Mahindhagama - 16.04.2018

පහු ගිය දවසක මම බෞද්ධයෙක් හැටියට හිත කම්පා කරවපු ප්‍රවෘත්තියක් දැක්කා. ඒ තමයි බුදු පිළිමයක් නිරාවරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ආවේ නෑ කියලා ඒකට විරුද්ධත්වය පෙන්නන්න ඒ බුදු පිලිමයත් ආපහු අරගෙන ගියපු ඇඹිලිපිටියේ මිනිසුන් ටිකක් ගැන. මෙතෙන්දි මම මිනිසුන් කියලා කිවුවේ ඔවුන් කෙසේ වත් බෞද්ධයින් වීමට නොහැකි නිසායි. ඔවුන් බෞද්ධයින් වූවා නම් ඔවුන් විශ්වාස කරන හැටියට මුල් තැන දිය යුතුව තිබුනේ බුදු පිලිමය තැන්පත් කිරීමට විනා එය විවෘත කිරීමට පැමිණෙන්නාට නොවේ. මම ඔවුන් විශ්වාස කර හැටියට කියලා කිවුවේ වචනයේ පරි සමාප්ත අර්ථයෙන් ගත්තොත් බෞද්ධයකු නම් වටිනා කම දිය යුත්තේ බුදු පිලිමයටත් නොව බුදුන් වහන්සේ දේශනා කොට ඇති ධර්මයට වීමයි. නමුත් මා දන්නා හැටියට තම ජීවිතය පුරාවට පන්සිල් වලින් එකක් හෝ ආරක්ෂා නොකල අයකු ලවා බුදු පිලිමයක් විවෘත කරවීම තබා එවැනි උත්සවයකට සහභාගී වීමවත් නියම බෞද්ධයකුට කල නොහැකිය. ඒ නිසයි මම මුලින්ම ඇඹිලිපිටියේ මිනිසුන් වගයක් යනුවෙන් හැඳින්වූයේ. වගයක් කියලා කිවුවේ අවුරුදු 10ක් පුරාවටම මා ඇඹිලිපිටියේ මිනිසුන් ඇසුරු කර ඇති බැවින් ඔවුන් සියලු දෙනාම එක ගොඩකට දමා හැඳින් වීම ඔවුන්ට කරන අසාධාරණයක් නිසා බැවිනි.

ඇඹිලිපිටියේ පමණක් නොව මේරටේ උපතින් බෞද්ධයින් බොහෝ දෙනෙක්ම හැසිරෙන්නේ මේ ආකාරයෙන්මය. මිනිසුන් පමණක් නොව චීවරධාරීන්ද හැසිරෙන්නේ මෙසේ මය. මම චීවරධාරීන් කිවුවේ සිවුරක් පොරවා ගෙන සිටින මිනිසුන්ට වන අතර මේ රටේ වැඩ සිටින සුපේෂල ශික්ෂාකාමී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නොවේ. බුදු පිළිමයක් නොව අද වැරදීමෙන් වත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කලහොත් උන් වහන්සේ පිලි ගැනීමට මහින්ද මහතා පැමිණෙන තුරු පසෙකට වී වැඩ හිඳීමට උන් වහන්සේට සිදු වනු නිසැකය. එමෙන්ම චීවරධාරීන්ද "තමුසෙ කවුද, මේ ඉන්නේ අපේ බුදු හාමුදුරුවෝ " කියා බුදු පිලිමයක් පෙන්වා උන් වහන්සේව පලවා හරිනු ඇත. මොකද බුදුන්ගේ වැඩ විසීම මෙම චීවර ධාරීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වන හෙයිනි. නමුත් ඉහත ප්‍රවෘත්තියේ සිත යම් පමණකට සනසවන දෙයක් වූයේ දුර කථනයෙන් කථා කල තැනැත්තාට මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කණ පැලෙන පිලිතුරක් දුන් බව පෙනීමය. ඒ සමහර විට ඔහු නියෝජනය කිරීමට පැමිණි ඔහුගේම සොයුරාට කල මදි පුංචි කම නිසා විය යුතුය.

කෙසේ වෙතත් මේ සිදුවන දේ වලින් හොඳින් පැහැදිලි වන්නේ අනිකක් නොව අප රටේ බුදු දහම විනාශ කරනු ලබන්නේ අන් කිසිම ජාතියක් විසින් නොව බෞද්ධයින් යයි කියා ගන්නා අය විසින්ම බවය. බුදු දහම මෙරටින් තුරන් කිරීමට කැමති අන් අය සිටිය හැකි නමුත් ඒ සඳහා ඔවුන්ට කරදර වීමට අවශ්‍ය නොවන්නේ බෞද්ධයින් යයි කියා ගන්නා අය විසින්ම එය ඉතා හොඳින් කර ගෙන යන බැවිනි.

මා මීට පෙර සඳන් කර ඇති පරිදි බුදු දහම ආරක්ෂා කිරීමට නම් එය මුලින්ම තමන් ලඟ ආරක්ෂා කර ගත යුතුය. එසේ නොමැතිව අනිකුත් ආගම් අදහන්නන්ට පහර දීමෙන් හෝ ඔවුන්ට කුණුහරුපයෙන් බැන වදිමින් හෝ තර්ජනය කිරීමෙන් හෝ නොවේ. එය තමාගේ දරුවන් නිසි පරිදි රැක නොගැනීම හේතුවෙන් අයාලේ යන විටදී දරුවන් හොඳින් ආරක්ෂා කරගෙන ඔවුන් යහමග යවන තම අසල් වාසීන්ට බැන වදිමින් තම දරුවන් අයාලේ යන්නේ ඔවුන් නිසා බව පවසමින් තම දරුවන් රැක ගැනීමට එම අසල් වාසීන් හා ඔවුන්ගේ දරුවන් පලවා දැමිය යුතු බව පවසන්නාක් වැනි අනුවණ මෙන්ම පල රහිත ක්‍රියාවකි. කල යුතු වන්නේ දරුවන් කුඩා කල සිට තමා ලඟ තබා ගෙන ඔවුන් ඉබාගාතේ යාම වලක්වා නිසි මග යැවීමයි. නමුත් මෙ රට තුල එවැන්නක් සිදු වන බව නොපෙනේ. මෙහිදී මා විසින් යොදා ගෙන ඇති උපමාව ගැන මා සමග වාද කිරීම නොපැමින එම උපමාව උපමේය සමග ගලපා තේරුම් ගන්නා ලෙස මා මිතුරන් ගෙන් ඉල්ලමි. එසේ කල හොත් වරද ඇත්තේ කොහිදැයි තේරුම් ගැනීමට වහලකු නොවන අන් සෑම අයකුටම හැකි වනු ඇත. මා මෙය එදින ඇඹිලිපිටියේදී පැවසූවා නම් මගේ ජීවිතයද එදිනම එහි සිටි වහලුන් අතින් අවසාන වනු නිසැකය. එමෙන්ම මුහුණු පොතේ සිටිනවුන් අතරද එවැනි වහල් මානසිකත්වයකින් පෙලෙන අය සිටින බව මෙතෙක් මට ලැබී ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිය. ඔවුන් කිසි දිනක සත්‍යය තේරුම් නොගන්නවා පමණක් නොව යම් දිනක මෑත අතීතයේ ඉරානයේ අයතුල්ලා කුමේනි කලාක් මෙන් නිදහස් මතධාරීන්ගේ සමූල ඝාතනයක් සිදු කල හොත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දී අපවද එයට යටත් කරවනු ඇත. එය වහලුන්ගේ ස්වභාවයයි. මැතිවරනයකට පසු නායකයින් එක්ව මධු පානය කරද්දී වහලුන් එකිනෙකා ඇන කොටා ගන්නේ එහෙයිනි. පැති දෙකකට වී සිටියත් තමන් සියලු දෙනාම වහලුන් බව තේරුම් ගැනීමටවත් ඔවුන්ගේ වහල් මානසිකත්වයෙන් ඉඩක් නැත.

මගේ පුද්ගලික අදහස නම් රාජ්‍ය නායකයා කවරෙක් වූවද ඔහු මෙවැනි ආගමික විවෘත කිරීම් වලට නොයා යුතු බවය. විශේෂයෙන්ම අපගේ වැනි බහු ආගම් පවතින රටවල් වල එසේ නොකල යුතුය. මා දන්නා තරමට ඉන්දියාවේ වත් රාජ්‍ය නායකයා මෙවැනි විවෘත කිරීම්වලට යන්නේ නැත. බුදු දහම බාල්දු වීමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ එය පවිටු දේශපාලකයින් විසින් තමන්ගේ දේශපාලන උවමනාවන් සඳහා යොදා ගැනීමත් පවිටු චීවරධාරීන් ඒවාට උඩ ගෙඩි දීමත්, දේශපාලන රැස්වීම් වලට තම විහාරස්ථාන පුද්ගලික ලාභ වෙනුවෙන් ලබා දීමත්ය. මෙහිදී තම ආගමික කටයුතු සඳහා එහි යාමට කිසිදු බාදාවක් නැත. එහෙත් පන්සිල් වලින් එක ශික්ෂාපදයක් හෝ නොරකින මෙම දේශපාලකයින් සුදු ඇඳුම් හැද මල් වට්ටි රැගෙන පන්සලට යන්නේ එමගින් තම වහල් පාක්ෂිකයින් ගොනාට ඇන්දවීම සඳහා පමණක්මය. ඒ හැරෙන්නට මොවුන්ගෙන් ආගමට තබා ඔවුන්ටවත් සෙතක් නොලැබේ. නියම බෞද්ධයින් නම් කලයුතු වන්නේ මෙවැනි පවිටු දේශපාලකයින්ව සහභාගි කරවා ගෙන විහාරස්ථාන වල කරණු ලබන උත්සව සඳහා සහභාගී නොවී සිටීමය. එමෙන්ම එවැන්නන් බෞද්ධ නායකයින් ලෙස සැලකීම වහා නතරකිරීමය.. නමුත් එසේ කරනු වෙනුවට පන්සලට එන පවිටුන් හට උපාසකම්මලා පවා දන නමා වඳිනු මා දැක ඇත. තවද යම් පන්සලක් දේශපාලකරනීය වූ විට එම පක්ෂයට සම්බන්ධ නොවන අය එහි නොපැමිනෙන අතර ඔවුන්ද එවැනි පන්සලක් සොයා යාමට පෙලැඹේ.

අද බොහෝ අය විසින් කරනු ලබන චෝදනාවක් වන්නේ මුස්ලිම් ජනතාව විසින් බුදු දහම විනාශ කිරීමට කටයුතු කරන බවය. නමුත් ඔවුන් එවැන්නක් කරනු මට නම් නොපෙනේ. ඔවුන් 99% ත් වඩා තමන් අදහන ධර්මය අනුව කටයුතු කරති. දිනකට යම් වාර ගණනක් යාඥා කරති. මා සමග සේවය මුස්ලිම් අයෙක් දිනපතා සේවා ස්ථානයේ මුල්ලකට ගොස් දවස තුල 3 වතාවක් විනාඩි කීපයක් යාඥා කරයි. සිකුරාදා දින නොවරදවාම පල්ලියට යයි. කෙතරම් ලොකු ව්‍යාපාරිකයකු වූවත් එදිනට එම ස්ථාන වසා දමා පල්ලියට යන අයුරු එදිනට කොලඹ නගරයට යන අයකුට මැනවින් දැකිය හැක. සියලු පිරිමින් සෑමදාම සවසට පල්ලියට රැස් වන නිසා ඔවුනට අවශ්‍ය පණිවිඩයක් දිවයිනේ සිටින සෑම මුස්ලිම් අයකු හටම පල්ලිය මගින් යැවිය හැකි වේ. මෙසේ ඔවුන් ඔවුන්ගේ ආගම අනුව හැසිරෙමින් කුඩා දරුවන් පවා එදෙසට යොමු කරමින් කටයුතු කරනවා හැර බුදු දහම විනාශ කරන අයුරක් මට නම් නොපෙනේ. මා මුලින්ද පැවසුවාක් මෙන් යම් හෙයකින් එවැන්නක් කිරීමට ඔවුන් හට අවශ්‍යතාවයක් තිබුනා වුවද එසේ කිරීමට ඔවුන්ට මහන්සි වීමට අවශ්‍ය නොවන්නේ බෞද්ධයින් යයි කියා ගන්නා අය විසින් ඉතා අපූරුවට එය කර ගෙන යන බැවිනි. ඔවුන්ට ඇත්තේ බලා සිටීම පමණි. මුස්ලිම් ජනතාව එසේ තම දරුවන්ද ආගමට යොමු කරමින් කටයුතු කරන විට නමට බෞද්ධයින් තමන්ද එසේ කරනවා වෙනුවට අරුන් බුදු දහම විනාශ කරනවා යයි බෙරිහන් දෙමින් කලබල කරති. චීවරධාරීන් සිවුරු කරට ගෙන කුනුහරුපයෙන් බැන වදිති.

දහම පවතින්නේ යමෙකු තුල නම් තවෙකෙකුට එය විනාශ කල හැක්කේ කෙසේ දැයි මට සිතා ගත නොහැක. එහෙත් දහම පවතින්නේ බුදු පිලිම, බෝගස් හා ගොඩනැගිලි වල පමණක් නම් එය විනාශ කිරීම අපහසු නොවේ. එබැවින් ඊනියා බෞද්ධයින් තුල දහම නොමැති බැවින් ගස් හා පිලිම වල ඇති දහම ඕනෑම අයකු හට විනාශ කල හැක. අප රට වැසියන් තුල පවතින වහල් මානසිකත්වයෙන් ඔවුන් මිදෙන්නේ නැතිනම් තව වසාර 50 ක් පමණ යන විට මෙය කෙසේ වත් බෞද්ධ රටක් ලෙස පවතින්නේ නැත. එබැවින් මේ අතිශයින් ප්‍රමාද වී ඇති මේ මොහොතේ අප විසින් ලහි ලහියේ කල යුතු වන්නේ දේශපාලන වහල් භාවයෙන් මිදී එකමුතු වී ධර්මයෙහි හැසිරෙමින් එය ආරක්ෂා කිරීමයි. එයින් තොර විකල්පයක් මගේ මේ ළපටි මොලයට නම් නොපෙනේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී