මම මේ වෙද්දී ඉන්දියාවේ නව දිල්ලියට ගිහින් තියනවා 28 වතාවක්. එයින් 16 වතාවක් ගියේ එඩ්ස් මර්ධන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෙලා ඉන්න කාලේ එක එක මීටිං, වැඩමුලු, පුහුණු වැඩ සටහන් වගේ එවාට. සමහර ඒවා දවස් 5න් ඉවර වෙනවා. සමහර ඒවා දවස් දහයක් වගේ තියනවා. ඉතින් සති අන්තයත් ඉන්දියාවේ ඉන්න දවස් වල මම හැමදාම ගියපු තැන් දෙකක් තිබුනා. එකක් තමයි මහත්මා ගාන්ධි පසු කාලීනව නිදහස් ඉන්දියාවේ ජීවත් වුනු තැන. එතුමා ඝාතනය වුනේත් මෙතෙන්දිමයි. මෙතනට කියන්නේ ගාන්ධි ස්ම්‍රිටි කියලා. ඒ වගේම ඒ පාරේ නම තීස් ජනුවරි රෝඩ් Thees January road. හින්දියෙන් තීස් කියන්නේ තිහ. ඉතින් එතුමා ඝාතනය කෙරුනු 1948 ජනවාරි තිස් වෙනිදා නිසා තමයි ඒ පාර ජනවාරි තිහ යනුවෙන් නම් කරලා තියෙන්නේ. මේ පාර හරියට කොලඹ තියන බෞද්ධාලෝක මාවතට සමානයි. ඒත් ඊට වඩා ගොඩක් පළලයි. පාරට වඩා පළලයි දෙපැත්තේ තියන ගස් එහෙම තියන හරිය. මේ පාරේම තමයි ඉන්දිරා ගාන්ධිගේ පාරම්පරික ගේ තියෙන්නෙත්. එයා ඝාතනය වුනෙත් එතනදීමයි. ඒත් මම එතනට ගියේ එකම එක් වරයි. ආයිත් යන්න මට උවමනාවක් තිබුනේ නෑ. ඒත් ගාන්ධි තුමාගේ තැනට මම ආයිත් ගියපු වෙලාවක යනවා. මොකද මම ගරු කරන ශ්‍රෙෂ්ඨතම ඉන්දියානුවා වෙන ගෞතම බුදුන් වහන්සේට පසුව ගරු කරන්නේ මහත්මා ගාන්ධිට වීමයි. මහත්මා ගාන්ධි ඝාතනය වෙන්න ටිකකට කලින් එතුමා හිටපු මෙට්ටය සහිත තැන ඒ ආම්පන්න එක්කම ඒ විදියටම තාමත් තියෙනවා. එතන ඉඳන් හවස කට්ටිය මුන ගැහෙන්න ගියපු පාරේ අඩි සලකුණු සිමෙන්ති වලින් හදලා තියනවා ඝාතනය වුනු තැනට යන කල්ම. එතනට ගියාම මට මගේ පපුවේ තද වීමක් වගේ දැනෙනවා මේ තරම් රටට සේවයක් කල ශ්‍රේෂ්ඨ මිනිහෙකුටත් වෙඩි තියන්න අර නතුරාම් ගොඩ්සේව ජාතිවාදයෙන් අන්ධ වෙලා හිටියාද කියලා මතක් වෙන කොට. මේ ජාති ආගම් කියන මිත්‍යාව මිනිසුන්ව මොන තරම් මුලාවට පත් කරනවාද කියන එක මම මේ වගේ දේ වලින් තේරුම් ගන්නවා. විශේෂයෙන්ම කිසිම ආකාරයක ජාති හෝ ආගම් වාදියෙක් නොවුනු මහත්මා ගාන්ධි වගේ කෙනෙකුට ඒවගේ ඉරණමක් අත් වීම හරිම කණගාටුදායකයි. ඒ හැඟීම මට ඉන්දිරා ගාන්ධිට වෙඩි වැදිලා මිය ගිය තැනදී ඇති වුනේ නෑ. එතනත් ඇය වෙඩි කන කම් ආපු පාර ටයිල් අල්ලලා තියනවා. මම මේ හැම තැනක්ම විඩියෝ කරලා තිබුනත් ඒවා හදිසියේ හොයා ගන්න බෑ. මගේ විඩියෝ ලයිබ්‍රරිය ඒ තරම් ලොකුයි.
ඒ වගේම මම යන තැනක් තමයි දිල්ලි කෞතුකාගාරයේ තියන බුදුන් වහන්සේගේ කපිලවස්තුවෙන් හොයා ගත්ත අස්ථි කොටස් තැන්පත් කරලා තියන තැන. මේවා කපිලවස්තු ධාතූන් වහන්සේලා කියලා හැඳින්වෙනවා. මෙතන විශාල අස්ථි කොටස් තියනවා විශාල ප්‍රමාණයක්. ලොකයේම බුදුන් වහන්සේගේ ශරීරයේ අස්ථි කොටස් වැඩි ප්‍රමාණයක් එක තැනක තියෙන්නේ මෙතනයි. මෙතනට ගියාමත් අනේ මේ බුදුන් වහන්සේගේ ශරීර කොටස් නේද මේවා උන් වහන්සේගේ ඇඟේ කොයි කොයි තැන් වල තියෙන්න ඇද්ද වගේ දේවල් කල්පනා කර කර හුඟාක් වෙලා ඉන්නවා. මම ගියපු දවස් දෙක තුනක අපේ රටෙන් වගේම වෙනත් රට වලින් ආපු අය වැඳුම් පිදුම් කරනවා මම දැක්කා. ඒත් හුඟාක් දවස් වල එතන කවුරුත්ම හිටියේ නෑ. මම දවස් දෙකක් වාඩි වෙලා හිත් එක් තැන් කර ගන්න බැලුවත් ඒක කරන්න බැරි උනා. මම ඕන නම් ඒතන ඉන්න ගාර්ඩ්ට කියලා මගේ භාවනා කරන ඵොටෝඅ එකක් ගන්න තිබුනා ආභරණයක් හැටියට පාවිච්චි කරන්න. ඒත් මට එහෙම කරන්න උවමනාවක් වුනේ නෑ. හිත් දුන්නෙත් නෑ මේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙකුගේ භෂ්මාවශේෂ කොටස් එක්ක පෙනී ඉන්න. හැබැයි මම එතන විඩියෝ කර ගත්තා.
මම කියාගෙන ආවේ ඒ බුදුන් වහන්සේගේ අස්ථි කොටස් වලට ගෞරව කලාට ඒවායේ අමුතු බලයක් තියන බවක් මම විශ්වාස නොකරන නිසා ඒවායේ බලයෙන් මට යහපතක් වෙන්න වගේ සිතුවිලි ආවේ නෑ. වෙන එකක් තියා දිල්ලියේ ඉඳන් ආපහු ප්ලේන් එකේ එන එක ආරක්ෂා සහිතව එන්න ලැබේවා කියලාවත් මට හිතුනේ නෑ කොයිම වෙලාවක වත්. මොකද අතර මගදී මොනවා හරි වෙන්න තියනවා නම් අර වීදුරු කරඬුවක් ඇතුලේ තියන අස්ථි කෑලි වලට මොනවාද කරන්න පුලුවන් ඒක වලක්වන්න. ඔන්න ප්ලේන් එකේ පයිලට්ට කිවුවා නම් "බොලේ ටිකක් පරිස්සමින් අද ප්ලේන් එක එලවාපන්" කියලා ඒක යම් තේරුමක් තියන දෙයක්. මොකද පොරට යමක් කරන්න පුලුවන් නිසා. නමුත් අතනට ගියාම හිතට ඇතිවෙන සුවදායක හැඟීම නම් හරිම ප්‍රභලයි. මේ වගේම හැඟීමක් මට එනවා අපේ ගමේ ආත්තම්මාගේ මල කඳ තැන්පත් කරපු තැනටත්, තාත්තාගේ අස්ථි කොටස් තැන්පත් කරපු තැනටත් ගියාම. ඒ තැන් වලදීත් මම "අනේ ආත්තම්මේ, තාත්තේ මට පිහිට වෙන්න" වගේ දේවල් ඉල්ලන්නේ නෑ. ඒ ගොල්ලා ජීවත්ව ඉන්න කාලේ ඒ ගොල්ලා මට හැම අතින්ම පිහිට වෙලා තියනවා. ඒ වගේම මගේ තාත්තාගේ, අම්මාගේ අවසාන කාලයේ මම ඒ ගොල්ලන්ට පිහිට වෙලා තියනවා.
ඉතින් අපේ අය රුවන් වැලි සෑයට ගිහින් නොයෙක් පුද පූජා කරලා එක එක විදියේ ප්‍රාර්ථනා කරන එක, ශ්‍රී මහා බෝධිය ලඟ නොයෙක් ඉල්ලීම් ඉල්ලලා රෙදි කෑලි වල ලියලා එල්ලන එක මිත්‍යාවක් නෙවෙයිද. මම දැක්කා එක දවසක් එතන මද්දුම දූට දරුවෙක් ලබා දෙන්න කියලා ශ්‍රී මහා බෝධියෙන් ඉල්ලලා. සිදුහත් කුමරුන් බුදු බව ලබා ගත්ත වෙලාවේ පිට දුන් හේතුවෙන් පසුව බෝ ගහ කියලා හැඳින්වුනු ගසේ ශාකාවක් කොහොමද මද්දුම දූට දරුවෝ ලබා දෙන්නේ කියලා එක එල්ලපු එකාට නොතේරුණේ අර මිත්‍යාවෙන් අන්ධ වෙලා හිටපු නිසායි. අර දකුණු පලාත් සභාවේ ඉන්න රත්තරන්ගේ දේවාලයට ගිහින් ඌට ඒක කිවුවා නම් පොර තිරෙන් එහා පැත්තට මද්දුම දෝනිව එක්ක ගිහින් අවශ්‍ය කටයුතු කරලා දෙන්න තිබුනා. ඒක අරිට වඩා තේරුමක් තියන දෙයක්.
මේ වගේම තමයි අපි මේ වෙද්දී හතර වතාවක් දඹදිව චාරිකාවේ ගිහින් තියනවා. ඒ එක වතාවක වත් මම අන්ධ විශ්වාසයකින් ගියේ නෑ. බුදුන් වහන්සේට සම්බන්ධ ඒ තැන් වලට ගියාමත් හිතට අසීමිත සතුටක් දැනනවා. විශේෂයෙන්ම සැවැත් නුවර ජේතවනාරාමයට ගියාම අනේ මෙතන නේද බුදුන් වහන්සේ අවුරුදු 25 ක් වස් කාලය ගත කලේ කියලා. ඒත් ප්‍රාර්ථනාවන් කරලා නෑ. මොකද එතන ඒ වගේ බලයක් නැති නිසා. බෞද්ධ ඉතිහාසයට අනුව අර කිසා ගෝතමී තමන්ගේ මිය ගිය දරුවාට පණ දෙන්න කියලා ජීවමාන බුදුන්ගෙන් ඉල්ලපු වෙලාවේ උන් වහන්සේ දැන හිටිය නිසා තමන්ට එවැනි බලයක් නෑ කියලා උන් වහන්සේ කිසාට ස්ත්‍යය තේරුම් ගන්න අපූරු ක්‍රමයක් පාවිච්චි කලා. ඒ අනුව සත්‍යය තේරුම් ගත්ත කිසා දරුවාගේ මලකුණ සොහොනට දාලා ඇවිත් ධර්මය ඉගෙන ගෙන සැනසීම ලබා ගත්තා. මේවා බනට දෙසන අපේ කහකඩයෝ ඒ කටින්ම වදාරනවා ගිහින් රුවන් වැලි සෑයට ඖෂධ පූජා, පලතුරු පූජා කරලා ප්‍රාර්ථනා සපල කර ගන්න කියලා. මම කුසිනාරාවේදී ඇහුවා බුදුන් වහන්සේ විශාලා මහ නුවර ඉඳලා අවසාන ගමන එන අතරතුරදී ආනන්ද හාමුදුරුවන්ට කිවුවා කියලා "ආනන්දය මගේ සිත කොතරම් ශක්තිමත් වුනත් ශරීරය දැන් හරිම දුර්වලයි. මට මේක අරගෙන යන්නත් අපහසුයි. ඒ නිසා මට බොන්න වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා නැවතුනා කියලා" . ඉතින් අවසාන කාලයේ ඉතා දුර්වල ශරීරයක් තිබුනු උන් වහන්සේගේ අස්ථි කොටස් වලට කොහොමද අමුතු බලයක් තියෙන්නේ. ඒ වගේම උන් වහන්සේට ඉර්ධියෙන් යන්න බලයක් තිබුනා නම් අමාරු අවස්ථාවේදී හරි ඇයි එහෙම ආවේ නැත්තේ කියන එක මට තේරුම් ගන්න බැරි දෙයක්.
ඔන්න මම අදත් සමහරුන්ගේ ලේ සුද්ද වෙන තවත් සමහරුන්ගේ ලේ කෝප වෙන ටිකක් කිවුවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී