AIDS 24.02.2018

අපේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය විශාල වැඩ කොටසක් කරනවා ලංකාවේ ඒඩ්ස් පැතිරීම වලක්වන්නට. රටේ සිටින ගණිකාවන් සොයාගෙන ඔවුන්ව මාස් පතා පරීක්ෂා කරල අවශ්‍ය අයට ප්‍රතිකාර ලබා දීම වගේම ඔවුන්ට සෑම විටකම කොන්ඩම් පාවිච්චි කරන්න උපදෙස් දීලා අවශ්‍ය ප්‍රමාණයට ඒවා ලබා දීම මර්ධන ක්‍රියාවලියේ එක් අංගයක්. සමහර අය මාසයකට කොන්ඩම් 1500 ඉක්මවා අරගෙන යනවා. ඒ කියන්නේ ඔවුන් මාසයකට එපමණ වාර ගණනක් ලිංගික සම්බන්ධතා පවත්වනවා. ඉතිං ඒ වගේ කෙනෙකුගේ ඇඟේ ඒඩ්ස් වෛරසය තිබුනොත් මොනවා වෙයි ද. ඉතිං මේ අය කොන්ඩම් ලඟ තියාගෙන ඉඳලා රෑට පොලිසියට අහු උනාම ඒක සාක්ෂියක් හැටියට පාවිච්චි කරනවා ගණිකා වෘත්තියේ යෙදුණු බව ඔප්පු කරන්නට. ඒ නිසා ගණිකාවන් කොන්ඩම් ලඟ තියා ගන්න බය වෙන නිසා ඒඩ්ස් මර්ධනයට විශාල බල පෑමක් එල්ල කරනවා. මේ නිසා පොලිසිය මේ පිලිබඳව දැනුම්වත් කරලා කොන්ඩමයක් යනු වෛද්‍ය උපකරණයක් බවත් එය ලඟ තබා ගැනීම හරියට පැනඩෝල් ලඟ තබා ගැනීම හා සමාන බවත් පැහැදිලි කරලා ඔවුන්ගේ සහාය ගන්නට තවත් ලොකු වැඩ සටහනක් කලා. ඉතිං අවුරුදු අටක පමණ දැඩි ආයාසයකින් පස්සේ දැන් පොලිසිය හා අධිකරණය තීරණය කරලා තියෙනවා කොන්ඩමය නඩු භාණ්ඩයක් ලෙස පිලි නොගැනීමට.

ඉතිං මචං මේක ලියාගෙන යන කොට මට මතක් උනේ කවුද දන්නවද. කුවේණිව. මීට අවුරුදු දහයකට විතර ඉස්සර මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මල ගෙදරදී කුවේණිය ගැන අහපු කතාවක්. නන්දසේන රත්නපාල කියන්නේ ලංකාවේ යාචකයින් හා ගණිකාවන් ගැන දීර්ඝ පර්යේෂණයන් කරලා තියෙන විද්වතෙක්. ඔහු වසර කීපයක් හිඟන්නකු ලෙස වෙස් වලා ගෙන කොලඹ නගරයේ ජීවත් වුනු කෙනෙක්. ශ්‍රී ලංකාවේ යාචකයෝ කියලා පොතකුත් ලිවුවා. ඉතිං ඒ මහතාගේ මල ගෙදරට රෑ ගිහිල්ලා ඉන්න කොට කුවේණිය ගැන අහපු කතාවක් ගැන තමයි මම කියන්න යන්නේ. මේ කතාව කිවුවේ මහාචාර්ය සූරිය ගුණසේකර මහතා.ඒ වෙලාවේ මැන්දිස් රෝහණධීර. කාලෝ ෆොන්සේකා, ජේ ආර් පී සූරියප්පෙරුම වැනි ආචාර්ය මහාචාර්ය වරුත් එතන හිටියා.

කුවේණි කියන්නේ මීට අවුරුදු දෙදාස් පන්සිය ගානකට කලින් ලංකාවේ හිටපු ප්‍රාන්ත රැජිනක්. ඇය උපදින කොට ඇයට තිබුනාලු පියයුරු තුනක්. ඉතිං මේ අසාමාන්‍ය පිහිටීම දැකපු ඇගේ දෙමවු පියෝ බයවෙලා දෛවඥයින්ට පෙන්නුවාම ඔවුන්කියලා තියෙනවා බය වෙන්ට කාරණාවක් නැහැ යම් දිනෙක ඇය ලොකු මහත් වෙලා ඇගේ නියම ස්වාමි පුරුෂයා මුන ගැසුනු විට මෙය නැති වෙලා යයි කියලා.

ඉතිං පුංචි කාලේ ඉඳන්ම කුවේණි දැනගෙන හිටියා තමාට කොල්ලෙක් හොයා ගන්න ස්වභාව ධර්මයා ක්‍රමයක් හදලා තියෙන විත්තිය. ඒ නිසා ඇය ඔය බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ගියේ නැහැ ශිල්ප ශාස්ත්‍ර උගෙන ගනිමින් හිටියා. මේ කාලෙදි හරියටම කියනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පාන දවසේ ඉන්දියාවේ හිටපු සිංහබාහු රජු තමන්ගේ පුතා වෙච්චි විජය කුමාරගේ කුපාඩි කම් නිසා ඔහුගේ යාලුවෝ රොත්තත් එක්කම නැවක දාලා රටින් පන්නා දැම්මා. ඒ කාලේ රජවරු එහෙමයි තමන්ගේ පුතා උනත් කුපාඩි කම් කලොත් රටින් පිටුවහල් කරනවා. හැබැයි දැන් කාලේ කුමාර වරු කරන කුපාඩි කම් වල හැටියට එලවන්න ගියොත් නැව් සිය ගානක් ඕන වෙනවා. ඉතිං මූදේ පාවෙමින් ආපු නැව අපේ වෙරලට ආවා. මහාචාර්ය වරයා කියන හැටියට පිරිනිවන් පාන අවස්ථාවේ බුදුන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා අනාගතයේ මගේ ශාසනය මුල් බැස ගන්නා මෙම දිවයිනට නැව යන්න කියලා. කොහොම උනත් නැව ගොඩ බැස්සාට පස්සේ විජයගේ යාලුවෝ ගියා වතුර හොයා ගෙන. සෑහෙන වෙලාවක් ගිහිල්ලත් උන් ආවේ නැති නිසා විජය කුමාරයාත් රට ඇතුලට ගියා. යන කොට දැක්කා ලස්සන විලක් ලඟ කපු කටිමින් ඉන්නා කුවේණියව. විජය දැන ගත්තා මේකි තමයි මගේ යාලුවන්ට අනතුරක් කරන්නට ඇත්තේ කියලා "එම්බා සැතිරිය තී මගේ යාලුවන්ට කුමක් කලෙහිද" කියලා කුවේණියව මරන්න පැන්නත් විජය දුටුහැටියේම කුවේණියගේ අර වැඩිපුර තිබූ තනය අතුරුදහන් වීම නිසා ඇය සටනට නොගොස් විජයගේ දෙපා ලඟ දන ගහලා කිවුවා ඔබ මා සරණ පා ගන්නේ නම් මා ඔබට මෙහි රජු වෙන්ට උදවු කරනවා කියලා. ඉතිං පස්සේ දෙන්නා සැට් වෙලා විජය ලංකාවේ රජ උනා.

ඔය කතාව සහ තවත් බොහෝ කතා අහගෙන ඉඳලා මහ රෑ ආපහු ගෙදර එන ගමන් මම කල්පනා කලා අර කුවේණියට ස්වාමියා හොයා ගන්න කලා වගේ කොච්චර හොඳද ස්වභාව ධර්මයා හදලා තිබුනා නං තමන්ගේ ගෑනි ඉඳිද්දී සොර ගෑනු කරා යන මිනිස්සුන්ගෙත් තමන්ගේ මිනිහා ඉඳිද්දී හොර මිනිස්සු ලඟට යන ගෑනුන්ගෙත් ලිංගික අවයව එවේලේම අතුරුදහන් වන ක්‍රමයක් කියලා. එහෙනං ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයට රුපියල් කෝටි ගනං වියදම් කරලා කොන්ඩම් ගෙන්නලා බෙදන්න උවමනා වෙන්නේ නැහැ. කොන්ඩම් මක්කටෙයි. වැඩේට සැට් වෙන කොටම බඩු අතුරුදහන්. ඉතිං මොකටෙයි කොන්ඩම් දාන්නේ.

ඒ උනත් ස්වභාව ධර්මයා එහෙම කරන්න තරම් සාධාරණ වෙලා නැද්ද. නැත්තං අසාධාරණ වෙලා නැත්ද. අනේ මංදා.
මක්කැයි ඒ ගැන ඔහෙලා කියන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී