ගිය සිකුරාදා මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හොඳ මුස්ලිම් බොක්කක් කතා කලා. පොර කිවුවා උගේ පුතාට අන්තිමට දුවෙක් ලැබුනලු පුත්තුම හතර දෙනෙකුට පස්සේ. මෑන්ට මාර හැපි මොකද පුතා හරිම ආසාවෙන් හිටියලු දුවෙකුට. එහෙම තමයි බං තාත්තලා උනාම. මට නම් පලවෙනියටම දුවෙක් ලැබුන නිසා හරි සතුටු උනා. අර කියන්නන් වාලේ කිවුවට ඇත්තටම ඒකි ලැබුනේ මගේ හොඳම යාලුවට. ඉතින් මේ පිය සෙනෙහසට ජාති ආගම් කුල භේදයක් නෑ. මම කිවුවා පුතාට කියපන් කියලා මම සුබ පැතුවා කියලා. එතකොට මෑන් කිවුවා ඕවා ඉතින් සිද්ධ වෙන්නේ දෙයියන්ගේ කැමැත්ත අනුවනේ ඒ නිසා කොයි එකත් සතුටෙන් බාර ගන්නවා කියලා. එතකොට මම ඇහුවා එතකොට උඹේ පුතා මොකවත්ම කලේ නැද්ද දෙයියොද සේරම කලේ කියලා. එතකොට මිනිහාට මල පැන්නත් පරණ බොක්ක නිසා මට මොනවත් කිවුවේ නෑ. මම ඇහුවා අනේ බං මම දැන ගන්නයි මේ අහන්නේ. මම මේ මෑතක ඉඳන් උඹලාගේ ආගම ගැන සොයනවා, ඉගෙන ගන්නවා. ඒ නිසා මට කියපන් සේරම වෙන්නේ දෙයියන්ගේ කැමැත්ත උඩ නම් බොලා ලෙඩ වනවා ඇත්තෙත් ඒ කැමැත්ත උඩම වෙන්න ඇතිනේ. ඉතින් එහෙම නම් ඇයි උඹලා ඒක සතුටින් පිලි ගන්නේ නැතුව ඒක සනීප කර ගන්න බෙහෙත් ගන්නේ, ඒක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් නේද කියලා. මම අහපු දේට පොරට උත්තර නැති උනා. මම හිතන්නේ මගේම වයසේ ඉන්න පොරගේ ඔලුව එච්චරම මඥ්ඥං වෙලා නෑ දැන් ඉන්න එවුන්ගේ තරම්.මොකද අපි ඉස්කෝලේ යන කාලේ ඔය ආගම් පිස්සුව උන්ගේ ඔලුවලට එච්චර ලොකුවට වැදිලා තිබුනේ නෑ. පොර කිවුවා ඌ දන්න කෙනෙකුගෙන් අහලා මට කියන්නම් කියලා. තාම උත්තරයක් නෑ. මම හිතන්නේ ඒකත් අර මම අටේ පන්තියේ ඉන්න කාලේ යාපා සර්ගෙන් කොහොමද රහත් නොවිච්චි උපාසක කෙනෙක් මිහිඳු හාමුදුරුවොත් එක්ක අහසින් ආවේ කියලා වගේ. මම කිවුවේ යාපා සර්ට තරහා ගිහින් මාව බිම දණ ගස්සලා තිබ්බා කියලා පාඩම ඉවර වෙන කම්.

ඒ වගේම සෙනසුරාදා මම ගියා අපේ දොස්තර කෙනෙකුගේ හත් දවසේ බණ අහන්න.සාමාන්‍යයෙන් මට ඔය බණ අහලා එපා වෙලා ඔය වගේ ඒවාට මම යන්නේ බණ ඉවර වෙන වෙලාව බලලා මූණ පෙන්නලා එන්න. ඉතින් එදා මගේ කරුමෙට මම යනකොටත් බණ යනවා. ගෙදරට යන පාරේ මුල හරියේ පොරවල් සිගරට් බිබී කය්යට සෙට් වෙලා හිටියා. ගෙදර කිට්ටුව තව ටික දෙනෙක් හිටගෙන හිටියා සද්දයක් නැතුව. තාප්පෙන් ඇතුලේ පුටු වල වාඩි වෙලා තව සෙට් එකක් හිටියා. ඒකෙන් සමහරු ෆෝන් එකේ ෆේස් බුක් ගිහින් ඉන්නවා. මමත් ගේට්ටුව ලඟට වෙලා ඉඳලා ඇතුලේ පුටුවක් තියනවා දැකලා ගිහින් වාඩි වෙලා ෆෝන් එක සයිලන්ට් මෝඩ් එකට දාලා බන අහන්න සෙට් උනා. හාමුදුරුවෝ කිය කිය හිටියේ බෝධිසත්වයන් වහන්සේ සාරා සංකෙයිය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් පුරලා අන්තිමට දාන පාරමිතාව සම්පූර්ණ කර ගත් විදියයි. වෙස්සන්තර රජතුමා හැටියට හිටපු ඒ ආත්මයේ තමන් ලඟ තිබුණු සියලුම දේ දන් දීලා අන්තිමට රජ කමත් අත ඇරලා වනයට ගියාලු. මන්ත්‍රී දේවියත් ජාලිය, ක්‍රිෂ්නජිනා කියන දරුවන් දෙන්නාත් එක්ක. ඉතින් ඔහොම ඉන්න කොට දවසක් ජූතකයා ඇවිත් දේවියත් දරුවනුත් දාස කමට ගෙනියන්න ඉල්ලුවාලු. වෙස්සන්තර බොහොම සතුටු වුනාලු දාන පාරමිතාව සම්පූර්ණ කර ගන්න අවස්ථාවක් ආපු එක ගැන. ජූතකයා එනවා දැකලා බය වෙලා හැංගිලා හිටපු දරුවෝ දෙන්නා තාත්තා කතා කලාම තාත්තාට තියන ගරු කිරීම නිසා ආවාම තාත්තා කිවුවාලු මම තීරණයක් අර ගෙන තියනවා. ඒ නිසා කට්ටියම යන්න ලෑස්ති වෙන්න කිවුවාම පොඩි එවුන් දෙන්නා අඬන්න ගත්තාලු. ඇයි බං අහන්නත් දෙයක්ද ඈත එනවා දැකලා බය වෙච්ච ජූතකයා එක්ක යන්න කිවුවාම, අනික උගේ වැඩ කාර කමට. ඒත් තාත්තාගෙන් බුරුලක් හම්බ වෙන්නේ නැති බව දැක්කාම ජාලිය කිවුවාලු එහෙනම් මම යන්නම් ඒත් නංගී හරිම පොඩියි, ඒ නිසා එයාව දෙන්න එපා කියලා. ඒ පාර තාත්තා කිවාම නෑ නෑ තුන් දෙනාටම යන්න වෙනවා කියලා දරුවෝ දෙන්නාම කිවුවාලු අපඉ දෙන්නා යන්නම් ඒත් අම්මාව තියා ගන්න. එයා ගියොත් තාත්තාව බලා ගන්න කෙනෙක් නැති වෙනවානේ කියලා. ඒත් අන්තිමට වෙස්සන්තර් අර තුන් දෙනාවම ජූතකයාට දුන්නා. ළමයි දෙන්නා මහ හඳින් අඬමින් ගියාලු. තමන් දාන පාරමිතාව සපුරා ගත්ත නිසා හරියට සතුටු උනාලු. ඒකට උදවු වීම පිලිබඳව ජූතකයාට ස්තුති කලාලු. ඉතින් හාමුදුරුවෝ ඔය ටික කියලා අන්තිමට කිවුවා ජූතකයා වගේ ඇවිත් තියෙන්නේ ශක්‍ර දේවෙන්ද්‍රයාලු වෙස්සන්තරගේ දානමය හැකියාව පරීක්ෂා කරන්න. පස්සේ වෙස්සන්තරගේ පිය රජ තුමා මේ තුන් දෙනාවම රජ මාලිගාවට අරගෙන ගියාලු. ඒක අහපු මට හිතුනා අනේ ශක්‍ර දේවෙන්ද්‍රයා එනවානම් මගේ දානමය හැකියාවත් පරීක්ෂා කරන්න කියලා. එතකොට මටත් පුලුවන්නේ කරදරයක් නැතිව තපස් දම් රකින්න.

කොහොම හරි බන ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා මෙන්න මේ වගේ කවුරු කවුරුත් හොඳට හිතට ගන්න කියලා නිතරම දානමය පුන්‍ය කර්මයන් කරන්න. ඒත් එතන සාදුකාරයක් දෙන්න වත් කෙනෙක් හිටියේ නෑ. ඔය බන ටික ගමක කලා නම් අර නිදා ගෙන හිටපු සමහර උපාසක්කම්මලා එක පාරටම ඇහැරිලා සාදුකාරයක් දෙනවා. ඒත් ගමට කොහොම උනත් ටවුමට මේ බන අල්ලලා ගිය බව මට තේරුණා. මට දුක මේ විසීක්වෙනි ශතවර්ෂයට ඇවිනුත් හරවත් යමක් කියන්නට අපේ මේ චීවරධාරීන්ට බැරි වීමයි. බෞද්ධ සාහිත්‍යයේ ඔය වගේ ජාතක කතා නොතිබුනා නම් මේ ගොල්ලන්ට අබ සරනයි.

අනිත් එක ඒ කතාව අනුව මාර පරිත්‍යාගයක් තමයි වෙස්සන්තර කරලා තියෙන්නේ. තමන්ගේම යමක් දෙනවා නම් ඒක හරි. අතක් පයක්, කිඩ්නි එකක්, ඇහැක් වගේ දෙයක්. ඒත් අනිත් අයව ඒ ගොල්ලන්ගේ අකමැත්තෙන් දෙන එක කොහොමද දානයක් වෙන්නේ. කොහොමද ඒක පරිත්‍යාගයක් වෙන්නේ. එහෙම නම් අර මුස්ලිම් ආගමෙයි, හින්දු ආගමෙයි කරනවා වගේ සත්තු මර බයෙන් අඳද්දී ඇඩගෙන ගිහින් මරලා දෙවියන්ට පූජා කරන එකෙයි වෙස්සන්තරගේ දරුවන් දීමෙයි වෙනසක් නෑනේ. මට වාසනාවට මේ ප්‍රශ්නය අට වසරේදී ඔලුවට ආවේ නැත්තේ. ආවා නම් යාපා සර් මේ වෙන කලුත් මාව දණ ගස්සනවා ශුවර් එකටම.

මම හිතන්නේ නෑ බුදුන් වහන්සේ කවදාවත් මේ වගේ කතා කිවුවා කියලා. මේවා පසු කාලීනව ඉන්දියාවේ තිබුණු අනිත් ආගම් වල තියන කතා ඇසුරෙන් හදලා බුදු දහමට එකතු කරලා ඒක ආගමක් කරලා තියෙන්නේ. ඉතින් දහම් කරුණු දන්නේ නැති අපේ බොහෝ චීවරධාරියෝ ඔය මනස්ගාත කියලා පැයක් ගත කරලා දෙන ගානක් අරගෙන යනවා. මැරිච්ච එකාගේ නෑදෑයින්ට මූන පෙන්නන්න ආපු එවුන්ට මේවායින් ගන්න දෙයක් නෑ. ඒත් යම් හරවත් දෙයක් කියනවා නම් මිනිස්සු ඒවා අහගෙන ඉන්නවා.මට මතකයි මම ඉස්සර ඒඩ්ස් වැලැක්වීම ගැන කතා කරන කොට පැය තුනක් විතර මිනිස්සු බොහොම අවදානයෙන් අහගෙන ඉන්නවා. ඒත් සමහර අය කතා කරන කොට එකෙක් අහගෙන ඉන්නේ නෑ. උන් උන් වෙන කතාවල. කතා කරන එකා උගේ කතාව ඔහේ කරගෙන යනවා.

මම මේ සිද්ධි දෙක ගැන එකටම කිවුවේ මේ දෙකේම මිත්‍යාව මොන තරම් තියනවාද කියලා පෙන්නන්නයි. මේක හැම ආගමකටම පොදුයි කියන එක කියන්නයි. නමුත් දහමක් එහෙම නෙවෙයි. විශේශයෙන්ම බුදු දහමේ කාවවත් අදහන්නේ නෑ. කාගේවත් පිහිට පතන්නේ නෑ. බුදු දහමේ උගන්වන්නේ තමන්ගේ පිහිටට ඉන්නේ තමන් විතරයි කියන එකයි. ඒ විදියට පිහිට වෙන ආකාරය දහමේ පෙන්නලා තියනවා. ඒත් අපේ අයියලා ගිහින් අරව මේවා ඉල්ලලා බාර වෙනවා බෝ ගස් වලට. මද්දුම දූට දරුවෙක් ලබා දෙන්න කියලා ලියපු රෙදි කෑලි ශ්‍රී මහා බෝධියේ එල්ලලා තියනවා මම දැකලා තියනවා. හරි නම් එක එල්ලන්න තිබුනේ මද්දුම එකීගේ මිනිහාගේ පිටේයි. ඇයි බං බෝධිය කොහොමද ළමයි දෙන්නේ. ඉතින් මුස්ලිම් ආගමෙයි බුද්ධාගමෙයි දෙකේම තියෙන්නේ එකම විදියේ මිත්‍යාවල්. රටේ වැඩි හරියක්ම ඉන්නේ බුද්ධාගම් කාරයෝ මිසක් බෞද්ධයින් නොවෙන හින්දා තමයි මේ සේරම.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී