Political Slavery - 25.04.2018

පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී මා අත්දුටු මත් කුඩු වලට ඇබ්බැහිවූවකු හට මුහුණ දීමට සිදු වූ දෙයක් ඇසුරින් පටන් ගැනුනු සංවාදය පසුව දේශපාලනය පිලිබඳව වූ සංවාදයක් බවට පත් විය. අප රටේ යමෙකු ඉපදීමට පෙර සිට ඔහු මිය යන මොහොත දක්වාද සමහර විට මිණිය ආපසු ගොඩ ගැනීමට සිදු වුවහොත් ඒ දක්වාද වූ සෑම අවස්ථාවකම මේ මජර දේශපාලනය බලපෑම ඊට හේතුවයි. මෙම සංවාදය තුලින් මා ඉගෙන ගත් දේ බොහෝය. ඉන් වඩාත්ම වැදගත් දෙය වූයේ අප රටේ ජනතාව ඉතාම අවාසනාවන්ත ලෙස දේශපාලන පක්ෂ වලට කොටු වී සිටීමයි. මෙසේ කොටු වීම නිසා ඔවුන් හට එම පක්ෂයේ ක්‍රියාවන් හා නායකයින් දේවත්වයෙන් සැලකීමට හා පිදුම් කිරීමට ඇබ්බැහි සිටීම හේතුවෙන් ඔවුන් ඉන් මුදවා ගැනීමට නොවැකි බවත්ය. තම පක්ෂය හා එහි බලවතුන් කරනු ලබන සියලු දූෂිත ක්‍රියාවන් ඉදිරියේ අන්ධයින් සේ සිටිනවා පමණක් නොව ඒවා සාධාරණීය කිරීමට තරම් වහල් මානසිකත්වයකට ඔවුන් පත් වී ඇත. පසු ගිය රාජපක්ෂ රෙජිමය විසින් කරන ලද එවැනි දේ පිලිබඳව වර්තමාන රජය මුණිවත රැකීම හේතුවෙන් ඒවා ගොසිප් යයි හැඳින්වීමට තරම් වහල් මානසිකත්වයකට අපගේ උගතුන් පත්වී සිටීම මා හදවත කම්පනයට පත් කලේය. පවතින රජය එසේ කරනු ලබන්නේ ඔවුන්ද ඒ සමාන හොරකම් හා දූෂිත ක්‍රියා කර ඇති බැවින් බවත් ගනුදෙනුවක් හෙවත් ඩීල් එකක් ඔවුන් අතර ඇති බව වත් ඔවුන්ට තේරුම් ගත නොහැක. එවැනි එක් අයකු මාගේ පසු ගිය පෝස්ට් එකක් අනුව මා සමග දිගින් දිගටම වාද කල අයුරු ඒවා කියවූ අයට පැහැදිලි වන්නට ඇත.සමහර විට මේ වන විටත් හර්මන් ගෝරින් Herman Goring වැනි අය හිට්ලර් පැමිණි විටකදී ගෙස්ටපෝ Gestapo වෙත ගෙන යාම සඳහා අප වැන්නවුන්ගේ ලැයිස්තු පිලියෙල කරනවාද විය හැක.

මෙසේ එක් එක් පක්ෂ වලට කොටු වී සිටින අයව දකින විට මා මා සිතට නැගෙන්නේ කූඩු වල සිරවී සිටින ගිරවුන් වැනි පක්ෂීන්ය. උන්ට උන් සිටින කූඩුව අවට තිබෙන දේ හැර අන් කිසිවක් නොපෙනෙන හෙයින් කූඩුවෙන් පිට තිබෙන මහා අවකාශය ගැන සිතීමටවත් හැකියාවක් නොමැත. තමාට ලබා දෙන ආහාර වලට වඩා රසවත් නැවුම් ආහාර ඇති බවවත් තම ස්වාමි වරුන්ට වඩා යහපත් අය සිටින බව වත් නොදන්නා ඔවුන්ට හැක්කේ "පෙත්තප්පු බත් කෑවාද ඇසූ විට පෙත්තප්පු බත් කෑවා" වැනි උත්තර දීමට පමණය. එමෙන්ම උන්ට නොපෙනෙන මානයේ තම ස්වාමි වරු කරනු ලබන අමන ක්‍රියා උන්ට නොපෙනේ.මෙසේ කූඩු වලට සිරවී සිටින ගිරවුන්ට යථාර්තය කියා දීමට නිදහසේ සිටින ගිරවුන් කෙතරම් වෑයම් කලද ඒවා තේරුම් ගැනීම තබා ඒගැන සිතීමට වත් මෙම අවාසනාවන්ත පක්ෂීන් හට හැකියාවක් නොමැත.එමෙන්ම යම් දිනක උන්ගේ ස්වාමි වරුන් කූඩුවේ දොර ඇර තැබූවද තම අත්තටු ශක්තිමත් නොවීම හේතුවෙන් ඔවුන් හට කූඩුවෙන් එපිටට පියාඹා යාමද කල නොහැක. ස්වාමි වරුන් උන් හැර දමා ගිය විටකදී මෙම අවාසනාවන්ත පක්ෂීන්ට සිදුවන්නේ කූඩුව තුලම මිය යාමටය. එසේ මිය ගිය පක්ෂීන් රැසක් 88/89 කාලයේදී මා දැක ඇත.

තමාගේ සීමාන්තය අහස වන පක්ෂීන් වැනි වූ නිදහස් මතදාරීන් කූඩු වල සිර වී සිටන පක්ෂීන් වැනි අය හට පෙනෙනුයේ උන්මත්තකයින් ලෙසටය.එබැවින් උන් හට යථාර්තය වටහා දීමට කාලය ගත නොකොට නිදහසේ නමුත් අයාලේ පියාඹමින් සිටින පක්ෂීන් රැස් කරවා ගෙන තම ප්‍රජාව කූඩු වලට කොටු වීමෙන් වලක්වා තමන්ට ඇති නිදහස තව දුරටත් රැක ගැනීම වහ වහා කල යුතුය.

එබැවින් එවැනි වූ නිදහස් මත දරන ඔබ සියලු දෙනාටම හෙට දින සවස 2 ටනිදහස් චතුරශ්‍රයේදී පැවැත් වෙන රැස්වීමට එක් වන ලෙස ආරාධනා කරමි. අපි නිදහසේ එහි ගොස් කිසිම බැඳීමකට හසු නොවී නිදහසේම ආපසු එමු

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී