අම්මා නැති මගේ කිරි අම්මා


අද සිංදු හුඟාක් තියෙන්නේ දණ හිස් දෙකට උනත් ඒ කාලේ හුඟාක් සිංදු තිබුනේ ඔලුවට.අපේ තාත්තලාගේ කාලේ තිබිලා තියෙන්නේ අධ්‍යාත්මයට කියන සිංදු. ඒවා සිහියෙන් අහන කොට තමයි රස විඳින්න පුලුවන්. මට අල්ලලා ගියපු එහෙම එකක් තමයි ලූෂන් බුලත්සිංහල ගේය පද රචනා කරපු වික්ටර් රත්නායක ගායනා කරපු අම්මා නැති මට කියන එක. ඒක මේ අසාධාරණ සමාජ හා අධ්‍යාපන ක්‍රමයේ කෘර බව පෙන්නනවා. මේකේ කියන්නේ අම්මා තාත්තා නැති මල්ලී ලොකු මහත් කරලා උගන්නලා ඉහල තැනකට ගේන්න තමන්ගේ සියලුම දේ පරිත්‍යාග කරපු අක්කා කෙනෙකුගෙන් මල්ලී අහන දෙයක්. // අම්මා නැති මට කිරි අම්මා වී, කලුවර ගෙදරට මිණි පහනක් වී දැන ගත් දා සිට පෙරුම් පෙරූවේ අක්කේ මම් මතු සක්විති වෙයි සිතලාදෝ//. අම්මා කෙනෙක් නැති ගෙදරක පොඩි දරුවකුට මොන තරම් පාලුවක් දැනෙනවාද. ඒ තිබුණු පාලුව මකලා අම්මාගෙන් වෙන්න ඕන සියලු දේ නුඹ කලේ මම සක්විති රජෙක් වෙයි කියලා හිතා ගෙනද. ඇත්තෙන්ම ගමක ඉන්න අහිංසක අක්කා කෙනෙක් තමන්ට කරන්න පුලුවන් උපරිම දේ කරලා බලාපොරොත්තු වෙන්නේ අම්මා නැති මල්ලීව පුලුවන් තරම් උඩට ගෙනියන්නයි. ඒකට තියන ඉනිමග තමයි අධ්‍යාපනය කියලා හිතලා මහ රෑ තිස්සේ පැදුරු වියලා උදේම නැගිටලා කඩයප්පන් හදලා. ලස්සන හිනාව හැමෝටම පෙන්නලා ඒවා විකුණලා - සාමාන්‍යයෙන් තරුණ කෙල්ලෝ හැමෝම එක්ක හිනා වෙන්නේ නෑ ආඩම්බරයි. ඒත් මේ අක්කා ඒ ආඩම්බර කම පැත්තකට දාලා හැමෝම එක්ක හිනා වෙමින් අර කඩයප්පන් විකුණුවා මල්ලී වෙනුවෙන්. // දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ, පණමට දී මගේ නැණ නෙත් පෑදූවේ// ලස්සන තරුණ වයස වුනත් ඇය කිසිම පෙම් සබඳතාවක් පැවැත් වුයේ නෑ මල්ලීගේ අනාගතය ගැන හිතලා, තරුණ වයසේ තියන ඇයගේ ඉන ලත වෙනවා තමන් වැලඳ ගන්න අතක් එනකම්. //මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුනේ පීරා බඳ වට ගෝමර ලතැවිල්ලේ// මේ සේරම කරලා මල්ලී හොඳට ඉගෙන ගෙන එන කොට අක්කාගේ ලස්සන ගිහින් ගෙදරටම නාකි වෙලා. ඒ වගේම එච්චර කරලා මල්ලී ඉගෙන ගත් දෙයිනුත් වැඩක් ගන්න බැරි වෙලා තියනවා. //බාල යොවුන් හද වැහැරී ගේ මුල්ලේ මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ//.
ඉතින් බලාපල්ලා මේක නෙවෙයිද අද දරුවන්ගේ ඉරණම.උන්ගේ ශෝකාලාපය. උන් කඳුලු ගෑස් කකා වෙඩි කකා සත්‍යග්‍රහ කරන්නේ නිකම් නෙවෙයි. පස්සේ බැරිම උනාම ආයුධ අතට ගන්නේ ආසාවට නෙවෙයි. අවුරුදු ගානක් ඉනිමග දිගේ උඩට ඇවිල්ලා එතනින් එහාට යන්න තැනක් නෑ. මේක මේ රටේ තියන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. ඉර ඉනි මග අතර මගදී එක් එක් දක්ෂ කම් තියන අය ඒ දක්ෂ කම් අනුව ඒ ඒ අංශ වලට යොමු කරනවා නම් උන් අමාරුවෙන් උඩට ගිහිල්ලා උපාධි ගහලා ඊට පස්සේ පොලිසියෙන් ගුටි කන්න ඕන නෑනේ. //මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ// වෙන්නේ නෑ නේ එතකොට. ඔය සින්දුවෙන් ලූෂනුත් වික්ටරුත් කියන්නේ මේකයි. ඒත් ඒවා ඇහෙන්නේ තේරුම් ගන්නේ කවුද. නිකම් හිතා පල්ලා බොලා මීට කලින් මේක තේරුම් ගත්තාද කියලා. මේක තේරුම් නොගත්ත එවුන් තමයි කියන්නේ මුන් පාරවල් බ්ලොක් කරනවා අපට ගෙදර යන්න බෑ. ඇයි යකෝ උන් බ්ලොක් කරන්නේ පාරවල් විතරයි. මේ අසාධාරණ ක්‍රමය උන්ගේ මුලු ජීවිතයම බ්ලොක් කරලා.
තමන්ගේ සියල්ල කැප කරලා උගන්නපු මල්ලී අර වගේ ගුටි කන කොට වෙඩි කන කොට තුවාල වෙලා ගෙදර එන කොට අර අක්කාට මොනවා නොහිතෙයිද. එතකොට තමන්ගේ සියල්ල වෙනුවෙන් ඇයගේ සියල්ල කැප කරපු අක්කාට සාධාරණය ඉටු කරන්න බැරි වුනු මල්ලීට මොනවා හිතෙනවා ඇත්ද. උන් ආයුධ අතට ගත්තොත් ඒක උන්ගේ වරදද. මේවා තේරුම් ගත්ත උන් තමයි චෞර දේශපාලකයින්ගේ අතින් සම්මාන නොගන්නේ.
වික්ටර්ලා, අමරදේවලා, ටී එම්ලා, සුනිල් එදිරිසිංහලා, නන්දා මාලනීලා වගේ අය මේවා සිංදු වලින් කියනවා. ඒත් අපේ ඈයෝ අහන්නේ ඔලුවට කියන සිංදු නෙවෙයි. දනහිස් වලට කියන සිංදු. උන් ඒවාට නට නටා ජන බල මෙහෙයුම් වලට යනවා. උන්ගේ උගත් ළමයි විරෝධතා කරනවා. ලොක්කන්ගේ නූගත් ළමයි සුර සැප ගන්නවා. අරුන් ආයුධ ගත්තාම උන්ගෙන්ම කට්ටියක් මේ පැත්තෙන් දානවා තුවක්කු දීල අරුන්ව ඉවර කරන්න. දෙපැත්තෙන්ම පනස් දාහක් විතර ඉවර වුනාම ටික කාලෙකට ප්‍රශ්නෙ යට යනවා. 1971, 1989 මෙහෙදීත් අවුරුදු 20 ක් විතර උතුරේ වුනේත් මේක. මේ විදියට ගියොත් ඉදිරියේදී ඉතා ඉක්මනින්ම ආයිත් වෙනවා. මම උදේ දාපු කමෙන්ට් එකට ආපු ප්‍රතිචාර වලින් හොඳටම පැහැදිලියි ඊලඟ චන්දෙන් එන්නෙත් චෞර රැලෙන් එකක්ම තමයි කියලා.
ඒ නිසා මම හිතනවා වික්ටර්ලාට තව සෑහෙන්න සිංදු කියන්න වෙයි කියලා වහල් මානසිකත්වයෙන් අපේ මිනිස්සු බේර ගන්න.ඒක කරන්න පුලුවන් වෙන්න මම ඒ අයට දීර්ඝායුෂ පතනවා.
සිංදුවක් කියා ගන්න බැරි මම වෙන මොනවා කරන්නද බං.





Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී