Story related to AIDS - 10.04.2018

එයා මට මුලින්ම මුණ ගැහුනේ උපකාරක පංතියකදී. ඒ පංතියේ ලමයි දෙදාස් ගාණක් හිටියා. දවසක් පංතියට යන කොරිඩෝවේ වැටිලා තිබුන පර්ස් එකක් මට හම්බ උනා. ඒක අරගෙන බලන කොට ඇතුලේ රු. විසිහය දාස් ගානකුයි ක්‍රෙඩිට් කාඩ් එකකුයි ක්ලාස් එකේ අයිඩෙන්ටිටි කාඩ් එකයි තිබුනා. ඊලඟ වාරේ ගාස්තු ගෙවන්න විදියක් නැතුවයි මම ඒ වෙලාවේ හිටියේ. මටයි නංගිලා දෙන්නටයි උගන්නන්න තාත්තලා සෑහෙන මහන්සියක් ගත්තා. ඉතින් මේකට මොනවා කරන්නද කියලා දෙගිඩියාවෙන් ඉඳලා මම පස්සේ ක්ලාස් ටීචර්ට ගිහිං දුන්නා. එතකොට අපි ක්ලාස් එකට බැඳිලා මාස දෙකක් විතර වෙලා තිබුනත් හැමෝගේම මූනවත් දැකලා තිබුනේ නෑ. සර් ටිකක් වෙලා මගේ දිහා පුදුම වෙලා බලා ගෙන හිටියා. මොකද ඊට ඉස්සෙල්ලා දවසෙයි මම සති දෙකක් කල් ඉල්ල ගත්තේ ඊලඟ වාරයේ සල්ලි දෙන්න. පස්සේ සර් ඔක්කොම ළමයි ආවාම මයික් එකෙන් අර අයිඩෙන්ටිටි එකේ තිබුණු නම කියලා කතා කරලා ඇහුවා තමන්ගේ පර්ස් එක තියනවාද කියලා. එතකොට පංතියේ මැද හරියෙන් එයා නැගිටලා සර් ලඟට ඇවිත් කිවුවා එයාගේ පර්ස් එක නැති වෙලා කියලා. සර් ඒකේ තිබුන දේ වල විස්තර අහලා පර්ස් එක දීලා මුලු පංතියටම මාව පෙන්නලා කිවුවා මෙයාට ඕනනම් මේ සල්ලිත් තියාගෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඕන දෙයක් ගන්න තිබුනා. ඒත් එයා එහෙම නොකර ඒක මට ගෙනත් දුන්න. එයා ඔය ගොල්ලා සේරටම හොඳ ආදර්ශයක් කියලා. එයාත් මට ස්තුති කරලා පර්ස් එක අරගෙන ගියා. සර් මට ස්තුති කරලා මගෙන් විස්තර අහලා කිවුවා එයාට මීට පස්සේ මගෙන් ෆීස් එපා කියලා. මම කිවුවා නෑ සර් තාත්තාට සල්ලි හම්බ උනාම මම ගෙනත් දෙන්නම් මට එතකම් කල් දුන්නොත් ඇති කියලා. සර් කිවුවා ඔයා නම් කලාතුරකින් හම්බ වෙන කෙනෙක්. ඒ උනත් මම ඔයාගෙන් සල්ලි ගන්නේ නෑ කියලා.

ඊලඟ දවසේ උදේම මම ක්ලාස් එකට යන කොට එයා හිටියා ඇතුල් වෙන තැනම. මම එනකොටම ඉස්සරහට ඇවිත් ඊයේ ඔයා නේද මගේ පර්ස් එක ඇහිඳලා දුන්නේ මම මේ තෑන්ක් කරන්නයි බලා ගෙන උන්නේ කියලා මගේ නම ගම විස්තර එහෙම ඔක්කොම අහගෙන පොඩ්ඩක් කතා කරලා ක්ලාස් එකට ගියා. එදා තමයි මම එයාව එක්ක මුලින්ම කතා කරපු දවස. ඊට පස්සේ දවස් කීපයක්ම මාත් එක්ක හිනා උනා මිසක් කතාවට ආවේ නෑ. පස්සේ දවසක මම බස් හෝල්ට් එකේ ඉන්න කොට මම දැක්කා එයා අලුත්ම ලොකු ජීප් එකක යනවා මම හිතන්නේ ඩ්‍රයිවර් එක්කද කොහෙද මාව දැකලා මට අත වනා ගෙන ගියා. පස්සේ දවසේ උදේ හම්බ වෙලා කිවුවා අනේ මට ඊයේ ඔයාට ලිෆ්ට් එකක් දෙන්න බැරි උනාට මොකුත් හිතන්න එපා අපේ ගෙදර කට්ටිය කියලා තියෙන්නේ ක්ලාස් එකේ කවුරුත් එක්කවත් වැඩි සම්බන්ධකම් තියා ගන්න එපා කියලායි.එදා එයා මාත් එක්ක ටිකක් වැඩි වෙලා කතා කරලා මෙගේ පවුලේ විස්තර එහෙම ඇහුවා. බලන කොට එයාගේ තාත්තා ලොකු කොම්පැනි දෙක තුනක් තියන ලොකු සල්ලි කාරයෙක්.

ඔය විදියට හැමදාම වගේ කතා කරලා අපි අතරේ හොඳ යාලු කමක් ඇතිවුනා. එයාගේ පරණ යාලුවන්ට වඩා ආශ්‍රය කලේ මාව. එක පාරක් එයා දවස් දෙක තුනක් ක්ලාස් ආවේ නෑ. පස්සේ ආරංචි වුනා එයාට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ නවත්තලා කියලා. මම තව යාලුවෙක් එක්ක බලන්න ගියත් අපට ඇතුලට යන්න ලැබුනේ නෑ එයාගේ ගෙදර අය කාමරේ හිටපු නිසා. නර්ස් කෙනෙකුගෙන් ඇහුවාම කිවුවා අයි සී යූ එකේ ඉන්නේ ලේ දීලා තියෙන්නේ කියලා. පස්සේ එයාව බලන්න ගියපු යාලුවෙක් කිවුවා දැන් හුඟක් සනීපයි අද හෙට ගෙදර එක්ක යයි කියලා පහු ගිය දවස් වල මගේ නෝට්ස් ටික එයා ඉල්ලුවා කියලා. මම ඒපාර දවස් ගානක්ම මහ රෑ වෙනකම් ඉඳගෙන මගේ නෝට්ස් සේරම ආයිත් ලියලා සෙට් එකක් හදා ගත්තා එයා ආවාම දෙන්න. එදා එදා නෝට්ස් ලිවුවා. පස්සේ එයා ආපහු ආවාම මම අරවා දුන්නාම එයා කිවුවා මම මේවා පොටෝ කොපි කරගෙන දෙන්නම් කියලා මම කිවුවා මම ඔය ටික ඔයාටයි හැදුවේ බොහොම ආසාවෙන් ඒ නිසා ඔයා තියා ගන්න කියලා. මම දැක්ක එයාගේ ඇස් දෙකට කඳුලු එනවා. මගේ අත් දෙක අල්ල ගෙන කිවුවා මම දන්නේ නෑ කොහොම ස්තුති කරන්නද කියලා.

ඔහොම ටික කාලයක් යන කොට අපි අතරේ යාලු කමට එහා ගිය සම්බන්ධ කමක් ඇතිඋනා. ඒ අතරේ මගේ උපන් දිනයට ඉස්සෙල්ලා දවසේ එයා මට රු. පන්දාහක් දීලා කිවුවා ඔයා මේකෙන් හොඳම ශර්ට් එකක් අරගෙන හෙට මට පේන්න ඇඳගෙන එන්න කියලා. මට තේරුනා අපි මේ යන්නේ මහ භයානක ගමනක කියලා. ඒත් එයාගේ ඉල්ලීමට අනුව මම හවසම රු. 3000ට කමිසයක් අරගෙන පහුවෙනිදා ඇඳගෙන ගියාම එයා හරියට සතුටු වෙලා කිවුවා මට ඔයාට මගේ අතින් ඕක අරගෙන දෙන්න වාසනාවක් තිබුනේ නෑ කියලා.ඉතුරු සල්ලි දුන්නා එයා ඒක ගත්තේ නෑ. මම පස්සේ ඒකෙන් කලිසමක් මහ ගෙන එයාට පෙන්නුවාම එයා හරි සතුටු උනා. ඊට පස්සේ එයාගේ උපන් දිනය ආවාම අර වගේ වටිනා තෑග්ගක් ගන්න මට සල්ලි නොතිබුණු නිසා මම ගෙදර නංගී වවලා තිබුණු ඕකිඩ් ගස් වල තිබුණු ලස්සනම මල් ටිකක් නංගීට නොවඳිනා වැඳුම් වැඳලා කපා ගෙන ලස්සන මල් පොකුරක් හදලා එයාට ගිහිං දීලා කිවුවා මට සල්ලි නෑ ලොකු තෑගි ගන්න ඒ නිසා මේක බාර ගන්න කියලා. එයා මට මේක ලෝකේ තියල වටිනාම තෑග්ගක් කියලා පපුවට තියලා තද කර ගත්තාම මට කියන්න බැරි තරම් සතුටක් දැනුනා.ඒත් එදා එයා ඒ මල් ගෙදර ගෙනිහිල්ලා එයාගේ කාමරේ තියා ගෙන ඉන්න කොට අම්මා ඇවිත් දිගින් දිගටම ප්‍රශ්න කරාලු කවුද ඒක ගනත් දුන්නේ කියලා. එයා යාලුවෙක් දුන්නා කිවුවාම කවුද යාලුවා කියලා අහගෙන තියනවා.

සතියකට දෙකකට පස්සේ දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්න කොට මෝටර් බයිසිකල් එකක ආපු දෙන්නෙක් මාව බලෙන් ටිකක් එහාට එක්ක ගිහිං වහලා තිබුනු බෝතලයක් ඇරලා මට කිවුවා මේක ඉඹලා බලපන් කියලා. බලන කොට ඒකේ තිබුනේ ඇසිඩ්. උන් කිවුවා අපට කොන්ත්‍රාත් එක ලැබුනේ උඹට මේක ගහන්නයි. ඒත් උඹත් අපි වගේ කොල්ලෙක් නිසා කියන්නේ උඹ හෙට ඉඳන් මේ පැත්ත පලාතේ එන්න එපා වෙන තැනකට පලයන් අපි කවර් එකේ ඉන්නේ ආවොත් එහෙම මේක උඹට ගහනවා කියලා.මට මතක් උනා මගේ අම්මලා තාත්තලා කොයි තරම් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ මමත් නංගිලා දෙන්නාත් ගැන කියලා මම උන්ට කිවුවා මම එන්නේ නැතුව ඉන්නම් ඒත් තව මාස හයයි විභාගෙට තියෙන්නේ ඉතින් ඇයි මට මෙහෙම කියන්නේ කියලා. උන් කිවුවා ඒක උඹට වැඩක් නෑ අපි කියන විදියට කරපන් කියලා. ඉතින් මම එදා ඉඳන් ඒ ක්ලාස් එකට යන එක නතර කරලා අර සර්ගේම වෙන ක්ලාස් එකකට යන්න පටන් ගත්තා සර්ට පොඩි බොරුවක් කියලා.

සතියකට විතර පස්සේ එයාගේ යාලුවෙකුට දීල පොඩි පාර්සලයක් ලැබුනා. ඒක ඇතුලේ තිබුනේ මොබයිල් පෝන් එකක් ලියුමකුත් එක්ක. ඒකේ ලියලා තිබුනා එයාගේ අම්මා අර ඕකිඩ් එව්වාය කියාපු යාලුවාගෙන් දැන ගෙන ඒක එවුවේ ඒ යාලුවා නෙවෙයි කියලා. පස්සේ ක්ලාස් එකේ අයගෙන් දැන ගෙන තියෙනවා ඇත්ත. මට කියලා තිබුනා එයාට එස් එම් එස් කරන්න ඒත් මොන එකකටවත් කතා කරන්න එපා කියලා. එයා සතියකට සැරයක් විතර ඒ ගොල්ලන්ගේ ලෑන්ඩ් පෝන් එකෙන් මට කතා කලා ඒත් විනාඩි දහයකට විතර. මට ඒ විනාඩි දහය දැනුනේ තත්පර දහයක් වගෙයි. ඔය විදියට අපි අවුරුදු පහක් විතර දිගටම අපේ සම්බන්ධය තියා ගෙන හිටියා එක දවසක් වත් හම්බ වෙන්නේ නැතුව.

ඒ වෙන කොට මම මැනේජ්මට් ස්පෙෂලිස්ට් කෙනෙක් හැටියට ප්‍රයිවට් කොම්පැනි එකක වැඩ කලා. එයා එයාගේම තාත්තාගේ කොම්පැනි එකක මැනේජින් ඩිරෙක්ටර් හැටියට හිටියා. මේ වෙන කොට අපි කතා කරන්න පටන් අරගෙනයි හිටියේ. දවසක් එයා මට කතා කරලා කිවුවා අම්මලා එයාව බන්දලා දෙන්න හදනවා තව මාස දෙකකින් ඒත් එයා හිතා ගෙන ඉන්නේ මොනවා හරි කරගෙන මැරෙන්න කියලා. මම කිවුවා ඒ වගේ මෝඩකම් කරන්න එපා. ඔයා කියන්න ඔයා කැමති නෑ කියලා දැම්ම බඳින්න කියලා. කොහොම හරි ඊට මාසයකට විතර පස්සේ එයාගේ තාත්තා අපේ ගෙදරට ඇවිත් අපේ තාත්තලා එක්ක කතා කරලා මට එයාව ප්‍රොපෝස් කරලා. කලින් වෙච්ච ඒවා මුකුත් නොදැන හිටපු අපේ අම්මලා මම ගෙදර ගියපු හැටියේම බොහොම සතුටින් මේ ගැන කියලා මට කිවුවා මේකට කැමති වෙන්න මොකද අපට අල්ලන්න පුලුවන් තැනක් නෙවෙයි කියලා. ඔයාගේ උගත් කම නිසායි මෙහෙම කරලා තියෙන්නේ කියලා. මම වහාම එයාට කතා කරලා මේ ගැන කිවුවාම එයා අඬ අඬා කිවුවා එයා කීයට වත් කැමති නෑ කියලා. මට හරි පුදුම හිතුනා මේ ටික දවසකට කලින් මැරෙනවා කියපු එක්කෙනා ඇයි මෙහෙම කියන්නේ කියලා. පස්සේ බල කරලා ඇහුවාම එයා හේතුව කියලා කිවුවා එයා දැන් මට සුදුසු නෑ. ඒ නිසා මට වෙන හොඳ කෙනෙක් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් කියලා. මම කිවුවා මට දැන් ඔයාව වෙනදාටත් වඩා වටිනවා ඒ නිසා මම කැමතියි කියලා. මම ගෙදර ඇවිත් මේ ගැන අම්මලාට කිවුවාම ඒ ගොල්ලා කිවුවා අනේ එහෙම නම් පුතේ ඒක කරන්න එපා. අපි කීයට වත් කැමති නෑ කියලා. පස්සේ මම මුලු කතාවම කියලා මට දැන් එයාව කීයට වත් අත අරින්න බෑ කියලා අපි මාසයකින් විතර බොහොම සතුටින් එකතු වුනා.

අපි බැඳලා මේ වෙන කොට අවුරුදු හතරක් වෙනවා. අපට අවුරුදු තුනක පුතෙක් ඉන්නවා. එයාට තව බබෙක් ලැබෙන්නත් ඉන්නවා. ස්කෑන් කරලා දැන ගත්තාම දුවෙක් කියලා එයාට හරි සතුටුයි. අපට වෙනමම කොම්පැනියක් දීලා තියෙනවා. මගේ නංගිලා දෙන්නාත් ඒකේ ඩිරෙක්ටර්ලා හැටියට ඉන්නවා. ඉතින් අපි හැමෝම බොහොම සතුටින් ඉන්නවා .

ඔය ගොල්ලෝ මොකද හිතන්නේ මට ඇසිඩ් ගස්ස වන්න හිටපු එයාගේ කට්ටිය හදිසියේම මට කැමති වුනේත්, එයා අකමැති වුනේත්, මුලින් ඒකට හරිම කැමැත්තෙන් හිටපු අපේ අය පස්සේ අකමැති වුනේත් මොකක් නිසා කියලාද. හරි උත්තරේ කියපු කෙනාට මගේ හිතේ තියන දෙයක් තෑග්ගට දෙනවා.


එදා මම එයාට කතා කල වෙලාවේ එයා අඬ අඬා කිවුවේ දවස් කීපෙකට කලින් අසනීප වෙලා බෙහෙත් ගන්න ගියාම ලේ චෙක් කරපු වෙලාවේ දැන ගත්තා කියලා එයාට අර ඒඩ්ස් කියන ලෙඩේ හදන එච් අයි වී HIVඇතුල් වෙලා කියලා. හොයලා බලන කොට ඊට අවුරුදු පහකට විතර ඉස්සෙල්ලා ඩෙංගු හැදිලා අයි සී යූ එකේ ඉන්න කොට දීපු ලේ වල තිබිලා කියලයි හොයා ගෙන තියෙන්නේ. ඉතින් ඒ ගොල්ලන්ගේ තාත්තලා කාටවත් මේ බව නොකියා අර බඳින්න හිටපු පොරට කියලා දුව කැමති නැති නිසා මේක කරන්න බෑ කියලා. ෆුල් ජොලියේ හිටපු අර පොරට මාර අප්සෙට්ලු. ඌ බලාගෙන ඉඳලා තියෙන්නේ හම්බ වෙන්න තිබුන ලොකු ඩව්‍රි එකලු. මෑන් කිවුවාලු පොර කොහොම හරි එයාගේ හිත ගන්නම් තව ටික කලක් දෙන්න කියලා වදේලු. බොහොම අමාරුවෙන්ලු මෑන්ගෙන් ගැලවිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි එයාගේ තාත්තලා මම ගැන හොයලා එයාව මට ප්‍රොපෝස් කරලා තියෙන්නේ. මෙන්න මේ එච් අයි වී කේස් එක නිසා තමයි එයා මට කියලා තියෙන්නේ එයාට මාව මැරි කරන්න බෑ කියලා. එයා හිතලා තියෙන්නේ මම ගැන. අපේ තිබුනු බැඳීම අනුව මට කොහොමවත් එයාව අත අරිනවා කියන එක හිතන්නවත් බැරි තත්වයකයි හිටියේ. අපේ ගෙදරිනුත් පස්සේ එයාට අකමැති වුනේ මේ නිසායි.
දැන් තේරුණැයි. සත්‍ය ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා. හැමෝම ලඟ ඕක නෑ බං. මේ ගැන ඔහේලාට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඕපන් උත්තර දෙන්න.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී