Drug addiction 11 - 19.04 2018

මම ඊයේ එක සමාන තත්වයන් දෙකක් ගැන ලිවුවා. මම එක සමානයි කියලා කිවුවේ දෙකේම අවසානය හරිම දුක්ඛ දායකයි, භයානකයි ඒ වගේම අවශ්‍යතාවයක් තියනවා නම් ඒ සඳහා කැප වීමක් තියනවා නම් මේ දෙකම 100% ක් ම වලක්වා ගන්න පුලුවන් නිසයි. මෙතෙන්දි අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන්ම මේවා ඇති වීමට, පැවතීමට හා පැතිරීමට හේතු වන කාරණා පිලිබඳව නිවැරදි දැනුමක් ලබා ගැනීමයි. එතකොට තමන්ටම තේරුම් යනවා වලක්වා ගන්න නම් මොනවාද කරන්න ඕන කියලා. උදාහරණයක් හැටියට මදුරුවන්ගෙන් බේරෙන්න නම් කල යුතු වන්නේ උන් විනාශ කිරීම වගේම උන් බෝ වන තැන් නැති කිරීමයි. එහෙම නැතුව මදුරුවන් මරා දැමීමෙන් පමණක් පලක් නෑ.

ඉස්සර අපි පුංචි කාලේ හිටියා එකෙක් ඌට කිවුවේ බලු හබරා කියලා. මෑන්ගේ රාජකාරිය වුනේ දඩාවතේ යන බල්ලෝ වෙඩි තියලා මරණ එකයි. ඊට පස්සේ උන්ව අල්ලලා අර හිට්ලර් කරා වගේ ගෑස් දාලා මරන්න පටන් ගත්තා. යන වාහනේම කාමරයක් වගේ එකක් ඇතුලට වාහනයේ සයිලන්සරය හරවලා උන් ඒක ඇතුලට දානවා. උන් මැරන්නේ ටික ටික විඳවලා. ඇයි ගෑස් එන්නේ ටික ටික නේ. ආයතන ඇතුලේ අර ස්ට්‍රින්ච්නින් කියන වස කෑම වලට දාලා දෙනවා. දවසක් මම ගාල්ලේ ඉන්න කාලේ දැක්කා බල්ලෙකුට ඒ වගේ බත් වලට අරවා දාලා දුන්නා. බල්ලා වල්ගේ වනා ගෙන ඇවිල්ලා අරක කාගෙන කාගෙන ගියා. බඩ ගින්නේ හිටපු එකානේ බං. අනේ තත්පර 30 කින් විතර පස්සේ ඇදගෙන වැටිලා ෆිට් එක හැදිලා වගේ දඟලලා මැරුනා. මට එදා හිතුනා ඉස්පිරිතාලේ හිටපු එම් එස් ටත් ගිහින් අරින් ටිකක් කවන්න. ඒත් පස්සේ මම සබරගමුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වුනාට පස්සේ මටම සිද්ධ වුනා දිස්ත්‍රික්ක දෙකේ ඇන්ටි රේබීස් anti-rabies campaign කණ්ඩායම් පවත්වා ගෙන යන්න. පස්සේ පටන් ගත්තා දිග කූරක අග හයි කරපු සිරින්ජ් එකකට විස දාලා ඒකෙන් ඇනලා උන්ව මරන්න. ඊට පස්සේ ප්‍රදේශයේ MOH ගේ සහතිකය මත මරපු බල්ලන්ගේ ගානට මරපු එවුන්ට සල්ලි දුන්නා. මම පුද්ගලිකව බල්ලෝ මරනවාට විරුද්ධයි. මොකද මිනිහා කැලයේ ඉඳලා එලියට එන කොට එයාත් එක්කම එලියට ආපු එකම සතා තමයි බල්ලා නිසා. උන් මිනිසාට හරිම හිතවත් නිසා. අනික උන්ගේ ලඟ තියන හුඟාක් මිනිස්සු ලඟ නැති බලු කම නිසා. ඒ කියන්නේ කන්න දීපු අත හපන්නේ නැති ගතිය.

ඔහොම බල්ලෝ මරන කොට ඒකට විරුද්ධව වැඩ කරන සංවිධාන හැදිලා විරුද්ධ වෙන්න පටන් ගත්තා. නිමල් සිරිපාල හිටපු සෞඛ්‍ය ඇමතිගේ නෝනා අයිරාංගනී සිල්වා එයින් එක්කෙනෙක්. ඒ කාලේ නිමල් කියනවා එයාට ගෙදර යන්න බැරිලු නෝනාගේ කරච්චලේට. එයා පටන් ගත්තා ආයතනයක් බල්ලෝ ගෙනිහිං උන්ව බලා ගන්න. එයාගේ ගෙදරත් බල්ලෝ 10 ක් විතර හිටියා. අර වල් බල්ලෝ කියන ජාතිය.

මේ විරෝධතා වලින් පස්සේ පටං ගත්තා බැල්ලි පැටවුන් වඳ බවට පත් කරන්න. මේකෙන් බලා පොරොත්තු උනේ බලු සමාජය dogs community තුල සිටින වඳ බැල්ලියන් ප්‍රමාණය වැඩි කරන එකයි.එතකොට උන් ලොකු වෙලා පැටවු ගහන්නේ නෑ. ඒ වගේම බල්ලන්ගේ මූලික බලු අයිතිවාසි කම් කඩ වෙන්නෙත් නෑ. ඒත් එක්කම ඉස්සර කරපු බල්ලන්ට බෙහෙත් විදින එක වැඩි දියුණු කරන්නත් පියවර ගත්තා. මේ නිසා ලංකාවේ ජලභීතිකා රෝගය නිසා මිය යන ප්‍රමාණය සෑහෙන්න අඩු කර ගන්න ජාතික ජලභීතිකා මර්ධන අංශයට පුලුවන් උනා. ඒත් මේ වෙන කොට අර බැල්ලි පැටවුන් වන්ධ්‍යාකරන සැත් කම් කෙරෙන්නේ නෑ කියලයි ආරංචි. එහෙම උනොත් ඉස්සරහට ආයිත් ජලභීතිකාව වැඩි වෙන්න පුලුවන්. මේකෙන් පැහැදිලි වෙනවා පිස්සු බල්ලන් මැරීමෙන් පමණක් ප්‍රශ්ණය විසඳන්න බෑ කියලා. ඒ වගේම ප්‍රජා හෙවත් දඩාවතේ යන බල්ලන් community dogs සේරම මරා දැමීමත් නොකල යුතුයි. ඒකට හේතුව උන් නිසා තමයි නරි මුගටි වගේ අනිත් පිස්සු බලු රෝග වාහක සතුන් ගම් වලට නො එන්නේ. ඒ වගේම නිරෝගී ප්‍රජා බල්ලන් මිනිස්සුන්ට කරදර කරන්නේ නෑ. එහෙම කලොත් උන්ට පැවැත්මක් නැති බව උන් දන්නවා.

දැන් ඇබ්බැහි වන මත් කුඩු. එදා පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේදී හුඟක් දෙනා කිවුවා වගේ ගෝඨාභය ගෙනත් සේරම කුඩු කාරයෝ - මම මෙතන කුඩු කාරයෝ කිවුවේ කුඩු නැත්තං හෙරොයින් වලට ඇබ්බැහි වෙලා ඉන්න කාලකන්නින්ටයි එහෙම නැතුව ඒවා ගෙනල්ලා බෙදා හරින වැදගතුන්ට නෙවෙයි - මරා දැම්මොත් හරිද. එදා අරුන් කිවුවේ නම් එහෙමයි. මොකද උන් තමයි අර මාල කඩා ගන්න, වාහනයක සයිඩ් කන්ණාඩි වගේ දේවල් ගලව ගන්නා කාලකන්නි. හෙරොයින් ගෙන්නන බෙදා හරින අය ඒ වගේ කුපාඩි කම් කරන්නේ නෑනේ. උන්ට අනුව ගෝඨාභය ඇවිත් උන්ට මොනවත් කරන්න ඕන නෑ. ඒක හරි. මොකද මෑන් ආවත් ගෙන්නන උන්ට මොනවත් වෙන්නේ නෑ. කවුරුත් දන්න කුඩු දුමියා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කෙනෙක් කරාම ආයි මොන ජගතාද පොරව අල්ලන්න යන්නේ. ඒ වගේම අර කුඩු බන්සාද මොකාද කියන එකාගේ ගෙදර එස් ටී එෆ් එකෙන් වටලලා කුඩු තියනවාද කියලා බැලුවාට පස්සේ රජතුමා එතනට ඇවිත් බන්සාව බදා ගත්තාම ආයි මොකාද බං ඌව අල්ලන්නේ. ඉතිං ඉතුරු වෙලා තියෙන්නේ කුඩු කාරයෝ නැති කරන එක තමයි. ඒත් එකත් එක ගානකට මොකද මරණ ප්‍රමාණයට අලුතින් පුරුදු වෙන්නත් ඕනනේ. යහ පාලනය යටතේ මේ දවස් වල ඉස්කෝල මට්ටමින් ටියුෂන් පන්ති මට්ටමින් ඒක සාර්තක විදියට කරගෙන යනවා. ඒ වගේම ඉස්සර වගේ නෙවෙයි දැන් කුඩු ගේන්නේ කිලෝ සිය ගනනින්. ඒවා අහු උනාම ගෙන්නපු කෙනෙක් නෑ. සමහර ඒවා වරායේ ඉඳන් එන්නේ සතොසේ ලොරිවල. ඒවා ගෙන්නපු කෙනෙකුත් නෑ.

මට සමහරු කියනවා මේ සමාජ වෙබ් අඩවි වල මේ වගේ ඒවා ලියලා මම දවසක හොඳට කනවා කියලා. ඉතින් යකෝ මෙච්චර කල්ම මම කලේ කාපු එකනේ. ඔය ඉතුරු වෙලා තියෙන කාලෙත් කනවා. අනික මොකෙක් හරි මේවා කියන්නත් ඕනනේ. වැරදි දැකලා කට පියා ගෙන ඉන්න එක වැරදි කරනවා වගේමයි කියලා අපට පුංචි කාලේ තාත්තා කියලා දීලා තියෙනවා

මගේ එදා පෝස්ට් කමෙන්ට් දාපු එකෙක් මහ ගොන් ප්‍රශ්නයක් අහලා තිබුනා. ඌ අහනවා දැන් ඔය ගංජා වගේ ඒවා අහු උනාම ඒවා කාටත් පේන්න පුච්චලා දානවලු ඒත් අහුවෙන කුඩු වලට මොනවාද වෙන්නේ කියලා. ඌට තේරෙන්නේ නෑ ඒවා රාජ්‍ය රහස් කියලා. දැන් අර ප්‍රභාකරන් කියන මදාවියා මරලා දැම්මා. උගේ මල කුණ පෙන්නුවාට ඌ ලඟ තිබුනාය කියන අහිංසක දෙමල මිනිස්සුන්ගෙන් ගත්ත ප්‍රකෝටි ගනන් වටිනා රත්තරං පෙන්නුවේ නෑනේ. එවාට කරපු දෙයක් පෙන්නුවෙත් නෑ නේ. ඔය සමහර මිනිස්සු එක එක කට කැඩිච්ච කතා කිවුවාට ඒවා බං රාජ්‍ය රහස්. ඒවා එලි කිරීම රජයකට හානිකරයි. දැන් බලාපල්ලා 1989 දී ජානක පෙරේරා මහත්තයා අත්තනායක කියන නමින් උලපනේ වත්තක හැංගිලා හිටපු රෝහණ විජේවීරව අල්ල ගත්තා. මිනිහා ලඟ තිබිච්චි රත්තරන් සේරම ගොඩක් ගහලා රටටම පෙන්නුවා ටී වී එකේ. පෙන්නලා සේරම දුන්නා භාණ්ඩාගාරයට. අන්තිමට මොකක්ද උනේ ඒ කාලේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වෙලා හිටපු රන්ජන් විජේරත්න මහත්තයාට බෝම්බ කාලා මැරෙන්න උනා. දැක්කද රාජ්‍ය රහස් පිට කිරීමේ විපාක.

ඒ කාලේ මම ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෙලා ඉන්න කාලේ ජාතික අන්තරාදායක ඖෂධ පාලන අධිකාරියත් National Dangerous Drugs Control Board එක්ක ලඟින් වැඩ කලා මොකද ඒඩ්ස් බෝවන එක ක්‍රමයක් තමයි මත් ද්‍රව්‍ය නහර වලට එන්නත් කර ගන්න එක. වාසනාවට ඒක අපේ රටේ ඒ තරම් ප්‍රචලිත වෙලා නැති උනත් කුඩුත් එක්ක ලඟින්ම යන ජාවාරමක් වෙන ගණිකා වෘත්තිය ඒඩ්ස් පැතිරවීමේ ප්‍රධාන හේතුවක්. මේ හේතුව නිසා හෙරොයින් පාවිච්චි කරන අය ඒඩ්ස් වලක්වන ක්‍රියාවලියේදී ප්‍රධාන ඉලක්කයක් වෙනවා. ඉතිං මේ මේ ගැන තියන මීටින් වලදී ඒ අය අවදානය යොමු කරන ප්‍රධානම දේ තමයි හෙරොයින් වලින් වන හානි අඩු කිරීම harm reduction. ඒ අනුව හෙරොයින් වලට ඇබැහි වුන අය ඒකන් ගලවා ගන්න හුඟාක් උනන්දුවක් දක්වනවා.නමුත් කවුරුවත් අවධානය යොමු කරේ නෑ හෙරොයින් එන එක අඩු කිරීම ගැන supply reduction ඒ දවස් වල NDDCB එකේ සභාපති වෙලා හිටියේ අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීති විද්‍යාල සමකාලීනයකු වුනු නීතිඥ වරියක්. මම දවසක් මීටිමකදී එතුමියගෙන් ඇහුවා අපි හැමදාම මහන්සි ගන්නේ හානි අවම harm reduction කරන්නයි ඇයි අපි මහන්සි ගන්නේ නැත්තේ සැපයුම අවම supply reduction කරන්න කියලා. අති ගරු ජනාධිපති තුමා ඔබ තුමිය හොඳින් දන්න නිසා ඇයි එතුමාගේ සහාය මේකට ගන්නේ නැත්තෙ කියලා. අනේ මචං හරියට දෙබරයට ගල් ගැහුවා වගේ කවුරුත් කලබල වුනා ඒක අහලා. සභාපති තුමිය ටිකක් තටමලා කිවුවා ඒක ටිකක් සංකීර්ණ වැඩක් කියලා. මම කිවුවා ඒක නොකර මේ අපි දැන් කරන දේ වල තේරුමක් නෑ කියලා. කොහොම හරි ඊට පස්සේ එතුමිය අපේ මීටින් වලට ආවෙත් නෑ. එතනදී ඒ වගේ දෙයක් ඇහුවා කියලා මට සමහරු දොස් කිවුවා කියලා පස්සේ මට ආරංචි උනා. ඉතින් මං වැරදි කතාවක්ද බං කිවුවේ.

මට උන් කරන වැඩේ දැක්කාම හිතුනේ අර මොකක්ද හංග ගෙන වෙන මොකක්ද එකකිං මොකක්ද කරනවා වගේ කියලා. ඒක කිසි වැඩක් නැති කාටවත්ම දැනෙන්නේ නැති කෙරිල්ලක්නේ බං. කොහොම හරි මේ රටේ එන්න එන්නම කුඩු ගේන එක වැඩි වෙනවා ඒ වගේම ගහන එවුනුත් වැඩි වෙනවා. මට පුලුවන් කමක් තියෙනවා නම් මම ඕවා ගෙන්නන එවුන් සේරම අල්ලලා බලෙන් උන්ව කුඩු වලට ඇබ්බැහි කරවලා අත අරිනවා පාලු දූපතකට ගෙනිහිල්ලා. අම්මපා මට මෙච්චර වල් හීන පේනවා එහෙම එකක් පේන්නේ නෑ නේ ආතල් එකක් ගන්න.

ඉතිං ගෝඨාභය ආවොත් ඇත්තටම මේක නතර වෙයිද බං. අනේ කියහල්ලකෝ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී