සිරකරුවෙක් ලෙස සිටින හොඳ මිනිසා - 23.02.2018

මේ දවස් වල මට මාර ලෙඩක් හැදිල බං. රෑට නින්ද යන්නේ නැහැ. ඉතිං ඊයේ මට වයිෆ් එයාගේ ක්ලිනික් එකෙන් ගෙනල්ලා දුන්නා ටැබ්ලට් එකක් නින්ද යන්න. ඒ උනත් මම ඒක නොගෙන නිදි මත වෙනකං ටෙලියක් බලමු කියලා හුඟක් ඉස්සර මමම ටී වී එකෙන් රෙකෝඩ් කර ගත්ත අකාල සන්ධ්‍යා කියන කතාව බලන්න ගත්තා. මේක අතීතය, වර්තමානය හා අනාගතය කියන කලාත්‍රයේම යන්න පුලුවන් නාගසිංහ කියන කෙනෙක් හා බැඳුණු කතාවක්. මේකේ නාගසිංහ හැටියට ඇක්ට් කරන්නේ අපේ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි.

නිදි මත අහලකවත් නැති නිසා මම පැය පහක් දිගටම කතාව බැලුවා. අන්තිම හරියේ තිබුන ජවනිකාවක දෙබසක් මට නියමෙට අල්ලලා ගියා. මේ ජවනිකාව රූ ගත කරලා තිබුනේ කොලොන්නේ තියන මඩුවන්වල වලවුවේදී. මෙතන තියෙන්නේ අතීතයේ සිට වර්තමානයට ආපු නාගසිංහගෙන් වර්තමානයේ ජීවත් වන තරුණියක් අහනවා " මිනිස්සු හැමෝම හොඳ අයද මාමංඩී" කියලා. එතකොට නාගසිංහ කියනවා " හැම කෙනෙක් තුලම හොඳ මිනිහෙක් ඉන්නවා. හැබැයි හිර කාරයෙක් විදිහට. අපි හැමෝම මහන්සි වෙලා මේ සිරකරුවාව නිදහස් කරන්න ඕන දෝනී" කියලා. මෙන්න මේක තමයි මට අල්ලලා ගිය දෙබස. කොච්චර අර්ථාන්විතද. ඉතින් මේ කතාව බලන්න ඕන අය මේ වීඩියෝ එක අරගෙන බලන්න. මරු කතාව. ඒ වගේම අප තුල ඉන්නා සිරකරුවා නිදහස් කරන හැටි දැන ගන්න ඕන අය මේකේ ඉතුරු ටිකත් කියවන්න.

අපි හැමෝම උපදින කොට අපට තියෙන්නේ නිරෝගී ළදරු වියේ තියන සිතක්. ඒ වගේම අති විශාල පිරිසකට තියෙන්නේ නිරෝගී ළදරු වියේ තියන ශරීරයක්. මම විශාල පිරිසක් කිවුවේ කලාතුරකින් ශරීර ආබාධ තියන දරුවන් බිහිවන නිසා. මුලින්ම හැරෙන්නවත් බැරුව හිටි අපි ටිකෙන් ටික ශරීරය ශක්තිමත් කර ගන්නවා. හැබැයි ඒ පමණටම සිත ශක්තිමත් වන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇඟ ශක්තිමත් කර ගන්න ගන්නා උත්සාහයෙන් සීයට එකක් වත් සිත ශක්තිමත් කරන්න නොගන්න එක. කාලයක් යන කොට අපේ ශරීරයට ඇතුල් කර ගන්නා දේ වලින් අපට උපතින් ලැබුනු නිරෝගී ශරීරය අපිම රෝගී කර ගන්නවා. සිගරට්, මත් ද්‍රව්‍ය හා මත් පැන්, අහිතකර කෑම වගේම හිතකර කෑම වැඩිපුර ගැනීම වැනි දේ. අනිත් පැත්තෙන් සිතට ඇතුල් වන හා ඇතුල් කර ගන්නා දේ වලින් සිතත් රෝගී බවට පත් වෙනවා. තණ්හාව, ආශාව, තරහව, ඊර්ෂ්‍යාව, වෛරය වැනි දේ. ඉතින් අවුරුදු විසිපහක් තිහක් විතර වයස් වෙන කොට බොහෝ අයට තියෙන්නේ රෝගී හෝ රෝගී බවට පත්වෙමින් තිබෙන වැඩුනු ශරීරයක් හා රෝගී මෙන්ම නොවැඩුනු නොහොත් දුර්වල සිතක්.

අපි කුඩා කාලයේ සිටි මිනිසුන් බොහෝ දෙනෙක් ඉතා නිරෝගී හා ශක්තිමත් ශරීර තිබුනු අය. ඒ වැඩි දෙනෙකුගේ සිත්ද නිරෝගී මෙන්ම යම් පමණකට ශක්තිමත් වුවා. මේ හේතුව නිසාම ඔවුන් තුල සිටි අර ටෙලියේ නාගසිංහ කියපු හොඳ මිනිසා සිටියේ එලියේ. ඒ නිසා ඒ කාලයේ අපි හැම තැනම වගේ ඒ හොඳ මිනිසා දුටුවා. දොස්තරලා, ගුරුවරු විතරක් නෙවෙයි හුඟක් දේශපාලකයන් තුලත් ඒ හොඳ මිනිසා අපි දුටුවා. ඒ වගේම කාලයත් එක්ක ටිකෙන් ටික ඒ මිනිහා සිරගත වන සැටිත් අපි දුටුවා. මේ සිරගත වීම පටන් ගත්තේ 1977 න් පසුවයි.

මේ සිරකරුවා ආයිත් නිදහස් කරන්න නම් අපි සිත ශක්තිමත් කර ගත යුතු වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම සිත නිරෝගී කර ගන්න වෙනවා. ඒක කරන්න නම් අර මම මුලින් කියපු රෝග කාරක සිතෙන් අයින් කරන්න වෙනවා. හැබැයි ඒක ඒ තරම් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒකට ඉතා දැඩි වීර්යයක් තියෙන්න ඕන. රෝගී සිත කවදාවත් මොනවා කලත් ශක්තිමත් කරන්න බෑ. ඒක හරියට ලෙඩ ශරීරයක් ශක්තිමත් කරන්න කාය වර්ධන මධ්‍යස්ථානයකට ගෙනියනවා වගේ නිෂ්පල වැඩක්. ඉස්සෙල්ලා ඇඟේ තියන ලෙඩ ටික සනීපකර ගන්න ඕනෑ. ඇඟේ ලෙඩ සනීප කර ගන්න විදිය කියා දෙන්න ඕනතරම් දොස්තරලා ඉන්න නිසා මම ඒ ගැන කියන්න යන්නේ නෑ. හැබැයි නිරෝගී ශරීරයක් තියෙනවා නම් සිත ශක්තිමත් කර ගැනීම පහසු වෙනවා.

මම කිවුවානේ සිත ශක්තිමත් කර ගන්න නම් ඉස්සෙල්ලාම සිත නිරෝගී කර ගන්න ඕන කියලා. ඒක කරන්න නම් අර සිත රෝගී කරන තන්හාව, දැඩි ආශාව, වෛරය, තරහව වගේ දෙවල් අයින් කරන්න වෙනවා. ඒ වෙනුවට ආදරය, කරුණාව, වරදට සමාව දීම වගේ දේවල් ඇතුල් කර ගන්න ඕන. කොටින්ම කියනවා නම් අපි තුල යහපත් සංකල්පනා දියුණු කර ගන්න ඕන. එතකොට අපේ ක්‍රියාවන් හා වචන යහපත් වෙනවා අපිට නොදැනීම. එතකොට අපි වැරදි විදිහට ධනය හා මුදල් හම්බ කරන්න යන්නේ නැහැ. යන්නේ නැහැ නෙවෙයි යන්න සිත් දෙන්නේ නැහැ. මිනිසුන්ගේ මුදල් හොරා ගැනීම ඒවා ගසා කෑම, අවි ආයුධ හා මත් ද්‍රව්‍ය වෙළඳාම, මස් පිණිස සතුන් ඇති කිරීම හා මැරීම වැනි බොහෝ දේ වලින් වැලකෙනවා. කොටින්ම කියනවා නම් මුදල් සොයා ගැනීම සඳහා යහපත් කර්මාන්ත වල යෙදෙනවා, ජීවන ක්‍රමය යහපත් වෙනවා. මෙන්න මේ ටික වෙන කොට අපේ සිත නිරෝගී වෙනවා. දැන් ලේසියෙන්ම පුලුවන් සිත ශක්තිමත් කර ගන්න. ඒ සඳහා හැම තැනම දුවන සිත එක් තැන් කර ගත ඕන, එක අරමුණකට ගෙන එන්න ඕන. සිත ශක්තිමත් වෙන කොට අර සිර කරුවා අපි නොදැනීම නිදහස් වෙනවා. ඒකට හිලවුවක් හැටියට අපේ සිත තුල අසීමිත සතුටක් ඇති වෙනවා.

දැන් සමහරු කියන්න පුලුවන් මේ තියෙන සමාජ ආර්ථික ක්‍රමය තුල කොහොමද ඔය කියන දේවල් කරන්නේ කියලා. ඒකනේ බං මම මුලින්ම කිවුවේ මේක හරිම අමාරු දෙයක්. ඒකට දැඩි වීර්යයක් නැත්නම් වෑයමක් තියෙන්න ඕන කියලා. එහෙම වෑයමක් කරන්න බැරි නම් අපට මේ ජීවිතයේ බොහෝ දේ අහිමි වෙනවා.

දැන් වෙලාව පාන්දර හතර හමාරයි. පහ වෙන කොට මගේ නෝනා අවදි වෙනවා. මම මේ කාමරයට වෙලා ඉන්නවා දැක්කොත් ඔය ගෑනි ෂුවර් එකටම කියනවා " මොකද අනේ ඔයා ඊයේ රෑත් නිදා ගත්තේ නැද්ද. ඇයි මම ගෙනත් දුන්න ඩෝමිකම් ටැබ්ලට් එක බිවුවේ නැද්ද. මේ නහින දෙහින කාලේ නිදි මරලා ලෙඩක් හදා ගත්තොත් ඔන්න මම නම් නෑ කියලා හිතා ගන්න " කියලා. ඒ හින්දා මම දැන් යනවා නිදා ගත්තා කියලා ඇක්ට් කරන්න.

ඔබ සැමට ඉක්මනින්ම අර සිරකරුවා නිදහස් කරන්න ශක්තිය ලැබේවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී