ගම අත ඇරලා ඇවිත් මොනවාද අපිට ලැබුණේ

මම අද උදේ ගියා ගාල්ලේ තිබුණු අපේ නෑයකුගේ මරණයකට. ඒක පාලර් එකේ තිබිලා කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට දුන්නා මෙඩ්ඩන්ට ඉගෙන ගන්න. ඊට පස්සේ මම ගියා මම අවුරුදු 20 ක් හිටපු අපේ ගමේ ගෙදර බලන්න. බලු බල්ලෙක් නැතිව ඒක වහලා තියනවා. බලා ගන්න එකා මම හිතන්නේ සති ගානකින් ඇවිත් නෑ පැත්ත පලාතේ. මොකද මම කලින් කියන්නේ නැතුවයි ගියේ. මේ ලෝකේ සියලු දේ නැති වෙනවාය, කිසිම දෙයක් මට ඕන විදියට පවත්වා ගන්න බැරිය කියන ලෝක ධර්මතාවය මම තේරුම් අරගෙන හිටියත් ඒ ගෙදරත් පරිසරයත් අද තියන හැටි දැක්කම හිත වාවන්නේ නැතුව ගියා. අර අවේලාවේ පුද්ගලික ලෙඩ්ඩු බලාපු මස් වැද්දාව අල්ල ගත්ත නිසා 1993 මාව කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ කමින් අස් කරලා කොලඹ යන්න වුන එක මම මීට ගොඩක් කලින් කියලා තියෙනවා. එහෙම නොවුනා නම් මම කවදාවත් ගාල්ල දාලා එන්නේ නෑ. එහෙනම් අර ඉඩමට ගෙට අරහෙම වෙන්නේ නෑ.
ඉස්සර අපි පුංචි කාලේ අපේ ආත්තම්මා උදේට මිදුල අතු ගානවා බිම පොල් අත්තක් වගේ පේන්න.හවසට ආයිමත් අතු ගානවා මොකද මිදුල වටේ තිබුන අඹ, බෙලි, කොස්, දෙල් වගේ ගස් වල කොල වැටිලා නිසා. සමහර වෙලාවට අපිටත් බොරුවට බනිනවා මිදුල හැඩි කරනවා කියලා. ඊ ලඟට වත්ත වටේටම තිබුන අරලිය මල් වැට දැන් උස් වෙලා. හරක් එනවාට බැඳලා තිබුනු වැටවල් කැඩිලා ගිහින්. මට හිතුනා අපි මේ කොලඹ පර්චස් විස්සකට කොටු වෙලා මොනවා කරනවාද කියලා. මම හිතා ගත්තා මගේ බාල කොල්ලාත් එකලසක් උනාට පස්සේ ආයිමත් ගමට යන්න. ගිහින් හම්බ කරන්න නෙවෙයි ජොලියට පුරන් වෙලා තියන කුඹුරු ටික පාඩුවට හරි අස් වද්දලා ඒ දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්න. පොල් ගස් වලට පෝර ටිකක් දාලා ගන්න. කිතුල් ගස් වල මල් ආවාම ඒවා මද්දවලා පැණි හකුරු හදන්න, ගහේ ඉදුණු වරකා කන්න. මගේ මූණු පොත් යාලුවෙක් වෙන හේම විදානපතිරන මහත්තයා ගමේ කුඹුරක් කරන හැටි දාලා තිබුන වෙලාවෙත් ඕක මගේ හිතට ආවා. ඉතින් හවස ආපහු හයි වේ එකේ කොලඹ එන කොට මට මතක් වුනා මේ රටේ හිටපු හොඳ ගේය පද රචකයෙක් වුනු ප්‍රේමකීර්ති අල්විස් ලියපු මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු මා එක්කලා කියන ගීතය. මේක මම රේඩියෝ එකෙන් මුලින්ම ඇහුවෙත් 1970 ගනන් වල ඔය මම කියපු ගෙදර ඉඳගෙනමයි.ඒ කාලේ ප්‍රේමකීර්ති බිරිඳත් එක්ක තරහා වෙලා ගෙදරින් පිට වෙලා ඉන්න කාලේ තමන්ගේ නෝනාට මෙහෙම හිතෙනවා ඇති කියලා ලියාපු ගීතයක් කියලා පසු කාලේක එයා අපට කිවුවා බොරැල්ලේ තිබුණු ඩියුරෝ කියන වයින් ස්ටෝස් එකේදී හම්බ උන වෙලාවක.
(මේ සිංදුවේ තියනවා අර අපේ ආත්තම්මා ඒ කාලේ කරපු එක). //මිදුලේ වැටුණු කොල සේරම අතු ගාලා, ගේ ලඟ වැට කඩුල්ලට බැරි බර දීලා//. මේ අම්මා කියනවා තමන්ගේ දුවට හවස මිදුල සුද්ද කරලා ඇවිත් ඉස්සරහා වැටේ කඩුල්ලේ වාඩි වෙලා, රෑ එලි වෙන කම් ඉඳිමු තාත්තා එන කම් කියලා. (ඉස්සර අපිත් තාත්තා කොලඹ ගිය දාට අපේ වත්ත වටේ තිබුණු වැටේ කඩුල්ල උඩින් වාඩි වෙලා බලා ගෙන ඉන්නවා තාත්තා මිදි ඇපල් අරගෙන එනකම්). ඊලඟ පදය - //හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමූ//. දැන් පොඩි එකාට නිදි මත වෙන එක වලක්වන්න අම්මා කියනවා තරු ගණිමු කියලා. තරු ගණන් කරලා ඉවර කරන්න බෑනේ ඉතින් පොඩි එකා දිගටම ගණන් කරනවා නිදි මත වෙන්නේ නැතුව. (ඉස්සර කරාපිටියේ ක්වාටස් වල ඉඳලා හැම ඉරිදාකම මම ඔය ගමේ ගෙදරට යනවා අම්මා තාත්තා බලන්න මගේ අවුරුදු 3ක විතර කෙල්ලත් එක්ක. ගිහින් මහ රෑ ආපහු එනකොට මේ පොඩි කෙල්ලට නින්ද යනවාට මම කියනවා පාරේ ඉන්න බල්ලෝ සීයක් ගණන් කරමු කියලා. මොකද ඒ කාලේ මගේ ලඟ තිබුණු පරණ ජීප් එකේ සීට් බෙල්ට් තිබුනේ නෑ. කෙල්ල පැනලා හා කියනවා. ඉතින් අපි දෙන්නාම වාහනේ එන ගමන් හැතැප්ම 15 ක් විතර පාර දෙපැත්තේ ඉන්න බල්ලෝ ගණන් කරලා ඇවිත් ඒ කාලේ ක්වාටස් වල ඇති කරපු බල්ලෝ තුන් දෙනාත් ගණන් කරලා කෙල්ල නිදා ගන්නවා.මට මේකත් අද ආයිත් මතක් වුනා බං. ඒ කෙල්ල දැන් හැතැප්ම දාස් ගානක් එහාට වෙලා ඉන්නවා). ඊලඟට //දෙදෙනාගේම දුක තල් අත්තක ලියමූ//. අම්මගෙයි දුවගෙයි හිතේ තියන දුක ලියන්න තල් පතක් මදි නිසා තල් අත්තක ලියමු කියනවා. (මට නම් තල් ගහක්ම ඕන වෙයි මගේ හිතේ තියන ඒවා ලියන්න). //හඳ මාමා අතම ඒ පණිවිඩ යවමූ, හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ//. අර ලියපු පණිවුඩ හඳ මාමා අතම තාත්තාට යවමු. අපි දන්නේ නැති වුනාට තාත්තා ඉන්න තැන හඳ මාමාට පේනවානේ. මොකද හඳ පායපු දාට රටේ හැමෝටම ඒක පේන නිසා.( හැබැයි මට ඒක කරන්නවත් බෑ. මොකද අපිට හඳ පේන කොට ඉන්ග්ලන්ඩ් වලට පේන්නේ ඉර නිසා).
ප්‍රේම කීර්ති නම් ටික කලකට පස්සේ ගෙදර ගිහින් තියන නිසා අර අම්මාගෙයි දුවගෙයි දුක නැති වෙන්න ඇති. ඒත් මගේ දුක කවදා නැති වෙයිද දන්නේ නෑ. ඒක වෙන්න නම් මේ රටට ආදරේ කරන ආණ්ඩුවක් එන්න ඕන. මම මැරෙන කලුත් එහෙම එකක් පේන තෙක් මානෙක වත් නෑ. මම කවදාවත් නොහිතපු මහාචාර්ය වරු පවා අර වහල්ලු ගොඩවල් වල ඉන්නවා කියලා අද පසක් වුනා. ඒ නිසා ආයෙත් අපිට ලැබෙන්නේ රට නැති කරපු එවුන්ගෙන් කට්ටියක්ම තමයි.
මම මේ සිංදුවේ ලින්ක් එක දානවා බොලාට අහන්න. බොක්කෙන්ම අහපල්ලා. හැබැයි ඔය තට්ටු මහල් නිවාස වල ඉන්න එවුන්ට නම් මේවා තේරෙන එකක් නෑ. ඇයි යකෝ ගහක් කොලයක් පලාතක නැති එපාට්මන්ට් වල ඉන්න එවුන් කවදාද මිදුල් අතු ගානවා දකින්නේ. කොහොමද වැටවල්, කඩුල්ලවල් වැලි පොල් කටු ගැන දන්නේ. හඳ නම් දකිනවා ඇති සයිඩ් එකෙන්.
මගේ පොඩිම එකා ඒ කාලේ කඩුල්ල උඩ වාඩි වෙලා ඉන්න වීඩියෝ කෑල්ලක් දානවා ඒක බලා ගන්න. ඒ කාලේ උන්ට ගම කොච්චර පුරුදුද කියනවා නම් කඩුල්ල උඩ ඇන තියාගෙන බැලන්ස් එකේ ඉන්න පුලුවන් වැටෙන්නේ නැතිව.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී