Meditation 25.03.2018

මචංලා දන්නවානේ මට දැන් මාසෙක විතර ඉඳලා නින්ද යන්නේ නැති ප්‍රොබ්ලම් එකක් තිබුන බව. ඉතිං මම ඔය ටෙලියක් බල බල ඉඳලා පස්සේ පෙත්තක් අරං නිදා ගන්න පුරුදු උනා. මම පෙති ගහනවා දැකලා අපේ නෝනා මට දවස් කීපයක්ම කිවුවා ඇයි අනේ හැමදාම පෙති ගන්න හොඳද, නරකද ධම්ම කූටෙට ගිහිල්ලා ටිකක් භාවනා කලොත් කියලා. ඉතිං මම කිවුවා දැන් මාස දෙකකට කලින් ගිජ්ජකූටෙටත් ගිහින් ආපු මම මොකටද ධම්ම කූටෙට යන්නේ කියලා. අනේ ඊට දවස් කීපෙකට පස්සේ මේ 13 වෙනිදා ගෑනි අපේ ලොකු පුතත් එක්ක උදේ පාන්දරින්ම මාව බලෙන්ම කාර් එකට දාගෙන ගියා ධම්ම කූටෙට. කොලඹ ඉඳන් පේරාදෙණියට යන කම්ම මම සීට් එක පස්සට දාගෙන ඇස් වහ ගෙනයි ගියේ මට දැන් හොඳට නින්ද යනවා කියලා හිතලා ආපහු එයි කියලා. ඒ උනාට ගලහ පාරට හැරනවාත් එක්කම මම ඉබේටම නැගිටුනා ඒ කාලෙ පේරාදෙණියෙදි ගත්ත ආතල් මතක් වෙලා. මම කොලඹ හිටියාට ඒ කාලේ අවුරුද්දකට තුන් හතර වතාවක් පේරාදෙණියට ඇවිල්ලා දවස් හතරක් පහක් විතර ගජේ ගහලා යනවා. හවසට වලට නැත්නම් ස්ටුඩන්ට් සෙන්ටර් එකට ගියාම නියමයි. ඒත් එහෙම තිබුනු පේරාදෙණියේ ඒරියා එක දැන් තියෙන හැටි දැක්කාම මට මාර දුකක් ආවා ඕයි. 
මේකෙන් මට කියාගෙන ආපු එකත් අමතක උනා. ඉතින් මගේ නෝනා මාව ධම්ම කූටෙන් බස්සලා මගේ බෑග් එකත් එලියට විසි කරලා " දවස් දහයම ඉඳලා මිසක් ගෙදර එනවා එහෙම නෙවෙයි" කියලා අර ආදරේ වැඩි කමට ඇඟිල්ලත් උලුක් කරලා ගියා. ඉතිං මොනවා කරන්නද බැඳ ගත්ත බෙරේ බැඳ ගත්ත නෙවෙයි බලෙන් බැඳපු බෙරේ ගහන්න එපැයි කියලා මම එතන තිබුන ඔපිස් එකට ගිහිල්ලා මගේ රිසවේශන් කොලේ පෙන්නුවා. එතන හිටපු මුලු ඔලුවම මෆ්ලර් එකකින් වහ ගෙන හිටපු පොරක් මගෙන් ඇහුවා " දිස් කෝස් ඉස් ඩන් ඉන් ඉන්ග්ලිශ් “කියලා. මම කිවුවා "ඉයස් අයි නෝ ඉට්" කියලා. පස්සේ මෑන් තවත් හොඳට මගේ දිහා බලලා ඇහුවා " ඩූ යූ තින්ක් යූ කැන් ෆලෝ ද එන්ටයර් කෝස් ඉන් ඉන්ග්ලිශ්" කියලා. මං හිතන්නේ මූ හිතුවේ මම තාම ෆස්ට් ඉයර් මෙඩ්ඩෙක් කියලා. මම කිවුවා අයෑම් අ ඩොක්ටර් කියලා. එතකොට මෑන් මෆ්ලර් එක එහාට මෙහාට කරලා හිනා වෙලා "ආ දෙන් නෝ ප්‍රොබ්ලම්" කියලා මට පී 5 කාමරය දීලා ගිහින් ටිකක් රෙස්ට් කරන්න කිවුවා. මම බෑග් එකත් අරගෙන කාමරය හොයා ගෙන යන කොට තව පොරක් මට කිවුවා මහත්තයා හිස් බඩනේ එන්න ඇත්තේ ගිහින් තේ බීලා යන්න කියලා. මම කිවුවා මම කාලා ආවේ කියලා. ගිහින් බලන කොට කාමරේ නියමයි. ඇටෑච් බාත් රූම් හොට් වෝටර් එහෙමත් තිබුනා. නුවර තියෙන උසම තැන. කිසිම සද්දයක් නෑ. ඉඳ හිටලා රිලවු රෑනක් එනවා කන්න මුකුත් තියෙනවාද බලන්න. එතන මාර නීති ගොඩයි. ඒවා ඔක්කොම හරියට පිලිපදිනවා කියලා ඉස්සෙලාම ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න ඕන. දවස් දහය තුල කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් ඉඟි බිඟි පාන්නවත් තහනම්. තමන්ගේම පවුලේ කෙනෙක් උනත් එහෙමයි. ගෑනු පිරිමි වෙන වෙනම ඉන්නේ කන්නෙ බොන්නේ දෙපලක. භාවනා කරන කොට විතරක් එකම ශාලාවේ දෙපැත්තේ ඉන්නවා. තව දවස් දහයම ඉන්නවා, මොනම හේතුවක් නිසාවත් අතර මගදී යන්නේ නෑ කියලාත් අත්සන් කරන්න ඕන. ඒ වගේම තමන්ගේ ඇඳුම් පැලඳුම් ඇරුනු කොට කිසිම දෙයක්, අඩුම ගනනේ සල්ලිවත් තියා ගන්න බෑ. බෙහෙත් තියෙනවා නම් පෙන්නලා අවසර අරගෙන යන්න ඕන. අඩුම ගනනේ පොතක් පැන්සලක් වත් ගෙනියන්න බෑ. හැබැයි මම අර හිස් බඩම ගිය නිසා උන්ට අමතක උනා මගේ බෑග් එක බලන්න. ඒ නිසා මම ශේප් එකෙන්ම මොබයිල් එකත් අරගෙන ගියා.


අපේ මුලු කණ්ඩායම හැටක් ඒකෙන් ලංකාවේ අය හිටියේ හතයි. අනිත් ඔක්කොම එක එක රටවලින් ආපු ෆොරිනර්ස්ලා. මේ ටෙන් ඩේ භාවනා ප්‍රෝග්‍රම් එක පටන් අරන් තියෙන්නේ බුරුමයේ හරිම පොහොසත් ඉන්දියන් පවුලක උපන් ගොයින්කාර් කියලා කෙනෙක් 1969 දී. එයාගේ විස්තර මේ සයිට් එකට ගිහින් බලා ගන්න පුලුවන් https://www.dhamma.org/en-US/about/goenka. මේකේ තියෙනවා එතුමා යූ එන් එකේ කතා කරපු ක්ලිප් වගයකුත්. එතුමා අවුරුදු 90ක් ඉඳලා 2013 දී මිය ගිහින් තියෙනවා. ෆියුනරල් එකේ ක්ලිප් එකකුත් සයිට් එකේ තියෙනවා.

මට භාවනාව ගැන මුලින්ම උනන්දුවක් ඇති උනේ 2004 දී ඉන්දියාවේ සැවැත් නුවර ජේතවනාරාමයේදී. ඒත් මට ඒක හරියට ඉගෙන ගන්න ලැබුනේ 13-24 තිබිච්ච මේ ප්‍රොග්‍රම් එකෙන්. මීට කලින් 2004 දී කඳුබොඩ තියෙන භාවනා මධ්‍යස්ථානයට ෆුල් හෝප්ස් තියාගෙන ගැම්මෙන් ගියා දවස් 7ක් නිවාඩු දාලා. ඒත් යන කොටම එතන හිටපු හාමුදුරුවෝ මම ඇවිදිනවා ෆාස්ට් වැඩියි කියලා මට කෑ ගැහුවා. මම එන්න ආවා. පස්සේ 2009 දී අප්පච්චී දොස්තරලාට අරලියගහ මන්දිරයේදී දීපු දන් සැලේදී හම්බ වෙච්ච මම දන්න දොස්තර කෙනෙක්ගෙන් භාවනාව ඉගෙන ගන්න කීප වතාවක්ම ගියා. හරි ගියේ නෑ. පස්සේ දවසක් මෑන් මට හම්බ උනාම කිවුවා එයාගේ ගෝලයෙක් ඉන්නවා පොලොවේ ඉඳන් අඟල් 6ක් උඩින් ඇවිදිනවා, තවත් එක්කෙනෙක් අඩි දෙක හමාරක් උඩින් ඇවිදිනවා, තව එක්කෙනෙකුට බිත්තියක් හරහා යන්න පුලුවන් කියලා. එතකොට මට තේරුනා මෑන්ට හොඳටම පිස්සු කියලා එතෙන්ට යන එකත් නැවැත්තුවා.

මේ ප්‍රෝග්‍රම් එක කරන්නේ ගොයින්කාර්ගේ විඩියෝ සහ ඔඩියෝ වලින්. ඒවා නියමයි. මම කවදාවත් අහලා නෑ ඒ වගේ ලස්සනට ක්‍රමානුකූලව කිසි කෙනෙක් උපදෙස් දෙනවා. භාවනා වැඩ සටහනේ මුල් දවස් තුනම ආනාපානය තමයි කියලා දෙන්නේ. ඒක නියමයි. මට නියමෙට අල්ලලා ගියා. ඕක ඉගෙන ගන්න මම අවුරුදු 14ක් ට්‍රයි කලා. ඊලඟ දවස් හතම විපස්සනාව. ඒක නම් මට ටිකක් දිරව ගන්න අමාරු උනා. හැමදාම උදේ හතර හමාරට පටන් ගත්තාම රෑ නවය හමාර වෙනකම් වැඩ. උදේ කෑමට 6.30 ඉඳන් 8 වෙනකම්. දවල්ට 11 ඉඳන් 1 වෙනකම්. හවස 5ට මොනවා හරි ශෝට් ඊට් එකක් එක්ක තේ එකක් ලැබෙනවා. තනිකරම වෙජිටේරියන් ඩයට් උනත් හරිම රසයි. රෑ 8.30 ට ගොයින්කාර්ගේ ඩිස්ක්ලෝශර් එකක් තියෙනවා. ඒවාත් නියමයි. මම එතන තියන ඔෆිස් එකේ උන්ගෙන් ඒ විඩියෝ වල කොපි ඉල්ලුවා සල්ලි වලට. ඒත් උන් දුන්නේ නෑ. පස්සේ මම ගෙදර ඇවිත් ඒවා හොයා ගෙන ඩවුන් ලෝඩ් කර ගත්තා. මේ සයිට් එකට ගිහින් ඒවා මචංලාට ඕන නම් අහන්න පුලුවන්. www.youtube.com/watch… ඒත් තාම මට අර ඉන්ස්ට්‍රක්ශන් ටික හොයා ගන්න බැරි උනා. ඒවාත් නියමයි. යුද්දේ කාලෙ අර ලක්ෂ්මන් කිරිඇල්ල කිවුවා වගේ ඕනම ගොනෙකුට ඒවා අහගෙන ඉගෙන ගන්න පුලුවන්. ඒත් මට බැරි උනා විපස්සනාව හරියට කර ගන්න.

මම මුහුනු පොතේ ඉන්න හැමෝටම කියනවා දවස් දහයක් හොයා ගෙන කොහොම හරි මේ ප්‍රෝග්‍රම් එකට යන්න කියලා. ෆුල් වර්ත්. මේකට ඕනම ආගමක අයෙකුට යන්න පුලුවන් එකක්. ආගම කිසිම බාදාවක් වන්නේ නෑ. ගිහින් බලන්න මම කියනවාට. කොලඹ කොටුවෙන් ඒ සී බස් එකක් තියෙනවා උදේ 5.15 ට. රුපියල් 320ක් දුන්නාම සැපට යන්න පුලුවන් ගලහ හන්දියට. එතනින් විනාඩි දහයෙන් දහයට තියෙනවා මහකන්ද බස් එක. කොන්දොස්තරට රුපියල් 17ක් දුන්නාම ඌ එක්කං යනවා මහකන්දට. එතනිං බස් එක ආපහු හරවනවා. එතන ත්‍රීවීල් කාරයෝ කාක්කෝ වගේ බලා ගෙන ඉන්නවා භාවනා කාරයෙක් එනකං කිලෝ මීටර් 3ක් උඩට එක්ක ගිහිල්ලා රුපියල් 300 ක් ඩැහැ ගන්න. උදේ 8.30 වෙන කොට මචංලාට එතනට යන්න පුලුවන්. හැබැයි යන්න කලිං ප්ලේස් එකක් බුක් කර ගන්න. ඒකට මේ සයිට් එකට ගිහිං ඔන් ලයින් ඇප්ලයි කරලා තමන්ට කැමති කෝස් එකක් තෝර ගන්න. kuta.dhamma.org එතකොට ඊමේල් එකක් එනවා නොම්මරයකුත් එක්ක. ඒ නොම්මරේ ගෙනිහින් එතන ඉන්න එකාට දෙන්න ඕන. අර ඔලුව මෆ්ලර් එකෙන් වහ ගෙන ඉන්න එකාට. එතකොට කාමරයක් හම්බ වෙනවා. සල්ලි ගන්නේ නෑ. ඔක්කොම නොමිලේ. ආපහු යන කොට තමන්ට කැමති ගානක් කන්ට්‍රිබියුට් කරන්න පුලුවන්. ඒවායින් තමයි ධම්ම කූටය රන් වෙන්නේ. සමහර් ෆොරිනර්ස්ලා රුපියල් 25000 වගේ ගනං දෙනවා. මම ඉතින් පැන්ශන් කාරයා රුපියල් 5000 යි දුන්නේ. ඕනම කෙනෙකුට මොනවත් නොදී එන්න පුලුවන්. හැබැයි ප්‍රොග්‍රම් එක කරපු කාටවත් මම හිතන්නේ නෑ එහෙම එන්න හිත් දෙයි කියලා. ඉතිං ඔයගොල්ලත් ගිහිං බලලා හොඳයි කියලා හිතුනොත් අනිත් අයටත් දැන ගන්න මේ පෝස්ට් එක ශෙයාර් කරන්න.

මට දැන් නියමෙට නින්ද යනවා විතරක් නෙවෙයි තරහා යන්නෙත් නෑ. වෙනදා වාහනේ එලව ගෙන යන කොට පාරේ යන එවුන්ගේ අම්මලාව හිතෙන් මතක් කර කර තමයි යන්නේ. ඒත් දැන් එහෙම නෑ. කොටින්ම කියනවා නම් මදුරුවෙකුට උනත් දැන් ගහන්නේ වෙනදා වගේ තරහ සිතකින් නෙවෙයි. ෆුල් මෙත් සිතකින්.

මට අර විපස්සනාව හරියට දිරෙවුවේ නැති නිසා මම ලඟදීම ආයිත් යනවා. මේකේ දවස් තිහේ එකකුත් තියෙනවා. ඒකට යන්න අඩුම ගනනේ දවස් දහයේ ඒවා තුනක් වත් කරන්න ඕන. මම ඒකටත් යන්නයි හිතා ගෙන ඉන්නේ. මට බය තියෙන්නේ අපේ ගෑනි කියයිද දන්නේ නෑ " ඒ පාර හැමදාම භාවනාවට යන්න ගත්තාද. කවුද දන්නේ භාවනාවට කියලා ගිහින් කොහෙ කොහේ ලැගලා ඉඳලා එනවාද කියලා. නෑ නෑ භාවනාව දැන් ඇති. මෙන්න මෙහේ ගෙදරට වෙලා බෞද්ධයා චැනල් එකේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ බණක් අහ ගෙන ඉන්නවා මේ නහින දෙහින කාලේ" කියලා.
එහෙම උනොත් මට අභිනිෂ්ක්‍රමනය කරන්න තමයි වෙන්නේ. බලමුකෝ ඉක්මන් නොවී.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී