සල්ලි දීලා ලෙඩ හදා ගැනීම හෙවත් අමු ගොන් කම

මට අදත් හම්බ උනා මචං මගේ අතීසාර මිත්‍රයෙක්. මගේ වයසමයි. හොඳ ගුණ යහපත් එකා පේරාදෙණියේ ඉන්න කාලේ ජනප්‍රිය පොරක්. මේ වෙන කොට ලොකු කොම්පැනියක ඉහලම නිලධාරියා. හැබැයි තරුණ කාලේ හොඳට ඩ්‍රින්ක් එක දැම්මා. අපිටත් විහිලු කෙරුවා උඹ ඉතින් ඩ්‍රින්ක් එකක් දාන එකෙක් නෙවෙයිනේ කියලා. හැබැයි කවදාවත් බල කලේ නෑ බොන්න කියලා. ඉතින් මෑන්ට මේ වෙන කොට සිරෝසිස් හැදිලා. කකුල් බඩ ඉදිමිලා, පොඩි දුරක් යන කොට මහන්සිලු. හරිම දුකෙන් ඉන්නවා. මම ඉතින් එයාගේ හිත හැදෙන්න කතා කලා. දැන් අවුරුදු දෙකක ඉඳන් ඩ්‍රින්ක්ස් ගන්නේ නැතිලු. ඕක තමයි මචං හැමෝගේම කතාව. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහනවා. පොර ලඟදී ඉන්දියාවේ ගිහිලා අර දිල්ලි එයාර් පොර්ට් එකේ ඇවිද ගන්න අමාරු උනාලු. අර එයා පෝර්ට් එක ඇතුලේ තියන ඇවිද ගන්න බැරි අයව ගෙනියන කාර්ට් එකකලු ගියේ. ඔය අලුත් දිල්ලි එයාර් පොර්ට් එකේ ඇතුලේ දිග කිලෝ මීටරයක් වෙනවා. මම ගියාම ප්ලේන් එකට වෙලාව එනකම් ඕකේ එහාට මෙහාට ඇවිදිනවා කිමී 6ක් විතර. මාත් එක්ක යන අනිත් උන් වාඩි වෙලා ඉන්නවා. ඒ වගේමයි තායිලන්තයේ අලුත් ස්වර්ණභූමි එයාපොර්ට් එක. කිමී තුන්කාලක් දිගයි. මම එතනත් උඩ තට්ටුවට ගිහින් ඒ වගේම ඇවිදිනවා. ප්ලේන් එක එනකොට දවසේ ව්‍යායාම නිකම්ම ලැබිලා.ව්‍යායාමය ජීවිතයේ කොටසක් කර ගත්තාම අවස්ථාව ලැබුනු ගමන්ම ඒක කරන්න පෙලඹෙනවා.
ඉතින් මම අදත් කියන්නේ පොරවල් තමන්ගේ තරුණ කාලේ ජොලියේ ඉන්න කියලා සෞඛ්‍යයට හානිකර දේ වලට පුරුදු වෙලා පස්සේ නිරෝගී කම යදිනවා, ඉල්ලලා වැලපෙනවා. අර ස්ටීව් ජොබ්ස් කිවුවා වගේ තමන්ගේ සේසතම දීලාවත් නැති වුන නිරෝගී කම කෙනෙකුට ආපහු ගන්න බෑ. මොනවා කරන්නද බං ඒවා දැක දැකත් තරුණ උන් ඒවාම කරනවා.
මම ඊයේ කිවුවා නරක ඇඟ ඇබැහි වෙන මත් පැන් සිගරට් වගේ දේ වලින් මිදෙන්න අමාරුයි කියලා. විශේෂයෙන්ම තදින් ඇබ්බැහි වෙන හෙරොයින් වගේ දේවල්. ඒවා මුලින්ම ගන්නේ මත් වෙලා සොමියේ ඉන්න, පාට පාට ලෝක වල තනි වෙන්න. ඇබ්බැහි වුනාට පස්සේ අර පාට පාට ලෝක තවත් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ඒවා ගන්නේ නෝමල් විදියට ඉන්න. ඒවා නොගත්තොත් අප්සෙට්. නොගෙන ඉන්න බෑ. ඕවායින් හෙරොයින් වලට ඇබ්බැහි වුන අය ඒකෙන් ගලව ගන්න එක ලේසි නෑ. මම ඉස්සර ඒඩ්ස් මර්ධන එකේ වැඩ කරන කාලේ අන්තරාදායක ඖෂධ අධිකාරියත් එක්ක සෑහෙන මහන්සියක් ගත්තා ඔය වැඩේට. ඒවා කරන්න වෙනමම තැන් තියනවා. නගරයෙන් ඈත කැලෑබද වතුර ඇලක් එහෙම තියන තැන් තමයි තෝර ගන්නේ. මාස ගානක් යනවා ඒ වැඩේට. ඒ අතරේ සෑහෙන ගානක් පැනලා යනවා අර හෙරොයින් නැති වීම දරා ගන්න බැරුව ඒවා හොයා ගෙන. ඒවා නැතුව ඉන්න එක උන්ට හරිම අමාරුයි. ඇඟට එක එක අමාරු දැනෙනවා. ඒවාට කියන්නේ විත්ඩ්‍රෝවල් සිම්ප්ටම්ස් කියලා.10% ක් විතර පුනරුත්ථාපනය කරලා එවුවත් සමාජයෙන් උන්ව කුඩු කාරයා කියලා කොන් කරන නිසා, උන් දිහා සැකයෙන් බලන නිසා, උන්ව තමන්ගේ තැනකට වැද්ද ගන්නේ නැති නිසා බාගයක් විතර ආයිමත් කුඩු ගහන එවුන්ටම සෙට් වෙනවා. මට මේවා ගැන ෆුල් විස්තර පෝස්ට් එකකින් කියන්න බෑ. ඉතින් රජය මැදිහත් වෙලා අර පුනරුත්ථාපනය වෙච්ච උන්ට රස්සාවල් දීලා උන්ගේ ජීවිත වලට ආයිමත් වටිනා කමක් දෙන්න ක්‍රමයක් හදනවා නම් මේක තරමක් වත් හරි යනවා.
ඒත් කුඩු රජවරුන් ඉන්න ආණ්ඩුවකින් ඒක කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක හරියට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තරලාට කියලා රෝග වලක්වන්න යනවා වගේ වැඩක්. ඇයි යකෝ රෝග වැලැකුවාම උන් කොහොමද හම්බ කර ගන්නේ. අන්න ඒකයි ඔය පිලිකා මර්ධනය, ක්ෂය රෝග මර්ධනය, හෘද රෝග මර්ධනය වගේ වැඩ සටහන් අර රෝග වලට ප්‍රතිකාර නොකරන විශේෂඥ වෛද්‍ය වරුන්ට බාර දීලා තියෙන්නේ. මොකද ඒ ගොල්ලා පී පී කරන්නේ නෑ. නිමල් සිරිපාල මහත්තයා ඇමති කාලේ මේක හොඳින් තේරුම් අරගෙන ලිංගාශ්‍රිත රෝග මර්ධන ව්‍යාපාරයත් ඒ ලෙඩ වලට ප්‍රතිකාර නොකරන වෛද්‍ය වරුන්ට බාර දුන්නා. ඒකට අර වෛද්‍ය වරු එතුමා එක්ක වෛර බැන්දා. මුලින්ම එතෙන්ට ආවේ මම. උන් මාත් එක්කත් වෛර බැන්දා. කලින් මගේ යාලු උන් පවා මට විරුද්ධ වුනා. පෙත්සම්, කැලෑ පත්තර ගැහුවා. මෛත්‍රීපාල මහත්තයා ආවාට පස්සේ එතුමාවත් රවට්ටලා එතුමා කැමති වෙලා තිබුනා ආයිත් එතනට අර වගේ අයව දාන්න. ඒත් වාසනාවට එතුමා පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ බෙහෙත් ගත්තේ මගේ හොඳම යාලුවාගෙන් නිසා මට පුලුවන් උනා එයා එක්ක ගිහිං කරුණු පහදලා දෙන්න. කොහොම හරි මම අවුරුදු 7 ක් අල්ල ගෙන ගිහිං ඊට පස්සේ ආවෙත් මම වගේ එක්කෙනෙක් මයි. එයාත් ගියාට පස්සේ රාජිත සේනාරත්න ගොනාට ඇඳලා ආයිමත් ඒක බාර දුන්නා අර එම රෝග වලට බෙහෙත් කරන කෙනෙකුටම.
උන් පුද්ගලිකව හම්බ කරන්නේ ඒ ලෙඩ වලින් නිසා උන් කැමති වෙයිද බං ඒ ලෙඩ නැති වෙනවාට. බොරුවට හෝටල් වල මිලියන ගනං වියදම් කරලා වැඩ සටහන් කරනවා උන් උන්ටම. ඔය ලිංගාශ්‍රිත රෝග හැදිච්චි ලොකු ලොකු පොරවල් හොරාට යන්නේ ප්‍රයිවට් හොස්පිටල් වලට. මේ වෙන කොට ඒකත් හොඳ නැගලා යන බිස්නස් එකක් අර මානසික ලෙඩ වගේ. අර මගේ කතාවේ ඉතුරු ටික කියන කොට මම මේ සේරම විස්තර ඇතුව ලියන්නම්. ඒ කාලේ මම ඒඩ්ස් මර්ධන වැඩ සටහන් බොහොම අමාරුවෙන් හසන්තට වැඳලා වගේ කියලා කැමති කරවා ගෙන දොරමඩලාව වගේ වැඩ සටහන් වල කලා. ඒ කාලේ මිලියන දෙකක් බලන වැඩ සටහනක් ඒක. ඒ වගේම යන පුලුවන් හැම මාධ්‍යයටම ගියා. මොකද මම ඒ ලෙඩ වලින් හම්බ කෙරුවේ නැති නිසා. ඒත් මම ආවාට පස්සේ මම දැක්කේ නෑ ඒක කරනවා. ඒවා බලන්න ඕන නම් යූ ටියුබ් ගිහින් මගේ නම ටයිප් කරලා මගේ එකවුන්ට් එකට ගිහින් බලන්න.
හුඟාක් මේ පුරුදු ඇති වෙන්නේ රංචු ගැහීම නිසා. මේ රංචු ගැහීම හැම වයසකම වෙනවා. ඕනම එකෙක් පලවෙනි සිගරට් එක එහෙම නැත්තම් ඩ්‍රින්ක් එක අරගෙන තියෙන්නේ තනියම ගිහින් නෙවෙයි. රංචුවත් එක්ක ගිහින්. ඒ වගේම තමයි පලවෙනි ...... ගහලා තියෙන්නේත් රංචුව එක්ක ගිහින්. ඉස්සර අපේ කාලේ නම් සිගරට් වලට ඩ්‍රින්ක් එකට පුරුදු වුනේ ඉස්කෝලෙ යන කාලේ. ඒත් අපි වාසනාවට ඒවාට පුරුදු වුනේ නෑ. අපි ගියේ හොරාට පිචර් බලන්න, මූදේ නාන්න. හොරාට කුරුම්බා කඩන්න වගේ දේවල් වලට. ඒවා ඇබ්බැහි වෙන දේවල් නෙවෙයි. ඒවගේම පොරක් වෙන්න නම් මේ මේ දේවල් කරන්න ඕන කියලා චින්තනයකුත් තියෙනවා. ඩ්‍රින්ක් එකක් දාන්නේ නැත්තම්, ස්පෙයා වීල් එකක් නැත්තම්, ......ක් ගහන්නේ නැත්තම් ඌ පොරක් නෙවෙයි. එහෙම එකා හරිම අන්සෝශල්. ඉතින් පොරවල් සෝශල් වෙන්න අරවා කරනවා. මේක දැන් මාධ්‍ය වලිනුත් උලුප්පලා පෙන්වනවා. මම නම් මගේ දරුවන්ට මේ සමාජයේ තියන බොරු වලවල් ගැන හොඳට කියලා දුන්නා පොඩි කාලේ ඉඳන්ම. ඒ නිසා උන් බේරුනා. ඒ නිසා දෙමාපියන්ගේ වග කීම තමයි ළමයින්ව මේවායින් බේර ගන්න ගුරු හරු කම් දෙන එක. ඒත් අර සෝශල් වෙච්ච උන්ට ඒක කරන්න බෑ. යාලුවොත් එක්ක ගෙදර බොන එකාට එහෙම නැත්තං හතර ගාතෙන් ගෙදර එන එකාට පුලුවන්ද බං ළමයින්ව බේර ගන්න. අර බන්දුල විජේවීර කියනවා වගේ උන් ඔක්කොම හරහට යනවා.ඒකත් අහන්න පුලුවන් මම දාලා තියන ලින්ක් එකෙන්.




Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී