Dream

ඊයේ මම ටිකක් වේලපහින් ගෙදර යන්න කියලා හිටියත් ඔෆිස් එකෙන් එලියට බහින කොට 5 ත් පහුවෙලා. මම ගිය සුමානේ ගමේ ගිහිල්ලා එනකොට ගෙනාපු වේලිච්ච බෙලිමල් වලින් මමම හදා ගත්ත ඩ්‍රින්ක් එකකුත් ගහපු නිසා වෙනදාට වඩා ගතියක් ඇඟට ආවා. ඒ නිසා මම එලියට බැස්සේ අර එක දවසක් කලා වගේ ප්‍රයිවට් බස් වල කොන්දලාගෙන් ආතල් එකක් ගන්න ඕන කියලා හිතා ගෙන. ඒත් ඩුප්ලිකේශන් පාරෙන් ඇවිත් බුලර්ස් පාරට ආවා විතරයි මට වඩා ටිකක් වයසයි කියන්න පුලුවන් පොරක් පනාව දාගෙන ඇවිත් මගෙන් ඇහුවා "ඔයා නිතරම පාරේ ඇවිදිනවා මම දැකලා තියනවා" කියලා. මම කිවුවා ඔවු මම දවසක් ඇර දවසක් කිමී හතහමාරක් ඇවිදගෙන කෝට්ටෙට යනවා කියලා. මම හිතුවා ඒක අහලා ඌ පුදුම වෙයි කියලා. මොකද මගේ ලඟට එන අවුරුදු 30/35 ඈයෝත් ඇස් උඩ තියා ගන්නවා මම එහෙම කිවුවාම. ඒත් අරූ ඒක ගානකට ගන්නේ නැතුව වම් අතේ පොඩි ඇඟිල්ල දකුණු නාස් පුඩුවට දාලා ඇහැකුත් වහගෙන රවුමට කරකව කව පොඩි ආතල් එකක් ගත්තා. පස්සේ ඇඟිල්ල එලියට අරගෙන බලලා කලිසමේ පිටි පස්සේ අතුල්ලන ගමන් "ආ කෝට්ටේ, මම හැමදාම කඩුවෙලට පයින් යන්නේ ඒ හරහා තමයි" කිවුවාම මගේ ඇස් උඩ ගියා බං. ඒ කියන්නේ මම යනවා වගේ දෙගුණයක් හැමදාම. මට එවෙලේ මතක් උනා නෙදර්ලන්තයේ ඉන්න මගේ බැචෙක් නිතරම මැරතන් වලට යන.
කොහොම හරි අපි කතා කර කර බුලර්ස් පාර දිගේ ඇවිද්දා. ඇත්තම කියනවා නම් අරූ ඇවිද්දා මම දිවුවා. ඌ යන ස්පීඩ් එකට මට ඇවිදින්න බැරි උනා. කොහොම හරි ආකේඩ් එක හරියට එන කොට මට හිතුනා මූ සාමාන්‍ය පොරක් වෙන්න නම් බෑ කියලා. මෑන් එක තැනකදි කිවුවා මේ පාරවල් වල යන උන් කරන වැරදි දැක්කාම තරහා නොගන ඉන්නේ හරි අමාරුවෙන් කියලා. මම කිවුවා මටත් එහෙමයි. මම ඉස්සර එහෙම උන්ගෙන් ගේම ඉල්ලුවත් දැන් එහෙම කරන්නේ නෑ මොකද මට ගේමක් සෙට් වෙයි කියන බයට, ඒ නිසා තරහා ගියාත් ගනං ගන්නේ නැතුව යනවා කියලා. මිනිහා කිවුවා "අනේ ඒක කොච්චර වාසනාවක්ද, මටත් එහෙම ඉන්න තියනවා නම්" කියලා. ඒත් මට මූ කියපු එකේ අපබ්‍රංසයක් වත් තේරුනේ නෑ. නාහින් කටින් හති දම දමා හිටපු මට කතා කර ගන්නත් අමාරු නිසා මම වෙන මොනවත් අහන්න ගියේ නෑ. මට ටිකක් නැවතිලා ඉඳලා එන්න හිතුනත් මොකක්දෝ අමුතු ශක්තියක් වගේ එකක් හිතට ඇවිත් තිබුනා. මගේ පපුවේ ගැස්ම හොඳටම වැඩි වෙන කොට මට මතක් වුනා ඒ කාලේ අපට ස්පෝට්ස් මෙඩිසින් උගන්නපු බ්‍රිගේඩියර් තුරේරාජා මහත්තයා. එයා තමයි ඒ කාලේ ආමි එකේ ස්පෝට්ස් බාරව හිටියේ.
එයා අපට කියලා දුන්න හුඟාක් අය ව්‍යායාම කරනවා කියලා කරන්නේ අමු බොරුවක්. උන් කරන ඒවායින් කිසිම වැඩක් වෙන්නේ නෑ කියලා. එයා කියනවා හරියට හෘද වස්තුව නිරෝගීව තියා ගන්න නම් කරන්න ඕන ඒරෝබික්ස් Aerobics ව්‍යායාම කියලා. එහෙම නැතුව අර ආනල්ඩ් ශ්වාසිනගර් වගේ බොඩිය හදන්න ඇනේරෝබික්ස් Anaerobic විතරක් කෙරුවොත් ටික කලක් යන කොට පපුවේ අමාරු හැදෙනවා කියලා මම එතකොට දැන ගෙන හිටියේ නෑ ආනල්ඩ් කියන්නේ කවුද කියලා. 1983 දී තමයි මම මෑන්ව දැක්කේ අර ටර්මිනේටර් කියන පිචර් එකේ. ඊට ගොඩක් කාලෙකට පස්සේ මට ආරංචි උනා ආනල්ඩ්ට පපුවේ බයි පාස් ඔපරේෂන් දෙකක් කලා කියලා. මට එතකොට මතක් වුනා 1982 දී බ්‍රිගේඩියර් තුරේරාජා කියපු එක.
එයා ඒ කාලේ කියලා දුන්නා ඒරෝබික්ස් සහ ඇනේරෝබික්ස් කියලා ව්‍යායාම දෙකක් තියෙනවා කියලා. ඒරෝබික්ස් කියන්නේ මුලු ඇඟටම කරන හොඳට හති වැටෙන ඒවා. අනිත් එක ඇඟේ එක කොටසකට විතරක් කරන බොඩි බිල්ඩිං වගේ ඒවා. මේකෙදි හති වැටීමක් වෙන්නේ නෑ අර කරන බොඩි පාට් එක මහන්සි වෙන එක විතරයි. ඒ වගේම නාඩි වැටෙන එක එච්චර වැඩි වෙන්නෙත් නෑ. ඒ නිසා එයා අපට කිවුවේ හාට් එක නිරෝගීව තියා ගන්න නම් ඒරෝබික්ස් විතරක් කරන්න කියලා. ඒ වගේම සතියකට 3-5 වතාවක් කරන්න කියලා. අන්න ඒක මතක තියන නිසා තමයි මම දවසක් ඇර දවසක් කරන්නේ.
ඒරෝබික්ස් වලදී කරන්නේ හෘද ස්පන්දනය එක මට්ටමක අඩුම තරමේ විනාඩි 15ක් පවත්වා ගෙන යන එකයි. බ්‍රෑන්ඩ් නිව් මිනිස් හදවතකට ගැහෙන්න පුලුවන් උපරිම වේගය තමයි විනාඩියකට 220 වතාවක්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු ළමයෙකුගේ හෘදයට විනාඩියකට ගැහෙන්න පුලුවන් 220 වතාවයි. මේකට කියනවා උපරිම හෘද ස්පන්දනය Maximum Heart Rate (MHR) කියලා. වයස යන්න යන්න මේක අඩු වෙනවා. යම් වයසකදී උපරිම වේගය තමයි 220න් වයස අවුරුදු ගණන අඩු කරන එක. එතකොට වයස 60 කෙනෙකුගේ 220-60 = 160. මේකෙන් 90% ගත්තාම ඒකට කියනවා ඉලක්ක ස්පන්දන වේගය Target Heart Rate (THR) කියලා. ඉතින් අපට කරන්න තියෙන්නේ විනාඩි 15ක් ඉලක්ක වේගයේ හෘද ස්පන්දනය තියා ගන්න එකයි.
තව එකක් තියනවා විවේකී හෘද ස්පන්දන වේගය Resting Heart Rate කියලා මේක බලන්නේ නින්දෙන් පස්සේ උදේ ඇඳෙන් නැගිටින්න කලින්. තමන්ටම බලා ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේක 70 ක් විතර. හෘදය ෆිට් නැති අයගේ මේක මීට වඩා වැඩියි. ඔය බස් හෝල්ට් එකක් තරම් දුර වත් පයින් යන්න කම්මැලි උන්ගේ 90/100 වෙන්නත් පුලුවන්. ඒ වගේම හොඳ මලල ක්‍රීඩකයෙකුගේ 55 ක් විතර වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ කම්මැලියකුගේ 90 පාරක් ගැහිලා කරන දේම ෆිට් එකෙකුගේ 55 කින් කරන්න පුලුවන්. බොලාට තේරෙනවාද වෙනස. එතකොට හෘදයක කාර්‍ය්ක්ෂම තාවය මේ විදියට මනින්න පුලුවන් ගෙදරදීම. ඉතින් අර කලින් කිවුවා වගේ කම්මැලියෙක් ගෙදරට වෙලා මල් ඇද ඇද ඉන්නේ නැතුව ගට දාලා දුවන්න හරි, බයිසිකල් පදින්න හරි, ට්‍රෙඩ් මිල් එකේ යන්න හරි පටන් ගත්තාම පොරට දැනෙනවා කාලයක් යන කොට ටික ටික අර විවේකී ස්පන්දන වේගය අඩු වෙනවා.
තව ඉතාම වැදගත් දෙයක් තමයි අර කියපු මොන ක්‍රමයෙන් හරි හෘදය වැඩ කරවන කොට වේගය වැඩි කරන්න ඕන හෙමින්. එක පාරටම හයියෙන් දුවන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් විනාඩි 5 කදී විතර ටික ටික දුවන වේගය වැඩි කරනවා. අවුරුදු 60 ක කම්මැලියකුගේ 90 ක් වෙච්ච රේට් එක විනාඩි 5 කින් 144 ට නැග්ගුවාට ඒ වයසේම ෆිට් පොරකගේ 55 රේට් එක 144 ට නග්ගන්න ඊට වඩා ගොඩක් වෙලා යනවා. වෙන වචන වලින් කියනවා නම් කම්මැලියා මීටර් 500 ක් දුවන කොට අනිකා මී 5000 ක් දුවලා.
ඉතින් ඔන්න ඕකයි අද මට උනෙත්. මම පොර කියලා හිතාගෙන කොන්දන්ව කිච කරාට මට තේරුනා අරූ නියම පොරක් කියලා. ශුවර් එකටම උගේ Resting Heart Rate එක 55 ක් විතර ඇති. නැත්නම් අරහෙම ගානක් නැතුව යන්න බෑ. මම හිතා ගත්තා කොහොම හරි 2020 වෙන කොට වත් ඒ ගානට එන්න ඕන කියලා. එතකොට වැරදිලා වත් චන්දෙන් පස්සේ හිට්ලර්ගේ මිනිස්සු පස්සෙන් එලවන් ආවොත් බේරෙන්න පුලුවන්නේ.
ඉතින් ඔහොම හති දාගෙන එන කොට මේට්ලන්ඩ් ප්ලේස් එකට යන පාර ලඟ නවතින්න උනා කලර් ලයිට් එකට. කලර් ලයිට් කොල පාට වෙලා බුලර්ස් රෝඩ් එකේ වාහන යන්න පටන් ගත්තාම පේමන්ට් එකේ ආපු අපිත් අර පාර පනින්න යන කොට රතු පාට වැටිලා තියෙද්දිත් ඇරගෙන ආපු බෙන්ස් එකක් කීස් ගාලා නැවැත්තුවා. තනිකර වරද උගේ. මට මල පැන්නත් ඊට වඩා හති නිසා නිකම් හිටියා. ඒත් අර පොර ගානක් නැතුව බෙන්ස් එක ඉස්සරහින් පාර හරහා යන කොට කාර් එකේ ආපු එකා දොර ඇරගෙන එලියට ඇවිත් අරූට බනින්න පටන් ගත්තා. කාර් එකේ ලයිට් එකෙන් මම දැක්කා ඇතුලේ නියම කෑල්ලක් ඉන්නවා. අර කාර් එකේ ආපු එකා කෑ ගහන්න ගත්තා ඔහොමද ගොනෝ පාර පණින්නේ කියලා. මම බැලුවා මම තාම පේමන්ට් එකේ ඉඳිද්දී මූ මොකද මට බනින්නේ කියලා. බලන කොට අරූට බැනලා තියෙන්නේ. (පොඩි කාලේ තාත්තා ඉංග්‍රීසි උගන්නන්න ගත්තාම මට බනින්නේ ගොනා කියලා. ගොනා විතරක් නෙවෙයි ගොන් බූරුවා කියලත් බණිනවා.ඒකෙන් තමයි මට ඉංග්‍රීසි එපා වෙලා පස්සේ මාර කට්ටක් කෑවේ මෙඩිකල් කොලේජ් එකේදී. ඉතින් අර ඒ පුරුද්දටයි මට හිතුනේ අරූ බැන්නේ මට කියලා). ඊට පස්සේ තමයි එතන නියම වැඩ සිද්ද උනේ.

බෙන්ස් එකේ ආපු එකා අවුරුදු 35 ක් විතර බඩ මහත ජොල් ඇඟක් තියන එකෙක්. මූ අපේ මෑන්ට කොච්චර නරක විදියට බැන්නත් පොර නෑහුනා වගේ හිටියා. මට තේරුනා බෙන්ස් කාරයා අර ඇතුලේ ඉන්න බඩ්ඩට තමන් වැඩ කාරයා කියලා පෙන්නන්නයි මේක කරන්නේ කියලා. අපේ එකා සද්ද නැතුව ඉන්න නිසා මෑන් පොර ලඟටම ගිහිල්ලා ගේම ඉල්ලනවා. ඔය අස්සේ බුලර්ස් පාරේ එවුන්ට රතු ලයිට් එක වැටිලා මලලසේකර පාරට කොල වැටිලා. ඒත් බෙන්ස් එක පාරේ නවත්තගෙන ඉන්න නිසා පස්සේ ඉන්න වාහන කාරයින්ට මල පැනලා හෝන් ගහනවා ලොවෙත් නැති වෙන්න. එතකොට එතන හිටපු ට්රැෆික් පොලිස් රාලහාමිලා දෙන්නාගෙන් එකෙක් එතෙන්ට ඇවිල්ලා බෙන්ස් පොරට කිවුවාම "මහත්තයා ඇයි මේ පාර බ්ලොක් කරගෙන ගන්නකො අර වාහනේ අයිනට" කියලා පොර කියනවා "අර ගොන් මිනිහා එක පාරටම පැන්නා තව පොඩ්ඩෙන් හැප්පෙනවා එහෙම උනා නම් තමුසෙලා මාවයි වැරදි කාරයා කරන්නේ" කියලා. එතකොට මම කිවුවා නෑ නෑ රාලහාමි එයා මාත් එක්කයි ආවේ මලලසේකර පාරේ රතු ලයිට් වැටුනාමයි එයා ක්රොස් කරේ, මෙයා තමයි හයියෙන් ඇවිත් කහ ඉරි උඩ නවත්තගෙන එයාට නරක විදියට බැන්නේ කියලා. ඒ පාර ට්රැෆික් එතෙන්ට ගිහින් බලලා "ඔවු ඔවු මහත්තයා තමයි වැරැද්ද කරලා තියෙන්නේ ඉස්සරහ කහ ලයිට් වැටෙන කොට කහ ඉරි වලට පස්සෙන් වාහනේ නවත්ත ගන්න ඕන. ඔයා නවත්තගෙන තියෙන්නේ කහ ඉරි උඩ දන්නේ නැද්ද මොනම වෙලාවකවත් කහ ඉරි උඩ වාහන නවත්තගෙන ඉන්න බැරි විත්තිය. කෝ ගන්න ඔයාගේ ලයිසන් එක" කියලා ඉල්ලුවා. ඒ පාර බෙන්ස් කාරයා "තමුසේ දන්නවාද මම කවුද කියලා මට ඔයා කියන්න" කියලා පොලිස් කාරයාගෙන් ගේම ඉල්ලන්න පටන් ගත්තා. මහත්තයා කවුරු උනත් කමක් නෑ දෙන්නකෝ ලයිසන් එක කියලා පොලිස් මෑන් කිවුවාම පොර කිවුවා "මම තමයි මිනිහෝ ........ඇමති තුමාගේ පුතා.........අමාත්යාංශයේ පුද්ගලික ලේකම් කියලා. එතකොට පොලිස් කාරයා ටිකක් බය උනා වගේ මම දැක්කා.
මේ වෙන කොට මාත් එක්ක ආපු කඩුවෙල පොරත් එතෙන්ට ආවා. මම කිවුවා රාලහාමි බය නැතුව රාජකාරිය කරන්න. අර තෙබුවන සාජන් වගේ. හරියට රාජකාරිය කරන්න ගිහින් පලි ගත්තොත් මේ රටේ විතරක් නෙවෙයි පිට රට වල ඉන්න අයත් ඉන්නවා ඒ ගොල්ලන්ට සපෝට් එකට. මතකයිනේ තෙබුවන සාජන්ට උදවු කෙරුවා. ජනාධිපති තුමාත් උදවු කරලා අන්තිමට හිටපු තැනම රස්සාවත් ලැබුනේ, ඒ නිසා බය නැතිව රාජකාරිය කරන්න. හැමෝම එකා වගේ එහෙම කරනවා නම් මෙයාගේ ඇමතිලාට මොනවත් කරන්න බෑ, අනික මෙයා වගේ පාර මැද පට්ටන්තරේ දිග ඇරියේ නැති උනාට අපිටත් පුලුවන් උදවු කරන්න කියලා. එහෙම කිවුවා විතරයි ඇමති පුතා ආවා මාත් එක්ක ගේමට. ඒත් ඒ වෙන කොට එතනට ඇවිත් හිටපු කඩුවෙල පොර මෑන්ට කිවුවා " ඔහේ තමයි මුලින්ම වැරැද්ද කලේ. ඒක පිලිගන්න. අනික ඔහේ මට කොච්චර බැන්නත් මම ගනන් ගත්තේ නැත්තේ මගේ අතේ වැරැද්දක් නැති නිසා. අනික මගේ පස්සේ බල්ලෙක් බුරා ගෙන ආවාට මම කලබල වෙන්නේ නෑ හපන්න ආවොත් මිසක්" කියලා. මේ වෙද්දී මේට්ලන්ඩ් ප්ලේස් එකෙන් එලියට එන පාර ෆුල් බ්ලොක් වෙලා නිසා අනිත් පොලිස් කාරයාත් ඇවිත් එක්කෙනෙක් ගියා බෙන්ස් එක ලඟට "මම කාර් එක අරගෙන පොලිසියට යනවා" කියලා.
එතකොට මෙච්චර වෙලා කාර් එක ඇතුලේ හිටපු බඩ්ඩ එලියට බැස්සා. මම ඉස්සෙල්ලාම දැක්කේ අමු හෙලුවැලි කකුලක් එලියට එනවා. පස්සේ සම්පූර්ණයෙන් එලියට ආවාම තමයි දැක්කේ බඩ්ඩ වලලු කර ලඟටම දිග ඇඳුමක් ඇඳලා හිටියත් ඒක දෙපැත්තෙන් පලලා තිබුනා ඉනෙන් අඩියක් විතර පහල ඉඳන්. හරියට දෙපැත්තෙන්ම ඉරිච්චි සරමක් ඇඳන් ඉන්නවා වගේ. නිකම් හිට ගෙන ඉන්න කොට ඇඟ වැහිලා හරිම සීලාචාර පෙනුමයි. ඒත් ඇවිදින්න ගත්තාම ෆුල් චාටර්. මෙයා දැක්කාම පොලිස් කාරයා ටිකක් පස්සට ගියා. බඩ්ඩ කෙලින්ම ඇමති පුතා කියන එකා ලඟට ගිහිං "ඩාලිං වයි ඩූ යූ ගෙට් ඉන්වෝල්ඩ් විත් දිස් තර්ඩ් ක්ලාස් පීපල්. ඩිඩ්න්ට් යූ සී දේ ඩෝන්ට් නෝ හව් ටු ටෝක් ඉන් අ ඩීසන්ට් වේ. කමෝන් බේබි අයෑම් ගෙටිං ලේට් ෆෝ මයි සුම්බා. ලෙට් ඩැඩී ටු ලුක් ආෆ්ටර් දීස් පීසන්ට්ස්. ප්ලීස් ටේක් මී ටු සුම්බා" කියලා. ඒක අහලා මම කිවුවා "නෝනා සුම්බා නෙවෙයි තව ටිකක් වෙලා මෙතන පාර බ්ලොක් කරන් හිටියොත් අර මිනිස්සු මෙයාගේ හොම්බ සමතලා කරයි. ඒ නිසා දැම්මම සුම්බා යන එක හොම්බට" ගුණයි කියලා.
බොලා දන්නවානේ සුම්බා කියන්නේ අර ගමේ ගෑනුන්ට ගෙදර දොර වැඩ කරන කොට නිකම්ම ශරීරයට ලැබෙන ව්යායාම මේ කොලඹ ඉන්න අර දෙපැත්තෙන් ඉරිච්ච රෙදි ඇඳන් ඉන්න ගෑනු කට්ටිය එකතුවෙලා සිංදුවක් දාගෙන මොඩ් විදියට කරන එකයි. හුඟාක් කට්ටිය එතනත් වැඩියම කරන්නේ කයිවාරු. පූච්චං ගහන එකයි. එකෙක් කියන කොට "ඔයා දන්නවද මම මොකද කියලා සුම්බා කරන්නේ. අපේ හබීගෙ ඔෆිස් එකට අලුතෙන් අරං තියනවා හරිම යංග් සෙක්රටරි කෙනෙක් මෙයා. ඔයා දන්නේ නෑ අනේ එයාට මාර ෆිගර් එකක් තියෙන්නේ. එයා දකින කොට මට හරිම ජෙලස්, අනික මට බයයි හබී ගැනත්, කියන්න බෑ නේ මෙයා. ඉතිං මමත් හිතුවා කොහොම හරි ට්රයි කරලා ෆිගර් එක හදා ගන්න ඕන කියලා" අනිකා කියනවා "අනේ මෙයා සුම්බා විතරක් කරලා හරි යන්නේ නෑ. ඔයා ඕක කරලා ගෙදර ගිහිං හොඳට බතුයි, පානුයි, පීසායි, කොත්තුයි, අරකයි මේකයි සේරම කනවා ඒකෙන් වැඩක් නෑ. ඇඟට ගන්න කාබොහයිඩ්රේට් ප්රමාණය පුලුවන් තරම් අඩු කරන්න ඕන. අපි ගන්න කාබොහයිඩ්රේට් වලින් වැඩිපුර හරිය තමයි ඔය තෙල් හැටියට තැන්පත් වෙලා ඔයා ඔය අවුට් ඔෆ් ෆිගර් යන්නේ" කියලා. තව එකෙක් කියනවා " ඔවු ඔවු කාබොහයිඩ්රේට් අඩු කරලා අර කීටොජෙනික් ketogenic diet ඩයට් එකට පුරුදු වෙන්න. එතකොට බලන් ඉද්දි තෙල් අඩු වෙනවා කියලා. ගූග්ල් කරලා බැලුවාම තමන්ට හරි යන කීටොජෙනික් ආහාර මෙනූ එකක් හොයා ගන්න පුලුවන් කියලා.
මේ කියන කොට මට මතක් වුනා මීට මීට අවුරුදු 40 කට විතර ඉස්සර ඒ කාලේ ලංකාවේ හිටපු හොඳම ශල්‍ය වෛද්ය වරයෙක් වුනු ඇන්තනීස් මහත්තයා ලෙඩෙක් ඔපරේෂන් කරන ගමන් කියපු කතාවක්. ඒ කාලේ එතුමා ඔපරේෂන් කරන කොට අන්තිම අවුරුදු දෙකේ ඉන්න මෙඩ්ඩෙක් එක්ක යනවා උදවුවට. එහෙම ගියාම දවසකට රු 250 ක් දෙනවා. ප්ලේන්ටිය සත පහට, මුලු මාසේම හොස්ටල් බිල රු 85 ක් වෙච්ච, පෙට්රල් ගැලුමක් රු. 5ක් වෙච්ච ඒ කාලේ 250 ක් කියන්නේ හෙන ගානක්.
ඔය විදියට දවසක් මටත් චාන්ස් එක ලැබිලා ගියා මරදානේ සුලේමාන් කියලා තිබුනු හොස්පිටල් එකට. එතන ඔපරේෂන් කරපු ගෑනු කෙනාගේ බඩේ තෙල් තිබුනේ නෑ අඟක් කාලක් වත්. ඒක දැකලා නර්ස් බඩ්ඩක් කිවුවා "බලන්නකෝ සර් මෙයාගේ තෙල් පොඩ්ඩක් වත් නෑ නේ ඇඟ හරිම ලස්සනයි "කියලා. එතකොට ඇන්තෝ කිවුවා "ඕක තමයි ඔය කුරුඳුවත්තේ ඉන්න මහත්තුරු රෑට හොරාම වැඩ කරන ගෑනිගේ කාමරයට රිංගන කොට නෝනා හිතනවා මේ ගෑනි රෙද්ද හැට්ටෙ අඳින නිසා තමයි මෙහෙම කරන්නේ කියලා ගෑනිත් පටන් ගන්නවා රෙද්දයි හැට්ටෙයි අඳින්න. ඒත් හේතුව ඒක නෙවෙයි වැඩ කරන ගෑනිගේ මස හොඳයි" කියලා. ඔය කාලේ තමයි මේ රටේ ගෑනු අය අර ලුංජිය අඳින්න පටන් ගත්තේ. ඒකට කිචේටයි ඇන්තෝ අරහෙම කිවුවේ. එයා ඔපරේෂන් කරන කොට නිතරම ඔය වගේ විහිලු කතා කියන නිසා කවුරුත් කැමතියි එයා එක්ක වැඩ කරන්න. අවුරුදු සීයක් ඉඳලා මීට අවුරුදු අටකට විතර ඉස්සර යන්න ගියා.
පල්ලෙහායින් පොඩි සුම්බා කෑලි දෙකක් දානවා. කොහොමද අපේ ජනාධිපති තුමාගේ සුම්බා එක. මම කියපු හැම ජාතියේම උන් ඒකේ ඉන්නවා. ඒත් උන් කරන්නේ සුම්බා නෙවෙයි කම්බා.

මම කිවුවාම සුම්බා ගියොත් මෙයාගේ හොම්බ බේර ගන්න පුලුවන් කියලා ඇමති පුතා හිටපන් පෙන්නන්න කාගේ හොම්බද සමතලා වෙන්නේ කියලා කියලා පැන ගෙන ආපු විදියට මට හිතුනා මට ආයිත් ෆේස් බුක් යන්න වෙන්නේ ෆේස්ලස් වෙලා තමයි කියලා.
ඒත් කඩුවෙල මෑන් මැදට පැනලා "නෑ නෑ ප්රශ්නේ ඇති වුනේ මාත් එක්ක නේ ඒක නිසා අපි මේක බේරගමු" කියලා කිවුවාම ඇමති පුතා පස්සට ගියා. මම කලිනුත් කිවුවානේ මමත් ඔය කඩුවෙල මෑන්ගේ මහ අමුත්තක් දැක්කා කියලා මුලින්ම හම්බ වෙච්ච වෙලාවේ. මෑන් කිවුවා ඔය ගොල්ලා මේ කෝටි ගනන් වල කාර් වල ගියාට මතක තියා ගන්න මේ රටේ වැඩි දෙනෙකුට අඩු තරමින් මෝටර් සයිකල් එකක් වත් නෑ, ඒ නිසා ඒ මිනිස්සු බස් වල යන එන කොට පාරේ පයින් යන්නත් වෙනවා. සමහරු පයින්ම යනවා. ඒ නිසා ඒ ගොල්ලා ගැනත් හිතන්න, ඒ අයට පාරේ යන්න තියන අයිතියට ගරු කරන්න කියලා. මිනිස්සු කහ ඉරේ පාර පනින්න කොච්චර බලා ගෙන හිටියත් එකෙක් වාහනය නවත්තලා උන්ට යන්න දෙන්නේ නෑ. බොහොම හදිසියෙන් කෙනෙක් වාහනය නවත්තලා උන්ට යන්න දුන්නොත් පිටි පස්සෙන් එන ඔහේලා වගේ උන් හෝන් ගහනවා අර වාහනේ නවත්තපු කෙනාට. තේරුම් ගන්නවා ඒ මිනිස්සුත් පාර පනින්න බලා ගෙන ඉන්නේ ඉක්මනින් තමන්ගේ ගමන යන්න බව. පාරේ යන මිනිස්සුන්ගේ ඇඟවල් සීයට සීයක් විවෘතයි නිසා ඒ ගොල්ලන්ගේ ඇඟේ කොතනක මොකක් හරි වාහනයක් වැදුනොත් තුවාල වෙනවා. නරක තැනක වැදුනොත් මැරෙනවා. මතක තියා ගන්න ඒ හැමෝගෙන්ම වගේ යැපෙන කට්ටියක් ඒ ගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නවා. අරහෙම උනොත් ඒ අයට මොනවාද වෙන්නේ. වාහන වල යන ඔහේලා 100% ආරක්ෂිතයි. ඔහේට තුවාලයක් වෙන්න එක්කෝ ලොරියක, බස් එකක නැත්තම් කෝච්චියක හැප්පෙන්න ඕන. ඒ නිසා ඔය ගොල්ලා පාරේ යන දුප්පත් අය ගැන කිසිම තැකීමක් නෑ".
"ඔහේගේ තාත්තා ඇමති කිවුවා නේද. එයාට ඇමති වෙන්න චන්දේ දීපු වැඩි දෙනෙක් වාහන නැති දුප්පත් අය ඒ වගේම ඔහේලා ඔය කෝටි ගනන් දීලා වාහන ගන්නේත් ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්. දන්නේ නැත්තම් ඔහේගේ තාත්තාගෙන් අහ ගන්නවා " කියලා සැරෙන් කිවුවා. මේ වෙන කොට මට පෙනුනා කඩුවෙල මෑන්ගේ මූණේ සෑහෙන වෙනසක් වෙලා තියනවා. අර පහු ගිය දොහේ අගමැති කමින් අයින් වෙන්න වෙච්ච වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණේත් අන්න ඒ වගේ වෙනසක් මම දැක්කා. නිකං එපා වෙච්ච ලුක් එකක්.
ඇමතියාගේ පුතා කියනවා "මේවා කාගේවත් සල්ලි වලින් ගත්ත ඒවා නෙවෙයි ඕයි. මේවා අපි හම්බ කරලා ගත්ත ඒවා. එහෙම අනුන්ගෙන් හොරකම් කරලා ගන්න පුලුවන් නම් තමුසෙලත් ගන්නවාකෝ වාහන අපට කරදර නොදී. ඊලඟ දවසේ ඉරේ නවත්තන්නේ නෑ. යට කරගෙන යනවා. අද නවත්තපු එක නිසානේ තමුසෙලා වගේ හිඟන්නු එක්ක කතා කරන්න උනේ" කියලා කියන කොට අර දෙපැත්තෙන් හෙලුවෙන් හිටපු බඩ්ඩ අර පොරගේ අතින් ඇද ඇද කිවුවා "බබී අයි ටෝල්ඩ් යූ අයෑම් ඕල් රෙඩි ලේට් ෆොර් මයි සුම්බා. හියර් ආෆ්ටර් අයි විල් නෙවර් කම් විත් යූ. අයි විල් ගෝ විත් හේමාල්, හී ඉස් අ වෙරි ෆිට් ගයි නොට් ඩල් ලයික් යූ" කියනකොට පොර කිවුවා "මෙයාට පරක්කු වෙනවා නැත්නම් මම දනී තොපිට කරන දේ ඒත් හිතන්න එපා බේරුනා කියලා" කියන කොට කඩුවෙල මෑන් අරූගේ අතින් අල්ලගෙන "පොඩ්ඩක් නැවතියන් මම තාම ඉවරකලේ නෑ" කිවුවා. ඒ වෙලාවේ පොරගේ මූණ දිහා බලන්න බැරි තරම්.කේන්තියෙන් පුපුරනවා. මට මතක් උනේ මහින්ද අර දවසක් උජිතයාට "මහ ගොනෙක්නේ මූ. අන්න අරහෙ පැත්තකට වෙලා ඉන්නවා "කියනකොට මහින්දට තිබිච්චි මූණ.
කඩුවෙල මෑන් ඇමති පුතාගේ අත මිරිකලා අල්ලගෙන කිවුවා "තමුසෙලා වගේ උන්ව කටින් කියලා හදන්න බෑ. පයින් යන මිනිස්සු විඳින දුක කිවුවාට තමුසෙලාට තේරෙන්නේ නෑ. තේරුම් ගන්න උවමනාවකුත් නෑ. ඒ නිසා පයින් ගිහින්ම ඒක තේරුම් ගන්නවා. තමුසේට අද ඉඳන් කවදාවත් මොනම වාහනයක වත් අඩුම තරමේ බයිසිකලයකවත් යෑම තහනම්" කියලා අත අත ඇරලා තල්ලු කරලා දැම්මා. පොර වීසි වෙලා ගිහින් එතන තිබුනු තාප්පයට හේත්තු වුනා. "හා හා ගහන්න එපා" කියාගෙන පොලිස් කාරයෝ දෙන්නා එන කොට මෑන් කිවුවා නෑ මෙයයි අපට ගහන්න ආවේ අපි ඒක නැවැත්තුවා විතරයි කියලා. ඒපාර ඇමති පුතා අර බඩ්ඩගේ අතින් අල්ලගෙන "අපි යමු. ඔයා කිවුවා හරි. මුන් එක්ක කතා නොකර ඩැඩීගේ සිකියුරිටි එකට කෝල් කරන්නයි තිබුනේ" කියලා.
ඒ වෙලාවේ තමයි මට තේරුනේ ඉස්සර මම මෙඩ්ඩා කාලෙදි වගේ මූටත් කඩ්ඩ හොරයි කියලා. ඒ උනත් ඌට ගට තිබුනා කඩු කෙල්ලක් සෙට් කර ගන්න. මට වුනේ ඕකේ අනිත් පැත්තනේ. මට අවුරුදු හතරක් ගියා පොඩ්ඩක් කඩ්ඩ පොලිෂ් කරගෙන විසාකා එකෙන් ආපු බඩ්ඩක් සෙට් කර ගන්න. හැබැයි ඒ කාලේ හිටියා නම් ඔය වගේ කඩ්ඩ විතරක් දන්න දෙපැත්ත හෙලුවැලි බඩු මෙඩ්ඩා බව පෙන්නලා එකක් සෙට් කර ගන්නත් තිබුනා. මගේ හොඳටද නරකටද දන්නේ නෑ ඒ කාලේ එහෙම ඒවා තිබුනේ නෑ බං..

"තමුසෙ කවුද ඕයි මට තහනම් නියෝග දාන්න මගේ තාත්තටවත් බැරි කොට. තමුසේ හිතන්න එපා තමුසේ අද බේරුනා කියලා තමුසෙලාගේ ෆොටෝ මගේ ෆෝන් එකේ තියනවා. තමුසේට වෙන එක තමුසේගෙ ඔලුවෙ ඉන්න උකුණන්ටවත් දැන ගන්න වෙන්නේ නෑ, තමුසේ එහෙනම් නවත්තයි මම වාහන වල යන එක" කියලා පාර පැනලා හිහින් කාර් එකේ දොර ඇරියා විතරයි ආපහු පස්සට වීසි උනා. බඩ්ඩ අනිත් පැත්තෙන් නගින්න හදන කොට මෑන් "කාර් එකේ වයර් ශෝට් එකක් වෙලා රත් වෙලා ඇතුලට යන්න එපා ගිනි ගන්න පුලුවන්" කියලා කියනකොට "අයි තින්ක් වයර් ශෝටේජ් ඉස් ඉන් යුවර් බ්‍රේන්" කියලා ඇතුලට ගිහින් ඉස්සරහා සීට් එකේ වාඩි උනා. අරූ ආයිමත් කාර් එකට ගොඩ වෙන්න හදලා පස්සට වීසි උනා. පොලිස් කාරයා ඇහුවාම ඇයි මොකද කාර් එක ගන්නේ නැද්ද, අර පස්සේ වාහන පිරිලා කියලා මෑන් කියනවා ඇතුලට යන්න බෑ පිච්චෙනවා කියලා. මට මේක මාර ආතල්. ඒත් කඩුවෙල පොර කිවුවා යමු යමු අපි අපේ ගමන යමු. මෙතන තවත් ඉන්න ඕන නෑ කියලා.මම ඇහුවා මොකක්ද මේ වෙන්නේ කියලා මෑන් කිවුවා මම යන ගමන් ඒක කියන්නම් කියලා. ඒත් මට ඕන උනේ මොනවාද වෙන්නේ කියලා බලා ගන්න නිසා මම කිවුවා ඔයා යන්න මම තව ටිකක් ඉඳලා එන්නම් කියලා. (අනිත් එක ඌ යන ස්පීඩ් එකට මට ඌත් එක්ක කොහොමටවත් කෝට්ටෙට යනකම් යන්න බෑ). එහෙනම් මම යනවා කියලා පොර යන්න ගියා.
බැරිම තැන පොලිස් කාරයා අර දෙපැත්ත හෙලුවෙන් තියා ගෙන ඉන්න බඩ්ඩට කිවුවා කාරෙක අරගෙන යන්න කියලා. ඇමති පුතා කිවුවා ඔවු ඔයා යන්න මම පස්සේ වෙන එකක එන්නම් කියලා බඩ්ඩ පිටත් කරලා ඇරියා. බ්ලොක් එක ඉවර වුනු නිසා අර මේට්ලන්ඩ් ප්ලේස් පැත්තේ හිරවෙලා තිබුනු කාර් වල ඈයෝ පොලිස් කාරයන්ට බැන බැන යනවා තමුසෙලා හින්දා තමයි මේ ඔක්කොම, තමුසෙලා නැත්නම් පාර මීට වඩා හොඳයි කිය කියා.
බලපල්ලා ඔය ඇමතියෝ පාරේ යන කොට අනිත් වාහන නවත්තලා උන්ට යන්න දෙන කොටත් පොරවල් බනින්නේ පොලිසියට, උන්ගේ පුත්තු වාහන වන බඩු දාගෙන යන ගමන් පාර බ්ලොක් කරාමත් බනින්නේ පොලිසියට. පව් බං. මම නිතර පාරේ වාහන වලත් පයිනුත් යන නිසා මේ අසාධාරණය පේනවා. ටිකක් වෙලා උවමනාවෙන් බලා ගෙන හිටියොත් තමයි පේන්නේ පාරේ වාහන කොන්ට්‍රෝල් කරන්න උන් කන කට්ටක්. ඒත් පොලිසියේ උන්ටවත් උන්ට වෙන මේ අසාධාරණය තේරෙන්නේ නෑ. ඒකටම පුරුදු වෙලා. අර තෙබුවන එකාට විතරයි ඒක තේරිලා කොන්දක් තියාගෙන විරුද්ධ උනේ. ඒකනේ මිනිස්සු පැනලා ඌට උදවු කෙරුවේ අනිත් උන්ගේත් මොරාලේ එක නග්ගන්න. අන්තිමට ලොක්කන්ගේම පස්ස බිම ඇනුනා. අරූ දිනලා හිටපු තැනටම ගියා. පොලිසියේ උන් තේරුම් අරගෙන වැඩ කරනවා නම් උනුත් මේ රටේ ඉන්න දුක් විඳින එවුන්ගෙන් කොටසක්, උන් කරදරයට වැටුනාම බේර ගන්න ඉන්නෙත් ඒ දුක් විඳින එවුන්මයි කියලා ඔය ඇමති පුත්තුන්ට ඔහොම නටන්න හම්බ වෙන්නේ නෑ. එහෙම වුනොත් අපිට පුලුවන් වැරදි තැනක වාහනේ නැවැත්තුවොත් අගමැතිට වුනත් දඩ කොලේ ලියන ඉංග්ලන්ඩ් වල වගේ පොලිසියක් මෙහෙත් හදා ගන්න.
අර ඇමති පුතා හිටු කියලා කෝල් ගන්න ගමන් ත්‍රී වීලර් එකක් නවත්තගෙන ඒකට නගින්න හදලා අම්මෝ රස්නෙයි කියලා ආපහු විසිවුන වෙලාවේ පස්සෙන් ආපු බයික් එකේ හැප්පෙන්නේ නැතුව බේරුනේ අනූනවයෙන්. මම දැන ගත්තා මූට නම් බඩුම තමයි කියලා. මූ ආයිත් පාරක් ට්‍රයි කලා ත්‍රී වීලර් එකට නගින්න ආයිමත් එලියට වීසි උනා ඒක ඇතුලත් පිච්චෙන තරම් රස්නෙයි කියලා. ඒ පාර පොලිස් කාරයා නැගලා බලලා කිවුවා නෑ කිසිම රස්නයක් නෑ කියලා. ඒපාර අරූ ආයිත් නගින්න ගිහින් ඒකම වුනාම ත්‍රී වීලර් කාරයා යන්න ගියා. දැන් ඇමති පුතාගේ හොට බිම වැදිලා පොලිස් රාලහාමිගෙන් ඇහුවාම අනේ රාලහාමි මම මොකද දැන් කරන්නේ කියලා පොලිස් මෑන් ඇහුවා මහත්තයා කොහේද ඉන්නේ කියලා. මෑන් කිවුවා මොරටුවේ කියලා. මට කියන්න හිතුනත් දැන් ඉතින් මොරටුවට පයින්ම යනවා එතකොට ඔය බඩත් අඩු වෙයි කියලා අර කඩුවෙල මෑනුත් නැති තැන කන්න වෙයි කියලා නිකම් හිටියා. මම හිතන්නේ කඩුවෙල මෑන්ට තරහා ගියාම මොකක් හරි අමුතු බලයක් එනවා.. ඒක තමයි පොර මට කලින් කිවුවේ තරහා යන්නේ නැතුව ඉන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා.
ඒත් එක්කම පොලිස් සයිරන් ගහගෙන බී එම් ඩබ්ලිවු ජීප් දෙකක් ආවා. ඒකෙන් හතර පස් දෙනෙක් බැහැලා මොකක්ද සර් කේස් එක කියාගෙන ඇමති පුතා ලඟට ගියාම මෑන් ෆුල් කතාව කිවුවා. උන් කිවුවා සර් මේකට නගින්න ෆුල් කූල් වෙලා තියෙන්නේ කියලා බී එම් ඩබ්ලිවු එකක් ලඟට එක්ක ගියාම පොර ඒකට නගින්න ගිහිල්ලත් අර වගේම පිච්චෙනවා කියලා ආපස්සට පැන්නා. පැනලා "අනේ මට මීට පස්සේ පයින්මද යන්න වෙන්නේ. මම දැන් කොහොමද සතියකට සැරයක් නුවර එලියේ මගේ වත්තට යන්නේ. ඩේසිත් එක්ක ඩුබායි වල තියන හෝටලයට යන්නේ" කිය කියා අඬනවා. එතකොට අර සපෝට් කාරයෝ අපි ගිහින් ඇමති තුමාව එක්ක එන්නම් කියලා කිවුවාම "යකුනේ ඇමති තියා ජනාධිපතිටවත් මේකට කරන්න පුලුවන් කෙහෙල් මලක් නෑ. අනේ අර මහත්තයාව හොයාගෙන වරෙල්ලා මට කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න" කියලා. මට තේරුනා මුගේ පස්ස බිම ඇනිලා අනේ මුගේ තාත්තාටත් මේක කරන්න තිබුනා නම් කියලා. ඒ පාර අර පොරවල් ටික පොලිස් කාරයාගෙන් විස්තර අහන කොට පොර කිවුවා ඒ කරපු කෙනා නම් ගියා, එයා එක්ක ආපු අන්න අරයා නම් ඉන්නවා කියලා පාරේ අනිත් පැත්තේ හිටපු මාව පෙන්නුවා. උන් මගේ පැත්තට එන කොට මම දැන ගත්තා බඩුම තමයි කියලා හැරිලා දුවන්න පටන් ගන්න කොටම එතන තිබුනු මහ විසාල ඇහැල ගහේ දඩෝං ගාලා ඔලුව වැදුනා.
එතකොටම "මම මහත්තයාට දෙතුන් සැරයක්ම කිවුවානේ නිදි මත නම් සීට් බෙල්ට් දාගන්න කියලා, කෝ මම කියන දෙයක් කවදාවත් අහන එකක්ය. තව පොඩ්ඩෙන් වින්ඩ්ස්ක්‍රීන් එකත් බිඳෙනවා" කියලා කවුද කියනවා ඇහුනා. බැලුවාම මාත් එක්ක ජීප් එක එලවගෙන මාතර යන්න ආපු ඩ්‍රයිවර්. පොර ගහපු බ්‍රේක් එකකට නින්ද ගිහින් හිටපු මගේ ඔලුව වින්ඩ්ස්ක්‍රීන් එකේ වැදිලා. මම ඇහුවාම මේ වගේ වෙලාවට එයා බෑග් එලියට එන්නේ නැද්ද කියලා පොර කිවුවා 88 පලාත් සබා මොඩල් ජීප් වල කොහෙන්ද එයාර් බෑග්, දැන්වත් ඔය සීට් බෙල්ට් එක දා ගන්න කියලා. මම ඒ පාර සීට් බෙල්ට් එක දා ගත්තා. ඇයි බං හදිසියේ ආයිමත් ඔලුව හැප්පුනොත්.
අපි හුඟාක් වෙලාවට හිතන්නේ අපිට මොකුත් වෙන්නේ නෑ කියලා. ඒත් වුනු දවසට තමයි තේරෙන්නේ අපරාදේ අරම කරලා තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා. වැරදිලාවත් අරූ තව ටිකක් හයියෙන් ගිහින් බ්‍රේක් ගහන්න උනා නම්....... ඒ නිසා මම බොලාටත් කියන්නේ කොයි වෙලාවේ උනත් වාහනයක යනවා නම් සීට් බෙල්ට් දාගෙන පලයල්ලා. පොලිසියෙන් බේරෙන්න නෙමෙයි බොලාගේ ඔලුව බේර ගන්න. ඔලුවේ කොණ්ඩෙත් නැති මට ඒක හොඳටම තේරුණා බං.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී