Budhu dhaham - 02.05.2018

ගුරුත්වය නිසා ඇති වන ආකර්ශනය අභිබවා ඉන් ඉවත් වී යාමට යන්ත්‍ර නිපදවා තිබුනද කෙලෙස් නිසා සසරට ඇති ආකර්ශනය අභිබවා යාමට මෙතෙක් කිසිම යන්ත්‍රයක් නිපදවා නැත. දරුවන් ඉඩකඩම් වැනි බාහිර වස්තූන් වලින් සිදු වන ආකර්ශනය ඇති වන්නේ ඔවුන් තුලින් නොව තමා තුලින්මය. එබැවින් පංච කාම සම්පත්ති කෙරෙහි ඇදී යාම තමාගේ වරදක් මිස ඒවායේ වරදක් නොවේ. එසේ නම් එම ආකර්ශනය නැති කල යුත්තේද තමා විසින්මය. ඒවායින් කෙලෙස් මාත්‍රයක් හෝ නූපදින තත්වයට පත් වීම යනු රහත් වීමයි. එසේ නොමැතිව අහසින් යෑම හෝ බිත්තියක් හරහා යෑම හෝ නොවේ.

තණ්හාවට හේතුව පංච උපාදානස්කන්ධයෙහි (රූප, වේදනා, සඥ්ඥා,සංකාර, විඥ්ඥාන) සැබෑ තත්වය නොදැනීමයි. එනම් අවිද්‍යාවයි. එහි සැබෑ තත්වය තේරුම් ගත් අයෙකු තුල ඉන් පසු තණ්හාව ඇති වන්නේ නැත. සියලු දුක් වලට හේතුව තණ්හාව වන බැවින් ඉන් පසු දුකද ඇති වන්නේ නැත. උදාහරණයක් ලෙස යමෙකු මැටි කලයක් තුල රත්‍රන් ඇතැයි යන දැඩි විශ්වාසයක් නිසා ඒ පිලිබඳව තණ්හාව ඇති වී එය අයිති කර ගතහොත් ලැබෙන බොහෝ සැප සම්පත් ගැන සිතා එය ලබා ගැනීමට නොයෙකුත් උත්සාහ ගනී. නොයෙත් උපක්‍රම යොදයි. අන් අය එය අයිතිකර ගැනීද යන සැකය නිසා තරහ ඊර්ශ්‍යා උපදවා ගනී. රාත්‍රිය පුරා නිදි නොලැබ ගත කරයි. නමුත් යම් දිනෙක කලය තුල ඇත්තේ වැලි බව දැන ගත් විට තණ්හාව නැති වී ඒ නිසා විඳි සියලු දුක් හා කරදර නැති වී යයි. ඉන් පසු කිසිදා එම කලය පිලිබඳව තණ්හාව නොඋපදී. යම් හෙයකින් එසේ අවභෝදය ලැබීමට පෙර ඔහු මැටි කලය ලබාගෙන ඉන් දැඩි සතුටක් ලබා ගත්තද එය වැරදි සතුටකි.


මෙලෙසින්ම පංච උපාදානස්කන්ධයේ කිසිදු වටිනා කමක් නොමැති බව තේරුම් ගත් විට නැවත කිසි දා ඒ පිලිබඳව තණ්හාව ඇති නොවේ. බුද්ධදේශනය අනුව දුක පිලිසිඳ දැන ගත යුතුයි, සමුදය ප්‍රහාණය කල යුතුයි, මාර්ගය භාවිතා කල යුතුයි, නිවන සාක්ෂාත් කල යුතුයි. නිවන යනු තමා ජීවත් වන කාලය තුල තමා විසින්ම සාක්ෂාත් කර ගත යුතු දෙයක් විනා මිය ගිය පසු අන් අයගේ ප්‍රාර්තනා නිසා ලැබෙන දෙයක් නොවේ. මේ බව නොදන්නා අය යමෙකු මිය ගිය විට නිවන් දකීවා යයි ප්‍රාර්තනා කරති, විශාල බැනර් ගසති. එහෙත් ඇත්තෙන්ම එසේ ප්‍රාර්තනා කලයුත්තේ ඔහු ජීවත්ව සිටින විටය. යමෙකුට උපන් දින සුභ පැතීමක් ලෙස එසේ ප්‍රාර්ථනා කර යැවීම නුවණැති ක්‍රියාවකි.

මරණ මොහොත දක්වා පමණක් අවශ්‍ය දේ සම්පාදනය කරන අප බොහෝ දෙනාට ඒ බැවු මතක් වන්නේ මරණ මංචකයේදීය. නමුත් බෞද්ධයකු ලෙස මරණින් මතු නැවත භවයක් තිබුනද නොතිබුනද කුසල් රැස් කල යුතු බවද දැන ඒ අනුව කටයුතු කල යුතු වේ. නිවන් මග දක්වා යන ගමනේදී ශාස්තෘවරුන්ට උදවු කල හැක්කේ එක්තරා දුරකට පමණි. එනම් ධර්ම මග පෙන්වා දීම දක්වා පමණි. නිවන් මගේ යාමට කටයුතු කල යුත්තේ තමා විසින්මය.

උදාහරණයක් ලෙස යමෙකුට මෝටර් රථයක් පදවන ආකාරය හා එහි යාන්ත්‍රික ස්වභාවය තවෙකෙකුට කියාදිය හැකි මුත් පදවන සැටි ඉගෙන ගත යුත්තේ එම රථය පැදවීමෙන්ම පමණකි. එමෙන්ම යම් විභාගයක් සඳහා පෙනී සිටින අයෙකු විසින් කල යුත්තේ තම ගුරුවරයා විසින් උගන්වන දෑ හොඳින් සිතේ ධාරණය කර ගෙන ඒ දැනුම අනුව ප්‍රශ්ණ වලට පිලිතුරු ලිවීමය. එසේ නොකොට ගුරුවරයාගේ චායාරූපයකට වැඳ වැටීම හෝ ඔහුගේ ගුණ වැයීම හෝ එම රූපය ඉදිරිපිට සුවඳ දුම් ඉසීම නොවේ.

එමෙන්ම යමෙකු විභාගයක් අසමත් වූ විට කල යුතු වන්නේ තමාට එසේ වූයේ මන්දැයි නුවණින් විමසා බැලීමය. එසේ වීමට හේතු විමසා බලා එම හේතු වලට පිලියම් යොදා නැවත විභාගයට පෙනී සිටීමය. මෙලෙසින්ම යමෙකු තුල ද්වේශය, තරහව, රාගය ඇති වීම නිසා සමාධිය නොවැඩෙන විට ඒ පිලිබඳව කම්පා නොවී එසේ වන්නේ ඇයිදැයි නුවණින් විමසා බැලිය යුතු වන්නේ හේතු ඵල ධර්මයට අනුව සෑම දෙයකටම හේතුවක් ඇති නිසාය. බොහෝ විට අප විසින් කරනු ලබන්නේ ඇති වූ ඵලය පිලිබඳව කම්පා වීම මිස එයට හේතු සොයා බලා ඒවාට පිලියම් යෙදීම නොවේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී