Batadhallaa - 17.04.2018

මම මගේ බයිලාව ලියන්න කියලා ඉන්න කොට අපේ යාලු රෝහණ දයාරත්න ශෙයා කරපු නියම ක්ලිප් එකක් ලැබුනා. රූපවාහිණියේ තිබිච්චි එකක් නිසා ඉග්නෝ කරලා දාන්න හිතුනත් රෝහණ එවන්න ඇත්තේ නිකන්ම නෙවෙයි කියලා හිතලා අහලා බැලුවා. මචං කියලා වැඩක් නෑ බං ඒක. ඉතිං තනියම ඒකේ ආතල් ගන්නවා වෙනුවට බොලාටත් මම ඒක අද උදේ හිස් බඩම ශෙයා කරලා අහන්න කියලා එවුවා. මොකද අපේ තාත්තා ඉස්සර අපි පුංචි කාලේ නිතරම කියපු එකක් තමයි හැම දේම බෙදා ගෙන කන්න පුරුදු වෙන්න. එතකොට තමයි රහ වැඩි වෙන්නේ කියලා. අර වෙරලු ගෙඩිය කෑලි හතකට කඩලා මැරිච්චි අම්මා තාත්තාගේ කෑලි දෙක ගඟට වීසි කරපු කතාව ඒ කාලේ තාත්තා කියලා දෙන කොට නම් මට පොඩි කාලේම ඒකේ අප්සෙට් ගතියක් දැනුනා. අර බුද්ධ පූජාව විසි කරන කොටත් මට දැනෙන්නේ ඒ වගේම එකක්. ඉස්සර මෙඩිකල් කොලේජ් එකේ අවුරුදු පතා තියන පිරිත් සහ දානය දවසට මම කිට්ටුව පාතක ඉන්නවා දැක්කොත් අපේ පොරවල් කියනවාලු ඔන්න එදිරියා ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් බුද්ධ පූජාවට ඇහැ ගහ ගෙන හිටපල්ලා කියලා. හැබැයි මට ඇහෙන්න නම් කවුරුත් එහෙම කියලා නෑ. මොකද මම හැමෝම එක්ක බොක්කෙන් හිටියා නේ. සමහර වෙලාවට මාව අනිත් එවුන් එක්ක අප්සෙට් කරවන්න කිවුවාද කියලා කවුද දන්නේ. බලපන්කෝ අදත් පිට ගියානේ

මේ පල්ලෙහා තියන සිංදුවෙන් කියවෙන්නේ පහුගිය අවුරුදු 70 කාලය තුලදී අපේ රටට වෙච්ච දේයි. මේ සිංදුවේ යොදලා තියනවා ගමේ ඉපදිලා පොඩි කාලේ කුඹුරු යායවල් වල දුවලා පැනලා සෙල්ලම් කරපු අය විතරක් දැකලා තියන අහලා තියන දේවල් වගයක්. එකක් තමයි බටදැල්ල. කුඹුරේ වටේට තියන වතුර ඇල කුඹුරෙන් වෙන් කරන මහ නියරෙ සරුවට හැදෙන තණකොල වලට තමයි බටදැල්ල කියන්නේ. ඒවායේ හැදෙන කොල හරිම පළල්. මිනිස්සු මේ බටදැල්ල කපා ගෙන ගිහිං කරත්තේ බඳින හරකුන්ට දෙනවා. ඒ වගේම කරත්තයේ යටින් ලොකු ගෝනියක දාලා එල්ලගෙන යනවා මගදී කන්න දෙන්න. අපි වාහනයක යන කොට පැට්‍රල් ගහනවා වගේ. මට මතකයි පොඩි කාලේ බටදැල්ලේ ලොකු කොල ගලවන්න අතින් ඇදලා ඒකේ තියන දාරයට ඇඟිලි කැපෙනවා. එහෙම කැපිලා ගෙදර ගියාම තාත්තා අපිට ගහන්න හදන කොට ආත්තම්මා කියනවා ඔහෙ කපාගන්න ඇරපං එතකොට තමයි උන් ඉගෙන ගන්නේ කියලා. ඒ කාලේ ආත්තම්මලා එහෙම තමයි. මල්ලී දන ගාන ගමන් බිම වැටිලා තියන ඒවා ඇහිඳ ගෙන කන එක නවත්තන්න අම්මා ෆුල් ට්‍රයි එක දෙන කොට ආත්තම්මා කිවුවේ ඔය තැනින් තැන කොච්චි කරල් දෙක තුනක් දාලා තියපං. එතකොට එක පාරයි ආයිත් බිම තියන ඒවා කන්නේ නෑ කියලා. බලපං කොච්චර ප්‍රායෝගික ක්‍රමද කියලා ඒවා. මේකට තමයි පන්නරය ලැබෙනවා කියන්නේ.

තව වචනයක් තමයි ඉරවල්ල. ඒ කියන්නේ කුඹුරේ තියන හොඳටම වැඩුනු ගොයම් තියෙන හරිය. හොඳට කරල් හැදෙන මේ හරියෙන් වී කරල් එක්ක ගොයම් ටිකක් ඒකාලේ මිනිස්සු කපන්නේ නැතුව තිබ්බා කුරුල්ලන්ට කන්න. ඒ කාලේ මිනිස්සු තමන් එක්ක නිතරම කුඹුරේ හිටපු කුරුල්ලන් ගැනත් සොයලා බැලුවා. ඒත් අද ඒ හොඳ සිරිත් නැතිවෙලා ගිහිල්ලා දැන් ඉන්න උන් තමන්ගේ කුරුල්ලා ගැන විතරයි හොයලා බලන්නේ. ඊලඟට "වරමන්ද" කියන්නේ එක කොනක ලොකු තොන්ඩුවක් හදාපු දිග ලණුවක්. මේ තොන්ඩුව අදින කොට හිර වෙන්නයි හදලා තියෙන්නේ. ගොන්නු පැනලා යන කොට උන් ලඟට කිට්ටු නොවී ඈත ඉඳන් විසි කරලා මන්ද උගේ බෙල්ලට සෙට් උනාම අදිනවා. එතකොට ඌ ෆුල් සරෙන්ඩර්. ඕක මෑතක් වෙනකම් අපේ ජලභීතිකා මර්ධනේ කට්ටිය දඩාවතේ යන බල්ලන් අල්ලන්න පාවිච්චි කලා. අනේ බං වාහනේ යන ගමන් පාරේ යන බල්ලන්ට දැම්මාම උන් ඇදිලා එනවා අර වාහනය ඇතුලට. බල්ලො අල්ලන උන්ට මාර පුරුද්දක් තිබුනා ඒකට. ඊට පස්සේ අරූව පන පිටින්ම දානවා ගෑස් චේම්බර් එකට. අර ඒ කාලේ ජර්මනියේ හිට්ලර් යුදෙවුවන් දැම්මා වගේ. මම හිතන්නේ කාට කාටත් ලඟදීම ඒක මෙහෙදිම බලා ගන්න ලැබෙයි වගේ මේ යන විදියට ගියොත්.

ඊලඟට "කෙවිට" කියන්නේ හරකුන්ව තමන්ට ඕන තැනකට දක්කන කෝටුවට. මම හිතන්නේ මේක ගැන නම් කවුරුත් දන්නවා. අර කතාවට කියන්නේ හරක් ටික ගාල් කර ගත්තාට පස්සේ කෙවිට මොකටද කියලා. අපේ රට ගොවි කර්මාන්තය තියන රටක් නිසා වෙන්න ඇති අපේ හරකුත් අවුරුදු පහකට සැරයක් අර කෙවිටට රැවටිලා එක එකා ලඟට ගාල් වෙන්නේ. අපේ ලොකු ගොවි රාලලත් දන්නවා කලින් කලට කෙවිට පොඩ්ඩක් වෙනස් කරන්න. එතකොට හරක් ටික උන් දක්කන තැනට නිකන්ම ගාල් වෙනවා. ගාල් උනාට පස්සේ කෙවිට අරන් තියනවා ඊලඟ පාර ගන්න කම්. දැන් මේ වෙන කොට ගොවි රාලලා කෙවිට ආයිමත් එලියට අරගෙන ලෑස්ති වෙනවා දක්කන්න. හැබැයි මේ පාර සමහර ගොන්නු උන්ම කෙවිටක් හොයා ගෙන තියෙන බව පේනවා උන්ටම තලවා ගන්න. හැබැයි උන් දන්නේ නෑ ඒ කෙවිට මේ පාර උන්ව මස් කරන විත්තිය. ගොන් හරක්.

මේ සිංදුවෙන් කියන්නේ "සුද්දා තොලොංචි වී ගියදා ඉඳන් අපේ කතාව". සිංදුවට දාලා තියන නම තමයි "කිරිපල්ල". මේක මම මීට කලින් අහලා තිබුනත් අද තමයි සම්පූර්ණයෙන්ම තේරුණේ, සිහිනයකි මා කියන රූපවාහිනී වැඩ සටහනට සහභාගී වුනු ධර්මසේන යකන්දාවල කියන හිටපු දිසා විනිසුරු වරයෙකු කල හරිම හොඳ අර්ථවත් විග්‍රහයකින් පස්සේ. මම මෙතැන් පටන් කියන්නේ එතුමා කියපු දේවල් මිසක් මගේ ඒවා නෙවෙයි. ඒ වගේම සුජීව හෙට්ටිතන්ත්‍රී කියන මේකේ ගේය පද රචනය කරපු ඒ වටිනා නව පරපුරේ රචකයාට නිසි ගෞරවය දෙමින්. ප්‍රේම කීර්ති ද අල්විස් වගේ අයගෙන් හිස් වෙච්ච හිස් වෙච්ච නෙවෙයි හිස් කරවපු තැන පුරවන්න ඇවිත් ඉන්න.


බටදැල්ල කාලා ඉරවල්ලෙ හිටියා උඩ ඇන්දෙ දත් නැති මී ගොනා
සීයේ - පිට බෙල්ල කහනා. පිට බෙල්ල කහනා කණකොක්කු නඩයට කිණිතුල්ලො මී පැණි උනා
දරුමල්ලො රකිනා කිරිවැදුනු ගොයමට මයෙ අම්මපල්ලා විණ කලා//.
ලොකු අම්ම කිවුවා මයෙ රත්ති කෙල්ලට කිරිපල්ල පෙන්නලා මේ යකා.
බටදැල්ල කාලා......
වරමන්ද ගහලා රන් ගෙජ්ජි දාලා බර බාගෙ බැන්දේ සීයලා.//
කෙවිටෙන් තලාලා දැන් එලවපල්ල නෑ ගමන යන්නේ මේ ගොනා.
බටදැල්ල කාලා ........

ජන වහරේ මී ගොනා කියලා එකෙක් නෑ. ඉන්නේ මී හරකයි එල ගොනයි. මෙතන උඩු තල්ලේ දත් නැති මී ගොනා කියන්නේ මේ දෙකටම නැති එකෙක්. ඒ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති වාසි පැත්තට හැරෙන පාලකයෝ. කිණිතුල්ලෝ කියලා හැඳින්වෙන්නේ මේ පාලකයෝ පිටි පස්සේ යන කිසිම විචාර බුද්ධියක් නැති වටේ ඉන්න ඈයෝ. නැත්තම් වහල්ලු.මුන් කරන්නේ ගොනාගේ ඇඟෙන් ලේ ටිකක් බීලා ඉන්න එකයි.මේ කිණිතුල්ලෝ ගොනාගේ බෙල්ලෙන් අයින් කරන්නේ කුඹුරේ ඉන්න කොක්කු විසින්.කොක්කු කියන්නේ රාජ්‍ය නිලධාරීන්. ඒත් මෙතන කියන්නේ කණ කොක්කු කියලයි. ඒ අනුව මුල් පද දෙකෙන් කියන්නේ රටේ මිනිසුන්ට තියන හොඳම දේ කාලා ඊට පස්සේ ජාතික ආදායමෙන් විශාල පංගුවක් තමන් විසින් බලයෙන් ගන්න පාලකයෝ ගැනයි. ඒ වගේම මෙම පාලකයන් පස්සේ අවිචාරයෙන් යන වහල් පිරිස් පාලකයා වටේ ඉඳගෙන මෑන්ගෙන් යමක් ලබා ගෙන ඉන්න එකයි. උන් කරන වැඩ වලින් උන්ව අයින් කරන්න ඉන්න රාජ්‍ය නිලධාරීන් ඒ වැඩය නොකර උන්ගෙන්ම යැපෙන නිසා උන්ව මිනිස්සුන්ට පේන්නේ දැක්කත් මහ අවාසනාවක් වෙන කණ කොක්කු වගෙයි. මේ නිලධාරීන් පාලකයා වෙනුවෙන් ඕනම දෙයක් කරලා ඒ වෙනුවෙන් හිරේට උනත් යන්න සූදානම් පිරිසක්. දරුමල්ලො රකිනා .......... කියන පදයෙන් කියන්නේ මේ පාලකයෝ රටේ තරුණ පරපුරේ අනාගතය විනාශ කරලා උන්ව විනාශකාරී දේ වලට, කුඩු, මත් පැන් වලට යොමු කරවලා රටටම වින කරා කියන එකයි. ඊ ලඟට වරමන්ද ගහලා මේ ගොනුන්ව බලෙන් වගේ මේ රටේ පාලනය නමැති කරත්තයේ බැඳලා නොයෙක් ගරු සරු කම් දීලා ගත්තේ සීයලා නැත්නම් ඒ කාලේ හිටපු අය කියලා බවයි ඊලඟ පදයෙන් කියවෙන්නේ. ඒ කියන්නේ සුද්දා යන කොට මෙහේ හිටපු කලු සුද්දන්ට බල තල දුන්නා කියන එකයි. අවසාන පදයෙන් කියන්නේ මුන් මේ ගමන යන්නේ නෑ ඒ නිසා කෙවිටෙන් තලලා මේ ගොනා නැත්නම් පාලක රැල එලවා දමා පල්ලා කියලායි. දැන් මුන්ව එලවන්න ඕන නම් හොඳ කෙවිටක් මේ රටේ මිනිස්සුන්ට 2020 දී ලැබනවා.

ඒත් මේ යන විදියට මට නම් හිතෙන්නේ මේ පාරත් ගොනාගේ අතටම කෙවිට දීලා ඌ කියන තැනකට මුන් ගාල් වෙයි කියලයි. මම කලින් අහපු නැති අයට සිංදුව අහන්නයි විචාරය අහන්නයි ලින්ක් දෙකක් ශෙයාර් කරනවා.

Comments

  1. කියපු දේවල් හරි යාගෙන එන බවයි පේන්නෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී