මම ගාල්ලේ මහින්ද විද්‍යාලයේදී 8 පන්තියේ අන්තිම වාර විභාගයට ගත්ත ලකුණු අනුව විද්‍යාව කරන්න තේරුනා. ඒ කාලේ කවුරුත් අර ඉස්කෝලේ උගන්නන නිසා ඉගෙන ගන්නවා. වාර විභාග වලට ඉන්නවා මිසක් දොස්තර, ඉංජිනේරු වගේ ඒවා ගැන හීන තිබුනේ නෑ. ඒ වගේම ගෙවල් වලිනුත් ඒ වගේ බලපෑම් තිබුනේ නැති නිසා අපිට අපේ ළමා කාලය පාසලේදීත් හොඳින් ගෙවන්න පුලුවන් වුනා. මමත් ඉතින් ඔහේ යන්නන් වාලේ විද්‍යාව පන්තියට ගියා. එතෙක් ඉගෙන ගත්ත දේවල් වලට අමතරව ජීව, භෞතික හා රසායන විද්‍යාව කියලා අහලාවත් තිබුනේ නැති විෂයයන් තුනක් පටන් ගත්තා. මේවා මොනවාද කියන්නවත් අපි දැන ගෙන හිටියේ නෑ. මට තාම අද වගේ මතකයි මුලින්ම රසායන විද්‍යා පාඩම පටන් ගත්ත දවස. ඒ කාලේ ඉස්කෝලේ හිටියා හරිම වස ගුරුවරයෙක්. එයා දකින කොට කොල්ලෝ පන්ති වලට දුවනවා. එයාගේ නම සෙනෙවිරත්න. ආදරේ වැඩි කමට කොල්ලෝ කිවුවේ රකුසා කියලා. සමහරු දිය රකුසා කියලාත් කිවුවා. මම මේ නම කියන්නේ එතුමාට කිසිම අපහාසයක් කිරීමට නෙවෙයි.
ඉතින් එදා රසායන විද්‍යාව උගන්වන්න ආවේ වෙන කවුරුත් නෙවෙයි මේ සෙනෙවිරත්න මහත්තයා. අපි හරිම බය උනා එයා දැක්කාමත්. ඒත් එයා අපිට උගන්නපු විදියට පසු කාලීනව අපි බොහෝ දෙනෙකුට එයා ගැන හරිම ආදරයක් භක්තියක් ඇති වුනා. මුලින්ම ආපු දවසේ රසායන විද්‍යාව හඳුන්වන්න කලින් භෞතික සහ රසායනික කියන එක අපූරුවට හිතට වදින්න කියලා දුන්නා. භෞතික විපර්යාසයක් ලෙස ගත්ත උදාහරණය තමයි කඩදාසියක් ගුලි කිරීම. එතනදී හැඩය වෙනස් වුනත් කඩදාසිය වෙනස් වුනේ නෑ. ඊලඟට කඩදාසිය ගිණි තැබීම රසායනික විපර්යාසයක් ලෙසත් මෙතනදී කඩදාසියේ සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒක අලු බවට පත් වුනා කියලා. මට මේක හොඳට ඔලුවට වැදුනා. තවමත් මට ඒ දවස මතක ඒකයි. ඊට පස්සේ භෞතික විද්‍යා පාඩමට යන කොට අපිට දැනීමක් තිබුනා ඒ මොනවා ගැනද කියලා. අපිට ඒක උගන්වන්න ආවේ ගුණවර්ධන කියලා හරිම සුදු පාට කෙනෙක්. ඒ නිසා එයාට කොල්ලෝ කිවුවේ චීන ගිරවා කියලා. සමහරු ආදරේ වැඩි කමට චීනා කියලත් කිවුවා. ( මම හිතනවා මේ යන විදියට ගියොත් තව අවුරුදු 25/30 ක් යන කොට රටේ හැම තැනම වගේ චීන ගිරවු, ගිරවියෝ ඉඳියි කියලා). ඒත් චීනාට බැරි වුනත් හරියට විෂයය හඳුන්වලා දෙන්න සෙනෙවිරත්න මහත්තයා කලින් කියලා දීපු නිසා අපි දැන ගෙන හිටියා විෂයය මොකක් ගැනද කියලා. ඔය විදියට රසායන විද්‍යාව මගේ ප්‍රියතම විෂයය වුනා. ඒ වගේම විද්‍යා විෂයයන් ගැන ලොකු ආසාවකුත් ඇති වුනා. මේ නිසා උසස් පෙලට එන කොට මම නොදන්න රසායනික ක්‍රියාවක් නැති තරමට මම ඒක ඉගෙන ගත්තා. ඉතින් මෙන්න මේ සෙනෙවිරත්න මහත්තයා දාපු අඩිතාලම මත තමයි අන්තිමට මම වෛද්‍ය වරයෙක් වුනේ. ඒ නිසා අදටත් මා තුල එතුමා ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්.
බොලා හිතනවා ඇති ඊයේ ආගම් ගැන කියලා අද විද්‍යාව ගැන කියන්නේ මූට අමු කැවිලාද කියලා. නෑ මට කියන්න ඕන වුනේ යම් දෙයක් උගන්වද්දී අදාල දේ හරියටම මුල දවසේ ඉඳන්ම උගන්වන්න ඕන කියන එකයි. හරියට ප්‍රවේශය ගන්න ඕන කියන එකයි. ඒත් අද ළමයින්ට බුදු දහම උගන්වද්දී එහෙම හරි ප්‍රවේශයක් ගන්නවා මම දැකලා නෑ. දහමට අදාල දේ හැලිලා අදාල නොවන දේ උගන්වනවා. එදා සෙනෙවිරත්න සර් අර විදියට විෂයට ප්‍රවේශය නොගෙන එයා මවු කුසේ ඉන්න කාලේ අම්මා දැකපු හීන හරි, එයා මුලින්ම ඉස්කෝලේ යන දවසේ ඉස්සරහට හම්බ වුනේ කලු පූසෙක්ද, සුදු පූසෙක්ද එහෙම නැත්නම් මැරිච්ච පූසෙක්ද වගේ දේවල් කිවුවා නම් අපිට අර විෂයය ගැන අර තරම් ඔලුවට වදින්නේ නෑ. ඒ වගේම පසු කාලේ එයා විභාග පාස් කරන්න විඳපු දුක්, එයා රෑ පාඩම් කරන කොට අක්කා තේ හදලා දුන්න හැටි වගේ දේවල් කිවුවා නම් ඒවා තමයි අපේ ඔලුවට යන්න තිබුනේ. නමුත් ඒවා රසායන විද්‍යාවට කොහෙත්ම අදාල දේවල් නෙවෙයි. ඒවා දැන ගත්තා කියලා රසායන විද්‍යා දැනුම ලැබෙන්නේ නෑ. නමුත් එයා හරියටම ප්‍රවේශය ගත්ත නිසා අපිට රසායන විද්‍යාව හරිම ප්‍රිය විෂයයක් වුනා. ඒ විතරක් නෙවෙයි පසු කාලේක මම යම් යම් දේශන පවත්වද්දී ප්‍රේක්ෂකයින්ගේ අවධානය නොකැඩී තියාගන්නත් මෙය හරිම උපකාරී වුනා. දේශනයක් පටන් ගන්න කොටම හරියට මාතෘකාවට ප්‍රවේශ වුනේ නැත්නම් අහගෙන ඉන්න අයට ඒක හරිම නීරස දෙයක් වෙනවා. ඒ අයට කිසිම දෙයක් හිතට වදින්නේ නෑ. මම විශ්වාස කරනවා මේකෙන් බොලාට හිතන්න යමක් දුන්නා කියලා.
මම ඊයේ කිවුවා වගේ අද වෙන කොට බුදු දහම හුඟාක් අයගේ හිත් වලින් අයින් වෙලා ඒ වෙනුවට බුද්ධාගම ඇතුල් වෙලා තියනවා. බුදු දහම කියන්නේ පිලි පැදිය යුතු දෙයක්. ගමන් කල යුතු මාර්ගයක්. ඒක යමෙක් තුල සිදු වන දෙයක්. බොහෝ විට කාටවත් පේන්නේ නෑ අයෙක් ඒ මගේ යන එක. මම මග කියලා කියන්නේ ආර්‍‍ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒක පටන් ගන්නේ යහපත් දැමෙන්. යහපත් දැක්ම කියන්නේ යමෙකු හිතට එකඟව දකිනවා කියන එක නෙවෙයි. මොකද බොහෝ දෙනෙකුගේ හිතට එකඟ දේ කොහෙත්ම යහපත් නොවන නිසා. මේක බොහොම පළල් මාතෘකාවක්. කෙටියෙන් කියනවා නම් යමෙක් මිත්‍යාව මිත්‍යාවක් ලෙසම දකීද එපමණකින්ම ඔහු සම්මා දිට්ඨික වෙනවා. යහපත් දැක්මක් ඇති අයෙක් වෙනවා. ඔහු ආර්‍‍ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිශ්ට වීමට මූලික සුදුසු කම ලබනවා. දැක්ම යහපත් වෙන කොට සිතිවිලි යහපත් වෙලා අර මාර්ගයේ යැවෙනවා. නමුත් අද අපේ රටේ ඉන්න බුද්ධාගම් කාරයින් කොයි තරම් මිත්‍යාවට බර වෙලා තියනවාද. ඒකෙන් අන්ධ වෙලා තියනවාද කියලා දකින කොට අර මාර්ගයේ ප්‍රවේශය එතනින්ම නැවතිලා තියනවා. ඉතින් මොන ආර්‍‍ය අෂ්ඨාංගික මාර්ගයක්ද. මොන බුදු දහමක්ද. මේ විදියට බලද්දී අද මේ වෙන කොට මේක බෞද්ධයින් ඉන්න රටක් නෙවෙයි, බුද්ධාගම් කාරයින් ඉන්න රටක්.
අනිත් අතින් ගත්තාම ආගම කියන්නේ ආභරණයක්. ඒක අවශ්‍ය වෙලාවට පැලඳගෙන අනිත් වෙලාවට ගලවලා අරන් තියනවා. මේක පැලඳ ගත්තාම හැමෝටම හොඳට පේනවා. කවුරුත් කියනවා ශා හොඳ බුද්ධාම් කාරයා, බෞද්ධ නායකයා, ආගම රැක ගන්න නම් මෙයාම තමයි ඉන්න ඕන වගේ දේවල්. සුදු ඇඳලා ලොකු මල් වට්ටියක් ගන්නවා කියන්නේ හොඳ ආභරණයක්. කඨිණ රෙද්ද කියන්නේ තව එකක්, රුවන්වැලි සෑය වටේට ලොරි ගණන් පළතුරු පූජ කරන එක, කොඩි එල්ලන එක, කහ රෙදි ඔතන එක බොහොම හොඳ ආභරණ. එතකොට අර මාකඳුරේ සුරේෂ්ද මඩුෂ්ද කියන කුඩු මුදලාලි පන්සල් වලට ගොඩනැගිලි හදලා දුන්නාම වාහන අරගෙන දුන්නාම ඌ හරිම ලොකු බුද්ධාගම් කාරයා. ඇත්ත ඌ ආගමට ලොකු මෙහෙයක් කරනවා. ආගම පතුරුවන්න ආගමේ නායකයින් පුම්බන්න ලොකු මෙහෙයක් කරනවා. චෛත්‍ය පාට කරන එක, පන්සල් වල තාප්ප පේන්ට් කරන එක පහුගිය දවස් වල බුද්ධාගමේ කුමාර වරු යස අගේට කලේ. හැබැයි පස්සේ මේ ආභරණ ගලවලා දාලා කරන්න තියන හැම අසික්කිත වැඩක්ම කරනවා. මේ ආභරණ අවශ්‍ය වෙන්නේ ඇතුලත දහමින් හිස් අයටයි. මොකද උන්ට පෙන්නන්න තියෙන්නේ එච්චරයි. හරියට කිසිම උගත් කමක් හරි මොනම වටිනා කමක් හරි නැති කෙනෙක් පිටින් වටිනා කමක් අටවා ගන්න රත්තරන් පොරවා ගන්නවා වගේ තමයි. දැනුමින් ක්‍රියාවෙන් පොහොසත් සමහර අය අඩු ගණනේ මගුල් මුද්දවත් දාන්නේ නෑ. මම විශ්වාස කරනවා බොලාට හිතන්න යමක් මම දුන්නාය කියලා.
හෙට තව ටිකක් දාන්නම් කැමති කෙනෙකුට බලන්න. බැලුවත් නැතත් මට කියන්න ඕන ටික මම දිගටම ලියලා දානවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී