සිංහල බෞද්ධ කුඩ්ඩෝ සහ කුඩු නායකයෝ.

ඊයේ මගේ හොඳම යාලුවාට පන්සලට යන්න ඕන වෙලා "අනේ අද ඩ්‍රයිවරුත් නිවාඩු චූටි පුතාත් මෙඩිකල් එක්ෂිබිශන් එකට බී එම් අයි සී එච් එකට ගිහින් ඒ හින්දා මාත් එක්ක පන්සලට යන්න එන්න" කියලා ඥං පචං ගාපු නිසා එයාත් එක්ක ගියා පන්සලට. මාව දැකපු ගමන් ලොකු හාමුදුරුවෝ "ආ අද දොස්තර මහත්තයා පන්සල් ඇවිත් තියෙන්නේ මොකද පාර වැරදිලා වත්ද" කියලා කිච වැදෑරිල්ලක් වැදෑරුවා. මම කිවුවා අනේ අපේ හාමුදුරුවනේ හරියට වැඩ කියලා. හාමුදුරුවෝ කියනවා බෞද්ධයෙක් වෙලත් මහත්තයලා පන්සල් එන්නෙ නෑ. මහත්තයලාගේ ආගම තියෙන්නේ උප්පැන්න සහතිකයේ විතරයි,අද කාලේ සිංහල බෞද්ධ ගෑනු දරුවෝ හදන්නෙත් නෑ ශරීරය කැත වෙනවාට බයේ, මෙහෙම ගියොත් සිංල බෞද්ධයින් නැති වෙනවා මේ රටේ කියලා.
මට මල පැන්නා ඕයි ඒක අහලා. මම කිවුවා අපේ හාමුදුරුවනේ මම අවුරුදු 35 ක් විතර වෙන කම් උපතින් බෞද්ධයෙක් තමයි. ඒත් ඊට පස්සේ මම පැවැත්මෙන් බෞද්ධයෙක් උනා. මම පන්සිල් රකිනවා. හැමෝටම එක වගේ සලකනවා. රස්සාව හරියට කරනවා හැම තිස්සෙම නිරාමිස සතුටකින් ඉන්නවා, මම හිතන්නේ ඒක තමයි පින කියන්නේ කියලා. ඔය හැමදාම පන්සල් එන අය ගැන ටිකක් හොයලා බලන්න ඒ ගොල්ලන්ගේ කෙරුවාව කොහොමද කියලා. මම කිවුවා අපි නම් ලමයි තුනක් හැදුවා ඒ වගේම උන් හොඳ මිනිස්සුත් කෙරුවා. තුන් දෙනාම සීසර් කරලා නොගත්තා නම් තව දෙන්නෙක් වත් හදනවා කියලා. එතකොට මගේ යාලුවා කකුල පෑගුවා. මම ඒක ගනන් නොගෙන කිවුවා හාමුදුරුවනේ මිනිස්සු මොකටද දුසිම් ගනන් ළමයි හදලා උන්ට රස්සාව නැත්නම් ඉගෙන ගත්ත එවුන් පිකටින් කරනවා. අනිත් එවුන් කුඩු, කසිප්පු ගහනවා ඉතින් මොකටද එහෙම එවුන් හදලා කියලා, මොකද හාමුදුරුවෝ උන්ට රස්සාවල් දෙන වැඩ පිලිවෙලක් හදලා තියෙනවද අර ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ වගේ කියලා. මගේ යාලුවා ඉක්මනට හාමුදුරුවන්ට වැඳලා මාවත් ඇදගෙන එන ගමන් කිවුවා "මොකක්ද අනේ ඔයාට වෙලා තියෙන්නේ. ඩිස්පෙන්සරියට ගියොත් ලෙඩ්ඩු තරහ කර ගන්නවා, පන්සලට ඇවිත් හාමුදුරුවෝ තරහ කර ගන්නවා" කියලා. මම කිවුවා එහෙම නම් මීට පස්සේ මට ඔය තැන් වලට යන්න කියන්න එපා කියලා.
බලපල්ලා මම බොරුද කිවුවේ. අද වෙන කම් එක හාමුදුරු කෙනෙක් කියලා තියනවාද ලොක්කන්ට කුඩු ගේන එක මත් පැන් හදන එක නවත්තන්න කියලා. ඒත් උන් ගිහින් අරුන්ට පිරිත් නූල් බඳිනවා.ඕවායින් 80% ක් විතර බොන්නේ සිංහල අය. මුස්ලිම් මිනිස්සු බොන්නේම නෑ. දෙමළ අය ටිකක් බොනවා. ඒත් උන් කුඩු ගහන්නේ නෑ. කුඩු ගහන්නේම සිංහල උන්. මම දන්නවා මම ආණ්ඩුවේ වැඩ කරන කාලේ හෙරොයින් වලට ඇබ්බැහි වෙලා පුණරුත්තාපනය කරන්න ගෙනාපු උන් සේරම සිංහල අය. මුස්ලිම් අය ඒවා ගෙන්නනවා හැබැයි උන් බොන්නේ නෑ.
රනිලාගේ කාලේ මුස්ලිම් ඇමතියෙක් සමුපකාරේ ලොරියකම කුඩු ගෙනාවා. ඌට මොකක්ද උනේ. මහින්දගේ කාලේ නිමල් ලන්සාගේ ගෙදර කුඩු හොයන්න වටලපු වෙලාවේ මහින්ද ගිහින් පොරව බදා ගත්තා. ඊට පස්සේ ආයිත් කවුරුවත් යයිද උගේ කුඩු අල්ලන්න. කුඩු දුමින්දයා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී. ඉතින් කවුද යන්නේ ඌව අල්ලන්න. ඔන්න ඔහොමයි මහින්ද කුඩු වලට අනුග්‍රහය දැක්කුවේ. මෙහේ ඉන්න මෝඩ වහල්ලු කියනවා මහා දේශප්‍රේමියාලු, සිංහල බෞද්ධ නායකයාලු. සිවුරු කාරයෝ ගිහින් පිරිත් නූල් බඳනවා. හිට්ලර් වෙලා එන්න කියනවා. නිකං මෙහෙම නම් හිට්ලර් උනාම මොනවා වෙයිද.
ඒ නිසා මේ රටට, මිනිස්සුන්ට, තමන්ගේ දරුවන්ට, ඇත්තටම ආදරේ එවුන් ඉන්නවා නම් ඉස්සෙල්ලාම රට බේර ගන්න ඕන දෙමලා ගෙන්වත් තම්බියා ගෙන් වත් නෙවෙයි මෙන්න මේ සිංහල ජාතිය කුඩු වලින් වනසන දේශද්‍රොහී නායකයන්ගෙන්. දරුවෝ දහයක් හැදුවත් කමක් නෑ උන්ව හොඳ මිනිස්සු කරන්න පුලුවන් නම්. අර සිවුරු කාරයෝ කියනවාට හදලා උන් කුඩු වලට ඇබ්බැහි උනාම උන් දෙමළාට, තම්බියාට, චීනාට හරි කමක් නෑ කුඩු ගන්න සල්ලි දෙනවා නම් ඕනම දෙයක් කරයි.මම මෙතන දෙමළා තම්බියා කිවුවේ උන්ට කිසිම අපහාසයක් කරන්න නෙවෙයි. මම දන්න දෙමළ, මුස්ලිම් අය ඉන්නවා සිංහල අයට වඩා සිය ගුණයක් හොඳ.
අද වෙන කොට ඉස්කෝල ඉස්සරහත් මත් ද්‍රව්‍ය විකුණනවා. ආතල් ගන්න කියලා ළමයි ඒවා ගන්නවා. ඒ ළමා වයසේ හැටි. හැම දෙයක්ම අත්හදා බලනවා. අපි පුංචි කාලේ ඔය වගේ දේ නොතිබුන නිසා ඒ කාලේ ළමයි අත් හදා බැලුවේ සිගරට් අරක්කු විතරයි. ඒත් ඒවාට ඇබ්බැහි වෙන්න කල් යන නිසා ඒවාට පුරුදු වුනේ ටික දෙනායි. ඒත් හෙරොයින් වලට දවසෙන් දෙකෙන් ඇබ්බැහි වෙනවා. ඊ ලඟට පිහි වලින් ඇනලා අනිත් එවුන්ව මරණවා. මේ ගැන ඒ කාලේ මම දොරමඩලාවේ කියපු ඒවා යූ ටියුබ් එකට ගිහින් බලා ගන්න පුලුවන්. මේ හැම එකකටම අහු වෙන්නේ උප්පැන්න සහතිකයේ සිංහල බෞද්ධ අයයි. ඉතින් අපේ ගොන්නු කියනවා සිංහල බෞද්ධ කම රැක ගන්න නම් මහින්ද දිනවන්න කියලා. ඒ කාලේ ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් හෙරොයින් ගෙන්නුවා සිංහල එවුන්ට. හැබැයි ඌ උතුරේ එකෙකුට ඒවා ගහන්න දුන්නේ නෑ.මොනවා කරත් ඌට උගේ ජාතිය රැක ගන්න උවමනාවක් තිබුනා.
බොලා හිතන්න එපා මම මෝඩ කමට මේවා ලියනවා කියලා. මම රස්සාව කරන කාලේත් මට පුලුවන් උපරිමයෙන් මිනිස්සු වෙනුවෙන් වැඩ කෙරුවා. දැනුත් එහෙමමයි. මේවා දැකලා මම ගැන ඔත්තු දෙන උන් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේම ඉන්න බව මම දන්නවා. ඒත් මම රට වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් මට හරියි කියලා හිතෙන දේ කරනවා. දැන් මගේ ජීවිතයේ ආපහු ලබා ගන්න දෙයක් නෑ. මම මට උවමනා සියල්ල අත් කර ගෙන තියෙනවා. දැන් තියෙන්නේ අත් හරින්නයි. ඒ නිසා මම මගේ ජීවිතේ උනත් අත් අරින්න ලෑස්තියි ඇත්ත කතා කරලා. දේශ ප්‍රේමී මුහුණ දාගෙන දේශය විනාශ කරන විකුණ ගෙන කන එවුන්ව එලි දරවු කරලා.

මෙන්න මේකත් නොවරදවා අහලා බලන්න. අපි ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුලුවන්. බලලා අනිත් අයටත් බලන්න ශෙයාර් කරන්න. මම පෝස්ට් එකේ කියපුවා බොහොමයක් මේකෙත් තියනවා


තව තියෙනවා කියන්න. ඒ ටික හෙට.


කවුරු හරි කෙනෙක් තව කාට හරි 'තෝ බල්ලා" කියලා බැන්නොත් අනිකා හුඟාක් වෙලාවට කවුද යකෝ බල්ලා කියලා අරූටත් බනීවි. එහෙම නැත්තම් ගහ ගන්න යාවි. හැබැයි "තෝ සිංහල බල්ලා, එහෙම නැත්තං දෙමළ හරි මුස්ලිම් බල්ලා හරි කිවුවා නම් දැන් කලින් වගේ අනිත් පැත්තට ........බල්ලා කියලා බැන්නාට හරි ගැහුවාට මදි. ඊට වඩා ලොකු දෙයක් වන්දියක් ඕන කරනවා. අර කියපු එකාව මරන්න, ලේ බොන්න තමයි හිතෙන්නේ.
ඇයි එහෙම වෙන්නේ. කොතෙන්ටද අර වචනේ වැදුනේ, කොතනද රිදුනේ. ගහන්න ඕන එකා දන්නවා හරියටම නිලේ, වදින්න ඕන තැන. එතන තමයි ජාති වාදය කියන විෂ බීජය නිසා මිනිස් සිත් තුල ඇති වෙලා තියන තුවාලය. 
මේක පෑරුනාම හරිම වේදනායි. ජාතිය විතරක් නෙවෙයි ආගම කුලය වගේ දේවල් වලිනුත් මේ තුවාලය ඇති කරනවා. ඒ වගේම තමන් අදහන දේශපාලන පක්ෂයෙනුත් මේ තුවාල ඇති කරනවා.මේ පක්ෂ වලට වහල් වීම නිසා ඇති කරන තුවාලය කලින් තුවාල වලට වඩා දරුණුයි. සමහරුන්ගේ සමහර පෝස්ට් වලට එවලා තියන කොමෙන්ට්ස් දිහා බැලුවාම පේනවා සමහර අයට කොයි තම් දරුණු විදියට මේ තුවාලය ඇතිවෙලාද කියලා. පොඩ්ඩ ඇත්නම් පෑරෙනවා. ලොකු වේදනාවක් ඇති වෙනවා. ඉතින් කරන්නේ කියන්නේ මොනවාද කියන එක අමතක වෙනවා. ඒකයි මම මුලින් කිවුවේ මේක අර AIDS වගේ රෝගයක් කියලා AFDS කියලා නමකුත් දුන්නේ. අපි කවුරුත් මිනිස් වර්ගයාට අයිති අයයි කියන හැඟීම තියන අයට අර තුවාලය හැදෙන්නේ නෑ.

ඒ වගේම තමයි ආගම. ඒක පසු කාලීනව ආගමක් වුනත් හැම ශාස්තෲ වරයෙක්ම පෙන්නලා දීලා තියෙන්නේ හොඳින් ජීවත් වන මාර්ගයක්. පසු කාලීනව මේකට මිත්‍යාව ඇතුල් වෙලා ආගම් බවට පත් වෙලා තියනවා. ඉතින් අද තියෙන්නේ ශාස්තෲ වරුන් දේශනා කල දේවල් වලට වඩා හාත් පසින්ම වෙනස් දේවල්. අද යම් හෙයකින් මේ ශාස්තෘවරුන්ම යලි පහල වුනොත් එතුමන්ලාව මුලින්ම ප්‍රතික්ෂේප කරන්නේ ඔන්න ඔය ආගම කරේ තියා ගෙන ඉන්න ආගමට වහල් වූ අයමයි.
ඉතිං පහුගිය දශක හතරක විතර කාලය පුරාවටම මහා විනාශයක් කරපු ජීවිත දේපල වගේ රටේ දියුණුව විනාශ වෙන්න හේතු වුනු මේ තුවාලය සුව කරලා ඒකට හේතු වුනු ජාති වාදය කියන විෂබීජය නැති කරන්න හදනවා වෙනුවට එදා ජේ ආර් කරා වගේම එහෙම නැත්තං ඊටත් වැඩි විදියට අද ඉන්න අය මේක පාරනවා. හිඟන්නාට උගේ තුවාල හිඟමන් ගන්න උවමනා වෙන නිසා ඌ එක සනීප කර ගන්නේ නෑ කියලා ඉස්සර කිවුවත් දැන් වෙලා තියෙන්නේ තුවාලයට බෙහෙත් කරන දොස්තරටයි මේක ඕන වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම දොස්තර කෙනෙකුගේ පරම යුතුකම වෙන්නේ යමෙකුගේ රෝගය හොඳ කරන එක වුනත් මෙතන වෙන්නේ දොස්තරම ඒක පාරව පාරව වැඩි දියුණු කරන එකයි. මොකද ලෙඩේ හොඳ වුනොත් දොස්තරගේ ආදායම ඉවරයි. පොර යැපෙන්නේ මේකෙන්. ලෙඩාගේ ජීවිතය මේ රෝගය නිසා නැති වෙලා ගියත් දොස්තරට ප්‍රශ්නයක් නෑ තමන්ගේ ගතමනාව ලැබෙනවානම්. දොස්තර මේ ලෙඩේ සුව කරයි කියන විශවාසය මත ලෙඩා ඔහු ලඟට ගියත් ලෙඩේ එන්න එන්නම උත්සන්න වෙන බව අරූට තේරෙන්නේ නැත්තේ දොස්තර ගැන තියන දැඩි අන්ධ විශ්වාසය නිසායි.නමුත් දොස්තර ටිකෙන් ටික තමන්ව විනාශ කරනවා කියන එක ඌට තේරෙන්නේ නෑ.
1983 දී ජේ ආර් දොස්තර කරපු මේ තුවාලය 
ඔඩු දුවලා ඇති වුනු බරපතල තත්වය ඊට පස්සේ ආපු දොස්තරලා තවත් ඔද්දල් කරලා අන්තිමට ආපු දොස්තර තවත් විශේෂඥ දොස්තරලාත් එක්ක එකතු වෙලා පිටින් පෙනෙන්න තිබුණු රෝගය සනීප කලත් හැදෙන්න හේතු වුනු තුවාලය අයින් කලේ නෑ. මට පේන විදියට පස්සේ දොස්තරට තේරුණා රෝගය හොඳ කරලා කෙරුවේ මෝඩ කමක් කියලා. ඒ නිසා දැන් අලුත් තුවාලයක් හොයනවා කියලයි මට හිතෙන්නේ. ඇත්තටම දොස්තරලාට පවතින්න නම් ලෙඩ්ඩු අවශ්‍යමයි. යම් දවසක මේ ලෝකයේ ලෙඩ සියල්ල නැති වුනොත් උන් එකතු වෙලා හරි අලුත් ලෙඩක් හදනවා. මේක අපි මැද පෙරදිග රට වල දකිනවා. ඉතින් මෙහේත් දැන් අලුත් ලෙඩ හදනවා. මේක තමයි 2009 න් පස්සේ ඇති කරපු මුස්ලිම් විරෝධය. මෙතෙක් කල් සමහරුන්ගේ හදවත් වල තිබුනු විෂබීජය මගින් දැන් තුවාලයක් හදමින් පවතිනවා.යම් දුරකට හදලා තියන මේ තුවාලය දැන්ම සනීප කලේ නැත්නම් ඔඩු දුවලා ගිහින් කලින් වුනාට වැඩි විනාශයක් ඒකෙන් වෙනවා. 1983 දී කිවුවා වගේ මම ඒක අද කියනවා.

අදට මේ ඇති. මම කියපුවා බුද්ධියක් තියන අයට ගෝචර වෙයි. එහෙම අයට පුලුවන් අනිත් අයට තේරුම් කරලා දෙන්න. මම දේශපාලන දොස්තර කෙනෙක් නොවන නිසා මට අවශ්‍ය මේ ලෙඩේ විතරක් නෙවෙයි පුලුවන් නම් අර විෂ බීජත් අයින් කරන්න. නමුත් ඒක ලෙඩේ සුව කරන එක තරම් ලේසි නෑ. මොකද විෂබීජ විනාශ කරන බෙහෙත් හරිම තිත්තයි. ඒ නිසා පොඩි ළමයි වගේ මිනිස්සු ඒ බෙහෙත් ගන්න කැමති නෑ. බලෙන් පෙවුවත් උන් ඒව තූ කියලා එලියට දානවා අඟට පත්තියං වෙන්න කලින්. ඒ වගේම අද ඉන්න විමල් වීරවංශ, ගම්මන්පිල වගේ වෙද්දු කරන්නේ කොහොම හරි අර යටපත් වුනු තුවාලය ආයිත් ඇති කර ගන්නයි.ඒ නිසා අර අයට බේත් එපා කරවනවා. මුන්දෙන්නා විතරක් නෙවෙයි උන් එක්ක ඉන්න අනිත් වෙද්දුත් එහෙමමමයි.


මගේ රාජකාරි ජීවිත කතාවේදී මම කිවුවානේ 1979/81 කාලවල මම පොලොන්නරුව රෝහලේ ඉන්න කාලේ මට බකමූණ හොස්පිටල් එකට යන්න කිවුවාම ගිහින් එහේ පොලිසියේ ඕඅයිසී දවසක් එහේ හිටපු මැණික් කාරයකුගේ කාර් එකක කොලඹ එවපු කතාව. එදා මම කොලඹට ආවේ දරුණු උණක් හදාගෙන. ඒ තමයි අර ආපු කාරෙක වගේ එකක් ගන්න.
පස්සේ මම ගාල්ලට ඇවිත් දවසක් ඇර දවසක් රෑ වැඩ ඉල්ල ගෙන දවල්ට අර එස් බී කියන විදියට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ හම්බ කරන්න පටන් ගත්තා එක එක ප්‍රයිවට් දොස්තරලා ලඟ. ඔහොම මාස හයක් විතර ඉන්න කොට ගොඩාක් ලෙඩ්ඩු මට සෙට් උනා. හුඟාක් අය මට කිවුවා මගේම ඩිස්පැන්සරියක් පටන් ගන්න කියලා. එහෙම කලාම නිදහස නැති වුනත් මම හිතුවා අර උණ ඉක්මනට සනීප කර ගන්න නම් ඒක කරන්න වෙනවා කියලා. මම ඒ පාර ගිහින් ගාල්ලේ ඉඳලා කිමී හතක් විතර කොලබ පැත්තට වෙන්න තියන ගිංතොට කුරුඳු වත්ත කියන හරියේ පටන් ගත්තා මගේම එකක් හවස හතරෙන් පස්සේ. ඒ හරියේ තනිකරම මුස්ලිම් අය ඉන්නේ. ඉතින් පලවෙනි දවසේම මම ලෙඩ්ඩු 32 ක් බැලුවා. ඒ කාලේ එක් කෙනෙකුගෙන් ගන්නේ 16.50 ක් විතර. බෙහෙත් වලට 8.50 ක් ගියාම ඉතිරිය මට.ඒ කාලේ අපේ පඩිය තිබුනේ රු දාහක් විතර සේරම දීමනා එක්ක. පෙට්‍රල් ගැලුමක් රු 20 යි. එතන මම කෙරුවේ වන් මෑන් ශෝ එකක් නිසා ඔක්කොම ප්‍රොෆිට්. තැනත් එහේ තිබුනු හජ්ජියාර් ගෙදර කියන කවුරුත් සලකන තැනක්.
කොහොම හරි පඩියත් එක්ක මට මාසෙකට රු. 10000 විතර තිබුනා. මාස තුනකින් විතර කාර් උණ හොඳ වෙලා තවත් මාස හයකට පස්සේ ආයෙ ඉතින් මොනවාට මැරෙනවාද කියලා ඉංග්ලන්ඩ් ගිහිං එහේ වැඩ කරන්න ඕන කරන ප්ලැබ් විභාගේ කරන්න කියලා හිතාගෙන පවුම් 100 විභාග ගාස්තු බැඳලා නිවාඩු දාලා කොලඹ හිටපු පොරවල් එක්ක පාඩම් කර කර ඉන්න අතරෙයි අර ඒඩ්ස් ගැනත් ඒක හැදෙන හැටි හොයා ගෙන නැති බවත් දැන ගත්තේ. ඒකට බය වෙච්ච පාර අර විභාගේ අවලංගු කරලා ආයිත් ගාලු ගිහිං පටන් ගත්තා ලෙඩ්ඩු බලන්න. හොඳට හම්බ කලා. එන එන අලුත් කාර් එක මුලින්ම ගාල්ලට ගෙනාවේ මම.ඒකට ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මම දන්න මුස්ලිම් යාලුවෙක් තමයි උදවු කලේ. බම්බලපිටියේ පෙන්ට්‍රීවු ගාර්ඩන්ස් වල මිනිහා කාර් සේල් එකක් කලා. පාවිච්චි කරපු එක ඌ තියාගෙන අතට ගානකුත් අරගෙන අලුත් එකක් මට දෙනවා. පස්සේ අරක විකුණනවා.
ඔහොම ඉන්න අතරේ ගිංතොට ඉන්න මුස්ලිම් අය වගේම සිංහල අයත් මගෙන් බෙහෙත් ගන්න පුරුදු වුනා.. මම ඒ පැත්තේ පොරක් උනා. මාසේකට විතර සැරයක් මුස්ලිම් මගුල් ගෙවල් වල යනවා. නෝම්බි කාලේට හැමදාම කැඳ හම්බ වෙනවා. වටලප්පන් හම්බ වෙනවා. දවසක් එහේ හිටපු මගෙන් බෙහෙත් ගන්න අලීම් කියලා කෙනෙක් කිවුවා එයාගේ ගේ විකුණනවා ලක්ෂ හතරකට කියලා. ලක්ෂ හතර කියන්නේ ඒ කාලේ හෙන ගානක්. ගේ තිබුනේ කොලඹ පාර අද්දර ඇතුලට වෙන්න, පිටි පස්සේ ගිං ගඟට දක්වා තියන ඉඩම. සිංහල මුස්ලිම් අයගේ මායිමේ තමයි තිබුනේ. මම හිතුවා මෙතනට ආවොත් මට තවත් හොඳට බිස්නස් තියෙයි කියලා ඉතින් මම බැංකුවෙන් ලෝන් එකකුත් ලෑස්ති කරගෙන ගන්න ඉන්න කොට සතියකට විතර පස්සේ පොර ඇවිත් කිවුවා ගේ විකුණන්නේ නෑ මට වෙන එකක් හොයලා දෙන්නම් ඉක්මනට කියලා.මම කිවුවා මට එහෙම ගේක හදිසියක් නෑ මට මේක හිතට අල්ලු නිසයි ගන්න හැදුවේ කියලා ලෝන් එකත් කැන්සල් කරලා දැම්මා. පස්සේ මට ආරංචි උනා ගිංතොට තියන මහ පල්ලියේ අයට ආරංචි වෙලා අලීම්ට සල්ලි හදිසියක් වෙලා මට ගේ විකුණන්න යනවා කියලා එහේ හිටපු සල්ලි කාරයන්ව කැඳවලා අරූට සල්ලි හොයලා දීලා තියනවා අර හදිසිය පියවා ගන්න. ඒ අය කැමති උනේ නෑ අරූගේ ගේ විකුණනවාට. ඒ නිසා තමයි අර විදියට වැඩ කලේ.
1993 දී අධ්‍යක්ෂ කමින් මාව අයින් කරලා කොලඹ ගියාට මගේ හොඳම යාලුවාත් ලමයිනුත් අවුරුද්දක් හිටියේ ගිංතොට මුස්ලිම් ගොඩේම තිබුණු ගෙදරක. ඕන නම් මට ඒක සල්ලි වලට ගන්නත් තිබුනා. ඉතින් ඒ වෙන කොට මගේ යාලුවා තමයි ලෙඩ්ඩු බැලුවේ. මුස්ලිම් ගෑණු අය හරිම කැමතියි එයාට.පස්සේ ...ජාන් කියලා මුස්ලිම් දොස්තර කෙනෙක් එහාට ආවත් අපිට ආපු ගණන අඩු වුනේ නෑ. දැන් වුනත් අපි ගාලු ගියාම වෙලා තිබුනොත් ගිංතොට අපිත් එක්ක බොක්කෙන්ම හිටපු අයගේ ගෙවල් වලට යනවා. මගුල් වලට එන්න කියලා ඒ දවස් වල ගොඩක් ආරාධනා ආවත් අපට යන්න බැරි උන නිසා දැන් කියන්නේ නෑ.
ඉතින් මම 1994 දී ගාල්ලෙන් කොලඹට එන කොටත් ඒ ගෙදර අලීම් හිටියා. දවස් දෙකක් විතර උත්සව තිබිලා මම ඒ ගෙදරට ගියාත් මට මතකයි. අද මම හිතන්නේ ඒ හරියේ පර්ච් එකක් ලක්ෂ දහයක් වත් වෙනවා ඇති. සුනාමියටවත් අහු උනේ නැති කන්ද වගේ තැනක තියන ගේ. අනිත් පැත්තෙන් ගඟටත් මූදටත් මූණ දාලා තියන නිසා පොඩි හෝටලයකට මරු තැන. මම දන්නේ නෑ මේ වෙන කොට ඉන්නේ අලීම්මද කියලා


ඕනම ජන සමාජයක් විනාශ කරන්න පුලුවන් ප්‍රධාන හේතු තමයි ජාති හා ආගම් භේදය වපුරන එකත් ඒ වගේම මත් ද්‍රව්‍ය ප්‍රචලිත කරන එකත්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුලින්ම කලේ සිංහල ජනතාවට නොමිලේ බොන්න දීලා උන්ව මත් පැන් වලටත් හරක් මස් වලටත් පුරුදු කරපු එකයි. ඒක උන් හරියටම කලා ඒත් සිංහල දෙමළ ජාතිවාදය වපුරන එක උන්ට ඒ තරම් ලේසි වුනේ නෑ. නිදහස ලබා ගන්න කරපු අරගලයේදී මේ දෙගොල්ලාමත් මුස්ලිම් අයත් එකට එකතු වුනා. අදටත් කොලඹ පාරවල් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසික ශාලා මේ තුන් වර්ගයේම අයගේ නම් වලින් නම් කරලා තියනවා. නිදහසින් පස්සේ පනහට පනහ ඉල්ලපු පොන්නම්බලම් වගේ අයත් බැලන්ස් කරගෙන ඩී එස් ලා රජ රට සහ උතුරු නැගෙන හිර ප්‍රදේශ වල පවා ගොවි හා ධීවර ජනපද පිහිටෙවුවා. දකුණේ ගන්දර පැත්තේ අය ගිහින් ඒවායේ පදිංචි උනා.(1985 දී කොටි සහමුලින්ම විනාශ කරපු නයාරු හා කෝකිලායි කියන ධීවර ගම්මාන දෙක තමයි ඒ ). නමුත් බණ්ඩාරනායක මහත්තයා ඇවිත් සිංහල පමණයි කියලා පටන් අරගෙන වාහන වල ඉංග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර පටන් ගත්ත නිසා දෙමළ මිනිසුන් තුල මහ ජාතිය ගැන සැකයක් ඇති වෙලා 1956 දී උතුරේ කලබල ඇති වුනා කියලා ඒ කාලේ හිටපු වැඩිහිටියන් කියනවා මම අහලා තියනවා. යාපනේ වැඩ කරපු පාසල් ගුරුවරියක් මරලා ඇයගේ පපුවේ ශ්‍රී පච්චයක් කොටලා එවුවා කියලත් මම අහලා තියනවා. එදා බණ්ඩාරනායක ඒක කලේ සිංහල මිනිහාගේ වීරයෙක් වෙන්න. ඒත් පස්සේ එයාගේම දෝණිට සිද්ධ උනා ශ්‍රී එක අයින් කරලා ආපහු ඉංග්‍රීසි අකුර ගේන්න වාහන වලට. ඒත් ඒකෙන් දෙමළ මිනිහා තුල ඇති වුනු විරසකය නැති කරන්න බැරි උනා.
ඊට පස්සේ ජේ ආර ජයවර්ධන 1983 කොලඹදී කරපු මහා දෙමල සංහාරය නිසා දෙමල සිංහල ජාති අතර තිබුණු සම්බන්ධය මුලුමනින්ම වගේ බිඳ වැටුනා. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ල නි ප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගැනීමත් ජවිපෙ අපේක්ෂක රෝහණ විජේවීර චන්ද සීයට පහක් පමණ ලබා ගැනීමත් (ඒ වෙලාවේ ද්‍රවිඩ සංගමයෙන් ඉල්ලපු කුමාර් පොන්නම්බලන්ට ලැබුනේ 40% යි ) නිසා බය වෙච්ච ජේ ආර් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්න තමයි අර උතුරේදී හමුදා සෙබලුන් 13 ක් ගස් බෝම්බයකින් මරපු වෙලාවේ වැලිකඩ හිර ගෙදර හිටපු කුට්ටිමනී ඇතුලු දෙමළ හිර කාරයෝ 53 දෙනෙක් මරලා කොලඹ කලු ජූලිය ක්‍රියාත්මක කලේ. එහෙම කරලා දවස් තුනක් යනකල්ම බලාගෙන හිටියා විතරක් නෙවෙයි "මතක තියා ගනිල්ලා හැම සිංහලයෙක් ඇතුලේම දුටු ගැමුණු කෙනෙක් ඉන්නවා" කියලා සිංහල මිනිසුන්ගේ සපෝට් එක ගන්න ජාතිවාදය වැපිරුවා.
ඒ කාලේ ගාල්ල රෝහලේ හිටපු සමහර දොස්තරලාත් මේකෙන් චූන් වෙලා ඉන්න කොට මම කිවුවා මේ කරපු මෝඩ වැඩේ ප්‍රතිපල විඳින්න වෙන්නේ ඉස්සරහටයි කියලා. ඒ වෙලාවේ මගේ බැචෙක් කිවුවා උඹ ඉතින් හැමදාම දෙමලාට ..ක දුන්න එකයි කරේ කියලා. එහෙම කිවුවේ මම මෙඩිකල් කොලේජ් එකේ ඉන්න කාලේ නිතර දෙමළ යාලුවෝ එක්ක යාපනේ ගිය නිසා. මේ විස්තර මම මීට කලින් පෝස්ට් එකක විස්තර කරලා තියනවා. 1956 දී වගේම 1983 දී ජේ ආර් කලෙත් ජාතිවාද වපුරකු එකයි. ඒකෙන් මේ රට හැම අතින්ම පස්සට ගියා. ලොකුම හානිය තමයි ප්‍රධාන ජාතීන් දෙක අතර විශාල විරසකයක් ඇති වීම.පවුලක සහෝදරයින් විරසක් වුනොත් මුලු පවුලටම වෙන්නේ හානියක් වගේ. විශේෂයෙන්ම උතුරේ දෙමළ තරුණයින් සිංහල අය ගැන වෛරයක් ඇති වීම.
2010 දී වයස අවුරුදු 28 ට අඩු උතුරේ දෙමළ ජනතාව සිංහල මිනිස්සු කියලා දැන ගෙන හිටියේ දැකලා තිබුනේ තුවක්කු තියා ගත්ත හමුදා සෙබලු විතරයි. දැන් තමයි උන් කවුද ඇත්ත සිංහලයින් කියන එක තේරුම් ගනිමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ වෙන කොට එහේ ඉන්න අපේ හමුදා නිලධාරීන් ඒ අයට කරන උදවු නිසා ඔවුන් තුල තියන සැකය නැති වෙලා අපේ හමුදාවට ලොකු කැමැත්තක් දක්වනවා කියලා මට එහේ ඉන්න යාලුවන් කියලා තියනවා. මේ නිසා තමයි දෙමළ දේශපාලුවන් හමුදාව ආපහු ගෙන්නන්න කියලා බල කරන්නේ. මොකද උන් දන්නවා තව ටික කලක් හමුදාව එහේ හිටියොත් අර දේශපාලුවන්ට උන්ව ගොනාට අන්දවන්න බැරි වෙන බව.
දේශපාලුවෝ කියන්නේ මොන ජාතියේ උනත් මහා කාලකන්නි ටිකක්. උන්ට බලයේ ඉන්න නම් ජාති වාදය අවශ්‍යම වෙනවා. නැත්නම් උන්ට පැවැත්මක් නෑ. මෙහේ ඉන්න උන් වගේම තමයි එහේ ඉන්න එවුනුත්.දෙපැත්තේ එවුන් දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ව කොටවනවා.හැබැයි උන් එක එකාගේ පිට කහ ගන්නවා. හරියට අද රනිලුයි මහින්දයි වගේ. දෙන්නාගේ වහල්ලු ඇන කොටා ගත්තාට දෙන්නාට දෙන්නා තුප් නොදකිං කියා ගෙන නෑ මේ වෙන කම්. ඒ නිසා දෙපැත්තේ ඉන්න අපි දෙගොල්ලා මේක තේරුම් ගැනීම අත්‍යවශ්‍යම වෙලාවක් මේක. ලොකු අයියා හැටියට සිංහල අපිට තියනවා ලොකු වගකීමක් මල්ලීගෙන් වැරැද්දක් උනත් ගනං නොගෙන උන්ගේ හිත් දිනා ගන්න වැඩ කරන්න. 1983 දී ජේ ආර් දුටු ගැමුණු වුනා වගේ අදත් ඉන්නවා දුටු ගැමුණුලා. ඒත් ඇත්ත දුටු ගැමුණු අපි අහලා තියන විදියට කවදාවත් ජාතිවාදී වෙලා නෑ.
මේ කතාව දිග වැඩි උනාම වාතේ වෙන නිසා හෙට බලමු තව මොනවා හරි කරන්න. ඊයේත් ඇවිද්දා ඒත් අදත් ඇවිදිනවා. මේ දවස් වල ෆිට්නස් එක ඕන වෙනවානේ බං. බොලාත් ටිකක් ෆිට් එකේ ඉන්න බලාපල්ලා.එහෙනම් ඕං මං ගියා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී