභල ප්‍රීතිමත් බවක් වන අතර එය සාක්ෂාත් කර ගත යුතු වන්නේ ජීවත්ව සිටින කාලය තුලදී මිස මිය ගිය පසු නොවන නිසාය. එලෙසම ඔබ නැවත අප අතරම ඉපදේවා කියාද මම ප්‍රාර්ථනා නොකරමි. ඒ මා මෙන්ම ආරි තුලද පුනරුත්පත්තියක් පිලිබඳව කිසිදු විස්වාසයක් නොතිබූ බැවිනි. එමෙන්ම ඔහුගේ මල මිනිය බැලීමට මා මාවනැල්ලට යන්නේද නැත. ඒ ඔහු මල මිනියක් වීමට පෙර බොහෝ වේලා ඔහු සමග ගත කර තිබූ බැවිනි.

උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී. යේථ ධම්මෝ සනන්තනෝ. ඉපදුනොත් මිය යාම සැමට පොදු ධර්ම තාවයක්ය යන බුදුන් වහන්සේගේ වටිනා කියමන උපුටා දක්වමින් ආරි පිලිබඳව කෙටි සටහන මෙයින් අවසන් කරමි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී