මා අවදියෙන් සිටියදීත් නිතර දකින සිහිනයක්. මෙය කවදා සැබෑ වෙයිද.

මම ඊයේ තවත් ආතල් හීනයක් දැක්කා. හීන නම් හැමදාම පෙනුනත් හුඟක් ඒවා මහ වල් ඒවා ඕයි. ඒකට ඉතිං මං මක් කොරන්නද ඉල්ලලා බලන්නේ නෑ නේ. පේනවානේ. මේ හීනේ මම රැයක් පුරාවටම දැක්කා. ඒ නිසා දවස් ගණනක් අහං ඉන්න වෙයි බොලාට. දිග වැඩියි කියලා හිතෙන එකෙක් ඉන්නවා නම් මගේ එක බලන්නේ නැතුව ගිහිං නිදා ගෙන තමන්ගේ එකක් බලපල්ලා. හැබැයි මේ වගේ හීන හැමෝටම පෙනෙයි කියලා මම හිතන්නේ නෑ. මට උනත් කොච්චර කාලේකට පස්සේද මේ වගේ එකක් පෙනුනේ. ඒකනේ පහු ගිය දවස් වල මම අර ඕන නැති දේවල් ලියලා අම්බානකට අහ ගත්තේ. ඔන්න අහ ගනිල්ලා මම දැකපු හීනේ.

එක රටක හිටපු දොස්තර කෙනෙක් ආණ්ඩුවේ රස්සාවෙන් කලින් පෙන්ෂන් අරගෙන හිමාලයට ගිහිං අවුරුදු 20 ක් විතර එහේ ඉන්න සෘෂි වරුන් එක්ක අනෝතත්ත විල අද්දර ඉඳ ගෙන ධ්‍යාන වඩලා හොඳ මානසික වගේම ආධ්‍යාත්මික ශක්තියකුත් වර්ධනය කර ගෙන ආපහු තමන්ගේ රටට ආවා. ඒ වෙන කොට ඒ රටට වෙන්න තියන සේරම වින්නැහි වෙලා ඉවරයි. යන කොට තිබිච්චි රට නෙවෙයි. ඒකෙ ඉන්න පාලකයෝ රටෙන් කෑලි කෑලි එක එක රටවල් වලට විකුණලා ඒවායින් නොසෑහෙන කොමිස් ගහ ගෙන ඒ සල්ලි වලින් වෙන වෙන රට වලින් කෑලි අරගෙන. රජ්ජුරුවෝ දූපත් පිටින්ම අරගෙන. කුමාර වරු තට්ටු සිය ගනන් උස හෝටල් බැංකු එහෙම අරගෙන ඒ බැංකු වලින් උන්ගේ රටටම ණයත් දෙනවා. මේක දැකලා අර ධ්‍යාන පොරට හිතුනා ඔය ඉතුරු කාලෙත් ආපහු හිමාලයටම ගිහිල්ලා ඉන්න. ඒත් එහේ ගිහිං කරන්න දෙයකුත් නැති හිංදා මෙහේට වෙලා මොනවා හරි කරමු කියලා නැවතුනා.

එවෙම නැවතිලා මිනිහා උපන් ගමට ගියා. ගිහිං බලද්දී ඉස්සර අපූරුවට අස් වද්දපු කුඹුරු සේරම පුරන් වෙලා. පොල් ගස් කනාටු වෙලා. කිසිම වගාවක් පේන්නවත් නෑ. තේ වතු අත් ඇරලා දලු කඩන්න තණකොල නෙලන්න අය නැතුව. බෙහෙතකට ගන්න ගන්න වත් හරකෙක් ඉතුරු වෙලා නෑ අරාබි කාරයෝ සේරම අරං ගිහිං මරා ගෙන කන්න. ගමේ හුඟාක් කට්ටිය ටිකක් ඈත තිබුනු චීන කොම්පැනි දෙක තුනක වැඩට යන අතරේ තරුණ කොල්ලෝ ඈත කඳුකරේ තියන අරාබි කාරයෝ කැලෑව කපලා අලුතිං හදා ගෙන යන අරාබි ගම්මානයක වැඩට යනවා. හැබැයි උන් ගමට එන්නේ සතියකට එක දවසයි හුඟාක් එවුන් එන ගමන්ම ඉන්දියන් කාරයින්ගෙන් ගත්ත කේරල ගංජා ගෙනත් ඒක ගහලා නිදා ගන්නවා. ගමේ ඉතුරු වෙලා හිටියේ වයසක ගෑනුයි ළමයිනුයි. අනිත් ගෑනු සේරම වගේ අර අරාබි කාරයින්ට ආතල් දෙන්න ගිහිල්ලා. උන්ගේ දරුවෝ බලා ගන්නේ අර වයසක ආත්තම්මලා. හුඟාක් ලමයි අම්මාව දකින්නේ මාස ගානකට සැරයයි. තාත්තා සතියකට සැරයක් ආවත් ගංජා ගහලා දවසම බුදියා ගෙන ඉඳලා පහුවදාම උදේ ආපහු යනවා.

ඒ කාලේ වෙන කොට චීන්නුන්ට, අරාබින්ට, ඉන්දියන් කාරයන්ට වදින්න ගරු කරන්න සමහරු පුරුදු වෙලා හිටියා. උන්ට අරුන්ගේ කොම්පැනි වල ඕවර්සියර් තනතුරු වගේ ඒවා දීලා තිබුන නිසා උන් ගමේ එවුන්ගෙන් නොසෑහෙන්න වැඩ ගත්තා ලොක්කන්ව සතුටු කරන්න.

මේවා දැකලා අපේ ධ්‍යාන දොස්තර කල්පනා කරා මොකක්ද කරන්න හොඳම දේ කියලා. මෑන් හිතුවා පටන් ගැන්මක් හැටියට ෆේස් බුක් එකේ බ්ලොග් එකක් දාමු කියලා. ඒත් ගමේ ඉන්න එවුන්ට බ්ලොගක් තියා පාරේ තියන බොගග් වත් බලා ගන්න විදියක් නෑ ලයිට් නැති හිංදා. සේරම විදුලිය අර චීන්නුන්ගේ කොම්පැනි වලට අරගෙන. ඒ නිසා බ්ලොගේ අදහස අත් ඇරියා. ඒ පලාතෙන්ම ලයිට් තිබුනේ එහේ ඉන්න ප්‍රාන්ත රජ්ජුරුවන්ගේ ගෙදරට විතරයි. මෑන් හැබැයි ගෙදර පිටිපස්සට වෙන්න එලියේ අඟල් 35 හේ බිජ්ලි කියන ඉන්දියන් ටී වී එකක් හයි කරලා තියෙනවා අහල පහල වයසක ගෑනුන්ට නාග කන්‍යා, අධිරජ ධර්මාශෝක, මේ ආදරයයි, ප්‍රේම දඩයම වගේ ඉන්දියන් ටෙලි බලන්න. ගෙට ඉස්සරහා පාරේ අනිත් පැත්තේ වයින් ස්ටෝර්ස් එකක් දාලා තියනවා මිනිහාගේ පුතා. එතෙන්ටත් විදුලිය තියෙනවා. හවස 6 න් පස්සේ එතන පෝලිම කඩන එවුන් නවත්තන්න ප්‍රාන්ත රජ්ජුරුවන්ගේ උපදෙස් අනුව පොලිසියෙන් එස් පී කෙනෙක්ව දාලා තියෙනවා. ඊට පිටි පස්සේ තියන දෙනියේ තියනවා ලෝකල් බඩු. වයින් ස්ටෝස් එකේ එලිය යන්තම් වැටෙන එතෙන්ට ගමේ එවුන් ටික දෙනෙක් එනවා ලාබෙට ආතල් ගන්න. ඒක රන් කරන්නේ ප්‍රාන්ත රජ්ජුරුවන්ගේ අන්ත:පුර කාන්තාවකගේ කොල්ලෙක්.

මේ සේරම කරුණු හොයාගෙන අපේ ධ්‍යාන දොස්තර ගමේ ඇවිදින්න ගියා. කාලෙකින් ගමට ආවේ නැති නිසා කවුරුත් මිනිහා ඇඳින්නේ නෑ. ඔහොම යන ගමන් මෑන්ගේ අධ්‍යාත්මික බලයෙන් මිනිහා නෝට් කර ගත්තා යමක් තේරුම් ගන්න බුද්ධියක් තියෙන ඈයින්ව. මිනිහා හිතුවාට වඩා ලොකු ගණනක් හිටියා ඒ වගේ තේරුම් ගන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ. ඊට පස්සේ පොර ඉන්දියන් සෘෂි වරයෙක් වගේ වෙස් වලාගෙන ගහක් අයිනට වෙලා ඉන්න කොට පොරවල් ඇවිත් වඳින්න පුදන්න පටන් ගත්තා. ඔහොම ටිකෙන් ටික කට්ටිය වැඩි වෙන කොට මෑන් ඒ එන අයට හිත එකඟ කර ගන්න ක්‍රම කියාදීලා තමන්ගේ අධ්‍යාත්මික බලයෙන් උන්ගේ සිත් වෙනස් කරලා තමන් කවුද කියන එකත් පහදලා දීලා කිවුවා උඹලා දන්නේ නෑ මේ ගම මීට අවුරුදු විස්සකට තිහකට කලින් තිබුනු හැටි. මේ තරම් සශ්‍රීක ගමක් මේ පලාතේවත් තිබුනේ නෑ. උඹලාට ඔය චීන්නුන්ගේ අරාබි කාරයින්ගේ වැඩ කාරයෝ වෙන්න ඕන නෑ. උන්ට වෙන මහන්සියෙන් අපි ගම හදමු කියලා කොල්ලෝ කෙල්ලෝ සීයකින් විතර පටන් ගත්තා මුලින්ම පුරං වෙලා තිබුණු කුඹුරු ටික අස්වද්දන්න. පරණ තිබුණු දේශීය ක්‍රම වගේම කීඩෑ මර්ධනයට කරන කෙම් ක්‍රම යොදා ගත්තා. ඒ වගේම දවසේ වැඩ පටන් ගත්තේ සිත පිරිසිදු කර ගෙන අපගේ මේ වෑයම මේ ගමත් ඊට පස්සේ මුලු රටත් දියුණු කරන එක මිසක් පුද්ගලික වාසිය සඳහා නොවේ කියලා තමන්ගේම සිතට පොරොන්දුවක් දෙමින්. ඒ කිසිම කෙනෙක් මත් පැන් වගේ ශරීරයට අහිතකර කිසි දෙයක් ගත්තේ නෑ. කුඹුරු වල නියරවල් පළලට හදලා ඒවා මැද කෙසෙල් දෙපැත්තේ එලවලු පලා වර්ග වගා කෙරුවා. ඒ වගේම හුඟාක් ප්‍රෝටීන් තියන මාලු වල රස තියන කෑම වර්ගයක් හැදුවා එලවලු වලින්. අර කට්ටියගේ සිතේ බලයත් කැප වීමත් නිසා මාස 4 ක් යනකොට හිතා ගන්න වත් බැරි තරම් ලොකු අස්වැන්නක් ලැබුනා. මේවා දැකපු අනිත් අයගෙන් බාගයක් විතර ටිකෙන් ටික මේ පැත්තට හැරුනා. ඒ වගේම අහල ගම් වල හිටපු සමහරුත් මේක අහලා ඇවිත් ධ්‍යාන දොස්තර හම්බ වෙලා සිත ගත හදා ගෙන තම තමන්ගේ ගම් දියුණු කරන කොට නිසා මුලු ගම්මාන ඔක්කොම එකට එකතු වෙලා විශාල ප්‍රදේශයක් උනා.

කලක් යන කොට රටේ උතුරු පලාතෙනුත් රට මැදිනුත් සෑහෙන තරුණ කොල්ලෝ කෙල්ලෝ පිරිසක් ඇවිත් අර සිත දියුණු කරන ක්‍රමයත් පැරණි වගා කිරීමේ ක්‍රමත් ඉගෙන ගෙන උන්ගේ පලාතට ගිහිං මිරිස්, ළුුණු, උක්, වී මිදි වගේ වගාවන් කරන්න පටන් ගත්තාම ඒවත් අර වගේම හිතන්න වත් බැරි තරමට දියුණු උනා. අර ධ්‍යානයාගේ ඉගැන්වීම් නිසා ඒ සෑම කෙනෙකුගේම සිතේ ලොකු අධිෂ්ඨානයක් ඇති වෙලා තිබුනා මම මේ සියල්ල කරන්නේ මා වෙනුවෙන් පමණක් නෙවෙයි රට වෙනුවෙනුත් කියලා. ඒක එහෙම උනේ තමන්ගේ ගුරුවරයාත් ඒ විදියටම කරනවා දැකපු නිසා. ඒ දුන් ආදර්ශය නිසා. උන් කලින් දැකලා තිබුනේ උන්ට රට වෙනුවෙන් ටිකක් දුක් විඳින්න කියලා බණ කියලා තමන් රටත් විකුණගෙන කාපු රජ වරුන්. ඒ නිසා උනුත් උන්ට පුලුවන් විදියට ගහන්න පුලුවන් තැන් වලින් ගහ ගත්තා. මේ අලුත් වෙනස ගැන ආරංචි වෙලා කලකට කලිං එහේ තිබුණු යුද්ධයක් නිසා රටින් පැනලා ගිහිං හිටපු හුඟ දෙනෙක් ආපහු ඇවිත් උන් එනකොට ගෙනාපු සල්ලි යොදවලා පොඩි පොඩි එක්ස්පෝර්ට් වැඩ පටං ගත්තා. ඊශ්‍රායලය කියන රටේ ඉඳලා ආපු අය මෙහේ ඇවිත් වියලි ප්‍රදේශ වල ඩිප් ඉරිගේෂන් ක්‍රමයට වගා කටයුතු කරා.

ඒත් රටේ මැද පලාතින් ආපු අය ධ්‍යාන දොස්තර ලඟ වැඳ වැටිලා ඒ ගොල්ලන්ගේ පලාත් වල බාගයක විතර අරාබි කාරයෝ කැලෑ සේරම කපලා තේ ගස් උගුලලා දාලා ඒවායේ අරාබි ගම්මාන හදන නිසා මේ ගොල්ලට වෙලා තියෙන්නේ ඒවායේ රස්සාවට යන්නයි එහෙම ගියාම අර අරාබි බාබාලාගෙන් උන්ගේ තරුණ කෙල්ලෝ පරිස්සම් කර ගන්න බැරි නිසා ඒ ගොල්ලන්ටත් මේ ගමේම ඉන්න ඉඩ දෙන්න කියලා කිවුවාම මෑන් හැන්දෑවේ ගමේ ඉන්න කට්ටිය සේරටම එන්න කියලා ඇහුවා මේ අය මෙහේ නවතින්න අහනවා උඹලා මොකද කියන්නේ කියලා. උන් කිවුවා උන් කිවුවා අපි කවුරුත් මනුස්සයෝනේ ඒ නිසා අපි වගේ වැඩ කර ගෙන ඉන්නවා නම් අකමැත්තක් නෑ කියලා.

ඒ පාර උන් ලවා අනිත් ගම්මාන වල තිබුණු අර කණාටු වෙලා තිබුණු තේ වතු වල ඕගනික් organic ක්‍රමයට අලුතින් තේ වගා කරලා වහලා දාලා තිබුණු ෆැක්ටරි හතරක වැඩ පටන් ගත්තා. අම්මට සිරි මේකත් නැගලා ගිහිල්ලා පිට රට වලින් ඕගනික් තේ organic tea වලට ඉල්ලුමක් ආවා කර ගන්න බැරි තරම්. මේවායින් ලැබුණු සල්ලි වලින් කොටසක් මිනිස්සුන්ට එක සමාන විදියට දීලා ඉතුරු ඒවායින් ගෙවල් හදන්න අර ධ්‍යාන දොස්තර කටයුතු කරා. ඒ ගෙවල් ජ්‍යේෂ්ඨත්වය අනුව කට්ටියට බෙදලා දීලා තමන්ටත් එකක් ගත්තා. තමන්ට කියලා මාලිගාවල් හදන්න ගියේ නෑ. වැඩි කලක් යන්න කලිං ඒ ප්‍රදේශයේ හැම කෙනෙකුටම ගෙයක් ලැබුනා නොමිලේ ගෙට ඕන කරන අනිත් බඩුත් එක්ක. ඒවා ඔක්කොම කලේ අර සාමූහික පොදු මුදල් වලින්. ඒ වගේම මිනිස්සුන්ට ගමනක් යන්න ඕන උනහම පාවිච්චි කරන්න වාහන පූල් එකක් තිබුනා. ඕනම කෙනෙකුට ගමනක් යන්න ඕන වුනොත් එයින් එකක් අරගෙන යන්න පුලුවන් සුලු ගානක් ගෙවලා. ධ්‍යානට ගමනක් යන්න ඕන උනාම පොර කලෙත් ඒකමයි. ඒ නිසා කාටවත් තමන්ට කියලා වාහන ගන්න ඕන උනේ නෑ. ඒ වගේම සේරම දේවල් අර පොදු ගිණුමෙන් දුන්න නිසා කිසි කෙනෙක් අතරේ පිම්බෙන්න තරඟයක් ඇති උනේ නෑ. මොකද උන් සේරම පටන් ගන්න කොටම තමන්ටම පොරොන්දුවක් දුන්නා නේ මම මේ කරන්නේ මට පමණක් නෙවෙයි රටටත් එක්ක කියලා. ඒ වගේම තමන්ගේ ගුරුවරයාත් ආදර්ශයෙන්ම ඒක පෙන්නලා තිබුනානේ. ඒ නිසා උන්ගේ වියදම් හරිම අඩු උනා වගේම සල්ලි වලට කාගේවත් කෑදර කමක් ඇති වුනේ නෑ. මිනිස්සු හොඳට මහන්සි වෙලා වැඩ කරන නිසාත්, සිගරට් අරක්කු බොන්නේ නැති නිසාත් ඒ වගේම කන්නේ තමන්ම වගා කරපු වස නැති කෑම නිසාත්, මස් මාලු කන්නේ නැතුව අර ප්‍රෝටීන් කෑම ගන්නා නිසාත්, සිත පිරිසිදු නිසාත් උන්ට ලෙඩ හැදුනේ නෑ. ඒ නිසා ඉස්පිරිතාල හැදුවේ නෑ. ඔය හදිසි තුවාලයක් උනොත් බෙහෙත් ටිකක් දාගන්න තැන් කීපයක් විතරක් හැදුවා.


මෙහෙම වැඩ කෙරී ගෙන යන කොට අර චීන්නුගෙයි අරාබි කාරයින්ගෙයි වැඩ කර ගන්න මිනිස්සු නැති වෙලා උන් ගිහින් රටේ රජ්ජුරුවන්ට කිවුවාම අපි මෙහාට ආවේ ලොකු ගානක් වියදම් කරලා. දැන් අපිට මිනිස්සු හිඟය නිසා මේවා වහන්න වෙලා තියෙන්නෙ ඒ නිසා උදවු කරන්න කියලා රජ්ජුරුවෝ කිවුවා ඔය වගේ ඒවා හැන්ඩ්ල් කරන්නේ යුව රජ්ජුරුවෝ නිසා එයාට කියන්න කියලා. යුව රජ්ජුරුවෝ ලඟට ගියාම මෑන් කිවුවා උඹලා මෙහාට එන කොට හිටපු එවුන්ට ගිහිං ඕවා කියපල්ලා මොකද උඹලා මෙච්චර කාලෙකට අපට එක හූණු බිජ්ජක් තරම් දෙයක් දීලා තියනවාද අපි මේ යන්තම් ශේප් වෙලා ඉන්නේ අර භාණ්ඩාගාරයට පොඩි ගේමක් සෙට් කරලයි. අර රට මැදට කෙල ගෙන යන්න හදන පාරෙනුයි. ඒ උනත් ඒක අපේ එවුන්ට හැරෙන්න වත් මදි. තාම අපිට අපේ කියලා දූපතක් වත් ගන්න බැරි උනා කියලා අඩු තරමින් කලු කෝපි එකක් වත් නොදී අරුන්ව එලවා ගත්තා. හැබැයි උන් ටික ආවේ මුන්ටත් ගානක් දෙන්න හිතා ගෙනයි. ඒත් උන්ට ඒක තේරුණේ නෑ.

ඒ උනාට කලිං හිටිය එවුන්ගේ රජාගේ මල්ලි කෙනෙකුයි පුතෙකුයි හිටියා ඕකට නම් දරාපු. තමන් ලඟට එන එකා ලඟ මුකුත් නැත්තං උන්ට නොදැනී උන්ගේ ඔලුව උනත් ගලව ගන්න ආට් එක මේ දෙන්නා දන්නවා. තමන්ගේ ඔලුව ගලව ගෙන කියලා අරුන් දැන ගන්නේ පල්ලෙහා තියන කඩේට ගිහිල්ලා ප්ලේන්ටියක් ගහන්න බලන කොටයි. ඒ වගේම ඒ ගොල්ලන්ට හිටියා මේ වගේ වැඩ වලට උදවු කරන දක්ෂ ආච්චි කෙනෙකුත් ලෑසි කියලා. දැන් ඉන්න එවුන් ලඟ ඒ වගේ දක්ෂයෝ හිටියේ නෑ. උන් යමක් කරන්නේ හතර වටේටම ගා ගෙනයි.

ඉතිං අරාබි කාරයෝ ටිකයි චීන්නු ටිකයි කතා කර ගත්තා මුන් නම් යමක් තේරුම් ගන්න පුලුවන් ඈයෝ නෙවෙයි. ඒ හින්දා අර කලින් හිටපු එවුන්ට ආයිත් එන්න සපොර්ට් කරමු කියලා අර හිටපු රජ්ජුරුවන්ගේ පුතා හම්බ වෙන්න යන කොට මිනිහා ශෝටකුත් ගහ ගන පන්සලක් පේන්ට් කරනවා. කොල්ලෝ සෙට් එකකුයි, මවු බිසවයි මොකුත් නොකර වටේට ඉඳං බලා ගෙන ඉන්නවා. නියපොතු වවලා පාට කරලා අඩි උස සපත්තු දාලා නියම මොඩ් ඇඳුම් ඇඳ ගත්ත කුමාරිකාවෝ සෙට් එකක් ඇඟිලි තුඩු වලින් වැලි කඩදාසි අරගෙන බිත්ති වල හුණු කපනවා. චීන්නුන්ට මාර ආතල් මේවා දැකලා මොකද උන්ගේ රටේ මේ වගේ වැඩ නෑනේ. විඩියෝ පොරවලුත් ෆුල් බිසි.

ටික වෙලාවක් බලා ගෙන ඉඳලා චීන්නුයි අරාබි කාරයොයි ගියා පස්සේ එමු කියලා. ගිහිං ප්ලේන්ටියක් ගහලා මලක් එහෙම ඇදලා ආපහු එන කොට මෙන්න යකෝ අර රජ කුමාරයා ගහක් යට තියෙන ගලක් උඩට වෙලා ගැඹුරු භාවනාවක යෙදිලා ඉන්නවා. විඩියෝ සෙට් එක ඈතින් ඉඳගෙන මෑන්ව කවර් කරනවා. පස්සේ චීන්නු කීප දෙනෙක් එතන ලඟ හිටපු කෙනෙකුගෙන් ඇහුවා අරූ කීයට විතරද නැගිටින්නේ කියලා. ඌ කිවුවා අපෝ කුමාරයා දැන්ම නැගිටින්නේ නෑ. දැන් තමයි ඔය කිරි එක බීලා මලක් ඇදලා වාඩි උනේ හෙට තමයි ආයේ නැගිටින්නේ කියලා. පස්සේ දවසේ අරුන් ටික ආයිමත් එන කොට අර බේබි ලොකු හතරැස් වලක් ඇතුලේ ඉඳ ගෙන ඒක හාරනවා. ඇඟේ දාඩිය පොදක් නෑ. හොඳ ඇඟ පත තියෙන දාඩිය නාපු කොල්ලෝ සෙට් එකක් වල වටේට ඉඳ ගෙන බේබි වල කපන හැටි බලන් ඉන්නවා. එකෙක් යන්නේ නෑ උදවුවට වැරදිලාවත් විඩියෝ එකට වැටෙයි කියලා බයට.

මේවා දැකලා චීන අරාබි සෙට් එක කතා කර ගත්තා මේ වගේ ගොන් පාට් දාලා නම් මුන් කවදාවත් එන්නේ නෑ ඒ හින්දා ආයිමත් දැන් ඉන්න පොරවල් ටික කොහොම හරි බා ගම්මු කියලා ක්‍රමයක් කල්පනා කර කර ඉන්න කොට සෙට් උනා වෙනම ඉන්න 16 දෙනෙකුගේ සෙට් එකක් උන්ට අර භාණ්ඩාගාර ගේමෙන් හිතා ගෙන හිටපු තරම් වාසියක් ලැබුනේ නැති නිසා එලියට වෙලා ඉන්නවා. අරුන් ටික මුන්ට කිවුවාම ආපු කාරණාව මුන් ටික ආපහු ඇතුලට ගිහිල්ලා යුව රජ තුමාට කිවුවා හොඳ ගේම් එකක් තියෙනවා කල්පනා කරලා ගහනවා නම් හැබැයි ගිය පාර වගේ බෑ මේ පාර අපට හොඳට ඕන කියලා එතුමාව කැමති කරවා ගෙන අර චීන අරාබි සෙට් එක එක්කන් ආවා. උන් කිවුවා අර ධ්‍යාන දොස්තර ගමට ආවාට පස්සේ වැඩට මිනිස්සු නැතුව අපි වැලේ වැල් නැතුව ඉන්නේ ඒ නිසා මොනවා හරි කරන්න කලින් හිටපු රජ තුමා අපිට කිවුවේ සේරම බලා ගන්නම් කියලයි කියලා රහසින් වගේ කිවුවා ඔය ගොල්ලන්ටත් දූපත් දෙක තුනක් ගන්න උදවු කරන්නම් කියලා.

ඒ පාර යුව රජ තුමා අර ගමේ ප්‍රාන්ත රජ්ජුරුවන් ගෙන්නලා මේකට මොනවා හරි කරන්න මුන් ටික උඹටත් සලකයි කිවුවාම මෑන් කිවුවා උන්ගේ විතරක් නෙවෙයි මගේත් බිස්නස් බැහැලා. දැන් හවසට තියෙන පෝලිමත් බාගෙට අඩුවෙලා අර එස් පීත් ඥරු ඥුරු ගානවා ඌට දීපු ගාන අඩු කරා කියලා. මම බැලුවා ධ්‍යානයාට ගේමක් දෙන්න ඒ උනාට ඌට මොකක් හරි බලයක් තියෙනවා. මම කොල්ලෝ දෙන්නෙක්ව ඇරියා බෝම්බයක් දීලා ඒත් ඒක පිපිරිලා උන් දෙන්නා ඉවර උනා. ඊට පස්සේ ස්නයිපර් කෙනෙක්ව ඇරියා. උගේ තුවක්කුව බැක් ෆයර් වෙලා උගේ ඔලුවත් කඩා ගෙන ගියා. අපරාදේ මගේ ලඟ හිටපු හොඳම එකා දැන් මගේ අත කැඩුනා වගේ කියලා. මම දැන් ප්ලෑන් කරලා තියෙන්නේ ධ්‍යානයාට වැඩ කරන එවුන්ට නොමිලේ බොන්න දීලා උන්ට තියනවාය කියන බලය නැති කරන්න. ඒ නිසා සර්ලා ඒකට මට ගතම් දෙන්න කියලා. මේක අහලා අරාබි චීන සෙට් එක කිවුවා ඒකට සෑහෙන කල් යනවා ඒ කාලේ සුද්දනුත් ඕක කරලා තියෙන්නේ හරි අමාරුවෙන් එහෙනම් එතකන් අපට වෙන මොනවා හරි දෙන්න නැත්තම් අපේ රටින් ආපු සෙට් එකට කන්න දීගන්නවත් බැරි වෙනවා අනික උන් නිකං ඉඳලා පුරුදු එවුන් නෙවෙයි නිසා ආපහු අපේ රටට යන්න ඕන කියයි කියලා. කියලා.

ඉතිං යුව රජ තුමා කිවුවා දැන් නම් දෙන්න දෙයක් නෑ මොකද කලින් හිටපු එවුන් මොකුත් ඉතුරු කරලා නෙවෙයි ගිහින් තියෙන්නේ කියලා උඹලා දන්නවානේ. අනික අර රට මැදට කෙල ගෙන යන පාර හදන්න දුන්නෙත් බොලාගේ එකෙකුටම නේ දැන් ඉතිං දෙන්න දෙයක් නැතුව තමයි අපිත් මේ කල්පනා කර කර ඉන්නේ කිවුවාම උන් කිවුවා එහෙනං අපට නැව් තටාංගනයයි වාරියපොලයි රජ තුමාට කියලා අරං දෙන්න කියලා. එතකොට යුව රජ තුමා කිවුවා වාරියපොල අපි දැනට පාවිච්චි කරන්නේ වී ගබඩා කරන්නයි ඒත් අපි මොනවා හරි කරන්නම් රජ තුමාගෙන් අහන්න දෙයක් නෑ. මොකද රජතුමා යමක් කරන්නෙත් මගෙන් අහලා තමයි කියලා.
සතියකට විතර පස්සේ යුව රජ්ජුරුවෝ තමන්ගේ ගාන කතා කර ගෙන නැවු තටාංගනය චීන්නුන්ට දුන්නා. ඒක අරගෙන උන් කිවුවා අපිට හරි අසාධාරණයක් උනේ මේක හැදුවෙත් අපි. එතෙන්දි ගානෙන් හරියටම බාගයක් කලිං හිටපු රජතුමාට දෙන්න උනා. දැන් අපට අද මේක ගන්න උනේ ඒ ගාන ආයිමත් දීලයි. මෙහෙම එකක් අපිට කොතනකදි වත් වෙලා නෑ. හැබැයි මේ පාරත් අපිට කොකා පෙන්නුවොත් අපේ රජතුමාට කියලා රටම අල්ලනවා කියලා තර්ජන පාරකුත් දාලා ගියා. ඊලඟට වාරියපොල අරාබීන්ට දෙන ගමන් යුව රජා ඕකේ තියන වී අපට හදිසියේ අයින් කර ගන්න බැරි උනා ඒ හින්දා උඹලාට ඕන දෙයක් කර ගනිල්ල කියලා කිවුවාම උන් ඇහුවා එතකොට රටේ මිනිස්සු කන්නේ මොනවාද කියලා. යුව රජ්ජුරුවෝ කිවුවා අපි උන්ට තණකොල කාලා පුන්නක්කු වීදුරුවක් බොන්න පුරුදු කරලයි තියෙන්නේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ කියලා. යන ගමන් අරාබි පොරවල් ඇහුවාම ඇත්තද රජතුමා මේ වගේ වැඩ වලට කැමති නෑ කියන්නේ කියලා යුව රජා කිවුවා ඒ ගැන බය වෙන්න එපා එයා මට උඩින් යන්නේ නෑ. මොකද අපේ සේනාවෙන් වැඩි හරියක් ඉන්නේ මගේ ඈයෝ එයාට ඉන්නේ දෙතුන් දෙනයි. ඒවාත් හරියට වේලිච්ච පොල් අතු වගේ කොයි වෙලේ වැටේද දන්නේ නෑ. ඒ නිසා ඒ ගැන කරදර වෙන්නේ නැතුව වැඩ ටික කර ගෙන යන්න. හැබැයි අර දූපත් දෙක තුනයි නැවු ටිකයි කිවුව විදියට තියෙන්න ඕන කියලා උන්ව යවලා පොර ගියා කලු කෝපි එකක් බොන්න කුස්සියට.

යන කොට යුව රජ තුමාගේ බිසව කම්මුලේ අත තියාගෙන කල්පනා කර කර ඉන්නවා දැකලා මෑන් ඇහුවා ඇයි ඔයා අප් සෙට් එකෙන් ඉන්නේ කියලා. එතකොට බිසව කිවුවා මොකක්ද ඔබ තුමා මේ කරන වැඩ. ඔබතුමා ආවේ අර චෞර රජාටයි ඔහුගේ පිරිසටයි දඬුවම් කරනවා කියලා නේද. ඒ උනාට ඔබතුමා කරන්නෙත් ඒකම නේද කියලා. අනික මොකටද ඔය වස්තුවයි දූපතුයි මොකද අපට දරු කුමාරයෙක් වත් ඉන්නවාද කියලා. අනික ඔබ තුමා මෙහෙම කරන කොට මම තක්සලාවට ගිහිල්ලා මගේ ගෝලයින්ට මොනවාද කියන්නේ උන් අහන දේවල් වලට කියලා මාර දෝස් මුරයක් දැම්මා.එත කොට යුව රජා කිවුවා මගේ වැඩ වලට බිසව අත දාන්න එපා. මම ඔබගේ තක්සලාවේ වැඩට අත දාන්නේ නෑනේ. ඒ හින්දා ගිහින් දාසියකට කියන්න මට කලු කෝපි එකක් ගේන්න කියලා. මම යනවා වොශ් එකක් දා ගන්න අර අරාබි කාරයින්ගේ ගඩුගඩා ගඳ මගේ ඇඟ පුරාම කියලා මෑන් බාත් රූම් එකට ගියා.


ප්‍රාන්ත රජා කොයි තරම් ට්‍රයි කලත් ගම්මාන වල මිනිස්සු නොමිලේ දීලා හරි බොන්න පොලඹවා ගන්න ඒක හරි ගියේ නෑ. ඒ අතරේ ධ්‍යාන දොස්තර ගම්මාන වල හිටපු ඒ වගේම ඉන්න වෙද මහත්වරුන්ගෙ ගෙවල් වලට ගිහිං ඒ ගොල්ලන්ගේ පුස් කොල පොත් ගෙනත් ඒවා සේරම කොපි කර ගෙන ඉගෙන ගත්තා. ඒ වගේම පරණ තොවිල් පවිල් කරපු අයගේ ගෙවල් වලිනුත් අර වගේම තොරතුරු ගත්තා. මේවා තමන් දැනගෙන හිටපු වෛද්‍ය ක්‍රමත් ආධ්‍යාත්මික ශක්තියත් එකතු කරලා කරන්න පුලුවන් අලුත් ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගත්තා. චීන කටු චිකිත්සාවත් ඉගෙන ගන්න උවමනාවක් තිබුනත් චීන්නු ටික මිනිහා එක්ක ෆුල් වලි නිසා ඒක අත් ඇරලා දැම්මා. දවසක් ඕගනික් තේ බිස්නස් එකකට ආපු ජර්මන් මිලියනය Millionaire කෙනෙකුට කාලයක් තිස්සේ කාටවත්ම සනීප කරන්න බැරුව තිබුණු ඔලුවේ අමාරුවක් සිත එකඟ කරවලා අර අලුත් බෙහෙත කරලා සනීප කලා.

ජර්මන් පොරට මාර ජොලියක් ගිහිල්ලා ධ්‍යානට කිවුවාම ඕනම දෙයක් කියන්න කරලා දෙන්නම් කියලා ධ්‍යාන කිවුවා එහෙනම් මගේ ප්ලෑන් එකක් තියෙනවා පොලොවේ යට හුඟාක් රස්නේ තියන අවීචියට ටිකක් උඩින් හරියට නල වලින් වතුර යවලා ඒවායින් එන වාෂ්ප වලින් ටර්බයින් එකක් කරකවලා විදිලිය අරගෙන මේ ගම් වල ගෙවල් වලට දෙන්න කියලා. ජර්මන් කාරයා වට් ඇන් ඉනොවටිවු අයිඩියා what an innovative idea කියලා මාස හයකින් විතර ඒක කරලා දුන්නා. දැන් කිසිම වියදමක් නැතුව විදිලිය ලැබනවා ඕන තරම්. පොලොව යට තියන වතුර ඊටත් යටට යවලා ඒවායින් හැදෙන වාෂ්ප වලින් පොලොව යටම හයි කරලා තියන ටර්බයින් කරකවලා විදිලිය හදනවා. අර වාෂ්ප ආයිත් වතුර වෙලා පහලට යනවා. මේක පස්සේ අර ජර්මන් කාරයා උගේ රටේ කරන්න හැදුවාට හරි ගියේ නෑ. අර ධ්‍යානයාගේත් මිනිස්සුන්ගේත් ආධ්‍යාත්මක බලය නිසා තමයි ඒ රටේ හරි ගියේ. ධ්‍යානයා සේරම ගෙවල් වලට වතුරයි විදිලියයි නොමිලේ දුන්නා. සේරම ඉවුම් පිහුම් විදිලියෙන් කරන නිසා දර ගෑස් ඕන උනේ නෑ. පරිසර දූෂනය අඩු වුනා.

මේ අලුත් ප්‍රතිකාර ක්‍රමය ආරංචි වෙලා පහු වෙන කොට ජර්මනියේ විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් සෑහෙන ලෙඩ පොරවල් එන්න ගත්තා. අර සිංගප්පූරුව කියන රටේ තියන මවුන්ට් එලිසබෙත් කියන ඉස්පිරිතාලෙනුත් උන්ට සනීප කරන්න බැරි ඈයින්ව ධ්‍යානයා ඉන්න රටට එවුවා. ඒ කොච්චර ආවත් අර සමහර කන්සල්ටන්ට්ලා කියන විදියට මට ඕන ගාන මම ගන්නවා එහෙම බැරි නං ඔය වෙන අය ඉන්නේ උන් ලඟට පලයල්ලා වගේ පොර ටෝක් දුන්නෙත් නෑ. මොකද මෑන් දැන ගෙන හිටියා අනිත් උන්ට බැරි නිසා තමයි මගේ ලඟට එන්නේ ඒ උනත් ඒ නිසාම මම මුන්ව හූර ගෙන කන්න හොඳ නෑ කියලා කිසි කෙනෙකුගෙන් සල්ලි ගත්තේ නෑ. ඒත් ඒ මිනිස්සු බල කරන කොට කිවුවා මෙන්න මේ රට හදන්න මගේ තියන සැලැස්ම ඒකෙන් මොකකට හරි උදවුවක් කරන්න කියලා ලිස්ට් එකක් පෙන්නුවා.

ඉතිං අර පොරවල් තමන්ට පුලුවන් ඒවා බාර අරගෙන කරලා දුන්නා. සමහර තමන්ගේ ලෙඩේ නිසා ජීවිතේ නැති කර ගන්න හිටපු කෝටිපතියෝ තමන්ව සනීප කරපු සතුටට හිතා ගන්න වත් බැරි තරමේ දේවල් කරලා දුන්නා. මෙහෙම යන කොට ධ්‍යානගේ ප්‍රදේශය ලොකු වෙලා අන්තිමට මුලු පලාතක්ම මිනිහාගේ ක්‍රමයට අනුගත උනා. ප්‍රාන්ත රජාට සේරම වයින් ස්ටෝසුයි හොර පොලවලුයි වහන්න උනා එකෙක් වත් බොන්න ආවේ නැති හිංදා. පලාතෙන් වැඩි ගානක්ම හොඳ දැහැමි මිනිස්සු වුන නිසා අර බොන ජරා වැඩ කරන උන්ට ඒ පලාත ඇරලා යන්න උනා හරියට අර මී මැස්සෝ ඉන්න තැන් වල නිල මැස්සන්ට පැවැත්මක් නෑ වගේ. මෙහෙම වෙන කොට අර ප්‍රාන්ත රජා තමන්ගේ සේරම දේවල් අත ඇරලා අග නුවරට ගියා.

මෙන්න මේ විදියට ඒ ප්‍රාන්තය ගැන දැන ගත්තු අනිත් ප්‍රාන්ත වල ඉන්න අය ඇවිත් ධ්‍යානට කිවුවාම අනේ අපේ ඒවාටත් ඇවිල්ලා ඒවත් දියුණු කරලා දෙන්න කියලා ධ්‍යාන කිවුවා ඒක කරන්න අමාරුයි දැනටමත් කීප වතාවක් මාව මරන්න ට්‍රයි කරලා තියනවා. ඉතිං මම ප්‍රාන්ත වලට යන්න ගත්තොත් මාව මරන්න බලන් ඉන්න එවුන්ට ඒක හොඳ චාන්ස් එකක් වෙනවා. මම මැරන්න බය නැති උනත් මේ පටන් ගත්ත දේ ඉවරයක් කරන කම් ඉන්න තමයි ට්‍රයි එක දෙන්නේ කියලා. උඹලාගේ පැති වලින් හොඳ අවංක රටට ආදරේ කරන එවුන් ටිකක් මෙහාට එවුවොත් මම උන්ව ට්‍රේන් කරලා දෙන්නම් අර උතුරු ප්‍රාන්තයට කලා වගේ එතකොට උන්ට පුලුවන් කියලා උඹලාගේ මිනිස්සු හදා ගෙන පලාත දියුණු කර ගන්න කියලා. එතකොට උන් කිවුවා ඒ පලාතේ ප්‍රාන්ත රජා චීන්නුන්ටයි අරාබි කාරයන්ටයි එකතු වෙලා අපිට එහෙම කරන්න දෙන්නේ නෑ මොකද ඔබ තුමා මෙහේ කරපු එක දැකලා උන් බය වෙලා ඉන්නේ කියලා. අනික අර හිට්ලර් කියලා කෙනෙක් ඇවිත් අපේ උන්ට කියා ගෙන යනවා තව ටික කලකින් ඕවා සේරම හදනවා කියලා. අපේ එවුන්ටත් අමතක වෙලා තියෙනවා දැන් වෙන නමකින් ආවත් ඒ ගොල්ලම තමයි අරුන්ව මෙහාට ගෙනාවේ කියලා. එහෙනම් ඉතිං සොරි ඩොට් කොම් තමයි කියලා ධ්‍යාන කිවුවා. තව කිවුවා ඔය හිට්ලර් කියන පොරට නම් අහු වෙන්න එපා එහෙම උනොත් මේක සම්පූර්ණයෙන්ම චීන්නුට යනවා මටත් මොකෙන් මොකක් වෙයිද දන්නේ නෑ. මට නම් ආපහු හිමාලයටම යන්න පුලුවන් ඒත් දැනට මාත් එක්ක ඉන්න මේ මිනිස්සු දාලා මම එහෙම යන්නේ නෑ කියලා. හැබැයි ඉස්සරහට රජවරු තෝරන කාලෙට උඹලාගේ ප්‍රාන්තේ එවුන් වැඩ කරන්න ඕන හැටි එවුන්ට කියලා දීපල්ලා කියලා. ඒ අතරේ උඹලාගේ කට්ටියක් එවපල්ලා ට්‍රේන් කරලා දෙන්න කියලා උන්ව පිටත් කරලා යැවුවා. හැබැයි උඹලාගේ එවුන් හිට්ලර්ට පොහොට්ටු පූජ කරලා තිබුනොත් මට කරන්න දෙයක් නෑ කියලත් යන එවුන්ට කිවුවා.

ඊලඟට අපේ ධ්‍යාන දොස්තර මහත්තයා කල්පනා කරා මම මේ කරපු වෙනස දිගටම පවත්වා ගෙන යන්න නම් පොඩි එවුන්වත් හදා ගන්න ඕන කියලා ඉස්කෝල හැදුවා ප්‍රාන්තයට ඇතිවන තරම්. ඒවා අර බෙහෙත් ගන්න පිට රට වලින් එන ඈයෝ හදලා දුන්නා. ළමයින්ට ඕන කරන පොත්, ඇඳුම්, කෑම සේරම පොදු ගිණුමෙන් දුන්නා. සිලබස් එක අලුතින්ම හැදුවා රටේ ඉතිහාසය ඇතුල් කරලා. රටේ තුල තිබුනු භාෂාවල් තුනම දැන ගැනීම අනිවාර්ය කරලා ඒවා උගන්නන්න ඕන කරන ගුරුවරු හැම ඉස්කෝලෙකටම දුන්නා.ඒ වගේම පුරාණ සිරිත් විරිත්, නැටුම් හා ගීත කලාව ඒ වගේම චාම් බව හා සීලාචාර බව ගුරුවරු ලවා කියලා දුන්නා. ඒ වගේම යහපත් ජීවන රටා, සෞඛ්‍ය සම්පන්න ආහාර, නිරතුරු ව්‍යායාම වගේ දේවල් පොඩි කාලේ ඉඳලාම පුරුදු කරපු නිසා ළමයි ඉතාම නිරෝගීව වැඩුනා. පාසලේදී දරුවන්ගේ දක්ෂතා හඳුනා ගෙන ඒවා අනුව ඔවුන් ඉදිරි රැකියා වලට පුහුණු කර වීම පටන් ගත්තා. මෙහෙම කරන කොට දෙමවු පියන්ට දරුවන්ගේ අනාගතය ගැන හිතමින් ලත වෙන්නේ නැතුව ඔවුන්ගේ රැකියා නිසි අයුරින් කරන්න පුලුවන් වුන නිසා ප්‍රාන්තය ඉතාම දියුණු තත්වයකට ආවා.

ඔහොම යනකොට රජවරු තෝරන තරඟය කිට්ටු උනා. රජ කමට තරඟ කරන්න කවුරු කවුරු එයිද කියලා කාගේත් ලොකු කුකුසක් තිබුනා. බොහොමයක් දෙනා හිතුවා කලිං හිටපු රජ තුමා විශ්‍රාම සුවයෙන් ඉන්න නිසා එයාගේ පැත්තෙන් අර හිට්ලර් කියන එක්කෙනාව තරඟයට දාවි කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් කවුරු දායිද කියන ප්‍රශ්නයත් තිබුනා. ඒකේ ලොක්කා වෙච්ච දැනට ඉන්න යුව රජ තුමාට කවදාවත් තනියම දිනන්න බැරි නිසා මේ පාර කාගේ කරේ එල්ලෙනවාද කියලා තමයි කවුරුත් බලාගෙන හිටියේ. සාමාන්‍යයෙන් මැක්කෙකුට දිග ගමනක් යන්න ඕන උනාම ඌ බලාගෙන ඉන්නවානේ හරකෙක් එනකං උගේ ඇඟේ නැගලා යන්න. ඒ වගේ යුව රජ තුමා ගිය පාර දැන් ඉන්න රජතුමාගේ ඇඟේ එල්ලිලා ආවා විතරක් නෙවෙයි මෑන්ගේ ඇඟේ පහරලා මෑන්ව නැති කරලා දැම්මා. මේ පාර ගන්දස්කාර් කියන එල්ලේ ක්‍රීඩාවට අති දක්ෂ ජනප්‍රිය කෙනෙකුගේ ඇඟේ එල්ලෙන්න හදන කොට මෑන් ඇඟ ගසලා දාලා ශේප් උනා. මොකද ගන්දස්කාර් දන්නවා මීට කලින් වෙලාවක අති දක්ෂ මල්ලව පොර ශූරයකුගේ ඇඟේ නැගලා ගිහිං අන්තිමට අර මල්ලව ශූරයාට වෙච්ච දේ. මිනිහා කිචම කිච වෙලා ගියා. ඒ නිසා ගන්දස්කාර් තමන්ගේ තැන තියාගෙන ශේප් උනා.

රජා තෝරන තරඟයට ටික කාලයක් තියෙද්දී කිසිම කෙනෙක් නොහිතපු දෙයක් සිද්ද උනා. ඒ තමයි යුව රජ්ජුරුවන්ගේ කට්ටිය ප්ලෑනක් ගහලා යුව රජ්ජුරුවන්ව එලවලා දාල ඉස්සර දඩ කෙලියේ යද්දී පාරෙදි කොටියෙක් ගහලා මැරිච්ච කලින් හිටපු රජාගේ පුතාව ඒ ගොල්ලන්ගේ පැත්තෙන් රජ කමට තරඟ කරන්න දාපු එක. එහෙම කලේ උන්ට තේරුණා මේ පාර යුව රජාට එල්ලෙන්න හරකෙක් හොයා ගන්න බැරි බව. අර කුමාරයාත් හුඟාක් කාලෙක ඉඳං රජ කම බලා ගෙන හිටිය නිසා පැනලා බාර අර ගෙන රට පුරාම අඬ බෙර ගහ ගහ මිනිස්සුන්ට කියන්න පටන් ගත්තා එයාගේ තාත්තා නවත්තපු තැනින් ආයිත් පටන් ගන්න එයාට රජ කම දෙන්න කියලා. ඒක අහපු අර ලෝහිත කට්ටිය හොඳටම බය වෙලා ඒ ගොල්ලන්ගේ එක්කෙනෙකුත් දැම්මා රජ තරඟයට. උන් බය උනා මෑන් ආවොත් තාත්තා නවත්තපු තැනිං පටන් අරගෙන උන්ගේ ඉතුරු එවුනුත් ඉවර කරයි කියලා. ඒත් රටේ කවුරුත් හිතා ගෙන හිටියේ ඔය කවුරු දැම්මත් වැඩක් නෑ හිට්ලර්ට ගහන්න කෙනෙක් නෑ කියලා.

රජ තරඟය ඔන්න මෙන්න කියලා තියෙද්දී මිනිස්සු කවදාවත් නොහිතපු තවත් දෙයක් සිද්ද උනා. ඒ තමයි කලින් හිටපු රජ්ජුරුවෝ තරඟයට හිට්ලර්ව දාන්නේ නැතුව තමන්ගේ මෙහෙසියව දාපු එක. මේක මිනිස්සුන්ට දැනුනේ හරියට සුනාමියක් ආවා වගේ. උන්ට උතුර දකුණ මතක නැති උනා. මිනිස්සු ගිහින් හිටපු රජතුමාට කිවුවා අපි කවුරුත් බලා ගෙන හිටියේ ඔබතුමා හිට්ලර් තුමාව තරඟයට දායි කියලා. එහෙම බැරි කමක් තියෙනවා නම් ඔබ තුමා එන්නකෝ කියලා. එතකොට හිටපු රජ තුමා කිවුවා “ඇයි බං කතරගම දෙයියෝ මොකද වල්ලි අම්මා මොකද. ඒ වගේ මම ගැන හිතලා මෙහෙසියට චන්දේ දීපල්ලා. ඉතුරු ටික මම බලා ගන්නම්” කියලා. ඇත්තටම හිටපු රජතුමාට ඕන උනේ මේ පාරට පස්සේ තරඟෙට තමන්ගේ පුත් කුමාරයාව දාලා රජ කරවන්න. ඉතිං හිට්ලර් දැම්මොත් ඒක වෙන එකක් නෑ කියලා මෑන් බය උනා. මෙහෙසිය රජ උනොත් පුත් කුමාරයාට ඊලඟ පාර ෂුවර්නේ. ඒකයි අර විදියට අන්තිම මොහොතේ ගේම ගැහුවේ. මේක දැන ගත්තාම හිට්ලර් උඹ ඕන කුදයක් ගහ ගනිං, ඕං මං ගියා කියලා ආපහු එයා හිටපු රටටම ගියා.

දැන් තරඟය නියමෙට නැගලා යනවා. තුන් පැත්තකින්ම අඬ බෙර ගහ ගහා රට පුරාම යනවා. සේරම රාජ අපේක්ෂකයෝ එක එක ප්‍රාන්ත වලටඇවිත් තම තමන් කරපු දේවල් ඒ වගේම ඉස්සරහට කරන්න යන දේවල් ගැන එහෙම කියලා දුන්නා. ලෝහිත කට්ටිය ඇරුනාම අනිත් සේරම ඒ ගොල්ලාගේ දක්ෂ කම් බලන්න ආපු කට්ටියට රට තණකොල මිටියකුත් සීතල කරපු පුන්නක්කු කෑන් එකකුත් දුන්නා බොකු දිරාස් බෝතලකුත් එක්ක. ඒවාට වහ වැටුනු පොරවල් ඒවා කාලා බීලා මාර ආතල් ගත්තා. ඊට පස්සේ උන්ට අරුන් මොනවා කිවුවාද කියලා තේරුණේවත් නෑ.. හැබැයි ධ්‍යාන දොස්තරගේ ප්‍රාන්තයෙයි උතුරු ප්‍රාන්තයෙයි එකෙක් වත් ගියේ නෑ රාජ අපේක්ෂකයන්ගේ කතා අහන්න. උන් සේරම වෙනදා වගේ වෙනසක් නැතුව තමන්ගේ වැඩ වල යෙදුනා. අර ආපු අය තමන් එක්ක ආපු එවුන්ට කතා පවත්වලා අර තණකොලයි පුන්නක්කුයි අර ගෙන ආපහු ගියා. උන් දැන ගත්තා ඒවායින් උන්ට වාසියක් නැහැ කියලා වෙන ගේමක් සෙට් කරන්න ප්ලෑන් කර ගත්තා.

ඔහොම ගිහිං තරඟය දවසේ දෙපැත්තේම අය හිතුවා ධ්‍යාන ප්‍රාන්තයේයි උතුරු ප්‍රාන්තයේයි කවුරුවත්ම එන එකක් නෑ කියලා මනාපය දාන්න ඒ නිසා කලිං හිටපු රජායි , අර මැරිච්ච රජාගේ පුතායි වෙන වෙනම ප්ලෑන් කෙරුවා ඒ ගොල්ලන්ට කතිර ගහපු කොල වලින් ආපහු යන කොට ඒ ප්‍රාන්ත වල පෙට්ටි පුරවන්න. ඒත් පොරවල් නොහිතපු විධියට ප්‍රාන්ත දෙකේම මිනිස්සු හිස් බඩම පෝලිම් වලට ඇවිත් හිටියා මනාපය ගහන්න. මේක අහලා අර රජ වරුන්ට ෆුල් අප්සෙට් ගියා. දවසේ අන්තිමට මනාප ගනං කරන කොට ධ්‍යාන ප්‍රාන්තයෙයි උතුරු ප්‍රාන්තයෙයි සේරම චන්ද දීලා තිබුනේ ලෝහිත පක්ෂයේ එකාට. අනිත් පලාත් වලත් ටික දෙනෙක් ඌට චන්ද දීලා තිබුනා. ධ්‍යාන දොස්තරයා අර ප්‍රාන්ත දෙකේ එවුන්ටයි ඒ වගේම හොරාටම අනිත් පැති වල පොරගේ දන්න අයටයි කියලා තිබුනා තමන් අර ප්‍රාන්ත දෙකේ කරපු ඒවා කරවා ගන්න නම් ලෝහිත එකාව රජ කරවන්න කියලා. ඔන්න ඔය විදියට පලවෙනි වතාවට ඒ රටේ ලෝහිත රජෙක් පත් උනා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී