Democracy - 08.05.2018

මේ රටේ මෝටර් රථයක් තිබෙන්නේ මට පමණක් නම් මට කැමති ආකාරයකට මහා මාර්ගයේ එය පදවා ගෙන යා හැක. වම් පසින්, දකුණු පසින්, මැදින්, හරහට, පිටි පසට යනාදී ඕනෑම අයුරකින් එය මට පැදවිය හැක. එහෙත් තවෙකකු මෝටර් රථයක් ගත් කල මා හට ඔහු සමග යම් සම්මුතියක් ඇති කර ගත යුතු වේ.ඔබ පාරේ එක් පසකින් යන්න, මම අනික් පසින් යන්නම් වශයෙන්. දැන් මගේ නිදහසට යම් සීමාවක් ඇත. මෙලෙස පාරේ වාහන හා පදිකයින් වැඩි වත්ම ඒ වැඩි වන අනුපාතයටම ඒ ඒ අයගේ පාර භාවිතා කිරීමේ පුද්ගල නිදහසටද සීමා පැනවේ. ඒ අන් අයගේ පුද්ගලික නිදහසටද ඉඩ දිය යුතු වන බැවිනි. එබැවින් පාර භාවිතා කරන්නන් අතර යම් සම්මුතියක් ඇති කර ගත යුතු වනවා මෙන්ම සියලු දෙනාම ඊට ගරු කල යුතු වේ. මෙම ගරු කිරීම එම අයගේ ශිෂ්ට සම්පන්න බව මතම පවතින අතර මහා මාර්ගයේ සාමකාමී බව ඒ මතම රඳා පවතී. මේ අනුව යම් රටක වැසියන්ගේ ශිෂ්ට සම්පන්න බව ඒ රටට ඇතුල් වූ වහාම මහා මාර්ගය දෙස බැලීමෙන්ම වටහා ගත හැක. ලෝකයේ බොහෝ රට වලදී මා මේ අත් දැකීම හොඳින් ලබා ඇත. මෙම සම්මුතියට ගරු නොකරන සමාජයන් තුල මාර්ග නීති මගින් යම් පාලනයක් කල හැකි වූවද එය එතරම් සාර්තක වන්නේ නැත. එහිදී අශිෂ්ට සමාජ තුල සිදු වන්නේ නීතියට බිය වීම මිස නීතියට ගරු කිරීම නොවේ.අප රට තුල මේ තත්වය ඉතා හොඳින් දැක ගත හැකිය.නීතියට ගරු නොකිරීම පටන් ගන්නේ ඉහලම තැන සිට වීම අතිශය ඛේදජනකය.

මා මෙය ලියූවේ තමාගේ පුද්ගල නිදහස හෙවත් අයිතිය භුක්ති විඳීමේදී අනෙකාගේ පුද්ගල නිදහස පිලිබඳව කිසිදු තැකීමක් නොකරන අය ක්‍රමයෙන් මෙරට බිහි වනු මා දැක ඇති බැවිනි. තම නිවසේ පැවැත්වෙන යම් උත්සවකදී මධ්‍යම රාත්‍රිය පසු වන තුරුම අධික ශබ්දයෙන් යුතු විකාශන යන්ත්‍ර භාවිතා කරමින් මුලු පලාතේම මිනිසුන්ගේ නින්දට බාධා කරමින් උත්සව පවත්වන අයගේ මානසික තත්වය ගැන මා පුදුමයට හා කලකිරීමට පත් වූ අවස්ථා බොහෝය. ඒ සෑම අවස්ථාවකම අදාල ස්ථාන වල විදිලි සැපයුම් වලට අධි බලැති විදිලි ධාරාවක් යවා ඔවුන්ගේ විදිලි මෙවලම් දවා අලු කර දැමීමට මා හට හැකියාවක් නොතිබීම ගැන බොහෝ සේ කණගාටු වූයෙමි. මෙයට වසර දෙක තුනකට පෙර මාතර නගරයේ බලවතකුගේ නිවසක එසේ පවත්වන ලද සාදයකින් වූ හිරිහැරය ඉවසා ගත නොවුණු ප්‍රදේශ වාසීන් ඒ බව මාතර පොලිසියට වාර්තා කල විට එහිගොස් ඒවා නවත්වන ලෙස දැන්වූ පොලිස් නිලධාරියාට තම බලය පෙන්වූ අදාල නිවෙස් හිමියා අත් අඩංගුවට ගැනීමට පසුව කණ්ඩායමක් සමග උසස් නිලධාරියකු ගිය විට ඇතිවූ කලහයකදී නිවෙස් හිමියා උඩු මහලින් ඇද වැටී මිය ගිය විට අර පොලිස් නිලධාරී වරයා හට දඬුවම් විඳීමට සිදු විය. ඉන් පසු මෙවැනි දේ ගැන මිනිසුන් කොතෙක් පැමිණිලි කලද ඉහත වූ සිද්ධිය හේතුවෙන් පොලිසිය බිය වී සිටීම නිසා ඔවුන් ඒවා නොඇසූ කන්ව සිටිති. එකල මාධ්‍ය වලින් අර නොපනත් ක්‍රියාව කල නිවෙස් හිමියා ඉතා අහිංසකයෙකු බව පෙන්වා පොලිස් නිලධාරියා රකුසෙකු කර තිබුණි. දවස පුරා තමාගේ රැකියාව කර නිදහසේ තම නිවසේ නිදා ගැනීමට යමෙකුට ඇති පුද්ගල නිදහස ගැන කිසිම තැකීමක් නොකොට තම පුද්ගල නිදහස විඳින එකා අහිංසකයෙකු විය හැකිද. පලාතේම සිටින සියලුම අපරාධ කරුවන් සඳහා සාද පවත්වමින් දහස් සංඛ්‍යාත ජනතාවගේ නින්දට බාධා කල එකා අහිංසකයකු වන්නේ කෙසේද. යමෙකුගේ පුද්ගල නිදහස අනිකාගේ නාසය අසලින් අවසන් වන බවට ඉංග්‍රීසි කියමනක් ඇත. එංගලන්තයේ තම නිවසින් පිටට ඇසෙන සේ ශබ්ධ පිටකල හැක්කේ නත්තල් දින රාත්‍රියේ පමණය. එදිනට වූවද අනවශ්‍ය ලෙස එසේ නොකිරීමට තරම් හික්මීමක් එරට වැසියන් හට ඇත.


මෙසේ එක් එක් අයගේ පුද්ගල අයිතිය මුලු සමාජයම එකක් කොට සැලකීමේදී හැඳින්වෙන්නේ ජනතා පරමාධිපත්‍යය යනුවෙනි. //මා නීති විශාරදයකු නොවන බැවින් දන්නා අයකු විසින් කරණු ලබන නිවැරදි කිරීමකට යටත් වේ//. මෙම ජනතාවගේ පරමාධිපත්‍යය සැම දෙනාටම සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සකස් වීමක් ලෝකයේ මුල් වරට පටන් ගනු ලැබුයේ ඇතෑන්ස් හි ග්‍රීක සමාජය තුල ක්‍රිපූ 500 සිය වසේ පමණදී යයි මා අසා ඇත. මේ වන තුරු තිබී ඇති ගෝත්‍රික සමාජය තුල සියල්ල තීරණය කරනු ලැබූයේ ගෝත්‍රයේ නායකයාගේ කැමැත්ත මතම පමණක් වූ අතර ගෝත්‍රයේ සෙසු සාමාජිකයින්ට ඒ පිලිබඳව කිසිදු අයිතියක් නොතිබුණි. තමන් පාලනය විය යුත්තේ කුමණ ආකාරයෙන්ද යන්න තීරණය කිරීමේ කිසිම අයිතියක් ඔවුන් හට නොතිබුණි.ගෝත්‍රයේ නායකයා යම් ස්ත්‍රියක් දැක ඇය හා සමග සංවාසයේ යෙදීමට කැමැත්තක් ඇතිවුව හොත් ඇය කාගේ දියණියක හෝ බිරිඳක හෝ මෑණියක වීම ඊට කිසිදු බාධාවක් නොවන අතර එය ඒ අයුරින්ම සිදුවේ. එසේම ගෝත්‍රික නායකයාගේ පුතුන් හටද එසේ ක්‍රියා කිරීමේ පූර්ණ නිදහස ඇත. ඒ උහුද අනාගතයේ දිනක ගෝත්‍ර නායකයා වන හෙයිනි. එසේම යමෙකෙකුගේ රුධිරය උරා බීමට නායකයාට යම් ආසාවක් ඇති වුවහොත් ඒද ඒ අයුරින්ම සිදුවේ. කෙටියෙන් ගතහොත් ගෝත්‍රය තුල සියල්ල සිදුවන්නේ ගෝත්‍ර නායකයාගේ අවශ්‍යතා වෙනුවෙන්මය.


නමුත් සමාජය හා එහි සාමාජිකයින් ක්‍රමයෙන් ශීලාචාර වීමත් සමග මෙම ගෝත්‍රික ක්‍රම වෙනස් විය. ග්‍රීසියෙන් පටන් ගැනුණු මෙම ක්‍රමය තවත් ශත වර්ෂ ගණනාවක් යන විට දියුණු වී නියෝජිත පාලන ක්‍රමය පටන් ගැණුනි. ප්‍රජාතන්ත වාදය එහෙම නැත්තං සිංහලෙන් කියනවා නම් ඩිමොක්‍රසි Democracy කියන වචනය පවා ග්‍රීක වචනයක් වන අතර එහි තේරුම වන්නේ ජනතා ආධිපත්‍යය rule of people යන්නයි. මුලින්ම පැවැතී ඇත්තේ සෘජු නොහොත් පිරිසිදු ප්‍රජාතන්ත්‍ර pure democracyවාදයයි. මෙහිදී සමාජයේ සෑම කෙනෙක්ම සෑම තීරණයකදීම තම කැමැත්ත හෙවත් චන්දය පාවිච්චි කරයි. එහෙත් විශාල සමාජ වලදි තීරණ ගන්නා සෑම විටකම මෙසේ කිරීම අපහසු බැවින් තමන් වෙනුවෙන් තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා තමන් විසින් තමා කැමැති නියෝජිතයින් තෝරා ගැනීමේ ක්‍රමයක් ඇති කරන ලදී. රටේ ජනතාව සිටින ප්‍රදේශ කුඩා කොටස් වලට හෙවත් කොට්ටාශ වලට වෙන් කර ඒ එක් එක් කොට්ටාශ වල සිටින ජනතාවට එක්ව එක් නියෝජිතයෙක් පත් කර ගැනීමේ මෙම ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදයයි representative democracy . මෙම ක්‍රමය සෘජු ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමය තරම් පිරිසිදු නැත. 2020 දී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා යෝජනා කර ඇත්තේ බදු පැනවීම වැනි ජනතාවට කෙලින්ම බල පාන තීරණ ගැනීමේදී මෙම ක්‍රමය භාවිතා කරන බවයි. මෙය ඒ අයුරින්ම යම් දිනක සිදු වන්නේ නම් ජනතා විරෝධී ක්‍රියා යම් පමණකට අඩු වනු ඇතැයි සිතිය හැක. මෙය ජන මත විචාරණයට සමාන ක්‍රමයක් වන අතර වඩාත් ප්‍රජාතන්ත්‍ර වාදීය.

නියෝජිත ප්‍රජාතන්ත්‍ර ක්‍රමයේදී ජනතා නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම පාර්ලිමේන්තුව ලෙස හැඳින්වේ. ඔවුන් සියලු දෙනා එක්ව තමන් පත් කල ජනතාවගේ අයිතීන් රැක ගෙන සැමට සාධාරණ අයිතීන් ලැබෙන පාලන ක්‍රමයක් ඇති කරණු ලබයි.මෙය මූලික සිද්ධාන්ත මත පදනම්ව පිලියෙල කරන ලද නීති පද්ධතියකි. මෙම ක්‍රමය ව්‍යවස්ථාව ලෙස හැඳින්වෙන අතර එය පිලියෙල කරනු ලබන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය legislature වේ. මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය නීතිය ලෙස හැඳින්වෙන අතර එම නීති ක්‍රියාත්මක කිරීමේ බලය පාර්ලිමේන්තුව විසින්ම තෝරා ගනු ලබන අමාත්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන කුඩා කණ්ඩායමකට භාර කෙරේ.මෙම කුඩා කණ්ඩායම විධායකය executive ලෙස හැඳින්වෙන අතර රට වැසියන්ගේම නියොජිතයින්ගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකයා අගමැති හෙවත් අග්‍රාමාත්‍යයි. ඒ අනුව සියලු ජනතා නියෝජිතයන්ගේ කේන්ද්‍රය වන්නේ ඔහුය. ඔහුට පැවැරෙන්නේ රටේ ජනතාවගේ අයිතිවාසි කම් සියල්ලන්ටම එක සමානව ලැබෙන සේ ඔවුන්ගේ නියෝජිතයින් විසින් පිලියෙල කර ඇති නීති මාලාවට යටත්ව එක් එක් පණත් මගින් රට පවත්වා ගෙන යාමයි. වරක් හිටපු අගමැති බණ්ඩාරනායක මහතා මම ඔබගේ පාලකයා නොව ප්‍රධාන සේවකයා යයි ප්‍රකාශ කරන ලද්දේ මේ අනුව විය හැක. රට පවත්වා ගෙන යාම ව්‍යවස්තාදායකය විසින් සම්පාදනය කරණ ලද නීතීන් අනුව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට ඇති ආයතනය අධිකරණය Judiciary නමින් හැඳින්වේ. මෙය අනිකුත් ආයතන දෙකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් ස්වාධීන ආයතනයක් වන අතර කිසිවකුට හෝ එයට බලපෑම් කල නොහැක. රටේ ඕනෑම වැසියකුට තමාගේ අයිතිය නිසි පරිදි ලැබෙන්නේ නැති යයි සිතුන හොත් අධිකරණයට ගොස් ඊට විසඳුම් සොයා ගත හැකි වන ලෙසට එය ස්ථාපිත කර ඇත. මෙහිදී අධිකරණය විසින් රටේ පවතින ව්‍යවස්තාව හා නීතිය අනුව සලකා බලා අදාල පුද්ගලයාගේ අයිතීන් යම් හේතුවක් නිසා කඩවී ඇත්නම් එය නිවැරැදි කර ඒවා කඩ කල අයට සුදුසු ක්‍රියා මාර්ග නීතිය අනුවම ගනු ලැබේ. එම ක්‍රියා මාර්ග ඉටු කිරීම සඳහා පොලිසිය වැනි ආයතන පිහිටුවා ඇති අතර එය ස්වාධීන ආයතනයක් මගින් පාලනය වන්නකි.

මේ අනුව බලන කල ජනතා පරමාධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ප්‍රජාතන්ත්‍ර වාදයේ මෙම කුලුණු the three pillars of democracy තුන ඉතා ශක්තිමත්ව හා සම බරව පැවැතීම අත්‍යවශ්‍ය වේ. වෙන වචන වලින් කිවහොත් අපගේ පුද්ගල අයිතීන් හා එක්ව ගත් කල පරමාධිපත්‍ය අයිතීන් රැඳී පවතින්නේ මෙම ආයතන තුන මතය. තමන්ගේ අයිතීන් පිලිබඳව නිසි දැනුමක් ඇති ඒවා රැක ගෙන ඒ මගින් තමනුත් අන් අයත් ඒවා සමසේ බුක්ති විඳීමට කැමති බුද්ධිමත් ජනතාවක් සිටින රට වල මෙම ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක වන අතර දේශපාලන හා ආගමික වහල් භාවයෙන් අන්ධ වී ඇති ජනතාවන් සිටින රට වල මෙම ක්‍රමය නමට පමණක් සීමා වී ඇත. දේශපාලකයින් හිස් මුදුනේ තබා ගෙන සිටින උන් විසින් පානය කර ඉතිර කරන ලද වතුර බෝතලය ගෙදර ගෙන ගොස් වැඳුම් පිදුම් කරනු පමණක් නොව ඒවායේ චායා රූප පල කරමින් ඒ බව ප්‍රසිද්ධියේ පවසන තරම් මුග්ධ වහලුන් සිටින රට වලට මොන ඩිමොක්‍රසිද. තමා විසින් පත් කර යවනු ලබන එවුන් කරන දේ නිසා තමන් අප්‍රමාණව විඳින දුක් මීට පෙර ආත්මයක කරන ලද පව් නිසා වන බව විශ්වාස කරමින් කටයුතු කරන ආගම් වහලුන් සිටින රටවල් වල කුමණ ඩිමොක්‍රසිද.

මේ දෙවර්ගයටම අයත් වහලුන් මෙතැන් සිට මට පහර ගසන බවත් එය මීට පෙර පෝස්ට් නිසා අමනාප වී සිටින අයගේ මහත් වූ අමන්දානන්දයට හේතු වන බව දැනත් මෙහි ඉතිරි කොටස හෙට බලාපොරොත්තු වන්න. මේවාට අකමැති අයට මාව බ්ලොක් කර දැමිය හැකි බවද එසේ කලා කියා මගේ කිසිදු අමනාපයක් නොමැති බවද සලකන්න. එහෙත් එසේ කරන බව මට හා එමගින් අන් අයටද කලින් දන්වා එසේ කරන්නේ නම් මා එයට කැමති බවද දන්වමි. මා මෙයින් අදහස් කරන්නේ නිර්මානාත්මක හා උත්පාදක විවේචන කරන මිතුරන් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින අර චෞර වෛද්‍යවරයා මෙන් මඩ ගැසීමට පටන් ගතහොත් ඒවාට ප්‍රතිචාර ලෙස උන්ගේ ඉතා ජුගුප්සාජනක ක්‍රියා එලිදරවු කිරීමේදී ඉන් අපවිත්‍ර වන්නේ මගේම බිත්තිය නිසා මින් ඉදිරියේදී දැනුම් දීමෙන් පසු එවැන්නන් බ්ලොක් කරන බවද දන්වමි. එවැනි ක්‍රියා හා ඒවාට සම්බන්ධ පුද්ගලයින් ඉදිරියේදී ප්‍රසිද්ධ වේදිකාවකදී හෙලිදරවු කරනු ඇත. බුද්ධිමත් විවෘත නිදහස් මනසකින් යුත් අය සමග පමණක් සංවාදයක් ඇති කර ගැනීම සුදුසු බව හැඟී ගිය බැවින් එසේ කිරීමට තීරණය කලෙමි.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වී හෝ සිදු කර ඇති දේ මීලඟ දිනයේදී සාකච්චා කරමු.

1910 දී උපන් මගේ තාත්තා 1960 ගණන් වල මම පොඩි කාලේ ඉගෙන ගත්ත මාතර රාහුල කොලේජ් එකේ ඉඳලා වීක් එන්ඩ් එකට කෝච්චියේ ගෙදර එක්ක එන කොට දවසක් කොග්ගල හරියේදී කිවුවා පුතේ මම ඉපදුනේ වහල් රටක ඒත් පුතාලා වාසනාවන්ත උනා නිවහල් රටක උපදින්න ඒ වගේම මමත් වාසනාවන්ත උනා නිවහල් රටක ජීවත් වෙලා මැරිලා යන්න කියලා. මට ඒක මතක මම ඒ කාලේ හරිම ආස කරපු කොග්ගලදීම ඒක කියපු නිසා. ඒත් අවුරුදු 92ක් ජීවත් වෙලා 2002 දී මිය යන්න කලිං තාත්තා නිතරම වගේ මාත් එක්ක කිවුවා පුතේ මීට වඩා හොඳයි අපි සුද්දා යටතේම හිටියා නම් කියලා. මුලින්ම එහෙම කිවුවේ 1999 දී ජනාධිපති චන්ද්‍රිකා සරත් සිල්වාව අග්‍ර විනිශ්චයකාර තනතුරට පත් කරපු දවසේයි. එදා අපි පිට කෝට්ටේ තාත්තලාගේ ගෙදර ඉඳන් නිව්ස් බලන කොටයි එහෙම කිවුවේ. ඒ වෙන කොට සරත් සිල්වාට විරුද්ධව තිබුණු දූෂණ නඩුවක් නිසා සරත් සිල්වාගේ නම නීතිඥ ලැයිස්තුවෙන් මකලා දාන්න ඔන්න මෙන්න කියලා තිබුණු වෙලාවකයි චන්ද්‍රිකා එහෙම කලේ. ඒ කියන්නේ නීතිඥ කමටවත් සුදුසු නැති මිනිහෙක්ව අග විනිසුරු කරපු වෙලාවේ.

ඉතාම යුක්ති ගරුකව අවංක ජීවිතයක් ගත කරපු මගේ තාත්තාගේ ආකල්පය අවුරුදු 45 ක් වගේ කාලයකින් වෙනස් වෙලා සුද්දාගේ යටතේම හිටියා නම් හොඳයි කියන තරමට වෙනස් වීම මට අද තේරුම් ගන්න පුලුවන්. ඊට ටික කාලෙකට පස්සේ සරත් සිල්වා තමන්ට විරුද්ධව තිබුන දූෂණ නඩුව තමන්ම අහලා තමන්ව නිදහස් කර ගත්ත දවසේ තාත්තා කිවුවා මේවා දකින්න මම ජීවත් උනානේ කියලා මට කිවුවා පුතේ මට ඔය ගොල්ල ගැන දුකයි කියලා. ඒ වෙලාවේ මගේ කොල්ලෝ දෙන්නත් ඇවිත් හිටියා මාත් එක්ක සීයව බලන්න. හැබැයි මේ වෙන කම් මගේ තාත්තා හිටියානම් ෂුවර් එකටම කියාවි ඔය ගොල්ලාට නිවහල් රටක ඉපදෙන්න වාසනාව තිබුනාට මැරෙන්න වෙන්නේ වහල් රටක කියලා. මම මෙහෙම කියන්නේ තාත්තා හිතපු විදිය මම හොඳට දන්නා නිසායි. අපි සුද්දාගේ කාලේ නොහිටියාත් ගිය අවුරුද්දේ අපිව හැරදාලා ගියපු මගේ අම්මාත් කියපු එකක් තමයි සුද්දාගේ කාලේ නම් ඔහොම දේවල් වෙන්නේ කියලා. ඒ කාලේ වැඩක් කර ගන්න දේශපාලකයෝ පස්සේ යන සිරිතක් තිබිලා නෑ. නීතියක් තිබුනා නම් ඒක කාටත් පොදුයිලු.

මීරිගම ඉපදිච්චි අම්මාට ගුරු විද්‍යාල පුහුණුවෙන් පස්සේ මුල් පත්වීම දීලා තියෙන්නේ ඊට හැතැප්ම 100 ක් ඈතින් තිබිච්චි අපේ ගමේ ඉස්කෝලේට.අද වගේ කාලෙක නම් ගමට මාරුව හදා දෙන්න ඔනරබල්ලෝ ලිංගික අල්ලසුත් ඉල්ලන වෙලා තියෙනවාලුනේ. ඒත් ඒ කාලේ පලවෙනි පත් වීම දෙන්නේ ගමින් සෑහෙන්න දුරටලු.එහෙම දීලා අවුරුදු හතරක් විතර හිටියාම තමයිලු මාරුවක් ගැන සලකා බලන්නේ. ඉතිං ගමේ අම්මාට නවතින්න තැනක් හොයන කොට දන්න කෙනෙක් මාර්ගයෙන් අපේ ගෙදර නැවතිලා තියෙනවා. ඒ කාලේ හමුදාවේ ඉඳලා ආපහු ලංකාවට ඇවිත් තේ වත්තක වැඩ කර කර හිටපු අවුරුදු 42ක් වෙච්ච අපේ තාත්තා අවුරුදු 24 ක් වෙච්චි අම්මා ගැන සලකා බලපු නිසා පස්සේ අර මාරුවක් ගැන සලකා බලන්න ඕන වෙලා නෑ. ඊට පස්සේ අවුරුදු 36ක්ම අම්මා අපේ ගමේම වටේ තිබුණු ඉස්කෝල වල වැඩ කලා.

ඔන්න බලහල්ලා අදත් පිට ගියානේ.

ඇත්තටම මට ඕන උනේ අර ප්‍රජාතන්ත්‍ර වාදයේ කුලුණු තුනෙන් එකක් කඩා ගෙන වැටිච්චි හැටි කියන්න ටයි. ඒ කුලුණ විතරක් නෙවෙයි අනිත් කුලුණු වලින් එකක් අනිත් එක ගිල ගත්ත හැටිත්. වයස අවුරුදු 25ක් විතර වෙන කම් දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් නොදැන හිටපු මට අතරින් පතර මතක තියෙන්නේ බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තියාපු එක, ප්‍රේමදාස කියලා කෙනෙකුට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආපහු යන්න වෙච්ච වගේ ඒවා.ඊට පස්සේ මතකයි 1965 දී යූ එන් පී ආණ්ඩුවක් ඇවිත් කලිං ආණ්ඩුවේ ඇමතිලා පාවිච්චි කරපු කාර් ලොතරැයි වල පලවෙනි තෑග්ගට දෙනවා. මට ඒක මතක තියෙන්නේ අපි ඉස්කෝලේ යන කොට ස්වීප් කාරයෝ ටිකට් විකුණනවා ආ බදිඋඩින් ගිය කාර් එක බදිඋඩින් ගිය කාර් එක කිය කිය. අපිට ඕක ඇහුනේ බඩ උඩින් ගිය කාර් එක වගේ. ගෙදර ඇවිත් ඇහුවාමයි දැන ගත්තේ මේ කලින් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති වෙලා හිටපු බද් යු ඩීන් මොහොමඩ් කියන කෙනා පාවිච්චි කරපු කාර් එක කියලා. ඒ කාලේ එහෙම කාර් එකක් පාවිච්චි කරන එකත් වැරැද්දක් හැටියටයි සැලකුවේ. ඒ කියන්නේ අමාත්‍යාංශයේ වාහන තියෙද්දි ඇමතිට විතරක් කාර් එකක් තිබිච්චි එක. අද වගේ දවසක නම් එක බඩ උඩින් කෙනෙක් ගියපු කාර් පලවෙනි තෑග්ගට විතරක් නෙවෙයි සැනසිලි තෑගි වලටත් දෙන්න පුලුවන් හරියට අර වීරවංසයා පවුලේ උන් 40 කට කාර් දුන්න කියනවා වගේ.
.තව හැම ඉස්කෝල නිවාඩුවටම අම්මා අපිව එක්කං යනවා මීරිගම අම්මලාගේ ගෙදරට. ඒ යන්නේ කෝච්චියේ එතකොට මට මතකයි හරියටම කියන වෙලාවටම විනාඩියක් වත් පහු නොවී කෝච්චිය එනවා. ඒ කාලේ වෙලාවල් තිබුනෙත් 7.14, 10.22 වගේ වෙලාවල්. අද වගේ රවුම් ගනං නෙවෙයි. ඉතින් මම හිතන්නේ මේවා තමයි තාත්තා කිවුවේ සුද්දාගේ කාලේ කියලා. මම 1986 දී මුලින්ම එංගලන්තයට ගිහිල්ලා අර පොලොව යටින් යන කෝච්චි හරියටම විනාඩියටම එනකොට මට පුදුම හිතුනා ඕයි. 1996 දී විතරක් නෙවෙයි තාමත් එහෙමයි.ඉතින් තාත්තා කිවුවා වගේ සුද්දා යටතේම හිටියා නම් මොනවා නැතත් අඩු ගනනේ අපට වෙලාවට කෝච්චියේ යන්න වත් තිබුනා. ඒ රට වල මිනිස්සු අපි වගේ දුක් විඳින්නේ නෑ පාරේ හරියට වෙලාවට කෝච්චි බස් තියන නිසා හරියටම ටක්කෙට තියලා ගෙදරින් එනවා හරියට වෙලාවට වැඩට යනවා වෙලාව වෙන කම් වැඩ කරනවා වෙලාවට ගෙදටර යනවා. මෙහේ වගේ මචං ඉක්මනට යන්න ඕන කෝච්චිය අල්ල ගන්න කියලා කලින් ඔෆිස් වලින් පනින ඒවා ඒ රට වල නෑ. හැබැයි රශ් වෙලාවට කෝච්චි පිරිලා. ඒත් එකක් යනවාත් එක්කම තව එකක් එනවා. බැන්කොක් එහෙම ගිය අය දකින්න ඇතිනේ ඒවා. වෙන එකක් ඕන නෑ බං ඉන්දියාවේත් බොහෝ වෙලාවට කෝච්චි වෙලාවට එනවා. මේ ලඟදී මම චෙන්නායි වල එග්මෝර් ස්ටේශන් එකෙන් චෙන්නායි පාර්ක් එකට යන්න ගියා. මෙන්න බොලේ කියපු වෙලාවටම කෝච්චිය ආවා. ඒ වගේම චෙන්නායි එයාර් පෝට් එකේ ඉඳලා ටවුමට එන්න උඩින් එන කෝච්චි දැම්මා මේ මෑතක හරියට අර බැංකොක් වල වගේ.එහේ කෝච්චියෙන් යන එවුන්ගේ ටිකට් චෙක් කරන්න එවුන් හිටියෙත් නෑ.ඉතින් ඇයි බං අපේ රටට මෙහෙම උනේ.


ඒක හෙට බලමු. දැන් මට ගෙදර යන්න බස් එක අල්ල ගන්න තියෙනවා.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී