1981 දී බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනිය කියන නමින් හැඳින්වුනු අගමැතිනි මාග්‍රට් තැචර්ගේ කාලයේ උතුරු අයර්ලන්තය එක්ක තිබුනු යුද්ධය නිසා හිරේට ගත්ත අයර්ලන්ත හමුදාවේ හිටපු අවුරුදු 28 ක් වුනු බොබී සෑන්ඩ්ස් දවස් 60 ක්ම නිරාහාරව උපවාස කරලා මැරිච්ච වෙලාවේ මිනිහෙකුට එහෙම කරන්න පුලුවන්ද කියලා එතකොට අවුරුදු 28ක් වෙච්චි මම පුදුම උනා. අනික ඒ වෙන කොට බොබී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් මන්ත්‍රී කෙනෙක් හැටියට පත් වෙලා තිබුනේ. ඒත් කවදාවත් පාර්ලිමේන්තුවට ගියේ නෑ. ඒ කාලයේ වේල් තුනම හොඳට සොසේජස්, පීකුදු එක්ක ඇදලා ඇරලා ඌරෙක් වගේ හිටපු මමත් ටික දවසක් කෑම නොකා ඉන්න තීරණය කරලා දවසක් ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේ ක්වාටර්ස් එකේ මගේ කාමරයට වෙලා හිටියා. යන්තම් හවස 2 විතර වෙන කොට ඇඟ ගැහෙන්න ගත්තා බඩ ගින්නේ. හතර විතර වෙන කොට ඉන්නම බැරි වෙලා ඉස්පිරිතාලේ ඉස්සරහා තිබුනු අබේසේකර හෝටලයට ගිහින් දුන්න ඇරියසුත් කවර් වෙන්න.
ඉතින් ඊට පස්සේ මට බොබී සෑන්ඩ්ස්ව පෙනුනේ මහ පුදුම ප්‍රාතිහාර්යයක් කරපු මිනිහෙක් හැටියට. ඇයි බං දවස් හැටක් තමන්ගේ උවමනාවෙන් මැරෙන කම් නොකා ඉන්න. කෑම නැතුව මැරෙන එක වෙනයි. ඒත් කෑම තියෙද්දී. මෙතෙන්දී මට මතක් වෙනවා අර බුද්ධාගමේ (බුදු දහමේ නෙවෙයි හොඳේ ) කියන පුත්‍ර මාංශ කතාව. ඒ කියන්නේ අපි කෑම කන්න ඕන තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතා ගෙන ඒ තරම් අප්‍රියාවෙන් කියන එකයි. යන්තම් පණ රැක ගන්න අවශ්‍ය ප්‍රමාණයට කන්න එහෙම නැත්නම් අල්පේච්චව ඉන්න කියන එක මිනිසුන්ගේ බොක්කට වදින්න ආගම හදාපු කතාවක් ඒක. ඒකත් අහලාම ඉඳිමු.
දවසක් අම්මයි තාත්තයි තමන්ගේ පුතාත් එක්ක කාන්තාරේ මැදින් ගමනක් යන කොට පාර වැරදිලා දවස් ගානක් කෑම නැතුව ඉන්න කොට පුතා බඩ ගින්න නිසා මැරුණාලු. අම්මයි තාත්තයි ජීවිතය රැක ගන්න ඕන නිසා අර පුතාගේ මස් කාලා ජීවත් උනාලු. සමහර හාමුදුරු වරු තව ටිකක් අතිනුත් දාලා බණට කියනවා අම්මා තාත්තා දරුවාව මරා ගෙන කෑවා කියලා. ඒක තමයි බුද්ධාගම. අල්පේච්චව ඉන්න කියන එක තමයි බුදු දහම. ඒක කෑම වෙන්න පුලුවන් ඇඳුම් වෙන්න පුලුවන්, ගෙවල් වගේ එදිනෙදා පාවිච්චි කරන ඕනම දෙයක් වෙන්න පුලුවන්. නමුත් අද මිනිස්සු කරන්නේ ඒක නෙවෙයිනේ. හැම එකාම පුලු පුලුවන් හැටියට උපරිමයෙන් වියදම් කරනවා. ඉතින් සල්ලි ඕන තරම් තියාගෙන බස් එකේ යනවා නම් සාමාන්‍ය ඇඳුමක් අඳිනවා නම් බොහොම අඩුවෙන් කනවා නම් සමහරුන්ට ඒක විශ්වාස කරන්න බෑ නේ. නැති එකා කරන්න දෙයක් නැති කමට කරාට ඇයි යකෝ තියන එකා.
ඔන්න බලාපල්ලා අදත් පිට ගියානේ. මේ පිට යන එක නම් මම වලට යන කම් නවත්ත ගන්න බැරි වෙයි. මිනියට පණ නැති නිසා හොඳයි. නැත්තම් එතනත් පිට ගිහින් වෙන වලකට යන්න බැරි නෑ. කොහොම හරි බොබී සෑන්ඩ්ස් කරපු දේ අදහා ගන්න බැරුව ඉන්න අතරේ තමයි 1988 දී අර ඉන්දියන් හමුදාව ආපු එකට විරුද්ධව එල්ටීටීඊ එකේ දිලීපන් නල්ලූර් කෝවිල ඉස්සරහා අර වගේම මාරාන්තික උපවාසයක් කරන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මම යාලුවනුත් එක්ක බොබී සෑන්ඩ්ස් ගැන මතක් කරලා තිලීපන්ට පුලුවන්ද ඔය වගේ දෙයක් කරන්න කියලා ..කෙනුත් හිනා උනා මට තාම මතකයි. ඒ උනත් දවස් ගාණකට පස්සේ මිනිහාත් උපවාසයෙන් මැරුණාම මට අදහා ගන්න බැරි උනා මෙහෙම මිනිස්සු අපිටත් හිටියාද කියලා. බොබී සෑන්ඩ්ස් කෑම නොගත්තාට දියර බීලා තියනවා. ඒකයි දවස් 60 ක් හිටියේ. ඒත් තිලීපන් වතුරවත් බීලා නෑ. බොලා මොනවා හිතුවත් තිලීපන් එල්ටීටීඊ උනත් මට ඌ අදත් වීරයෙක්. අනික ඌ ඒ වෙන කොට වෛද්‍ය ශිෂ්‍යයෙක්. හිටියා නම් මෙලහකට දොස්තර කෙනෙක්. බෝම්බයක් පුපුරුවා ගෙන මැරෙන එක වගේ නෙවෙයි මේක. බෝම්බය පුපුරුවා ගන්න එක මොහොතක හිත දැඩි කර ගැනීම ඇති. ඒත් බඩගින්නේ දුක් විඳිමින් විනාඩියෙන් විනාඩිය ටික ටික මරණයට කිට්ටු වෙන එක. අවසානය මොකක්ද කියලා දැන දැනම. ඒ වෙලාවේ ප්‍රචාරයක් ගියා තිලීපන්ට පස්සේ උපවාස කරන්නේ ප්‍රභාකරන් කියලා. ඒත් ඌට එච්චර හිතේ හයියක් තිබුනේ නෑ. ඒ වෙනුවට ඌ කරේ ඉන්දියන් හමුදාව එක්ක යුද්ධ කරන්න පටන් ගන්න එකයි. විඳවලා මැරෙන්න බය නිසානේ බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ල ගන්නේ. ඔන්න බලපන් ආයිත් පිට ගියා.
ඉතින් ඊට පස්සේ කාලෙක අර කෝපි අන්නන්ට (අපේ කලු කෝපි අන්නන් නෙවෙයි ) විරුද්ධව විමලයා තුන්මුල්ලේ පටන් ගත්ත උපවාසයේදීත් පොර අනිවාර්යයෙන්ම ඒකෙන් මැරෙණවා අපේ මහින්ද මහත්තයා අර තැඹිලි වීදුරුව පෙවුවේ නැත්නම්. තමන්ගේම චූටි දුව දීලත් මොනවාවත් බිවුවේ නැති පොර තැඹිලි බිවුවේ මහින්ද මහත්තයාට තියන ගරුත්වය නිසායි. නැත්තම් මිනිහා ජීවිතය එතන පුජා කරනවා. (සමහර කට කැඩිච්ච උන් කිවුවාට මෑන් මුනින් අතට හැරිලා බටයකින් බීම බිවුවා, ලෙමන් පෆ් කෑවා කියලා මම නම් ඒවා විශ්වාස කලේ නෑ ). එහෙම උනා නම් මම මගේ වියදමින් එතන වීරයාගේ පිලිරුවක් හදනවා අර යුද්දෙන් පස්සේ මහින්ද මහත්තයාට ලක්ෂ 6ක් දුන්නා වගේ. අම්මපා.
මට මේ ටික ලියන්න හිතුනේ මම පහු ගිය දවස් දෙකේ ඉඳන්ම නොඉවසිල්ලෙන් හිටියා නුවරදීත් බොබී සෑන්ඩ්ස් කෙනෙක්ව හරි, තිලීපන් කෙනෙක්ව හරි දකින්න වාසනාව ලැබෙයි කියලා. එහෙම උනා නම් ඒක අපිට මොන තරම් උජාරුවක්ද. මොනවා උනත් බොබියා අයිරිශ් කාරයා. තිලීපයා දෙමළා. ඒ උනත් ........යා අපේ එකානේ. කොහේද බං අපිට එහෙම වාසනාවක්. එදා මහින්ද මහත්තයා තැඹිලි වතුර ගෙනත් අපිට ලැබෙන්න තිබිච්චි ගෞරවය නැති කලා වගේ අද අර තම්බි පොරවල් ටික කලේත් ඒකමනේ. හැබැයි මම නම් හිතන්නේ උන් එහෙම කලේ අපිට ජාතික වීර වරයෙක් බිහි වෙලා ගෞරවයක් ලැබෙන එක වලක්වන්නයි. උන් කැමති නෑ උන්ගේ ජාතියෙන් ආගමෙන් පිට කෙනෙක් වීරයෙක් වෙනවා ලෝකයා දකිනවාට. උන් ඒ වෙනුවෙන් ඕනම දෙයක් පරිත්‍යාග කරන්න ලෑස්ති බව මේකෙන් පේනවා. අපිට නෑනේ බං ඒ වගේ එකමුතු කමක්.
අපේ උන් ඕන නම් තැඹිලි වලු ලොරි පිටින් ගෙනත් දෙයි.

https://www.youtube.com/watch?v=fUEWsFYrCbs&fbclid=IwAR2zkQ9mZfb6fZ5QTtRtlfdIwsnVzdmHb3E8ElgQLRpbqpyM-48foMm5-4A

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී