Happiness - 05.04.2018

මං ඊයේ රෑ මරු හීනයක් දැක්කා ඕයි. එක රජ කෙනෙකුට හැදිලා ලෙඩක් නින්ද යන්නේ නැති. අර මට පහුගිය දවස් වල තිබුනා වගේ. ඉතිං රජ්ජුරුවෝ රටේ හිටිය ඉහලම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා කිසිම ගුණයක් උනේ නෑ. ලෙඩේ එහෙමමයි. රජාට මල පැනලා වෛද්‍යවරු සේරම අල්ලලා හිරේට දැම්මා. ඊට පස්සේ රට පුරාම අඬබෙර කාරයෝ යැව්වා රජ තුමාව සනීප කරන ඕනෑම කෙනෙකුට හරකෙක් බරට වස්තුව දෙනවා කියලා. ඒ රටේ මම දැක්ක විදියට ඇත්තු හිටියේ නෑ. හිටිය උන් ඔක්කොම දල කපා ගන්න රජාගේම ඈයෝ මරලා. ඉතිං වස්තුව කිරන්න වෙන්නේ හරකාගෙන් තමයි.
ඒ රටේත් දියවැඩියව, ඇදුම, පිලිකා, ලිංගික බෙලහීන තාවය වගේ ඒවා දින හතෙන් සුව කරන ඈයෝ හිටියත් ඒ එකෙක් වත් ආවේ නෑ රජාට බෙහෙත් කරන්න හිරේට යන්න වෙන විත්තිය දන්න නිසා. දවසක් එක මහලු මිනිහෙක් මහලු මිනිහෙක් කිව්වට ඌ මට වඩා තරුණයි අඬබෙරෙය නවත්තලා කිව්වා මාව රජතුමා ලඟට එක්ක යන්න කියලා. ගිහිල්ල රජාගේ නාඩි අල්ලලා ඇස් දෙක බලලා කිව්වා ඔබතුමාට බෙහෙත් ගන්න තරම් ලෙඩක් ඇඟේ නෑ. මේක මනසේ ඇති වෙච්ච සුලු කැලඹීමක්. ඕකට බොහොම සුලු දෙයයි කරන්න තියෙන්නේ. සතුටින් ඉන්න කෙනෙක් ඇඳපු කමීසයක් ටිකක් වෙලා ඇඳ ගෙන ඉන්න. ලෙඩේ සුටුස් ගාලා නැති වෙයි කියලා. දවස් ගානක් නිදි නැතුව මල පැනලා හිටි රජාට මාර ජොලියක් ගියා. කියන්න දෙයක් නෑ මචං නින්ද නොගියාම තියෙන ගාය මමත් දන්නවානේ. ඉතිං රජා අර මෑන්ට කිව්වා තමන් කැමති සයිස් එකේ හරකෙකුත් අරං හෙට එන්න කියලා වස්තුව කිරලා දෙන්න.

ඊට පස්සේ රටේ හිටිය ඉහලම සිටු වරයාට කතා කරලා ඉල්ලුවා ඌ ඇඳපු ශර්ට් එකක්. මෑන් පුදුම වෙලා කිව්වා අනේ රජ තුමනි ඔබ තුමා මට විහිලු කරනවාද ඇඳපු කමිස ඉල්ලන්නේ මම දෙන්නම්කෝ නැවකට අලුත් කමීස කියලා. එතකොට රජතුමා කිව්වා නෑ බං මට කමිස නැතුවාට නෙමෙයි කියලා කතාව කිව්වා. එතකොට සිටු වරයා කිව්වා අනේ රජ තුමනි එහෙම දේකට නම් මගෙ කමිසයක් හරි යන්නේ නෑ මේ දවස් වල මගේ හිතේ කිසිම සතුටක් නෑ. මටත් නින්ද යන්නේ නෑ. මගෙ එකම කොල්ලා අඩු කුලේ කෙල්ලෙකුට සෙට් වෙලා. ඌ කියනවා මට සිටු කමත් එපා ඒකි නැත්තම් කියලා. පස්සේ රජතුමා රටේ ඉන්න ලොකුම බිස්නස් කාරයා ගෙන්නලා අර වගේම කතාව කියලා ඌ ඇඳපු කමිසයක් ඉල්ලුවා. මෑන් කිව්වා අනේ රජ තුමනි උතුරු මුහුදට ගියපු මගෙ නැව් ටික තාම ආවේ නෑ. එහේ ලොකු කුණාටුවක් කියලත් ආරංචි උනා. ඒ නිසා මගේ හිතේ කිසිම සතුටක් නෑ. එලියට නොපෙන්නුවාට මම ඉන්නේ හරිම දුකකින් කියලා. මේ විදිහට රටේ හිටපු ලොකු ලොකු සියලු දෙනාගෙන්ම රජා කමිසයක් ඉල්ලුවත් උන් සේරම කිව්වේ කමිස නම් නැවකට දෙන්න පුලුවන්. ඒ උනත් ඔබ තුමාගේ උවමනාවට හරි යන්නේ නෑ අපි ෆුල් ජොලියේ ඉන්නවා කියලා පෙන්නුවාට අපේ ඇතුලේ කිසිම සතුටක් නෑ කියලා.

රජ තුමාට දැන් ෆුල් අප්සෙට්. ඇයි යකෝ එලියට චූන් එකේ ඉන්නවා වගේ පෙන්නුවාට මුන් එකෙවත් ඉන්නේ සතුටින් නෙවෙයිනේ කියලා මම කොහොම හරි හොයා ගන්නම්කෝ සතුටින් ඉන්න එකෙක් කියලා තමන්ම වෙස් වලා ගෙන අස්සයෙක් පිටේ නැගලා රෑට රෑට රටේ ඇවිදින්න ගියා. ඔහොම යනකොට මෑන්ට ඇහුනා ඈතින් මිනිහෙක් සිංදුවක් කියනවා. රජා ඒ පැත්තට ගියා. සිංදුව කියලා ඉවර වෙලා මිනිහා හයියෙන් කිව්වා අද මම මෙච්චර ගානක් හම්බ කර ගත්තා.ඒකෙන් මෙච්චරක් කෑමට වියදම් උනා, මෙච්චරක් පිනට දුන්නා, මේ ටික හදිසියකට ගන්න තියා ගත්තා. මම හිතන්නේ මං විතර සතුටින් ඉන්න කෙනෙක් මේ රටේවත් නැතුව ඇති කියලා ආයිත් සිංදුවක් කියන්න පටන් ගත්තා. දැන් රජාට මාර ජොලි ඉක්මනටම ඒ පැත්තට ගියා. බලන කොට සිංදු කියන්නේ ඉතාම පුංචි පැලක බිම වාඩි වෙලා ඉන්න මිනිහෙක්. රජ්ජුරුවෝ මිදුලට ගිහිල්ලා අස්සයා පිටින් බැහැලා කිව්වා මම රටේ රජ්ජුරුවෝ කියලා. එතකොට අර මිනිහා බිම දිගා වෙලා වැඳලා කිව්වා ගැත්තාට සමා වෙන්න ඔබතුමාට වාඩිවෙන්න සුදුසු ආසනයක් මා ලඟ නෑ කියලා. ඒ පාර රජා කිව්වා ඒකට කමක් නෑ මම උඹට හරකෙක් බරට වස්තුව දෙන්නම්. මට උඹ ඇඳපු කමිසයක් දියං පොඩ්ඩක් වෙලා ඇදං ඉන්න කියලා. එතකොට මෑන් ආයිමත් බිම දිගා වෙලා රජාගේ කකුල් දෙක අල්ලගෙන වැඳලා කිව්වා පස්වාන් දහසකට බුදු වෙන්න රජ තුමනි මට කමිසයක් නෑ. සරොම් කෑලි දෙකක් විතරයි තියෙන්නේ කියලා. එතකොට රජා එතනම බිම වාඩි උනා. වාඩි උනා නෙවෙයි වාඩි කෙරුනා. එහෙමම ඉදං කල්පනා කරා කොච්චර බලය තිබුනත්, වස්තුව තිබුනත්, රාජ මන්දිර යාන වාහන ඉඩ කඩං තිබුනත්, පිට රට බැංකු වල කොච්චර හොර කම් කරපු සල්ලි තිබුනත්, අන්ත:පුර වල කොච්චර ගෑනු හිටියත් ඒ එකකින් වත් සතුටක් ලැබෙන්නේ නෑ කියලා. ඒ වගේම ඒවාමොනවත් නැති මිනිස්සු ලඟ සතුට තිබුනත් ඒක තව කෙනෙකුට දෙන්න ඒ අයටවත් බෑ කියලා.එහෙම නම් හිතේ සතුට ඇතිකර ගන්න ඕන තමන්මයි කියලා තේරුනා.

ඒ අතිං බැලුවාම මගේ හීනේ හිටපු රජා ඇත්තට ඉන්න රජාලාට වැඩිය බුද්ධිමත්. පස්සේ රජ්ජුරුවෝ අර මිනිහාට ස්තුති කරලා මූට වස්තුව දුන්නොත් ඒකෙන් වෙන්නේ උගේ සතුටත් නැති වෙන එක විතරයි කියලා හිතලා නැගිටලා ඔලුවත් පහත් කරගෙන පස්ස පැත්ත කහ කහා ගිහින් අස්සයා පිට නගින කොටම " අනේ ඔයා තාමත් නිදිද. ධම්ම කූටෙට ගියාට පස්සේ නින්ද යනවා වැඩියි නේද නැගිටලා ලෑස්ති වෙන්න ලෙඩ්ඩු ඇවිත් බලා ගෙන ඇති. අන්න ඔයා ආසා හින්දා මංඤ්ඤොක්කා වගයකුත් තම්බලා තියෙනවා ඒකත් කාලාම යන්න කියලා" අපේ නෝනා මාව නැගිට්ටුවා. මට ඒ වෙලාවේ මල පැන්නත් අනුන්ගේ කමිස අඳින්නේ නැතිව මගෙ ලෙඩේ හොඳ උනේ එයා නිසා මම නැගිටලා රස්සාවට ගියා. මගේ කල්පනාව අද රෑට කොහොම හරි හීනෙ ඉතුරු ටික බලා ගන්න. මොකද මට ඕන අර රජ්ජුරුවෝ ඊට පස්සේ මොකද කරේ කියලා දැන ගන්න. හරි ගියොත් මම හෙට පෝස්ට් එකක් දාන්නම්.

ඔය ගොල්ලෝ හිතන්නේ රජ්ජුරුවෝ ගිහිං මොනවා කරන්න ඇති කියලද.

්ෆුල් ට්‍රයි කරලා අර හීනෙ ඉතුරු ටික බලා ගත්තා. ඉතිං රජ්ජුරුවෝ ඔලුවත් පහත් කරගෙන ගිහින් අස්සයා පිට නැගලා වෙනදා වගේ වේගෙන් යන්නේ නැතුව අර 177 බස් එක යනවා වගේ කොට කොට ගියා. යන ගමන් කල්පනා කරා ඇයි මටත් අර මිනිහා වගේ සතුටින් ඉන්න බැරි කියලා. ඔහොම යන කොට මෑන්ට තේරුම් ගියා තමන්ගේ හිතේ තියන බර තමයි හේතුව කියලා. තවත් කල්පනා කරන කොට තේරුම් ගියා බලයට තියන තණ්හාව, වස්තුවලට තියෙන ආසාව හා අන්ත:පුරයේ ඉන්න ගෑනුන්ට තියෙන කෑදර කම නිසා තමයි මේ බර ඇතිවෙලා තියෙන්නේ කියලා. මේ විදිහට කොට කොට ගිහින් මාලිගාවට යන කොට එලි වෙලා. රජ්ජුරුවෝ හෝස් ටී එක එහෙම ගහලා වොශ් එකක් දාගෙන ඇමති මණ්ඩලය රැස් කරලා කිවුවා මට දැන් වයසයි ඒ නිසා මේ නහින දෙහින කාලෙවත් ටිකක් හිතේ සතුටින් ඉන්න ඕන. ඒ හින්දා මම තීරණය කරා මේ රජ කමින් අදම අයින් වෙන්න කියලා. ඊලඟට ඇමති මණ්ඩලේ සීනියර්ම ඇමතිට රජ කමත් ඊලඟ සීනියර් එක්කෙනාට යුව රජ කමත් තමන්ගේම සහෝදරයාට මහ සෙනෙවි කමත් දුන්නා.
මේක ආරංචි වෙලා රජාගේ පුතා එතෙන්ට දුවගෙන ආවාම රජා කිව්වා උඹට තව හුඟක් කල් තියෙනවා ඒ හින්දා දැන්වත් ඔය තැන් තැන් වල ගිහින් ගොන් තැඹිලි බොන එක නවත්තලා ගෙදර වත්තේ රන් තැඹිලි පැලයක් හිටෝගෙන ටිකක් ශීලාචාර විදියට ඉන්න පුරුදු වෙයන් කියලා. ඊලඟට අන්ත:පුරය විසිරුවලා දාලා අර හිරේට දාලා තිබුන වෛද්‍යවරු ටිකත් නිදහස් කලා. දුන්නොත් උන්ට වෙන දේ දන්න නිසා හරකෙක් නෙවෙයි ගොම්බෙට්ටක බරටවත් වස්තුව දුන්නේ නෑ. ඊටපස්සේ කිසි වැඩකට නැතුව ගොඩගහ ගෙන තිබුනු වස්තුවෙන් තමන්ට ජීවත් වෙන්න උවමනා ටික විතරක් තියා ගෙන අනිත් සේරම භාණ්ඩාගාරයට දුන්නා. මේ ටික කරලා ඉවර වෙන කොට හවස් වෙලා. ඒපාර මේ හිටපු රජා තමන්ට කෑම ටික හදලා වැඩ පල ටික කරවා ගන්න එක සේවකයෙකුත් අරගෙන ගියා මාලිගාවෙන් ටිකක් ඈතට වෙන්න තිබුනු පොඩි ගේකට. ගිහින් වොශ් එකක් දාගෙන කෑම කාලා ඇඳට ගියා විතරයි කපලා එකක් නින්ද ගියා. ඇරියසුත් අල්ලලා නිදාගෙන පස්සෙන්දාත් හවස් වෙලා නැගිටින කොට වෙනදා නැති ෆිට් එකක් දැනුනා. අන්ත:පුරය නැති නිසා ඇඟටත් හිතේ බරක් නැති නිසා හිතටත් ෆුල් ෆිට්. පස්සේ මිනිහා බෙඩ් ටී එකත් ගහලා හාන්සි පුටුවේ කකුල් දෙකත් උඩට අරගෙන වාඩි වෙලා සරමත් හදා ගෙන අර පටාචාරා පිචර් එකේ එන "තන්හා ආශා ඔලගු කරේ ලා" කියන සිංදුව කියන්න පටන් ගත්තා. ජීවිතේට සිංදුවක් නොකියපු එකා සිංදු කියනවා ඇහිලා අලුත් රජ්ජුරුවොයි ඇමතියොයි සේනාපතියයි සේරම දුව ගෙන ආවා එතෙන්ට. එතකොට හිටපු රජා සිංදුව නවත්තලා "බලපල්ලා මං විතර සතුටින් ඉන්න එකෙක් මේ රටේවත් නැතුව ඇති" කියලා ආයිත් පටන් ගත්තා සිංදුව කියන්න "අඳුරින් ගැලවී එලිය සොයන්නෝ හැමදා අඳුරේ අඳුර දකින්නෝ" කියලා. මේක අහලා මේ අපිටද දන්නේ නෑ කියන්නේ කියලා සමහරු ඉක්මනට එතනිං මාරු උනා. අනිත් අය හිටපු රජාට ආචාර කරලා යනකොට ඇහුනා මෑන් කියනවා " එලිය දකින්නද මේ යන්නේ සතුට සොයන්නද මේ යන්නේ කියලා".

පස්සේ හිටපු රජා ඉන්න ජොලිය දැකලා අර අන්තිමට ආපු ඇමතිවරුයි අලුත් රජයි අපිත් අර වගේ සතුටින් ඉන්න ඕන කියලා හිතලා කලින් රජා කලා වගේ තමන් ලඟ ගොඩ ගහ ගෙන තිබුනු ඒවායි පිටරට වල හංගලා තිබුනු ඒවායි සේරම වස්තුව ගෙනත් තමන්ට ජීවත් වෙන්න ඕන ටික විතරක් තියා ගෙන ඉතුරු සේරම භාණ්ඩාගාරයට දුන්නා. ඒ වගේම තමන් අතේ තියා ගෙන හිටපු බල තල වලින් කොටසක් පහල ඉන්න අයටත් බෙදලා දුන්නා. මේක දැකපු අනිත් ඇමතියෝ ටික මුන්ට නම් පිස්සු මුන් එක්ක හිටියොත් අපට කෙල වෙනවා කියලා තමන්ගේ සේරම වස්තුව අරගෙන වෙන රට වලට ගියා. හිටපු රජාගේ මල්ලි කෙනෙකුත් ඌ කලින් ඉඳන්ම වස්තුව හංගලා තිබ්බ රටට ගියා. ඔහොම ටික කලක් යනකොට හිටපු රජා විතරක් නෙවෙයි අලුත් රජායි ඇමතියොයි සේරම ෆුල් සතුටින් ඉන්න බව දැකපු අර ලොකුම සිටු වරයා තමන්ගේ තිබුනු විශාල වස්තු කන්දරාවෙන් ටිකක් පුතාට දීලා "උඹට අරකම ඕන නම් කර ගනින් හැබැයි මම මෙතනින් යනවා "කියලා අර ඉතුරු වස්තුවත් භාණ්ඩාගාරයටම දීලා මිනිහාත් රජා වගේම සතුටින් ඉන්න ගියා.

කාලයක් යන කොට සේරම සිටු වරු බිස්නස් කාරයෝ තමන් ලඟ කිසිම වැඩකට නොගෙන තිබුනු වස්තුවෙන් තමන්ට ජීවත් වෙන්න ඕන ටික විතරක් තියා ගෙන අනිත්වා භාණ්ඩාගාරයට දුන්නා.

මේ විදියට භාණ්ඩාගාරයට විශාල වස්තුවක් එනකොට අලුත් රජා මෙතෙක් කල් රට වැසියාගෙන් ගත්ත සේරම බදු නවත්තලා භාණ්ඩාගාරයේ වස්තුවෙනුත් කොටසක් ඔවුන් අතරේ බෙදා දීලා අනිත් ඒවායින් රටේ ඉතුරු වැඩ කරලා රෝහල් වලට අවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍ර එහෙමත් ආණ්ඩුවෙන්ම අරං දීලා රට දියුණු කලා. රට වැසියාත් තමන්ට ලැබුනු වස්තුව යොදවලා ගොවිතැන්, පොඩි පොඩි බිස්නස් එහෙම කරලා දියුණු උනා. ටික දෙනෙක් ඔය කේරල ගංජා, හෙරොයින්, කසිප්පු වගේ දේවල් ගහලා නැති වෙලා ගියා. ඔහොම අවුරුදු ගානක් යන කොට රෑට ගහකින් කොලයක් බිමට වැටෙන සද්දෙ පවා ඇහෙන තරමට රට නිශ්ශබ්ද උනා. ඇයි පොරවල් සේරටම නියමෙට නින්ද යනවා. උදේට ෆුල් ෆිට් එකේ නැගිටලා තමන්ගේ වැඩට යනවා. මේ විදියට රට කොච්චර දියුණු උනාද කියනවා නම් රජාගේ තිබුනු ගෙම්බර් එකත් අඩු වෙලා මිනිහාත් සාමාන්‍ය කෙනෙක් ගානට පත් උනා. ඒ වගේම කාලයක් යන කොට එහේ මෙහේ කැලෑ වල හැංගිලා හිටපු ඇත්තුත් පැටවුනුත් එලියට ආපු නිසා ආයිමත් උන්ගෙන් වස්තුව කිරන්න පටන් ගත්තා. හැබැයි අර කලින් රජාගේ ගොන් තැඹිලි කඩ කඩා හිටි පුතා ගැනවත් සේනාපති මල්ලී ගැනවත් කිසිම දෙයක් ඊට පස්සේ මම දැක්කේ නෑ.

මෙන්න මේ විදිහට හීනේ ඉවර උනත් අද ලෙඩ්ඩු බලන්න යන්න තියෙන්නේ අපේ නෝනාට නිසා මම ටිකක් දවල් වෙන කං නිදා ගත්තා. ඒ අතරේ තව හීනයක් දැක්කා. ඒක දැකලා ගැස්සිලා ඇහැරුනේ. ඒකෙන් මට ලැබුනේ අමුතුම විදියේ ආතල් එකක්. ඒක මතක් වෙන කොටත් මට නිකං මෙව්වා වෙලා යනවා.. ඒ නිසා ඒ විස්තර ඔය ගොල්ලන්ට කියන්න බෑ. අර රජාගේ හීනේ වගේ එකක් ආයේ දැක්කොත් කියන්නම්.

දැන් ඉතිං මම යනවා සරමත් හෝදලා දාලා වොශ් එකක් ගන්න.

https://www.youtube.com/watch?v=jzuf3sMSyI0&fbclid=IwAR2NXBlV3pt8t6-CjMBYa9ADIm7VDw0kDKKdCPx4h6nBC9xCBKxC7kbVc5k

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී