වැලැන්ටයින්ගේ දවස සහ තුන් කොන් ආදර සිද්ධාන්තය

මේක මම ලියන්න කියලා හිටියේ 14 වෙනිදා තිබුණු මේ වැලැන්ටයින් ඩේ කියන බහුබූත දවසටයි. මම මේ නම මුලින්ම ඇහුවේ 1986/87 එංගලන්තයට ගිහින් හිටපු වෙලාවේ 1987 දී. මම නැවතිලා හිටපු මගේ මාමාගේ දුව මගෙන් ඇහුවා වැලැන්ටයින් ඩේ එකට මානෙල්ට මොනවත් යවන්නේ නැද්ද කියලා. මානෙල් කිවුවේ මගේ හොඳම යාලුවාට. එයා මාත් එක්කම ඇවිත් නිවාඩු ඉවර වුනු නිසා ඒ වෙන කොට ආපහු ගිහින් හිටියේ. මම ඇහුවා මොකක්ද මේ දවසේ විශේෂත්වය කියලා. එයා කිවුවා එදාට ඕන කෙනෙකුට පුලුවන්ලු තමන් කැමති කෙනෙකුට ගිහින් කියන්න මම ඔයාට ආදරෙයි කියලා. එහෙම කිවුවා කියලා අනිත් එක්කෙනා බනින්න යන්නේ නැතිලු එදාට. ඕන නම් ඩයනාට වුනත් කියන්න පුලුවන්ලු. චාල්ස් ලොක්ක ගනන් ගන්නේ නැතිලු. මම ඒ වෙන කොට අර ප්ලැබ් කියන විභාගෙට හිටු කියලා පාඩම් කර කර හිටියේ. නැත්තම් එවෙලේම ටියුබ් ට්‍රේන් එකේ ග්‍රීන් පාක් එකට ගිහින් බකින්හැම් එකට රිංගන්න ට්‍රයි එකෙක් දෙනවා. ඒත් වියදම් කර ගෙන ආවේ විභාගෙට නිසා හිත තද කර ගත්තා.// බොලා මේක මගේ යාලුවාට කියනව එහෙම නෙවෙයි හොඳද. මොකද එහෙම කුපාඩි වැඩ කරන එකෙක් දෙන්නෙක් ඉන්න බව මම දන්නවා. මේක අදාල වෙන්නේ ඒ කුපාඩින්ට විතරයි // මේ දිනය පටන් අරගෙන තියෙන්නේ පූජකයෙකුගෙන්. ක්‍රිව 300 දී රෝමයේ අධිරාජයා වුනු ක්ලෝඩියස් නීතියක් දාලා තියනවා විවාහ වීම තහනම් කරලා. එහෙම කරලා තියෙන්නේ ඒ කාලේ තිබුණු යුද්ධ වලට යන්න විවාහ වුනු අය එන්නේ නැති වීමත් ආවත් උන්ගේ යුද්ධයට තියන කැප වීම අඩු නිසාත්.
මේ නීතියට විරෝධය දක්වපු වැලන්ටයින් කියන පූජකයා හොරෙන් විවාහ කරන වැඩ සටහනක් පටන් අරගෙන තියනවා. මේක දැන ගත්ත ක්ලොඩියස් මෑන්ට මරණ දඬුවම නියම කරලා හිරගෙට දාලා ඉන්න කොට වැලැන්ටයින් හිර ගෙදර ලොක්කාගේ දුවත් එක්ක ලව් එකට සෙට් වෙලා. පස්සේ පෙබරවාරි 14 දවසක මරන්න ගෙනියන කොට මෑන් කෙල්ලට කොල කෑල්ලක් යවලා තියනවා " ඔබට ආදරය කල වැලැන්ටයින්ගෙන් " කියලා. මේක ඇහුවාම මට මතක් වුනේ අපේ රටේ හිටපු දස්කොන්ව. මිනිහා මැරිලා තියෙන්නෙත් රජතුමා තමන්ගේ අග බිසවගේ රූපයක් අන්ඳවලා තියන කොට මෑන් ගිහින් ඒකේ කලවයේ පොඩි උපන් ලපයක් ළකුනු කල නිසයි. රජා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඌ විතරයි ඒක දැකලා තිබුනේ කියලා. ඔය තජුඩීන්ට උනෙත් ඔය වගේ කේස් එකක්ලුනේ. මෑනුත් කයියක් ගැහුවාලුනේ කවුද දේවියකගේ කලවේ තියන සිගරට් එකකට පිච්චුනු කැලලක් ගැන. ඉතින් ඒකට රජ කුමාරයාට තද උනා කියනවානේ. මම නම් ඔය කේස් දෙකම ඇහැට දැකලා නෑ. දස්කොන්ගේ කාලේ මම හිටියෙත් නෑනේ. ඔය එක එක්කෙනා කියන ඒවා තමයි ඉතින් අර වැලැන්ටයින් ලොක්කාගේ කතාව වගේ.
1987 වෙන කොට අපේ රටේ කවුරුවත් මේ දවස ගැන දැන ගෙන හිටියේ නෑ. ඒත් පහු වෙන කොට අනිත් දහ ජරාවත් එක්ක මේකත් ආවාම අපේ එවුනුත් මේක කරපින්නා ගත්තා. වෙළෙන්දෝ බිස්නස් එකක් කර ගත්තා කාඩ් එහෙම විකුණන්න. අද මේක හරියට වෙසක් දවස වගේ වෙලා. තොරන් විතරයි අඩු. ඉතින් මේ වැලැන්ටයින් දවසේ මම ඇඳට වෙලා කොට්ටෙත් බදා ගෙන ඉන්න ගමන් ආදරය කියන්නේ මොකක්ද කියලා කල්පනා කලා. බොලා හිතන්න එපා මූ නාකි වෙලත් මුගේ හිතේ තියන කැත කම කියලා. මොකද හුඟාක් එවුන්ට ආදරය කිවුවාම ඔලුවට එන්නේ අර ගස් අස්සේ කරන ඒවානේ. ඒවා නම් මම හැමදාම දකිනවා කෝට්ටෙ පොල්දූව පාලම යටින් යන කොට. එතන මාර සීන් බං තියෙන්නේ.
ආදරය කිවුවාම තියෙන්නේ ඒ පාලම යට ආදරය විතරක් නෙවෙයිනේ. දරුවන් දෙමාපියන් අතරේ, සහෝදරයන් අතරේ ඒ වගේම සතුන්ට කරන ආදරේ, ඇයි සමහරු මහරජානන්ට තියන ආදරේ, ඊලඟට සමනල ආදරේ. ඔය වගේ කීයක්ද. ඒත් ඇත්තටම මම අද නම් කල්පනා කර කර හිටියේ අර විරුද්ධ පාර්ශ්වික දෙනෙක් අතරේ ඇතිවන ආදරය ගැන. මොකක්ද මේ ආදරය කියන්නේ. මේක හරියට නිර්වචනය කරන්න අමාරු සංසිද්ධියක්. එක එක්කෙනා එක එක විදියට විග්‍රහ කරලා තියනවා. මේ අතරින් මනෝ විද්‍යාත්මක නිර්වචනයක් තියනවා ආදරයේ තුන් කොන් අන්දරය කියලා. සිංහලෙන් කියනවා නම් ද ට්‍රැන්ගියුලර් තියරි ඔෆ් ලව්. මේකේ ආදරය මූලික වශයෙන් කොටස් තුනකට බෙදනවා.ආකර්ශනය Attraction,ආසාව නැතිනම් අනුරාගය Affection,සහ බැඳීම Bonding කියලා. එහෙම බෙදුවාට ඒ හැම එකක්ම එකකින් එකක් වෙන් කරලා ගන්න බෑ. හරියට අපි සෞඛ්‍ය පාඩමේදී අපේ ශරීරය හිස උරස උදරය කියලා කොටස් වලට බෙදුවාට ඒවා එකකට එකක් සම්බන්ධයි වගේ.
ආකර්ශනය -
මේකෙදි සිද්ධ වෙන්නේ යමෙකුගේ සිත තව කෙනෙකුට කෙනෙක් කෙරෙහි අදිලා යෑම. බොහෝ වෙලාවට තමන් කැමති නලුවා, නිලිය, ක්‍රීඩකයා, ගායකයා වගේ පෙනුම තියන අයව දැක්කාම අර මුල් පුද්ගලයා ගැන තියන කැමැත්ත නිසා මේ දකින කෙනාට ආකර්ශනය වෙනවා. සමහර වෙලාවට එක් වරක් දැකපු සැනින් ඒ ආකර්ශනය ඇති වෙනවා. ඉස්සර මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඒ කාලේ හිටපු සයිරා බානු කියන හින්දි නිලියට අපි කොයි තරම් ආකර්ශනය වෙලා හිටියාද කියනවා නම් මම යාලුවෙක් එක්ක කතා කර ගත්තා ලොකු උනාම ඉන්දියාවට ගිහින් මේ වගේ කෙල්ලෙක් කසාද බැඳ ගන්න. ඌත් හා කියලා කැමති උනා. පස්සේ මීට අවුරුදු ගානකට කලින් මම මගේ යාලුවත් එක්ක අර නිලිය ඉන්න "ආයි මිලන් කි බේලා" පිචර් එක බලද්දී කිවුවා අනේ ඒ කාලේ නම මගේ හිතේ තිබුනේ මේ වගේ ලස්සන කෙල්ලෙක්ව කසාද බඳින්නයි ඒත් ඉතින් අපේ හිත් වල තිය දේවල් එහෙමම වෙන්නේ නෑ කියලා. එතකොට එයා කිවුවා ඒක නම් ඇත්ත ඒ කාලේ මගේ හිතෙත් තිබුනේ අමිතාබ් බච්චන් වගේ කොල්ලෙක්ව බැඳ ගන්නයි කියලා. මම ඊට පස්සේ මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුවා. මේකෙන් තේරෙන්නේ හැමෝටම වගේ එක කාලයක මේ ආකර්ශනය කියන එක ඇති වෙනවා. මේක ඇඟේ ඇතිවන හෝමෝන ක්‍රියාත්මක වීම නිසා ඇතිවන දෙයක්. එහෙම ආකර්ශනය නිසා දෙන්නෙක් එක් වුනාම හිතන්නේ මේ තමයි මගේ එකම වස්තුව කියලා. නින්දට යන්නේත් එයා ගැන හිතමින්. උදේට අවදි වෙන්නෙත් එයා ගැන සිතමින්. මෙකෙදි බොහෝ වෙලාවට කාමාශාවක් ඇතිවන්නේ නෑ. පිවිතුරු ඇල්මක්මයි ඇතිවන්නේ. හුඟාක් ටියුශන් පන්ති වලදීමේක දකින්න පුලුවන්. අවුරුදු 16/17 කාලවල තමයි වැඩියෙන්ම ඇති වෙන්නේ. ඒත් හෝමෝන ඉහට ගහපු උන්ට ඊට කලිනුත් ඇතිවෙනවා. මේ ආකර්ශනය කියන එක පවතින්නේ සාමාන්‍යයෙන් අවුරුදු තුනක් වගේ කාලයක් විතරයි ඒත් ඒ කාලය අතරතුර ඒකට විරුද්ධ වෙන හැමෝම දකින්නේ තමන්ගේ සතුරන් හැටියට. ඔය සියදිවි නසා ගැනීම් ඇතිවෙන්නේ ඔන්න ඔය කාලයේදී තමයි.
මට මතකයි මගේ ලඟම හිතවතෙකුගේ දුවෙකුට උසස් පෙල පටන් ගත්ත කාලයේ ඔය වගේ දෙයක් උනා. මට එයාමයි ඕන, අම්මලාට ඔය වගේ බෑනෙක් කවදාවත් හම්බ වෙන්නේ නෑ කියලා පොලොවේ හැපෙන්න පටන් ගත්තාලු. මේ ළමයා හොඳට ඉගෙන ගන්න පුලුවන් ලමයෙක්. ඒ දෙමවුපියන් බොහොම ඤානාන්විතව වැඩ කරලා කොල්ලාගේ දෙමවුපියනුත් හම්බ වෙලා කැමැත්ත දුන්නා. මොකද කොල්ලාත් හොඳ පවුලක එකෙක් නිසා. දෙන්නාම හොඳට ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලෙටත් ගියා. අවුරුදු තුනක් විතර යනකොට දෙන්නාටම තේරුනා දෙන්නා ගැලපෙන්නේ නැති බව. තවත් අවුරුද්දකට විතර පස්සේ දෙන්නාගේම කැමැත්තෙන් වෙන් උනා. මේ වෙන කොට දෙන්නාම වෙන අය එක්ක විවාහ වෙලා සතුටින් ඉන්නවා. කොහොමද අර වෙලාවේ දෙමවුපියන් විරුද්ධ වුනා නම්. ඉගෙන ගැනිල්ලත් ඉවරයි. සමහර විට ජීවිතෙත් ඉවර කර ගන්න තිබුනා. හැබැයි ඒ දෙමවුපියන් දෙගොල්ලාම නීතියක් දාලා තිබුනා හම්බ වෙන්න පුලුවන් ගෙදරදී විතරයි කියලා. අර කෝට්ටෙ පොල්දූව පාලම යට ඉන්න එවුන්ට වගේ කිච වෙන්න දුන්නේ නෑ. ඒ නිසා උන්ගේ කොල කුඩු උනේ නෑ. වැඩිය ප්‍රසිද්ධ වුනෙත් නෑ.ඒ වගේම කොහොමද අර කාලය ඇතුලත කසාද බැන්දා නම් එහෙම. එක්කෝ දික් කසාද වෙන්න වෙනවා. නැත්නම් මුලු ජීවිතයම විඳවන්න වෙනවා.
මම ඉතුරු ටික හෙට ලියනවා. නැත්නම් දිග වැඩි වෙලා බොලාට ආදරයත් එපා වෙනවා. තදියම තියන කට්ටියට යූ ටියුබ් එකේ "ආදරය සහ ගැහැණිය" කියලා කරපු දොරමඩලාව වැඩ සටහන බලන්න පුලුවන්.
මම ඊයේ තුන් කොන් ආදර සිද්ධාන්තයේ අර ආකර්ශනය එහෙම නැත්නම් ඇෆෙක්ශන් කියන කොන ගැන කතා කරා. අපි කවුරුත් වගේ ඒ කොනේ ඉඳලා තියනවා. අපි පොඩි කාලේ පොල්දූව පාලම වගේ තැන් නොතිබුනු නිසාත් ඒ කාලේ අපේ රටේ ලජ්ජාව සහ බය කියන එක තිබුණු නිසාත් එස් එම් එස් වගේ ඒවා නොතිබුණු නිසාත් ඒවා බොහෝ විට ලියුම් වලට විතරක් සීමා වුනා. පොටෝ එකක් දී ගත්තෙත් බොහොම අමාරුවෙන්. අමාරුවෙන් හරි එහෙම දීලා අතිනුත් ඇල්ලුවොත් කොල්ලෝ අතරේ ඌ මහා වීරයෙක් ගානටයි ඒ කාලේ ගණන් ගත්තේ. මම වීරයෙක් උනාද නැද්ද කියන එක ඕන නම් ප්‍රයිවට් එකේ කියන්නම්. මොකද අර ලැජ්ජාව සහ බය නැත්නම් දේව ධර්මය තාමත් මට තියන නිසා ඔය වගේ දේවල් එලි පහලියේ කියන්න නිකම් මොකක්ද වගේ දැනෙනවා.
ආසාව නැත්නම් අනුරාගය Affection -
මේක තනිකරම කාමාශාව මුල් කර ගත් සම්බන්ධයක්. මෙතනදි අර මුල් අවධියේ වගේ ආකර්ශනයක් නෙවෙයි තියෙන්නේ. මහ වල් හැඟීමක්. මේක යුරෝපීය රට වල ඒ වගේම අප්‍රිකානු රට වල දකින්න පුලුවන්. මෙතෙන්දි සිද්ද වෙන්නේ ආශාව මුල් කර ගත් සම්බන්ධයක් නිසා ඒක මාස තුන හතරකට වඩා පවතින්නේ නෑ. ඒ අය ලව් කරනවා කියන්නෙත් අර ලිංගික සම්බන්ධයටයි. අර මුල් අවදියේ හිටපු අයත් සමහර කොටසක් පස්සේ මේ අවධියට යනවා. මම හිතනවා අර පොල්දූව පාලම යට වගේ තැන් වල ඉන්න එවුන් නම් බොහොමයක් ආකර්ශනය කියන අවස්ථාව පහු කරනවා ඇති. මම හුඟාක් දවස් වල උන්ගේ පොටෝ ගන්න හිතුවත් ඒක සදාචාරයට විරුද්ධ නිසා එහෙම කලේ නෑ. ඒ ආකර්ශන අවස්ථාවේදී හිතෙන්නේ මෙයා තමයි මට හරි යන එකම එක්කෙනා කියලා. ඒ උනත් විශේෂයෙන්ම කෙල්ලන්ට කල්පනා කරන්න වෙනවා මට ඇත්තටම මූ ආදරය කරනවා නම් මේ වගේ ප්‍රසිද්ධ ස්ථාන වලට ගෙනත් මාව පාච්චල් කරයිද කියන එක. තමන් හරියට ආදරේ කරන කිසිම පිරිමියෙක් මම හිතන්නේ නෑ තමන්ගේ කෙල්ලව කාටත් පේන තැන වලට ගෙනත් පාච්චල් කරයි කියලා. මම කියන්නේ කතා කර කර ඉන්න එක ගැන නෙවෙයි අර බිත්ති හතරකට කොටු වෙලා කරන්න ඕන දේවල් මේ එලි පිට කරන එක ගැනයි.

බැඳීම නැත්නම් බොන්ඩිං Bonding-
මේ අවස්ථාවේදී ඇති වන්නේ දැඩි අන්‍යොන්‍ය බැඳීමක්. මේකදි කාමාශාව නැත්තම් තමන් කැමති නළුවා හෝ නිළිය වගේ වීම බලපාන්නේ නෑ. ඊට වඩා එහාට ගියපු සුන්දර වූ විචිත්‍ර වූ හැඟීමක් තමයි මෙතනදි ඇතිවෙන්නේ. මෙතනදි තමන්ගේ අදහස්, ආකල්ප, අගය කිරීම් එක්ක ගැලපෙනවාද කියන එක වැදගත් කොට සලකනවා රූපය, ලස්සන වගේ දේ වලට වැඩිය. මෙතෙන්දි එක් කෙනෙක් වෙනුවෙන් තම්න්ගේ සතුට, වෙලාව කැප කිරීම් කෙරෙනවා. එක් අයකුගේ සතුට වෙනුවෙන් අනිත් කෙනාට කොයි තරම් දුරකට තමන්ගේ සතුට කැප කරනවාද කියන එකෙන් මැන ගන්නට පුලුවන් පවතින ආදරය. මේකට කියනවා පරිත්‍යාගය එහෙම නැත්නම් කැප කිරීම කියලා. සිංහලෙන් කියනවා නම් සැක්‍රිෆයිස් කරනවා.මෙහෙම ආදරයක් ජීවිතය පුරාවටම පවතිනවා එක් කෙනෙකුගේ මරණය දක්වාම. බොහෝ වෙලාවට එක් කෙනෙක් ගිහින් වැඩි කලක් යන්න කලින් අනිත් එක්කෙනාත් යනවා. ඉතින් අර මම මුලින්ම කිවුවා වගේ හිස උරස උදරය කියලා විස්තර කිරීමේ පහසුවට ශරීරය කොටස් තුනකට බෙදුවාට ඒ තුන එකකට එකක් සම්බන්ධයි වගේම තමයි මේ ආකර්ශනය, අනුරාගය සහ බැඳීම කියන තුනත්. හරියට ත්‍රිකෝණයක මුලු තුන වගේ. එක මුල්ලක ඉඳන් අනිත් එකට යන්නේ ක්‍රමයෙන් වෙනස් වෙමින්. ඒ නිසා තමන් තේරුම් ගැනීම වටිනවා මම නැත්නම් අපි බර වෙලා තියෙන්නේ කොයි මුල්ලටද කියන එක.
මට හිතෙන හැටියට අර පොල්දූව පාලම යටට මුලින්ම යන උන් ආකර්ශනය නිසා ගියත් බොහොම ඉක්මනට අනුරාගයට පත් වෙනවා. උන්ට උන්ට උන්ගේ ගෙවල් වලට යන්න අවසර තියනවා නම් ඒ තත්වයෙන් මිදෙන්න පුලුවන් වෙයි. අර මම කලින් කියපු මගේ යාලුවා කෙරුවා වගේ. අර කැප කිරීම කියන එක ආකර්ශන අවස්ථාවේත් තියනවා. සමහර ළමයි තමන්ගේ නෝට්ස් ටික අනෙකාට දෙනවා පාඩම් කරන්න. කොහොම උනත් අවුරුදු 15/16/17 කාලවල පටන් ගන්න ආකර්ශනය නිසා ඇති වන සම්බන්ධ කම් වලින් විවාහය දක්වා යන්නේ බොහොම සුලු ප්‍රමාණයක්. ඒකත් අර අවුරුදු හතර ඇතුලත වුනොත් බොහෝ වෙලාවට එක් කෙනෙක් හරි දෙන්නාම හරි පස්සේ පසුතැවිලි වෙන්න පුලුවන් අර බැඳීම නැති වීම නිසා. එහෙම අය තමයි ඔෆිස් එකේදී, පාරේ, කෝච්චියේදී අර ස්පෙයාර් වීල් තියා ගන්නේ. ඉස්සර මම මීරිගම ඉඳන් කොලඹට කෝච්චියේ එන කාලේ ඕවා නිතර දකිනවා. උදේට හබියා ස්ටේශන් එකට බස්සන නෝනා කෝච්චියේ වෙනම ලව් එකක්. ඊලඟට හවසට කෝච්චියෙන් බැස්සාම ආයිත් හබියා එක්ක ගෙදර යනවා. ලෝක දෙකක්, ජීවිත දෙකක්. ගෙදර එක බැඳ ගත්තාට ගහන බෙරේ වගේ. නියම එක කෝච්චියේ. අනිත් එකාටත් එහෙමම වෙන්න ඇති. මම ඉතින් ගෙදර ඇවිත් යාලුවාට ඕවා කියලා කියනවා මම වගේ මිනිහෙක් ලබන්න වාසනාව තියෙන්න ඕන කියලා. එතකොට එයා මට කියන ඒවා මම බොලාට කියන්නේ නෑ.
මේ තුන් කොන් ආදර රටාවේ කොයි කොනට බර වෙනවාද කියන එක මත බොහෝ දේ තීරණය වෙනවා. අර අනුරාගය මත ආදරය පවතින අප්‍රිකානු රට වල පහුගිය කාලයේ අපි දැක්කා රටින් බාගයකට වඩා ඒඩ්ස් කියන රෝගය හැදිලා. ඒ වගේම සමහර යුරෝපීය රට වල. එහෙම නැති අපේ වගේ රටවල් වල ඒඩ්ස් අඩුවෙන් පැතිරුනා. ඒත් මම හිතනවා මේ වෙන කොට අපේ රටේත් ඒ කාලේ තිබුනු තත්වය ක්‍රමයෙන් වෙනස් වෙලා කියලා. මීට අවුරුදු තුනකට විතර ඉස්සර දවසක් මම පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකට යන්න පොල්දූව පාලම උඩින් යන කොට මම දැක්කා සෙනග පිරිලා ඉන්නවා. බලන කොට කෙල්ලෙක් එතනින් වතුරට පැනලා. මම ගිහින් මගේ ජොගිං ඉවර කරලා පැය දෙකකට පස්සේ එන කොට කෙල්ලගේ මිණිය ගොඩ අරගෙන. බලන කොට ටික කලක් එතනම කොල්ලෙක් එක්ක පෙම් කර කර හිටපු මට හොඳට මූණ මතක තිබුනු කෙල්ලක්. මම පස්සේ කොලඹ පොලිස් මෝචරියේ හිටපු මගේ යාලුවෙකුගෙන් ඇහුවා පෙරේදා වතුරේ පැනලා මැරිච්චි කෙල්ලකගේ බොඩියක් ගෙනාවාද කියලා. එයා හොයලා බලලා මට කිවුවා ඔවු ගෙනාවා එයාගේ බඩේ මාස පහක විතර කලලයක් තිබුනා කියලා. කොහොමද ආකර්ශනය අනුරාගයට හැරිලා අන්තිමට වුනු දේ. ඒ වගේම දරු ගැබක් පිහිටන්නේ නැතුව ඔය සම්බන්ධකම් කොච්චර වෙනවා ඇද්ද අර ආකර්ශනය දුර දිග ගිහින්. ඒ වගේම තාත්තා නැති දරුවෝ කොච්චර බිහි වෙනවාද. උපන් හැටියේ දාලා යන මරලා දාන ඒවා කොච්චරද. ඊලඟට මේ හේතුව නිසාම අසාර්ථක වන විවාහ නිසා ගණිකා වෘත්තියට යොමු වීම. ඊලඟට අනාථ නිවාස වල හැදෙන දරුවන්ගේ මානසික තත්වය.
මේවා හරිම සමාජ ප්‍රශ්න. විශේශයෙන්ම ගැහැණු දරුවන්ගේ අනාගතය හරිම කණගාටුදායකයි. පහු ගිය දවසක මම දැක්කා ඒ වගේ ගැහැණු දරුවන් එකොලහක් දූෂණය කරපු දේශපාලුවෙක් ගැන. පුංචි කාලයේ ඉඳන්ම ආදරයක් විඳින්නේ නැතුව හැදෙන මේ දරුවන් ලොකු වෙන්නේ සමාජයට වෛර කරමින්. ඔවුන්ට ඕනම දරුණු වැඩක් කරන්න පුලුවන්. මෙන්න මේ වගේ අයට සේවයක් කරන්න හිතලා මම යෝජනා කරලා තාරුණ්‍යයට වගකීමක් කියන වැඩ සටහනට චීනයෙන් ලැබුනු රුපියල් කෝටි තුනට වෙච්ච දේ මම මීට කලින් කිවුවා. වග කිව යුතු ඈයෝ එහෙම කරන කොට රටට මොන කලක් යයිද. එක කහකඩයෙක් මේ ගැන කට අරිනවාද. ඒ අතින් ප්‍රේමදාස ජනාධිපති තුමා පටන් ගත්තා කැපකරු දෙමාපිය ක්‍රමය කියලා එකක් මේ වගේ දරුවන්ව අරගෙන බලා කියා ගන්න. එතුමාගේ අභාවයත් එක්ක ඒක ඉවර උනා. දැන් ඉන්න රජවරුන්ට මේවා ගැන වගේ වගක් නෑ.
දැන් මම යනවා කුස්සියට මගේ යාලුවා හදලා තියන ආප්ප කාලා තව ටිකක් වකුටු වෙලා නිදා ගන්න. අද පෝය දවසනේ බං.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී