බක්කුල එපෝ, සීවලී වරෝ.


යේ මම ගියා මගේ යාලුවෙකුගේ පුතාට කුලුඳුලේ ලැබුනු දරුවාව බලන්න නවලෝක හොස්පිටල් එකට. අර කියන්නන් වාලේ කිවුවාට කුලුඳුල් දරුවා ලැබිලා තිබුනේ ඌට නෙවේ. උගේ වයිෆ්ට. ඉතින් මේ යාලුවාගේ සතුට මල පැනලා. ගියපු ගමන්ම මාව පැනලා පිලිගත්තා. මමත් ඔය තත්වයට පත් වෙලා තිබුණු නිසා මට හිතා ගන්න ඇහැකි ඌට තිබුණු සතුට. ඒත් මම නම් මගේ එකම මිනිපිරී දැක්කේ ඒකි ඉපදිලා මාස හතරකට පස්සේයි. මූ ඒ අතින් මට වඩා වාසනාවන්තයි. //ඒකි මේකි ඌ අරූ වගේ වචන පාවිච්චි කරලා මම ඒ අයට අපහාස කරනවා කියලා මට දොස් කියන්න එපා කියලා මම මුලින්ම ඉල්ලනවා//. එහෙම කරනවා නම මගේ එකීට මම එහෙම කියන්නේ නෑනේ.
මගේ යාලුවා හෙන සල්ලි කාරයා. ඌට මැලේසියාවේ තියනවා රෙදි ෆැක්ටරි දෙක තුනක්. දවසක් මම ක්වලලම්පුර් ගියපු වෙලාවක පොරගේ ගෙදර නවතින්නත් ගියා. බලන කොට මම නෝ ලිමිට් එකෙන් අරගෙන එදා ඇඳගෙන ගියපු කමිසයත් උගේ ෆැක්ටරියේ හදපු රෙද්දකින් මහපු එකක්. දැක්ක ගමන් පොර ඒක අඳුන ගත්තා. කොහොම හරි ඉස්පිරිතාලේ ඌත් එක්ක සතුටු සාමිචියේ ඉන්න අතරේ ආපු කාරණාවත් අමතක වෙලා ගිහින් පස්සේ තමයි පොඩි එකාව බලන්න ගියේ. කටවහ වදින්න නරකයි මචං චූටි සුරංගනාවියක්. මට එක පාරටම මතක් වුනේ මීට අවුරුදු තිහකට කලින් මගේ චූටි සුරංගනාවි බලන්න කොලඹ කාසල් එකට ගිය දවස. එදා මම විනාඩි දහයක් විතර කෙල්ල දිහා ඔහේ බලාගෙන හිටියා. ඊලඟට වීඩියෝ කර ගත්තා.
මම ඉතින් මේ චූටි කෙල්ල දිහාත් බලාගෙන ඉඳලා මගේ යාලුවාගේ පුතාට සුභ පතලා කතා කර කර ඉන්න ගමන් කිවුවා දැන් ඉතින් දැන් ඉඳන්ම විශාකා එක පැත්තෙන් ගෙයක් බදු ගත්තොත් හොඳයි කියලා තව අවුරුදු පහකින් දරුවා දා ගන්න. එතකොට මගේ යාලුවා කිවුවාම නෑ නෑ නිමල් ඒ ගොල්ලා මෙහේ ඉන්න එකක් නෑ දිගටම කියලා මෑන්ගේ පුතා කියනවා //නෝ අන්කල් නෝ පොයින්ට් ඔෆ් ට්‍රබලිං දෙම් ෆෝ එඩියුකේෂන් වට් වී හෑව් ඉස් ඉනෆ් ෆෝ ජෙනෙරේෂන්ස් ටු ලිව්, දෙයා ෆෝ වී ශුඩ් ලෙට් දෙම් එන්ජෝයි දෙයා ලයිෆ් ෆුලි// කියලා. ඒක අහපු මගේ යාලුවා මගේ මූණ දිහා බලලා ආයිත් අහක බලා ගත්තා. මට තේරුණා පොර හරිම අමාරු තත්වයකට වැටුනා කියලා. මොකද උන් අපි එකට ඉගෙන ගත්ත උන්. එකට ගැලරියේ සත පනස් පහට පිචර් බලපු උන්.එකට හොරාට ඉස්කෝලෙන් පැනලා ගිහිං මූදේ නාපු එවුන්. කොටින්ම කියනව නම් පොලොවේ පය ගහලා හිටපු උන්. අපි එක කාලේ යුනි ගිහින් ඉගෙන ගත්ත එවුන්. පස්සේ ඌ උපාලි විජේවර්ධන එක්ක වැඩ කරන්න මැලේසියා ගිහින් උපාලි අතුරුදහන් උනාට පස්සේ එහේ නැවතිලා බිස්නස් වලින් දියුණු වෙච්ච එකෙක්. මම නම කිවුවොත් ඕන කෙනෙක් දන්නවා. හැබැයි ඊයේ වෙච්ච දෙයින් මට තේරුම් ගියා ඌ දියුණු වෙලා තියෙන්නේ බිස්නස් වලින් විතරයි කියලා. ඌ උගේ ඒ ලස්සන අතීතය පුත්තුන්ට කියලා දීලා නෑ.සමහර විට උගේ පුත්තු පොඩි දරුවෝ කාලේ ඌ දිවා රෑ නැතුව මහන්සි වෙන්න ඇති බිස්නස් දියුණු කරන්න.
මට මේ ලැබිච්චි අලුත්ම අත්දැකීම මාව ආයිමත් මගේ අතීතයට අරගෙන ගියා. අපේ දරුවෝ ඉපදුණු ගමන්ම ඔලුවට ආවේ උන්ව දාන්න ඉස්කෝල. ඒ කාලේ කරාපිටිය නිල නිවාස වල ඉන්න අයගේ දරුවන්ව ගාලේඅ ඉස්කෝල වලට ගන්න නිසා ඒක ලොකු ප්‍රශ්ණයක් උනේ නෑ. ඒ නිසා කෙල්ල සවුත්ලන්ඩ් එකට දාගත්තත් 93 දී මාව කරාපිටියෙන් එලවපු නිසා අනිත් උන් දාගන්න කට්ට කෑවා. ඊලඟට අපි ළමයින්ට හොඳ පුරුදු ඉගැන්නුවා. හොඳ සෞඛ්‍ය පුරුදු, ගෙනත් දුන්නේ හොඳ කෑම විතරයි. කවුරු හරි නෑයෙක් නරක දෙයක් ගෙනත් දුන්නත් ඒවා දුන්නේ නෑ.මම රත්නපුරේ ඉන්න කාලේ රඹුටන් මැංගුස්තින් වගේ ඒවා ගේන්නේ ගෝනි පිටින්. උන් වට වෙලා කනවා. ඒ වගේම තුන් දෙනාටම සෑම දෙයක්ම හවුලේ පාවිච්චි කරන්න පුරුදු කලා. සෙල්ලම් බඩු හැම දෙයක්ම එක එක්කෙනාගේ නෙවෙයි හැමෝගේම. ඒ වගේම යුතුකම්, වැඩිහිටියන්ට ගරු කරන්න, කෙලෙහිගුණ දක්වන්න, බැරි අයට උදවු කරන්න වගේ දේවල්.
අර මගේ යාලුවාගේ පුතා ඉපදිච්ච ගමන් දරුවා ගැන කල්පනා කලේ එයාට දෙන්න තියන සැප සම්පත් විතරයි. හොඳ මනුස්සයෙක් කරන්න, ගුණගරුක කෙනෙක් කරන්න හිතකවත් තිබුනේ නැති පාටයි. මට මතක් වුනේ අර වික්ටර් රත්නාකගේ සිරිමා බෝ මැඩ කියන සිංදුව.බොලා ඒක ඕන තරම් අහලා ඇති. මේකෙ තියෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි දුවට කරන ප්‍රාර්ථනා ටිකක්. මුලින්ම තියනවා "බක්කුල මහ තෙරිඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා" කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශණා කල ආරෝග්‍ය පරමා ලාභා කියන එක. බොලා දන්නවා බක්කුල මහ රහතන් වහන්සේ තමයි නිරෝගී බවේ අග්‍ර ශ්‍රාවක වුනේ. උන් වහන්සේට ඒ ආත්මයේ කිසිම ලෙඩක් හැදිලා නෑ. ඒකට හේතුව කියන්න ගියොත් මේක දිග වැඩි වෙනවා. ඊලඟට කියන්නේ "සූ විසි මුණි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු ලැබේවා" කියලා. නිරෝගී වෙනවා නම් කොහොමත් ආයු ලැබනවානේ. ඊලඟට "අසූහාර දහසක් දම් තෙද කඳ සෙවන දෙවා සුරකීවා" කියලා. ඒ කියන්නේ අසූ හාර දහසක් ධර්මය පිලිපදිමින් සුරැකේවා කියලයි. ඊලඟට" සිරි දළදා සමිඳු නමින් ලතෙත් ගුණය ඉතිරේවා" ඒ කියන්නේ අනුන්ගේ දුකකදී සිත උණුවෙන ගතිය ඉතිරේවා කියලා. ඒ වගේම "වම් සිරිපාදං පද්ම බෙලෙන් අනන්ත නුවණ ලැබේවා කියන්නේ හොඳ බුද්ධියක් හා දැණුමක් ලැබේවා කියලා. අන්තිමට "මහා සීවලී මහිමි අනුහසින් ඉසුරු සැපත් බෝ වේවා කියලා ලෞඛික සැප සම්පත් ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අන්තිම එක අර සේරටම පස්සේ. ඒත් අද හුඟක් ඈයෝ අර මගේ යාලුවාගේ පුතා වගේ මුලින්ම ඉල්ලන්නේ අන්තිම එක. කොහොම හරි කමක් නෑ ඉසුරු ලැබෙනවා නම්. කොහෙන් හරි කොහොම හරි සල්ලි ලැබෙනවා නම් එච්චරයි.
ඔය සිංදුවත් එක්ක පොඩි වීඩියෝ ක්ලිප් එකක ලින්ක් එක මම දාලා තියනවා. ඒ කාලේ මගේ තුන් දෙනාටම ෆස්ට් බාත් එක දුන්නේ මමයි. ඊලඟට පුලුවන් හැම වෙලාවකම ඒක කලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ ලොකු පුතාට ෆස්ට් බාත් එක දෙන කොට අවුරුදු දෙක හමාරක් වෙච්ච කෙල්ල වාඩි වෙලා ඒ දිහා බලා ගෙන ඉඳලා මට කිවුවා එයාවත් ඒ වගේම තියාගෙන නාවන්න කියලා. ඒ වෙන කොට එයාව නාවන්නේ එහෙම නොවුනත් කෙල්ලගේ ආසාව නිසා මම ඒක කලා. සමහර විට එහෙම නොකලා නම එයාගේ පුංචි හිතට එන්න තිබුනා තාත්තා දැන් මට ආදරේ නෑ. අලුතින් ගෙනාපු මල්ලීට තමයි ආදරේ කියලා. අපි නොහිතුවාට පොඩි උන්ට එහෙම හිතිලා අර පස්සේ ආපු එකා එක්ක තරහවක් ඇති කර ගන්නවා. ඒ නිසා කවදාවත් අලුතින් ආපු එකා නිසා ඉන්න එකාට කිසිම අඩු පාඩුවක් දැනෙන්න අරින්න එපා. අලුතින් ආපු එකා මොකුත් දන්නේ නෑනේ. ඒත් කලින් හිටපු එකාට වෙනස දැනෙනවා. ඒකයි. අපි අපේ තුන් දෙනාට කිසිම විදියකින් එහෙම දැනෙන්න දුන්නේ නෑ. ඒ නිසා තුන් දෙනා තවමත් එකා වගේ. මේ වෙන කොට ලන්ඩන් වල ඉන්න අක්කාට අපි හරි මොකක් හරි වැරැද්දක් කිවුවොත් ඕස්ට්‍රේලියාවේ ඉන්න මල්ලිට තද වෙනවා. ඒ වගේම තාමත් අපිත් එක්ක ඉන්න පොඩි එකාට මොනවත් කිවුවොත් අනිත් දෙන්නාට තද වෙනවා. එහෙම තමයි බං ඉන්න ඕන. ඒ වගේම මමත් අර වික්ටර් රත්නායක වගේමයි ප්‍රාර්ථනා කලේ. ඒ ප්‍රාර්ථනාවන්ගේ අන්තිම එක ඇරෙන්න අනිත් පහම මේ වෙන කොට උන් තුන්දෙනාටම ලැබිලා තියෙනවා. අන්තිම එකට උන්ට තව ඕන තරම් කල් තියනවා. ඒ වගේම උන්ටත් ඒ ගැන ලොකු ආසාවක් නෑ.
මේ සුදු පාට බේසමේම තමයි මීට අවුරුදු 65 කට කලිං මගේ අම්මා මාව නාවලා තියෙන්නේ. ඒක ඒ කාලේ අම්මා අරගෙන තියෙන්නේ රු 6.50 කට. මේ වෙන කොට ඒක ඉන්ග්ලන්ඩ් වල මගේ මිනිපිරීව නාවන්න ගෙනිහිං. මම එහේ ගිය වෙලාවේ ඒකිව නෑවුවා ඒකේ තියලා.
එච්චරයිනේ බං වෙන්න ඕන.







Comments

  1. ලස්සන විස්තරයක්. බොහොම ස්තූතියි ඔබට

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී