මේ වෙන කොට මම මේ අධ්‍යක්ෂ කියන මරාලෙට කර ගහලා සති තුනක් විතර වෙනවා වගේම මගේ පීපී එකට යන එකත් නවත්තලා. එකක් හවස ඉස්සර වගේ 4.30 වෙන කොට එතෙන්ට යන්න බෑ. ඊලඟට ඉස්පිරිතාලේ ඈයෝ එතෙන්ට එන්න පටන් ගත්තා උන්ගේ ප්‍රශ්න අරගෙන. ගාල්ලට ආපු දා ඉඳන් උන් එක්ක හොඳින් උන්න හින්දා. ඒ වගේම ඒ කාලේ ඉඳන්ම මගේ නෝනාත් කිය කිය හිටියා එයාටත් පීපී එකක් දාලා දෙන්න කියලා. ගෑනුන්ට පුලුවන්ද පීපී කරන්න මෙන්න මේ කෙල්ලවත් බලාගෙන ඉන්නවා කියලා ඒ හැම වෙලාවකම මම එයාව කපලා දැම්මා. ඒත් මේ පාර කොහොමත් කෙල වෙන්න තියන එක නේ කියලා මගේ පීපී එක එයාට බාර දුන්න මාසෙකින් විතර වහලාම දාන්න පුලුවන්නේ කියලා. ඒ උනත් සතියක් විතර යනකොට මේක නැගලා යන්න පටන් ගත්තා හිටු කියලා. ගිංතොට හිටපු සේරම මුස්ලිම් ගෑනු ටික සෙට් උනා නියමෙට. මම 75 ක් විතර බලපු එක නැග්ගා 125 ට විතර මාස දෙකකින්. එදා ඉඳන් අද මේ වෙනකම්ම එයා පීපී එක කලා එක එක තැන්වල. මම එදා අත ඇරිය එක අද වෙනකං ආයේ පටන් ගත්තේ නෑ. අපි අපේ ගෑනුන්ව අන්ඩර් එස්ටිමේට් කරන්න හොඳ නෑ බන්. උන්ට මාර ගටක් තියෙන්නේ.
මේ වෙන කොට හැම තැනම දෙපැත්තෙන්ම මිනී මරා ගන්නවා. හැමදාම ජේවීපී එකෙන් ඕගනයිස් කරපු පෙලපාලි. අපේ විශේෂඥ වෛද්‍යවරු අනිත් වෛද්‍ය වරු නර්ස්ලා එහෙම පෝලිමේ ගාලු පාර දිගේ යන කොට මට මතක් උනේ අපි මෙඩ්ඩො කාලේ වෙසක් භක්ති ගීත කියපු හැටි. ඔය අතරේ දවසක් ආරංචි උනා ත්‍රීමාවිතාන කියලා කොලඹ වෛද්‍ය ශිෂ්‍යයෙක් ඇතුලු තුන් දෙනෙක් ගෙනිහිං වැල්ලවායේදී මරලා පුච්චලා කියලා. මම දැන ගත්තා දැන් ඉතිං බඩුම තමා කියලා. කොහොම උනත් මිනිහාගේ අම්බලංගොඩ පැත්තේ තිබිච්චි ගෙදර මමත් ගියා. මම ඒ ගියේ ෆුල් බොක්කෙන්මයි. එතන හිටියා කරාපිටියේ මෙඩ්ඩො දෙතුන් දෙනෙකුත්. උන්ගෙන් මට ෆුල් සැලකිලි. උන් කිවුවා සර් තාම බොඩි එක කොලඹ ෆැකල්ටි එකේ කියලා. මම කිවුවා මම දැන් එහෙනම් කොලඹ යනවා බොඩි එක බලන්න කියලා ඔය ගොල්ලත් එනවා නම් නගින්න කියලා. අර ලූෂන් ජයසූරිය මහත්තයලා දීපු ෆෝඩ් ලේසර් කාර් එකේ උනුත් දෙන්නෙක් නැග්ගා. ගිහින් බොඩි එකත් බලලා අපහු ආවා. ඊට පස්සේ දවසේ නියෝග ආවා ඉස්පිරිතාලේ හැමෝම ත්‍රීමාවිතානගේ අවමගුලදාට මිනීපෙට්ටියක් උස්ස ගෙන ගාල්ල වටේ යන්න ඕන කියලා. ඊට පස්සේ මිනී පෙට්ටිය අරගෙන කට්ටිය ආවා කරාපිටියේ ඉඳලා මහමෝදර හොස්පිටල් එකට. මම කලින්ම එච් කිව් අයි ගම්මන්පිලට කිවුවා පුලුවන් තරම් දුරට යන්න දෙන්න කියලා මමත් මිනීපෙට්ටිය ඉස්සරහින්ම ගියා. අපේ ඉස්පිරිතාලේ එවුන්ට මම කිවුවා කොතනක හරි තැනකදී මම හැරුනොත් උඹලත් මා පස්සෙන්ම වරෙල්ලා මිනී පෙට්ටිය පස්සේ යන්නේ නැතුව කියලා. ඉතිං අපි ගාල්ල දිහාවට පයින් යන කොට ගම්මන්පිල මිනිහාගේ කට්ටියත් එක්ක අපේ ඉස්සරහින් අපි දිහා බලා ගෙන පිටි පස්සෙන් පිටි පස්සට යනවා. තැන් කීපයකදීම අපිව නවත්තන්න හැදුවත් මම කොහොම හරි කියලා කලුවැල්ල හරියට ආවා. එතනිං එහාට ගියොත් මිනිහාගේ යුනිෆෝම් එකත් ගැලවෙනවා ඒ නිසා වෙඩි තියන්න වෙනවා කිවුවා. මම එතනිං හැරිලා ආවා ඉස්පිරිතාලේ අය එක්ක. මෙඩ්ඩෝ ටිකව පොලිසියෙන් අල්ලලා අරං ගිහින් තිබුනා මිනීපෙට්ටියත් එක්කම. ඔය විදියට ඒකත් දෙපැත්ත ශේප් කරන් ගොඩ ගියා. හැබැයි කොලඹින් ආපු සීඅයිඩී එකේ අය ඒක විඩියෝ කරලා හිටපු කට්ටිය අඳුන ගෙන මා ගැනත් පොලිසියෙන් අහලා තිබුනා. එච්චරයි.
ත්‍රීමාවිතාන කේස් එක වෙලා දවස් පහකට විතර පස්සේ ඉස්පිරිතාලේ කොල්ලෝ පස් දෙනෙක් තාප්ප වල පෝස්ටර් ගහලා හමුදාවෙන් අරං ගිහින් තිබුනා බූස්සේ කෑම්ප් එකට. මේ වෙන කොට ආණ්ඩුවෙන් තද මර්ධන නීති දාලා. අලුතෙන්ම දාපු එක තමයි මුලු පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වෙන උසාවියක්. එක එක වැරදි කරලා අල්ල ගත්ත ඈයෝ ඒකට ගෙනැල්ල නඩු අහලා වැරදි කාරයා උනොත් එවෙලේම දඬුවම් දෙනවා කියලා. මේක දාපු දවසට පස්සේ දවසේම තමයි අපේ කොල්ලො පිස්සු කෙලියේ. දැන් අනිත් ඈයෝ එලියට බැහැලා උන්ගේ යුනියන් එකේ එවුන් මට කිවුවා මොනවා හරි කරන්න කියලා. මම දකුණු පලාත් මහ ඇමති එම් එස් අමරසිරිට කෝල් එකක් ගත්තා. මිනිහා මහ ඇමති වෙන්න කලින් මගෙන් බෙහෙත් අරගෙන තියෙන නිසා මම හොඳට දන්නවා. මම කිවුවා " සර් ද ආමි හැඩ් ටේකන් ෆියු ඔෆ් අවර් ලේබරර්ස්. අදර්ස් ආ ඔන් ස්ට්‍රයික්. ප්ලීස් හෙල්ප් ටු ගෙට් දෙම් රිලීස්ඩ්” කියලා.මිනිහා ඇහුවා “වට් හෑව් දේ ඩන්” කියලා. මම කිවුවාම “වයිල් පේස්ටින් පෝස්ටර්ස්” කියලා මිනිහා කියනවා “වට් ආමි හැඩ් ඩන් ඉස් රෝන්. දේ ෂුඩ් හෑව් ෂොට් ද බගර්ස්“ කියලා. දැන් ඉතිං කාට කියන්නද හැමෝම කිවුවා බූස්සට ගිහින් බ්‍රිගේඩියර් අල්ගම හම්බ වෙන්න කියලා. ඉස්කෝලේ යන කාලේ හොරාට කුරුම්බා බොන්න ගියාට පස්සේ බූස්සේ රේස් කෝස් එකට මම ගිහිල්ලාම නෑ. අනික මම හමුදාවේ මොකෙක් වත් අඳුනන්නෙත් නෑ. ඔහොම ඉන්න කොට ප්‍රොෆෙසර් නීල් ෆොන්සේකා ඇවිත් කිවුවා මිනිහාගේ ඔපරේෂන් පටන් ගන්න කොටම වැඩ කරන එවුන් ගියා ඒ මොකද කියලා. එතකොට මම කතාව කියලා මම ඉන්නේ අල්ගම හම්බ වෙන්න යන්න විදියක් නැතුව කියලා. එයා කිවුවා ටික කාලේකට කලින් අල්ගම ආවා කියලා මිනිහාගේ කුරුල්ලාගේ පොඩි ගැටයක් හැදිලා පෙන්නන්න කියලා අපි යමු කිවුවා මිනිහා හම්බ වෙන්න. පස්සේ එයායි, චීෆ් ඇනස්තෙටිස්ට් මෛත්‍රී රාජපක්ශ මහත්තයයි, යුනියන් එකේ තුන් දෙනෙකුයි එක්ක අපි ගියා බූස්සේ ආමි කෑම්ප් එකට. ගිහිං ටිකක් රස්තියාදු වෙලා මිනිහා හම්බ උනා. මෑන් ප්‍රොෆ්ව අඳුනා ගත්තා. ඉතිං මිනීමරු අල්ගම කියලා ප්‍රසිද්ධ උනාට එහෙම පෙනුමක් නම් තිබුනේ නෑ. හැබැයි මිනිහාගේ කට නම් චා……ටර්. මිනිහා විස්තර අහලා කිවුවා මට කරන්න දෙයක් නෑ දන්නවානේ ඊයේ රෑ ඉඳලා තියෙන නීතිය. මට කණගාටු මගේ වැයික්කියෙන්ම ඉස්සෙල්ලා යන එක ගැනයි කියලා කර්නල් අතුරැලිය කියලා කෙනෙක් ගෙන්නලා “රොහාන් කීයටද අර චොපර් එක එන්නේ අරුන් පස් දෙනා ගෙනියන්න” කියලා. එතකොට කිවුවා තවම කිවුවේ නෑ කියලා. එහෙනං පොඩි චාන්ස් එකක් තියෙනවා ඔක්කොම ඉස්පිරිතාලේ එවුන් ලියුමක් අත්සන් කරලා දුන්නොත් ආයිත් කවදාවත් පෝස්ටර් අලවන්නේ නෑ කියලා. එහෙම නැත්තං උඹලාගේ මෙන්න මේ ලොක්කගේ ඔලුවටයි ඉස්සෙල්ලාම වෙඩි තියන්නේ කියලා මගේ දිහාට ඇඟිල්ල දික් කරලා කිවුවා.මම හිතුවා ෂුවර් එකටම කලින් ඩිරෙක්ටර් මූටත් කියලා තමයි කියලා ෆුල් අප්සෙට් එකේ හිටියා. මම ප්‍රොෆ්ට කිවුවා අපරාදේ අපි ආවේ. මූට අරුන් පස් දෙනා මරාගෙන කන්න කියලා නිකං ඉන්නයි තිබුනේ කියලා. ප්‍රොෆ්ටත් ටිකක් අප්සෙට් මිනිහා කිවුවා “නෑ එදිරි තව ටිකක් බලමු. මුන් එක්ක කට ගහන්නත් බෑනේ මේ කාලේ “කියලා. ඉතිං අපි එන්න පඩි පෙල දිගේ පහලට බහින කොට අල්ගම මගේ අත අල්ලලා මාව පස්සට කරලා කිවුවා මම දැක්කා ඩොක්ටර්ට අප්සෙට් ගියා කියලා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
ඉතිං ආයිත් ඉස්පිරිතාලේට ගිය ගමන් අනිත් එවුන් ඇහුවා මොකද උනේ කියලා. ඒතකොට යුනියන් ඈයෝ වෙච්ච දේ කියලා බලපන් අරූ කිවුවා අපේ සර්ටත් වෙඩි තියනවා කියලා. අල්ගම මට වෙඩි තියනවා කිවුව එක හරිම ඉක්මනටම පැතිරුනා. උන් හොඳටම බය වෙලා පට පට ගාලා ලියන්න ගත්තා අර අල්ගම කියාපු විදියට. අනිත් එවුන් සේරම කොල වල අත්සන් කරනවා. කොහොම හරි පැය දෙකක් විතර යන කොට සේරම වගේ අත්සන් කරලා. කරාපිටියටත් ඇරලා එහේ කට්ටියත් අත්සන් කරලා. මේ කොල ටිකත් අරගෙන ආයිත් අපි ගියා අල්ගම හම්බ වෙන්න. ඒ වෙලාවේ අක්ෂි විශේෂඥ තිලක් ගුණසේකර මහතාත් අපිත් එක්ක ආවා. තිලක් ගුණසේකර කියන්නේ ඉස්සර බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙකුගේ පුතෙක්.
අල්ගම අර ලියුම කිවලා බලලා මගෙන් ඇහුවා මෙතන සේරමලා අත්සන් කරලාද කියලා. මම කිවුවා ඔවු කියලා. ඒ පාර ඒ බව ලියලා අත්සන් කරලා දෙන්න කිවුවා. ඊට පස්සේ අර කොල්ලෝ පස් දෙනාව ගෙන්නුවා. අර යුනියන් එකේ එවුන්ට කිවුවා බලන්න කියලා තුවාල එහෙම තියනවාද කියලා. නෑ කිවුවාම කලිසනුත් ගලවලා බලපල්ලා ඔක්කොම තියනවාද කියලා බලෙන්ම කලිසම් ගලවලා බැලෙවුවා. එහෙම කරලා කිවුවා නැත්තම් පස්සේ කියයි මිනීමරු අල්ගම මගේ ඇට ගලව ගත්තා කියලා. දැන් ඉතිං ඇඳ ගනිල්ල කියලා අර කොල්ලො පස් දෙනා ඉස්සරහට ගෙන්නලා කිවුවා දැන් උඹලා පස් දෙනා තමයි ඉස්පිරිතාලේ ඉන්න මගේ කැබිනට් එක. එතන මොනවා හරි උනොත් මම උඹලාගෙන් තමයි ඉස්සෙල්ලාම අහන්නේ. ඊට පස්සේ උඹලාගේ ලොක්කාගෙන් කියලා උන්ගෙනුත් අත්සන් අරගෙන එන්න දුන්නා. අපිට ටිකක් වෙලා ඉන්න කියලා මට කිවුවා කොහොමද ඩොක්ටර් මම උදේ කියපු එක වැඩ කරපු හැටි කියලා. දැන් ඉතිං හරි කියලා ඉස්පිරිතාලේ ගෙනියනවාට ස්තුති කරලා කිවුවා ඕනම වෙලාවක ඕනම දේකට කර්නල් අතුරැලියට කතා කරන්න කියලා එයාගේ ටෙලිපෝන් නොම්මරේ දුන්නා. මට හරිම පැහැදීමක් ඇති උනා මිනිහා ගැන. ඊට පස්සෙත් කීප වතාවක්ම මම එයා හම්බ වෙන්න ගියා. කොලඹ මූලස්ථානයට මේජර් ජෙනරල් කෙනෙක් වෙලා ගියාට පස්සෙත් හම්බ උනා. මිනිහාට මිනීමරු අල්ගම කිවුවාට මම හිතන්නේ නෑ එයා අහිංසක මිනිස්සු මැරුවා කියලා ඒක මට ෂුවර් එකටම කියන්න පුලුවන් අර එස්පී ලලිත් මං ගැන කිවුවා වගේ. අල්ගම 1989 ජා ඇල එජාප රැලියකදී කොටි බෝම්බෙකට අහු වෙලා මැරුණාම මට හරි දුකක් ඇති උනා. පස්සේ හොයා ගත්තා සුනිල් තෙන්නකෝන් කියලා මේජර් ජෙනරල් කෙනෙක් තමයි සූසයිඩ් බොම්බ් එක එතෙන්ට ගෙනත් ඒකිට අල්ගම පෙන්නලා තියෙන්නේ කියලා. ඒත් ඌට විරුද්ධව කිසි ඇක්ෂන් එකක් ගත්තේ නෑ. එතකොට තිබුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව. lankanewsweb.net/…/2697-army-intelligence-behind-lucky-alga…

කොහොම හරි ඊට පස්සේ කවදාවත් ගාල්ලේ ඉස්පිරිතාලේ කොතනක වත් පෝස්ටර් ඇලවුනේ නෑ. 1989 දී මහ චන්දෙ වෙලාවේ සිරිමාගේ මූණ අලවලා තිබුනා ඉස්පිරිතාලේ ඉස්සරහා බස් හෝල්ට් එකේ. ඒක දිගට යයි කියලා අපි ඒකත් හෙමිහිට ගලවලා දැම්මා

මේවා වෙලා සති දෙකක් විතර යන කොට ජේවීපී එකෙන් රට පුරා තිබූ ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තියලා කොහේවත් ලයිට් නෑ. කරාපිටියෙයි මහමෝදරයි ඉස්පිරිතාල වල ජෙනෙරේටර් තිබුනාට ඩීසල් නෑ. මුල දවස් වල ආමි එකට කියලා ගෙන්න ගත්තා. ඒත් ඇම්බියුලන්ස් වලට ඩීසල් නෑ. ඩොක්ටර්ස්ලගේ කාර් වලට පෙට්‍රල් නෑ. මගේ කාර් එකටත් එහෙමයි. අර ලූෂන් ජයසූරියලා දීපු එකට. මහමෝදර රෝහලේ ඉඳලා මීටර් 400ක් විතර ඈතින් ගාල්ල පැත්තට වෙන්න පෙට්‍රල් ෂෙඩ් එකක් තිබුනා. මම බ්‍රිගේඩියර් අල්ගමට ටෙලිෆෝන් කරලා ඇහුවා අපේ ජෙනරේටර් එකෙන් විදුලිය අර ෂෙඩ් එකට දුන්නොත් අපට ඒකෙන් පෙට්‍රල් ඩීසල් ගන්න පුලුවන් කරදරයක් නැතුව කියලා. “වට් අ ගුඩ් අයිඩියා ඩොක්ටර්” කියලා මිනිහා එදාම එවුවා ආමි ඉන්ජො දෙන්නෙක්. උන් දෙන්නා ඇවිත් ජෙනරේටර් දෙක බලලා කිවුවා ඒවායින් ටවුමෙ භාගයකට උනත් කරන්ට් දෙන්න පුලුවන් කියලා.පස්සේ ඒ ගොල්ල ගියාම මම ආයෙත් අල්ගමට කතා කරලා කිවුවා “දැන් ජෙනරේටර් එකෙන් වයර් අදින්න එන කොට මම ඒකට විරුද්ධ වෙනවා ඔය ගොල්ලා බලෙන් කරනවා වගේ කරන්න” කියලා.පස්සේ ඒක ඒ විදියටම උනා. අර ෂෙඩ් එක ආමි එකට ගත්තා සිකියුරිටිත් දැම්මා. අපිට හැම වෙලාවකම පැට්‍රල් ගැලුම් 500 කුත් ඩීසල් ගැලුම් 1000 කුත් රිසර්ව් එකේ තියන්න එකඟ උනා.ඔය කාලේ ගාල්ලේ දිස්ත්‍රික්කය භාරව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සොයිසා කියලා කෙනෙක්. මිනිහා ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. එයා මගෙන් ඉල්ලුවා ෂෙඩ් එකෙන් ඒ ගොල්ලන්ගේ ඉස්පිරිතාල වල ඇම්බියුලන්ස් වලටත් ඩීසල් දෙන්න කියලා. මම කිවුවා දැන් ෂෙඩ් එක තියෙන්නේ ආමි එක යටතේ ඒ නිසා බූස්සට ගිහින් ඒ ගොල්ලන්ටත් කෝටා එකක් වෙන් කර ගන්න කියලා. මිනිහා ගූ බය උනා ආමි එකට යන්න. අර එදා මගේ ඔලුවට වෙඩි තියනවා කියලා අල්ගම කියපු එක නැගලා ගිය නිසා මම ඉඳලා හිටලා ඒ පැත්තේ ගියාට කවුරුත් ගානකට ගත්තේ නෑ. ඊට පස්සේ දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෝ ෆනෑන්ඩු මහතා මට කෝල් එකක් දීලා සෑහෙන බටර් පාරක් ගෑවා. "අයි හර්ඩ් යූ ආර් ඩුයින් අ වෙරි ගුඩ් ජොබ් දෙයාර්. මිනිස්ටර් සුනේත්‍රා ඕල්සෝ ටොල්ඩ් මී දැට්. යූ නෝ සොයිසා ඉස් ඇන් ඕල්ඩ් ෆෙලෝ නෝ වයි ඩෝන්ට් යූ හෙල්ප් හිම් ටු ගෙට් අ කෝටා ඔෆ් ඩීසල්. ලූෂන් ඔල්සෝ ඉස් අවුට් ඔෆ් ද කන්ට්‍රි. දැට්ස් වයි අයි කෝල්ඩ් යූ කියලා “. කියලා. මමත් ඉතිං හිතුවා මිනිහාත් අපේ ලූෂන් වගේ වෙන්න ඇති කියලා වැඩේ කරලා දුන්නා. මම ඊට කලින් ජෝව හම්බ වෙලා තිබුනේ එක දවසයි.
මම ඕපීඩී එකේ වැඩ කරන කාලේ 1983 දි එවකට හිටි වෛද්‍ය අධිකාරී බොතේජු මහතා ඕපීඩී එකේ හැමෝගෙන්ම ඇහුවා ඇනස්තීසියා කරන්න කැමති අය ඉන්නවාද කියලා. ඒ වෙන කොට ඇනස්තෙටිස්ට්ලා නැතුව ඔපරේෂන් තියටර් එකේ එක පැත්තයි වැඩ කලේ. කවුරුත් කැමති උනේ නෑ ඇනස්තීසියා කරන්න. ඒ කාලේ ඕපීඩී එකට ආවේ පැය හය වැඩ කරලා චූන් එකේ ඉන්න ඕන අයයි පාඩම් කරන අයයි. මම ඉතිං ඔය දෙකටම නැති හින්දා අර හිත හොඳ අම්මංඩි වගේ කැමති උනා වැඩේට. ඊට පස්සේ මම දවසක් ඇර දවසක් නයිට් ඩියුටි අරගෙන උදේට ගියා ඇනස්තීසියා පුරුදු වෙන්න. මාසයක් විතර පුරුදු උනාම මට දුන්නා තනියම ලිස්ට් කරන්න. ඔය කාලේ තමයි ඩොක්ටර් පනාගමුව ආවේ සර්ජරි සීනියර් ලෙක්චරර් වෙලා. ප්‍රොෆෙසර් නීල් ෆොන්සේකා ආවේ ඊට පස්සේ. පනාගමුව මට සෑහෙන්න තෑන්ක් කලා ඇනස්තීසියා වලට ආවාට. මොකද යුනිවර්සිටි එකට තියටර් වෙලාව තිබුනේ ටිකයි. ඒ වෙන කොට ඉස්පිරිතාලේ හිටපු අනිත් විශේෂඥ වෛද්‍ය වරු බොහොම අකමැත්තෙන් හිටියේ ප්‍රොෆෙසර්ලා ආවාට. මොකද ප්‍රයිවෙට් ලෙඩ්ඩු යන්න ගත්තා ඒ ගොල්ලා ලඟට මහාචාර්ය කියන නමට. පනාගමුව දැන් ලංකාවේ ඉන්නවා. මේ ගැන එයාගෙන් දැන ගන්න පුලුවන් මම බොරු කියනවා කියලා හිතෙන කෙනෙකුට. ඔහොම ඉන්න කොට ඩොක්ටස්ලට ඕ ටී ගෙවන්න කියලා අනුමැතියක් ලැබුනා. දවසකට උපරිම පැය හතරයි. පැයකට රුපියල් 12 යි. දවසට 48 ක් හම්බ වෙනවා. නියම චාන්ස්. ඒ කාලේ අපේ පඩිය තිබුනේ 1000ක් විතර. මට පඩියට වැඩිය හම්බ උනා ඕටී. හවසට පීපී. එහෙම හිටපු මම තමයි ඕයි පස්සේ අර මරාලෙට කර ගහලා මිතුරො හතුරො කර ගත්තේ. පැට්‍රල් ගැලුමක් 30 යි. කාර් එකට ෆුල් ටෑන්ක් වදින්නේ 350 ක විතර. නයිට් ඩියුටි කරන නිසා ඒ කාලේ මම උදේට ඕපීඩී එන්නෙම නෑ. දවසක් ඕපීඩී ඉන්න මගේ යාලුවෙක් මට කිවුවා මචං අමුතු පොරක් ආවා ගිය සතියේ අපි හිතන්නේ මූ හොරෙක් කියලා. මම කිවුවා ගිහින් එම් එස් ට මේ ගැන කියන්න කියලා. පස්සේ ඌ ගිහින් එම් එස්ට කිවුවාම මිනිහාට බැනලා එලව ගෙන. “නෝ හී ඉස් නොට් අ බෝගස් ඩොක්ටර්. යූ ආ ද බෝගස් ඩොක්ටර්” කියලා. මොකද අලුතින් ආපු එකා උදේ 7.30 වෙන කොට ඇවිත් ලෙඩ්ඩු බලනවාලු. අපේ ඈයෝ ටිකක් පරක්කු වෙලා එන්නේ. ඒ නිසා අලුත් එකා එම් එස් ට නැගලා ගිහිල්ලා. අනික මූ ටයි එකක් දාලා විතරක් නෙවෙයි ටයි පින් එකකුත් ගහ ගෙනලු එන්නේ. ඒ වෙන කොට ඉස්පිරිතාලේ ටයි දැම්මේ වෛද්‍ය අධිකාරියි විශේෂඥ වෛද්‍ය වරුයි විතරයි. අනිත් අයට ටයි දාන්න කියලා ආවේ 1989 දී. ඔහොම මාසයක් විතර ගියාට පස්සේ ලේඩි ඩොක්ටර් කෙනෙක් කිවුවා දවසක් ඔලුව තුවාල උනු ලෙඩෙක් ගෙනැල්ලා මූ ලෙඩාව ඇතුල් කරන කොට එයා ඇහුවාලු ඇයි ක්‍රේනියල් නර්ව්ස් චෙක් කරන්නේ නැද්ද කියලා. එහෙම අහලා තියෙන්නේ මේකාව ටෙස්ට් කරන්නමයි. එතකොට මිනිහා ලෙඩාගේ ඔලුවට තට්ටු කරලා කිවුවාලු නෝමල් කියලා. පස්සේ දවසක් මම නයිට් ඩ්යුටි ඉවර වෙන්න කලින් 7.30 ට විතර පොර හම්බ උනාම ඌ කිවුවා උගේ නම විතාන කියලා. මම ඇහුවා ෆුල් නම. එතකොට කිවුවා ජේ කේ විතාන කියලා. එතකොට මට ක්ලික් උනා අපේ ජූනියර් බැච් එකේ හිටියා ජයිකා විතාන කියලා පොරක්. ඉන්ටර්න් ඉවර උනු ගමන්ම යූ කේ පැන්නා. මම කිවුවා මම නම් පේරාදෙණියේ ඔයා කොහේද කියලා. මිනිහා කිවුවා කොලඹ කියලා. අවුරුද්ද ඇහුවාම මූ ඉඳලා තියෙන්නේ මාත් එක්කමයි. දැන් මට ෂුවර් මූ හොරෙක් කියලා. මම කොලඹ අමාත්‍යාංශට ගිහින් ඒ කාලේ ඩිරෙක්ටර් මෙඩිකල් සර්විසස් හිටපු ජෝ ෆනෑන්ඩුට කිවුවා. මෑන් කිවුවා එයා තමයි පොරව ඉන්ටර්වීව් කලේ. එයා ජෙනුයින් කෙනෙක් කියලා. ඒ කාලේ දොස්තරලා ගේ ලොකු හිඟයක් තිබුන නිසා ඕනම ගෝනුස්සෙක් ගිහිං කොල ටිකක් පෙන්නලා මම දොස්තර කිවුව ගමන්ම බඳවා ගන්නවා. මම කිවුවා සර් ෆයිල් එක ගෙනැල්ලා බලමුද කියලා. එතකොට පොර මට බැනලා එලවා ගත්තා. මම කෙලින්ම ගිහින් කිව්වා ජී එම් ඕ ඒ එකට. එතකොටත් ලේකම් හිටියේ රත්නප්‍රිය එයාටත් මතකයි එයාගේ සීනියර් බැච් එකේ හිටපු ජයිකා විතාන. එයා කිවුවා එදිරි යන්න අපි මේක ලබන සුමානේම සෞඛ්‍ය ලේකම් එක්ක ගන්නම් කියලා. ඊට සතියකට පස්සේ මිනිස්ට්‍රි එකෙන් දන්නලා අර දොස්තරට එන්න කියලා සර්ටිෆිකේට් අර ගෙන. පොර දැන ගත්තා කේස් එක මෑන් මාරු උනා. බලන කොට මූ තංගල්ලේ ප්‍රයිවට් ෆාමසි එකක වැඩ කරපු එකෙක්. ජෝ ෆනෑන්ඩු පත් වීම දීලා තියෙන්නේ සර්ටිෆිකට් එකවත් නොබලා. ජී එම් ඕ ඒ එක නිසා අහු උනා. පස්සේ පත්තරේ පොඩියට දැන්වීමක් දැම්මා නම් පැටලිලා ෆාමසිස්ට් කෙනෙකුට දොස්තර පත් වීමක් දීලා පස්සේ ඒක හරි ගැස්සුවා කියලා. ඔන්න ඔහොමයි ඒ කාලේ ජෝලාගේ වැඩ. මේ ගැන සැක කෙනෙකුට අන්න ඉන්නවා රත්නප්‍රිය ලංකා හොස්පිටල් එකේ. අහලා බලන්න පුලුවන්. ඊට අවුරුදු තුනකට විතර පස්සේ බණ්ඩාරවෙල පොලිසියෙන් මට කෝල් එකක් ආවා එහාට එන්න කියලා කට උත්තරයක් ගන්න. මම වැරැද්දක් කරලා නැති හින්දා මම කිවුවා කවුරු හරි ගාල්ලට එවන්න කියලා කට උත්තර දෙන්න. පස්සේ සාජන් කෙනෙක් ආවා. කතා කරලා බලන කොට අර පොර ගිහින් බණ්ඩාරවෙල පීපී එකක් දාලා නැගලා යනවාලු. පස්සේ එහේ මන්ත්‍රීගේ අම්මාටත් බෙහෙත් කරලා ඒ මනුස්සයාටත් සනීප වෙලා මෑන් ලෑස්ති උනාලු මිනිහාගේ දූත් බන්දලා දීලා බණ්ඩාරවෙල ප්‍රයිවට් හොස්පිටල් එකකුත් දාලා දෙන්න. ඉතිං මූ ආවාට පස්සේ බණ්ඩාරවෙල ඩීඑම් ඕ ට හතේ හත වැදිලා. මිනිහා හොයා ගෙන හොයා ගෙන ගිහින් තමයි දැන ගත්තෙ ගාල්ලේ කේස් එක. මේක දැන ගත්තාම මන්ත්‍රීට හොඳටම තද වෙලා මූව රිමාන්ඩ් කරලා ඉන්න වාලු. ඒ කාලෙත් ඉඳලා තියෙන්නෙ අද වගේම ගොං මන්ත්‍රීලා ඕයි. නැත්තං සල්ලි හම්බ කරපු පලියට එහෙමත් දූලා දෙනවාද. අන්න දූ අරූත් සෙට් උනා නම් තව කමක් නෑ. සාජන් කියනවා සර් මමත් කකුලේ අමාරුවක් තිබිලා ඩී එම් ඕ මහත්තයාගෙන් බෙහෙත් අරගෙන ගුණයක් නැති නිසා කවුරුත් කියන නිසා එයාගෙනුත් බෙහෙත් ගත්තා. එක පාරින්ම සනීප උනානේ කියලා. මට පෙන්නුවා මිනිහාගේ ෆොටෝ එකක් අඳුනන්න පුලුවන්ද කියලා. මම කිවුවා අඳුනන්න පුලුවන් කියලා. ඊට පස්සේ මොනවා උනාද කියන්න මම දන්නේ නෑ. මම මේ ටික කිවුවේ ජෝ ෆර්නෑන්ඩුලාගේ හිස්ට්‍රිය දැන ගන්නයි. 1989දී අච්චර උදවු කරලාත් මිනිහා මට කරපු දේ පහු වෙන කොට බලා ගන්න පුලුවන් වෙයි. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ කාලයක් යන කොට අර වෙච්ච දේවල් උදවු කරපු අය අමතක වෙලා වෙන පොරවල් වලට සෙට් වෙනවා.
ඉස්සර එක තුන්ඩු කෑල්ලෙන් කසිප්පු පෙරන එක නැවැත්තුවා. ගස් කපන එක නැවැත්තුවා. මට මතකයි ජෝ අබේවික්‍රමත් ගස් කේස් එකකට අහු වෙලා දඬුවම් වින්දා. අපේ ගමේ එකෙකුට කසිප්පු බැරල් එක ඔලුව උඩ තියා ගෙන දවසක් ඉන්න දඬුවම් දුන්නා. පැය ගානකට පස්සේ ඌ ඒක බිම තිබ්බාම වෙඩි තියලා මැරුවා. පැජරෝ වල යන එක තහනම් කලා. පොරවල් මන්ත්‍රී කම් වලින් අයින් උනේ අයින් වන බවට බැනර් එකකුත් දාලයි. පහු වෙන කොට කඩවල් ඇරියේ අල්ලපු කඩේ ඇරලා නම් විතරයි. මොකද පහු වෙන කොට ජේවීපී එක තුංඩු එවන එකත් නවත්තලා කටිං කියන්න පටන් ගත්තා. මේවා අපේ උන් ඉක්මනටම අමතක කලා. නැත්නම් මේ තරං හොරකම් කරයිද අපරාද කරයිද. අර ඒ කාලේ ගාල්ලම හොල්ලා ගෙන හිටපු අබේසේකර කියන පොර 1989 දී එක දවසක් රෑ ගෑනියකුගේ ඇඟ උඩ ඉඳිද්දීයි වෙඩි තියලා මැරුවේ ගෑනිව බේරලා. අර 1975 දී අපේ වී ඕ ජී පොරට තොලේ මැහුම් ගැලවෙන්න ගහපු එකා. බර්ත්ඩේ සූට් එක පිටින්ම ලේ පෙර පෙර ගෙනාවාලු හොස්පිටල් එකට.

ඕවා මගේ යටි හිතේ තියන හිංදා වෙන්න ඇති අර මම ලඟදී දවසක් හීනයක් දැක්කේ සේරම ඔනරබල්ලා බර්ත් දේ සූට් එක පිටින් පාරට වෙලා ඉන්නවා. අනේ මචං ඒක ඇත්තට වෙනවා නං. ඒක දැකලා මැරුණත් කමක් නෑ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී