Transport in Sri Lanka - 26.04.2018

මම මේ දවස් වල වැඩට යන්නේ මම වැඩ කරන තැන ඉන්න ඉහල නිලධාරියකුගේ කාර් එකේ. එයා මාලඹේ ඉඳලා එන ගමන් මාව කෝට්ටෙන් දාගෙන එනවා. මම ගෙදර ඉඳලා කිලෝ මීටරයක් පයින් ඇවිල්ලා පාරේ ඉන්නවා. අපි 6.15 ට ආවාම බම්බලපිටියේ තියන ඔෆිස් එකට එනවා 6.30 වෙන කොට. 7 පහු වෙලා ආවොත් ඔය ටික යන්න පැයක් විතර යනවා. ඒ මහත්තයා මං ගැන අනුකම්පා කරලා එක්ක ආවේ නැත්තං කෝට්ටේ ඉඳලා බස් එකේ එනකොට හිටගෙන තමයි එන්න වෙන්නේ. බස් එක තැන තැන ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්න කොට ඉස්සරහා ඉන්න එකාගේ දාඩියෙන් නාලා තමයි ඔෆිස් එකට යන්න වෙන්නේ. ඌට වැරැද්දක් කියන්න බෑනේ බං. කොන්දොස්තරයා ඉස්සරහ දොරෙන් ඇවිල්ලා කෑ ගහනවා පස්සට යන්න කියලා. ඊට පස්සේ ඌම පිටි පස්සෙන් නැගලා කෑ ගහනවා ඉස්සරහට යන්න කියලා. ඉතින් මිනිස්සු දෙපැත්තෙන්ම තැලෙනවා. මේවා තේරුම් ගන්න නම් බස් වලම යන්න ඕන බොලල්ලා. එතකොට තමයි සාමාන්‍ය මිනිස්සු විඳින දුක තේරෙන්නේ. හැබැයි කරුමේ කියන්නේ අපිට එහෙම තේරුනාට උන්ට තේරෙන්නේ නැති එක. ඒකට හේතුව තමයි උන් හැමදාම බස් එකටම කොටු වෙලා ඉන්න එක. අර පොරවල් පක්ෂ වලට කොටු වෙලා ඉන්නවා වගේ. උන්ට එලියේ තියන සැප පේන්නේ නෑ. අපි කාර් වලත් බස් වලත් යන නිසා අපිට වෙනස තේරෙනවා.

ඉතිං අද උදේ මම ටිකක් වේලාසනින් පාරට ඇවිල්ලා පාර දිහා බලා ගෙන ඉන්න කොට දැක්ක දෙයක් තමයි එකා පස්සේ එකා නිමක් නැතුව යන පුද්ගලික වාහන වල 50% කට වැඩිය යන්නේ එලවන එකා විතරයි. තවත් 20% විතර යන්නේ දෙන්නයි. මම හිතන්නේ ඩ්‍රයිවර් එක්ක යන අය වගේම ජෝඩු කට්ටිය. අනිත් ඒවායේ තමයි දෙන්නාට වැඩියෙන් යන්නේ. හැබැයි බස් වල ෆුට් බෝඩ් එකෙත් එනවා. සීට් ගාන වගේ දෙගුණයක් හිට ගෙන එනවා. කාර් වල ඒකේ අනිත් පැත්ත. මම ලඟම තව පොරවල් දෙකක් හිටියා බස් එනකම්. මම නිකං ඉන්න එකේ උන් එක්ක මේ ගැන විද්වත් කතිකාවක් පටං ගන්න කියලා බලන කොට උන්ට පාරේ වෙන දේවල් පේන්නේ නෑ. උන් ෆෝන් එක දිහා බලා ගෙන මොනවාද කරනවා. මම ඒ පාර ටිකක් වෙලා උන් දිහා බලාගෙන හිටියා. එකෙක් ඌටම හිනාවෙනවා. අනිකා සීරියස් මූනක් දාගෙන ඉන්නවා. මම හිතන්නේ කෑල්ල අප්සෙට් මෙසේජ් එකක් එවලා වෙන්න ඇති. කොහොම හරි දෙන්නාම ආපු බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන්න ගියා. මමත් එතකොට වගේම ආපු අර මහත්තයාගේ වාහනේ ආවා.

ඔන්න ඕකයි බං රටේ තත්වය. මොකද බොලාට හිතෙන්නේ ඒ ගැන. කෝට්ටේ පාර දිගේ කොලඹට එන්නේ කඩුවෙල මාලඹේ අතුරුගිරිය පැලවත්ත බත්තරමුල්ල කෝට්ටේ රාජගිරිය නාවල වගේ පැති වල ඉඳලා එන අය. මේ එන වාහන වලින් 70% විතර යන්නේ එක්කෝ එක්කෙනයි නැත්තම් දෙන්නයි. නමුත් මේ වාහන ටික පාරේ කොයි තරම් ඉඩක් ගන්නවාද. බස් එකේ යන හැටක් හැත්තෑවක් විතර කට්ටිය ගන්නේ බස් එකක ඉඩ. කාර් වල යන හැටක් හැත්තෑවක් ගන්නවා බස් 15 ක විතර ඉඩ. මේක සාධාරණද බං. පාරෙන් 80% වැඩිය පාවිච්චි කරන්නේ අර එක්කෙනෙක් නැත්තං දෙන්නෙක් එන වාහන. ඒ ටික පාරෙන් අයින් උනොත් පාරේ ඉඩෙන් 80% ඉතිරි වෙනවා. ඒ කියන්නේ ට්‍රැෆික් එකෙන් 80% අඩු වෙනවා. ඒකෙන් බාගයක් අඩු උනොත් 40%ක් ඉතිරි වෙනවා. මිනිස්සුන්ගේ වෙලාව, ඉන්ධන, වාහන නඩත්තු වියදම් කොච්චර ඉතුරු වෙනවාද. ඊලඟට පරිසර දූෂණය. කොලඹට ගියාම වාහන පාක් කරන්න යන ඉඩ වියදම. ඊලඟට කොන්දොස්තරයගෙන් බස් එකේදී කාල ඉතුරු සල්ලි නොදී මල පැනලා එන එකා ඔෆිස් එකට ගියාම ඒක පිරිමහ ගන්නේ උන්ගෙන් වැඩක් කර ගන්න එන මිනිස්සුන්ගෙන්. විශේෂයෙන්ම ආණ්ඩුවේ කන්තෝරු වල.

ඊලඟට ඔය කාර් එලව ගෙන යන අය යන්නේ ජොලියෙන් කියලා හිතනවා ද. නෑ උනුත් යන්නේ හිතේ එකලාසයකින් නෙවෙයි කොයි පැත්තෙන් ත්‍රී වීලර් කාරයෙක් දායිද, බස් කාරයෙක් ඇඟට කපයිද, බයික් කාරයෙක් සයිඩ් එකෙන් හප්පයිද ඔය වගේ තව කොච්චරද. අර මාව එක්ක ගෙන එන මහත්තයා උදේ 6.30 ඔෆිස් එකට ආවාට ඇත්තටම එයා එන්න ඕන වෙලාව 8.30. මටත් 8.30. ඉතිං උදෙන්ම ආවාම පාර ටිකක් හරි හොඳ නිසා අපි එනවා.ඒ මහත්තයා නිතරම කියනවා හොඳ ගමනාගමන සේවයක් තියෙනවානම් එයා කවදාවත් වාහනේ තනියම එන්නේ නෑ කියලා. මම නම් උදෙන් ඇවිල්ල මේ වගේ පෝස්ට් එකක් හරි කරනවා. මම ඇත්තටම වාහනයක එන්නේ නැත්තේ මල පැන්නාම ඒක දරා ගන්න බැරි නිසා. කවුරු හරි වැරදියට ආවොත් මට ඌව හප්පන්න හිතෙනවා. ඇත්තටම හප්පලාත් තියෙනවා. ඒ පාර මග රස්තියාදුව. සමහර වෙලාවට අරූ එක්ක ගහ ගන්න වෙනවා. ඊලඟට කොලඹට ඇවිල්ලා පාක් කරන්න තියෙන අමාරුව. දවසට 250 ක් ගන්නවා පාකින් වලට.ඒ නිසා මම ඉස්සර ඌබර් එකක උදේට ගිහිල්ලා හවසට බස් එකේ එනවා. කොල්ලුපිටියෙන් පටන් ගන්න බස් එකේ සීට් ඕන තරම් තියෙනවා. දවසක් ඇර දවසක් පයින් එනවා එක්සයිස් එකට. දැන් ඉතින් අර මහත්තයාත් එක්ක උදේට එනවා. දවසක් ඇර දවසක් එයාත් එක්කම ආපහු යනවා.

මොකද බොලා හිතන්නේ දැන් මේකට විසඳුමක් නැද්ද. ඕන තරම් තියෙනවා. හැබැයි අපේ මිනිස්සු ඒක ප්‍රශ්නයක් විදියට නොගන්න තාක් ඔනරබල්ලෝ ටිකට ගානක් නෑ. මොකද උන් යන කොට පොලිසියෙන් අනිත් වාහන නවත්තලා පාර ෆුල් ක්ලියර් කරලා දෙනවා මුන්ට ඉගිල්ලිලා යන්න කෝටි දහයේ පහලවේ කාර් වල. බැංකොක් වල තියෙනවා මේ වගේම ට්‍රැෆික් හැබැයි එහේ තියෙනවා ස්කයි ට්‍රේන් කියලා පාරවල් වල උඩින් යන කෝච්චි. යටින් වාහන යනවා. උඩින් ට්‍රේන් එක යනවා. ඒසී කරලා නිසා රශ් වෙලා වල දාඩිය පොරක් ආවත් ගානක් නෑ. පිරිසිදුවට ඇඳලා ටයි එකක් දාගෙන කරදරයක් නැතුව යන්න පුලුවන්. සාමාන්‍ය බස් එකේ බාත් 20 කට යන දුර යන්න ස්කයි ට්‍රේන් එකේ බාත් 50ක් යනවා. හැබැයි බස් එකේ පැය බාගයක් යන දුර යන්න අරකේ විනාඩි පහයි. අවුරුදු දෙකක් ඇතුලත උන් හැදුවා උන්ගේ ස්වර්ණ භූමි කියන එයාර්පෝට් එකේ ඉඳලා සිටි එකට ස්කයි ට්‍රේන් එකක්. ටැක්සියක යනවා නම් බාත් 300 යන එකට මේකේ යන්නේ 80 යි. වෙලාව යන්නේ ටැක්සියේ වෙලාවෙන් කාලයි. සිටි එකේ ඉඳලා කිමී 25 ක් විතර දුරට යන කම් ඒ ට්‍රේන් තියෙනවා. මම අවුරුදු හතක් ඇතුලත සෞඛ්‍ය වැඩ සටහන් වලට එහේ ගිහිං තියෙනවා 25 වාරයකට වඩා. ඉතිං මම දැක්කා අවුරුද්දෙන් අවුරුද්දට එහේ වෙන දියුණුව. වෙන නෙවෙයි බං එහේ රජතුමා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කරන දියුණුව. එහේ ඉන්නේ මෙහේ වගේ තමන්ම පත් කර ගත්ත රජවරු නෙවෙයි. උපතින්ම රජ පවුලේ අය. තායිලන්තය කවදාවත් කාටවත් යටත් උනේ නැති නිසා ඉස්සර තිබිච්ච රජ තනතුර එහෙමම තියෙනවා.

ඉතිං මම කියාගෙන ආවේ අපිටත් තායිලන්තයේ වගේ රටට ඒ වගේම රටේ මිනිස්සුන්ට ආදරය කරන රජ කෙනෙක් හිටියා නම් ඔය වගේ දේවල් අපිටත් ලැබෙනවා. මම කියපු කෝට්ටේ පාරේ කේස් එකම ගත්තත් කඩුවෙල ඉඳලා කොලඹ කොටුව වෙනකම් කිලෝ මීටරයක් ගානේ නවත්තන ස්කයි ට්‍රේන් එකක් දැම්මා නම් අර වාහන වල තනියම අය සේරමලා වගේ ඒකේ යයි. වෙලාව සල්ලි ඉතුරුයි. හිතේ සැනසිල්ල. පාකින් ප්‍රොබ්ලම් සේරම ඉවරයි. ඉන්ධන, අමතර කොටස්, වාහන ගේන්න පිට රටට යන මුදල ඉතිරියි. පරිසර දූෂණය අඩුයි. අර පවුල් පිටින් යන අය විතරක් කාර් වල යයි. ට්‍රැෆික් අඩු නිසා උන්ටත් බස් වලටත් ඉක්මනට යන්න පුලුවන්. හදන්න යන වියදම අවුරුදු පහ හයකින් විතර කවර් කර ගන්න පුලුවන්. ඒත් අපේ රජ වරු මොනවාද කෙරුවේ. නෙලුම් කුලුණු, නිකම් වහලා තියෙන සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා පිටි, මිනිස්සුන්ට වී වේලන්න අඩි 80 පාරවල්, දෙමවුපියන්ගේ සොහොන්, චීනාට පාවිච්චි කරන්න ඌට ඕන විදියට හදාපු වරාය. අඩු ගනනේ මේ වගේ එකක් චීනාට දීපිය උඹලාම හදලා උඹලාම ආදායම ගනිල්ලා කියලා. අර බූ BOO ක්‍රමය Build Operate and Own, හදලා ක්‍රියාත්මක කරන හා අයිති වන ක්‍රමය. එහෙම නැත්නම් බොට් BOT ක්‍රමය Build Operate and Transfer ක්‍රමය. මේ දෙවෙනි එකේදී හදන එකා කාලේකට පස්සේ ඒක ඒ රටට දෙනවා. ඔය ක්‍රම දෙකට තමයි වෙන රට වල කරන්නේ. මෙහෙ කෙලින්ම ඕන් Own තමයි. අර ගෝල් ෆේස් එකේ හොඳම ඉඩම වගේ කොච්චර ඉඩම් සින්නක්කරේට දුන්නාද. මොකක්ද ඒවායින් මේ රටේ සාමාන්‍ය මිනිහාට ඇති වාසිය.

ඔය වගේම පානදුරේ බැරි නම් මොරටුවේ ඉඳන්, රාගම ඉඳන් කොලඹට මේ වගේ ඒවා දැම්මොත් ඒක රටේ ආර්තිකයට මොන තරම් වාසියක්ද. ඒ උනත් කුමාර වරුන්ගේ න්‍යාය දූෂණය වැඩි කරලා ආර්තිකය දියුණු කරන එකනේ. එහෙම කිවුවා කියලා ඌත් එක්ක තරහා වෙන්න එපා බං. ඒ ඌ දන්න තරමනේ. ඒත් උන් වගේ එවුන්ට චන්දෙ දෙන්න එපා.

තායිලන්තයේ විතරක් නෙවෙයි එංගලන්තයේ, ඇමරිකාවේ, කැනඩාවේ තියනවා පොලොව යටින් යන කෝච්චි Underground Trains මැලේසියාවේ තියනවා එල්ලිලා යන කෝච්චි. වැඩිය ඕන නෑ බං ඉන්දියාවේ තියනවා සමහර තැන් වල උඩින් යන සමහර තැන් වල යටින් යන කෝච්චි. චෙන්නායි වල තියෙනවා උඩින් යන ඒවා. එතකොට පොඩි රටක් උනත් සිංගපූරුවේ තියනවා මේ වගේ ෆාස්ට් කෝච්චි. අපේ ඇමතිලා බයි පාස් කරන්න, අප්පච්චි කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න යන වෙලාවල වත් ඕවා දකින්නේ නැද්ද. ඔය මම කිවුවේ මම ගිහිං දැකලා තියන ඒවා. තව කොච්චර රට වල මේවා ඇද්ද.

තව සීන් එකක් මම දැක්කා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී. එහේ උදේ 7 ඉඳං 9 වෙනං සිටි එකට එන පාරවල් වල යන්න පුලුවන් බස් වලටයි බයිසිකල් වලටයි විතරයි. බස් ලේන් එකේ බස් යනවා. අනිත් ලේන් දෙකේම යන්නේ බයිසිකල්. කොල්ලෝ කෙල්ලෝ ගෑනු මිනිස්සු සේරම මීමැස්සෝ වගේ පාර පුරාම බයිසිකල් පැද ගෙන යනවා. 9 න් පස්සේ තමයි කාර් වලට යන්න පුලුවන්.

ඉතිං ඇයි බං මෙහේ ඉන්න ඈයෝ මේවා කරන්නේ නැත්තේ. මොකද උන් දන්නවා මේවා කලත් නැතත් උන්ගේ පක්ෂ වලට කොටු වෙලා ඉන්න වහල්ලු උන්ට චන්දෙ දෙනවා කියලා. ඉතින් උන් සෙරම එක්කෝ රට විකුණලා නැත්තං බැංකුවට වැඩක් දීලා ශපාන් එකේ ඉන්නවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී