ලංකාවේ අභාග්‍යයට උපන් ජේ ආර් ජයවර්ධන

1970 ඉඳං 1975 වෙනකම් මේ රටේ මුදල අවපාත වුනේ නෑ.1970 දී රු. 6ක් වෙච්ච ඩොලර් එක 75 දී 6.20 යි. අනවශ්‍ය වියදම් තිබුනේ නෑ. ආදායමට වඩා වියදම සීමා කරලා තිබුනා. ඒ කියන්නේ සල්ලි තිබුන මිනිහාටත් ඒවා වියදම් කරන්න ක්‍රම තිබුනේ නෑ. ඒ නිසා සූරා කෑමක් තිබුනේ නෑ. අද වගේ හිතුනු හිතුනු ගනන් වලට ගන්න කාර්, බඩු තිබුනේ නෑ. අද කාලේ වගේ මගුලක් කන එක මිනිසුන්ට ඉස රදයක් වෙලා තිබුනේ නෑ. ඒ කාලේ ආණ්ඩුවෙන්ම නීතියක් දාලා තිබුනා හෝටලයක මගුලක් ගන්නවා නම් ඒකෙදි කෑම දෙනවා නම් ආරධනා කරන්න පුලුවන් 50 ට විතරයි. ඩ්‍රින්ක් එකක් විතරක් දෙනවා නම් 100 ට කියන්න පුලුවන්. ඒ නිසා මිනිස්සුන්ට තමන්ගේ දරුවෙක් කසාද බන්දලා දෙන එක අද වගේ හිස රදයක් වෙලා තිබුනේ නෑ. උඹලා හිතන්නේ සාමාන්‍ය මිනිස්සු අද මගුලක් කන්නේ සතුටින් කියලාද. අනුන් කරන නිසා තමනුත් කරනවා. මම මීට කලින් පෝස්ට් එකකත් මේ ගැන කිවුවා. ඒ කිවුවාට බං අපිත් ඒවායේ ගොදුරු වෙනවා. මීට මාස තුනකට විතර ඉස්සර තිබිච්චි මගේ පුතාගේ මගුලෙදිත් ඕකම උනා. කෙල්ලට අන්දන්න විතරක් ලක්ෂ දෙක හමාරයි. අර මම කලින් පෝස්ට් එකක කිවුවා වගේ කොල්ලාට කිවුවා ගලවන්නේ උඹ නිසා ඒකට ලක්ෂයක් වත් ඉල්ල පං කියලා. අපේ පැත්තෙන් කෙරෙන ඒවා නම් අපි පුලුවන් තරම් අඩුවෙන් කරා. ඒත් මගේ යාලුවාගේ නම් කැමැත්තක් තිබුනේ නෑ සෙකන්ඩ් වෙන්න. මේ ලඟදී මම තව මගුලකට ගියා ඒකේ කේක් පෙට්ටිය වැහෙන්න කාන්දමකුත් තියෙනවා. තව ටිකක් කල් යන කොට ඉබේ ඇරෙන වැහෙන පෙට්ටි එනවා මෙලහකටත් ඇවිත් නැත්තම්. ඊලඟට පොටෝ ගන්න ගියාම. දැන් තියනවා ප්‍රී ෂූට් කියලා එකක්. කලින් දවසේ පුරුදු කරනවා පොටෝ ගන්න කොට ඉන්න ඕන හැටි. මට බය තියෙන්නේ හනිමූන් එකට කලිනුත් ප්‍රී ෂූට් කරන්න ගනියිද කියලා පුරුදු කරන්න.//චිකේ චික් මගේ හිතට එන ඒවා//. ඉතින් මේක කරුමයක් නෙවෙයිද බං. තියන එකා // ඔය තියන එකා කියන්නේ නැති එවුන් ගොඩකගෙන් හූර ගත්ත එවුන්// ලොකු වැඩ කරන කොට පොඩි එකාත් ඒකම කරන්න යනවා. දැන් ශ්‍රැංගිලා හෝටලේ මගුල ගත්තේ නැත්තං මදි. ඊට පස්සේ යනවා අරලිය ගහ මන්දිරෙට මගුල් ගන්න.

ඉතිං හොඳ නැද්ද බං එන් එම් මහත්තයාගේ ක්‍රමේ. වියදම් අඩු කරන කොට මිනිස්සු හම්බ කරන්න මහන්සි වෙන්නේ නෑ. ඉස්සර දොස්තරලා වාහන ඉල්ලලා වැඩි පඩි ඉල්ලලා පුද්ගලික සේවය ඉල්ලලා ස්ට්‍රයික් කලේ නෑ කවදාවත්. සල්ලි වලට කරන්න දෙයක් නැති නිසා සූරා කෑම නැති වුනා හැම තැනම. මේ සේරම පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකයත් එක්කයි. දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් ඉල්ලලා ස්ට්‍රයික් කලේ 1977 දීයි. අපි අන්තිම වසරේ ඉන්න කොට.අද සල්ලි තියනවා නම් කරන්න ඕන තරම් දේවල් තියනවා. ඔට්ටුවක් තියමුද බොලා කවුරු හරි මට හෙට උදේ දහයට රුපියල් බිලියන සීයක් ගෙනත් දුන්නොත් මම පැයකින් ඒක වියදම් කරලා පෙන්නනවා. 1973 දී පිට රට හිටපු මගේ මාමා කෙනෙක් මට රුපියල් දෙදාහක් දුන්නා තෑග්ගකට විභාගේ පාස් උනාට කියලා. මට හිතා ගන්න බැරි උනා ඕයි එකෙන් මොකක්ද කරන්නේ කියලා. මම ඒක අම්මාට දුන්නා අරං තියන්න කියලා. පස්සේ 1974 දී මම ඒකත් දාලා අඩුවා අම්මගෙන් ඉල්ල ගෙන ස්කූටරයක් ගත්තා ආතල් ගන්න.

1973-78 කාලේ මෙඩ්ඩෝ වුනු අපි ඒකාලේ කන්නයි බොන්නයි ඉන්නයි සේරටම මාසේකට ගෙවුවේ හොස්ටල් එකට රු. 85 යි. එහෙම උනාය කියලා අපිට කිසිම ඇඟේ අහේනියක් තිබුනේ නෑ. හැමදාම හවසට වෝඩ් ප්ලේස්, කිංසි රෝඩ් හරහා වට දෙකක් දුවනවා නන් ස්ටොප්. තුන් වෙනි එකේදී වෝඩ් ප්ලේස් එකේ තිබුණු ජේ ආර් ගේ ගෙදර පයිපයෙන් වතුර බොනවා පොරගේ ගෙදර කියලා දන්නේ නැතුව. ප්ලේන්ටියක් සත පහයි රටේ ඕනම තැනක. පාර්ක් වීව් එකේ බියර් එකකුත් ගහලා, ෆ්‍රයිඩ් රයිස් එකකුත් කාලා, ෆෘට් සැලඩ් අයිස් ක්‍රීම් එකක් කන්න රුපියල් 8.50යි. හැබැයි ඒක ඒ කාලේ හැටියට ලොකු ගානක්. අපි මාසෙකට දෙකකට සැරයක් චීනා වඳින්න යනවා කියලා පාර්ක් වීව් එකට. චීනා වඳින්න කියලාම මම අම්මාගෙන් රු. 10 වැඩි පුර ඉල්ලා ගන්නවා ගෙදර ගියාම.අපි කවදාවත් පීපී කරන්න හම්බ කරන්න වගේ දේවල් හිතුවේම නෑ ඒ කාලේ. හැබැයි 1978 දොස්තරෙක් වුනාට පස්සේ රටට ආපු ඒවා දැකලා ඒවා ගන්න අපේ අයත් මමත් පිස්සෝ වගේ, පිස්සෝ වගේ හම්බ කරන්න පටන් ගත්තා. අද වෙන කොට ඒක උපරිමයටම ඇවිල්ලා.

දැන් බලපල්ලා මිනිස්සු ණය කාරයෝ කරන්න බැංකුයි ෆිනෑන්ස් කාරයොයි මොන තරම් වලියක් කනවාද කියලා. එස් එම් එස් එන්නේ ණය ගැන කියලා. දවසකට කෝල් එකක් එනවාමයි බැංකුවකින් දොස්තරලාට දෙන ණයක් තියනවා අරවා මේවා කියලා. අර අපි කවුද කියලා උන් දන්න නිසා බෑ. නැත්තං හොඳ කුණුහබ්බ දෙකක් කියනවා. මම කියනවා මම මේ වෙන කොටත් අද දවසට ලක්ෂ දෙකක් හොයලා තියනවා. ඕන නම් මම බැංකුවට ණයක් දෙන්නම් කියලා. ආණ්ඩුවෙන් මේ වෙන කොටත් අපි හැම එකෙක්ම ලක්ෂ පහමාරක ණය කාරයෝ කරලා තියනවා මදිවාට මුනුත් එනවා තව ණය කරවන්න. ඇයි අර විදියට මගුල් කන්න සල්ලි ඕන නේ.

1956 ඉඳන් පක්ෂ දෙකක් තිබුනාට 1977 වෙකම් ආර්ථික ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් තිබ්බේ නෑ. මට මතකයි මට හුඟාක් පුංචි කාලේ තාත්තා මිදි ගෙනත් දෙනවා. ඒ කාලේ උණ හැදුනාම අනිවාර්යයෙන් මිදි මිරිකලා කටට දානවා. ඊට පස්සේ 1977 වෙනකම් මම මිදි ඇපල් දැක්කේ නෑ. යාපනේ හැදෙන ඇඹුල් මිදි පහු වෙන කොට මරදානේ පස්ගෝරස කියන කඩයේ තිබුනා. ඔය අවුරුදු 22 දීම පිට රට බඩු මෙහාට ආවේ නෑ. ඒ කාලේ සේනානායකලා බණ්ඩාරනාකලා කවුරුවත් රට විනාස කරන වැඩ කලේ නෑ. හැබැයි බණ්ඩාරනායක මහත්තයා යූඑන්පී එක දෙකට කඩලා මහ විසාල හානියක් රටට කලා. හොරගොල්ල ලඟින් යන හැම වෙලාවකම මට ඕක ඔලුවට එනවා. මොකද ඒ කාලේ යූ එන් පී ආණ්ඩුව එපා වුන මිනිස්සුන්ට විකල්පයකට තිබුනේ වාමාංශික පක්ෂයි. ඒවා ඒ කාලේ හරිම බලවත්. ඉතිං 1958 දී යූ එන් පීය එපා වෙච්ච මිනිස්සු වමේ පක්ෂ දිනෙවුවා නම් ඒ කාලේ ලෝකයේ සමාජවාදී කොටස හරි බලවත් වෙලා තිබුන නිසා අනිවාර්යයෙන්ම උන් අපට ආධාර කරනවා රට දියුණු කරන්න. විශේෂයෙන්ම සෝවියට් සංගමය.කියුබාව වගේ ලංකාවේ පිහිටීමත් හරිම වැදගත් නිසා උන් ඒක උන්ට පක්ෂපාත රටක් හැටියට තියා ගන්න උදවු කරනවාමයි. එහෙම නැතුවත් ඔරුවල වානේ කැලණි ටයර් වගේ දේවල් අපට දුන්නේ සෝවියට් යූනියන් එකයි. අරහෙම උනා නම් අද වෙන කොට අපි හුඟාක් දියුණු රටක් වෙලා ඕන නම් ශක්තිමත් ආර්ථිකයක් ඇති ධනපති ක්‍රමයකට හැරෙන්නත් තිබුනා රුසියාව වගේ. නමුත් බණ්ඩාරනායක 1956 දී මේ කොන් දෙකක් තියන බලු බෙට්ට ඇති කලා.1977 න් පස්සේ ඒක මහා ගඳ ගහන එකක් වුනා.

1973 දී ඩඩ්ලි සේනානායක මහත්තයා මැරෙන කොට ඇත්තම කියනවා නම් ජේ ආරුයි ප්‍රේමදාසයි එතුමාව නොමරා මැරුවා. මම කිවුවානේ 1970 චන්දෙදි ටික කාලෙකට හාල් සේරු දෙකක් නොමිලේ දීලා චන්දෙට යමු කියලා ජේ ආර් කියපු එක ඩඩ්ලි ඇහුවේ නෑ කියලා. //හැබැයි මම හිතනවා ඩඩ්ලිට ඒක ඒ වෙලාවේ කරන්නයි තිබුනේ කියලා// ඒ නිසා පැරදුනා කියලා අර පොරවල් දෙක කචල් දැම්මා. ප්‍රේමදාස පුරවැසි පෙරමුණ කියලා එකක් හදා ගෙන ඒ වෙන කොට කොල්ලුපිටියේ තිබුණු සිරිකොත ඇතුලෙදි දවසක් ඩඩ්ලිට නොසෑහෙන්න බැනලා කට්ටියක් කඩා ගෙන ගියා. පෙරමුණේ පාටට ඒ කාලේ කිවුවේ පාලම් පාට කියලා.මොකද මෑන් පලාත් පාලන ඇමති වෙලා ඉන්න කොට හැදුවා පාලම් අන්න ඒවාට ගාපු ටිකක් කහ පාටට හුරු පාටක්. හැබැයි පලාත් පාලන ඇමති හැටියට හොඳ වැඩ ටිකක් කරපු කෙනෙක්. කවුරුවත් හිතන්නේ නැති නිර්මාණ ශීලී වැඩ කරපු කෙනෙක්. 1977 දී මෑන් බලය ගියා නම් මේ රට මීට වඩා ජනතා වාදී පාලනයක් තියන එකක් වෙන්න තිබුනා. ජේ ආර් ගෙන් බේරෙන්න බැරි තැන ඩඩ්ලි විපක්ෂ නායක කම ජේ ආර්ට දුන්නා. මිනිහා ඒක තියාගෙන යටින් සිරිමා එක්ක ඩීල් දැම්මා කියලා ඒ කාලේ කතා තිබුනා. කොහොම හරි ඩර්ඩන්ස් රෝහලේදී අප්‍රේල් 13 අවුරුදු දවසේ පපුවේ අමාරුවෙන් ඩඩ්ලි මැරෙද්දී අන්තිමට කියලා තියෙන්නේ අයි වෝන්ට් ටු ගෙට් දෙම් ඕල් ටුගෙදර් කියලාලු I want to get all of them together. මට ඔවුන් ඔක්කොම එකතු කරන්න ඕන කියලා. ඩඩ්ලිගේ මිනිය බලන්න පෝලිම තිබුනා හැතැප්ම පහක් විතර. ඊට පස්සේ ඒ වගේ පෝලිමක් මම දැක්කේ 1988 දී විජය කුමාරතුංගගේ මිනිය බලන්න. කොහොම හරි නිදහස් චතුරශ්‍රයේ තාත්තාගේ පිළිරුව යට චිතකයේ ඩඩ්ලිගේ දේහය පුච්චද්දී ජේ ආර් “සුර කුමරුවනි ඔබට සුව නින්දක්” කියලා යූඑන්පී එකේ නායකයා වුනා රට විනාශ කරන්න.

සෑම වැඩිහිටියෙකුට සතියකට ධාන්‍ය රාත්තල් අටක්, නිවහල්, ස්වෛරී, ස්වාධීන, ධර්මිෂ්ඨ සමාජයක් සඳහා කියලා ජේ ආර් පටන් ගත්තා මෑන්ගේ රට විනාස කරපු ගමන. කොහොම හරි ජේ ආර් ආවොත් දුප්පත් මිනිහාට තමයි වැඩි පුර කරන්නේ කියලා කිවුවාම ඇත්තම කියනවා නම් මචං අන්තිම අවුරුද්දේ හිටපු මෙඩ්ඩෝ වෙච්ච අපිත් බය උනා පොරට චන්දේ දෙන්න. ඇයි යකෝ දුප්පත් මිනිස්සුන්ට විතරක් කරනවා කිවුවාම. ඒ මොනවා උනත් ඒ වෙන කොට දේශපාලනයේ හය හතර වත් නොදැන හිටපු මම අන්තිමට මගේ කුලුඳුල් චන්දේ දුන්නා ජේ ආර්ට රට විනාස කරන්න.මම අදටත් ඒ ගැන කනගාටු වෙනවා. හැබැයි ආත්මාර්තකාමීව බැලුවොත් නම් අද වෙන කම් මට කිසිම නරකක් වෙලා නෑ. රටට මිසක්.

1978 අන්තිම වෙන කොට ජේ ආර් හැදුවා මේ ඒකාධිපති ව්‍යවස්ථාව. ඒකෙන් තමයි අර ප්‍රජාතන්ත්‍රවාදයේ මහ කුලුණු තුනෙන් එකක් අනිකට යට උනේ. ඒ කියන්නේ එතෙක් වෙන් වශයෙන් තිබුණු ව්‍යවස්ථාදායකය විධායකයට යටත් වුනා. ඇත්තෙන්ම විධායටත් නෙවෙයි එක පුද්ගලයෙකුට. ඒ කියන්නේ පාර්ලිමෙන්තුවත් කැබිනට් එකත් ජනාධිපතිගේ සීල් එකක් වුනා. ජනාධිපතිට ඕන දේට එකඟ වෙලා ගහන සීල් එකක් විතරක් උනා. ඒ වගේම මේ සමානුපාත චන්ද ක්‍රමය අනුව ජනතාවට තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කවුද කියලා හොයා ගන්න බැරි තත්වයක් ඇති කලා. දිස්ත්‍රික් ක්‍රමය නිසා එක මැතිවරණ කොට්ඨාශයක ඉන්න එකාගේ මොනවා හරි කුපාඩි කම් නිසා ප්‍රතික්ෂේප උනත් අනිත් දිස්ත්‍රික් චන්ද වලින් ඌට දිනන්න පුලුවන්. ඒ නිසා ඌ උගේ කොට්ටාශයේ එවුන්ව ගනන් ගන්නේ නෑ. ඒ වගේම ඒ කොට්ටාශයේ ජනතාවගේ කැමැත්ත දිනා ගත්ත එකා පරදින්න පුලුවන්. සෑහෙන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා.මෙන්න මේ වගේ කැඳ හැලියක් ඇති කලා. ඒකෙන්ම ජනතාවගේ තමන් කැමති කෙනෙක්ව තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට යවන්න තිබුනු අවස්ථාව නැති කලා.

මෙන්න මේ කාලේ වෙන කොට මට ටිකෙන් ටික දේශපාලනය තේරෙන්න පටන් ගත්තා. අනික 1978 වෙනකම් අම්මලා තාත්තාගෙන් යැපුනු මට දොස්තර උනාට පස්සේ මගේ වැඩ මටම බලා ගන්න උනාම තමයි රටේ තත්වය ආර්ථිකය වගේ දේවල් තේරෙන්න ගත්තේ. 1980 දී කලවාන ආසනය මැතිවරණ පෙත්සමකින් යූ එන් පී එකට නැති වෙච්ච වෙලාවේ ඒකට අතුරු මැතිවරණයක් නොතියා තමන්ගේ කෙනෙක්ව පත් කර ගන්න ජේ ආර් කරපු නිහීන වැඩේ මගේ දේශපාලන දැනුම වැඩි කලා. කොහොම හරි අන්තිමට පොරට ඒකට අතුරු මැතිවරණයක් තියන්න උනා. එකෙන් යූ එන් පී එක පැරදිලා කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගම පත් උනා.ඊට පස්සේ කාලෙක දවසක් ගාල්ලේ උසාවියේදී එයා හමු වෙලා කතා කරලා අඳුන ගෙන තමයි මම හරියටම දේශපාලනය ඉගෙන ගත්තේ.

ජේ ආර් 1977 දී අගමැති වෙච්ච ගමන්ම කරේ ඉහලින් හිටපු නඩු කාරයෝ හතර දෙනෙක් විශ්‍රාම යවලා පස් වෙනියට හිටපු නෙවිල් සමරකෝන්ව අග්‍ර විනිශ්චය කාර තනතුරට පත් කරපු එක. එහෙම කලේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාම කුලුණ වුනු අධිකරණයත් තමන්ගේ අතට අර ගෙන පූර්ණ ඒකාධිපතියෙක් වෙන්නයි. ඒත් නෙවිල් සමරකෝන් මහත්තයා අර පස්සේ චන්ද්‍රිකා පත් කරපු සරත් සිල්වා වගේ ජරා සතෙක් නෙවෙයි. හොඳ කොන්දක් තිබුනු නෙවිල්ව තමන්ට ඕන විදියට නටවන්න ජේ ආර් ට බැරි උනා. එකපාරක් ගම්පහ සාම විහාරයේ දරමිටිපොල රතනසාර හාමුදුරුවෝ ආණ්ඩුවට විරුද්ධව පත්තරයක් ගහලා ඒ කාලේ ගම්පහ පොලිසියේ හිටපු එස් පී උඩුගම්පොල ඒවා අල්ලගෙන පුච්චපු වෙලාවේ උසාවියෙන් මෑන්ට දඩ ගහපු වෙලාවේ ජේ ආර් කලේ ආණ්ඩුවෙන් ඒ දඩය ගෙවලා මෑන්ට උසස් වීමක් දුන්න ඩී අයි ජී හැටියට. එහෙම කලේ අධිකරණයට ගහපු කණේ පාරක් හැටියටයි. ඊලඟට ඒ ලඟදීම දවසක විවියන් ගුණවර්දන නෝනා කාන්තා අයිතීන් ගැන උද්ඝෝෂන පා ගමනක් යන කොට කොල්ලුපිටියේ පොලිසියේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් එයාටයි තවත් අයටයි ගහලා එලවපු වෙලාවේ උසාවියෙන් මෑන්ට දඩ ගහපු වෙලාවේත් ජේ ආර් ඒ දඩයත් ආණ්ඩුවෙන් ගෙවලා මෑන්ටත් උසස් වීමක් දුන්නා.

ඒ වගේ තව නඩු තීන්දුවක් දීපු වෙලාවක රෑ මිනිස්සු දාලා නඩු කාරයන්ගේ ගෙවල් වලට ගල් ගැස්සුවා. පස්සේ ඒක ගැන හොයන කොට කලු ලකී කියලා පොරක් ඉදිරිපත් උනා. ඒ වෙලාවේ පිට රට ඉඳලා ආපහු ආපු ජේ ආර් කිවිවේ මේක තමයි තරු පහේ ප්‍රජාතන්ත්‍ර වාදය කියලා කලු ලකීටත් සැලකුවා. නඩු කාරයින්ගේ ගෙවල් වලට ගල් ගහන එක ප්‍රජාතන්ත්‍ර වාදී ලක්ෂණයක් කියන තරමට ජේ ආර් නීචයෙක් උනේ පොරට අධිකරණය නම්මා ගන්න බැරි උන නිසායි. ඒකට හේතුව උනේ නෙවිල් සමරකෝන් වගේ කොන්ද පන තියෙන අග්‍ර විනිශ්චය කාරයෙක් මේ රටේ හිටි නිසායි. තමන්ව උඩට අරගෙන පත් කලා කියලා එයා ජේ ආර්ට පක්කලි වැඩ කලේ නෑ. ඒ පාර අර අප්පච්චි කලා වගේ එයාව තනතුරින් එලවන්න ජේ ආර් ට්‍රයි කලත් ඒක හරි ගියේ නෑ. නෙවිල් 19984 කම් හිටියා. 1982 දී 5/6 බලයෙන් පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගන්න හදපු වෙලාවෙත් නෙවිල් ඇතුලු අධිකරණය ඒකට ඉඩ දුන්නේ නෑ. පස්සේ ජේ ආර් ට සිද්ධ උනා ජන මත විචාරණයක් තියන්න. අප්පච්චිගේ කාලෙදි ඔහොම දෙයක් උනා නම් අනිවාර්යයෙන්ම අග්‍ර විනිශ්චය කාරයා අතුරුදහන් වෙනවා අර ඉඩි අමීන්ගේ කාලේ උගන්ඩාවේ උනා වගේ. උගන්ඩාවේ එක නඩු තීන්දුවක් දීලා තේ බොන්න කාමරයට ගිය නඩු කාරයා ආපහු ආවේ නෑ. ඒ වෙනුවට ටික වෙලාවකට පස්සේ බෙන්ච් එකට ආවේ වෙන එකෙක්. හිටපු එකා පිටිපස්සෙන්ම අරගෙන ගිහින් මරලා දාලා තිබුනා. 2020 න් පස්සේ මේවා අපේ රටේත් බලා ගන්න පුලුවන් වෙයි සමහර විට. හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන් මොකද මේ වෙන කොට සේරමලා වහල්ලු වෙලා තියන නිසා. අර නෙවිල්ලාගේ කැලිබර් එකේ මිනිස්සු දැන් නෑනේ. ඉන්නේ සරත් සිල්වා වගේ පීචං පොරවල්.

ඉතිං 1984 දී අග විනිසුරු කමින් විශ්‍රාම ගියපු නෙවිල් සමරකෝන් මහත්තයා රට ගියා. එයා බැඳලා හිටියේ මතක හැටියට ඉංග්‍රීසි කාන්තාවක්. අනික රට යනවා ඇර එයා වෙන මොනවා කරන්නද. තානාපති කමක් හරි වෙන මොකක් හරි ලොකු තනතුරක් ගන්න තිබුනා ටිකක් කීකරු වෙලා වැඩ ටික කර ගෙන හිටියා නම්. අනික කෙලෙහි ගුණ කියන එක දැන ගෙන හිටියෙත් නෑ. කරදරයක් නැතිව ඔහොම රට යන්න ලැබිච්ච එකත් ලොකු දෙයක් කරපු වැඩ වල හැටියට. ඊට පස්සේ අග විනිසුරු වෙච්ච ශර්වානන්ද මහත්තයා නම් බොහොම කීකරුව අනිත් අයටත් ආදර්ශයක් වෙන විධියට හිටිය නිසා එයා විශ්‍රාම යන කොටම ජේ ආර් මෑන්ව බස්නාහිර පලාතේ ආණ්ඩුකාරයා කරලා දැම්මා. මොකද 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙලාවේ ජන මත විචාරණයක් තියලා කරන්න තිබිච්චි උතුරු සහ නැගෙනහිර පලාත් දෙක එක පලාතක් කරන එක මෑන් නිකම්ම 2/3 වැඩි චන්දයෙන් කරලා දීලා ලකුණු ගත්තා. පෙර වැරදි නැති නිසා මෑන්ට ආණ්ඩුකාර තනතුර ලැබුනා. මම හිතන්නේ මේකෙන් ජේ ආර් කට්ටියටම ඉගැන්නුවා එයා කියන විදියට රස්සාව කරගෙන හිටියොත් පැන්ෂන් ගියාට පස්සෙත් ආතල් එකේ ඉන්න පුලුවන් කියලා.මෙන්න මේ විදියට ජේ ආර් එදා අර ජනතා පරමාධිපත්‍යය රැක දෙන ප්‍රජාතන්ත්‍ර වාදයේ කුලුණු තුනම අකර්මණ්‍ය කරලා දැම්මා.

ඒ වගේම පොර ඊට කලින් 1982 දී ජනාධිපතිවරණයේදී තමන්ට අභියෝගයක් වෙන්න තිබිච්චි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට අහෝසි කරලා දැම්මා ඉතාම අසාධාරණ විදියට.ඊලඟට 1982 දී වන් හෝස් රේස් කියලා ජනාධිපතිවරණයට ආවත් විජය කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුවව ජනාධිපතිවරනයට ශ්‍රීලනිප යෙන් දාලා කරට කර තරඟයක් දුන්නා. හැබැයි එතෙන්දි සිරිමායි අනුරයි එකතු වෙලා හෙක්ටර්ගේ කකුලෙන් ඇදලා ජේ ආර්ට දිනන්න පාර කපා දුන්නා. එහෙම කලේ 1988 දී තමන්ගේ පුතාට ජනාධිපති කම අරගෙන දෙන්නයි. මට නිකම් හිතෙනවා ඒ වගේ දෙයක් 2020 දීත් වෙයි කියලා. විජයලා දීපු ගේම් එකෙන් බය වුනු ජේ ආර් චන්දෙන් පස්සේ අනුරගේ සහයෝගයෙන් නැක්සලයිට් චෝදනාවක් දාලා විජය ඇතුලු කණ්ඩායම හිරගෙට දාලායි 1983 පාර්ලිමේන්තු චන්දය තිබ්බේ. ඔන්න ඔය විදියට 1977 දී ධර්මිෂ්ට රාජ්‍යයක් ඇති කරනවා කියලා ආපු ජේ ආර් මේ රටේ තිබුණු ප්‍රජාතන්ත්‍ර වාදය විනාශ කිරීමේ කාර්යය පටන් ගත්තා.

කොහොම උනත් ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ ජේ ආර්ගේ හුලං ටික ටික බහින්න පටන් ගත්තා. ටික ටික නෙවෙයි හොඳටම බැස්සා. ගිවිසුමට කෙලින්ම විරෝධය පාලා ප්‍රේමදාස, ඇතුලත්මුදලි වගේ ආණ්ඩුවේ බල කණු ඒක අත්සන් කරන වෙලාවේ ආවේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුමත් එක්කම ආපු පලාත් සභා වලට සපෝර්ට් කරපු අය එක එකා මරා දාන්න පටන් ගත්තා. ඒ වෙලාවේ කවුරුත් කිවුවේ ඒවා සේරම ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කියලායි. ඒත් සමහර මිණී මැරුම් ගැන තාමත් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම විජය කුමාරණතුංග ඝාතනය, ලයනල් ජයතිලක ඝාතනය, කලුතර ඉන්ද්‍රදාස අබේවීර ඝාතනය වගේ ඒවා. 1988 අන්තිම වෙන කොට ඊට කලින් තුන්වෙනි සැරේටත් ජනාධිපති වෙන්න කටයුතු කරපු ජේ ආර් ඒ අදහස අත් ඇරලා ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂක කම ඊට කලින් අගමැතිකම දුන්නා වගේම බොහොම අකමැත්තෙන් දුන්නා. එහෙම දීලා ජනාධිපති චන්දෙට කලින් පාර්ලිමේන්තුව විසිරුවන්න හැදුවත් බොහෝ දෙනාගේ විරෝධය නිසා ඒක කෙරුවේ නෑ. හැබැයි ප්‍රේමදාස චන්දෙන් දිනලා දිවුරුම් දෙන්නත් ඉස්සෙල්ලාම පොර පාර්ලිමේන්තුව විසිරෙවුවා. එහෙම කලේ ප්‍රේමදාසට 5/6 බලය තියෙන පාර්ලිමේන්තුවක් දවසකටවත් නොදෙන්නයි. මෙන්න මේ වගේ ජරාම මිනිහෙක් තමයි ජේ ආර් කියන්නේ.

මට මතක හැටියට් ප්‍රේමදාස අධිකරණයට අත තිබ්බේ නෑ. මොකද මිනිහාට දුන්නේ දෙකොන පත්තු වෙච්ච විලක්කුවක් වගේ රටක්. අනික මිනිහාට තමන්ට ඕන විදියට ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න තිබිච්චි ඉඩකඩත් ජේ ආර් පාර්ලිමෙන්තුව විසිරවීමෙන් නැති කරලා තිබුනේ.ඒ වගේම මිනිහාට වෙන මොනම නායකයකුට නොතිබුනු ප්‍රශ්න ගොඩක් තිබුනා. එලියේ වගේම ඇතුලේත් කචල්.ගාල්ලේ දහනායකට පස්සේ සාමාන්‍ය පවුලකින් ආපු ප්‍රේමදාසට තමන්ගේ ඒ තත්වය නිසා මුහුණ පාන්නට වෙච්ච කැපිලි ජනාධිපති වෙලාත් නැවතුනේ නෑ.මම හිතන විදියට ඒ සේරම මැදත් රටට යමක් කරන්න එයාට උවමනාවක් තිබුනා කියලා. පක්ෂ භේදයක් නැතුව රාජ්‍ය සේවයට තරඟ විභාග වලින් බඳවා ගන්න තීරණය කිරීම පක්ෂයේ අනිත් අයට දිරෙවුවේ නෑ. ඒ වගේම තමන්ගේ පුතාට දේශපාලනයේ පාර හදන්න උත්සාහ ගත්තේ නෑ. අද සජිත් ඇවිත් තියන දේශපාලන ගමනට තාත්තාගේ නම ඇරෙන්න අඩු ගනනේ මැද කොලඹ ආසනය වත් ලැබුනේ නෑ. ඒ අතින් බැලුවාම ප්‍රේමදාසට හොඳ අප්පච්චි කෙනෙක් කියන්න බෑ. අර පාරේ සිංදු කිය කියා හිටපු හිඟන්නන්ගේ ඔලු වලට ගල් අත ඇරලා සුද්ද කරනවා වෙනුවට මිනිහා උන්ව රූපවාහිණියට ගෙනත් 'මාවතේ අපි" කියලා ඒ ගොල්ලා ලවා සිංදු කියවන ප්‍රොග්‍රම් එකක් පටන් ගත්තා.ඒ වගේම ඇඟලුම් කම් හල් ගමට ගෙනියන්න පටන් ගත්ත එක ඒ ගම් වල හිටපු අයට ලොකු සහනයක් උනා ගෙදර ඉඳන්ම වැඩට එන්න පුලුවන් වීම නිසා. ඔය විදියට මෑන් හිටපු ටික කාලේට හොඳ වැඩ ගොඩකට මුල පිරුවා. ඒත් අවුරුදු 12 ක ජේ ආර් කරපු පව් වලට එයාට කර ගහන්න වුනා.මම හිතනවා 1977 දී මිනිහා නායකයා වුනා නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුනා කියලා හොඳ අතට. මේ නිසා ප්‍රේමදාස මරාපු වෙලාවේ හැම තැනම් රතිඥ්ඥා පත්තු වුනත් ජේ එම් ඕ JMO ඔෆිස් එකේ එවුන්ට එහෙම කරන්න මම ඉඩ දුන්නේ නෑ. මිනිහාගේ විරූපි වුනු සිරුර දැක්කාම මට නම් දුකක් ඇති වුනා.

ඊට පස්සේ ඉතිහාසයේ අධිකරණයට කරන්න පුලුවන් අන්තිම පහත්ම නිග්‍රහය කෙරුවේ චන්ද්‍රිකා කුමාරණතුංගයි. ඒ තමන් විසින් කරන ලද දූෂණ වලට විරුද්ධව පවත්වපු නඩු විභාගයකින් නීතිඥ වෘත්තියෙනුත් පලවා හැරීමට ඔන්න මෙන්න කියලා හිටපු ඒ කාලේ ඇටෝර්නි ජෙනරල් විදියට හිටපු සරත් එන් සිල්වාව 1999 දී අග්‍ර විනිශ්චය කාර තනතුරට පත් කරමින්. මම දකින විදියට ඒක කුමාරණතුංග කියන නමටත් කරපු අපහාසයක්. මම චන්දයකදී කරපු දෙවෙනි මෝඩ කම තමයි 1994 දී ඔය අම්මණ්ඩිට චන්දය දීපු එක. එහෙම කලේ මම මෙඩ්ඩා කාලේ ඉඳලම හොඳ දැන ගෙන හිටපු විජයට සලකලා. ඒක කරපු දවසේ රාවය පත්තරේ වික්ටර් අයිවන් ඒ පත් වීම දෙන පොටෝ එක උඩු යටිකුරු කරලා පත්තරේ පල කරලා කතෘ වාක්‍යය දැම්මා අධිකරණයේ මල ගම කියලා. එදා තමයි මගේ තාත්තා මට කිවුවේ පුතා අපි සුද්දා යටතේම හිටියා නම් මීට වඩා හොඳයි කියලා. 100% නීති ගරුකව ජීවත් වෙච්ච මගේ තාත්තාට ඒක උහුලා ගන්න බැරි උනා. සරත් සිල්වාව ඒ තනතුරට ඒ විදියට පත් කිරීම ගැන ඒ දවස් වල හුඟාක් වෘත්තීය සමිති විරුද්ධත්වය ප්‍රකාශ කරපු වෙලාවේ මමත් අපේ යූනියන් එක වෙච්ච ජී එම් ඕ ඒ GMOA එකට යෝජනා කලා අපිත් විරුද්ධත්වය ප්‍රකාශ කරමු කියලා. එතකොට ඒ කාලේ යුනියන් එකේ සභාපති වුනු අර තජුඩීන් කේස් එකට මාට්ටු වෙලා ඉන්න ආනන්ද සමරසේකර මට කිච හිනාවක් දාලා කිවුවා ඒක අපේ සංගමයට අයිති කාරණයක් නෙවෙයි කියලා. මම කිවුවා ඒ උනත් අපි සේරම මේ රටේ නීතියට යටත් නිසා මේ පත් වීම අපට බලපානවා කියලා. එතකොට මෑන් ආයිමත් අර කිච හිනාව දාලා මාවත් කිච කරලා දැම්මා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් සරත් සිල්වා ජීඑම් ඕ ඒ GMOA එකටත් දුන්නා බඩ යන්න ගේමක්. අපි එදා අඩු ගණනේ අර වගේ ප්‍රකාශයක් කරලා තිබුනා නම් කියන්න තිබුනා ඒ තරහටයි අරහෙම කරේ කියලා.

අග්‍ර විනිශ්චය කාරයා වුනු ගමන්ම සරත් සිල්වා කලේ තමන්ට විරුද්ධව තිබිච්ච නඩුව තමන්ද ඇතුලත් කමිටුවකට දාලා තමන්ව තමන් විසින්ම නිදහස් කර ගත්තා. ඊට පස්සේ මෑන් කරපු තරමක් කරේ නීති විරෝධී තීන්දු දීපු එක. මේ නිසා 2001 දී ජාත්‍යන්තර නීතිඥ සංගමය International bar Association රජයට පෙන්වා දුන්නා ලංකාවට ස්වාධීන අපක්ෂපාතී අධිකරණයක් තිබිය යුතු බවත් රටේ නීතියේ ආධිපත්‍යය රකිනවා වෙනුවට රජයත්, ජනාධිපතිත් පවතින අධිකරණයත් එය විනාශ කරමින් සිටින බවත්. ඒ අනුව සරත් සිල්වාට විරුද්ධව ගෙන ඒමට සූදානම් කල දෝෂාභියෝගය ඔහුගේම මැදිහත් වීමෙන් වලක්වා දැමුනා. දවසක් මහ රෑ ගෑනියෙක් එක්ක පාර්ලිමේන්තුව කිට්ටුව පාලු තැනක කාර් එකක් ඇතුලේ අශෝගන විදියට හිටපු මිනිහෙක්ව තලංගම පොලිසියෙන් අල්ල ගෙන ගියා. ගිහිං බලන කොට සරත් සිල්වා. ඒ නිසා පොලිසිය අසරණ උනා. කොහොම හරි මේ නිර්ලජ්ජිතයා 2009 දී විශ්‍රාම යනකම් තනතුරේ රැඳී හිටියා.ඊට පස්සේ 2004 දී මහින්ද රාජපක්ෂ සුනාමිය වෙලාවේ හෙල්පින් හම්බන්තොට කියන ව්‍යාපෘතියට ලැබිච්චි සල්ලි තමන්ගේ බැංකු ගිණුමට දා ගත්ත වෙලාවේ මෑන්ට විරුද්ධව දාපු නඩු විභාගයෙන් මෑන්ව නිදහස් කරලා මේ මෑතකදී කිවුවා අවුරුදු දහයක් හිරේට යවන්න තිබිච්චි මහින්දව නිදහස් කරලා එයාට ජනාධිපති වෙන්න දුන්නාට පොරට සමා වෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් මිනිහා ඒ කරපු වැරැද්දට ඒකාට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ. සරත් සිල්වා කොයි තරම් ලැජ්ජා නැති මිනිහෙක්ද කියනවා නම් අරහෙම කියලා ආයිමත් මහින්දට සෙට් උනා ඒ වගේම ලැජ්ජා නැතිව මහින්දත් මෑන්ව ලං කර ගත්තා. මේකෙන් පේනවා ගුරීලා, ගුරාලා, ගෝලයෝ සේරම එක වල්ලේ ලැජ්ජා නැති පොරවල් කියලා.

ඉන් පසු 2011 දී අග්‍ර විනිශ්චයකාර තනතුරට පත් වුනු ශිරානි බණ්ඩාරනායකද රජයට විරුද්ධව නිවැරදි තීන්දු දීමත් ඊට පස්සේ තමන්ගේ මල්ලීගේ දිවි නැගුම ගිණුමේ පණත් කෙටුම් පතක් අනුමත නොකිරීම නිසා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උවමනාව මත 2013 දී දෝෂාභියෝගයක් මගින් ඇයව ධූරයෙන් නෙරපා දමන ලදී. ඇය ඉදිරිපත් කල අභියාචනයද අධිකරණය නිශ්ප්‍රභා කලා. පසුව 2015 දී නව රජය විසින් ඇයව නැවත සේවයේ පිහිටුවනු ලැබූවද ඊට පසු දිනම යහපත් අධිකරණ සේවයක් රට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සේවයෙන් ඉල්ලා අස් වූවාය.

මේ අනුව 1977 දී ඒවන තුරු මෙරටේ තිබූ ප්‍රජාතන්ත්‍ර වාදයේ ප්‍රධානම කුලුණක් වූ අධිකරණය ජේ ආර් විසින් පාගා දැමීම ආරම්භ කල අතර 1999 දී අතිශයින්ම දූෂිත මිනිහෙක්ව අග විනිසුරු කමට පත් කරලා චන්ද්‍රිකා මුලු අධිකරණයම ගඳ ගස්සපු හැටිත් 2013 දී මහින්ද රාජපක්ෂ අධිකරණය මුලුමනින්ම විනාශ කල හැටිත් ඉතිහාස ගත වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඉතින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වෙලා නෑ. ඒ වෙනුවට ඒකේ තේරුමවත් නොදන්නා උගත් නූගත් අයගෙන් සමන්විත වහල් සමාජයක් ඇතිවෙලා තියෙනවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී