Social status - 24.05.2018

අර වෙනදා එයාගේ වාහනෙන් මාවත් එක්ක එන මහත්තයා රාජකාරි වැඩකට සතියකට ප්‍රංසෙට ගිහිං නිසා අද උදේ මම බස් එකේ එන්න 6 ට විතර පාරට ආවා. ඒ වෙලාවට ආවාම කොල්ලුපිටියට යන්න පුලුවන් විනාඩි 15 න් විතර. එතන ඉඳං බම්බලපිටියට ශේප් එකේ පයින් යන්න පුලුවන් විනාඩි දහයකින්.හැබැයි 7 ට ආවොත් බස් එකේ සීටුත් නෑ යන්නත් විනාඩි 45ක් විතර යනවා. ඒ නිසා 6 ට ආවාම 6.40 විතර වෙන කොට ඔෆිස් එකට ඇවිල්ලා 8.30 වෙන කම් ෆේස් බුක් එකේ ලැගලා ඉන්න කොට වෙලාව යනවා දැනෙන්නේ නෑ.

ඉතින් අද උදේත් ඒ වගේ ඇවිල්ලා බස් එක එනකම් ඉන්න කොට මාත් එක්ක කලිං දවස් දෙකකුත් සෙට් වෙච්ච පොලිස් නියාමකයෙක් කතාවට සෙට් උනා. මේ පොලිස් නියාමකයෝ ගිය මාසේ ඉඳලා දාලා තියෙන්නේ අර පාරේ වම් පැත්තේ තියන බස් ලේන් එකේ යන අනිත් වාහන කාරයෝ පාරේ මැද ලේන් එකට යවන්න. උන් අර විදියට එන වාහන මැද ලේන් එකට දැම්මාට ඌ පහු වෙච්ච ගමන්ම වාහන කාරයා ආයිත් බස් ලේන් එකටම එනවා. එතකොට ආයිත් ඌ අනිත් එකට යවන්න තව නියාමකයෙක් ඊට මීටර් 300 කට විතර එහායින් ඉන්නවා. ඔය විදියට කෝට්ටේ පාර දිගටම උදේට උන් ඉන්නවා. ඒත් බසුයි අනිත් වාහනයි පාර පුරාම යනවා. හරිනම් බසුත් බස් ලේන් එකේ විතරක් යවන්න ඕනනේ. ඊලඟට පාරේ මැද යන කාර් එකකට හරි බස් නොවෙන වෙන වාහනයකට හරි වමේ තියන පාරකට හරවන්න ඕන උනාම ආයිත් එනවා බස් ලේන් එකට. එතකොට බස් ස්ලෝ වෙනවා. මල විකාරයක් ඕයි පාරේ. අර වාහන තද බදය අඩු කරන්න හදපු ගොන් වැඩක්. අතීසාරයට අමුඩයක් ගැහුවා වගේ. පාර වෙනදාටත් වඩා කචල් මුන්ගේ වැඩ නිසා. හරියට අමුඩෙ අස්සෙන් අතීසාර බඩු ගලනවා වගේ. මට මේවා බලා ගෙන ඉඳලා මාර ආතල් ඕයි. හැබැයි ඉතිං ඕක වැඩි කාලයක් තියෙන්නේ නෑ. කවුරු හරි පොර වෙන්න කරපු ගොන් වැඩක්.

ඉතිං උදේ පාන්දරම පාරේ වාහන නැති නිසා අර පොරට වැඩි වැඩක් නැති නිසා පනාව එහෙම දාලා මගේ ලඟට ආවා. මමත් රිටර්න් පනාව දාලා කතා කර කර ඉන්න කොට මෑන් මගෙන් ඇහුවා ඔයා කොහේද වැඩ කරන්නේ කියලා. මම වැඩ කරන තැන කිවුවාම මෑන් ඇහුවා එතන මොනවද කරන්නේ කියලා. එතකොට මට කියන්න උනා මම දොස්තරෙක් කියලා. මම සාමාන්‍යයෙන් පාරේදි හරි බස් එකේදි හරි මම කවුද කියලා කියන්නේ නෑ. ඒත් මූ හාරලා අහපු නිසා බොරු කියන්න බැරි නිසා කිවුවා. මෑන්ට ඒක විස්වාස නැති උනා. පොර මගේ දිහා හොඳට බලලා ඇත්තටම දොස්තර මහත්තයෙක්ද කියලා ආයිමත් ඇහුවා. මම ඔවු කිවුවාම ඇයි එහෙනම් මේ බස් එකේ යන්නේ කියලා. මම කිවුවා බස් එකේ යන එක ලේසියි.ඒත් සීට් එකක් ගන්නයි වේලාසනින් ආවේ කියලා. මෑන් කියනවා ඒ උනාට සර් // එක පාරටම ඔයා කිය කිය හිටි එකා සර් උනා// ඒක තත්වෙට හොඳ නෑනේ එහෙම උනාම කවුරුත් ගනං ගන්නේ නෑනේ මම ඔය ඇහුවාමයි දොස්තර මහත්තයෙක් බස් එකේ යනවා කියලා. මම කිවුවා මම දවසක් ඇර දවසක් හවසට බම්බලපිටියේ ඉඳං මෙහාට පයින් එනවා ඒ වගේම කොල්ලුපිටියේ ඉඳං බම්බල පිටියට යන්නෙත් ගෙදර ඉඳං දැන් කිලෝ මීටරයක් මෙතෙන්ට ආවෙත් පයිං තමයි කියලා. මචංලා පොර කරකවලා අත ඇරියා වගේ උනා. මෑන් ආයෙත් ඇහුවා ඇයි සර්ලට කාර් පර්මිට් එකක් දෙනවා නේද කියලා මම කිවුවා දෙනවා නම් තමයි ඒත් කාර් එකක් ගේන්න සල්ලිත් ඕනනේ ඒ නිසා මම පර්මිට් එක විකුණලා සල්ලි ගත්තා කියලා. එතකොටම වගේ 177 බස් එකක් එනවා දැකලා මෑන් පාරටම පැනලා අත දාලා බස් එක නවත්තලා මේ දොස්තර මහත්තයා කොල්ලුපිටියෙන් දාන්න කිවුවා. මම මෑන්ට ස්තුති කරලා බස් එකට නැගලා සල්ලි දෙන කොට කොන්දා ගත්තේ නෑ. මමත් ඉතිං බල කරලා දෙන්න ගියෙත් නෑ. කොහොම හරි මට අද රුපියල් 24 ක් ඉතුරු උනා. අද හවසත් මම බස් එකේම තමයි යන්න ඉන්නේ.ඊයේ පයින් ගිය නිසා. කොල්ලුපිටියෙදිත් අර වගේ චාන්ස් එකක් ලැබෙයිද දන්නේ නෑ.මීට කලිනුත් දවසක මම බස් එකේ යනවා දැකලා මම දන්න කෙනෙක් ඇහුවා ඇයි ඩොක්ටර් බස් එකේ යන්නේ කියලා මම කිවුවා මේ අවුවේ පයින් යන්න බෑ ඒකයි කියලා. පොර හිනා වෙලා නිකං හිටියා.

ඔන්න ඔහොමයි මචං අපේ කට්ටියගේ චින්තනේ. මේකෙන් බොලාට මොකක්ද තේරෙන්නේ.

මේකෙන් තේරෙන එක තමයි එකක් අර පොලිසියේ මහත්තයාට මගේ දුක දැකලා පපුව උණු වෙලා මාව බස් එකට නැග්ගුවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අමාරු කම් දැකලා උණු වෙන පපුවක් පොලිසියේ අයටත් තියෙනවා කියලා.අර මීට කලිං දවසක බස් එකෙදී හම්ග වෙච්ච කොන්දොස්තර මහත්තයා වගේ. සමහර විට මම දොස්තරෙක් බව දැන ගත්ත නිසා වෙන්නත් පුලුවන්. නමුත් වැදගත්ම දේ තමයි මිනිස්සු හිතනවා දොස්තරෙක් නම් යන්න ඕන වාහනයක කියලා.

මේක කියන කොට මතක් වෙනවා මීට හුඟාක් ඉස්සර 1980 ගණන් වල ඒ කාලේ මගෙ ප්‍රයිවට් ක්ලිනික් එකෙන් ලෙඩෙක්ව යැවුවා ගාල්ලට අලුතින් ආපු නිහාල් මාකස් කියන විශේෂඥ වෛද්‍ය වරයෙකුට. මිනිහා හරිම දක්ෂ කෙනෙක් වුනත් ආපු හැටියෙම නිසා ගාල්ලේ කවුරුත් දැන ගෙන හිටියේ නෑ. මම මෑන්ව මීගමුවේ ඉන්න කාලේ ඉඳලා දන්න නිසා එයාට යැවුවා. ඉතින් අර මිනිහා නිහාල් මාකස්ව හම්බ වෙලා ඇවිත් බොහොම අප්සෙට් එකෙන් මට කිවුවා අනේ සර් එයාට හිටියේ මම විතරයි. අනිත් අයට පෝලිමේ සෙනග. අනික ඒ මහත්තයා ආවෙත් මහ පරණ වාහනයක කියලා. පොරට දීපු බෙහෙත් ගැන කතාවක් නෑ. මම ඇහුවාම දැන් දොස්තර මහත්තයා බොට හොඳට බලලා බෙහෙත් දුන්නාද කියලා පොර කිවුව ඔවු හොඳට කතා කලාත් කියලා. මම ඇහුවා බොට ඒ ගැන සතුටුද කියලා. ඌ කිවුවා ඔවු කියලා. මම කිවුවා මම උඹව යැවුවේ හොඳම මහත්තයෙක් ගාවට ඒ හින්දා එයාගේ දිග පලල ගැන බලන්නේ නැතුව ඔය දීපු බෙහෙත් බීලා ඇවිත් මට කියපං කොහොමද කියලා.

ඔන්න ඔහොමයි අපේ පොරවල් හිතන්නේ. දොස්තරව මණින්නේ උගේ වාහනෙන්. ඌට හොඳ මොඩ් වාහනයක් නැත්තං අපේ පොරවල් වැඩි දෙනෙක් හිතන්නේ ඌට එහෙම නැත්තේ ඌට ලෙඩ්ඩු නැති නිසා තමයි කියලා. හොඳ වටිනා වාහනයක ගෙම්බර් එකට එනවා නම් ඌ තමයි පොර. ඒ වගේම ලෙඩ්ඩු බලන්න එන කොටත් කවුරුවත් දිහා බලන්නේ නැතුව මෝල් ගහ වගේ ඇවිත් කෙලින්ම කාමරයට ගිහිං බෙල් එක ගහන්න ඕන. හැබැයි උන්ට හිතෙන්නේ නෑ හුඟක් දොස්තරලා පොරවල් වෙලා තියෙන්නේ උන්ගෙන්ම ගත්ත සල්ලි වලින් කියලා. ඒ වගේම අර චින්තනේ නිසා බැංකු ලෝන් එකෙන් ඉගෙන ගත්ත අපේ දොස්තරලාත් කොහොම හරි පොරක් වෙන්න මොන ක්‍රමයෙන් හරි සල්ලි හම්බ කරන්න බලනවා. හැබැයි මම හැමදාම කියනවා වගේ හැමෝම නෙවෙයි.

ඔය චින්තනය දොස්තරලා ගැන විතරක් නෙවෙයි තව අය ගැන තියෙනවා. වඩාත්ම හානිදායක එක තමයි දේශපාලකයන් උනොත් හොරකම් කරන්න ඕන කියන චින්තනේ. පලාත් සභාවට යන පලා බබෙක් උනත් වාහනයක් අරං ලොකු ගෙයක් හදා ගත්තේ නැත්තං ඌ පොරක් නෙවෙයි. ඒ වගේම හොරාට ගස් කපන එක, කුඩු ගෙන්නන එක, වයින් ස්ටෝස් කසිප්පු බිස්නස් ඉස්කාගාර පවත්වාගෙන යන එක, කොමිස් ගහන හොරකම් කරන එක දේශපාලකයෝ කරාට කමක් නෑ කියන එක තමයි අපේ එවුන්ගේ චින්තනේ. දැන් ඊයේ තිබිච්චි රැස්වීමේ වේදිකාවේ ඉඳලා තියෙනවා අර පහුගිය කාලේ ගෑණු 100ක් දූෂණය කරලා ඒකට පාටියක් දාපු අකුරැස්සේ ප්‍රාදේශීය සභාපති වරයා, කලුතර කෝච්චියේ මාල කඩා ගත්ත එකා වගේ එවුන්. අර චින්තනේ නිසා තමයි උන්ටම චන්දේ දෙන්නේ, යන යන තැන වට කර ගන්නේ, උන්ට වඩා ගෙන මූණ ඉඹින්න පැනලා තමන්ගේ දරුවෝ දෙන්නේ.ඒවා දිගටම ගෙනියන්න උන්ගේ දරුවන්ව බලයට ගේන්නේ. එහෙම නොකරන එකා මෝඩයා කියලා උන්ව ගනං ගන්නේ නෑ. කොටින්ම කියනවා නම් දේශපාලකයෙක් නම් ඕනම කුපාඩි කමක් කලාට කමක් නෑ. ඒ උන්ගේ හැටි. ඒකයි චින්තනේ.

වෙන රට වල ඉන්න දේශපාලකයොත් හොරකම් කරනවා හැබැයි අහු උනාම ඉවරයි. උදාහරණයකට ගන්නවානම් තායිලන්තයේ අධිකරණය හරිම බලවත්. කවුරුවත් අඩු තරමින් රජ තුමාවත් අත තියන්නේ නෑ. ඒ වගේම වැරැද්දක් කලොත් කිසිම සමාවක් නෑ. මීට අවුරුදු හය හතකට විතර ඉස්සර තායිලන්තයේ හුඟාක් වැඩ කරපු තක්ෂින් ශිනවාත්‍රා කියන අගමැති ආදායම් බදු නොගෙවා අහු වෙලා හිර ගෙට ගියා. තායිලන්තයේ සිටි ඉහලම ධනවතෙක් වූ හෙතෙම 2001දී බලයට පත් වෙලා අවුරුදු 4 දී තායිලන්තයේ සෑම අංශයකම විශාල දියුණුවක් ඇති කලා දුප්පත් කම 40% කින් අඩුවුනා. සෞඛ්‍යය දියුණු වීම නිසා බොහෝ රට වලින් ජනතාව තායි ලන්තයට ආවා ප්‍රතිකාර ගන්න. ඒවායින් ලොකු ආදායමක් ලැබුනා. උතුරු තායිලන්තයේ හිටපු මුස්ලිම් කැරලි කරුවන් මුලුමනින් නිරායුධ කලා. ඒ සියල්ල කරලත් තමන්ගේම දේපල පිටරට වලට විකුණලා ඩොලර් බිලියන සීයක් අරගෙන එයින් ආදායම් බදු ගෙවුවේ නෑ යන චෝදාව අනුව ඔහුව අගමැති කමින් නෙරපුවා. ජනතාව විශේෂයෙන්ම තරුණ තරුණියන් දස දහස් ගානක් රතු ශර්ට් ඇඳ ගෙන බැංකොක් නගරය පුරාම දවස් ගණන් උද්ඝෝෂනය කරලායි එහෙම උනේ. ඔය දවස් වල මම රාජකාරි වැඩකට එහේ ගිහිල්ලා ඒවා හොඳට දැක්කා. පස්සේ මිනිහා රටින් පැනලා ගියා. මෑන් නැතුව නඩුව විභාක කරපු අධිකරණය මෑන්ව අවුරුදු දෙකකට හිරේට නියම කරලා රටේ තිබුණු තවත් ඩොලර් බිලියන 100ක් රාජ සන්තක කලා.

රට අච්චර දියුණු කරා මුස්ලිම් අන්තවාදීන් දණ ගැස්සුවා කියලා වැරදි කලාම මිනිස්සුත් උසාවියත් නිකම් හිටියේ නෑ. අනික මිනිහා හොරකම් කලේ නෑ. පරම්පරාවකටම හම්බ කලේ නෑ. අමෙරිකාවේ දැන් ඉන්න ජනාධිපති වගේ බලයට එන කොටම ප්‍රකෝටිපතියෙක්. අනික වැරදි තීන්දු දීලා අහුවුනොත් ඒ නඩු කාරයන්ටත් ජනතාවගෙන් ගැලවුමක් නෑ. ඒ අතින් මෙහේ කොහොමද අග්‍ර විනිශ්චය කාරයා ඇවිත් කියනවා අවුරුදු 10 ක් හිරේට යවන්න තිබිච්චි මහින්දව නිදහස් කරලා ජනාධිපති කෙරෙවුවා. අනේ මට සමා වෙන්න කියලා තුන් පාරක් කිවුවා. මොකක්ද අපේ මිනිස්සු කරේ. ඌව වහාම හිරේට ගන්න කරපු වැරැද්දට කියලා කිවුවාද. පවතිණ ආණ්ඩුව ඒකට පරීක්ෂණයක් කලාද. එනකොට පස්ස කහ කහ ආපු පොර රුපියල් ට්‍රිලියන ගණන් අපේ සල්ලි එලි පිට කොල්ල කන කොට, බයිසිකලයක් නැතුව හිටපු පුත්තු ලැම්බෝගිනි වල යන කොට යුද්දෙ දින්න කිය කියා පස්සෙන් යන මිනිස්සු ඉන්න ඒ වගේම දැන් ඉන්න අගමැතිම මූලික වෙලා කෝටි 15000 බැංකුවෙන්ම හොරකම් කලාම ඒකට විරුද්ධව උද්ඝෝශණයකට නායකත්වයක් දෙන්න කෙනෙක් නැති රටකට හරියයිද ඕයි.

එහෙම නැති වෙන්නේ අර අද උදේ පොලිස් කාරයාට තිබුන වගේ චින්තනයක් අපේ මිනිස්සුන්ට තියෙන එකයි.ඔය චිතනයත් වහල් මාණසිකත්වයත් තියන කම් අපට ගොඩ යාමක් නෑ නෑ නෑ කවදාවත්ම නෑ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී