Thai politics - 23.05.2018

ඊයේ මගේ පෝස්ට් එක දැකලා මාත් එක්ක එකට ඉස්කෝලේ ගිය දැන් අවුරුදු විසි පහක් විතර තායිලන්තයේ බිස්නස් කරන එහෙන් කසාදයකුත් කර ගෙන ඉන්න මහා ධනපතියෙන් වෙන යාලුවෙක් තායිලන්තයේ ආරක්ෂක අංශ සාමාජිකයනුත්, අධිකරණයත් කොහොමද එරට වැසියන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියන එක ගැන දිග විස්තරයක් විනාඩි 45 ක් තිස්සේ කිවුවා. ඉස්සර මම හිතාගෙන හිටියේ ආයිත් උපදිනවා නම් ඊශ්‍රායලයේ උපදින්න. දැන් හිතෙනවා තායිලන්තයේ උනත් කමක් නෑ කියලා අර කතාව ඇහුවම.

එයා කිවුවා තායිලන්ත අධිකරණයත් ආරක්ෂක අංශත් මුල් තැන දෙන්නේ ජනතාවට මිසක් දේශපාලකන්ට නෙවෙයි කියලා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ. ඒ වගේම ජනතාවත් රජ තුමාට පස්සේ වැඩියෙන්ම ආදරය කරන්නේ ආරක්ෂක අංශ වලටලු. ඒ නිසා දේශපාලකයොත් අධිකරණයත් ඔවුන්ගේ ක්‍රියාවන් කරන්නේ හරිම පරිස්සමින්ලු. මේක මට අදහා ගන්න බැරි උනා බං. අපටත් පරම්පරාවකින් එන ජනතාවට ආදරය කරන තායිලන්තයේ වගේ රජ කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතුනා. එතකොට අපිට එක වෙන්නේ එයානේ. මේ ඉන්න පුස්සෝ ඊට පහලින් නේ. අධිකරණයටත් පිස්සු කෙලින්න බෑනේ. රජාත් රට පාලනයට බහින්නේ නැති නිසා ජනතා ප්‍රසාදය එහෙමමයි. කොහේද පර සුද්දෝ 1815 දී උන්ගේ රජ්ජුරුවෝ තියාගෙන අපිට හිටපු එක නැති කලා. සුද්දෝ අපේ ජාතියේ කොඳු නාරටිය කැඩුවේ ඒකෙන් කියලයි මට හිතෙන්නේ. පාලන බලයක් නැති උනාට යූ කේ වල මිනිස්සුන්ට තාමත් රැජින තමයි එක. තායිලන්තයේ රජතුමා යනකොට එක පොලිස් බයික් එකක් යනවා. එච්චරයි. මිනිස්සු පාර දෙපැත්තේ රැස් කකා ඉන්නවා. ඒක මම දවසක් දැක්කා එහේ ගියපු වෙලාවක. අපේ ඉන්න කාඩ් බෝඩ් රජ වරු යන්නේ පාරවල් වහ ගෙන.

2003/2004 දී අගමැති වෙලා හිටපු රනිලා පෘතුගීසි රජයට කිවුවා 2005 මෙහාට ඇවිත් උන් අපේ රට අල්ල ගෙන අවුරුදු 500ක් වෙච්ච එක සමරන්න කියලා. ඒක මට එදා දැනුනේ පුතෙක් තමන්ගේ අම්මාව කලින් දවසක දූෂනය කරපු එකෙකුට ඇවිත් පාටියක් දාන්න කිවුවා වගේ. මොකද ඌ එන කොට ගේන තෑගි බෝග ගන්න. බොලා මොකද ඒක ගැන හිතන්නේ. මම කැමතියි දැන ගන්න.

ඊ ලඟට අර තක්සින් ශිනවාත්‍රා උපතින්ම කෝටිපතියෙක්ලු. පස්සේ ඇමරිකාවේ ආචාර්ය උපාධියක් අරගෙන තායිලන්ත පොලිසියේ උසස් තැනක ඉඳලා පස්සේ තොරතුරු තාක්ෂණ කොම්පැනියක් පටන් අරගෙන ඒක තායිලන්තයේ ඉහලම එක දක්වා දියුණු කරාලු. ඊට පස්සේ 1995 දී තමන්ම පක්ෂයක් හදාගෙන 2001 දී විශාල ජයක් අරගෙන අගමැති වෙලා තියනවා. 2004 දී ආපු සුනාමියේදී ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නිසා විශාල ජන ප්‍රසාදයක් ඇතිවුනාලු. ස්වර්ණභූමි කියන අලුත් එයාර් පෝර්ට් එක හදලා තියෙන්නෙත් මිනිහාගේ කාලේ. එතකොට උතුරු ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් කැරලි කාරයෝ සම්පූර්ණයෙන්ම නිරායුධ කරලා තියනවා. මම දැක්ක එහේ තියනවා තක්සින් කියලා විසාල පාලමක්. එතන තියනවා තක්සින් බ්‍රිජ් කියලා කෝච්චි ස්ටේෂන් එකකුත්. අධ්‍යාපනයට, සෞඛ්‍යයට විසාල සේවයක් කරලා ජීවන වියදම 40% කින් අඩු කරාලු. ඒත් 2005 දී මිනිහාගේ කාලේ එයා පෝට් එක හදද්දී අක්‍රමිකතා වුනා කියලා චෝදනා ආවත් ඒවායින් නිදහස් වෙලා 2006 දී ආයිමත් චන්දෙකට ගියත් සේරම විරුද්ධ පක්ෂ ඒ චන්දේ වර්ජනය කල නිසා තක්සින් දිනුවත් අධිකරණය ඒ ප්‍රතිපල නිෂ්ප්‍රභා කරලා තියනවා. ඊලඟට තමන්ගේම දේපල විකුණලා ගත්ත ඩොලර් බිලියන දෙකක මුදලට ආදායම් බදු ගෙවුවේ නෑ කියලා නඩු දාපු වෙලාවේ පොර ඉංග්ලන්ඩ් වලට පැනලා තියෙනවා. ඊට පස්සේ නඩු අහලා අවුරුදු දෙකකට හිරේ දැම්මත් මිනිහා හිර බත් කන්න ඇවිත් නෑ. කොහොමද ලංකාවේ ඔහොම දෙයක් වෙයිද. එහෙම දෙයක් කරන්න හැදුවා නම් අග විනිසුරු දවස් තුනෙන් ගෙදර. හොරකම් කරත් යුද්දෙ දින්නනේ කියලා මිනිස්සු පොර කරේ තියා ගෙන ඉඳියි. ඒත් තායිලන්තයේ මිනිස්සු අර මුස්ලිම් කැරලි කාරයෝ මර්ධනය කරා කියලා පොරව කරේ තියා ගත්තේ නෑ.

2011 මෑන්ගේ නංගී වුනු යිංග්ලැක් ශිනවාත්‍රා අගමැති වුනා. 2012 දී එහේ තිබුනු ඒඩ්ස් කොන්ෆරන්ස් එකකදි මම එයාව ලඟටම දැක්කා. ලස්සනේ බෑ ඕයි. කිසිම මේක් අප් එකක් නෑ. එතකොට අවුරුදු 45 ක් උනාට කෙල්ල වගේ. හැම තිස්සෙම ලස්සන හිනාවක් එක්ක. කොහොමද ඒකටත් එක්ක අපේ අම්මන්ඩිලා. එතකම් එංගලන්තයේ හැංගිලා හිටපු අය්යාත් ආපහු ගෙන්න ගත්තා. හැබැයි 2014 වෙන කොට එයාටත් දූෂන චෝදනා වලට නඩු දාන කොට ගෑනිත් ගියා අයියාත් එක්කම එංගලන්තයට. තාමත් එහේ. හිට්ලර්ව ගේන්න බලාගෙන ඉන්න අපේ පොරවල් වලට ඉගෙන ගන්නවා නම් මෙන්න පාඩම්. හොරකම කියන එක පරම්පරාවේ තියනවා නම් කවුරු ආවත් එකයි.

මෙන්න මේ වගේ තායිලන්තයේ මිනිස්සු වැඩ කරන නිසා එහේ දේශපාලකයෝ හොර කම් කරන්නේ නෑ. බැංකු මංකොල්ල කන්නේ නෑ. රට විකුණන්නේ නෑ. විශාල පොලියට ණය ගන්නේ නෑ. අනවශ්‍ය දේවල් කරන්නේ නෑ. මොකද උන් දන්නවා එහෙම කලොත් ජනතාව නිකම් ඉන්නේ නෑ කියලා. මේ නිසා ඒ රටේ මුදල වන තායි බාත් එක ඩොලර් එකට සාපේක්ෂව බහින්නේ නෑ අපේ වගේ. මම මුලින්ම තායිලන්තයට ගියේ 1998දී. ඊලඟට 2002 දී. 2006 දී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වුනාට පස්සේ 2013 දී පෙන්ෂන් යන කොට ගිහිං තියනවා 23 පාරක්. 1998 ඉඳලා 2013 වෙනකම් තායි බාත් එකේ වටිනා කම අඩු වෙලා තිබුනේ ඉතාම සුලු ගනනකින් ඩොලර් එකට අනුව. ඒත් 1998 දී අපේ රුපියල් හැටට තිබුනු ඩොලර් එක මේ වෙන කොට 163 වෙලා තියනවා. ඒකට රනිල්ලාගේ බැංකු හොරකම සෑහෙන හේතුවක් වුනා.ඒ වගේම මම ගියපු අවුරුදු 15 ඇතුලත විතරක් වෙච්ච දියුණුවත් අවුරුදු 2/3 ඇතුලත සිටි එකේ ඉඳන් එයාපෝට් එකට ස්කයි ට්‍රේන් ලයින් එක දානවාත් මම දැක්කා.

තායිලන්තය එක කාලෙක ඒඩ්ස් වලින් බැට කෑවා හොඳටම. 1991 දී විතරක් ඒ රටේ ඒඩ්ස් රොගීන් සහ එච් අයි වී HIV බෝ වෙච්ච අය 30,000 හම්බ උනා. ඒ කාලේ හිටපු අගමැති ඒඩ්ස් මර්ධනය කිරීමේ වගකීම තමන් අතට අරගෙන පටන් ගත්තා 100% කොන්ඩම් ප්‍රොග්‍රම් කියලා එකක්. තායිලන්තය කියන්නේ ලෝකයේ හැම තැනකින්ම ස්න්චාරකයන් එන රටක් වගේම හොඳට ගණිකා වෘත්තීය නැගලාම යන රටක්. ඒක නීතිගත කරලා නැතත් නීති ගත කරා වගේ තමයි. හුඟාක් යුරෝපීයයන් එහේ එනවා ඔය කාරණය නිසා. ඒ නිසා 1991 වෙන කම් තායිලන්තය ඒ රටේ ඒඩ්ස් පැතිරිලා කියන එක ලෝකයෙන් හංගාගෙන හිටියා සංචාරක ව්‍යාපාරය වැටෙයි කියන බයට.ඒත් 1991 වෙන කොට ඒක තවදුරටත් රහසක් හැටියට තියා ගන්න බැරි උන නිසා තමයි අගමැති අර වගේ වැඩක් කලේ. මෙතනදි අර ගණිකාවන්ට පුරුදු කලා ඔවුන් කවුරු එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් ඒ සෑම විටකම කොන්ඩම් එකක් පලඳන්න කියලා තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාවට. කොච්චර සල්ලි දෙන්නම් කිවුවත් කොන්ඩම් නොදා බිස්නස් එකට බහින්න එපා කියලා උපදෙස් දුන්නා. මේකට හැමෝගේම සහාය හම්බ උනා මොකද ඒ වෙන කොට ගණිකාවෝ සෑහෙන ගාණක් මැරිලා තිබුනා ඒඩ්ස් වලින්. අනිත් අය ගොඩකටම බිස්නස් නැතිව ගිහිං තිබුනා. කොහොම හරි 1996 විතර වෙන කොට තායිලන්තයට පුලුවන් උනා අලුතින් එච් අයි වී බෝවන ගාන අඩු කර ගන්න 5000 කට විතර. මේ වෙන කොට ඒක 2000 කට විතර අඩු කර ගෙන තියෙනවා.

ඉතිං ලෝකයේ ඉක්මනින්ම ඒඩ්ස් බෝ පැතිරීම අඩු කර ගත්ත රටක් තමයි තායිලන්තය. මේ හේතුව නිසා ඒඩ්ස් මර්ධනය ගැන නොයෙකුත් පුහුණු කිරීම් වැඩ සටහන් තියනවා ඒ රටේ. ඒ වගේම ඒ ගොල්ල අපි වගේ කලාපයේ අනිත් රටවල් වලටත් ආධාර කරනවා ඒ පිලිබඳව. අන්න ඒ විධියට තමයි මම ඔය අවුරුදු 7 කට 23 පාරක් එහාට ගියේ. එහෙම නැතුව ආතල් ගන්න ගියා නෙවෙයි. ගිහිං ඒ දේවල් මෙහේත් පටන් ගත්තා. 100% කොන්ඩම් වැඩ සටහනත් අපි මෙහේ හරි අමාරුවෙන් සාර්ථක කර ගත්තා. අපේ රට ඒඩ්ස් වලින් බැට කෑවේ නැති නිසා කවුරුවත් වැඩිය උදවු කලේ නෑ මේ වැඩ වලට. ඒත් අපි කොහොම හරි කරලා ඒ වැඩ කර ගත්තා. ඒ කාලේ කොලඹ හිටපු වෘත්තීය ලිංගික ශ්‍රමිකයින්ගෙන් commercial sex workers 75%ක් විතරම මම හඳුනනවා. දැන් උනත් සමහර වෙලාවට මට පාරෙදී හම්බ වෙනවා. ඒ ගොල්ලා වෙනුවෙන් කරපු දේවල් මගේ ඒ කාලේට එන කොට කියන්නම්.

අද නම් මුල ඉඳලා අග වෙන කල්ම පිට. අතරින් පතර ඇතුලට ගියාට ඒක මදි වගේ දැනෙනවා. ඒක හරි ගස්සන්න දැන් වෙලාව මදි. අද මම පයින් යන දවස. ඒ හින්දා දැන් මම යනවා. හෙට ඇතුලේම ඉන්න බලන්නම්.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී