Dream - 16.05.2018

සිකුරාදා හවස මම වැඩ ඇරිලා යන කොට මාර වැඩක් නේ උනේ. ඒ වෙලාවේ මම හිතුවේ නෑ ආයිත් මෙහෙම එෆ්බී එකට එන්න ලැබෙයි කියලා. පහු ගිය දවස් තුනේම මට මොනවත් ටයිප් කර ගන්න බැරුව හිටියෙත් ඒකයි. අද තමයි ටිකක් ඔලුව උස්සලා ඉන්නේ.

වෙනදා වගේම සිකුරාදා හවසත් අර මම වැඩ කරන තැන මහත්තයා එක්ක එයාගේ කාර් එකේ බම්බලපිටියේ ඉඳන් ඇවිත් ඇතුල් කෝට්ටේ අර ඒ විමල් වීරවංශ ඉදිකිරීම් ඇමති කාලේ රුපියල් ලක්ෂ තිහක් වියදම් කරලා හදපු බස් හෝල්ට් එක ලඟින් බැහැලා එතන පාලම යටින් දාලා තියන පොඩි පාලමෙන් අනිත් පැත්තට ගිහිං අර නිපොන් පාර දිගේ ඇවිද ගෙන ගියා. එතන ඉඳං අපේ ගෙදරට කිලෝ මීටරයක් තියෙනවා. හරි පාලු පාර. එක පැත්තකින් දියවන්නාව අනිත් පැත්තෙන් මූකලන් කැලෑව. ඉතින් මම බැහැලා ඇවිදගෙන එන කොට මට නිකං අමුත්තක් දැනුනා මොකද වෙනදාට වඩා පාරේ කොල්ලෝ හිටියා. පාරේ අයිනේ තියන ෆුට් පාත් එක දිගේ මැදක් හරියට එන කොට ඉස්සරහින් පොරවල් තුනක් ඇවිත් මගේ ඇඟේ හැප්පිලා ගේම ඉල්ලුවා. ඒක ගේමකට සෙට් වෙන්න හොඳ තැනක් නොවෙන නිසා මමම සොරි කියලා යන්න හදන කොට අරුන් මාව පස්සෙන් ඇවිත් අල්ල ගත්තා. එකෙක් බෙල්ල වටෙන් අත දාලා අල්ල ගත්තා. තව එකෙක් ඉස්සරහින් ඇවිත් මගේ නිකටින් අල්ලලා උස්සලා ඒයි නාකියා තෝ හිතන්නේ තෝ පොරක් කියලාද. තෝ මොනවාද අර ෆේස් බුක් එකේ ලියන්නේ අපේ අයට විරුද්ධව කියලා.

මම හිතුවා මුන් ශුවර් එකටම ඒ ලඟ ඉන්න රවි කරුණානායකගේ ගෝලයෝ කියලා. මම කිවුවා මම හවසට නිකම් ගෙදරට වෙලා ඉන්න කොට ලියනවා කියලා ඔය ගොල්ලා කවුද ඇයි මට මෙහෙම කරන්නේ කියලා ඇහුවා. එතකොට එකෙක් මගේ බඩට දණ හිසෙන් ඇනලා කිවුවා අපි තාම තොට කෙරුවේ නෑ. තොට කරන්නේ ලොවෙත් නැති වෙන්නයි. කියාපන් කවුද තොට මේවා ලියන්න කිවුවේ කවුද තොගේ පස්සෙන් ඉන්නේ කියලා. මම ඇහුවා මොකක් ගැනද මේ අහන්නේ මම කාටවත් විරුද්ධව ලිවුවේ නෑ. මම ලිවුවේ ගාල්ලේ 1988 ඉඳන් මගේ ජීවිත අත් දැකීම් කියලා. එතකොට තව කොල්ලෝ දෙන්නෙක් ඉස්සරහින් අපේ පැත්තට දුවගෙන එනවා දැක්කාම මම හිතුවා මුන්ගේම ඈයෝ කියලා. ඒත් අරුන් කිවුවා කෑ ගහන්නේ නැතුව සද්ද නැතුව හිටපන් කියලා එකෙක් රිවෝල්වරයක් අරගෙන මගේ පිටිපස්සට තියලා තද කරගෙන අනිත් අත මගේ කර වටේ දාගෙන හිටියා හරියට යාලුවෙක් වගේ. බලන කොට අරුන් දෙන්නා හවස ජොගිං යන දෙන්නෙක් උන්ට කියලා වැඩක් නැති හින්දා මම සද්ද නැතුව හිටියා. උන් දෙන්නා අපිව පහු කරනවත් එක්කම අරූ රිවෝල්වරේ අහකට අරගෙන ආයිමත් මගේ බෙල්ල වටෙන් තද කරලා අල්ල ගත්තා. ඉස්සරහින් ආපු එකා ඇහුවා තෝ තොගේ ඕන එකක් ලිවුවාට කමක් නෑ ඒ උනත් අපේ ලොක්කන්ට මඩ ගහන්නේ ඇයි කියලා මගේ කට මිරිකුවා.

මම කිවුවා මම ආණ්ඩුවේ වැඩ කරපු දොස්තර කෙනෙක්. ජනාධිපති තුමාත් මාව හොඳට අඳුනනවා ඒ කාලේ එකට වැඩ කර නිසා කියලා. ඒ පාර මූ කිවුවා ආ අපි හිතුවේ තෝ ජේ වී පී එකට කඩේ යන එකෙක් කියලා එහෙනම් තෝ මේ ආණ්ඩුවේ එකෙක් කියලා එහනං උඹට අද ගැලවීමක් නෑ කියලා. මම එතකොටයි දැන ගත්තේ මුන් රවියාගේ ගෝලයෝ නෙවෙයි පොහොට්ටු කාරයෝ වෙන්න ඇති කියලා මාර බයක් ආවා ඕයි. මොකද මම දන්නවානේ පොහොට්ටු කාරයන්ගේ හැටි. උනුත් දැන ගත්තා මම හොඳටම බය උනා කියලා. එතකොටම ආවා ලා නිල් පාට වෑන් එකකට මුන් මාව තල්ලු කරලා දා ගත්තා. එතකොට මම හයියෙන් කෑ ගැහුවත් කවුරුවත් අහල පහල හිටියේ නෑ. මම දන්නවා ඇහුනත් එකෙක් වත් මොනවා වත් කරන්නේ නැති බව. ඕන නම් වාහනේ නොම්මරේ බලා ගනියි. මුලු හාහනයේම වීදුරු ටින්ට් කරලා නිසා එලිය මොනවත් පේන්නේ නෑ. අනික මුන් මාව වෑන් එකේ බිම දාගෙන ගියේ. ඒ සීට් එකේ තුන් දෙනෙක් හිටියා. ඉස්සරහා සීට් එකේ හිටියා ගෝඨයිම්බර වගේ එකෙක් පස්සට හැරිලා මට ඔරවා ගෙන. මම කලින් ගෝඨයිම්බරව දැකලා නැති උනත් අහලා තියන විදියට මූ වගේ වෙන්න ඇති කියලා හිතලයි අරහෙම කිවුවේ. මුන් මගෙන් දිගින් දිගටම ඇහුවේ මම කාටද වැඩ කරන්නේ කියලා. මම සමහර වෙලාවට නිකං මුකුත් නොකියා ඉන්න කොට උන් මට පයින් ගැහුවා.

මම කවදාවත්ම හිතුවේ නෑ මට මේ වගේ දේකට මූණ දෙන්න වෙයි කියලා. මොකද මම කාටවත් වරදක් කරලා නෑ. ඔය ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ එක්ක ගහ ගත්තා මිසක්. ඒවයිදි උනත් මම අනිත් එකාගෙන් කෑවා මිසක් මගෙන් උන්ට කරදරයක් උනේ නෑ. ඒ කාලේ ඉඳන්ම මගේ තිබුණු ගතියක් තමයි කන්න වෙන බව දැන දැනත් වැරැද්දක් දැක්කොත් විරුද්ධ වෙන එක. මම කාපු තරමක් කෑවේ ඔය නිසා තමයි. අතින් පයිනුත් කෑවා. ලොක්කන්ගේ පෑනෙනුත් කෑවා. මුන් මට පයින් ගහන කොට ඉන්නම බැරි තැන මම කිවුවා මම 1975 ඉඳන්ම මහින්ද මහත්තයා දන්නවා යුද්දේ දිනපු වෙලාවේ මම රු ලක්ෂ හයක් දුන්නා. ඒ වගේම බැසිල් මහත්තයා බැඳලා ඉන්නේ මම පොලොන්නරුවේ ඉස්පිරිතාලේ වැඩ කරන කාලේ පැඩි මාකටින් බෝර්ඩ් එකේ හිටපු මගේ හොඳම යාලුවෙකුගේ නංගී කියලා. ඒ නිසා මට එතුමාට කතා කරන්න ඕන කියලා. එතකොට අර ගෝඨයිම්බරයා කිවුවා ඒවා ඔක්කොම අපි දන්නවා යකෝ. තොට වැඩිය ප්‍රභාකරන් 2005 දී එතුමාට ජනාධිපති වෙන්න උදවු කරත් පස්සේ එතුමාට ගහපු නිසා දැක්කානේ ඌට දීපු ගේම. ඒ නිසා එතුමාට කතා කරන්න දෙයක් නෑ. තොට දෙන්නේ අර එක්නැලියාට දීපු දඬුවමයි. ඌත් තෝ වගේ ඉල්ලගෙන කාපු එකෙක් තමයි.අර ලසන්තයාට දුන්නු ගේම තොටත් දෙන්න තිබුනා නම් මේ මුකුත් නැ. එහෙනම් මෙලහට වැඩේ ඉවරයි. අපිටත් ලේසියි. ඒත් ඒක තෝ වගේ බල්ලෙකුට සැප වැඩියි. ඒ නිසා ලෑස්ති වෙලා හිටපන්. තෝවත් බෙල්ලට වෙනකං වතුරේ බස්සලා ඒකට කාබයිඩ් දාලා ටික ටිකයි මරන්නේ කියලා.

මම කාර් එක හදන්න ගැරේජ් වලට ගියාම දැකලා තියෙනවා වතුරට කාබයිඩ් දැම්මාම වතුර ටික ටික රත් වෙලා අන්තිමට උතුරනවා. අනේ බං මට මතක් වුනා ඉස්සර පුංචි කාලේ ගමේ ගෙදර මිදුලේ සමනල්ලු පස්සේ දුවපු, නංගී එක්ක කෝම් පිට්ටු හදපු කාලේ ඉඳලා සේරම හරියට චිත්‍ර පටියක් වගේ. ඒ කාලේ නිකමට වත් හිතුවාද මේ විදියට දුක් විඳලා මැරෙන්න වෙයි කියලා. මට හිතා ගන්න බෑ ඒ වගේ සුලු කාලෙකදී අර සේරම මතක් වෙච්ච එක. අර බුදු බනේ කියන්නේ මැරෙන මොහොතේ කරපු පවු පින් සේරම මතක් වෙනවා. මම පින් පව් මොනවත් නොකරපු නිසා වෙන්න ඇති මට ඒවා මතක් නොවුනේ. කොහොම හරි වෑන් එක පාරේ තිබුණු ගැට්ටක් උඩින් යනකොට ගැස්සිල්ලට අර ස්ලයිඩින් දොර ඇරුනා. පරාණ බයෙන් හිටපු මම අරුන්ගේ කකුල් අස්සෙන් පැනලා පාර දිගේ දුවන්න ගත්තා. එතකොට වෑන් එකත් ඇවිත් ඉස්සරහින් නවත්තන කොටම අර ගෝඨයිම්බර බැහැලා මගේ ඉස්සරහට ඇවිත් මට පයින් පාරක් ගැහුවා. මම එතනම ඇදගෙන වැටුනා. එතකොට තමයි මට තේරුණේ අපේ ඇඟේ තිබුණු හයිය කොච්චර අඩු වෙලාද කියලා. ඉස්සර ගහ ගන්න ගියාම කොච්චර කෑවත් වැටිලා නෑ. තොල් පැලිලා ලේ ගලද්දිත් හිටගෙන ඉන්න පුලුවන්.

මම දැක්කා ගෝඨයිම්බර ආයිත් ලෑස්ති වෙනවා මට ගහන්න . එතකොට මට මතක් උනා මෙඩ්ඩා කාලේ අර ජී ඒ ටී ලිවේරා ගෙන් ඉගෙන ගත්ත ශොට් එකක් ඔය වගේ වෙලාවකදී පාවිච්චි කරන. ඒකට කියන්නේ සෙන්කුට්සු මුශුබි කියලා.හිට ගෙන ගහනවා නම් සෙන්කුට්සු පාවිච්චි කරන්න පුලුවන්. හතර ගාතෙන් ඉන්න කොට සෙන්කුට්සු මුශුබි. මම කරපු වැඩේ සෙන්කුට්සු මුශුබි යි තව අර චිත්ත කිරිය වීර්ය ශක්තිය කියලා එකක් තියෙන්නේ අන්න ඒකයි දෙකම දාලා ඔලුවෙන් ඇන්නා ගෝඨාගේ කිරි පල්ලට. එතකොටම මට දැනුනා උගේ කිරිපල්ල හරියට මහා මේරු පර්වතය වගේ හයියයි කියලා. ඒ එක්කම මගේ ඔලුවයි බෙල්ලයි දෙදරන්න පටන් ගත්තා. එතකොට තමයි මට තේරුණේ මම අර සෙන්කුට්සු මුශුබි පාර දීලා තියෙන්නේ ගෝඨාගේ කිරිපල්ලට නෙවෙයි මම නිදා ගෙන හිටපු ඇඳේ විට්ටමට කියලා.

සද්දෙටයි ඇඳ හෙල්ලිච්ච එකටයි මගේ යාලුවා නැගිටලා ඇහුවා "අනේ මොකක්ද ඔයා මේ මහ රෑ කරන්නේ" කියලා. මම එතකොට වෙච්ච දේ කිවුවාම එයා මගේ තට්ටෙ අතගාලා "හාපෝ ගෙඩි ගැහිලා. ඇති ඔයින් බේරුණා" කියලා මට රැපිඩීන් දෙකකුයි සෙලිකොක්සිබ් එකකුයි ඔමිප්‍රසෝල් එකකුයි දීලා ඔලුවට ඕඩිකොලෝන් දාන ගමන් කිවුවා "මම කියලා තියනවානේ රෑට තුන් සරණේ කියලා නිදා ගන්න කියලා. එහෙම නොකරන හින්දානේ මේ නහින දෙහින කාලේ ඔහොම ඔලුවෙන් අනින්න වෙන්නේ" කියලා. මම කිවුවා "මම එහෙම නොකලා නම් ඔයාටත් වෙන්නේ අර සන්ධ්‍යාට වගේ මගේ පොටෝ උස්සගෙන උසාවි ගානේ ඇවිදලා අන්තිමට හොර ගණ ගෙඩියන්ගෙනුත් පාච්චල් වෙන්නයි" කියලා. ඒ පාර කිවුවා හා හා ඇති ඇති අර අනිත් ඇඳට ගිහින් නිදාගන්න මම මෙක අස් කරන කම් කියලා. එතකොටම ෆයිනල් එක්සෑම් එකට පාඩම් කර කර හිටපු මගේ පොඩි එකා ඇවිත්" අම්මා මොකද මේ මහ රෑ ඇඳ හදන්නේ" කියලා ඇහුවාම එයා කිවුවා "බලන්න චූටි පුතා තාත්තා මොන එහෙකට නිදා ගන්න කලින් මෙච්චර වතුර බොනවාද. දැන් හෙට උදේට ලෙච්චමී කාමරේ අස් කරන්න එන්න කලින් අපි දෙන්නා මේක අවුවට ගිහින් දාමු වේලෙන්න" කියලා.

මම මීක් සද්දයක් නැතුව හිටියා මොකද මම හිටියේ හරිම බෑඩ් විකට් එකකනේ බං.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී