Democracy - 111 - 10.05.2018

බොලා සමහරෙකුට මතක ඇති ඒ කාලේ තිබුනා හාල් පොත කියලා එකක්. ඒක අවුරුද්ද මුලදීම හැමෝටම දෙනවා. උපන් හැටියේ ලමයාට හිටං. ඒකේ තිබුනා පොඩි කොටු හැටක් විතර. එක කොටුවක් කියන්නේ එක සුමානයක්. සමුපකාර කඩෙන් හැම සුමානෙකම අර කොටුවක් කපා ගෙන හාල් සේරු දෙකක් දෙනවා සත 28 ගණනේ. සේරුවක් කියන්නේ කිලෝ එකකට පොඩ්ඩක් අඩුයි. ඊට අමතරව ළදරු පොතකට කිරි පිටි දෙනවා. අපේ ගෙදර හාල් පොත් 5ක් තිබුන නිසා අපිට හාල් සේරු 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ රාත්තල් විස්සක්. පවුලේ ලොකු එකා නිසා අම්මා මාව තමයි කඩේට යවන්නේ. ලොකු එකා කිවුවාට මට එතකොට 10ක් විතර ඇති.කඩේ මැනේජර් හිටියෙත් අන්ද්‍රයස් අප්පුහාමි කියලා අපේම නෑයෙක්. ඉතිං කඩේ පෝලිම තියන දවසට මම කඩේ තියන හාල් ගෝනි උඩ නැගලා වැඩ පෙන්නන්න ගන්නවා.. එතකොට මෑන් මුලින් මට බැනලා ඊට පස්සේ "මේ ළමය මේ ගෝනි ඇඟ උඩ පෙරලා ගත්තොත් මට තමයි මහ උන්ට වග කියන්න වෙන්නේ" කියලා පෝලිමේ නැතුව රුපියල් දෙකයි සත අසූවක් අරගෙන මට හාල් ටික ඉක්මනට දීලා යවනවා.

පස්සේ කාලෙක මම ගාල්ලේ ඩොකා වෙලා ගියාම එයාට මම අර විදියටම පෝලිමේ නොතියා බෙහෙත් දුන්නා. කඩේ සුදු හාල් තියන දවසට අම්මා කියලා තියෙන්නේ ඒවා කඩේටම දෙන්න කියලා. එතකොට පොර අර කූපන් පහ කපාගෙන හාල් සේරුවකට සත පනහ ගානේ දාලා මට රුපියල් දෙකයි සත විස්සක් දෙනවා. මම ඒක ගිහිං අම්මාට දෙනවා. අපි කවදාවත් කැකුලු ඇරෙන්න වෙන හාලක් කාලා නෑ. ඒ කාලේ අපේ ගමේ හිටියා ජිනෝනා කියලා ගෑනු කෙනෙක් උදේට ආප්ප තම්බලා විකුණලා ජීවත් වන. අර කඩේ අන්ද්‍රයස් කාරයා අර සුදු හාල් ජිනෝනාට විකුණනවා එකකින් සත පහක් තියාගෙන. පස්සේ කාලේක කොලඹ හැදිච්චි මගේ යාලුවා ගාල්ලට ඇවිල්ලා කැකුලු හාල් කන්න බෑ කිවුවාම මම කිවුවා එහෙනම් ඉතිං මාව අත අරින්න තමයි වෙන්නේ කියලා. ඔය දැන් අපූරුවට කන්නේ කැකුලු බත්.

බලහං බං අදත් පිට ගියානේ. කොච්චර හිතා ගෙන හිටියත් ඇතුලේම තියා ගෙන ඉන්නවා කියලා දන්නෙම නැතුව පිට යනවා.

මට මතක හැටියට 1968 දී විතර ලෝකයේ හාල් හිඟයක් ඇවිත් හාල් මිල වැඩි උනා. ඒ වෙලාවේ අගමැති ඩඩ්ලි සේනානායක මහත්තයා කලේ අර හාල් සේරු දෙක වෙනුවට එකක් නිකම් දෙන්න පටන් ගත්තා. විසි අට ගානේ සේරු දෙකක් දෙනවාට වඩා එකක් නිකම් දෙන කොට පිටරටින් ගේන්න වෙන්නේ අඩුවෙන් නිසා ආණ්ඩුවට වෙන පාඩුව අඩු කරන්නයි එහෙම කලේ. හැබැයි එතකොට පිට කඩ වල හාල් මිල වැඩි උනත් එකක් නිකං දුන්න නිසා මිනිස්සුන්ට ඒක ඒ තරම් දැනුනේ නෑ. ඔන්න ඕකෙන් තමයි මිනිස්සු ඩඩ්ලිට බත් දුන් පියා කියලා කියන්න ගත්තේ. ඩඩ්ලි රටේ මිනිසුන්ට පැහැදිලි කරලා කිවුවා හාල් වල ප්‍රශ්නය. ඒ කාලේ අද වගේ වැඩි වෙන කොට වැඩි පුර දීලා ගෙනත් මිල වැඩි කරන ක්‍රමයක් තිබුනේ නෑ අද වගේ. බඩු මිල වැඩි උනේ බජට් එකෙන් විතරයි.ඒ කාලේ දැන් වගේ බජට් එක කියලා බයිලාවක් කියලා පස්සේ දවසේ ඉඳං පරිපූරක ඇස්තමේන්තු දාලා සල්ලි ගන්න ක්‍රම තිබුනේ නෑ. ඇත්තටම බජට් හැදුවේ ඒ කාලෙයි. 77 න් පස්සේ ඔක්කොම වෙනස් වුනා. ඒ අවුරුද්ද පුරාවටම බජට් එකෙන් කියපු ගානට බඩු දෙනවා. ඩඩ්ලිත් ඇමතිලාත් තමන්ගේ හාල් පොත් රජයට දුන්නා අපට නිකං හාල් එපා කියලා. ඒ අනුව හුඟාක් මිනිස්සුත් පෝලිමේ ගිහිං තම තමන්ගේ හාල් පොත් දුන්නා නිකං හාල් එපා කියලා. එදා ඩඩ්ලිලා දීපු ආදර්ශය නිසා තමයි රටේ මිනිස්සුත් ඒ විදියට කලේ. //ඒත් බලාපල්ලා යුද්දේ දිනපු වෙලාවේ මම මගේ මාස හයක පඩිය දුන්නාට අප්පච්චිවත් එහෙම කලේ නෑනේ//. ඊට පස්සේ ඩඩ්ලි වී ගොවි තැන දියුණු කරන්න මහවැලි ව්‍යාපාරය පටන් ගත්තා. ඒක ප්ලෑන් කරලා තිබුනේ අවුරුදු 30 කින් ඉවර කරන්නයි.

1970 වෙන කොට මහවැලි ව්‍යාපාරය පටන් අර ගෙන තිබුනා පොල්ගොල්ලෙන්. හැමදාම උදේට මහවැලිය ගැන ලස්සන සිංදු රේඩියෝ එකේ යනවා. මේ දැන් යන ඒවා වගේ නෙවෙයි. දේශානුරාගය එන විදියට අමරදේව වගේ අයයි ඒවා කිවුවේ. මම හැමදාම උදේට අවදි උනේ ඒවා අහගෙනයි. ඒ එක ස්න්දුවක ලින්ක් එකක් මම දාලා තියනවා බොලාට අහන්න. ඒ කාලේ විපක්ෂ ඈයෝ කිවුවා උන්ගේ රේඩියෝ වැඩ කරන්නේ නැති වෙලා බලන කොට ඒවා ඇතුලේ ගොයම් ගස් පැල වෙලා කියලා.ඔය කාලේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය වමේ පක්ෂත් එකතු කර ගෙන සමගි පෙරමුණ කියලා එකක් හදා ගෙන රට පුරා වේදිකා වල කිය කිය ගියා අපි ආවොත් හාල් සේරු දෙකක් නිකං දෙනවා කියලා. එතකොට ඩඩ්ලි බොහොම අවංකවම ඇහුවා කියන්න දෙන විදිය එතකොට අපිත් දෙන්නම් කියලා. මට මතකයි එතකොට සිරිමා කියනවා අපි ආවොත් හඳෙන් හරි ගෙනත් හාල් සේරු දෙකක් දෙනවා කියලා. මේ වෙන කොට නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිහිං ඇවිල්ලත් අවුරුදු දෙක තුනයි ගිහිං තිබුනේ. සමහරු කිවුවා ඩඩ්ලි අහනවා අපි කොහොමද හාල් සේරු දෙකක් දෙන්නේ කියලා. අපි කියනවා අපි දෙන්නේ මැනලය කියලා. මේවා අහගෙන හිටපු පොරවල් චූන් වෙලා දෙනවා මාර ඇන්කෝර් එකක්. නිකං හාල් දෙන කතාව නැගලා යන කොට ජේ ආර් ඩඩ්ලිට කියලා තිබුනා අපිත් ටික කලක් නිකං සේරු දෙකක් දෙමු කියලා චන්දේ ඉවර වෙන කම්. ඒත් ඩඩ්ලි කියලා තිබුනා මට බෑ රටේ මිනිස්සු රවටන්න කියලා. මම හිතනවා එදා එහෙම කරලා ආණ්ඩුව බේරා ගත්තා නම් මහවැලිය එහෙම එන කොට ගොවි තැන් දියුණු වෙලා රට හරි යන්න තිබුනා කියලා.

ඔය කාලේ වෙන කොට එක දවසක් කෑගල්ල පැත්තේ කැලයක බෝම්බයක් පිපිරිලා කොල්ලෙක් මැරුණා. තව දෙන්නෙක් තුවාල උනා. මැරුණ කෙනා මැරෙන්න කලින් කියලා තිබුනා අපේ සටනට ජය වේවා කියලා. බලන කොට උන් ඉඳලා තියෙන්නේ බෝම්බ හද හදා. ඒ වෙන කොට ජනතා විමුක්ති පෙරමුන කියලා එකක් හදලා තියෙනවා කියලා ආරංචි තිබුනත් කවුරුවත් විස්තර දැන ගෙන හිටියේ නෑ. කොහොම හරි 1970 ජූනි තිබුනු චන්දෙන් ඩඩ්ලිගේ පක්ෂය ආසන මට්ටමින් හේදිලාම ගියා.ශ්‍රී ලංනි ප ට ආසන 91 ක් ලැබෙන කොට එ.ජ.පෙ ට තිබුනෙ ආසන 17 යි. හැබැයි චන්ද ගත්තහම එජාපෙ ට ශ්‍රිලනිපෙ ට වඩා චන්ද 50000 කට වඩා තිබුනා. මේ නිසායි 1977 දී ජේ ආර් සමානුපාතික චන්ද ක්‍රමය ගෙනාවේ. සම සමාජ පක්ෂයට 19 කුත් කොමියුනිස්ට් පක්ෂයට 6 කුත් දෙමල කොන්ග්‍රසයට 13 කුත් තිබුනා.ඔය විදියට සමගි පෙරමුණට තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් ලැබුනා. දකුණු පලාතෙන්ම යූ එන් පී ට තිබුනේ දහනායක මහත්තයා හිටපු ගාල්ල ආසනය විතරයි. ඒ කාලේ අපි ඒ ලෙවල් වලට පාඩම් කරන කාලේ මට මතකයි මහා දිග පෙලපාලියක් ආවා ගාල්ලට ගොන්නු ටිකකුත් අරගෙන ගාල්ලේ මිනිස්සු ගොන්නු කිය කියා.

අර මහවැලි සිංදුව මෙතන.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී