On the day of Sri Devi's demise - 27.02.2018

ශ්‍රී දේවි කියන්නේ අපේ පරම්පරාවට අයිති බොලිවූඩ් නිලියක්. කවදාවත් අඩ නිරුවත් රංගනයේ යෙදිලා නෑ. ඇය පමණක් නෙවෙයි ඊට පෙර සිටි නිලියනුත් එහෙමයි. මට මතකයි මම මුලින්ම බලපු හින්දි ෆිල්ම් එක. 1969 දී ආයි මිලන් කී බේලා. ගෙදරට හවස ක්ලාස් තියෙනවා කියලා සත 55 ක් දීලා ගැලරියට වෙලා මම මේක බැලුවේ ගාල්ලේ ක්වීන්ස් හෝල් එකේ. ඒකේ හිටියේ සයිරා බානු කියලා හරිම ලස්සන නිලියකුයි රාජේන්ද්‍ර කුමාර් කියන නලුවායි. පිචර් එකයි සිංදුයි කොච්චර අල්ලලා ගියාද කියනවා නම් පිට පිටම දවස් පහක් බැලුවා. මට මතකයි අම්මා කියනවා මේ ලමයින්ට දැන් හැමදාම හවසට පංති කියලා. මේ ෆිල්ම් එකෙත් කොහේවත් අඩ නිරුවත් සීන් තිබුනේ නෑ. නලුවයි නිලියයි දෙන්නාම හොඳට ඇඟ වැහෙන්න ඇඳගෙන තමයි රඟ පෑවේ. ඒ උනාට මේ චිත්‍රපටි හොඳට දිවුවා. මට මතකයි මේක මරදානේ ක්‍රවුන් හෝල් එකේ එක දිගටම අවුරුදු දෙකක් දිවුවා.

ඊට පස්සේ ආපු ඒවාත් ඒ වගේමයි. අභිමාන් කියන ෆිල්ම් එක කොලඹ එම්පයර් හෝල් එකේ 1975 ඉඳන් 1977 වෙනකං අවුරුදු හයක් දිවුවා.මේක තමය් අමිතාබ් ඹච්චන්ගේ මුල්ම ෆිල්ම් එක. ඒ වගේම ඒකේ කෙල්ලට හිටියේ එයාගේම වයිෆ් ජයා බහදුරී.
හින්දි සිනමාවට අඩ නිරුවත් සීන් එන්න ගත්තේ 1980 ගනන් වල. ඒකට මූලික උනේ ඒ කාලේ හින්දි සිනමාවේ රජු ලෙස හැඳින්වූ රාජ් කපූර් කියන අධ්‍යක්ෂ වරයා. මෑන් එහෙම කලේ හින්දි ෆිල්ම්ස් බටහිර රටවලට ආකර්ශනය කරන්නයි. මිනිහාගේ බොබී කියන ෆිල්ම් එකේ තමයි මුලින්ම ඩිම්පල් කපාඩියා කියලා නිලියක් අඩ නිරුවතින් රඟ පෑවේ. ඒ කාලේ අපි එයාට කිවුවේ ඩිම්පල් කුපාඩියා කියලයි. මේකේ කොල්ලාට හිටියේ රාජ් කපූර්ගේම පුතා රිශි කපූර්. ඊට පස්සේ ආපු රාජ් කපූර්ගේම සත්‍යම් ශිවම් සුන්දරම් කියන ෆිල්ම් එකේ සීනත් අමාන් කියන නිලිය ඒ වගේම අඩ නිරුවතින් රඟ පෑවා. ඒකේ කොල්ලාට හිටියේ රාජ් කපූර්ගෙ මල්ලී ශශි කපූර්. ඒ කාලේ හිටපු නලුවන් මේ වගේ ෆිල්ම් වල රඟ පාන්න අකමැති උන නිසා තමයි රාජ්ට එහෙම කරන්න උනේ.

මේ විදියට රාජ් කපූර් විසින් අඳුන්නලා දුන්නු මේ අඩ නිරුවත් ක්‍රමය පස්සේ ටික ටික අනිත් චිත්‍රපට වලටත් ඇවිල්ලා අද වෙනකොට ඒවා නැතුවම බැරි තැනට ඇවිල්ලා. මේවායේ තියන අඩ නිරුවත් සීන් දැකලා ආශාවන් ඇතිවෙච්ච ඉන්දියන් කාරයෝ ඒවා සන්සිඳුවා ගන්න ගණිකාවන් ලඟට ගිහින් ඒඩ්ස් වැනි සමාජ රෝග බෝ කර ගත්තා. මේ වගේ සීන් තියෙන්නේ ඉන්දියාවේ ෆිල්ම්ස් වල විතරයි. සැබෑ ඉන්දියාවේ කොහේවත් ඒ වගේ ඒවා දකින්න නැහැ. විසි පස් වතාවකට වැඩිය ඉන්දියාවට ගිහින් තියෙන මම මේ වගේ ඉන්න කෙල්ලෝ එහේ දැකලා නැහැ.

ඉතිං ඒ කාලේ හින්දි ෆිල්ම්ස් වල හිටපු කෙල්ලෝ දැකලා අපිට ඇති වුනේ ආදරයක්. ඒත් දැන් ඉන්න ඒවා දැක්කාම ඇති වන්නේ ආශාවක්. මට මතකයි මම අර ආයි මිලන් කී බේලා බලද්දී මම ලඟ හිටපු යාලුවෙකුට කිවුවා මචං අපි ලොකු වෙලා රස්සාවක් කරන කොට ඉන්දියාවට ගිහිල්ලා සයිරා බානු වගේ ලස්සන කෙල්ලක් බැඳ ගෙන එමු කියලා. ඌත් කිවුවා හා කියලා. මම හිතන්නේ දැන් ඉන්න කොල්ලෝ කියනවා ඇති අපි ඉන්දියාවට ගිහිල්ලා අර වගේ කෙල්ලෙක් ..................... එමු කියලා. යුග දෙකක වෙනස.

මේ ලඟදී මම ආයි මිලන් කි බේලා ඩීවීඩී එක ගෙනැල්ලා බලන කොට ඉබේම මම මගේ පාසල් කාලයට ගියා. මම ලඟ හිටපු මගේ වයිෆ්ට කිවුවා " අනේ ඒ කාලේ මම හිතා ගෙන හිටියේ සයිරා බානු වගේ ලස්සන කෙල්ලක්ව බඳින්න. මොනවා කරන්නද අපි හිතන දේවල් එහෙමම සිද්ද වන්නේ නැහැ" කියලා. එතකොට එයා කිවුවා "ඔයා කියන එක හරියට හරි. අපි හිතන දේවල් එහෙමම සිද්ද වෙන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ මගේ හිතෙත් තිබුනේ අමිතාබ් බච්චන් වගේ ලස්සන කොල්ලෙක්ව බඳින්න කියලා".

ඊට පස්සේ මම මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී