Reproductive health - 01.03.2018

මට මතකයි අපි හුඟාක් පුංචි කාලේ අම්මලා අනේ පුතේ ගේ ඇතුලේ තෙමන්නේ නැතුව මිදුලට ගිහින් තෙමලා එන්න කියලා කියනවා. ඒ වගේම ආත්තම්මා කියනවා රෑට තෙමලා නිදා ගන්න නැත්නම් ඇඳේ තෙමෙයි කියලා. ඉතින් මම තෙමන තැනට කිවුවේ තෙමන එකා කියලා. මගේ නංගී මට වඩා බාල අවුරුදු එක හමාරයි. ඉතිං ඒ කාලේ මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි නංගීට තෙමන එකෙක් නැති එක. මේ ගැන පුංචි අම්මාගෙන් ඇහුවාම එයා කිවුවා හැමෝටම තෙමන එවුන් නැහැ කියලා. ඒ පාර ගෙදරට එන හැමෝගෙන්ම මම අහන්න ගත්තාලු ඔහේට තෙමන එකෙක් ඉන්නවාද කියලා. පස්සේ මේක බේර ගන්න බැරි තැන තාත්තා මට වේවැලෙන් ගහලා තමයි ඒක නවත්තලා තියෙන්නේ.
මට අවුරුදු හයක් විතර වෙන කොට අම්මා දවස් තුනක් ඉස්පිරිතාලේ නැවතිලා ඉඳලා එනකොට මල්ලි කෙනෙක් ගෙනාවා. එතකොට ආත්තම්මා කිවුවා ඔන්න පුතාට දැන් සෙල්ලම් කරන්න මල්ලී කෙනෙක් ඉන්නවා කියලා. ඒත් එවෙලේ ඉඳලා මට ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නය තමයි අම්මා කොහෙන්ද මේ මල්ලී කෙනෙක් ගෙනාවේ කියලා. අත්තම්මාගෙන් ඇහුවාම උඹට ඒ පැහිච්චි කම් වලින් වැඩක් නෑ. ගිහින් මල්ලිව බලා ගනින් කිවුවා. නැන්දම්මාගෙන් ඇහුවාම කිවුවා පුතා වගේ හොඳ අයට දෙවියෝ මල්ලිලා දෙනවා කියලා සෙල්ලම් කරන්න. ඒ පාර මම ඇහුවා ඉතිං ඇයි දෙවියෝ ගෙදරට ගෙනත් දුන්නේ නැත්තේ කියලා. එතකොට නැන්දම්මා මම දන්න කෙහෙල්මලක් නැහැ කියලා යන්න ගියා. පස්සේ පුංචි අම්මාගෙන් ඇහුවාම එයා කිව්වා ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඉල්ලුවාම දොස්තර මහත්තයා බබාලා දෙනවා කියලා. එහෙම දෙන්න දොස්තර මහත්තයාට බබාලා කොහෙන්ද කියලා ඇහුවාට ඒකට උත්තරයක් ලැබුනේ නෑ. කොහොම හරි වෛද්‍යවරයෙක් උනාට පස්සේ මම දැන ගත්තා අපේ සමහර දොස්තර මහත්තුරු ඉන්න බව ඉස්පිරිතාලේට එන ගෑනුන්ට බබාලා දෙන්න හදන.
ඊලඟට මට අවුරුදු දොලහක් විතර වෙන කොට දවසක් අම්මා නංගීව කාමරයකට දාලා වහලා මට කිව්වා ඒ කාමරයට යන්න එපා කියලා. මම ඇහුවාම ඇයි නංගී කාමරයේ දාලා ඉන්නේ කියලා අම්මා කිව්වා එයා ලොකු ලමයෙක් වෙලා කියලා. ඒ උනාට කාමරයට දාද්දී මට නංගීගේ එහෙම ලොකුවක් පෙනුනේ නෑ. පස්සේ මම හොරාම කාමරයට ගිහිල්ලා බැලුවාම නංගී ඒ ගානටම ඉන්නවා. මම ගිහින් අම්මාට කිව්වා නංගී ලොකු වෙලා නෑ හිටපු ගානමයි කියලා. ඒ පාර අම්මා මම කිව්වා නේද ඒ කාමරයට යන්න එපා කියලා වේ වැල අරගෙන මට ගහලා කිව්වා ආයෙ එහෙම කාමරය පැත්තේ යනවා නෙවෙයි කියලා.
මට මේක ලොකු ප්‍රශ්නයක් උනා. ඇහුවාට කවුරුත් කියන්නේ නෑ. එලවා ගන්නවා. පස්සේ මම ඉස්කෝලේ ගිහින් යාලුවන්ට මේක කිව්වාට උන් දන්නෙත් නෑ. ඉස්කෝලේ ටක්ශොප් එකේ ඉන්න අන්කල් කෙනෙක් ගෙන් ඇහුවාම මිනිහා විස්තරේ කියලා දුන්නා. හැබැයි ඒ කියපුවාත් සේරම ඇත්ත නෙවෙයි කියලා මට තේරුනේ වෛද්‍ය විද්‍යලයේදී. ලමයි හම්බ වෙන්නේ කොහොමද කියලාත් පස්සේ දවසක මිනිහා අපට කියලා දුන්නා. එදා නම් ගෙදර ගිහිල්ලා මට අම්මාගෙයි තාත්තාගෙයි මූන බලන්නත් ලැජ්ජා හිතුනා මොනවාද මේ කරලා තියෙන වැඩ කියලා.
මට මේ ටික ලියන කොට මතක් උනා මඩොල් දූව ෆිල්ම් එකේ කෑල්ලක්. ගුරුවරයෙක් තමන්ගේ දරුවන්ට පන් සිල් වල තේරුම කියලා දෙනවා. තුන්වෙනි ශික්ෂාපදය තේරුම් කරන කොට කොල්ලා අහනවා තාත්තේ මොකක්ද කාමයේ වරදවා හැසිරෙනවා කියන්නේ කියලා. තාත්තා උත්තරයක් හොය හොයා තටමන කොට එතන හිටපු අම්මා හෙමිහිට ගේ ඇතුලට ගියා. පස්සේ තාත්තා කිවුවා ඒක ලොකු පවක් කියලා. ඒක ලොකු පවක් කියන්නේ තාත්තෙ කියලා ආයෙත් කොල්ලා ඇහුවාම ඒක ලොකු පවක් කියන්නෙ ඒක ලොකු පවක් කියලා තාත්තා පාඩමත් නවත්තලා යන්න ගියා. පස්සේ කොල්ල ගිහිල්ල ඊට ටිකක් ලොකු කොල්ලෙකුගෙන් ඇහුවාම ඌ කිවුවා මං හිතන්නේ ඒක කුණුහරුපයක් කියලා. ඉතිං බෞද්ධයින්ට තුන්වෙනි ශික්ෂා පදයේ තේරුම හාමුදුරුවෝ වත්, ගුරුවරු වත්, දෙමව්පියන් වත් කියලා දෙනේ නෑ. පොඩි එවුනුත් ඔහේ කියන්නන් වාලේ පන්සිල් ගායනා කරනවා තේරුම නොදැන.

අපට ඒ කාලේ තිබුණු මේ ප්‍රශ්නම ඒ තරමටම නැතත් අද ඉන්න ලමයින්ටත් තියෙනවා. දෙමව්පියන් කියලා දෙන්නෙත් නැහැ, ගුරුවරුන්ගෙන් අහන්නත් බැහැ. ඒ කාලේ මම අර ගැටලු ගුරුවරුන්ගෙන් ඇහුවානම් සමහර විට මාව ඉස්කෝලෙනුත් අස් කරන්න ඉඩ තිබුනා. ඒ නිසා ඒවා අහගන්න වෙලා තියෙන්නේ ඒවා ගැන හරියට නොදන්නා අයගෙනුයි. මේකට හේතුව තවමත් අපේ රටේ ලිංගික සෞඛ්‍යය පිලිබඳව ජීව විද්‍යාත්මක කරුණු මත පදනම්ව ලමයින්ට උගන්වන වැඩ පිලිවෙලක් නැති කම.

මේ හේතුව නිසා මීට අවුරුදු 15 කට විතර ඉස්සර පවුල් සෞඛ්‍ය කාර්යාංශය පාසැල් සිසුන් ඉලක්ක කර ගෙන "උදා වූ යවුවනය " කියලා පොතක් ගැහුවා. ඒකේ මුල ඉඳන්ම ගැහැණු පිරිමි ශරීර වල ඇති මූලික වෙනස් කම් ඊලඟට හෝමෝන ක්‍රියාත්මක වීම නිසා ද්විතීයකව ඇති වන ශරීරයේ හැඩය වෙනස් වීම් ආදිය, සංසර්ගය, ගැබ් ගන්නා ආකාරය හා දරුවන් ලැබෙන හැටි ආදිය ඉතාම විද්‍යානුකූලව විස්තර කර තිබුනා. මට මතකයි අපි ඔය පොත බෙදන්න ගිහිල්ලා ඉස්කෝල ප්‍රින්සිපල්ලගෙන් ගුටි නොකා බේරුනේ හරි අමාරුවෙන්. ඒ ගොල්ලන්ට දිරව ගන්න බැරි උනේ අර සංසර්ගය තියෙන කෑල්ල. ඒ උනාට පොතේ ඒක දාලා තිබුනේ බොහොම ශිෂ්ට සම්පන්න විදියට. එහෙම නැතුව ලමයින්ට ආතල් ගන්න නෙවෙයි. පිනාලා විරුද්ධ උනාට ඒ කාලෙත් කොල්ලෝ නිල් චිත්‍රපටි බැලුවා. ඒවායේ තියෙන්නේ අස්වාභාවික ක්‍රියා. ඉතිං ලමයි හිතන්නේ ඒක තමයි හරි විදිහ කියලා. මේ පොත බෙදන්න පිනාලා ඉඩ දුන්නා නම් ලමයින් අතරේ ඒක ඉතාම ජනප්‍රිය වෙනවා. මොකද උන් මේ පිලිබඳව දැනුම් පිපාසයකින් ඉන්නේ.

ඊට අවුරුදු අටකට විතර පස්සේ අපි ඒඩ්ස් වලක්වා ගැනීම යටතේ ගෝලීය අරමුදලෙන් මුදල් ලබා ගත්තා දිවයිනේ පාසල් වල ලිංගික සෞඛ්‍යය හා ලිංගාශ්‍රිතව සම්ප්‍රේශනය වන රෝග වැලැක්වීම කියන මාතෘකාව යටතේ පාසල් දරුවන් දැනුම් වත් කරන්න. එහෙම කරලා වසර අන්තිමට අපි ප්‍රශ්න පත්‍රයක් දීලා හොඳම පාසල් වලට පරිඝනක ලබා දෙන්න.ඒක පටන් ගත්තේ කලින් දේශපාලකයින්, ආගමික නායකයින් ආදීන් දැනුම්වත් කරලා ඔවුන්ගෙන් එන්න පුලුවන් විරෝධතා නවත්තලා. නමුත් කොලඹ අමාත්‍යාංශ නිලධාරීන් මේකට කිසිම උදව්වක් දුන්නේ නැති නිසා මම කලින් වැඩ කරපු සබරගමුව පලාතේ මහ ඇමති මහිපාල හේරත් මහත්තයා හමු උනාම එතුමා බොහොම කැමති වෙලා ඒ වෙලාවෙම පලාත් නිලධාරීන් කැඳවලා නියෝග දුන්නා මේක ට සම්පූර්න සහ්යෝගය දෙන්න කියලා. ඒ අනුව අපි සබර ගමුවේ සියලුම පාසල් වල ගුරුවරුන් පුහුණු කරලා ඔවුන් හරහා බොහොම සාර්ථකව වැඩ සටහන ක්‍රියාත්මක කලා. එක පිනෙක් විරුද්ධ උනේ නෑ මොකද උන් සේරම මහීපාලට ගූ බයයි. මට එවෙලේ තේරුනා තගෙක් දේශපාලකයෙක් වෙන එකේ හොඳකුත් තියෙනවා කියලා. මේ වැඩසටහනට ළමයින්ගේ පුදුම උනන්දුවක් තිබුනා. ඒ වගේම සමාන්‍ය හා උසස් පෙල ඒඩ්ස් පිළිබඳ ප්‍රශ්න වලට සබරගමුව පලාතේ ළමයි හොඳට උත්තර දීල තිබුනා කියලා අපට දැන ගන්නට ලැබුනා.

මේ සඳහා දේශන පවත්වන්න ගියාමයි අපට තේරුනේ මොන තරම් වැරදි දැනුමක්ද ළමයින්ට තිබුනේ කියලා. එක ලමයෙක් ලියලා අහලා තිබුනා දරුවෙක් පිලිසිඳ ගන්න කී පාරක් කරන්න ඕනද කියලා. ඌ හිතන් ඉඳලා තියෙන්නේ අර පිටි කොටනවා වගේ මෙක කරපු වාර ගනන අනුව තමයි පිලිසිඳ ගන්නේ කියලා. මම කිවුවා ලමයෝ එක පාරක් උනත් ඇති සරු කාලයේදී සිද්ධ උනොත් කියලා.

තව ලමයෙක් ඇහුවා ස්වයංවින්දනය කරාම ඇඟේ ඇට දිරනවා කියන්නේ ඇත්තද කියලා. මම කිවුවා ලමයෝ එහෙම ඇට දිරනවා නම් අද මට කතා කරන්න වෙන්නේ හිට ගෙන නෙවෙයි නයෙක් වගේ දරණ ගහ ගෙන කියලා.

ඉතිං මේ විදියට සබරගමුව පලාතේ අපි අවුරුදු තුනක් මේ වැඩ සටහන බොහොම සාර්ථකව කර ගෙන ආවා. ඒත් ගෝලීය අරමුදලේ සල්ලි ඉවර උනාට පස්සේ ආන්ඩුවට කිසිම උවමනාවක් තිබුනේ නෑ ඒක දිගටම අරගෙන යන්න. මම පුද්ගලිකව අප්පච්චිගෙනුත් ඉල්ලුවා මේක රජය මගින් නොකඩවා කරන්න කියලා. ඒත් වැඩක් උනේ නෑ. ඒක එතනින්ම ඉවර උනා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී