අපේ සෞඛ්‍ය සේවය සහ සාසනය - 30.04.2018

මගේ 15.04.2018 දාපු පෝස්ට් එක දැකලා සමහර වෛද්‍යවරු මට විරුද්ධ දේ කියලා තිබුනා. සමහරු එහෙම කියලා පස්සේ ඒවා අයින් කර ගෙනත් තිබුනා. මම කිසිම දවසක මගේ වෘත්තිය වන වෛද්‍ය වෘත්තියට අපහාස කරලා නෑ. විරුද්ධව කතා කරලා නෑ. හැබැයි මේ වටිනා වෘත්තියට අපහාස වන අයුරින් එය නිගරුවට පත් වන අයුරින් ක්‍රියා කරන වෛද්‍ය වරුන්ගේ නම් පවා හෙලි කරමින් මම අදහස් ප්‍රකාශ කරලා තියනවා වගේම ඉදිරියේදීත් කරනවා. එහෙම කරන්නේ මේ වටිනා වෘත්තියේ ගෞරවය රැක ගන්නයි. පසු ගිය දවසක මට ආරාධනාවක් ලැබුනා ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන කතා කරන්න එන්න කියලා. මම කතාව පටන් ගත්තේම අපේ රටේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු අනිකුත් ශ්‍රේණි වල අයගේ පුහුණුව, දැණුම පලපුරුද්ද හැකියාව ඉතා ඉහල බවත් ඕනෑම රටක එවැනි ශ්‍රේණි හා සමාන බවත් ඔවුන් හට ලෝකයේ ඕනෑම රටකට ගොස් සේවය කල හැකි බවත් එසේ ගිය කිසිවකුත් අකාර්‍යක්ෂමතාවය හෝ වෙනත් වරදක් නිසා ආපසු පැමිණ නැති බවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප විරුද්ධ වන්නේ තව දුරටත් එම උසස් තත්වය පවත්වා ගත යුතු බවත් පවසමින්.මා මෙහිදී තත්වය යනුවෙන් අදහස් කලේ වෛද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවයයි. මා එසේ පැවැසුවේ සත්‍යය එය බැවිනුයි. එමෙන්ම අද වන විට සෞඛ්‍ය සේවයේ කඩා වැටීමට හේතුව වී ඇත්තේ පරිපාලනයේ ඇති දුර්වලතා නිසා බවත් එයට වෛද්‍ය වරුන්ට දොස් නොපැවරිය යුතු බවත් සඳහන් කරමින්. යූ ටියුබ් එකට ගොස් අවශ්‍ය අයෙකුට මා කියන දෙයෙහි සත්‍ය අසත්‍ය තාවය බලා ගන්නට පුලුවන්.

මේ වන විට සංඝ පරපුරේ ගෞරවයට සිදු වී ඇති දේ බලන්න. දුසිල්වත් චීවරධාරීන් සඟ සසුනට ඇතුලු වීම නිසා මුලු සංඝ පරම්පරාවේම ගෞරවය බරපතල ලෙස පිරිහී තිබෙනවා. මෙහිදී මම දොස් දකින්නේ මෙයට පෙර සිටි සුපේෂල ශික්ෂා සම්පන්න භික්ෂූන් වහන්සේලාගෙයි. මම එසේ කියන්නේ මෙම දුසිල්වත් චීවරධාරීන් සසුනට ඇතුල් වූයේ එක් වරම නොවන නිසාත් උන් ඇතුල් වූයේ එකා දෙන්නා වශයෙන් වීම නිසාත්ය. මුල් අවස්ථාවේම එයට විරුද්ධව කටයුතු කර එය වැලැක්වූවා නම් අද මේ පත්වී තිබෙන අතිශය කණගාටුදායක තත්වයෙන් භික්ෂුන්ගේ ගෞරවය බේරා ගත හැකිව තිබූ නිසාය. නමුත් අද වන විට කසාවතින් සැරසී සිටින අයගෙන් ශික්ෂාකාමී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිටින්නේ අඩු පිරිසක් බවයි මගේ පිලිගැනීම. උන් වහන්සේලා කෙරෙහි ඇති ගෞරවයද අසංවර චීවර ධාරීන්ගේ හැසිරීම නිසා පහල වැටී තිබෙනවා. මේ වන විට එක් චීවරධාරියකු වසර හයක සිර දඬුවමකට පත් කොට තිබෙනවා. ඔහු එකල ප්‍රසිද්ධියේම කීවේ අපට නිවන් දකින්න හදිසියක් නෑ යනුවෙනි. එසේ නම් මහණ දම් පුරන්නේ කුමකටදැයි යන්න එදාම මට ප්‍රශ්නයක් වුනා.

එමෙන්ම ඔහු මීට ඉහත වසර 17 කට පෙර රියැදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින් චීවරය දරමින් මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කොට අයෙකු තුවාල කර පැන යාමේ වරදට කොලඹ අධිකරණයෙන් දඬුවම් කල අවස්ථාවේ එකල සිටි මහා නායක වරු ඔහුට විරුද්ධව කටයුතු කොට ඔහු සංඝ සමාජයෙන් පිට මං කලා නම් මෙවැනි තත්වයක් ඇති වීම වලක්වා ගත හැකිව තිබුනි. දැන් සංඝ සමාජය පුරාවටම උඩු දුවා ඇති මේ තත්වයෙන් එය බේරා ගැනීම බුදුන් වහන්සේ වැඩියත් කල නොහැකි වනු ඇත. මීට කලින් මා දක්වා සිටි ලෙස වැරදීමකින් හෝ උන් වහන්සේ වැඩිය හොත් මෙම චීවරධාරීන් “තමුසෙ මොන බුදු හාමුදුරුවෝද මේ ඉන්නේ අපේ බුදු හාමුදුරුවෝ “යැයි පවසා බුදු පිළිමයක් පෙන්වා උන් වහන්සේ පලවා හරිනු ඇත. මන්ද බුදුන් වහන්සේගේ වැඩ සිටීම මෙම දුශ්ශීල චීවරධාරීන්ගේ පැවැත්මට අභියෝගයක් වන හෙයිනි. එවිට එකල එවැනිම අවස්ථාවක පාරිලෙය්‍ය වනයට වැඩිය ආකාරයටම මෙකලද උන් වහන්සේට කොහේ හෝ වනයකට වැඩීමට සිදු වනු ඇත. මා මෙලෙස පැවැසුයේ අප රටේ සිටින සුපේෂල ශික්ෂාසම්පන්න ගෞරවණීය මහා සංඝ රත්නය අරබයා නොවන බව කරුණාවෙන් සලකන්න.

මා ඉහත උදාහරණය ගෙන හැර පෑවේ අප විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වූයේ වෙනෙකක් නිසා නොව සංඝ සමාජයට අත් වූ ඉරණමට වෛද්‍ය වෘත්තිය පත් වීම වැලැක්වීමට අවශ්‍ය නිසා බවයි. 1986 දී පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයාගේ රජය ක්‍රියාකල අවස්ථාවේ බරපතල වෘත්තීය ක්‍රියා මාර්ගයකින් පසු එය උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය නමින් රජයට පවරා ගන්නා ලදී. එකල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහල තනතුරක් දැරූ මා ඒ කල දෙය පිලිබඳව අදද ආඩම්බර වෙමි. එහෙත් එකල රජයේ දන්ත වෛද්‍ය සංගමයේ සභාපති ලෙස අප සමග ඒ සටනේදී උරෙනුර ගැටී සටන් කල වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කෙරෙහි මා තුල ඇත්තේ ජුගුප්සාජනක හැඟීමකි. ඒ මෙවර සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඔහුගේ ලේලිය සිටීම නිසා ඔහු ගත් ඉඳුරාම වෙනස් ක්‍රියා මාර්ගය නිසා ඔහු එක් ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙක් බව දැකීමෙනි. 1986/87 දී එසේ විරුද්ධ නොවූවා නම් මේ වන විට කිසිදු ප්‍රමිතියකින් තොර පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවී එමගින් ගුණාත්මක භාවයක් නැති වෛද්‍ය වරුන් බිහි වී ඉන්දියාවේ වූවාක් මෙන් බරපතල අර්බුදයකට මුහුණ පෑමට සිදු වනු ඇත. අවසාන කාලයේදී ඉන්දියාවේ ඕනෑම අයකු හට තැපෑලෙන් ඉගෙන ගෙන වෛද්‍ය උපාධිය ලබා ගත හැකි තත්වයට පත් විය.

ඉන්දියා රජය විසින් පසු ගිය දා එවැනි පුද්ගලික වෛද්‍ය උපාධි දෙන ආයතන සිය ගණනක් වසා දැමුණි. එසේ කලේ ප්‍රමිතියක් නොමැති වෛද්‍යවරු නිසා ඉන්දියාවේ වෛද්‍ය උපාධිය අන්තර්ජාතික වශයෙන් ප්‍රතික්ෂේප වූ නිසාවෙනි. මෙසේ ප්‍රතික්ෂේප වීමේදී ඉතා හොඳ ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය විද්‍යාල වලින් බිහි වූ වෛද්‍ය වරුන්ටද එම තත්වය බල පෑ අතර යුරෝපා රටවල ඉන්දීය වෛද්‍ය වරුන්ට රැකියා ලබා ගැනීම පවා දුෂ්කර වීය. නමුත් ඉස්තාලයේ දොර වසන විට අස්සයා පැන ගොසින් හමාරය. අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන්ට සිදු වූ හානිය එලෙසමය. නමුත් අප රටේ වෛද්‍ය වරුන්ට එවැනි කිසිම බලපෑමක් මෙතෙක් සිදු වී නැත. ඉන්දියාවේ විශාලත්වයත්, ප්‍රාන්ත වලට ඇති විශාල බලයත් ඒ නිසාම ශක්තිමත් වෛද්‍ය සංගමයක් නොමැති වීමත් නිසා මෙම වෛද්‍ය කඩ බිහි විය. අප රටෙහිද වෛද්‍ය වරුන්ගේ සංගමය 1986/87 කාලය තුල සක්‍රීයව විරුද්ධ නොවූවා නම් මේ වන විට සංඝ සමාජයට සිදු වී ඇති දෙයම වෛද්‍ය වෘත්තියටද වී හමාරය. එකල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා හට එල්ල වූ මරණීය තර්ජන හේතුවෙන් ඔහු දින දෙකක් එක තැන සිටියේ නැත. එහෙත් මෙවර සයිටම් ආරම්භ වූ මුල් වකවානුවේදී වෛද්‍ය සංගමය ඊට විරුද්ධ නොවී සිට රජය වෙනස් වූ පසු පමණක් විරුද්ධ වීම මා තුල කුකුසක් ඇති කරවීය.

මා එහිදී පැවැසූ තවත් දෙයක් වූයේ මේ වන විට රජයේ රෝහලකදී බොහෝ විට විශේෂඥ වරයෙකු හමු වීමට සාමාන්‍ය රෝගියකු හට ඇති අපහසු කමයි. එයට හේතුව වන්නේ බොහෝ විශේෂඥ වෛද්‍ය වරුන් නිසි වේලාවට රෝහලට නොපැමිණීමයි. පැමිණියද ඔවුන් රෝගීන් බැලීමේ නොයෙදීමයි. මෙයද සියලු විශේෂඥ වෛද්‍ය වරුන්ට අදාල නොවන්නේ ඔවුන්ගෙන් යම් පිරිසක් නිසි පරිදි රෝහලට පැමිණ රෝගී පරීක්ෂාවේ යෙදෙන බැවිනි. මේ තත්වය වසරකින් දෙකකින් ඇති වූවක් නොවේ. 1992 දී පමණ දකුණු පලාතේ පිහිටි මහ රෝහලක සේවය කල මා හොඳින් දැන සිටි රෝහල් අධ්‍යක්ෂ වරයෙකු පෙරවරු දහය පසු වන තුරුත් පුද්ගලික රෝහලක මුදලට රෝගීන් බලමින් සිටි විශේෂඥ වෛද්‍ය වරයකු අල්ලා ගෙන ඒ බව කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හට පැමිණිලි කර ඔහුට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටි විට ඒ පිලිබඳව මුණි වත රැක සිටි ලේකම් වරයා පසුව විශේෂඥ වෛද්‍ය වරුන් එක්ව අර අධ්‍යක්ෂ වරයා ඉවත් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක් කල විට නොපැකිලව ඔහු මාරු කර යැවීමට කටයුතු කල ආකාරය මට හොඳින් මතකයේ ඇත.

එම අධ්‍යක්ෂ වරයා විසින් එම ක්‍රියා මාර්ගය ගත්තේ මෙම විශේෂඥ වෛද්‍ය වරුන් නියමිත වේලාවට සේවයට නොපැමිණෙන බැවින් ඒ පිලිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින කඩා පනින හමුදාව හෙවත් ඒකකය එවන ලෙස සෞඛ්‍ය ලේකම් වරයාගෙන් කොතෙකුත් කරන ලද ඉල්ලීම් ඉටු නොවූ නිසාත් පසුව එක් දිනක මධ්‍යම රාත්‍රියේ එම වෛද්‍ය වරයාගේ වාට්ටුවට සිහිසුන්ව ඇතුල් කරණ ලද සිය පුත්‍රයා පෙරවරු 9 වන තුරුත් අදාල විශේෂඥ වෛද්‍ය වරයා විසින් පරීක්ෂා නොකල බවත් ඒ වන විටද ඔහු නගරයේ පිහිටි පුද්ගලික රෝහලක මුදලට රෝගීන් පරීක්ෂාවේ යෙදෙමින් සිටින බවටත් පලාත් සභා මන්ත්‍රී වරයකු වූ රෝගී දරුවාගේ පියා විසින් තමා වෙත කරන ලද පැමිණිල්ලකට අනුවය. සෞඛ්‍ය ලේකම් වරයාට විශේෂඥ වෛද්‍ය වරුන් අතර ජනප්‍රිය වී සිටීමටත් බොහෝ දෙනා පිනවීමටත් කරන ලද මෙම ඉහත ක්‍රියාව රටේ සිටි සියලුම රෝහල් අධ්‍යක්ෂ වරුන්ගේ හා වෛද්‍ය අධිකාරී වරුන්ගේ කොන්ද කඩා දැමීමට හේතු විය. එබැවින් ඔවුන් කිසිවකු හෝ ඉන් පසු විශේෂඥ වෛද්‍ය වරුන් සේවයට පැමිණෙන්නේද නැද්ද යන්න සොයා බැලීමට බිය වූයේ එසේ කලහොත් තමන්ටද සිදුවන්නේ අර මුලින් කී අධ්‍යක්ෂට වූ දෙයම බව ඔවුන් තේරුම් ගත් හෙයිනි.

ඊට වසර 25 කට පසු මේ වන විට මෙම තත්වය කිසිවකුට හෝ පාලනය කර ගත නොහැකි තරමට ඔඩු දුවා ගොස් ඇත. එබැවින් ඉහත කතාවේදී මම වැඩි දුරටත් පවසා සිටියේ කරුණු මෙසේ හෙයින් විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ඉහත හැසිරීමට ඔවුන්හට පමණක් දොස් පැවැරිය නොහැකි බවයි. ඕනෑම කණ්ඩායමක් ගතහොත් ඔවුන්ගෙන් 10% ක් පමණ මොනම අධීක්ෂණයක් නොමැති අවස්තාවක වුවද නියමිත පරිදි තමාගේ කාර්යයේ යෙදේ. තවත් 10% ක් පමණ කුමණ අධීක්ෂණයක් තිබුනද සෑම විටම තැත් කරන්නේ කාර්යය නොකර සිටීමටය. ඉතිරි 80% නිසි අධීක්ෂණයක් යටතේ තම කාර්යය මැනවින් ඉටු කරති. මෙය රාජකාරී ස්ථානයක හෝ පාසලක පන්තියක හෝ මැනැවින් දැකිය හැකි දෙයකි. මින් පලමු වැනි කොටසට කිසිදු ක්‍රියා මාර්ගයක් අවශ්‍ය නොවේ. දෙවෙනි කොටසට දැඩි පාලණයක් හා දඬුවම් අවශ්‍ය වන අතර අවසාන 80% අවශ්‍ය වන්නේ නිසි අධීක්ෂනයක් පමණි. අනිකුත් කණ්ඩායම් වලට මෙන්ම විශේෂඥ වෛද්‍ය වරුන්ටද මෙය පොදුය. වර්තමානයේ ඔවුන් වැඩි දෙනෙක් නිසි පරිදි සේවය නොකරන්නේ අධීක්ෂණයක් නොමැති බැවිනි. සුලු පිරිසක් හොඳින් රාජකාරියෙහි යෙදෙන්නේද ඒ අනුවය.

අද විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හැක්කේ පුද්ගලික රෝහලකට ගොස් මුදල් ගෙවා එතැනද පැය ගණනක් ගත කිරීමෙන් පසුව බව මේ රට වාසීන් හොඳින් දන්නා කරුණකි. එබැවින් තමා සතු කුමක් හෝ උගසට තබා ලබා ගත් මුදල් ඒ සඳහා යොදා ගත් අය ගැන මා හොඳින් දනී. එබැවින් අද සෞඛ්‍ය සේවයේ කඩා වැටීමට හේතුව වී ඇත්තේ මීට වසර 25 කට පෙර සෞඛ්‍ය ලේකම් වරයා තමාගේ පැවැත්ම වෙනුවෙන් කරන ලද ක්‍රියාව නිසා අධීක්ෂණ නිලධාරීන් බියට පත් වීමයි. එම වසල ක්‍රියාව කල හෙතෙම මේ වන විට තම ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටී. තමා විසින් සෞඛ්‍ය සේවයට කරන ලද විනාශය පිලිබඳව අද කුමක් සිතන්නේ දැයි මම නොදනිමි.

මෙයට වසර දෙකකට පමණ පෙර එක්තරා වාර්ෂික රැස්වීමකට මා හට ආරාධනා ලැබ එයට සහභාගි වූ විට මා දුටුවේ එදින ප්‍රධාන අමුත්තා වූයේ මා මුලින් කී වසල ක්‍රියාව කල ඒ හිටපු ලේකම් වරයාය. ඔහු මුලසුනේ තබා ගෙන එකල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා වර්තමාන විශේෂඥ වෛද්‍ය වරුන් සේවයට නොපැමිණෙන්නේ යයිද දිනක් ඔහු ප්‍රතිකාර ගැනීමට පෙ ව 8 ට සායනයකට ගියද විශේෂඥ වෛද්‍යවරිය පැමිණියේ 11 ට බවත් ඔහුව පමණක් පරීක්ෂා කොට ආපසු ගිය බවත් පවසමින් අඳෝනාවක් කලේය. ඔහුගේ ඒ කතාවෙන් පසු මේ තත්වය මෑතකදී හට ගත්තක් නොවූ බවත් එය පටන් ගත්තේ ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල තනතුරු දැරූ කාලයේ බවත් එයට මුලුමනින්ම වගකිව යුත්තා ඔබ අසලම සිටින බවත් කීමට මට අවශ්‍ය වුවද න්‍යාය පත්‍රයට පිටින් කතා කල නොහැකි බැවින් එය කිරීමට නොහැකි විය. එහෙත් රැස්වීමෙන් පසු මා ඔහු වෙත ගොස් ඒ බැවු මතක් කර සිටියෙමි.

ඒ අනුව වර්තමානයේ සෞඛ්‍ය සේවයේ කඩා වැටීමට වග කිව යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පමණක් හෝ දේශපාලුවන් පමණක් හෝ නොවන අතර අතීතයේ සිටි නිලධාරීන් සෘජුවම වගකිව යුතු බව ඔබ විසින් තේරුම් ගනු ඇතැයි සිතමි. මේ වන විට සිටිනුයේ තමාගේ තනතුර, විදේශ ගමන්, උසස් වීම් හා විශ්‍රාම යාමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටිම සඳහා දේශපාලුවන්ගේ එහෙයියන් බවට පත්වී ඇති නිලධාරීන්ය. නිලධාරීන් දූෂිත වන තරමට දේශපාලුවන් කැමැතිය. ඒ ඔවුන් කියන ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සැදී පැහැදී සිටින බැවිණි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී