අද හවසත් මම ඇවිදගෙන එන ගමං කාසල් හොස්පිටල් ඉස්සරහා තියන ත්‍රීවීල් මෝටර් සයිකල් පාක් කරන තැන සල්ලි එකතු කරන පොරගෙන් වට පිට බලලා කණට කරල ඇහුවා ඌ ලඟ රුපියල් දාහක් මාරු කරන්න තියනවද කියලා. මොකද මට බය හිතුනා මිනිස්සු දැන ගන්නවාට මගේ ලඟ රුපියල් දාහක් තියනවා කියලා. කියන්න බෑනේ බං. කෝට්ටේට යන කම් පයින් යන එකානෙ මම. පොර සාක්කුවෙන් සල්ලි මිටියක් ඇදලා ගත්තා ඔක්කොම විස්සේ කොල. මම කිවුවා මට දෙන්න කියලා පනහේ කොල වලින් මොකද හැමදාම වගේ මගේ යාලුවා අහනවා පොඩි සල්ලි නැද්ද කියලා. මම කිවුවාම රුපියල දෙක තමයි පොඩි ඒවාට තියෙන්නේ, සත විසිපහ, පනහ නෑ නේ කියලා එයා කියනවා මම ඇහුවේ රුපියල් පණහේ ඒවා නැද්ද කියලා. බලාපල්ල එක එකාට සල්ලි වටින හැටි. බස් එකේ යන මට පොඩි සල්ලි කියන්නේ රුපියල දෙක. කාර් වල යන එකාට පනහා තමයි පොඩි. එයාට හුඟාක් දවස් වලට රු.තුන් හාර සීයක් පාඩු වෙනවාලු ඩිස්පැන්සරියේ අයට ඉතුරු සල්ලි දෙන්න ගියාම පනහේ කොල නැතුව. ඒත් මම බස් එකේ කොන්දාගෙන් ගේම ඉල්ලන්නේ රුපියල් 24 දුර යන්න 25 ක් අර ගෙන මට රුපියලක් පාඩු කරාමයි. ඔන්න බලාපල්ලා එක එකාට සල්ලි වල වටිනා කම පේන හැටි.
ඉතින් අරූ කිවුවාම මහත්තයා අද පලවෙනිදා ඔක්කොම හම්බ උනේ රුපියල් විසි පහේ ඒවා කියලා, මම කිවුවා උබට මට දෙන්න විතරයි පනහේ කොල නැත්තේ. මම ඊයේ ඉල්ලපු වෙලාවේ උඹ කිවුවේ තාම සල්ලි එකතු වෙලා නෑ. පාරේ අනිත් පැත්තේ පාක් එකෙන් අහලා බලන්න කියලා. මම දන්නවා උඹ හදන්නේ ඔය විස්සේ කොල ටික මට දීලා ලොකු කොල තියා ගන්නයි මම දන්නේ නැද්ද බොලාගේ හැටි කියලා. පොර ඒ පාර බොරු නම් මේ බලන්න කියලා කලිසම් සාක්කු දෙකම එලියට අරගෙන පෙන්නුවා. බලන කොට ඌ කියලා තිබුනේ ඇත්ත.
මම දවසක් ඇර දවසක් පාර දිගේ පයින් එන නිසා හැමදාම හම්බ වෙන පොරවල් කීපයක්ම ඉන්නවා. තුන්මුල්ල වට රවුමේ ඉඳලා දිගටම ඉන්න පොලිස් කාරයෝ හුඟ දෙනක් මම දන්නවා. ඊලඟට බානි රේමන්ඩ් එකේ මිණී එම්බාම් කරන එකා මාත් එක්ක ෆිට්. කාසල් ස්ට්‍රීට් එකේ කෝච්චිපාරේ කෝච්චිය එනකොට රතු කොඩිය අල්ලන එකා ෆුල් ෆිට්. ඉතින් හැමදාම දකින කොට හිනා වෙලා විතරක් මදි පොඩි තට්ටුවකුත් දාගෙනම එනවා. ඒත් පොලිස් කාරයින්ට නම් තට්ටු දාන්න යන්නේ නෑ හොඳටම ෆිට් එකෙකුට ඇරෙන්න. තවත් ටිකක් කල් යනකොට ආ කොහොමද කියලා අහනවා. නිතරම දකින පොලිස් කාරයෝ අහනවා ආ පී ටී යනවා නේද කියලා. ඔය පී ටී කියන වචනේ අපිට පුරුදු නැති උනාට ෆෝසස් වල එවුන් කියන්නේ එහෙමයි. ඔන්න ඔය විදියට ෆිට් වෙලා හිටි නිසයි මම අර පොරට උඹ, බොලා, කියලා කිවුවේ. එහෙම නැති උනා නම පොර මගෙන් ගේම ඉල්ලනවා ඌට උඹ කිවුවාට. හැබැයි ඔය එකෙක්වත් දන්නේ නෑ මම දොස්තරෙක් කියලා. උන් හිතන්නේ හැන්දෑවට ජොගින් යන පොරක් කියලා. පොලිස් කාරයෝ හිතන්නේ පී ටී කරන පොරක් කියලා. මොකද මම ඔෆිස් එකේදීම ජොගිං කිට් එකට බැහැලා එන්නේ.
ඉස්සර මම පයින් එන කොට බල්ලෙක් වත් මාත් එක්ක හිනා වෙන්නේ නෑ. උන් ඔරව ගෙන යන්නේ. ඒත් මම දකිනවා මම ලොකු පුතාත් එක්ක යන කොට හුඟාක් අය ඌත් එක්ක හිනා වෙනවා. කාර් එකේ යන කොටත් ට්‍රැෆික් බ්ලොක් වලදී අනිත් කාර් වල ඈයෝ ඌත් එක්ක හිනා වෙනවා. මම ඩ්‍රයිව් කරන කොට උන් මාව දැක්කත් අහක බලා ගන්නවා. මට ඉතින් ෆුල් අප්සෙට්. දවසක් මම මගේ යාලුවාට කිවුවා බලන්න අනේ ලොකු පුතා යන යන තැන මිනිස්සු ඌත් එක්ක හිනා වෙනවා, ඒත් මම පාරේ එනකොට ඉස්සරහට හම්බ වෙන එවුන් දිහා බැලුවත් උන් බුම්ම ගෙන යනවා. එකෙක් හිනා වෙන්නේ නෑ කියලා. එතකොට යාලු පොර කිවුවා ඒක නෙවෙයි වෙලා තියෙන්නේ ලොකු පුතාගේ මූනේ හැම තිස්සෙම තියෙන්නේ හිනාවක්. ඒ නිසයි මිනිස්සු එයා එක්ක හිනා වෙන්නේ. ඔයාගේ මූනේ එහෙම එකක් නෑ. ඔයාට තියෙන්නේ දැක්කාම හොම්බට දෙකක් අනින්න හිතෙන මූණක්. මට උනත් සමහර වෙලාවට එහෙම හිතෙනවා අර නොකර හිටියාට. ඒ නිසා ඔයා හිනා වෙන්න ඉස්සෙල්ලා කියලා. මට ඒ වෙලාවේ මල පැන්නත් සද්ද නැතුව හිටියා.
ඊට පස්සේ දවසේ ඉඳන් මම හැමෝටම පනාව දාගෙන ආවා. මෙන්න යකෝ පාරේ ඉන්න වැඩි හරියක් මාත් එක්ක හිනා වෙනවා. අර උන්ගේ ලෝකේ තනි වෙලා යන එවුනුයි, අර මගේ වගේ හොම්බට අනින්න හිතෙන ජාතියේ මූණු තියන එවුනුයි ඇර අනිත් හැමෝම හිනා වෙනවා. සමහර බුලර්ස් රෝඩ් එකේ ඉන්න ආමි පොරවල් හිනා නොවී ඔලුව වනනවා. අර රේමන්ඩ් එකේ මිණී කපන එකා වැඩ ඉවර වෙලා පාර අයිනට වෙලා ඉන්න දවස් වලට ඔලුව විතරක් නෙවෙයි කඳත් නවනවා. මම හිතන්නේ ඌ ඉන්නේ බෝතලේ ගහලා මත් වෙලා. ඔන්න ඔහොම තමයි මම පාරේ යන එවුන්ව දැන කියා ගත්තේ. ඇත්තටම මට හිතුනේ පාරේ යන උන් සේරම වෙනස් වෙලා කියලායි. ඒත් ඇත්තටම බැලුවාම වෙනස් වුනේ මමයි. පාර පනින වෙලාවට වාහනේ නවත්තලා ඉඩ දෙන එකාටත් මම වේව් එකක් දාලා හිනා වෙලා යනවා. එතකොට ඌත් සතුටු වෙලා තව පාර පනින එකෙකුට ඉඩ දෙයිනේ. ඒ නිසා මම මගේ යාලුවාගෙන් ඉගෙන ගත්ත එකක් තමයි ලෝකය වෙනස් කරන්න නම් තමන් වෙනස් වෙන්න ඕන කියන එක.පාරේ ඇවිදින එක හරිම ආතල් දෙයක් වෙලා තියෙන්නේ ඒකයි. එනවා දැනෙන්නේ නෑ. හැම තැනම ඉන්නවා හිනා වෙලා, තට්ටුව දාලා, හලෝ කියලා එන උන්.
ඉතින් අරූ සාක්කු දෙකම ඇදලා පෙන්නුවා ඌ ලඟ පනහේ කොල දෙක තුනකට වඩා නෑ කියලා . පස්සේ මම කිවුවා එහෙනම් ඉතුරු ටික විස්සේ කොල වලින් දීපං කියලා. ඒක අරගෙන මම ඇහුවාම ඇයි මෙච්චර විස්සේ කොල කියලා පොර කිවුවා මෝටර් බයිසිකල් වලින් ගන්නේ විස්සයි කියලා පාකින් ෆී. ත්‍රී විලර් වලින් ගන්නවා කිවුවා තිහක්. අද ත්‍රී වීලර් වැඩිය ආවේ නෑ කියලා. මම කිව්වා ඉතින් තීවීලර් එකක් දාන ඉඩේ බයික් දෙකක් දාන්න පුලුවන් නේද කියා. එතකොට පොර කියනවා ඒක තමයි මහත්තයාට තේරුනා හරි නම් ත්‍රී වීලර් එකකින් හතලිහක් ගන්න ඕන කියලා. මම කිවුවාම නෑ බං මම කියන්නේ ත්‍රී වීල් එකෙන් තිහක් ගන්නවා නම් බයික් එකෙන් ගන්න ඕන පහලවයි කියලා මම දැක්කා මූට මල පැන ගෙන එනවා. මම ඉක්මනට අනිද්දාට ආයිත් දාහක් මාරු කරලා දෙන්න කියලා එන කොට මෑන් කිවුවා මහත්තයලාත් හිතන්නේ අපේ බඩටම ගහන්නයි කියලා.
ඔන්න බලාපල්ලා එක එකා සල්ලි ගැන හිතන විදිය. අපි හිතන්නේ බයික් කාරයාට සහනයක් දෙන්න. අරූ බලන්නේ ත්‍රී වීලර් කාරයාගෙන් තව ගානක් ගන්න. ඒත් තුන් ගොල්ලාම එකම පන්තියේ අය. අර ගන්න සල්ලි යන්නේ කෝට්ටේ නගර සභාවට. අරූට හම්බ වෙන්නේ පඩියයි ඔය ඒ අතරේ ටිකට් නොකඩා ගහන මාටියා පාරකුයි විතරයි. අනිත් ඒවා නගරාධිපතියටයි අනිත් එවුන්ටයි ආතල් ගන්න. කොලඹ ඒවා රෝසිට රත්තරං කොමෝඩ් ගන්න. ඉතින් මෙන්න මේක මේ දුක් විඳින පංතියේ අය තේරුම් ගන්න කම් එක එකා සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කර ගත්තාට වැඩක් නෑ බං.
ඉතින් අච්චර කට්ට කාල මම අර "පොඩි" සල්ලි ටික යාලුවාට දීලා කිවුවාම ඔන්න ඔතන දාහක් තියනවා මට දාහේ කොලයක් දෙන්න කියලා එයා කියනවා ආ එහෙනම් මම ඔයාට ගෙනත් දෙන දේවල් වලට මමත් ඉල්ලන්න ඕන කියලා. මට හිතුනා බං හොම්බට දෙකක් දෙන්න. දැන් මට අවුරුද්ද පුරාවටම දාහ ගානේ දවසකට වියදම් කරන්න වෙයිද බං. මම හිතන්නේ මගේ ග්‍රහයෝ සේරම නීච වෙලා කියලා. යන්න ඕන සුමනදාසයාව වත් හම්බ වෙලා සුරයක් වත් දා ගන්න.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී