ගල් යුගයයි නව යුගයයි

බොහොම ඉස්සර කාලේ ඒ කියන්නේ උන් ගල් ගුහා වල ඉඳගෙන දඩයම් කරලා ජීවත් වන කාලේ Pre historic hunting era පිරිමි ගියා සතුන් දඩයම් කරන්න. ගැහැණු ගල් ගුහාව ඇතුලේ ඉඳගෙන දරුවන් බලාගෙන හිටියා. හවසට දඩයම් කරපු සතුන්ගේ මස් අරගෙන ඇවිත් ඒවා ඔක්කොම එක තැනක තියලා කාටත් සමාන වෙන්න බෙදා ගත්තා. එහෙම කලේ හැමෝටම එක වගේ දඩයම් ලැබුනේ නැති නිසා. සමහරුන්ට ඇත්තේම නෑ. සමහරුන්ට ටිකයි තවත් සමහරුන්ට හොඳට දඩයම් ලැබෙනවා. අද දඩයම් නොලැබුණු උන්ට හෙට හොඳට ලැබෙනවා. උන්ගේ වාසනාවට ඒ කාලේ කහකඩයෝ ඉඳලා නෑ. හිටියා නම් කියාවි අද උඹලාට දඩයම් නැති වුනේ කලින් ආත්ම වල කරපු පව් නිසා. ඒ නිසා ලබන ආත්මේ හොඳට දඩයම් ලැබෙන්න කියලා දැන් ඉඳන්ම පින් කරපල්ලා. හොඳම පින තමයි අපට දන් දෙන එක. ඒ නිසා ඔය සොච්චමත් අපට දීපල්ලා කියලා. එහෙම උනා නම් අරුන්ට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒ උනත් ඒ කාලේ එහෙම වෙලා නෑ කවුරුත් සම සමව බෙදා ගත්තා. කවුරුත් සතුටින් කාලා ගැණුත් දරුවනුත් එක්ක ගුහාව ඇතුලට ගිහින් නිදා ගත්තා. ඔය විදියට බැලුවාම දල දඩමස් නිෂ්පාදනය නියම ආකාරයට බෙදිලා කාටත් තමන්ට හිමි ඒක පුද්ගල දඩමස් ප්‍රමාණය ලැබුනා. ඔය විදියට සමාන විදියට දඩමස් බෙදලා දුන්නේ කණ්ඩායමේ නායකයා විසිනුයි. ඔහොම පරම්පරාවක් දෙකක් යන කොට නායකයා පුරුදු වුනා දඩයමේ නොගිහින් ගුහාවට වෙලා ඉඳලා හවසට අනිත් අය අරගෙන එන දඩමස් එකතු කරලා බෙදලා දෙන්න. හැබැයි මෙතෙන්දී පොර තමන්ටත් කොටසක් බෙදා ගත්තා දඩයම් කරන්න තමන්ගේ දායකත්වයක් නොලැබුනත්. අනිත් ඈයොත් ඒකට කමක් නෑ මූ ඉතින් අපේ නායකයානේ. මූ නේ අපිට හරියට මේවා බෙදලා දෙන්නේ කියලා ඒකට විරුද්ධ නොවී හිටියා. මෙන්න මේ විදියට තමයි නායකයා තමන්ගේ ජනතාවගේ දේවල් කොල්ල කන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයි පහු වෙන කොට අනිත් එවුන්ගේ ගල් ගුහා වල හිටපු ඇහැට කනට පේන ගෑණුන්ගේ තනි කම නැති කරන්නත් පුරුදු උනා කියලා අර පල්ලෙබැද්දේ වවුල්පනේ තියන ගල් ගුහාවේ බිත්තියක ලියලා තියනවා මම දැක්කා. මම හිතන්නේ මේවා බලා ඉන්න බැරි වෙච්ච එකෙක් වෙන කර ගන්න දෙයක් නැති කමට ලියපු එකක් වෙන්න ඇති. දැන් මේ අපිත් වෙන කරන්න දෙයක් නැති නිසා ෆේස් බුක් එකේ ලියනවා වගේ.

ඒ කාලේ නායකයා ගත්තේ තමන්ටත් පවුලටත් දවසකට ඕන වෙන මස් ප්‍රමාණය විතරයි. වැඩි පුර ගත්තා කියලා වැඩක් නැති නිසා. වැරදිලාවත් ඒවා කල් තියා ගන්න පුලුවන් වුනා නම් ගල් ගුහා පිරෙන්න ගොඩ ගහ ගන්න තිබුනා අනිත් එවුන්ට කන්නවත් නොදී. මම හිතන්නේ ඒ කාලේ හිටපු උන් අද ඉන්න එවුන්ට වඩා ඒ අතින් වාසනාවන්තයි. ඒත් පහු වෙන කොට ටික ටික දඩයම් අත් ඇරලා ගොවි තැන් වැඩ වලට  මිනිස්සු යොමු වෙන කොට නායකයා පටන් ගත්තා අර ගොවි අස්වැන්නෙන් සෑහෙන කොටසක් තමන්ට අර ගන්න. අර පටන් ගැන්මේදී ඇති වුනු කමක් නෑ ඌ අපේ නායකයානේ ඒ නිසා මස් ටිකක් ගත්තාට කමක් නෑ කියන මානසිකත්වය මේ වෙන කොට කමක් නෑ අපි වගා කරන්නේ නායක තුමාගේ ඉඩම් වලනේ කියලා වෙනස් වෙලා තිබුනා. මොකද ඒ වෙන කොට නායකයා ගොවි ඉඩම් වැඩි ප්‍රමාණයක් අයිති කරගෙන හිටපු නිසා. මේ සියල්ලම කරන්නට නායකයාට පුලුවන් වුනේ අර අනිත් අයගේ තිබුණු නායකයානේ ඒ නිසා මොනවා කරත් කමක් නෑ කියන මානසිකත්වය නිසා. මේක පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් ආපු චින්තනයක්. මේ වෙන කොට නායකයාට සපෝර්ට් එකට තවත් අනුගාමික  කණ්ඩායමක් හැදිලා හිටියා. උනුත් යැපුනේ අර අනිත් අය වගා කරලා ගන්න දෙයින්. මේ විදියට නිකමුන් රාශියක් රකින්න වැඩ කරන අයට් සිද්ද වුනා.
නායකයන්ට මේ ගසා කෑමෙන් ලැබෙන දේවල් රැක ගන්න එකත් ඒ කාලේ අමාරු වෙලා තියනවා. ගොවිතැනින් ලැබුනු දේ නොතෙමී ගබඩා කර ගන්න ඕන. ඒ වගේම ඔය හරකුන් අශ්වයන් වගේ සතුන් කාලෙකදි වයසට ගිහින් මැරිලා යන නිසා වටිනා කම පවත්වා ගෙන යන්න බෑ. ඊට පස්සේ රත්තරන් රිදී වගේ දේවල් වලින් වස්තුව රැස් කරන්න පටන් ගත්තා. ඒවාට හොඳ හුවමාරු අගයක් තිබුන නිසාත් ගබඩා කිරීම පහසු නිසාත්උවමනා තරම් කල් තියා ගන්න පුලුවන් නිසාත් ඒක හොඳ ක්‍රමයක් උනා ජනතාවගෙන් ගසා කෑ දේවල් රැස් කරලා තියා ගන්න. අන්තිමට මුදල් කියන දේ ආවාට පස්සේ මේ නායකයින්ගේ ගසා කෑම උච්ච ස්ථානයටම ආවා. මුදල් වුනත් රැක ගැනීම හරිම ලේසි වුනා බැංකු ක්‍රමය ආවාට පස්සේ. මේකෙන් මුදල් වලට අත ගහන්නේවත් නැතුව ගසා කෑම පහසු වුනා. අර අපේ සමහර කහකඩයෝත් අතින් සල්ලි අල්ලන්නේවත් නැතුව බිලියන පතියන් වෙලා ඉන්නේ. ඇහුවාම කියන්නේ අනේ පිංවන්ත මහත්තයෝ ඕවා  අපිට අකැපයිනේ. ඔන්න ඔතනින් තියලා යන්න කියලා.

අනේ අපේ නායකයානේ ඒ නිසා කමක් නෑ කියන වහල් චින්තනය තියන සමාජ වල මේ ගසා කෑම තාමත් ඒ විදියටම තියන අතරේ වහල් චින්තනයෙන් බේරුණු අය ඉන්න සමාජ වල නායකයින්ට ඒ තරම් ලේසියෙන් මේක කරන්න අමාරු වෙලා තියනවා. කොහොම වුනත් නායකයෙක් ඉන්නවා නම් එතන ගසා කෑම තියනවාමයි අඩු වැඩි වශයෙන්. ඒ කියන්නේ නායකයා වැඩ නොකර වැඩ කරන ජනතාවගෙන් යැපෙන එක. ඒත් තමන්ගේ පරම්පරා ගානකට ජනතාවගේ පරම්පරා ගානක්ම උගස් තියලා ගසා කන චාටර් නායකයින් ඉන්නේ අන්තම ගොබ්බ වහල් ජනතාවක් ඉන්න රට වල. එහෙම වහලුන් නැති රටවල් වල නායකයින්ට සිද්ද වෙනවා කැප වීමෙන් තමන්ගේ ජනතාවගේ සුභ සිද්ධියට වැඩ කරන්න. ඒ විදියට බැලුවාම නායකයින් ජනතාවගේ දේවල් ගසා ගන්න එකට වග කියන්න ඕන එහෙම එවුන්ව බලයට ගේන ජනතාවමයි.

මම මේ ඉතාම දිගින් කියන්න ඕන කතාවක් ඉතාම කෙටියෙන් කිවුවේ මම ෆේස් බුක් එකේ දැකපු එක පෝස්ට් එකක් නිසා. ඒකේ තිබුනා ලන්ඩන් ටෙලිග්‍රාෆ් එකේ තිබුන ප්‍රවෘත්තියක් ඒකට අනුව රාජපක්ෂ පවුල රටෙන් හොරකම් කරපු මුදල රුපියල් කෝටි 65000 ක්. ඒ පෝස්ට් එක දාපු මගේ යාලුවා අනිත් අයටත් පේන්න ඒක මගේ වෝල් එකේ අලවනවා නම් හොඳයි. හැබැයි අර බැංකුව සුද්ද කරලා රනිල් ගහපු ගාන හරියටම දැන ගන්න ක්‍රමයක් නෑ. දැනට දැන ගන්න තියන විදියට නම් ඒක මීටත් වඩා වැඩියි. මේක දැක්කාම මට හිතුනේ එක අතකට සල්ලි කියන දේ තිබුන නිසා හොඳයි. වැරදිලා වත් අර ගල් යුගයේ වගේ මස් වලින් ගසා කන තත්වයක් තිබුනා නම්. බුදු අම්මෝ කෝටි 65000 + ............... ක මස් ගන්න පරම්පරා කීයක් මස් කරන්න වෙයිද. මොකද අපේ බරින් බාගයක්ම ඇට නිසා කෝටි දෙකම මස් කලත් ඔය ගානෙන් දහයෙන් එකක් වත් හොයා ගන්න බෑ. සමහරුන්ගේ බරෙන් බාගයක් ඇට අනිත් එකෙනුත් බාගයක් තෙල් අර ඌරන්ගේ වගේ.

යකෝ මට දැන්නේ තේරුණේ මස් වලින් නැති උනත් අපි හැම එකෙක්ම විතරක් නෙවෙයි උපදින්න ඉන්න එවුනුත් ලක්ෂ හයකින් ණය කාරයෝ කරලා  නේද මුන් මේවා හූරගෙන තියෙන්නේ කියලා. ඊලඟ අවුරුදු පහේදී මම හිතන්නේ අපේ ඇටත් ගලව ගනියි මේ යන විදියට. ඉස්සරහට උපදින උන්ට උපදින්න වෙන්නේ ඇට නැතුව.


ඊයේ මම ලියපු එකට තව පොඩි ඌණපූරණයක් කරන්න තියනවා. අර ගල් යුගයේ හිටපු හෝමෝ ඉරෙක්ටස් කියන මිනිස්සුන්ගේ දඩයම් මස් ඔක්කොම එකතු කරලා කාටත් සම සමව බෙදලා දෙන ගමන් තමන්ටත් කොටසක් බෙදා ගත්තු නායකයෝ ගත්තේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරයි. ඒකට හේතුව වුනේ වැඩිපුර අරගෙන ගොඩ ගහ ගත්තා කියලා ඒවායින් ගන්න ප්‍රයෝජනයක් නැති නිසා. ඒ නිසා තමන් දඩයමට කිසිම දායකත්වයක් නොදී නිකම් ඉඳගෙන කොටසක් ගත්තත් ඒ ගත්ත ප්‍රමාණය පොඩි නිසා අනිත් අයට ලොකු පාඩුවක් වුනේ නෑ. ඒත් මේ වෙන කොට ඉන්න මිනිස්සු වෙන  හෝමෝ සැපියන්ස්ලා අනිත් එවුන්ගෙන් ගන්නේ කෝටි දස දහස් ගණනින්. මේකට හේතුව තමයි ඒ ගන්නා දේවල් වලින් කරන්න ඕන තරම් දේවල් තිබීමත් ගොඩ ගහලා තියන්න පුලුවන් වීමත්. ඒ නිසා පාලකයෝ විතරක් නෙවෙයි පුලුවන් කම තියන හැමෝම කිසිම සීමාවක් නැතුව සෑහීමට පත් වෙන්නේ නැතුව සල්ලි හොයන්න දවස පුරා වෙහෙසෙනවා. පාලකයෝ කිසිම වෙහෙසක් නොගෙන එක පෑන් පාරින් බිලියන ගණනින් ජනතා මුදල් සූරා ගන්නවා.

ඒත් අපේ රටේ 1977 ට කලින් මේ තත්වය මේ විදියටම තිබුනේ නෑ. ඒ කාලේත් නායකයෝ හිටියත් බිස්නස් කාරයෝ හිටියත් මේ වගේ සූරා කෑමක් තිබුනේ නෑ. මොකද ඒ කාලේ තිබුනේ සංවෘත ආර්ථික ක්‍රමයක්. ඒ නිසා සල්ලි තිබුනත් ඒවායින් කරන්න දෙයක් තිබුණේ නෑ. මට මතකයි අපි හුඟාක් පොඩි කාලේ තාත්තා අපට ඇපල්මිදි ගෙනත් දෙනවා කොලඹ ගිහින් ආවාම. ඒත් 1965 විතර වෙන කොට ඒවා දකින්නවත් තිබුනේ නෑ. ඔය චීස් වගේ දෙවල් දකින්නවත් තිබුනේ නෑ. මට හොඳට මතකයි ඊට පස්සේ මම චීස් කෑල්ලක් කෑවේ 1973න් පස්සේ මෙඩ්ඩෙක් කාලේ අපේ බැච්චියක් වෙච්චි සරෝජා ගේ ගෙදරට ගියපු වෙලාවේ. එයාගේ තාත්තා පිට රටක වැඩ කරපු  කෙනෙක් නිසා අපට චීස් කන්න දුන්නා. මට එදා හිතුනේ ඒ සරෝජා අපිට වඩා හුඟාක් උඩින් ඉන්න කෙනෙක් හැටියටයි. 1970 න් පස්සේ එන් එම් පෙරේරා මහත්තයා මුදල් ඇමති වුනාට පස්සේ මේ සංවෘත ආර්ථික ක්‍රමයට අමතරව වියදම් සීමා කලා. ආදායම සීමා කලේ නෑ. ඒත් වියදම සීමා කිරීම නිසා කවුරුවත් මුදල් පස්සේ දිවුවේ නෑ. මොකද සල්ලි තිබුනාට කරන්න දෙයක්වියදම් කරන්න විදියක් තිබුනේ නෑ. පහු වෙන කොට විවාහ උත්සවයක් ශාලාවක ගන්නවා නම් කෑම දෙනවා නම් ආරාධනා කරන්න පුලුවන් 50 කට විතරයි. ඩ්‍රින්ක් එකක් විතරක් දෙනවා නම් 100 කට පුලුවන් කියලා නීතියක් දැම්මා. ඒ නිසා සාමාන්‍ය  මිනිසුන්ට දරුවෙක් කසාද බන්දන එක අද වගේ කරුමයක් වෙලා තිබුනේ නෑවැඩි වියදමක් නැතිව මගුල ගත්තා. ඒත් අද මගුලක් කනවා කියන්නේ බොහෝ අයට කරුමයක් වෙලා තියෙන්නේ අනිත් අය කරන දේ කරන්න යන නිසා. මේ නිසා ණය වෙලා මගුල් කාලා ජීවිතේ වැඩි කාලයක් ඒක ගෙවනවා. මේ වෙන කොට අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ශ්‍රැංගිලා එකේ මගුල ගන්න එකයි. මීට අමතරව ෂූට්, ප්‍රී ෂූට් කරනව පාන්දර ඉඳන්ම. මම පහුගිය දවසක රන්මිණිතැන්න බලන්න ගිය වෙලේ දැක්කා ගාල්ලේ ඉඳන් කපල් එකක් ඇවිත් ප්‍රී ෂූට් කරනවා. ඉතින් පාන්දර ඉඳන් මේවා කරලා මගුල අරගෙන මහන්සි වෙලා ගිහින් රෑට ජෝඩුව නිදා ගන්නවා.  ඕනම කරන පෝස්ට් ෂූටින් කරන්න උන්ට බෑ මහන්සිය නිසා. ඒත් 1977 ට කලින් බැඳපු අය ඒ පෝස්ට් ෂූටිං හරි අපූරුවට කර ගත්තා ෆුල් ෆිට් එකේ.
1977 වෙනකම් ආණ්ඩුවේ දොස්තරලාට පුද්ගලික වෙදකමට අයිතියක් තිබුනේ නෑ. ඒත් ඒ කාලේත් වෛද්‍යවරු සමාජයේ ඉහල තලයක හිටියා. ඒ ගොල්ලා වැඩි දුර ඉගෙන ගන්න රට ගිහින් එන කොට ගෙනාපු කාර් එක විකුණලා ඒ සල්ලි වලින් ලොකු ගෙයක් හදා ගත්තා. ඒ වගේම අපේ ගුරුවරු වුනු අය අපට වාට්ටු වලදී  හොඳට ඉගැන්නුවා. සමහර දවස් වල අපට දවල් කෑම නෑ ප්‍රමාද වෙලා යන නිසා. ඒත් අද කාලේ එහෙම උගන්නන්න ඒ ගොල්ලාට වෙලාවක් නෑ. මහ රෑ වෙන කම් ප්‍රයිවට් කරලා ඇවිත් කොහොමද උගන්වනවා තියා වෙලාවට වැඩට එන්නේවත්. ඉස්සර ලෙඩ්ඩු අඩු වෙන කොට දොස්තරලා කැමතියි. ඒත් අද ලෙඩ්ඩු නැති උනාම දොස්තරලා හූල්ලනවා. මට නිතරම ඇහෙනවා කියනවා බලපං බං මේ දවස් වල වේලෙනවා. පඩි ගෙවා ගන්නත් අමාරුයි. කෝ වයිරල් උණක් වත් එන්නේ නෑනේ කියලා. මේ සල්ලි පස්සේ යන්නේ ජීවත් වෙන්න බැරි කමක් නිසා නෙවෙයි. ඒත් සල්ලි තියනවා නම් ඕන තරම් දේ තියනවා ගන්නකරන්න. මට බිස්නස් ක්ලාස් එකේ එංගලන්තෙට  යන්න සල්ලි තිබුනේ මේ ආර්ථික ක්‍රමය නිසා. වහල්ලු සමහර විට කියන්න පුලුවන් මේ ක්‍රමයට බැන බැන උඹත් සැප විඳිනවානේ කියලා. මට ඒකට කියන්න තියෙන්නේ බොලා හදලා දීලා තියන මේ ආර්ථික ක්‍රමයත් තියනවා නම්සල්ලිත් තියනවා නම් සැපට යන්න පුලුවන් කමත් තියනවා නම් එහෙම නොගිහින් ඉන්න මට පිස්සුවක් නෑ කියන එකයි. ඔය සමහර උන් ලාල් කාන්ත එයාගේ දරුවන් පිට රට උගන්වන්න යැවුවා කියලා බැනලා තිබුනේ. උන් හිතන්නේ ජේවීපී කාරයෝ නම් හිඟන්නෝ වගේ ඉන්න ඕන කියලා. ඒත් උන් හිතන්නේ නෑ උන් මේ  බලු බෙටි පක්ෂ වලට කඩේ යන නිසා උනුත් කෝටි පතියෝ වගේ ඉන්න ඕන කියලා. අමු වහල්ලු. අපා දුක් විඳ විඳ වහල් කම් කරනවා.

ඒ වගේ තමයි ලක්ෂ තිහට ගන්න හොඳ කාර් තියෙද්දී කෝටි දෙකේ තුනේ කාර් ගන්නේ. ඒ ගන්නේ සැපට යන්න නෙවෙයි. අනිකාට උඩින් වැජඹෙන්න. මම මේ මමත් අයිති වෙන වෛද්‍ය වෘත්තිය ගැන කිවුවාට අනිත් හැම ක්ෂේත්‍රයකම ඔහොම තමයි. නීති අංශයේ තමයි ගසා කෑම ඉහලින්ම තියෙන්නේ. නඩුවක් කියලා දිනුවා කියලා හිතුවත් දිනපු එකත් පැරදුනු එකත් අන්තිමට පරාදයි. දිනලා තියෙන්නේ දෙපැත්තේ පෙරකදෝරුවෝ විතරයි. ඉස්සර පෙරකදෝරුවන්ගේ තිබුනා යම් ශීලාචාර කමක් දිනන්න බැරි නඩු බාර ගන්න කලින් ඒ බව කියන එක. ඒ වගේම දොස්තරලා හොඳ කරන්න බැරි ලෙඩ ගැන කියන එක. ඒත් අද පෙරකදෝරුවෝ ඕනම නඩුවක් දිනන්න පුලුවන් කියලා බාර ගන්නවා. පුද්ගලික අංශයේ දොස්තරලා හෙට මැරෙන්න ඉන්න එකාටත් අද ඔපරේෂන් කරලා මිලියන ගානක් ගන්නවා . ඒ වගේම තමයි ටියුෂන් කාරයෝ. ඉස්කෝලේ 40 කට උගන්නන්න බැරි එකා කඩේදී 4000 කට උගන්වනවා. ඒ ගැන කියන්න ගියොත් මේක අද ඉවර කරන්න වෙන්නේ නෑ. වස විස විකුණලාහොර හරක් බිස්නස්ගස් කැපිලිහෙරොයින්මත් පැන්ගස් කැපිලිකුලියට  මිණීමැරුම්කෝච්චි වල මාල කඩා ගැනීම් වගේ ඒවා කරන්නේ අපිට වගේ සල්ලි හම්බ කර ගන්න බැරි එවුන්. ඒවා කරන්නෙත් ජීවත් වෙන්න බැරි කමකට නෙවෙයි. ඉහලින් වැජබෙන්න. වාහන මන්දිර ගන්න. ඊලඟට දේශපාලනයට ඇවිත් බිලියන පතියන් වෙන්නදැන් ඉන්න දේශපාලුවෝ බාගයක් විතරම පහුගිය අවුරුදු 40 ක කාලය ඇතුලත ඔය විදියට හම්බ කර ගත්ත උන්. ඒත් සාමාන්‍ය ජනතාව අමාරුවෙන්  හම්බ කරන්නේ ජීවත් වෙන්නදරුවන්ට උගන්න ගන්න වගේ දේවල් වලට. එහෙම කරලාත් උන්ට අවශ්‍ය ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. ඒත් උන්ම තමයි මේ විෂම ආර්ථික ක්‍රමය පවත්වාගෙන යන්න වහල් කම් කරන්නේ.
ඒ නිසා අද වුනත් මේ අනවශ්‍ය වියදම් සීමා කරලාඉතා මිල අධික කාර් වල වාර්ෂික බල පත්‍ර ගාස්තුව ලක්ෂ දෙක තුනක් කරලා ඒවායින් පොදු ප්‍රවාහනය දියුණු කරන්න පුලුවන්. අවුරුද්දකට ඉන්ෂුවරන්ස් එකට ලක්ෂ දෙක තුනක් ගෙවන එකේ ලයිසන් එකට ඒ ගාන ගෙවන්න අමාරු වෙන්න බෑ. ඒ වගේ තමයි අනිත් ඒවාටත්. ඔය වගේ මේ රට හදන්න මේ හූරා කන විනාශකාරී ආර්ථිකය වෙනස් කරන්න ඕන තරම් ක්‍රම තියනවා. ඒවා කරන්න ගියාම මුලින්ම විරෝධතා එයි. ඒවා ගනං නොගෙන ඉන්න පුලුවන් කමක් ආණ්ඩුවකට තියෙන්න ඕන. ඒත් මේ බලු බෙටි පක්ෂ දෙකෙන් එකකට වත් එහෙම කරන්න උවමනාවක් නෑ. ඒ වගේම එහෙම කරන්න උවමනාවක් තියන හැකියාවක් තියන පක්ෂයක් බලයට ගේන්න වහලුන්ට ඕන කමකුත් නෑ.

ඒක රටේ අවාසනාව උනාට අපේ වාසනාව බං වාසනාව. නැද්ද මං කියන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී